නෙල්සන් මැන්ඩෙලා මරණයත් සමග ලොවට අහිමි වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ලෙස බලයට ආ ජනාධිපතිවරයෙකු පමණක් නොවේ. ඔහු ප්‍රජාතන්ත්‍රවාදය නම් සංකල්පය සජීවී කර තබන්නට දායක වූ මිනිසෙකි. ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක මානව ගරුත්වය යන්න සියලු භේද ඉක්මවා පැවතිය යුතුය යන අදහස ජීවමාන කරන්නට මැන්ඩෙලාගේ දායකත්වය අතිමහත්ය. උගත්කමද මේ යුගයේ ලෝක නායකයෙකු තුළ තිබිය යුතු සංවේදීතාද විශිෂ්ට රාජ්‍යතාන්ත්‍රිකත්වයද නෙල්සන් මැන්ඩෙලා තුළ තිබිණ. අපේ රටේ නායකයන්ගේ එවැනි ගුණ ඇතැයි ආණ්ඩුවේ මාධ්‍යවල බොළඳ නිවේදකයන් කියන බව ඇත්තය. එහෙත් තම යුගය හා දේශය ඉක්මවන ශ්‍රේෂ්ඨත්වය අත්පත් කර ගැනීම යනු දුර්ලභ ජයග්‍රහණයකි.
දකුණු අප්‍රිකාව සුදු ජාතික සුළුතරයක වර්ණභේදවාදී පාලනයේ සිට නියම ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් දක්වා පරිවර්තනය වීමේ කාර්ය කිසිම දේශපාලන හිංසනයකින් තොර එකක් නොවීය. මැන්ඩෙලාම නායකත්වය දැරූ අප්‍රිකානු ජාතික කොංග්‍රසයද ඇතැම් හිංසක ක්‍රියාවලට සම්බන්ධ විය. මැන්ඩෙලා නිදහස්වීමට ආසන්න වසරවල ඔහුගේ දෙවැනි බිරිඳ වූ විනීද ඉතා මුග්ධ හිංසක ක්‍රියාවල යෙදුණාය. එහෙත් ලේ වැකි සිදුවීම් අතර තුරම සාකච්ඡාමය ක්‍රියාමාර්ග නිතරම විවෘතව තබා ගන්නටත්, දකුණු අප්‍රිකාව සාමකාමීව පරිවර්තනය කළ හැකි බව ලොවට කියන්නටත් නෙල්සන් මැන්ඩෙලා වග බලා ගත්තේය. ඔහුගේ ආනුභාවය සම්පන්න නායකත්වයත්, සන්නිවේදන ශක්තියත් නිසා ඔහුගේ අදහස් ජයගත්තේය.
දකුණු අප්‍රිකාව සාමකාමීව පරිවර්තනයකට ලක් කළ හැකි යැයි විශ්වාස කිරීමේ සම්පූර්ණ ගෞරවය නෙල්සන් මැන්ඩෙලාට දිය යුතු නැත. එහිදී ඔහුට ආනුභාවය සැපයූ චින්තන සම්ප්‍රදායක් හා නායකයන් පිරිසක් දකුණු අප්‍රිකාවේ සිටියහ. ඇතැම් ආනුභාව සම්පන්න කලු ජාතික නායකයෝ දකුණු අප්‍රිකාවේ සිටියහ. ඒ චින්තන සම්ප්‍රදාය සජීවීව තබා ගැනීමට තුළ වූ කැපවීමත් ඒ චින්තන සම්ප්‍රදායේ ආකර්ෂණීය ප්‍රකාශකයෙකු වීමත් මැන්ඩෙලාගේ විශිෂ්ටත්වයයි. නිදර්ශනයක් ලෙස 1961 දී නොබෙල් සාම ත්‍යාගය දිනූ ඇල්බර්ට් ලුතුලි නම් ශ්‍රේෂ්ඨ නායකයා දැක්විය හැකිය. දකුණු අප්‍රිකාවේ වාසය කරන සියලු ජනවර්ගවලට අයත් මනුෂ්‍යයන්ට මානව ගරුත්වයෙන් යුතු ප්‍රජාතන්ත්‍රවාදී රටක් නිර්මාණය කිරීමට ලුතුලි වැනි ගොත්‍රික නායකයන්ගේ වූ කැපවීම බුද්ධාගමේ නමින් පවා අශෝභන ජාතිවාදීන් බිහි වන මෙකල අපට අදහා ගන්නටත් බැරිය. මැන්ඩෙලා මෙවැනි නායකයන්ගේ චින්තන උරුමයට ආකර්ෂණීය ප්‍රකාශකයෙක් විය. ඇල්බර්ට් ලුතුලි ලියූ ලෙට් මයි පීපල් ගෝ නම් ස්වයං ලිඛිත චරිතාපදානයෙන් එකී චින්තන සම්ප්‍රදාය ගැන තොරතුරු දැකිය හැකිය. ඒ නිසා අප මැන්ඩෙලා වටහා ගත යුත්තේ ලෝකයේත් දකුණු අප්‍රිකාවේත් පැවති නියම ආකාරයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී චින්තන සම්ප්‍රදායන්ට සජීවිභාවය ලබා දුන් ආකර්ෂණීයද ආනුභාවසම්පන්නද වූ නායකයෙකු ලෙසිනි. මනුෂ්‍ය ලෝකය වඩා යහපත් කළ හැකි විශිෂ්ට චින්තන සම්ප්‍රදායයන් ලෝකයේ තවමත් පවතී. එහෙත් ඒවා භාවිතයන් බවට නංවා සජීවීකරණය කළ හැක්කේ විශිෂ්ට නායකයන්ට පමණි. නෙල්සන් මැන්ඩෙලා එවැන්නෙකි.
සාමාන්‍යයෙන් කැරලිකාර නායකයන් රාජ්‍ය පාලකයන් බවට පත් වූ විට ඉතා නරක පාලකයන් වුවද මැන්ඩෙලා එසේ නොවීය. ඔහුගේ සාර්ථකත්වයද හේතු වූ කරුණු කීපයක් විශ්ලේෂකයෝ දකිති. එකක් නම් ඔහුගේ චරිත ස්වභාවයයි. අනික නම් බි්‍රතාන්‍ය පාර්ලිමේන්තු සම්ප්‍රදාය ඇතුළු බටහිර ප්‍රජාතන්ත්‍රවාදී චින්තනයෙන්ද අප්‍රිකානු චින්තන සම්ප්‍රදායන්ගෙන්ද ඉගෙනීමට ඔහුට තිබූ හැකියාවයි. සාකච්ඡාවෙන් එළඹෙන එකඟතාවෙන් යුතුව පාලනය කිරීම ඔහුට අප්‍රිකානු ගෝත්‍රික සම්ප්‍රදායෙන් ලැබුණ උරුමයක් විය. 1944 දී ක්‍රියාකාරී දේශපාලනයට එක් වූ ඔහු සුදු ජාතික පාලකයන්ගේ වර්ණභේදවාදී ප්‍රතිපත්ති නිසා කලු ජාතිකයන්ට නිරන්තරව එල්ල වූ හිංසනය දැක්කේය. එහෙත් ඔහු නිර්-හිංසනය පිළිබඳ ගාන්ධිවාදී අදහස්වල ආභාසයෙන්ද යුතුව අවිහිංසාවාදී දේශපාලන ක්‍රියාමාර්ගවල එල්බ සිටියේය. එහෙත් ඔහු සම්පූර්ණ ගාන්ධිවාදියෙක් නොවීය. පසු කලෙක ඔහු මෙසේ ලිවීය:
“ගාන්ධිවාදය අනුල්ලංඝනීය දෙයක් යැයි මම නොසිතුවෙමි. එහෙත් එය අවස්ථානුකූලුව භාවිත කළ හැකි උපක්‍රමයක් යැයි මම සැලකීමි”
1960 දී සිදු වූ නිරායුධ කලු ජාතිකයන් 69 දෙනෙකු පොලිස් වෙඩි පහරින් මිය ගිය කුප්‍රකට ශාර්ප්විල් සමූලඝාතනයෙන් පසු සුදු ආණ්ඩුව විරුද්ධ මතධාරීන්ද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසයේ නායකයින්ද අත්අඩංගුවට ගන්නට පටන්ගත්තේය. ඉන්පසු අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය සන්නද්ධ අරගල මාවතටද යොමු වූ නමුත් වැඩි කල් නොයා මැන්ඩෙලා අත්අඩංගුවට පත් වූ නිසා ලේ වැකි දේශපාලන ක්‍රියාකාරකම්වලට යොමු වීමට ඔහුට සිදු නොවීය. නිර්-හිංසක දේශපාලනය වෙත මැන්ඩෙලා තුළ වූ ආරම්භක කැපවීමට අවශ්‍ය න්‍යායික ඥානය වර්ධනය වූයේ ඔහු ගත කළ ඉතා දීර්ඝ සිර ජීවිතයේදීය. ඔහු ඒ මුළු කාලය තුළම පශ්චාත් වර්ණභේදවාදී දකුණු අප්‍රිකාව ගොඩ නගන්නට අවශ්‍ය දැනුම හා සංවේදීතා අත්පත් කරගනිමින් උන්නේය. මැන්ඩෙලාගේ නියම නායකත්වය හා චින්තනමය පොහොසත් බව පෙනුණේ 1990 දී ඔහු නිදහස ලැබ එවකට පැව එෆ් ඩබ්ලිව් ඩි ක්ලර්ක් රෙජීමය සමග කලු ජාතීන් වෙත බලය මාරුවීම පිළිබඳ සාකච්ඡා කරමින් සිටිද්දීය. ඒ සංක්‍රමණීය වසර කීපය තූළ ඉතා දැවැන්ත හිංසන ක්‍රියා දෙපාර්ශවයෙන්ම සිදු කෙරිණ. සුදු ජාතිකයන් වෙත තදින් කතා කරන අතරම කලු ජාතිකයන්ගේ හිංසක ක්‍රියා පාලනය කර ගැනීමෙහිලා මැන්ඩෙලා සාධකය ඉතා තීරණාත්මක විය. මැන්ඩෙලා ඩි කලර්ක් රිජීමය වෙත පූර්ණ විශ්වාසය තැබුවේ නැත. මැන්ඩෙලා සමග සාකච්ඡා කරන අතරම කලු ජාතිකයන් එකිනෙකා සමග කෙටවීමට ඩි කලර්ක් රෙජීමය නොයෙක් දේ කරමින් උන්නේය. එවිට අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය මගින් රට පුරා සාමකාමී උද්ඝෝෂණ දියත් කරමින් ඩි ක්ලර්ක් රිජීමය මෙල්ල කරන්නට මැන්ඩෙලා ක්‍රියා කළේය. ඒ අතරම සීමාන්තික කලු ජාතික තරුණ කොටස් පාලනය කරගන්නටත් ඔහු සමත් විය.
මැන්ඩෙලා නොසිටියේ නම් 1947 ඉන්දියාවේ සිදු වූවාක් වැනි අනන්ත හිංසක ක්‍රියාත් රටෙහි භූගෝලීය හා දේශපාලන බිඳීම් වැනිදේත් සිදු වන්නට ඉඩ තිබිණ. මා දකුණු අප්‍රිකාව පිළිබඳ විශේෂඥයෙකු නොවුණත් මැන්ඩෙලා හා එරට පිළිබඳ මා කියවා දේවලට අනුව නම් මැන්ඩෙලාගේ නායකත්වයේ විශිෂ්ටත්වය වඩාත් වැදගත් වූයේ 1990-4 කාලයේදීය. ඒ අවුරුදු හතර සඳහා ඔහු අවුරුදු 27ක සිරගත ජීවිතයක් තුළ සූදානම් වී යැයි කිවහැකිය. යටත් විජිතවාදයෙන් නිදහස ලැබූ බොහෝ අප්‍රිකානු රටවල නායකයන් සීමාන්තික ජාතිවාදයත් ඒ සමගම අත්වැල බැඳගත් දූෂණය හා වංචාවත් නිසා විනාශ කරනු ලැබුවද සිර ජීවිතය ඒ සියල්ලෙන්ම මැන්ඩෙලා බේරා දුන්නේය. ඒ වුකලි ඉතා උත්ප්‍රාසවත් සිද්ධියකි. ඒ නිසා ඔහු සමස්ත අප්‍රිකාවටම අපේක්ෂාව ගෙනාවේය. “රුවන්ඩාව අපගේ නපුරු සිහිනයද දකුණු අප්‍රිකාව අපගේ මිහිරි සිහිනයද වේ” යැයි නොබෙල් ත්‍යාගලාභී නයිජීරියානු ලේඛක වොලේ සොයින්කා 1994 දී කීවේ ඒ නිසා විය යුතුය. අද වන විට දකුණු අප්‍රිකානු මිහිරි සිහිනයෙහි අඩංගු වූ සියල්ල සැබෑ වී නැතත් එදවස මැන්ඩෙලා දැල් වූ අපේක්ෂාවේ තරම ඉන් පෙනේ. එහෙත් මැන්ඩෙලාට උරුම වූ පාර්ලිමේන්තුව පමණක් නොව සිවිල් සේවය, පොලීසිය, කොටස් වෙළඳපොල, පාසැල්, විශ්වවිද්‍යාල, බැංකු ආදී සියලු ව්‍යූහ දීර්ඝ කාලයක් සකස් වී තිබුණේ සුදු ජාතික අවශ්‍යතා වෙනුවෙන් වූ අතර ඒවායේ ආධිපත්‍ය දැරුවෝද සුදු ජාතිකයෝ වූහ. එනම් සුදු ජාතිකයන් වෙනුවෙන් වූ රාජ්‍ය ව්‍යූහයක් සෑම දෙනාටම සමානව සලකන ව්‍යූහයක් බවට පරිවර්තනය කිරීම ලෙහෙසි පහසු කාර්යක් නොවේ. ව්‍යූහමය පරිවර්තනය යනු දුෂ්කර කාර්යකි. එය තනි මිනිසෙකු පැරණි ව්‍යූහයක ප්‍රධානත්වයට(ජනාධිපති වැනි) පත් වීමෙන් සැපිරෙන පරිවර්තනයක් නොවේ. මැන්ඩෙලා මිය ගියේද දකුණු අප්‍රිකානු ව්‍යූහමය පරිවර්තනය සම්පූර්ණ වනු නොදැකය. සියලු දෙනාගේම මානව ගරුත්වය සුරැකෙන සේ බලය බෙදා ගැනෙන ව්‍යූහමය පරිවර්තනය සිදු විය යුත්තේ මන්ද යන්න වටහා ගැනීමට කැමති අයට දකුණු අප්‍රිකාව යනු අගනා නිදර්ශනයකි.
නෙල්සන් මැන්ඩෙලා යනු අද බොහෝ රටවල සීමාන්තික ජාතිකවාදීන් යෝජනා කරන ආකාරයේ හුදෙකලාවාදියෙක් නොවේ. විවිධ රටවල නිර්මාණය කරන ලද මිනිස් ඥානය පිළිබඳ ඔහුට කුතූහලයක් හා උනන්දුවක් තිබිණි. එක් ප්‍රකට නිදර්ශනයක් වන්නේ මැන්ඩෙලා සිරගත වන විට දකුණු අප්‍රිකාවේ නොතිබූ සන්නිවේදන මාධ්‍යයක් වූ ටෙලිවිෂනය ඔහු විසින් භාවිත කරනු ලැබූ ආකාරයයි. මේ සම්බන්ධයෙන් නාලක ගුණවර්ධන සිය විශිෂ්ට තීරු ලිපියේද ලියා තිබිණ.
එහෙත් මැන්ඩෙලාගේ මැදහත් චින්තනයේ විශිෂ්ටත්වයට පමණක් දකුණු අප්‍රිකානු මිහිරි සිහිනය සැබෑ කරන්නට නොහැකි විය. ඔහු ජනාධිපති වූ 1994 සිට 2013 අතර කාලය තුළ දකුණු අප්‍රිකාවද දූෂිත දේශපාලනඥයන්ට ගොදුරු විය. මැන්ඩෙලාගේ සමීප සගයෝ පවා දූෂිතයෝ බවට පත් වූහ. දූෂණ හා අල්ලස් වෙත මුලින්ම ඇදී ගිය කෙනෙකු වූයේ මැන්ඩෙලාගේම දික්කසාද බිරිඳ වූ විනී මැන්ඩලොය. ඇය ඒ වරදවලට සිරගත වුවද ඔහුගේ තවත් සගයෝ දූෂිත දේශපාලනඥයෝ බවටම පත් වූහ. 1996 දී ඔහු දියත් කළ සත්‍ය හා ප්‍රතිසන්ධාන කොමිසම නව දකුණු අප්‍රිකාවක් පරිකල්පනය කිරීමට හේතු වූද තවත් රටවලට ආදර්ශයක් වූ දෙයක්ද විය.
ඔහුගේ මරණයෙන් පසුව ඔහු දේවත්වයට නොනගා ඔහු ලෝක දේශපාලනයට කළ දායකත්වය යථාර්ථවාදීව වටහා ගත යුතුය. ඔහුද වරක් කී සේම ඔහු සාමාන්‍ය මිනිසෙකි. මිනිස් සමාජ යහපත් කිරීම පිණිස ආනුභාව සම්පන්න නායකයන් සිටීම වැදගත් බව ඇත්තය. එහෙත් සැබෑ පරිවර්තනය සඳහා සාමුහික ප්‍රබුද්ධත්වය, සබුද්ධිකත්වය හා ආචාර ධාර්මිකත්වය කරා යාමට සාමූහික ව්‍යායාමය මිස අන් කෙටි මගක් නැත. විශිෂ්ට නිදහස් අධ්‍යාපන පද්ධති වැනි සේ එහිලා එක් පියවරකි. එහෙත් නීතිගත හොරු රංචුවක් දේශප්‍රේමයේ නමින් රට කරන අප රටට මැන්ඩෙලා වැනි ප්‍රඥාසම්පන්න නායකයෙකු ගෙන එන මිහිරි සිහිනය වත් කවද නම් දකින්නට ලැබේවිද?
( වසර කිහිපයකට පෙර රාවය පුවත් පතේ පළ වූවකි).
No comments:
Post a Comment