Monday, January 10, 2022

කාව්‍යමය විදාරණයක් වැනි කවියක් - ලියනගේ අමරකීර්ති






කුමාර හෙට්ටිආරච්චිට තියෙන්නෙ ජනකවියෙකුගේ වැනි එනර්ජියක්. ශරීරයක් ඇතුළෙ පැහි පැහි තියෙන එනර්ජියක්. ඒක කවි බවට පත් වෙන්නෙ වේගෙන්. ගිනි කන්දක් විදාරණය වෙනවා වගේ. ඒ නිසා ඒ කවි උතුරා යෑම් වගේ. සම්මත කවියන්ගේ ශික්ෂණ සීමාවල නවතින්නෙ නෑ උතුරා යාම්. ඒක නිසා කවිය නමැති ආදර සහකාරිය (හෝ සහකරු) සමග එක්වීමේ ලිබිඩෝ ශක්තිය නැත්තම් ඊරො ශක්තිය. ඒ ශක්තිය විස්තර කරන්න ෆ්‍රොයිඩ් කෙනෙක් හරි මාකූස් කෙනෙක් ඕනැ කියල ඒ කවි කියවද්දි හිතෙනවා. 

කුමාර හෙට්ටිආරච්චි තමයි අද ඉන්න කවියො අතර වැඩියෙන්ම කවි පොත් ලියල තියෙන කවියා. පොත් විසි දෙකක් විතර. ඉලපයප්ආරච්චිටත් වඩා වැඩියෙන් ලියල තියෙනවා. ඒ උනාට කුමාර සම්මාන හම්බ වෙච්ච අයට බැණ බැණ රට වටේ දුවන්නෙ නෑ. 

                                                   අධිකතරභාවය

අධිකතරබව කුමාරගෙ කවියෙ ලක්ෂණයක්. ඒක ඉස්සර ඉඳල තිබුණා. අර මම කියපු ලිබිඩෝ ශක්තියට ඒකත් ලකුණත්. ජීවිතය වෙත ඇල්ම, ජීවිතය සැමරීම, ජීවිතය බදා වැළඳ ගැනීමේ කායිකමය ආශා ශක්තිය ලිබිඩෝ ශක්තිය කියන්න පුඵවන්. ඒක ලිංගිකය විතරක්ම නෙමේ. ආශාව විතරක්ම නෙමේ. සාමාන්‍ය සත්ත්වමය ජීව කාලය ශරීරය නමැති ආශා මැෂිම සමග ජීවත්වීමේ ආශාව වගේ දෙයක්. හතර වටේ මොනව වුණත් අද දවසේ පස් වෙනි කවියත් ලිවීමේ ආශාව. හතර වටේ තණ කොළ වේලෙද්දි තමන්ගෙ කොළ පාට මෙන්න මේකයි කියාගෙන මතුවෙන තණ කොළ ගහක් මලකුත් පූදමින් අර වියළි පරිසරයෙන් නැගී ඉන්නව වගේ කුමාරගෙ කවිය එනවා.

මේක ජනකවියක් වගේ කවියක් වුණත් ධර්මසිරි බෙනඩික්ගෙ කවියට වඩා කලාව ගැන සවිඥානකයි. ඊට වඩා විදග්ධයි. හැබැයි ඔහු ඉහළ විදග්ධ කවි ලකුණ පහළ ජන වහර සමග එකට තියන්නෙ අරක බලෙන් ඇදගෙන ඇවිත් පහළින් තියෙනවා වගේ. සුබ සහ යස නාට්‍යයේ යස රජ්ජුරුවො ලවා නවගත්තේගම ගහන භාෂා කැරැල්ල වගේ. අර වන්දිභට්ටයො සම්භාව්‍ය සිංහලෙන් ප්‍රශස්ති කියද්දි යස රජ්ජුරුවො මෙහෙම කියනවා: “මොන කන්කරච්චලයක් යකෝ රජ කෙනෙකුටවත් බුදිය ගන්ඩ දෙන්නැද්ද?” ඔහු රාජ සභා සිංහලයට ගමේ පිලේ භාෂාවට ගේනවා. රජවරු ගැන ඓතිහාසික නවකතා ලියන අය සයිමන් මේ කරන වැඩේ දේශපාලනය දැකල නෑ. එයාලා බොහෝ දෙනෙක් ඉස්සර රජවරු කතා කෙරුවයි එයාල හිතන සිංහලයක් ලියනවා. 

සයිමන් කළා වගේ කුමාර කරන්නෙ මෙහෙම:

“මිතුරු තොමෝ දුක සැප දෙකෙහිම පැවතී

හකුරු කකා තේ බොති පිටු නොපාවිතී”

“නිසි පුළුලුකුල රියසක උඩ යට නැවැතී

පුසි කළ සළෙලු යටි බඩ හංකිති නිවතී”


පුංචි පුංචි දේවල් මත විදර්ශනා භාවනාවට ආරාධනා කරන හයිකු වැනි කෙටි කවිය හරි ජනප්‍රියයි. ඒකත් එක විධියක්. ඒ කවි අපිව පුංචි පුංචි දාර්ශනික හිතන්නො බවට පත් කරද්දි කුමාරගෙ කවිය අපි කවි ළඟ නටන්නො බවට පත් කරනවා. අර කවි අපිව මානසික මිනිස්සු කරන කොට මේ කවි අපිව කායික මිනිස්සු කරනව. හිතන මිනිස්සු වෙනුවට නටන මිනිස්සු. අපිට මේ දෙකම ඕනෙ. ඔය දෙකම කරන්න පුළුවන් මිනිස්සු තමයි නියම මිනිස්සු.

මං මේ රචනය ලියන්නේ ඒ ගැන නෙමේ. කුමාරගෙ අලුත් කවි පොතේ කවියක් දෙකක් බෙදාගන්න. මේ එක කවියක්:

තුඹස


පාළු පොල් රුප්පාව කෙළවරක

එරමිණිය ගාල මැද තුඹස ඇත

රෑසියන් මැදියමේ හඬන විට

භීතිය ම හිතට ගෙන එය තුඹස


දවාලේ නගරයට යන අතර

විපරමින් පසු කරමි ඒ තුඹස

මා තුළ ම තුඹස සාදන හිදැස

කියයි පරලොව මෙලොව ගැන වෙහෙස


ගොම්මනේ ගලන බිං කරුවලට

පෙරාතුව පසු කරන්නෙමි තුඹස

ගොරවමින් විදුලි කොටනා අතර

පොරි අහුරු විසි කරනවා අහස


බලාගෙන දැල් කවුළුවෙන් මදෙස

හිනාවෙන හීනි අටවක හඳට

දරාගනු බැරි මහා කළුවරක

ගිලී ඉස්සී බලයි ඒ තුඹස


විරාගික සුදු ලූණු තාපයකි

නිරාමිස සුලෝහිත මී විතක

උරා බී පරාවර්තිත මතක

සිනාසෙමි විනාකිරි හාදුවක


මේ පාලු තුඹස මට මෙනෙහි වන

හැම විට ම බියෙන් සිත සසල වන

මම දනිමි විෂඝෝර සර්පයෙකු

නිසැකව ම තුඹස තුළ සිටින බව

යකඩ ඉන්න ද උදැල්ල ද රැගෙන

වීරයෙකු සේ ගියෙමි තුඹස වෙත

පහර දී සමතලා කළෙමි මම

දිවා රෑ හිතට වද දුන් තුඹස

උදැල්ලෙන් පෙරළමින් පිට නොපිට

හුඹස් මැටි අවුස්සා බලන විට

දුටිමි ඒ තුඹස තුළ සැඟව සිටි

මෙතුවක් ම මා නොදන්නා මම ම.



  අධිකතර බව හෙට්ටිආරච්චිගේ කවියේ ඇති ලක්ෂණයක් බව මම කිව්වා. ඔහු අපේ කවියෙ ඉන්නෙ විද්‍යාචක්‍රවර්ති වගේ. විද්‍යාචක්‍රවර්ති කියන්නෙ භාෂාවෙන් දාන්න පුළුවන් සෙල්ලම්වලට ආසා කරපු කෙනෙක්. මමත් එතුමට ආසයි. ඒත් මේ කවියෙදි අධිකතරභාවය හික්මවලා තියෙනවා පුදුම විදියට. මම කළු අකුරින් තියල තියෙන පද්‍ය ඛණ්ඩය වුණත් අයින් කරන්න පුළුවන්. ඒ කොහොම වුණත් මේක පුදුම කවියක්. අර මං කියපු හිතන මිනිහයි නටන මිනිහයි දෙන්නම එක තැනකට ගන්න කවියක්.

            හුඹස් බියක හුඹස් රූපකය

අප අවට දේවල් ගැන අප තුළ තියෙන හුඹස් බියේ උපත අපම වන අවස්ථා අපමණ තියෙනවා. සාෆි දොස්තර නමැති හුඹසට බයේ රටක්ම රට වටේ දිව්වා. පස්සෙ බලනකොට ඒ හුඹහෙ ඉඳල තියෙන විසකුරු නයා අපිමයි. විසකුරු නයා අපිම උනාම අපි කරන්නෙ නයාව නොමරා පරිස්සමට ඉන්න දෙන එක. පස්සෙ වැඩකට ගන්න වගේ. ජාතිවාදෙත් එහෙම තමයි. ජාතිවාදෙ කියන්නෙ ඒ වගේ වැඩක් ගන්න ඔහෙ ඉන්න දෙන නයෙක්.

හෙට්ටිආරච්චිගෙ පරිකල්පනයත් අර මම කියපු ලිබිඩෝ ශක්තියෙන් පිරුණ එකක්. ඔහුගෙ කවියෙ පිටිපස්සෙ ඉන්න පොදු කවියා, එනම් මේ කවි ලියන මිනිහා (ඒ කියන්නෙ කුමාරම නොවෙයි), එනම් මේ කවි මාලාව කියවන විට අපේ හිතේ ඇඳෙන මිනිහා ප්‍රාණ ශක්තිය ඇති කෙනෙක්. ජීව ශක්තිය ඇති කෙනෙක්. අර මම කියපු නටන මිනිහයි හිතන මිනිහයි එකතු වෙලා හැදුණ කෙනෙක්. බිරිඳ අසපුවකට හරි භාවනා මධ්‍යස්ථානෙකට හරි අහු වෙලා නිසා ලිංගික ජීවිතයක් අහිමි වීමෙන් වියළී ගොස් බණ පොත් කියවන්නයි ටෙලි බණ අහන්නයි පටන්ගත්තු අක්‍රීය උපාසක කෙනෙක් නෙමෙයි. මෙහෙම කවියෙක් තමයි ලක්ශාන්ත, වෙඩිවර්ධන වැනි අය වෙතිනුත් ප්‍රක්ශේපණය වෙන්නෙ. ඇත්තටම රණවීරගෙ ඇතැම් දිග කවිවලත් එහෙම අවස්ථා තියෙනවා. රණවීර කියන්නෙ පොඩි පොඩි ගල් කැට ළඟ නතර වෙලා භාවනා කරන කෙනෙක් නෙමේ. එයාට ඕනැ වෙලාවට හිතන්නත් ඕනැ වෙලාවට නටන්නත් පුළුවන්. 

අපි කුමාරගෙ තව කවියක් කියවමු.

ග්‍රෙසරියට මල් සරා

මොනාලීසා බඳිමි

වැනීසියෙ රුවලකින් එක්ක එමි.


ඩා වින්චි අමනාප වුණත් මට කමක් නැත


මොනාලීසා බඳිමි

වැනීසියෙ රුවලකින් එක්ක එමි.


මෝදකයෙන් තිරිහන් වෙමි

හෝමෝනෙක අවතැන් වෙමි

ඩේවිඩ් ප්‍රතිමාව බවට මම පත් වෙමි


මොනාලීසා බඳිමි

වැනීසියෙ රුවලකින් එක්ක එමි.

සීයාගෙ අමුඩයෙන් 

ලැජ්ජ බය වසාගෙන

වැනීසියෙ රුවලකින් මොනාලීසා එක්ක

මගේ මව්බිමට එමි


ඩාවින්චි අමනාප වුණත් මට කමක් නැත


රුවලෙන් ම

මහරගම පමුණුවට ගොස් බසිමි

ඇයට පොප්ලින් රෙදි ද චීත්ත ද

කොට කලිසමක් මට ද

දේශීය යට ඇඳුම් මිලට ගමි


හෙට්ටිවීදියේ බබලන- ඉමිටේෂන් මාල ගනිමි


යුරොපයටම හොරා 

ඈ සමග බොරැල්ලේ කොත්තු කමි

සතොසකින් නාඩු රතුලූණු සුදු සීනි ගමි


කොටහේනෙ සොල්දරේ 

ඈ සමග මධුසමය ගත කරමි


මොනලීසී නැවත

පින්තූර රාමුවක රාමුකර

හෙට උදේ ග්‍රොසරියේ වැඩට යමි


  ලිංගික ප්‍රීතියද යුග දිවියක සිරා බිරා මිහිරද (පරිකල්පිත මිහිර) අහිමි තරුණයෙකුගේ ඉරණම හෙට්ටිආරච්චි කියන්නෙ අපේ ජීවිතෙන්ම පහළ වූ මැජික් රියලිස්ම් මෙන්න මේවයි කියා ප්‍රබන්ධ රචකයින්ට කියන්නාක් මෙන්. දැන් නැටීමත්, හිතීමත් නවත්වා ඇතැයි පෙනෙන රුවන් බන්දුජීවටද මෙවැනි පරිකල්පන ශක්තියක් තිබුණා. මිනිහ අසපුවකටවත් අහුවෙලාද මන්දා.

දූරියන් ගහක් යට භද්‍ර කල්පය ගෙවමි පොතේ මම කතා කරන්න කැමැති තව කවි තියෙනවා. දැන් අපේ උදේ පහයි හතලිස් අටයි. අපේ දුව ස්කූල් වෑන් එක ළඟට එක්ක යන්න ඕනෙ.

දූරියන් ගස් යට භද්‍ර කල්පයක් ඉන්න බෑ කුමාර කිව්වට. මම නම් දූරියන් කන්න ආසයි. ඒ නිසා ඒව ඔළුවට වට්ටගන්නැතුව බේරිලා අහුලගන්නවා. කටු ඇනි ඇනි හරි දූරියන් ගෙඩිය විවර කරගත්තම අධිකතර සුවඳක් එනවා, කුමාරගෙ කවිය වගේ. 

පිටු දෙකක් යන කවිය එකෙන් එක හමාරෙන් විතර නතර උනා නම් කියල කුමාරගෙ කවි කියවද්දි හිතෙනවා. ඒත් ඔහු එහෙම වැටමායිම් ගණන්ගන්න කවියෙක් නෙමේ. ඒකම තමයි ඒ කවියෙ විදිය.










2 comments:

  1. රූප මැවීමේ පැත්තට වැඩි බරතාවයක් තියෙනවායි කියල හැඟෙනවා මේ කවි කියවද්දී. එය දිගටම වීම කවියාගේ කවිත්යවට බාදාවක් නෙවෙයිද

    ReplyDelete
  2. කුමාර හෙට්ටිආරච්චි ඇග්‍රෙක්. මං හිතන්නේ 1984 කණ්ඩායමේ.

    මා 1985 දී සංස්කරණය කළ පද්මසිරි අබේසේකර-රෝහණ රත්නායක අරගලය අනුස්මරණ කලාපයට ඔහු කවියක් එවා තිබුණා. අවාසනාවකට මෙන් එය මට ලැබුණේ සඟරාව මුද්‍රණයට ගිය පසුයි.

    ඔහුගේ කවි දිවයින සිකුරාදා ඉරිදා පිටුවල කියවා රසවින්දා මතකයි.

    ඔහුගේ පාරජම්බුල සහ සාරසංඛ්‍ය අග්නි වාෂ්ප කෘති මා සතුව ඇත.

    ReplyDelete