මහා ලේඛක ලියෝ ටොල්ස්ටෝයි රුසියානු විප්ලවයේ කැඩපත යැයි ලෙනින් කීවේය. මෙය ලංකාවේ ඉතා ජනප්‍රිය කියමනකි. විශ්වවිද්‍යාල ශිෂ්‍ය නායකයෝද මෙම වැකිය නිතර පුනරුච්චාරණය කරති. මාර්තු 24 වෙනිදා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේදී එක් ශිෂ්‍ය නායිකාවක් මෙම ප්‍රකාශය නැවත මතක් කළාය. ඇයට පසුව කතා කළ මම මෙවැන්නක් කීවෙමි: ටොල්ස්ටෝයි විප්ලවයේ කැඩපත වී යැයි ලෙනින් කළ ප්‍රකාශයේ සැබෑ අර්ථය බොහෝ දෙනෙකු වටහා ගෙන නැත. බෙහෙවින් පැරණි මෙම වැකියෙහි සැබෑ අර්ථය යළි සිහි කර ගැනීම අවශ්‍ය වෙයි. එසේ වන්නේ ඒ වැකිය ආ ලිපියෙහි ඇති සාහිත්‍ය විචාරාත්මක සාරවත්කමකටම නොවේ. ඒ වැකිය නැවත නැවත ඇසෙන නිසාය. ඇතැම් පරණ අදහස්වල සැබෑ අර්ථය පුනරුච්චාරණයේදී මග හැරී අතිසරල වන්නට පුළුවන. ඒ නිසා එවැනි අදහස් යළි යළි ඒවාගේ බර හා ගැඹුර රැකෙන සේ යළි සිහිපත් කිරීම ජනමාධ්‍යමය ලේඛනවලට පැවරෙන කාර්යක්ද වේ.
මේ රචනය ලෙනින්ගේ ‘කැඩපත ප්‍රවාදය’ සනිදර්ශනාත්මකව පැහැදිලි කිරීම උදෙසාය. මහාචාර්ය සුචරිත ගම්ලත් හා මහාචාර්ය පියසීලී විජේගුණසිංහ වැනි අය ලෙනින් අදහස් කළේ කුමක්ද යන්න කලෙකට ඉහත පැහැදිලි කළ බව මතකයක් තිබේ. ඒ ඒ කොයි කොයි ලේඛනවලද යන්න මේ ලියන මොහොතේ මට සෙයා ගත නොහැකිය. ඒ නිසා Lenin on Literature and Art කෘතියෙහි සංග්‍රහ වන ලෙනින්ගේ ලිපිය වෙතම යමින් මෙම රචනය කරමි.
“ටොල්ස්ටෝයි රුසියානු විප්ලවයේ කැඩපත ලෙස” යනුවෙන් නම් කළ ලෙනින්ගේ කෙටි ලිපිය පළ වූයේ 1908 වර්ෂයේදීය. ඒ ටොල්ස්ටෝයිගේ මරණයට දෙවසරකට පෙරය. එය පළ වූයේ ‘නිර්ධන’ අර්ථය ඇති ප්‍රොලෙටරි නම් දේශපාලනික සඟරාවේය. ඒ නිසාම දෝ ලෙනින් ලිපිය ආරම්භ කරන්නේම සමාවාචී වැකියකිනි. ‘ටෝල්ස්ටෝයි නම් ශ්‍රේෂ්ඨ කලාකරුවා රුසියානු විප්ලවය සමග අනන්‍ය කිරීම බැලූ බැල්මට අද්භූත සේම කෘත්‍රිම දෙයක්’ සේ පෙනෙනු ඇතැයි ලෙනින් කීවේ ඒ මහා ලේඛකයා ‘රුසියානු විප්ලවය වටහා ගන්නට අසමත් වූ නිසාත් විප්ලවයෙන් දුරස්ථව සිටි’ නිසාත්ය.
එහි ඇත්තක් තිබේ. සිය ජීවිතයේ අග දශකයේදී නැගී ආ බොල්ශෙවික් විප්ලවීය දේශපාලන කටයුතු ගැන ටොල්ස්ටෝයි බැලුවේ සැකයෙනි. “දේවල් නිවැරදිව ප්‍රක්ශේපණය නොකරන දර්පණයකට දර්පණයක් යැයි කීම දුෂ්කරය”යිද ලෙනින් ලිපියේ දෙවෙනි වැකියෙහි ලිව්වේය. රුසියානු විප්ලවය බෙහෙවින් සංකීර්ණ වූ දෙයක් නිසා ඒ විප්ලවීය දේශපාලන කටයුතුවලට සෘජුව සභාගි වූ අය පවා විප්ලවය යන්න සම්පූර්ණයෙන් අවබෝධ කර නොගත් බව කියන ලෙනින්, මෙවැන්නක්ද එක් කරයි: එසේ නමුත් ශ්‍රේෂ්ඨ කලාකරුවෙකුගේ කෘතිවලින් විප්ලවයෙහි ඇතැම් අත්‍යවශ්‍ය අංගවත් පිළිබිඹු කර තිබෙන්නට ඉඩ ඇත.
ලෙනින් එම ලිපිය ලිව්වේ ටොල්ස්ටෝයිගේ 80 වෙනි උපන් දිනය වෙනුවෙන් නිර්ධන පාන්තික විප්ලවයෙහි දෘෂ්ටිකෝණයෙන් ඔහුගේ සාහිත්‍ය කෘති අගය කරනු පිණිසය. ඒ වසරේ රුසියානු ආණ්ඩුවෙන්ද නොයෙක් ටොල්ස්ටෝයි සමරු ලිපි පළ කෙරිණි. එහෙත් ඒ වූ කලි සාර් ආණ්ඩුව ටොල්ස්ටෝයිට නොයෙක් කරදර කළ කාලයකි. එවන් ආණ්ඩුවක් හදිසියේම මහා ලේඛකයාගේ අසූ වෙනි උපන් දිනය දා ඔහු අගය කරන්නට පටන්ගෙන ඇත්තේ එම ලේඛකයාට රුසියානු ආණ්ඩුව සලකන ආකාරය මුළු ලෝකයක්ම බලා සිටින නිසා යැයි ලෙනින් කියයි. ඔහු දුටු හැටියට එය ව්‍යාජ ගරු කිරීමකි. එය ඇත්තය. ටොල්ස්ටෝයිගේ ජීවිතයෙහි අවසාන දශකයෙහි පමණ ඔහු හා රුසියානු ආණ්ඩුව අතර ගැටුම මවිසින් පරිවර්තනය කරන ලද මහා පුරුෂයෙකුට බිරිඳක්ව පොතේද මැනවින් විස්තර වේ.
අපි ලෙනින් වෙත යමු: රුසියානු ආණ්ඩුව පමණක් නොව වෙනත් ලිබරල්වාදී බලවේගද ටෝලස්ටෝයි අගය කරන්නේ බොරුවට බව ඔහු තර්ක කරයි. රුසියාවේ එවකට පැවති සමාජ පර්යාය පිළිබඳ ටොල්ස්ටෝයි ගොඩ නැගූ තියුණු විචාරය සමග ලිබරල්වාදීන් එකඟ නැත. එහෙත් ඔවුන් හදිසියේම ටොල්ස්ටෝයි අගය කරන්නේ එමගින් ලැබෙන දේශපාලන ප්‍රාග්ධනය හෙවත් දේශපාලන වාසි නිසාය.
මෙලෙසින් රුසියානු ආණ්ඩුවත්, එවකට රුසියාවේ ජනප්‍රිය විපක්ෂයක් වූ ලිබරල්වාදීනුත් අසූ වෙනි සපුරන මහා ලේඛකයා අගය කිරීම ව්‍යාජයක් බව කියන ලෙනින් රුසියානු විප්ලවයේ දෘෂ්ටිකෝණයෙන් ඒ ලේඛකයාගේ කෘතිවල එන අර්ථවත් භාවය පැහැදිලි කරයි.
ඔහුගේ ඒ අගය කිරීමේදී ටොල්ස්ටෝයිගේ ජීවිතයෙහි හා දෘෂ්ටිවාදවල වූ ප්‍රතිවිරෝධතා ගණනාවක්ද පෙන්වා දෙයි. රුසියානු ජීවිතය පිළිබඳ අනුපම සාහිත්යික නිරූපණ කරමින් ලෝක සාහිත්‍යය වෙත ප්‍රථම පන්තියේ දායකත්වයක් දැක්වීමට ටොල්ස්ටෝයි සමත් වූ බව ලෙනින් පිළිගනියි. එහෙත් අනික් අතින් ටොල්ස්ටෝයි යනු ක්‍රිස්තුස් වහන්සේ නිසා පිස්සු වැටුණු ඉඩම් හිමි රදලයෙකියිද ලෙනින් කියයි. මාක්ස්වාදී ප්‍රවේශයක සිට බලන ලෙනින්ට ඒ මහා ලේඛකයා එසේ පෙනීම වරදක් නොවේ. ඉන් පසු ලෙනින් ටොල්ස්ටෝයිගේ නිර්මාංශ ආහාර ගැනීම වැනි දේ උපහාසයටද ලක් කරයි.
ඒ සියල්ල අතරම රුසියාවේ සිද්ධ වෙමින් පැවති ධනේශ්වර සූරා කෑම පිළිබඳ නිර්දය විචාරයක් සිය සාහිත්‍යයෙන් කළ ටොල්ස්ටෝයි රුසියානු ආණ්ඩුවේ කුරිරුකම්, රුසියානු අධිකරණ පද්ධතියේ සහ රාජ්‍ය පරිපාලන ආයතනවල විකටරූපීයත්වය, වැඩ කරන ජනයාගේ ජීවිතයෙහි සිදුව ඇති ඛාදනය හා ඔවුන්ගේ ඛේදජනක ජීවිත යනාදිය අනාවරණය කර ඇති බව ලෙනින් දකියි. ඒ සියල්ල අතරේම ටොල්ස්ටෝයිගේ ජීවිතයෙහි අවසාන භාගයෙහි දැකිය හැකි වූ ආගමිකවාදී ඉගැන්වීම් ඔහුගේ සාහිත්‍යයෙහි එන යථාර්ථවාදය සමග නොගැලපෙන බවද ලෙනින් පෙන්වා දෙයි. මෙයද විසිවෙනි සියවසේ මුලදී මාක්ස්වාදී දේශපාලනයෙහි යෙදුණු න්‍යායවාදී දේශපාලනඥයෙකුගෙන් එන සාධාරණ විවේචනයකි. ආගමිකත්වය ගැන ඊට වඩා සංකීර්ණ තේරුම් ගැනීමක් වමේ ව්‍යාපාරය තුළ වර්ධනය වූයේ ලෙනින්ගේ යුගයෙන් පසුවය.
ඒ නිසා යට කී ආකාරයේ ප්‍රතිවිරෝධතා ගණනාවක් සහිත කෙනෙකු වන ටොල්ස්ටෝයිට සමාජවාදය ඉලක්ක කරගත් ව්‍යාපාරයක් වන රුසියානු විප්ලවය වටහා ගත නොහැකි වීම පුදුමයක් නොවන බවද ලෙනින් පිළිගනියි.
ලංකාවේදී ඇතැම් ජනප්‍රිය වාමාංශික දේශපාලන ක්‍රියාධරයන් සාහිත්‍ය කලා ආදිය ගැන කතා කරද්දී පරමාදර්ශී සමාජවාදී ලේඛකයන් සේ ගන්නේ මැක්සිම් ගෝර්කි වැනි අයයි. ලෙනින්ද ගෝර්කි ගැන විශේෂයෙන් ලියා තිබේ. ඒ ගැන අපට අන් රචනයකදී කතා කළ හැකිය. ටොල්ස්ටෝයි රුසියානු විප්ලවයේ කැඩපත ලෙස තෝරාගෙන විස්තර කරමින් ලෙනින් දෙන ආදර්ශය ගෝර්කිගේ අම්මා කෘතිය හෝ අයිමාතව්ගේ ගුරු ගීතය හෝ ‘විප්ලවීය’ සාහිත්‍ය කෘති සේ සලකන අප රට දේශපාලන ක්‍රියාධරයන්ගේ අවධානයට ලක් විය යුතුය. ‘ටොල්ස්ටෝයි විප්ලවයේ කැඩපත’ වී යැයි කටට එන්නක් කියන්නාක් මෙන් පුනරුච්චාරණය කරන ශිෂ්‍ය නායකයින්ගේ අවධානයද අර ලෙනින්ගේ ආදර්ශය වෙත යොමු වීම උචිතය.
අපි නැවතත් ලෙනින් වෙත යමු: ටොල්ස්ටෝයිගේ ජීවිතයෙහි හා දෘෂ්ටියෙහි එන ප්‍රතිවිරෝධතා හුදෙක් ඔහුගේ ඒකපුද්ගල ප්‍රතිවිරෝධතා නොව 19 වෙනි සියවසේ අග කාර්තුවෙහි රුසියානු සමාජයෙහි ඇති වූ ප්‍රතිවිරෝධතාද වන බව ලෙනින් පිළිගනියි. පිතෘමූලික ස්වභාවයක් ගත් රුසියානු ගම්බද ප්‍රදේශ ප්‍රවේණිදාස ක්‍රමයෙන් මිදී තිබුණේ ඒ ආසන්න කාලයකය. ශතවර්ෂ ගණනක් පැවති ක්‍රමයක් වෙනස් වී ධනේශ්වර ක්‍රමය වේගයෙන් වර්ධනය වෙමින් පැවතියේය. ඒ නිසා ගම්බද ගොවීන්ගේ සාම්ප්‍රාදායික ජීවිතය සුන්බුන්ව තිබිණි. ටොල්ස්ටෝයි ඒ රුසියානු ජීවිතය සාහිත්‍යයට හසු කරගත්තේය. ඒ නිසා ටොල්ස්ටෝයිගේ කෘති අගය කළ යුත්තේ නිර්ධන පන්ති ව්‍යාපාරයේ දෘෂ්ටිකෝණයෙන් නොව ඒ කෘති ධනේශ්වරයේ නැග්ම කෙරෙහි දැක්වූ විරෝධයෙහි දෘෂ්ටිකෝණයෙන් බව ලෙනින් තර්ක කරයි. ප්‍රවේණි දාස ක්‍රමයක සිට ධනේශ්වර ක්‍රමයක් කරා පරිවර්තනය වෙමින් පැවති රුසියාවේ ගම්බද ගොවියාගේ ප්‍රතිවිරෝධතා ටොල්ස්ටෝයිගේ කෘතිවලට හසු වන බව ලෙනින් දැක්කේය. ටොල්ස්ටෝයි රුසියානු විප්ලවයේ කැඩපත සේ ලෙනින් දැක්කේ එම පිළිබිඹු කිරීම නිසාය.
සැබැවින්ම අප නැවතත් ලෙනින්ගේ ලිපියෙහි මාතෘකාව වෙත යාම උචිතය. එහි කියවෙන හැටියට රුසියානු විප්ලවයෙහි කැඩපත සේ ගැනෙන්නේ යුද්ධය හා සාමය හෝ ඇනා කැරනිනා වැනි ටොල්ස්ටෝයිගේ සාහිත්‍ය කෘති නොවේ. ටොල්ස්ටෝයි නමැති ලේඛකයා හා චින්තකයා තුළ ලෙනින් දකින දීප්තිමත් සාහිත්යික නිරූපණ සේම ඔහුගේ විවාදාත්මක ආගමික අදහස් ආදී සමස්තයම විප්ලවීය රුසියාව පිළිබිඹු කරන බව ලිපියෙහි කියවේ.
ලෙනින්ට ටොල්ස්ටෝයි විප්ලවයේ කැඩපත සේ පෙනෙන්නේ එක්තරා උත්ප්‍රාසාත්මක අර්ථයකින්ද යුතුවය.
ජනප්‍රිය දේශපාලන ව්‍යාපාර තමන් හා සම්බන්ධතා පවත්වන සාහිත්‍යකරුවන් හා කලාකරුවන් වැනි අය ප්‍රදර්ශනය කරමින් දේශපාලන වාසි අත්කර ගැනීමට තැත් කරනු අදත් දැකිය හැකිය. එහෙත් ලෙනින් ‘කැඩපත’ සේ අගය කළ මහා ලේඛකයා එවැන්නෙක් නොවේ. සමාජයක ජීවත් වන සාහිත්‍යකරුවන් හා බුද්ධිමතුන් වැනි අය ගැන එවැනි වටහා ගැනීමක් දේශපාලන නායකයන්ට තිබීම උචිතය. අපේ දේශපාලන ව්‍යාපාරවල අය කරන කතාබහවලදී ‘තමන් සමග නැති’ කලාකරුවන්ගේ කෘති හෝ අදහස් ලෙනින් උක්ත ලිපියෙහි අගය කරන්නාක් සේ අගය කිරීම දක්නට ලැබෙන්නේ කලාතුරකිනි. ඒ අර්ථයෙන් ලෙනින්ගෙන් උගත හැකි දේ බොහෝය.
ලෙනින් ටොල්ස්ටෝයි ගැන ලිව්වේ අර ප්‍රකට ලිපිය පමණක් නොවේ. තවත් ලිපි කිහිපයක්ම ලිව්වේය. ටොල්ස්ටෝයිගේ මරණය සිදු වූ 1910 වර්ෂයේදී ඒ මරණය අළලා ලියූ පිටු පහක ලිපියද ඒ අතර වේ. ‘විප්ලවයේ කැඩපත’ යන සංකල්පරූපය ඒ ලිපියේදී භාවිත නොකරතත් ඔහු එහිදී කරන්නේද ඒ ශ්‍රේෂ්ඨ ලේඛකයා විප්ලවයක් පිළිබිඹු කරන්නේ කෙසේද යන්නම බව පෙනේ. එහිදීද ඔහු පෙන්වා දුන්නේ පූර්ව විප්ලවීය රුසියාවේ ප්‍රවේණි දාස ක්‍රමයක් තුළත්, ඉන් පසු ධනේශ්වර ක්‍රමයක් තුළත් ජීවත් වූ රුසියානු ගම්බද ගොවීන්ගේ ජීවිතය ටොල්ස්ටෝයිගේ සාහිත්‍ය කෘති මගින් නිරූපණය වන බවයි. ‘පූර්ව විප්ලවීය රුසියාවට අදාළ විශාල ගැටලු ගණනාවක් මතු කරමින් ලෝක සාහිත්‍යයෙහි ඉහළම ස්ථානයකට නගින්නටත් ටොල්ස්ටෝයි සමත් වූ’ බව ලෙනින් එහිදී පෙන්වා දෙයි. ’ප්‍රවේණිදාසයන්ද අයිති ධනවත් ඉඩම් හිමියන්ගේ සපත්තුවට පෑගී තිබුණු රටක් විප්ලවයක සූදානම් වූ යුගය ටොල්ස්ටෝයිගේ විශිෂ්ට නිරූපණය නිසා සමස්ත මනුෂ්‍ය වර්ගයාගේම කලාත්මක වර්ධනයේ පියවරක් බවට පත් වූ’ බවටද ඔහු තර්ක කරයි.
එය ඒත්තු යන තර්කයකි. ටොල්ස්ටෝයිගේ කෘති හුදෙක් ඒ සංකීර්ණ යුගය නිරූපණයක් පමණක් නොව එවන් සංකීර්ණ යුගයක් පිළිබඳ සාහිත්යික චිත්‍රණයක් කරන ආකාරය පිළිබඳ කලාත්මක ආදර්ශයක්ද වේ. නවකතා ලියන හැටි ඉගෙනීමටද ටොල්ස්ටෝයිගේ කෘති කියවීම අවශ්‍ය වන්නේ ඒ නිසාය.
මේ දෙවෙනි ලිපියෙහි ලෙනින් කරන සඳහනක් අපගේ අවධානයට ලක් විය යුතුය. 1910 වන විට ටොල්ස්ටෝයි නම් කලාකරුවා ගැන දැන සිටියේ රුසියානු ජනතාවගෙන් ඉතාම සුළු පිරිසකි. ඊට හේතුව සාක්ෂරතාව, අධ්‍යාපනය, සාහිත්‍ය කලා රුචිය ඉතා සුළු පිරිසකගේ වරප්‍රසාදයක් වීමය. ඒ නිසා ඔහුගේ ශ්‍රේෂ්ඨ සාහිත්‍ය කෘති සියලු දෙනාගේ උරුමයක් බවට පත් කිරීමට නම් මිලියන ගණන් ජනයා නොදැන්ම, අඥානකම, අප්‍රබුද්ධත්වය, දුෂ්කර ශ්‍රම වැගිරීම් හා දුගීභාවය කරා තල්ලු කළ සමාජ ක්‍රමයට එරෙහිව අරගල කොට සමාජවාදය සාක්ෂාත් කරගත යුතු යැයි ලෙනින් පෙන්වා දෙයි. එය විප්ලවයේ ප්‍රධාන කාර්යයකි. ගුරු ගීතය වැනි නවකතාවක එන්නේ විප්ලවයෙන් පසු ගම්දනව් කරා අධ්‍යාපනය පැතිරවීමට දැරුණු ප්‍රයත්නයයි.
ටොල්ස්ටෝයි වැනි ශ්‍රේෂ්ඨ ලේඛකයන්ගේ කෘතිවල ගැඹුර හා රසය හොඳින් වටහා ගත හැකි තත්ත්වයට සමාජයක බහුතර දෙනා පත් කිරීම හුදෙක් රාජ්‍ය බලය ලබා ගැනීම ඉක්මවන කාර්යක් වේ. එවැනි බුද්ධිමය වශයෙන්ද භාවමය වශයෙන්ද බෙහෙවින් පොහොසත් එවැනි ජීවිතයක් පිළිබඳ කතිකාව අප වෙතද උරුම කර ගැනීමට දිරි දීම මෙවැනි රචනාවල අරමුණද වේ.
(අප්‍රේල් 2 වන දා අරුණ පුවත්පතේ පළ වූවකි)
No comments:
Post a Comment