Friday, June 16, 2023

කෙටිකතා කලාවට යා හැකි මං හා යා හැකි දුර: ඔයේට්ස්ගේ කතා ඇසුරින් -ලියනගේ අමරකීර්ති (Liyanage Amarakeerthi)

  

  



ජොයිස් කැරල් ඔයේට්ස් ( Joyce Carol Oates) යනු ඇමරිකානු ලේඛිකාවකි. ඇගේ නම ඕට්ස් යනුවෙන්ද උච්චාරණය වේ.)— 1938 දී උපන් ඇය මේ වන විට ඇමරිකාවේ ඇති සාහිත්‍ය සම්මාන ගණනාවක් කිහිප වරක් දිනා තිබේ. පොත් එක සිය විස්සක් පමණ ලියා ඇති ඇයගේ සැබෑ පොත් ගණන හරියටම කිව නොහැක්කේ ඇය නිරන්තරයෙන් ලියන ලේඛිකාවක බැවිනි. එය කෙතරම්ද වරක් නිව්යෝර්ක් ටයිම් පුවත්පත කීවේ ඔයේට්ස් යනු ‘ඵලදායිකත්ව’ යන්නට සමාන වචනයක් බවය. ඇය අද ලෝක කෙටිකතාවේ ප්‍රධාන ලේඛිකාවක සේ සැලකේ. කෙටිකතා සංග්‍රහයන් හතලිස් අටක්(48) වත් පළ කොට ඇති ඇය ගැන මා දන්නේද මූලික වශයෙන් කෙටිකතා රචිකාවියක ලෙසය. ඒ ඇතැම් කෙටිකතා සංග්‍රහයන්හි කලින් පොත්වල පළ වූ කතාද ඇතුළත් වන නිසා ඒ පොත් හතලිස් අටෙහිම අලුත්ම කතා ඇතැයි කිව නොහැකිය. කෙසේ වෙතත් ඇය ලෝකයේම සිටින ලේඛක ලේඛිකාවන් අතර වැඩියෙන්ම කෙටිකතා ලියූ කෙනෙක වන්නට පුළුවන. අප රට සිටින ලේඛක ලේඛිකාවන් අතරින් තවමත් කෙටිකතා සංග්‍රහයන් දහය ඉක්මවා ලියා ඇත්තේ සරත් විජේසූරිය, ජයතිලක කම්මැල්ලවීර හා එරික් ඉලයප්ආරච්චි පමණක් විය හැකිය. 

    නිව්යෝර්ක් ප්‍රාන්තයේ සිරකියුස් විශ්වවිද්‍යාලයට ශිෂ්‍යත්ව ලාභිනියක සේ ඇතුළත් වී ප්‍රථම උපාධිය හදාළ ඔයේට්ස් විස්කොන්සින් විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධිය ලබා ගත්තාය. එය මාද පශ්චාත් උපාධි දෙකක් හදාළ විශ්වවිද්‍යාලය නිසා ඔයේට්ස් කෙරෙහි දූරස්ථ පෞද්ගලික සම්බන්ධයක්ද තිබේ. ප්‍රථම උපාධි ශිෂ්‍යාවක සමයෙහිම ලේඛනය ඇරඹි ඇය ප්‍රධාන ලේඛිකාවක වූ පසු නොයෙක් විශ්වවිද්‍යාලවල ආරාධිත මහාචාර්යධුර දැරුවාය. ඇය වැනි ප්‍රවීණත්වයට පත් වූ ලේඛක ලේඛිකාවන්ට විශ්වවිද්‍යාලවල මානව ශාස්ත්‍ර පාඨමාලාවල පූර්ණ කාලීන ආරාධිත මහාචාර්යධුර පිරිනැමීම ඇමරිකාවේ විශ්වවිද්‍යාලවල සිරිතකි. අදත් එවන් ලේඛක ලේඛිකාවෝ බොහෝ දෙනෙක් විශ්වවිද්‍යාලවල උගන්වති. ඔවුන් ඇසුරින්, සංවාදයෙන් ශිෂ්‍ය ශිෂ්‍යාවෝ අධ්‍යාපනය ලබති. නොයෙක් ආකාරවලින් දායක වෙමින් තම ක්ෂේත්‍රයෙහි දැනුම ගොඩ නගන ප්‍රවීණ ලේඛකයන් වී සිටින ආරියවංශ රණවීර, අජිත් තිලකසේන, එරික් ඉලයප්ආරච්චි, රත්නශ්‍රී විජේසිංහ, සුනිල් විජේසිරිවර්ධන, චූලානන්ද සමරනායක යනාදීන් පමණක් නොව දැනට අප අතර නැති මාර්ටින් වික්‍රමසිංහ, කුමාරතුංග මුණිදාස, දයානන්ද ගුණවර්ධන, සුගතපාලද සිල්වා, තිස්ස අබේසේකර, ජයලත් මනෝරත්න වැනි අයට එවැනි ආරාධිත මහාචාර්ය තනතුරු පිරිනමා හොඳ වැටුප් ගෙවන සම්ප්‍රදායක් අපටද තිබුණේ නම් අප ශිෂ්‍යයන්ට වඩා සාකල්‍යවත් අධ්‍යාපනයක් හෝ ජීවිතයට ආනුභාවයක් ලැබෙන්නට ඉඩ තිබිණි. ඔවුන් විශාල ‘දැනුමක් ගොඩ නැගුවේ’ නැතත් තරුණ ශිෂ්‍ය පිරිසකට ආනුභාවය සපයන්නට ඔවුන්ට පුළුවන. එමගින් සාහිත්‍ය කලා ගැන විවිධ මතවාදවල හා ස්ථාවරවලට අනාවරණය වීමටද ශිෂ්‍යයන්ට අවස්ථාව ලැබේ. ඒ ගත කරන කාලය තුළ ඒ ආරාධිතයන්ටද විශ්වවිද්‍යාල පුස්තකාලය පරිහරණය කර තවදුරටත් අධ්‍යාපනය ලබන්නට අවස්ථාව තිබේ.

  ඉහත දැක්වූයේ අහඹු ලෙස ගත් නම් කිහිපයක් පමණි. එවැනි අයට පිදෙන තනතුරු මාස කිහිපයක සිට අවුරුදු කිහිපයක් දක්වා විහිදෙන පත්වීම් විය හැකිය. කිසිම ආනුභාවයක් ශිෂ්‍යයන්ට සැපයිය නොහැකි ඇතැම් ආචාර්යවරුන් සිටින විශ්වවිද්‍යාලවලටද, අධ්‍යයන අංශවලටද යම් වටිනාකමක් මෙමගින් ලැබිය හැකිය.

   ජොයිස් කැරල් ඔයේට්ස් දිගු කලක් මහාචාර්යවරියක සේ සේවය කළේ කීර්තිමත් උසස් අධ්‍යාපනය ආයතනයක් වන ප්‍රින්ස්ටන් විශ්වවිද්‍යාලයේය. ගණනාථ ඔබේසේකර හා රංජිනී ඔබේසේකර මහාචාර්ය යුවළ සේවය කළ විශ්වවිද්‍යාලයද එයයි. 

                                  අමුතුම තේමාවක් ගත් කෙටිකතා

  මෙම රචනය ඔයේට්ස්ගේ එක් කෙටිකතා පොතක් වටා ගෙතෙන්නකි. ඇගේ කෙටිකතා පොත් හතලිස් අටම මා කියවා නැති නිසා සමස්තයක් සේ ඇගේ කතා ගැන යමක් ලියන්නට මට හැකියාවක්ද නැත. මා ඔයේට්ස්ගේ මේ පොත කේන්ද්‍රකරගන්නේ කෙටිකතා කලාවෙන් කළ හැකි දේ මොන තරම්දැයි ඒ පොතෙන් පෙනෙන බැවිනි. වයිල්ඩ් නයිට්ස් (  Wild Nights) නමින් හැඳින්වෙන ඒ පොතෙහි කතා පහක් අඩංගු වේ. වර්තමානයෙහි බොහෝ සිංහල කෙටිකතා පිටු දහයට අඩු ‘කතා පතුරු’ බවට පත් වී ඇති තත්ත්වයක් පෙනී යතත් මේ පොතේ සෑම කතාවක්ම පිටු තිහ ඉක්මවා සිටියි. විශේෂත්වය එය නොවේ. මේ කතා පහටම අයත් වන්නේ ප්‍රකට ඇමරිකානු ලේඛකයන් සිව් දෙනෙකුගේ හා කිවිඳියකගේ ජීවිතවල අවසන් දවස් හෝ තීරණාත්මක දවස්ය. එඩ්ගා ඇලන් පෝ, මාර්ක් ට්වේන්, හෙන්රි ජේම්ස්, එමිලි ඩිකින්සන්, සහ අර්නස්ට් හෙමිංවේ ඒ අය වෙති. ඔයේට්ස් මේ පස් දෙනාගේම මරණය සිදු වූ දවස වෙත පරිකල්පනයෙන් ගොස් ඒ මරණය පමණක් නොව ඒ මරණය තෙක් ඔවුන්ගේ ජීවිතය ගැන ආවර්ජනයක කතා පහක් නිමවයි. කෙටිකතාවෙන් මෙවන් දෙයක් කළ හැකි යැයි මේ පොත කියවන තෙක් මා දැන සිටියේද නැත. එවැනි කෙටිකතා මා සිංහලයෙන් කියවාද නැත. කෙටිකතා පොත් නමයක් ලියා ඇති මටද මෙවැන්නක් කෙටිකතාවෙන් කළ හැකියැයි සිතී තිබුණේද නැත. මේ රචනය ඔස්සේ එවන් කෙටිකතාද ඇති බව සිංහල පාඨක ලෝකයට කියන්නට සිතුවේ ඒ නිසාය.

   මෙවන් කතා ලියන්නට යම් ශාස්ත්‍රීය අධ්‍යාපන පසුබිමක් තිබිය යුතුය. ඒ ලේඛකයන් සිව් දෙනා හා කිවිඳිය ගැන පළව ඇති චරිතාපදානමය පොතපත හා තවත් කරුණු ගවේෂණය කරන්නට සිදු වන බැවිනි. ඒ පස් දෙනා ගැනම නොයෙක් ලේඛන ඇමරිකාවේ පළව ඇති නිසා එය දුෂ්කර කාර්යක්ද නොවේ. ඒ කරුණුමය දේවල් අත්පත් කරගත් පසු ඒ ඒ පුද්ගලයන්ගේ මූලික චරිත ස්වභාව ගැනද යම් පරිකල්පනයක යෙදෙන්නට ලේඛිකාවට සිදු වේ. ඔයේට්ස් එයද හොඳින් කරයි. ඊටත් වඩා අගනා වූද දුෂ්කර වූද කාර්යක් ඇය මේ පොතේදී සාර්ථක ලෙස ජයගනියි. ඒ වූකලි ඒ ඒ ලේඛකයාගේ ශෛලියද තමා වෙත ආරූඪ කර ගැනීමය. මෙම පොතෙහි කතාවලට විෂය වන එමිලි ඩිකින්සන් මූලික වශයෙන් කිවිඳියකි. ඇය ඒ තරමට ගද්‍ය ලියා නැත. එහෙත් ජොයිස් කැරල් ඔයේට්ස් ඒ කිවිඳියගේ කාව්‍ය ශෛලිය සිහිපත් වන ගද්‍ය ශෛලියක් ඒ කිවිඳියගේ ජීවිතයේ අවසන් දවස් ගැන ලියැවෙන කතාවට භාවිත කරයි. මේ වූකලි සැලකිය යුතු සාහිත්යික ප්‍රතිභා ශක්තියක්ද ලේඛන කුසලතාවක්ද අවශ්‍ය වන දෙයකි. 

  මා මේ රචනය සඳහා තෝරා ගන්නේ ඔයේට්ස්ගේ පොතෙන් එක කතාවක් පමණි. ඒ කතාව  

"Papa at Ketchum, 1961” නම් වේ. හෙමිංවේගේ ගැන තරමක් දන්නා අයට ‘පපා’ යන වචනය ඇසුණු විටම ඔහු සිහි වේ. ඒ ඔහු හැඳින්වුණු අන්වර්ථ නාමයක් වූ බැවිනි. බොහෝ තරුණ ඇමරිකානු ලේඛක ලේඛිකාවන්ට සේම ඔයේට්ස්ටද හෙමිංවේගේ බලපෑම ලැබිණි. 1950 කාලයේදී ඇය උසස් පාඨශාලාවේ උගන්නා සමයෙහි  සිටම හෙමිංවේගේ ආනුභාවයට ඇය ලක් විය. එය කෙතරම්ද ඇගේ පළමු කෙටිකතා සංග්‍රහය ලියන විට වැඩි සැරසිලිවලින් තොර හෙමිංවේගේ ශෛලිය අනුකරණය කරන්නට ඇය තැත් කළාය. හෙමිංවේගේ ඉතා තරුණ ලේඛකයෙකු සමයෙහිම තමන්ගේම වූ ශෛලියක් ගොඩ නගා ගත්තේය. කෙටි වැකිවලින්, අනවශ්‍ය විශේෂණවලින් තොර හෙමිංවේගේ වැකි ටිකක් කියන අතර හුඟක් ඇඟවේ. තම ගද්‍ය ශෛලිය මුහුදේ පාවෙන අයිස් පරයක් වැනි යැයි වරක් හෙමිංවේම කීවේය. ජලයෙන් ඉහළට පෙනෙනවාට වඩා විශාල කොටසක් ජලයෙන් යටවී තිබීම අයිස් බර්ග් හෙවත් අයිස් පරවල ස්වභාවයයි. හෙමිංවේගේ ශෛලියද එයයි. ඒ නිසා ඔහුගේ ප්‍රබන්ධ කෘති කියවන කල කියා ඇති දේ මෙන්ම නොකියා කියන දේ ගැනද අවධානයෙන් කියවන්නට අපට සිදු වේ. ඔහු මේ අත්හදා බැලීම් කළේ විසිවෙනි සියවස මුලදීය. එවිට ඔහුගේ වයසද අවුරුදු විසි ගණනකි. ඔහුගේ ශෛලියෙහි වන මේ විශේෂ ගුණය ගැන අවධානයෙන් ඔහුගේ කතා සිංහලට පරිවර්තනය වී තිබේද යන්න වෙනම සාකච්ඡා කළ යුතු කරුණකි. මවිසින් ලියන ලද කෙටිකතා කලාව (සරසවි 2018) පොතේ කරුණ නිදර්ශන සහිතව සාකච්ඡා කර තිබේ.

  ජොයිස් කැරල් ඔයේට්ස් ලේඛනයට පිවිසි 1950 ගණන් වන විට හෙමිංවේ ලෝ ප්‍රකට ලේඛකයෙකි. 1954 වර්ෂයේදී ඔහුට සාහිත්‍ය පිළිබඳ නොබෙල් ත්‍යාගයද ලැබිණි. “ඡ්ච් ්එ ණැඑජයමපල 1961” කතාවේදී ඔයේට්ස් මේ ලේඛකයාගේ අවසන් දවස් වෙත යන ප්‍රබන්ධමය ගමන අසිරිමත්ය.

   1961 වන විට හෙමිංවේ ධනවත් ලේඛකයෙක්ව සිටියේය. කතාව ආරම්භ වන්නේ මෙසේය: “ඔහුට මැරෙන්නට අවශ්‍ය විය. ඔහු තුවක්කුවට පතුරම් ඇතුළු කළේය. කාණු දෙකටම පතුරම් දැම්මේය. මෙය විහිළුවක් විය යුතු වූයෙන් ඔහු කානු දෙකටම පතුරම් දැම්මේය. ඔහු යනු හාස්‍ය පිළිබඳ හැඟීමක් තිබුණු මිනිසෙකි.”

  පළමු වැකිය කියවන විට මේ හෙමිංවේ ගැන කතාවක් බව සාහිත්‍ය ලෝකයේ පළපුරුදු කාටත් වැටහේ. අර්නස්ට් හෙමිංවේ වෙඩි තබාගෙන සිය දිවි නසා ගත්තේය. සිය නිකට යටින් තුවක්කු කට තබාගත් ඔහු පාදයේ මහපට ඇඟිල්ලෙන් කොකා ගැස්සුවේය. ඔහුගේ මොළය සුණුවිසුණු වී ගියේය. ඔහු මෙසේ වෙඩි තබා ගත්තේ ඇමරිකාවේ අයිඩහෝ ප්‍රාන්තයේ කෙචම් නගරය ආසන්නයෙන් ඔහු මිලදී ගෙන තිබුණු විශාල වත්තේ පිහිටි නිවසේදීය. ඒ වන විට ඔහු ඔහු ජීවත් වූයේ සිය සිව් වෙනි බිරිඳ සමගය. පිටු හතලිස් පහක් පමණ වන මේ කතාවට හසුවන්නේ ඔහු දිවි නසාගත් ඒ අවසන් දවස පමණක් වුවත් ඔහුගේ සමස්ත ජීවිතය පිළිබඳ ජොයිස් කැරල් ඔයේට්ස් කරන සාරාංශමය ඉදිරිපත් කිරීම කතාව පුරා විසිර ඇත. ඒ ශ්‍රේෂ්ඨ ලේඛකයාගේ ජීවිතය පිළිබඳ ඇය හෙළන දෘෂ්ටිය කතාව පුරා විසිර තිබේ. එක් අතකින් ඇය හෙමිංවේ චරිතය දෙස බලන්නේ සහවේදනයෙන් යුක්තවය. සිය මව සමග හෙමිංවේට පැවතියේ සංකීර්ණ සම්බන්ධයකි. සිය දුෂ්කර ළමා කාලය හේතුවෙන් ඔහු සිය මව අප්‍රිය කළේය. සිය මව ඔස්සේ ස්ත්‍රීන් සම්බන්ධයෙන් හෙමිංවේ වගා කරගත් සංකීර්ණ සම්බන්ධය ගැහැනුන්ට ආසා කරන අතරම ඔවුන්ට වෛර කරනසුලු එකකි. එය නිසි ලෙස නිර්වචනය කිරීම පහමු නැත. ප්‍රේම සම්බන්ධතා ගණනාවක් හා විවාහයන් හතරක් ඔස්සේ ඔහු පැවැත්වූ ස්ත්‍රී සම්බන්ධතා සියල්ලම මත අම්මා සමග පැවති සංකීර්ණ සම්බන්ධයේ හෙවනැල්ල වැටී තිබේ. මේ වූකලි හෙමිංවේ චරිතය තේරුම් ගැනීම ඔයේට්ස් මේ කතාවේදී ගන්නා එක් ප්‍රවේශයකි. 

  එසේම සිය ජීවිතයේ අවසාන කාලයේදී ලිවීමේ අපහසුවකින්ද ඔහු පෙළුණේය. එය එක්තරා ලේඛන අඩස්සියකි. අවශ්‍ය තරමට දේවල් නොලියවෙන බවක් ඔහුට දැනුණේය. මෙයද ඔහුගේ සිතට වධ දුන් කාරණයකි. බෙහෙවින් ක්‍රියාශීලී වූද වික්‍රමාන්විත වූද තරුණ ජීවිතයක් ගත කළ ඔහුට මේ වන විට නොයෙක් ලෙඩ රෝගද තිබුණේය. ඔහුගේ නීතිඥයෝද පොත් ප්‍රකාශකයෝද ඔහු රවට්ටන දේ කළහ. පොත් ප්‍රකාශකයෝ ඔහුගේ කර්තෘභාග වංචා කළහ. 

   ඒ වන විටත් නොබෙල් ත්‍යාගය දිනා සිටියත් හෙමිංවේ විශ්වාස කළේ ඔහුගේ ගැඹුරුම ලේඛන තවමත් පැමිණ නැති බවයි. මනුෂ්‍ය අභ්‍යන්තරය තවත් ගැඹුරින් ගවේෂණය කරන්නට ඔහුට අවශ්‍ය විය. ඉතා විශාල ධනවතුන්ට පමණක් හිමි කර ගත හැකි ඒ විශාල වත්තේ පිහිටි විශාල නිවසේ ඔහු වාසය කළේ හුදෙකලාවේය. ජනමාධ්‍යවේදීන් හා හෙමිංවේ ගැන තොරතුරු හොයන්නන් ඔහුගේ පිළිකුලට ලක් විය. හෙමිංවේ කොමියුනිස්ට්කරයෙකියි විශ්වාස කළ එෆ්බීඅයි ඔත්තුකරුවෝද නිරන්තරයෙන් ඔහු පසු පස ආහ. එයද ඔහුට හිසරදයක් විය. ඔහුගේ සිව්වැනි බිරිඳ (මේ කතාවේදී ඇය හැඳින්වෙන්නේ ‘ගෑනි’ යනුවෙන් පමණි) එෆ්බීඅයි ඒජන්තයින්ට නිවසට පැමිණ ඔහුගේ ටෙලිෆෝන් ටැප් කරන්නට ඉඩදී තිබිණි. මෙය හෙමිංවේගේ හිතළුවක්ද සැබෑ සිද්ධියක්ද යන්න ලේඛිකාව අපට නොකියයි. ඒ සිව්වෙනි බිරිඳ ෆිදෙල් කැස්ත්‍රෝගේ පරණ පෙම්වතියකව සිටි බැවින් ඇයට තවමත් කැස්ත්‍රෝ සමග සම්බන්ධතා ඇතැයි හෙමිංවේ සැක කරයි. කියුබන් විප්ලවය සිදු වන විට කියුබාවේ විසූ හෙමිංවේ එරටින් පලවා හැර ඔහුගේ දේපොළ රජයට පවරා ගත්තේ කැස්ත්‍රෝය. ඒ කැස්ත්‍රෝ සමග තවමත් තම බිරිඳ සම්බන්ධකම් පවත්වතියි යන සැකය හෙමිංවේ තුළ තිබේ. මේ වූකලි ජොයිස් කැරල් ඔයේට්ස් සිය කතාවේදී ගොඩනගන හෙමිංවේය. ඒ පරිකල්පිත හෙමිංවේ කෙනෙකි. සත්‍යයක ඡායාවක් එහි තිබිය හැකිය.

   1918 තරම් ඈත කාලයේදී එනම් වයස අවුරුදු 19යේදී ඇම්බියුලන්ස් රියදුරකු සේ ඔස්ටි්‍රයානු යුද්ධයේදී සේවය කරද්දී ඔහුට පළමු වරට බරපතළ ලෙස තුවාල විය. පසු කලෙක යුද වාර්තාකරුවෙකු ලෙස සේවය කරද්දීත් නොයෙක් අනතුරුවලට ලක් විය. ශරීරයට සිදු වූ ඒ හානිවල ප්‍රතිඵල හෙමිංවේට දැනෙන්නට වූයේ දැන්ය. එනම් 1961 වර්ෂයේදී. ඔහුගේ හැට දෙවෙනි උපන්දිනයද ළඟ ළඟ ආවේය.

  ඔහු වෙඩි තබාගෙන මිය ගියේය. 

  ජොයිස් කැරල් ඔයේට්ස් මේ කෙටිකතාව ගොඩ නගන්නේ හෙමිංවේගේ ජීවිත කතාවෙහි එන එක් කුඩා තැනක් විශාලනය කරමිනි. ඔහුගේ ස්ත්‍රී ලෝලයද ඔහු ස්ත්‍රීන්ට සැලකූ ආකාරයද ගැන යම් විචාරයක්ද මේ කතාවේ තිබේ.

   මේ පොතෙහි එන අනෙක් කතා හතරත් අඩු වැඩි වශයෙන් මෙවැනිය. ඒ කතාවලදීද අදාළ ලේඛකයාගේ හෝ කිවිඳියගේ චරිත වෙත ආවේශ වීමේ ප්‍රයත්නයක් ඔයේට්ස් විසින් දැරේ. අප මෙහි සාකච්ඡා කළ කතාවේදී හෙමිංවේ ශෛලියම අනුගමනය කරමින් ලියන හැටි අපූරුය. ලේඛන කලාව උගන්නා තරුණ අයට කළ හැකි අභ්‍යාසයක් මේ පොතෙන් ඉඟි කෙරේ. උදාහරණයක් මෙසේය: මාර්ටින් වික්‍රමසිංහගේ හෝ ජීබී සේනානායකගේ ජීවිතයේ එක දවසක් ඇසුරින් ප්‍රබන්ධ කථාවක් ඔවුන්ගේ ශෛලියෙන්ම ලිව්වොත් කොහොමද? 

  ඇමරිකාවේදී ජොයිස් කැරල් ඔයේට්ස්ට අපට නැති නිදහසක් තිබේ. අර පස් දෙනාගේ පවුල්වල කවුරුවත් ඔයේට්ස්ට එරෙහිව නඩුමගට බැස නැත. 

     (2018 ජුනි 18 වෙනිදා අරුණ පුවත්පතට ලියූ ලිපියකි)


   


   


1 comment:

  1. ජීබී සේනානයක අවසන් කාලය ගත කළ ප්‍රදේශයේ ජීවත් වූ අයෙකු මා දන්නවා. ඔහු සාහිත්‍යකරණයේ නොයෙදුණත් (සිනමා) විචාරකයෙක්. ඔහුට මේ ලිපිය ගැන මතක් කළ යුතුයි.

    ReplyDelete