විශ්වවිද්‍යාලයක සාහිත්‍ය කලා උගන්වන විට සාහිත්‍යය යනු කුමක්ද යන සෞන්දර්ය ප්රශ්නය සේම තවත් ප්‍රශ්නයක් ගැන නිතර කල්පනා කරන්නට සිදුවේ. ඒ සාහිත්‍යයෙහි ‘ප්‍රයෝජන’ මොනවාද යන ප්රශ්නයයි. මේ වූකලි අධ්‍යාපන ක්ෂේත්රයෙන් පිටද නිතර ඇසෙන ප්‍රශ්න දෙකකි. සාහිත්‍ය කලාවලට අප රට ප්‍රධාන ජනමාධ්‍ය ආයතනද සැලකිය යුතු අවධානයක් යොමු කරයි. සෑම පුවත්පතක්ම පාහේ සාහිත්‍ය කලා වෙනුවෙන් අවකාශය වෙන් කරන අතර ගුවන් විදුලිය හා රූපවාහිනියද ඒ වෙනුවෙන් කාලය වෙන් කරයි. මෑතකදී ජාතික රූපවාහිනිය ආරම්භ කර ඇති අගය කළයුතු වැඩසටහනක් වන සාහිත්‍ය රසවිත බෙහෙවින් ජනප්‍රිය වී ඇති බවද පෙනේ. ඒ සෑම තැනකදීම අඩු වැඩි වශයෙන් සාහිත්‍යයෙහි සෞන්දර්යමය ස්වභාවය කුමක්ද, සාහිත්‍යයෙහි ප්‍රයෝජන කුමක්ද වැනි ප්‍රශ්න අසනු ලැබේ. එය ඉතා හොඳය. ඒ ප්‍රශ්න දෙකටම හොඳ පිළිතුරු ගොනු කිරීමේ වැදගත්කම මා මෑතකදී පළ කළ විශ්වවිද්‍යාලය යනු කුමක්ද? නම් පොතේද සාකච්ඡා කර තිබේ.
මේ ප්‍රශ්න දෙකටම පිළිතුරු දෙන ආකාර බොහෝය. මේ රචනයේ අරමුණ ‘ප්‍රයෝජන’ පිළිබඳ ප්රශ්නය ගැන අවධානය යොමු කරන්නටය. ‘ප්‍රයෝජනය කුමක්ද’ යන්න ඕනෑම දෙයක් සම්බන්ධයෙන් ඉතා භයානක ප්රශ්නයකි. වෙළඳපොළ හා ලාභය කේන්ද්‍රකරගත් ආර්ථික පද්ධතිවලදී ‘ප්‍රයෝජන’ මැනෙන්නේ ආර්ථිකයට ලැබෙන දායකත්වය ඇසුරිනි. කොපමණ ‘ලාභ’ උපයන්නේද වැනි නිර්ණායක ඇසුරින් ‘ප්‍රයෝජන’ මනිනු ලැබේ. ඒ මොහොතේ සමාජයෙහි ආධිපත්‍යය දරන අයගේ හෝ මතවාදවලට අනුව ‘ප්‍රයෝජනයක්’ නැතැයි පෙනෙන සියලු දේ අනවශ්‍ය දේ ලෙස සැලකෙන්නට ඉඩ තිබේ. සාහිත්‍ය කලා ආරක්ෂා කර ගැනීමේ හොඳම ආකාරය ඒවා උපයෝගීතාවෙන් ඈතට ගැනීම යැයි කියන සෞන්දර්ය දාර්ශනිකයෝ වෙති. ඒ සම්ප්රදාය ජර්මානු දාර්ශනික ඉමෑනුවෙල් කාන්ට්ගෙන් ආරම්භ විය. මනුෂ්‍ය ශිෂ්ටාචාරයේ ඇති ඇතැම් වස්තු හා ක්‍රියාකාරකම්වල උපයෝගීතායක් හෙවත් සෘජු ප්‍රයෝජනයක් නැත. ශිෂ්ටාචාරයක ඇති හොඳට අගය නම් සෘජු ප්‍රයෝජන නැති දේවල්ද පවත්වා ගැනීමේ හැකියාවය. සෞන්දර්ය වස්තු එවැනි වටිනාකම් සහිත දේ වේ. කලාත්මක ක්‍රියා (නර්තනය වැනි) එවැනි වටිනාකම් සහිත ක්‍රියාවන් වේ. කලාවෙහි වටිනාකම වූකලි එයම මිස වෙනකක් නොවේ. කලාව කලාව සඳහාය යනුවෙන් අප රටද ප්‍රචලිතව ඇති අදහසෙහි පදනම එයයි. මෙම කාන්ට්වාදී අදහස ඉතා වැදගත් වන අතර ඒ ගැන පැහැදිලි කිරීමක් ඉදිරි ලිපියක අඩංගු කරමු.
විශ්වවිද්‍යාල වැනි උසස් අධ්‍යාපන ආයතනවලදීද සාහිත්‍ය කලා හැදෑරීමේ හා ඉගැන්වීමේ ප්‍රයෝජන හෙවත් උපයෝගීතාව කුමක්දැයි නිතර අසනු ලැබේ. රටේ ආර්ථික අර්බුදය තීව්ර වන්නට වන්නට මේ ප්රශ්නය නිතර මතු වෙනු පෙනේ. සාහිත්‍ය කලා නිර්මාණය, ප්රකාශනය, බෙදා හැරීම හා අලෙවිය පිළිබඳ විශාල යාන්ත්‍රණයක්ද තිබෙන පසුබිමක අර ප්රශ්නය මග හැරයාමද සුදුසු නොවේ. අපට එහිලා තල දෙකක පිළිතුරු ගොණු කළ හැකිය. පළමු තලයේ පිළිතුර මෙවැන්නකි: මනුෂ්‍ය ශිෂ්ටාචාරයේ සියලු වස්තු හා ක්‍රියා හුදෙක් ‘ක්ෂණික ප්‍රයෝජන’ අපේක්ෂාවෙන් පවතින දේ නොවේ. මනුෂ්‍යයෝ සෘජු ප්‍රයෝජන නැති එහෙත් වටිනාකමින් යුතු දේ කරති. සාහිත්‍ය කලා නිර්මාණයද එවැන්නකි. එහෙත් ඒ තලයේ පිළිතුරට අමතරව තවත් නොයෙක් ‘ප්‍රයෝජන’ ගැනද කතා කළ හැකිය. මෙම රචනා මාලාවේ කලින් ලිපිවලදී ඇතැම් කරුණු සාකච්ඡා කර තිබේ.
මෙම රචනයේදී සාහිත්‍ය කලාවල එක්තරා ‘ප්‍රයෝජනයක්’ ගැන පොලීසියෙන් උගත හැකිද යන ප්රශ්නය අසන්නට තැත් කෙරේ. මේ රචනයට පදනම සපයන්නේ 2006 වසරේ ෆයිනෑන්ෂල් ටයිම්ස් පුවත් පතේ පළ වූ ලිපියකි.
මෙක්සිකෝවේ අගනුවර වන මෙක්සිකෝ සිටි යනු ලෝකයේ ජනාකීර්ණම නගරවලින් එකකි. එහි එක් කොටසක් වැසි ඇත්තේ ඉතා දුගී නගරවාසීන් සිටින මුඩුක්කුවලනි. ඒ පැල්පත්වාසින්ගේ කොටස වර්ග කිලෝ මීටර්ක් 64ක් වන අතර එහි මිලියන දෙකකට අධික ජනගහණයක් වාසය කරයි. ඒ ප්‍රදේශය අපරාධවලින් පිරී පවතී. ඒ අතර පොලීසිය අතිශය දූෂිතය. නගරයෙහි නීතිය හා සාමය පවත්වා ගැනීම යනු ඉතා දුෂ්කර කාර්යයකි. 2003 වර්ෂයේදී ඒ නගරයෙහි මහජන ආරක්ෂාව බාර ප්‍රධානියා සේ පත් වූයේ ඕර්හේ අමදෝර් නමැත්තාය. පොලීසියෙහි ප්‍රධානියෙකු වන වන පත් වූයේ මහජන ඡන්දයෙනි. ඔහු නියෝජනය කළේ වාමාංශික පක්ෂයක් වන ප්රජාතන්ත්රවාදී විප්ලවීය පක්ෂයයි.
අමදෝර් ඒ තනතුරට පත් වූ පසු ඔහුට අභියෝගයක් තිබිණි: 1200ක පමණ පොලිස් භටයන් නීතියේ හරි පැත්තේ තබා ගෙන දූෂණ වංචාවලින් මුදවා මහජනයා වෙත සහකම්පනීය සේවයක් සපයන අය බවට පත් කිරීම ඒ දැවැන්ත අභියෝගයයි. නීතිය පිළිබඳ අවබෝධයට අමතරව එහිලා ඔහු අලුත්ම උපකරණයක් භාවිත කළේය. ඒ වූකලි සාහිත්‍යයයි. මෙක්සිකෝ සිටීහි ඒ කොටසෙහි නගරාධිපතිවරයාද ඒ උපක්රමයට සහාය දක්වන්නට විය. නගරයෙහි ආරක්ෂාව භාර පොලිස් භටයන් හොඳ පුරවැසියන් බවට පත් කිරීමෙහිලා කළ යුතු දෙයක් සේ ඔහු දුටුවේද කියවීම පුරුදු කිරීමයි. මෙය කාගේත් මවිතයටද ආකර්ෂණයටද හේතු වූ දෙයක් විය. සෑම රටකම මෙන් මෙක්සිකෝවේද බන්ධනාගාරවල සිටින සිරකරුවන් හොඳ පාඨකයක් බවට පත් කරන්නට නොයෙක් වැඩසටහන් තිබේ. තෝරාගත් පොත් පිළිබඳ සාකච්ඡා පැවැත්වීම බන්ධනාගාරවල නිතර සිදු වේ. ලංකාවේද සිරගෙදර සිට නවකතා ලියූ දෙමළ ලේඛකයෙකු රාජ්‍ය සම්මානයට පවා පාත්‍ර වූ බව අපි දුටිමු. සිරගෙදර සිට තනිවම ජපන් බස උගෙන ජපානයේ සිට එන මහාචාර්යවරයෙකු සේ වෙස් ගන්නා සිරකරුවෙකු ගැන රතු ඉරි අඳින අත යනුවෙන් මා ලියූ නවකතාවේද එයි. සිරගෙදර සිට පොත් ලියන සිරකාර ලේඛකයා යනු අපට බෙහෙවින් හුරුපුරුදු චරිතයකි. එහෙත් පොත් කියවන, පොතපත ගැන සාකච්ඡා කරන පොලිස්කාරයා ගැන අපට නිතර අසන්නට නොලැබේ. මෙක්සිකෝ සිටි නම් නගරයෙන් ඇසෙන මේ පුවතෙහි ඇත්තේ ඒ දුර්ලභ කතාවයි.
ඒ නගරයේ පොලිස් භටයන්ට කියවීමට යෝජිත පොත් ලැයිස්තුවෙන් කීපයක් මෙසේය: සර්වන්තේස්ගේ දොන් කිහෝතේ, හුවාන් රුල්ෆෝගේ පේද්රෝ පරාමෝ, කාර්ලෝස් ෆුවෙන්තේස්ගේ ඕරා, ගේබ්‍රියෙල් ගාර්සියා මාර්කේස්ගේ වන් හන්ඩ්‍රඩ් යියර්ස් ඔෆ් සොලිටියුඩ්, සේන්ට් එක්සූපෙරිගේ ද ලිට්ස් ප්‍රින්ස්. මේ බොහෝ කෘති සිංහලටද නැගී තිබේ. ඊට අමතරව නොබෙල් ත්‍යාගලාභී මෙක්සිකානු කිවි ඔක්ටාවියෝ පාස්, ඇමරිකානු ලේඛක එඩ්ගා ඇලන් පෝ, ආතර් කොනන් ඩොයිල් ආදීන් ඒ පොලිසි භටයන් කියවිය යුතු ලේඛකයන් අතර වූහ.
පොලීසියට සාහිත්‍ය පරිශීලනය හුරු කිරීමෙන් ඔවුන් යහපත් පුරවැසියන් බවට පත් කළ හැකිය යන විශ්වාසය පිටුපසින් පවතින්නේ බටහිර සාහිත්‍ය ඉතිහාසය තුළ පවත්නා පැරණි අදහසකි. ඒ වූකලි සාහිත්‍යය කියවන අය වඩා හොඳ මනුෂ්‍යයන් බවට පත් වන්නේය යන්නයි. මෙය ලංකාවේද තරමක් ප්‍රචලිත විශ්වාසයකි. එහෙත් සාහිත්‍යය නිසා මනුෂ්‍යයන් යහපත් බවට පත් වන්නේය යන්න සරල සමීකරණයක් සේ ගැනීම බෙහෙවින් විවාදාත්මකය. සාහිත්‍යය සහ යහපත්භාවය අතර එවැනි ඒකරේඛීය සම්බන්ධයක් පවතී යැයි පිළිගැනීම අසීරුය. ජීවිතය සහ සමාජය පිළිබඳ යම් සංකීර්ණ අවබෝධයක් රසිකයා තුළ ඇති කිරීමේ විභාවතාව සාහිත්‍යය තුළ තිබෙන බව ඇත්තය. එහෙත් මිනිසා යහපත් කිරීමේ උපකරණයක් සේ සාහිත්‍යයට කළ හැකි කාර්ය ගැන ස්ථිරසාර විශ්වාසයක් තබා ගැනීමද අසීරුය. මෙවන් විවාද සාහිත්‍ය විචාර ක්ෂේත්රයෙහි පවතින නමුත් මෙක්සිකෝ සිටී පොලිස් ප්‍රධානියා කළ ඉහතා කාර්ය කුමක්දැයි පරීක්ෂා කිරීම වරදක් නොවේ.
ඒ නගරයේ පොලිස් ප්‍රධානියා විශ්වාස කළ ආකාරයට සාහිත්‍ය පරිශීලනය නිසා ආකාර තුනක වර්ධනයක් ඒ පොලිස් පාඨකයන් තුළ සිදුවේ.
1. කියවීම නිසා පොලිස් භටයන්ගේ භාෂා ශක්තිය වර්ධනය වේ. ඒ නිසා අපරාධකරුවන්ද ඇතුළු නගරවාසීන් සමග හොඳින් සන්නිවේදනය කිරීමේ හැකියාව ඇතිවේ.
2. කියවීම නිසා පොලිස් භටයන්ගේ අත්දැකීම් පරාසය වර්ධනය වේ. සෘජුව අත්දැකිය නොහැකි දේ සාහිත්‍යය ඔස්සේ වක්‍රාකාරව අත්දැකීමට ලැබීමෙන් වැඩෙන ජීවිත පරිඥානය පොලිස් සේවයට උපකාරී වේ.
3. එසේම සාහිත්‍යය නිසා පොලිස් නිලධාරීන්ට ආචාරධාර්මික වාසියක්ද අත්වේ. මෙක්සිකෝ සිටීහි පොලිස් ප්‍රධානියා දකින ආකාරයට පොලිස් සේවය යනු අනුන් වෙනුවෙන් තම ජීවිතය පරදුවට තබන්නට සිදු වන රැකියාවකි. හොඳ සාහිත්‍ය කෘති කියවීමෙන් ගැඹුරු ආචාරධාර්මික කැපවීමෙන් යුතු චරිත ගැන අවබෝධයක් ලැබේ. පොලිස් සේවයට බැඳෙද්දී ඒ භටයන් ප්‍රතිඥා දෙන සමහර වටිනාකම් වෙනුවෙන් කැපවීම පිණිස වඩා හොඳ ආචාර ධාර්මික තර්කන ශක්තියක්ද, වටිනා ආචාරධර්ම වෙත කැපවීමක්ද පොලිස් භටයා තුළ තිබිය යුතුය. මේ පසුබිම වර්ධනය කරන්නට සාහිත්‍යයට හැකියාවක් තිබේ.
මේ වූකලි අපටද අඩුවැඩි වශයෙන් එකඟ විය හැකි කරුණු තුනකි. මා මුලින් කී ලෙස මේ සියල්ල සාහිත්‍යය නිසා අනිවාර්යයෙන්ම ඇතිවෙතියි අනාවැකි කිව නොහැකි නමුත් මනුෂ්‍ය ආචාරධාර්මික තර්කන ශක්තිය වර්ධනය කරන එක් මෙවවලමක් සේ සාහිත්‍යය භාවිත වී ඇති බව නොරහසකි.
2006 වසර වන විට මේ නගරයේ පොලීසියට බැඳීමට අවුරුදු 9ක් පාසල් ගොස් තිබීම අනිවාර්ය වුවත්, වෘත්තිය තුළ හොඳින් ක්රිියාත්මක වීමට අවශ්‍ය ගැඹුරු සාක්ෂරතාවක් බොහෝ දෙනෙකුට නොමැති වීම විශාල ගැටලුවකි. ඒ වන විට පැවති දත්ත අනුව මෙක්සිකෝවේ සාමාන්‍ය පුරවැසියෙකු වසර කියවූයේ පොත් දෙකකි. එවැනි ජනගහණයකින් පොලිස් සේවයට බැඳෙන අයට මාසයකට එක් පොතක් කියවීම අනිවාර්ය කිරීම යනු බෙහෙවින් රැඩිකල් කාර්යයකි.
මේ නගරයේ පොලිස් භටයන්ට කියවීම හුරු කරන්නට යෑමේදී බාධක දෙකකට මුහුණ දෙන්නට සිදු විය. පළමු වැන්න කාලයයි. පොලිස් භටයන්ට පැය 24ක් සේවා මුරයක්ද ඉන් පසු රාජකාරිවලින් තොර පැය 24ක්ද වශයෙන් කාලය සංවිධානය වී තිබිණි. එක දිගට පැය 24ක් වැඩ කිරීමෙන් පසු කියවීමට කාලය සොයා ගැනීම දුෂ්කර විය. ඒ නිසා පොලිස් ප්‍රධානියා කළේ සේවා මුරය පැය 12කට අඩු කර රාජකාරිවලින් තොර පැය 24ක් ලැබෙන සේ සේවා මුර ක්‍රමය සංශෝධනය කිරීමයි.
එහෙත් තවත් බාධාවක් තිබිණි. ඒ ආර්ථික බාධයකයයි. සාමාන්‍යයෙන් ඒ නගරයේ පොලිස් භටයෙක් මසකට ඩොලර් 490ක් ඉපැයීය. එහෙත් පොත් අතිශය මිලාධිකය. ඒ නිසා පොලිස් ප්‍රධානියා කළේ පෞද්ගලික ධනවතුන්ගේ පරිත්‍යාගද ලබා සෑම පොලිස් ස්ථානයකම කුඩා පොත් ගුලක් ඇති කිරීමය. 2006 වර්ෂයේ මාර්තුවේදී මෙක්සිකෝ සිටී නගර සභාව පොලිස් භටයන් අතර නොමිලේ බෙදා දීමට ලෝ ප්‍රකට ලේඛකයන්ගේ කෙටිකතා ඇතුළත් පොතක් පළ කළේය. එලෙස නොමිලේ බෙදා දෙන පොත් 6ක් පළ කරන්නට සැලසුම් කෙරිණි.
දැඩි සාහිත්‍ය ලෝලියෙකු වන ඒ නගරයේ පොලිස් ප්‍රධානියා විශ්වාස කරන්නේ මනුෂ්‍යයන් යම් තරමකින් හෝ වෙනස් කිරීමේ හැකියාවක් සාහිත්‍යයට තිබෙන බවයි. ඔහු මෙසේ කීවේය: “ඒ පොලිස් භටයො කියවන්නෙ බයිබලේද කාම සූත්‍රයද කියන එක අදාළ නෑ. එයාල කියවන්න පටන්ගත්තට පස්සෙ යම් ආකාරයක හෝ දැනුම් වර්ධනයක් වෙනවා. සමහර පොලිස් භටයන්ට කියවීම කොච්චර අල්ලල ගිහින්ද කියනවා නම් එයාලා කියනව ලියන්නත් පටන් ගන්න ඕනෙ කියලා”
ඒ කියවීමේ ව්‍යාපෘතිය සාර්ථක වීද අසාර්ථක වීද යන්න වෙනම කතාවකි. බෙහෙවින් දූෂිත, අදක්ෂ, හා උද්යෝගයෙන් තොර පොලිස් භට පිරිසක් යැයි බොහෝ දෙනෙකු විසින් හඳුනා ගැනුණු පිරිසක් වෙනස් කිරීමට පොලිස් ප්‍රධානියා ගත් පියවර අතර කියවීමද වීය යන්න තුළ එක්තරා පණිවිඩයක් තිබේ. ඒ වූකලි මෙයයි: සාහිත්‍යය යනු සෘජු ප්‍රයෝජනයක් තිබුණත් නැතත් ශිෂ්ට මනුෂ්‍යයන් අතර පැවතිය යුතු කලාවකි. ඒ අතර ඇතැම් මනුෂ්‍යයන් අතර එය නොයෙක් අරමුණු සඳහා භාවිත වන්නටද පුළුවන. එවැනි ‘ප්‍රයෝජන’ නරක යැයි කිවහැකිද?
ලංකාවේ පොලිස් සේවය තුළ මෙවැනි පුස්තකාල වැඩසටහන් හෝ සාහිත්‍ය කියවන වැඩසසටහන් හෝ තිබෙන්නේදැයි මම නොදනිමි. එවැනි වැඩක් ආරම්භ කරන්නට වාමාංශික නැඹුරුවකින් යුක්ත, දැනඋගත් පොලිස් ප්‍රධානියෙකු මෙක්සිකෝවේ අගනුවරට අවශ්‍ය විය.
(පෙබරවාරි 5 වෙනි ඉරිදා අරුණ පුවත්පතේ පළ විය)
No comments:
Post a Comment