මෙවර අලුත් අවුරුද්ද එළඹෙන විට සිංහල සාහිත්‍ය ක්ෂේත්රයෙහි අප කාටත් ආදරයෙන් සැමරිය හැකි ගැහැනියක් අවුරුදු සීය සම්පූර්ණ කළාය. ඒ මාර්ටින් වික්‍රමසිංහගේ ගැහැනියක් කෙටිකතා සංග්‍රහයයි. 1924 වර්ෂයේදී මුලින්ම පළ වූ මෙම දැන විසි වරක්වත් මුද්‍රණය වී තිබේ. එක් මුද්‍රණ වාරයකදී පිටපත් කී දාහක් මුද්‍රණය වී දැයි අප දන්නේ නැත. වික්‍රමසිංහගේ ඇතැම් පොත් එක් වරකට විශාල වශයෙන් මුද්‍රණය වන බව අප අසා ඇත. එහි එන කතා වික්‍රමසිංහගේ එකතු කළ කතා සංග්‍රහවලද පළ විය. ඒ නිසා ගැහැනියක් කතා සංග්රහයෙහි එන කතා මේ නිමා වූ ශතවර්ෂයේදී දහස් ගණනින් පාඨකයන් අතර පැතිරිණි. එසේ වූයේ හුදෙක් වික්‍රමසිංහගේ දරු මුණුබුරන්ට අයත් ප්‍රකාශන ව්‍යාපාර නිසා පමණක් නොවේ.
මෙම රචනය ගැහැනියක් වෙනුවෙනි. සාහිත්‍ය සංස්කෘතියක් තුළ යම් පොතක් අවුරුදු සීයක් කල් අල්ලා සිටීම දුර්ලභ සිද්ධියකි. ජාතක පොත හෝ ශ්‍රී රාහුල හිමියන්ගේ පොතක් වැනි සම්භාව්‍ය සාහිත්‍ය කෘතියක් කල්පැවතීම පුදුමයක් නොවුණත් නූතන සාහිත්‍ය කෘතියක් අවුරුදු සීයක් පාඨකයන් අතර ගැවසීම විස්මයාවහ සිද්ධියකි. ලංකාවේ පාඨකයන් අතර නවකතාව තරම් කෙටිකතා ජනප්‍රිය නැත. එවැනි සාහිත්‍ය රුචියක් ඇති පසුබිමක කෙටිකතා පොතක් අවුරුදු සියයක් පාඨකයන් අතර පැවතීම කොහොමත් පුදුම සහගතය.
ගැහැනියක් යනු මාර්ටින් වික්‍රමසිංහගේ පළමු කෙටිකතා සංග්‍රහයයි. මහාචාර්ය සරච්චන්ද්‍ර තරුණ ශාස්ත්‍රාලිකයෙකු ලෙස ලියූ The Sinhalese Novel (1950) කෘතියේ අගට එතෙක් පළව තිබූ කෙටිකතා ගැනද අගය කිරීමක් කළේය. ඒ වන විට සිට හොඳම කෙටිකතාකරුවා වික්‍රමසිංහ බව කී සරච්චන්ද්‍ර වික්‍රමසිංහගේ කෙටිකතා ඔහුගේ මුල් කාලීන නවකතාවලට වඩා ‘යථාර්ථවාදයෙන් ඉහළ’ බව කීයේය. සරච්චන්ද්‍ර ඒ පොත සිංහලෙන් පළ කරන විට ‘යථාර්ථවාදයෙන් ඉහළ’ වැනි යෙදුම් ඉවත් කර තිබුණද වික්‍රමසිංහ සාර්ථක කෙටිකතාකරුවෙකිය යන්න පැහැදිලිව කීවේය. රුසියානු හා ප්‍රංශ කෙටිකතාවල අභාසය වික්‍රමසිංහට ලැබී ඇති සැටිද සරච්චන්ද්‍ර විසින් නිරීක්ෂණය කෙරිණි. අන්දො අය්යා වැනි තාත්ත්වික ග්‍රාමීය චරිත හඳුන්වා දෙන බේගල් කෙටිකතාව ඒ පොතෙහි වූ රසවත් කතාවක් බවද සරච්චන්ද්‍ර කීවේය. එහි එන කුවේණිහාමි කතාවද අගය කළ සරච්චන්ද්‍ර එය තොමස් හාඩිගේ තෙස් නවකතාවේ එළියෙන් ලියවුණක් විය හැකි යැයි අනුමාන කළේය.
වික්‍රමසිංහගේ මුල් කාලීන ඇතැම් කෙටිකතා ප්‍රංශ හා රුසියන් කෙටිකතා සමීපව අනුකරණය කරන ඒවාට ආසන්න බව ප්‍රකට කරුණකි. එහෙත් අවුරුදු සියයකට පෙර ගැහැනියක් කතා සංග්‍රහය සිංහල සාහිත්‍ය සංස්කෘතියට එක් වීමෙන් කැපුණු පාර ඉන් පසු කෙටිකතාකරණයට එළඹුණු බොහෝ දෙනෙකුට ගමන් කළ හැකි විය. බොහෝ දෙනෙකු ගමන් කිරීමෙන්ම ඒ පාර තවත් සැකසිණි. ඒ පාරේ දශක තුනකට වැඩි කාලයක් ගමන් කළ කෙටිකතා රචකයෙකු වන මා ගැහැනියක් සිහි කරන්නේ ඉමහත් ආදරයෙනි.
මෙම රචනයේදී මම ඒ කතා සංග්රහයෙහි ඇතුළත් වූ එක් කතාවක් පමණක් අද රසිකයෙකුගේ ඇසින් දකින්නට තැත් කරමි. මාර්ටින් වික්‍රමසිංහ පවා සතුටු විය හැකි තරමට අද සිංහල කෙටිකතාව වර්ධනය වී ඇති බව පැහැදිලිය. වසරකට පළවෙන කෙටිකතා පොත් ගණනද, අද කෙටිකතා රචනයෙහි යෙදෙන ලේඛක ලේඛිකා පිරිසද විසාලය. කෙටිකතාවේ තේමා සහ ප්රතිනිර්මාණ තාක්ෂණ අතින්ද විචිත්‍රය; බහුවිධය. එවැනි පසුබිමක සිට අද ගැහැනියක් කෘතිය කියවන කල එහි එන කතා අවුරුදු සීයකට පෙර ලියවුණු කතා බවත්, සිංහල කෙටිකතා කලාවෙහි මුල්ම යුගයේ කතා බවත් හොඳින් මතක තබා ගැනීමට සිදු වේ. 1950 වර්ෂයේදී සරච්චන්ද්‍ර ඒ කතා අගය කළ තරම් උද්යෝගයෙන් අද ඒවා අගය කරන්නට බැරි තරමට සිංහල කෙටිකතාව වර්ධනය විය.
අසූව දශකයට පෙර ගුණදාස අමරසේකර ලියූ කතා (ජීවන සුවඳ, එකම කතාව, එක්ටැමෙන් පොළොවට වැනි පොත්) නිසා සිංහල යථාර්ථවාදී කෙටිකතා කලාව විශාල ඉදිරි පිම්මක් පැන්නේය. ඒ කාලයේම තාත්ත්වික යථාර්ථවාදී ප්රතිනිර්මාණ විධියට විකල්ප සොයන කතා ධාරාවක් අජිත් තිලකසේන වැනි අයගේ පුරෝගාමිත්වයෙන් මතු විය. ඒ ධාරා දෙකටම අයත් කෙටිකතා ලියන තවත් ලේඛකයෝ මතු වූහ. අද වික්‍රමසිංහ කවදාවත් අනුමාන කරන්නට පවා ඉඩ නැති තරම් විචිත්‍ර කෙටිකතා ලියන අය සිටිති. ඒ ප්‍රධාන ලේඛක ලේඛිකාවන් සියලු දෙනාම පාහේ කෙටිකතාවේ කලාත්මකත්වය අතින් ගැහැනියක් කෘතියෙහි එන කතා ඉක්මවා ලියා තිබේ. ඒ වූකලි ඒ ඒ ලේඛක ලේඛිකාවන්ගේ ජයග්‍රහණයක් තරමටම වික්‍රමසිංහ වැනි අය ආරම්භ කළ නූතන සිංහල කෙටිකතා කලාවේද ජයග්‍රහණයකි.
පශ්චාත් යටත් විජිත ප්‍රවේශය
ගැහැනියක් වැනි මුල් කාලීන කෙටිකතා සෞන්දර්ය විනිශ්චය පිළිබඳ ප්‍රවේශයෙන් යළි තක්සේරු කිරීම එතරම් නිවැරදි නොවේ. කලාත්මක කෙටිකතාව කුමක්ද, කුමක් විය යුතුද, අහවල් කෙටිකතාව හොඳද නරකද යන්න සලකා බැලීම සෞන්දර්ය විනිශ්චයයි. අවුරුදු සීයක් පරණ මෙම කතා එවැනි විනිශ්චයකදී ඉතා ඉහළ ලකුණු නොලබන්නට ඉඩ ඇත. එහෙත් අපට ඒ කතා වෙත පිවිසෙන්නට අලුත් න්‍යායික ප්‍රවේශ සොයාගත හැකිය. පශ්චාත් යටත් විජිත න්‍යාය අපට එහිලා එක් ප්‍රවේශයක් සපයයි. යටත් විජිතකරණයට ලක් වූ රටවල ජනයා දේශීය සංස්කෘතිය හා යටත් විජිත සංස්කෘතිය අතර තෙරපුමකට ලක්වීමෙන් ඇති වන සංකීර්ණ මානසික තත්ත්ව පශ්චාත් යටත් විජිත න්‍යායෙන් අධ්‍යයනය කෙරේ. යුරෝපීය යටත් විජිතවාදය නිර්-යුරෝපීය ලෝකයට එන්නේම එම ලෝකය යුරෝපයට වඩා නොදියුණුද, අශිෂ්ටද බව කියමිනි; නිර්-යුරෝපීය ලෝකයට ‘නූතන ශිෂ්ටාචාරය’ කරා යන්නට තල්ලුවක් යටත් විජිතවාදය ලැබෙන බවද කියමිනි. මේ නිසා සංස්කෘති හෝ ජීවන විලාස දෙකක් අතරට මැදි වන ජනතාව තුළ එක්තරා විඥානමය පැල්මක් ඇති වේ.
ඒ ආතතියට ජනතාව ප්‍රතිචාර දක්වන ආකාර කීපයක් තිබේ. සමහරු යටත් විජිත සංස්කෘතියට වෛර කරමින් දේශීය යැයි ඔවුන් හඳුනා ගන්නා දේ වෙත පසුබසිති. සමහරු දේශීය දේ අත්හැර දියුණු යැයි ඉදිරිපත් කෙරෙන යටත් විජිතවාදියාගේ සංස්කෘතිය වැළඳ ගනිති. සමහරු මේ සංස්කෘති දෙකෙහිම අභිමත අංග තමන් වෙත උකහා ගනිමින් සංස්කෘතික සම්මිශ්‍රණයක් වෙත නිර්මාණශීලීව එළඹෙති. ඒ තුන් වෙනි කාරණයට අවශ්‍ය අධ්‍යාපනය, චින්තන ශක්තිය හෝ සමාජ වරප්‍රසාද ජනතාවගෙන් සියලු දෙනාට ලැබෙන්නේ නැත.
යටත් විජිත ජාතිකවාදය
මේ තත්ත්වය තවත් සංකීර්ණ වන්නේ යටත් විජිතවාදයේ එක් අවස්ථාවකදී යටත් විජිතහරණ ව්‍යාපාර හෙවත් නිදහස් සටන් ව්‍යාපාර ඇරඹෙන විටය. විසිවෙනි සියවසේ මුල් දශකවල එවැනි සටන් සියලු යටත් විජිතවල පැතිරිණි. ඒවා අත්‍යවශ්‍ය නිදහස් සටන් විය. එහෙත් ඒවාගේ ප්‍රධාන ජනප්‍රිය සටන් පාඨයක් වූයේ දේශීයත්වය යැයි හැඳින්වෙන දෙය පවිත්‍ර දෙයක් සේ අධි-නිශ්චය වීමය; ඒ සමගම යටත් විජිතවාදය ඔස්සේ ආ ‘විදේශීය’ දේ දූෂ්‍යකාරක දේවල් සේද අධි-නිශ්චය විය. මෙය දේශපාලන අවශ්‍යතා සඳහා සිදුවූවක් මිස සැබෑ දේම නොවේ. දේශීය යැයි ගැනෙන සෑම දෙයක්ම ඒ නිසාම හොඳ වන්නේද, විදේශීය යැයි ගැනෙන සෑම දෙයක්ම ඒ නිසාම නරක වන්නේද නැත. ඕනෑම මනුෂ්‍ය සංස්කෘතියක් තවත් සංස්කෘතිවලින් නොයෙක් දේ උකහා ගෙන පෝෂණය වේ. සංස්කෘති වැඩෙන්නේ එසේය. එහෙත් යටත් විජිතවාදය නිසා සිදුවන්නේ එවැනි සුඛනම්‍ය සංස්කෘතික හුවමාරුවකට බාධා කිරීමය. සංස්කෘතික ජාතිකවාදයද එයම තවත් ආකාරයකට කරයි. මේ දෙක අතර මැද වසන මැදහත් සිතින් යුතු ජනයා ඒ දෙපැත්තේම දේවල් නිර්මාණශීලීව භාවිත කරති. මේ කණ්ඩායම් තුන අතර සිදුවන සංකීර්ණ සංවාදය පශ්චාත් යටත් විජිත න්‍යායට හසු වේ.
එවැනි ප්‍රවේශයක සිට මාර්ටින් වික්‍රමසිංහගේ ගැහැනියක් කතා සංග්රහයෙහි එන කතා කිහිපයකම යටත් විජිත ලංකාවේ සාමාන්‍ය ජන ජීවිතය තුළ ඉහත කී ආතතිය ප්‍රකාශ වූ සැටි දකින්නට පුළුවන. 1924 වර්ෂයේ පළ වන මේ පොතේ කතාවලට හසුවන්නේ ඒ ආසන්න කාලයේ ලංකාවේ ජන ජීවිතය බව නිසැකය. ඒ ලංකාවට නිදහස ලැබෙන්නටත් අවුරුදු විස් හතරකට පෙරය. බි්රතාන්ය යටත් විජිතවාදයේ උපරිම අවස්ථාවකි. දෙවෙනි ලෝක යුද්ධය ඇරඹී බි්රතාන්ය අධිරාජ්‍යයට ලෝක පරිමාණ දේශපාලන අර්බුදයකට මුහුණ දෙන්නට ඒ වන විටත් සිදු වී තිබුණේ නැත. ගැහැනියක් කෘතියෙහි එන කතාවලින් පෙනෙන හැටියට ඒ වන විට යටත් විජිත ක්‍රමය ඈත පිටිසර ගම් පවා විනිවිද තිබේ.
නිදර්ශනයක් සේ " කුවේණි හාමි" කතාව ගන්න. එහි එන කුවේණි හාමි ඉතා යෞවන වියේදී කොළඹ ලන්සි ගෙදරක ගෘහ සේවයට පිටිසරින් ආ කෙනෙකි. එහි වැඩ කරමින් සිටින අතර එහි යන එන සිංහල තරුණයෙකුගේ ඇස රූමත් කුවේණි හාමි වෙත යොමු වේ. ඒ වන විට ඇගේ නම දියුණු හාමිය. ඒ තරුණයා අතින් ඇය ගැබ් ගනියි. ලන්සි පවුල ඇය රැකියාවෙන් පහ කරයි. ඇය මුඩුක්කුවක කාමරයක් කුලියට ගෙන පදිංචි වී දරුවා හදාවඩාගන්නා අතර කුංජි රාමන් නම් කොච්චි මිනිසෙකු හා එකට ජීවත් වීම අරඹයි. ඉතා නපුරු මිනිසෙකු වන ඔහු කුවේණි හාමිගේ දරුවාට සලකන්නේ නිදර්ය ලෙසය. සිද්ධි මාලාවකින් පසු රාමන්ගේ හිංසන ඉවසා ගත නොහැකි කුවේණි හාමි එල්ල කළ ප්‍රහාරයකින් රාමන් මිය යයි. ඒ මරණය පිළිබඳ නඩුවේ ජූරි සභිකයෙකු ලෙස යෞවන වයසේදී ඇය ගැබ්බර කළ ප්‍රභූ තරුණයාද සිටියි. ඔහුගේ නම සූරියකාන්තය. ඔහු කුවේණි හාමි කවුදැයි හඳුනා ගනියි. දීර්ඝ නඩු විභාගයකින් පසු ඇය වැරදිකාරිය යැයි තීරණය වේ. ඇය අනුකම්පාව ලැබිය යුතු බවද සූරියකාන්ත කියයි.
කුවේණි හාමි හා සූරියකාන්ත
වර්තමාන සිංහල කෙටිකතාවක් හා සසඳා බලන කල මේ කෙටිකතාව කලාත්මක පරිසමාප්තිය අතින් ඉහළ යැයි කිව නොහැකිය. එහෙත් යටත් විජිත සංස්කෘතිය, ආර්ථිකය, අධ්‍යාපනය, හා නීතිය වැනි දෙයින් සැදි ලංකාවේ යටත් විජිත ක්‍රමය ජනජීවිතය හා සම්බන්ධ වී පැවති ආකාරය පෙන්වන අගනා රචනයක් සේ ඒ කතාව අපට පෙනේ. සිංහල තරුණිය කොළඹ ලන්සි නිවසක මෙහෙකාර සේවයට පැමිණීම යනුම යටත් විජිත ධනේශ්වර වර්ධනයෙහි ප්රතිඵලයකි. යටත් විජිත ක්‍රමයට කලින් එවැනි කොළඹක් හෝ ලන්සි පවුලක් හෝ නොපැවතියේය. දෙවෙනි වරට ඇය හා වසන කොච්චි තරුණයාද යටත් විජිත ආර්ථිකයම සංකේතවත් කරයි. ‘කොච්චි’ යනු කේරළ ජනයා අඟවන යෙදුමකි. යටත් විජිත යුගයේදී කේරළයේ කොචින් නගරය හා කොළඹ නරගය නිරන්තර නාවික ගමන්වලින් සම්බන්ධ වී තිබිණි. පෘතුගීසි යුගයේ සිට කොචින් යනු යටත් විජිත ආර්ථිකයේ පාලන මධ්‍යස්ථානය තරම් වූයේය. ඒ නිසා කොළඹ කොච්චි ජනයා ගැවසීම ඉතා සාමාන්‍ය සිද්ධියකි. රාමන් හා කුවේණි හාමි ජීවත් වූ නාගරික පැල්පත පිහිටියේ දෙමටගොඩය. නාගරික පැල්පත්වල පැතිරීමද යටත් විජිත ආර්ථිකයේම ප්රතිඵලයකි. යටත් විජිත ආර්ථිකය විසින් විවර කර දෙන ලද අවස්ථාවලින් ප්‍රයෝජන ගන්නට පිටිසරින් ආ දුගී ජනයාගේ වාසස්ථාන මුඩුක්කු ලෙසින් පැතිරිණි. යටත් විජිත ආර්ථිකයෙන් පොහොසත් වූ කොළඹ නගර මධ්‍යයෙහි ඉඩම් අත්පත් කර ගැනීමෙන් විතැන් වූ දුප්පත් ජනයාද ටිකින් ටික මුඩුක්කු ගත වූහ.
මිනීමැරුමෙන් පසුව කුවේණි හාමිගේ ඉරණම විසඳන උසාවි පද්ධතියද සම්පූර්ණයෙන්ම යටත් විජිත අධිකරණ ක්‍රමයයි. ඒ නඩුව ගැන සවිස්තර චිත්‍රණයක් කතාවේ එයි. මේ නඩු තීන්දුව විස්තර වන්නේ එක්තරා උත්ප්රාසයක්ද සමගය. ගැබ්බර කුවේණි හාමි අත්හැර දමා ධනවත් පවුලකින් සුකුමාර තරුණියක විවාහ කරගත් ෂැල්ටන් සූරියකාන්ත ජූරි සභාවේ සාමාජිකයෙකි. ‘විනිශ්චයකාරමා උස් වූ මණ්ඩපය මතුයෙහි වූ අසුනෙහි වාඩි වී’ උන්නද කුවේණි හාමිගේ ඇත්ත කතාව දන්නේ නැත. එනම්, යටත් විජිත නීතිය ඇය කෙරෙහි අන්ධය. එවැනි අන්ධ නීතියකින් දුප්පත් යටත් විජිත වැසියාට යුක්තියක් ඉටුවේද? දුප්පත් කුවේණි හාමිට නීතිඥයෙකු ලබා ගැනීමට මුදල් නැත. ඇය වෙනුවෙන් පෙනී සිටින්නේ රජයේ නීතිඥයෙකි. ඔහු ඇගේ සැබෑ කතාව උසාවිය හමුවේ කියයි. එහෙත් අනෙක් පාර්ශවයේ නීතිඥයා විසින් ඇය නිරූපණය කෙරෙන්නේ සහජයෙන්ම පාපතර ස්ත්‍රියක ලෙසිනි. ‘රාගයෙන් මත් වූ මරගනක් සේ’ ඔහුට ඇය පෙනේ. අතෘප්තිකර රාගයෙන් මැඩුණු ඇයගේ සහජ නපුර නිසා මේ සියල්ල සිදු වූ බව ඇය කියයි. ඒ නඩුව යුක්තිය පිළිබඳ මූලධර්ම හා ස්ත්‍රිය පිළිබඳ පුරුෂෝත්තම දෘෂ්ටිවාද අතර වාදයක් වැනිය.
අවසන විනිශ්චයකාරයා තීරණය කරන්නේ ඇය එල්ලා මැරිය යුතු බවය. ඇය ආණ්ඩුකාරයාගේ අනුකම්පාවට පත්විය යුතු බවට නඩු තීන්දුවේම එයි. ආණ්ඩුකාරයාගේ හෙවත් යටත් විජිත නීති පද්ධතියේ අවසාන තීන්දුව කුමක්දැයි අපට දැන ගන්නට නොලැබේ.
රට ජාතිය බේරන සූරියකාන්ත
කතාවේ එක් තැනක වික්‍රමසිංහගේ උත්ප්රාසය ඉතා හොඳින් පෙනෙන අවස්ථාවක් ඇත. කුවේණි හාමි මේ ඉරණම වෙත යොමු කළ පළමු අපරාධකාරයා වන ජූරි සභික සූරියකාන්ත ගැන මෙවැනි වැකි දෙකක් එයි: “ඔහු දැන් ධනවත් පවුලක සුකුමාර තරුණියක හා විවාහ වූවෙකි. රටත් ජාතියත් වෙනුවෙන් වැඩ කරන්නෙකි.” මෙහි එන උත්ප්රාසය අද ලංකාවේ ජීවත් වන අපට හොඳින් දැනේ. පශ්චාත් යටත් විජිත ලංකාවේ රාජ්‍ය පාලනය බාර වූයේ විසි වෙනි සියවසේ මුල් යුගයේදී ‘රටත් ජාතියත්’ වෙනුවෙන් වැඩ කළ සූරියකාන්ත වැනි අයටය.
ඒ ඡේදයෙහි එන තවත් වැකියක් උත්ප්රාසය පමණක් නොව තියුණු සමාජ විචාරයක්ද අඩංගු කර ගනියි: ‘කුවේණි හාමි කවුදැයි සූරියකාන්ත හොඳින් හඳුනාගත්තද සූරියකාන්ත කවුදැයි කුවේණිහාමි විසින් අවබෝධ කර ගැනුණද යන්න නිශ්චිතව කිව නොහැකි බව කථකයා කියයි. යටත් විජිතහරණයෙන් අවුරුදු හැත්තෑ පහකටත් වඩා ගත වී ගොස් තිබුණද, යටත්විජිතවාදියා වෙතින් ලංකාවේ පාලනය බාරගත් සූරියකාන්තලා යනු කවුදැයි කුවේණි හාමිලා වටහාගත්තේද යන්න තාමත් නිශ්චිත නැත. දැන් දැන් ඒ අවබෝධය ඇති වෙමින් තිබේ.
ගැහැනියක් පොතෙහි එන සියලු කතා පශ්චාත් යටත් විජිතවාදී කියවීමකට මතු දා බඳුන් කරන්නට සිතා සිටිමි. එහිලා මෙහි ඉඩ හසර නැත.
(ජනවාරි 14 අරුණ පුවත්පතින්)
/* වික්‍රමසිංහගේ මුල් කාලීන ඇතැම් කෙටිකතා ප්‍රංශ හා රුසියන් කෙටිකතා සමීපව අනුකරණය කරන ඒවාට ආසන්න බව ප්‍රකට කරුණකි. */
ReplyDeleteපසුව කැලණිය විශ්වවිද්‍යාලයේ සිංහල මහාචාර්යවරයෙකු වූ මිණිවන් තිලකරත්න පශ්චාත් උපාධිය සඳහා කර ඇත්තේ "සිංහල ප්‍රබන්ධ රචනයට රුසියානු සාහිත්‍යයෙන් වී ඇති බලපෑම" ගැනයි. එහි අධීක්ෂක එදිරිවීර සරච්චන්ද්‍ර. ඔහු කර ඇත්තේ නිබන්ධයේ බාහිර සමීක්ෂක ලෙස වික්‍රමසිංහ පත් කිරීමයි!
මේ ගැන විස්තරය මිණිවන් තිලකරත්න ගේ "කන්දෙන් ලන්දට" පොතේ සඳහන්.
මම නොකියවපු පොතක් මේක
ReplyDelete