සාහිත්‍ය උත්සව සමය පැමිණෙමින් තිබේ. මහනුවර පොත් සල්පිල ජූනි 26 වෙනිදා ආරම්භ විය. ඇතැම් සම්මාන තරගවල ලැයිස්තු නිවේදනය විය. එළඹෙන මාස කිහිපයේදී තවත් පොත් පළ වීමට නියමිතය. ආර්ථික අර්බුද මැද ග්රන්ථ කර්මාන්තය යළි පිබිදීම හොඳ දෙයකි. සෑම වසරකම අලුත් ලේඛකයෝද බිහි වෙති. එසේ බිහිවන අය අතර ඉතා ප්‍රතිභාසම්පන්න අයද සිටිති.
මෙවර රචනය ප්‍රවීණ ලේඛිකාවක තරුණ ලේඛක ලේඛිකාවන්ට දෙන උපදෙස් කීපයක් වෙනුවෙන් කැප කරන්නට තීරණය කළෙමි. ඒ ලේඛිකාව ජොයිස් කැරල් ඔයේට්ස්ය. ඇය පොත් සිය ගණනක් ලියා ඇති ඇමරිකානු ලේඛිකාවකි. අද ලොව වසන ඉහළම පෙළේ කෙටිකතාකාරියකි. ඇගේ කතා සිංහල පාඨකයන් අතර එතරම් ප්‍රකට වී නැත. පසුගිය ජූනි 18 වෙනිදා ලිපියෙන් ඔයේට්ස් ගැන යම් හැඳින්වීමක් කළෙමි.
මේ රචනය ඔයේට්ස් ලියූ රසවත් පොතක් ඇසුරිනි. එය The Faith of a Writer නම් වේ. එය ස්වයං චරිතාපදානමය කෘතියක් වුවද සාහිත්යික ලේඛනය යනු කුමක්ද යන ප්රශ්නය වෙත ඇය හෙළන දෘෂ්ටිය එයින් හෙළිවේ. නිර්මාණශීලී ලේඛනය වෙත පිවිසෙන අයට පමණක් නොව දැනටමත් පළපුරුදු ලේඛක ලේඛිකාවන් වන අයටද සාහිත්‍ය නිර්මාණ ක්‍රියාවලිය දෙස බලන කවුළු ගණනාවක් ඒ කෘතියෙන් විවර වේ. ඇගේ බස මනහරය. ‘මං තමයි මේවා දන්නෙ’ වැනි වාඩාම්බර සහිත භාෂාමය කටුලැහැබක පාඨකයා හෙළන්නට ඇය තැත් නොකරයි. අතනින් මෙතනින් ගත් ලේඛක නාම, දාර්ශනික නාම, අර්ථය පැහැදිලි නැති බර බර වචන විසිකර ඇය සිය ගද්‍ය රචනාව අපවිත්‍ර කරගන්නේ නැත. ඇය පැහැදිලිව ලියයි. ලියන්නේ පාඨකයා සමග අර්ථමය ගමනක් යන්නටය. පාඨකයා ඉදිරියේ සරඹ දක්වන සන්දර්ශනයක යෙදෙන්නට නොවේ. තමාගේ බස හා ශෛලිය වෙත නොව තමන් කියන අදහස වෙත අවධානය යොමු කරගන්නා ලෙස ශාස්ත්‍රීය ගද්‍ය ලිවීම දුර්වලකමක් යැයි ඇතැම්හු සලකති. ලෝකයේ විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම්වල පළමු දහය අතර කාලයක් තිස්සේ වැජඹෙන ප්‍රින්ස්ටන් විශ්වවිද්‍යාලයේ ඉගැන්වුවද ඇයගේ ලේඛන ශෛලියෙහි ඇත්තේ පුදුමාකාර නිහතමානී සරලකමකි. බස සරල වුවද අදහස් ගැඹුරුය. හොඳ ගද්‍ය රචකයන් ලියන්නේ එසේය.
පොතෙහි නම ‘ලේඛකයෙකුගේ විශ්වාසය’ යැයි සිංහල පරිවර්තනය කළ හැකිය. ඇය ලේඛිකාවක නිසා මෙසේ කියන්නට පුළුවන: ‘ලේඛිකාවකගේ විශ්වාසය.’ අවශ්‍ය නම් ලේඛිකාවක ‘අදහන දේ’ යැයිද කිව හැකිය. පොත ආරම්භ වන්නේ සාහිත්‍ය කලාව පිළිබඳ ඇය දරන එක්තරා විශ්වාසයක් පැහැදිලි කරමිනි.
“කලාව මනුෂ්‍ය ප්‍රාණයේ ඉහළම ප්රකාශනය යැයි මම විශ්වාස කරමි.
හුදෙක් ගිණිය හැකි වූද ක්ෂණභංගුර හෙවත් මොහොතින් බිඳෙනසුලු වූද දේ ඉක්මවා ‘සංස්කෘතිය’ යනුවෙන් හැඳින්වෙන වඩා ගුප්ත වූද ප්රජාමය වූද දෙයක් වෙත සහභාගි වන්නට අප අපේක්ෂා කරන්නේ යැයි මම විශ්වාස කරමි. ඒ අපේක්ෂාව යනු මනුෂ්‍ය වර්ගයා තුළ තම වර්ගයා ප්රතිනිෂ්පාදනය කිරීමට ඇති ආශාව තරම්ම ශක්තිමත් ආශාවක් යැයිද මම විශ්වාස කරමි.
ප්‍රාදේශීය වූද කලාපීය වූද දේ ඔස්සේ, අපේ ඒකපුද්ගල කටහඬ ඔස්සේ අප ගැන කිසිවක්ම නොදන්නා අනෙක් මනුෂ්‍යයන්ට කතා කළ හැකි කලාවක් නිර්මාණය කරන්නට අපි වැඩ කරන්නෙමු. අපට එකිනෙකා නොපෙනෙන අපැහැදිලිතාව තුළම අනපේක්ෂිත කුළුපග සමීපතාවක් උපදින්නේය.
ඒකපුද්ගල කටහඬ වූකලි ප්‍රජාවේ කටහඬයි.
කලාපීය කඩහඬ යනු විශ්වීය කටහඬයි.”
සරල ඡේද තුනකට වෙන් කොට ඇති මේ කොටසින් ඇය සාහිත්යධාරිණියක ලෙස ඇයගේ ‘විශ්වාසය’ පැහැදිලි කරයි. සමස්ත කෘතිය පුරාම එන්නේ මේ විශ්වාසය ක්‍රියාවට නගන්නට ඇය ගත් වෑයමත්, අපට ගත හැකි වෑයමත් ගැන ඇගේ සිතිවිලිය.
ඇය කියන හැටියට ‘සංස්කෘතිය’ යන පොදු වචනයෙන් හැඳින්වෙන දේ නිර්මාණය කරන්නට මනුෂ්‍යයා තුළ ඇති දැඩි ආශාව තම වර්ගයා ප්රතිනිෂ්පාදනය කිරීමට මනුෂ්‍යයා තුළ ඇති ආශය තරම්ම ශක්තිමත් එකකි. මනුෂ්‍යයා තව වර්ගයා නැවත නැවත බිහි නොකළහොත් මනුෂ්‍යයා නමැති සත්ත්ව වර්ගයා මිහිමතින් අතු ගෑවී යයි. සාහිත්‍යය ඔස්සේ නිපදවන්නට තැත් කරන සංස්කෘතියද එවැන්නක් සේ ඇය දකියි.
‘අප’ යනුවෙන් මේ ඡේදයේදී ඇය අදහස් කරන්නේ සාහිත්‍යකරණයෙහි යෙදෙන අයයි. ලේඛකයා තම ප්‍රාදේශීය වූද පෞද්ගලික අත්දැකීම් ඔස්සේ අප දැනට නොදන්නා මනුෂ්‍යයන්ටද අදාළ වන්නා වූ දෙයක් කතා කරන බව ඇය කියයි. ලේඛකයන් වන අප ආරම්භ කරන්නේ අප හොඳින් දන්නා තැනකින් වුවත් අප කරන නිර්මාණය එය ආරම්භ වූ තැන ඉක්මවා මනුෂ්‍ය ජීවිත හා මනුෂ්‍ය ලෝකය ගැන යම් අර්ථයක් ප්‍රකාශ කරයි.
ඇගේ මේ කියමනේ එක්තරා ඇඟවුම් අර්ථයක් තිබේ. ඒ නම් හොඳ ලේඛකයා හෝ ලේඛිකාව තමන් හොඳින් දන්නා දෙයින්, දන්නා තැනින් පටන්ගත යුතුය. එහෙත් ඔහු හෝ ඇය අවසන් කරන්නේ එක්තරා ප්රජාමය හා විශ්වීය කටහඬක් බවට තම කෘතිය පත් කරමිනි.
ඇගේ පොතේ එක් පරිච්ඡේදයක නම ‘තරුණ ලේඛකයෙකු වෙත’ යන්නයි. ආධුනික ලේඛකයන්ට සාහිත්‍ය කලාව ඉගෙනීමට ඇති පොතපත අපරට ඉතා අඩුය. දැනට පළ වී ඇති රන්රෝස (පවුස්තවුස්කි) සහ තරුණ නවකතාකරුවෙකු වෙත (වර්ගාස් යෝසා) ඉතා ජනප්‍රිය වී තිබේ. ඒ කෘතිවල මුද්‍රණ කීපයක් පළවීමෙන් ඒ බව පෙනේ. අපි ඔයේට්ස්ගේ මේ පරිච්ඡේදයෙන් යම් එළියක් ලබන්නට තැත් කරමු.
ඇය ආධුනික ලේඛකයන් ඇමතීම ආරම්භ කරන්නේ තමන් කැමති විෂය ගැන හැකි උපරිම ශක්තියෙන් ලියන්නැයි කියමිනි. තමන් උනන්දුවක් දක්වන විෂය ගැන හෝ ඒ විෂය ගැන ලාලසාවක් තිබීම ගැන හෝ කිසිදිනෙක ලජ්ජා නොවන්නැයිද ඇය කියයි.
සමහර විට පොදු සමාජය හමුවේ අනාවරණය කළ නොහැකි අභ්‍යන්තරික අරගලයක් හෝ අභ්‍යන්තරික ලාලසාවක් ලේඛයෙකුට හෝ ලේඛිකාවකට තිබිය හැකිය. එය තම ලේඛන කාර්යෙහි පදනම බවට පෙරළා ගන්නැයි ඇය කියයි. මෙය පැහැදිලි කිරීම සඳහා ඇය නිදර්ශන කීපයක් ගනියි. ඇමරිකානු නාට්‍යකරු ඉයිජීන් ඕනීල් සිය ජීවිත කාලය පුරාම මිය ගිය සිය පියා සමග දරුණු කෝපයකින් පසු විය. ශ්‍රේෂ්ඨ ඇමරිකානු ලේඛක අර්නස්ට් හෙමිංවේ සිය ජීවිත කාලය පුරාම තම මව ගැන දරුණු කෝපයකින් පසු විය. ඔවුන්ගේ සාහිත්‍ය ජීවිතයෙහි ආවේශය සපයමින් ඒ කෝපය පැවතියේය. සමහර විට අප අභ්‍යන්තරිකව කරන අර පොදු සමාජය තුළ ‘යහපත්’ හෝ ‘හොඳ’ දේවල් නොවන්නට පුළුවන. යම් යම් හේතු නිසා එවැනි ගැටලු සමග අප අභ්‍යන්තරිකව පොරබදන්නේ නම් ඒ පොරබැදීම තම සාහිත්‍ය නිර්මාණය වෙත ගෙන එන්නැයි ජොයිස් කැරල් ඔයේට්ස් කියයි. ඇය ගෙනෙන තවත් නිදර්ශනයක එන ලේඛිකාවන් දෙදෙනා සිංහල පාඨක ලෝකය තුළ එකරම් ප්‍රකට නැත. සිල්වියා ප්ලාත් සහ ඈන් සෙක්ස්ටන් දෙදෙනා ජීවිත කාලය පුරා මරණය හා සිය දිවි නසා ගැනීම නම් සංකල්පය සමග පොරබැදූහ. දීප්තිමත් කිවිඳියන් වූ ඔවුන් සාහිත්‍යයකරණයට ආවේශය සැපයූ බලවේගයක් වූයේද එයයි. ඒ දෙදෙනාම ඉතා තරුණ වියේදී දිවි නසා ගන්නා විටත් සාහිත්‍ය ලෝකයට කර තිබුණ ප්රතිපදාන ඉතා ප්රබලය. ඔයේට්ස් අපට කියන්නේ හොඳ ලේඛක ලේඛිකාවන් අවශ්‍ය නම් දිවිනසා ගත යුතුය යන්න නොවේ. ප්ලාත් සහ සෙක්ස්ටන් දෙදෙනාම ජීවිත කාලයක් පුරා තමන් අභ්‍යන්තරිකව පොද බැදූ දිවිනසා ගැනීමේ ආවේශය සමග සාහිත්යිකවද පොරබැදූහ; ඒ ගැන ලියූහ. ඔවුන් කළේ සාහිත්‍යයේදී සද්ගුණත් උපාසිකාවන් සේ වෙනස්ම මූණක් පෙන්වමින් සිට පසු කලෙක දිවි නසා ගැනීම නොවේ. මේ අවංකකම ඔවුන්ගේ සාහිත්‍යය ප්රබලත්වයට පත් කළේය. දැන් දැන් ලංකාවේ ලේඛක ලේඛිකාවන් තමන්ට ඇත්තටම දැනෙන දේ හෝ තමන් ඇත්තටම පොරබදන දේ තම සාහිත්‍ය කෘති වෙතින් ප්‍රකාශ කරන්නට තැත් කරනු පෙනේ.
මෙහිලා ඔයේට්ස් කියන දෙයක් වෙත අපි නැවත යමු: ‘ඔබගේම සැඟවුණු ආත්මීයතාව හෝ ආත්මීයතා සමග කරන අරගලය හොඳ කලා අස්වැන්නක් ලබාදෙයි. සැබැවින්ම ලිවීම නමැති කාර්යෙහි පැය ගණන්, දවස් ගණන්, මාස ගණන්, අවුරුදු ගණන් යෙදී ඉන්නට ආවේශය සපයන්නේද ඒ අභ්‍යන්තරික පොද බැදීමයි. ඔබටම නිසි පරිදි නොවැටහෙන මේ අභ්‍යන්තරික ආවේශ පොරබැදීම නැතිව ඔබ මතුපිටින් ප්‍රීතිමත් කෙනෙකු සේ පෙනෙමින්, ප්‍රජාව සමග බැඳණු හොඳ පුරවැසියෙකු සේ පෙනුණත් ලේඛකයෙකු සේ ඔබ බරක් ඇති යමක් නිර්මාණය කරන්නට ඇති ඉඩ අඩුය.’
මෙය නම් ඉතා වැදගත් කියුමකි. සිංහල සාහිත්‍ය ලෝකයේද මෙවැනි ලේඛකයෝ සිටිති. ඔවුහු නොයෙක් දේ ලියති. එහෙත් ඒවාගේ කල්පවත්නා බරක් නැත. බොහෝ පොත් ගණනක් ලියා ඇති තරුණ ලේඛකයෙකු ගැන මෑතකදී සාහිත්‍ය රසික පර්ෂදයක් අතර කතාබහක් ඇති විය. එපමණ පොත් ලියා ඇතත්, තමන්ගේ පොත් ඉස්මතු කරගන්නට ඔහු හතර අතේ දිව්වත්, ඒවා කල්පවත්නා සාහිත්‍ය කෘති සේ මතු වන්නේ නැත; ඒවා රසික ලෝකයෙහි සාකච්ඡා වන්නේද නැත. ඔහු ලේඛකයෙකු වන්නට බොහෝ ආසා ඇති කෙනෙකු සේද පෙනේ. ඒවා රසික අභ්‍යන්තරය හොල්ලන ගැඹුරක් ඇති සාහිත්‍ය කෘති සේ මතු වන්නේ නැත. මේ කරුණ පිළිබඳ සාකච්ඡාවකදී තරුණ විචාරිකාවක් මෙසේ කිව්වාය: ‘එයා ලියන්නෙ පොත් මිසක් කතා නෙමේ.’ මෙය ඉතා දීප්තිමත් නිරීක්ෂණයකි. එහෙත් ඒ ලේඛකයාගේ අර්බුදයෙහි එක් මූලයක් වෙත ඔයේට්ස්ගේ අදහස ඔස්සේ අපට යා හැකිය. ඔහු තමා කවුද යන්න දරදඬු ආවරණයකින් වසාගෙන ‘හොඳ මහත්තයෙකු’ සේ සාහිත්‍ය ලෝකයෙහි ඉන්නට තැත් කරයි. ඒ නිසාම ‘හොඳ මහත්තයෙකු’ නොවන වැඩද කරයි. එහෙත් සුරත්ද මැල් තම ප්‍රථම කෘතියෙන්ම සාහිත්‍ය ලෝකයෙහි කතාබහට ලක් වන පොතක් ලිව්වේය. ඔහු තමාගේම අභ්‍යන්තරික ආවේශ සමග අවංකව පොරබදමින් ඒවා හා සාහිත්‍යකරණය අතර සම්බන්ධයක් ගොඩනගන බවක් අපට දැනේ. සයිමන් නවගත්තේමගේ සාහිත්‍ය කෘති බොහොමයකදීද අපට මෙය හොඳින් දැනේ. ජොයිස් කැරල් ඔයේට්ස් අපගේ අවධානය යොමු කරන්නේ එවැන්නක් දෙසටය. ඔයේට්ස්ගේ උදව් නැතිව මා මේ කරුණ මගේ නොයෙක් ලිපිවල නොයෙක් වර ලියා ඇතත් ඇය එය හොඳින් පැහැදිලි කරන බව කිව යුතුය.
වැඩිහිටි ලේඛිකාවක ලෙස ආධුනිකයන්ට දිය හැකි අවවාදයක් සේ ඇය මෙසේ කියයි: ‘අධෛර්ය වන්න එපා. තමන් යන ගමනේ දෙපැත්ත බලා සම මට්ටමේ අනික් ලේඛකයන් සමග තමා සන්සන්දනය කරන්නට නොයන්න. ලේඛනය යනු රේස් දිවීමක් නොවේ. සාහිත්‍යකරණයේදී කිසිවෙකු දිනන්නේ නැත. සාහිත්‍යයෙහි සන්තෘප්තිය පවත්නේ එහිලා යෙදෙන ප්රොත්සාහයෙහහි මිස අවසානයෙහි ලැබෙන දේවල නොවේ.’
මෙයද අගනා උපදේශයකි. අප අපේ අභ්‍යන්තරික ආවේශ සමග අවංකව පොරබදන්නේ නම් අනෙක් අය තරඟකරුවන් සේ පෙනෙන්නේම නැත. සාහිත්‍ය නිර්මාණයෙහි සැබෑ සන්තෘප්තිය ඇත්තේ නිර්මාණයෙහි යෙදෙන ප්රෝත්සාහයෙහිය යන අදහසද ඇත්තය. කෙටිකතාවක්, නවකතාවක් යම් තැනක්, ඡේදයක් හෝ වැකියක් හරියට ලියවුණේ යැයි අපටම දැනෙන මොහොත ගෙනෙන්නේ පුදුමාකාර ආනන්දයකි. අප නිමවන චරිත සමග සහෘදයන්ද ජීවත් වනු ඇතැයි දැනෙන විට ලැබෙන ප්‍රීතියද කතාකීමේද ප්‍රීතියද අන් කිසිම දේකට සමකළ නොහැකිය. කෙටිකතා හා නවකතා සිය ගණනක් ලියා ඇති ඔයේට්ස් ඒ ප්‍රීති හොඳින් දන්නා බවට සැකයක් නොවේ.
ඇය අපට දෙන තවත් උපදේශයක් ගැන සියුම් අවධානයක් යොමු කළ මනාය: ‘ඔබ ඔබගේ පරම්පරාවට නොවේ නම් ඔබේ යුගය සඳහා ලියන්න. දැනට නොපවත්නා අනාගත පරම්පරාවක් වෙනුවෙන් ලිවිය නොහැකිය. ගත වී ගිය කාලයක් වෙනුවෙන්ද ලිවිය නොහැකිය. එවිට සිදුවන්නේ සැබවින්ම නොපවත්නා පාඨක පිරිසක් ඇමතීමය.’
මෙය මාද විශ්වාස කළ දෙයකි. සාහිත්‍ය කලාව ගැන යම් බරපතල අවබෝධයක් ලද පසු මා ලියූ සෑබ ප්‍රබන්ධ කථාවක්ම මගේ පරම්පරාව හා මගේ යුගය සමග සංවාදයක් සේ සලකන්නට මමද පුරුදු වී සිටියෙමි. ලංකාවේද හොඳ ලේඛක ලේඛිකාවන් සියලු දෙනාම පාහේ මේ කරුණ දන්නා බව පෙනේ. අපගේ පරම්පරාව හා යුගය ඉක්මවා පවතින එක්තරා ‘සදාතනිකත්වයක්’ සාහිත්‍ය කෘතියක ඇත්නම් එය දෙවැනි කරුණකි. ලිවීමේ ආරම්භක ඉලක්කය ඒ සදාතනිකත්වය නොවේ. යුද්ධය හා සාමය වැනි මහා නවකතාවක් ශ්‍රේෂ්ඨ නවකතාවක් සේ ශේෂ වී තිබෙන නමුත් එය නැපෝලියානු යුද සමයෙහි රුසියාව සමගත් පොදුවේ යුරෝපය සමගත් ටොල්ස්ටෝයි කරන්නට තැත් කළ සංවාදයක කොටසකි.
ඇයගේ තවත් එක් උපදෙසකින් අපි මේ රචනය අවසන් කරමු. ‘අනික් ලේඛක ලේඛිකාවන්ගේ විශිෂ්ට කෘති අගය කිරීමෙන් පමණක් නොව ඒවා සමග පෙමින් වෙලීමෙන් වළකින්න එපා’ යැයි ඇය කියයි. පසු කලෙක ශ්‍රේෂ්ඨ ලේඛකයන් වූ අය ජ්‍යෙෂ්ඨ ලේඛකයන්ගේ කෘති හා පෙමින් බැඳුණු සැටි ඇය අපට හෙළි කරයි: හර්මන් මෙල්විල් නැතෑනියෙල් හෝර්තෝන්ගේ කෘතිවලට ආදරය කළේය. බොහෝ තරුණ කවි කිවිඳියෝ වෝලට් විට්මන් ගුරුදේවයෙකු සේ සැලකූහ. තමාද ලුවිස් කැරල්, එඩ්ගා ඇලන් පෝ, නැතෑනියෙල් හෝතෝර්න්, හර්මන් මෙල්විල්, එමිලි ඩිකින්සන්, එමිලි බ්‍රොන්ටේ, මාර්ක් ට්වේන්, ප්‍රාන්ස් කෆ්කා, විලියම් ෆෝක්නර් ආදීන්ගේ කෘතිවලට ආදරය කළ අයුරු ඇය හෙළි කරයි. තමා ආලෝලනය කළ හැකි කලා කෘතිවල ආදර ගෞරව දක්වන්නට මෙහෙය වන උණුසුම් හදවත අහිමි වූ අයට හොඳ ලේඛකයන් විය හැකිද?
(අරුණ පුවත්පත ජූලි 2)
No comments:
Post a Comment