Sunday, January 28, 2024

හදවත හා මොළය අතර සුසංවාදය සොයන විද්‍යාඥයෙකුගේ පොතක් ( Curious History of the Heart - ලියනගේ අමරකීර්ති (

 





මනුෂ්‍ය හදවත හා සාහිත්‍ය කලා අතර සම්බන්ධය ගැන කවුරුත් කතා කරති. හද උණුවීම්, හද රිදීම, හද කම්පාවීම යනාදී රූපකමය යෙදුම් සෞන්දර්ය අත්දැකීම් විස්තර කිරීමට භාවිත වේ. හොඳ කලා රසිකයා ‘සහෘදයා’ යනුවෙන් හැඳින්වේ. එහි සාමාන්‍ය අදහස වන්නේ කලාකරුවාගේ හදවතට සමාන හදවතක් ඇත්තා යන්නය. කලාවෙන් මනුෂ්‍ය හැඟීම් පොහොණි කරමින් ගොඩනගන සහෘදත්වය මනුෂ්‍ය යහපත්භාවය සමග සම්බන්ධ යැයි විස්තර කෙරේ. අනෙක් මනුෂ්‍යයන් කෙරෙහි හෘදයංගම වූ සමාජමය ජීවිතයක් ගත කරන්නට මනුෂ්‍යයන්ට ආධාර කිරීම කලාවේ කාර්යයක් සේ සැලකේ. මොළය විද්‍යාත්මක විෂයයන්වල කේන්ද්‍රය ලෙසත්, හදවත කලාවේ කේන්ද්‍රය ලෙසත් සලකන විභේදනයක් කලෙක සිට තිබේ. මනුෂ්‍ය භාවමය පැවැත්මේ යන්ත්‍රය හදවත සේ සැලකෙන නිසා කලාව හා සාහිත්‍යය මගින් හෘදය වස්තුව ඉන්ද්‍රිය වෙත අවබෝධය ලබා දෙන්නට තැත් දැරේ. කලාකරුවාගේ කාර්ය ‘හදවත’ ඇසුරින් ඉගැන්වීමක යෙදීම යැයි සාමාන්‍යයෙන් සැලකේ.

   හදවතෙහි දැනුම නොමැතිව හොඳ මනුෂ්‍ය ජීවිතයකට අවශ්‍ය සියලු ප්‍රඥාව නොලැබෙන බව දැන් දැන් කෙරෙන බොහෝ විද්‍යාත්මක අධ්‍යයනවලින් පෙනේ. විශ්වවිද්‍යාලය යනු කුමක්ද? යන කෘතියේ අවසාන කොටසේදී මාද එවැනි අධ්‍යයන ගැන සාකච්ඡා කර තිබේ.

   මෙම රචනය වෙන් වන්නේ හදවත හා කලාව අතර සම්බන්ධය ගවේෂණයක් පිණිසය. එහිලා මා පාදක කරගන්නේ පසුගිය වසරේ ඇමරිකාවේ පළ වූ අගනා පොතකි. හෘදය රෝග පිළිබඳ වෛද්‍යවරයෙකු මෙන්ම විද්‍යාඥයෙකු වන වින්සන්ට් එම්. ෆිගරේඩූ ලියූ The Curious History of the Heart ඒ පොතයි. ‘හෘදය වස්තුව පිළිබඳ කුතූහලාත්මක’ ඉතිහාසය යැයි ඒ පොතෙහි නම සිංහලට නැගිය හැකිය. මිනිස් ඉතිහාසයේ ආදිකාලයක සිට ආගම්, දර්ශනවාද, විද්‍යාව, හා කලාව තුළ හදවත නම් ඉන්ද්‍රිය තේරුම් ගැනී ඇති ආකාරය ඒ පොතෙන් ගවේෂණය කෙරේ. ඉතා සිත්ගන්නා සේ ලියැවී ඇති එම කෘතිය මොළය සහ හදවත යන දෙකම නිරෝගී වූද සමබර වූද මනුෂ්‍ය ජීවිතයකට අවශ්‍ය වන ආකාරය ඉතා හොඳින් පැහැදිලි කරයි. අප රට වෛද්‍ය විශේෂඥවරු එවැනි පොත් නොලියති. ඔවුන් බොහෝ දෙනෙකුගේ කාලය ගත වන්නේ වෛද්‍ය විද්‍යාව පිළිබඳ පුස්තකාලවල නොව වෛද්‍ය ව්‍යාපාරික ආයතන තුළය. ඒ නිසා ඒ විද්‍යාව රස්සාවක් හා බිස්නස් එකක් ලෙස මිස ඥාන සම්ප්‍රදායක් ලෙස වර්ධනය වන්නේ නැත. මංජුල කල්දේරා වැනි තරුණ වෛද්‍යවරුන් ඉතා වැදගත් පොත් සිංහලට නගමින් අදට අදාළ බුද්ධිමය සංවාදයට දායක වන ආකාරය අගය කළ යුතුය. ඔහු මෑතකදී පරිවර්තනය කළ මනුසත්වග කෘතිය කාගේත් අවධානයට ලක් විය යුතුය. අපි ඒ වෙත තවත් ලිපියකින් නැවත එමු.

                                                  හදවතෙහි දැනුම

   මනුෂ්‍යයන් ලේඛනය මගින් තම සිතිවිලි සටහන් කරන්නට ආරම්භ කළ කාලයේ සිටම මොළය හෙවත් මස්තිෂ්කයට වඩා වැදගත්ම ඉන්ද්‍රිය හැටියට හදවත සැලකී තිබේ. එය සෑම ශිෂ්ටාචාරයකටම පොදු තත්ත්වයක් බව ෆිගරේඩු පෙන්වා දෙයි. ඊජිප්තු, ග්‍රීක, චීන මෙන්ම පැරණි ඇමරිකානු ශිෂ්ටාචාරවලත් අද අප මොළය තබන උසස් තැනෙහි තබා ඇත්තේ හදවතය. ආත්මය, හැඟීම්, සිතිවිලි, හා බුද්ධිමත්භාවය වාසය කරන නිවස්නය සේ සැලකී ඇත්තේද මොළය නොව හදවතය. මේ ඉතිහාසය සම්බන්ධයෙන් ෆිගරේඩු ගෙන හැර දක්වන සාක්ෂි ශාස්ත්‍රීය පර්යේෂණයෙන් සැපයෙන දැනුම යනු කොතරම් වැදගත් දෙයක්දැ යන්න පෙන්වන සාක්ෂිද වේ. ඉතිහාසය පුරා බොහෝ ශිෂ්ටාචාරවල මනුෂ්‍යයන් දෙවියන් සමග සම්බන්ධ වන්නේ හදවත ඔස්සේ යැයි විශ්වාස කෙරිණි. කෙනෙකුගේ හදවතෙහි අභ්‍යන්තර බිත්ති මත ලියැවී ඇති සාධුතාවේ හා පාපයේ ස්වභාවය මත ඔහු හෝ ඇය දිව්‍යලෝකයෙහි සදාතනික ආනන්දය ලබන්නේද යන්න තීරණය විය. එහෙත් ක්‍රමක්‍රමයෙන් විද්‍යාත්මක දැනුම වර්ධනය වෙද්දී හෘදය වස්තුව යනු ශරීරය වෙත රුධිරය පොම්ප කරන යන්ත්‍රය බව අවබෝධ කර ගැනිණි. එය වැදගත් දැනුමක් වුවත් එමගින් හදවතට හිමිව තිබූ ඇතැම් කේන්ද්‍රීය අර්ථ අහිමි වී ගියේද? ෆිගරේඩුගේ පොත මේ ප්‍රශ්නයද ආමන්ත්‍රණය කරන බවක් පෙනේ.

    මෙවැනි පොතපත සිංහල බසින් බැරි නම් ඉංග්‍රීසියෙන් වත් ලියන වෛද්‍යවරුන් බිහිනොවීම අපගේ ආර්ථිකයේ පමණක් නොව වෛද්‍ය අධ්‍යාපනයේද දුප්පත්කමකි. යම් විෂය ක්ෂේත්‍රයක් සීමාන්තික සේ වෘත්තීයකරණය වීම හා වානිජකරණය වීම මගින් ඒ විෂය ක්ෂේත්‍රය පිළිබඳවත්, ඒ විෂය පරිවාර විෂය ක්ෂේත්‍ර හා පවත්නා සම්බන්ධතා පිළිබඳවත් ඥානය දුර්වල වී යයි. ඒ නිසා වෛද්‍ය චින්තකයන් වෙනුවට වෛද්‍ය තාක්ෂණික ශිල්පීහු බිහිවෙති. ඒ ශිල්පීය නිපුණතාව යනු ඉතාම අවශ්‍ය දෙයකි. ඊට ගැඹුරු චින්තනයද එක් වූ කල ඇති වන විශිෂ්ටතාව ඊටත් වඩා වටී.

                                           හදවත රූපකයක් ලෙස

  අපි ෆිගරේඩුගේ පොතෙහි හදවත හා කලාව පිළිබඳ පරිච්ඡේදය වෙත යමු. කතුවරයා දකින හැටියට කායවිච්ඡේද විද්‍යාවෙන් බැහැරව හදවත පිළිබඳ කලාත්මක නිරූපණයක් මුලින්ම හමුවන්නේ ක්‍රිස්තු වර්ෂ 1255 වර්ෂයේ තිබෝට් නම් කවියෙකු විසින් ලියන ලද කවි පොතක රූප සැරසිලි අතරය. තරුණයෙකු තම හදවත ගලවා දෑතට ගෙන සිත්ගත් යුවතිය වෙත පුද කරනු ඒ රූපයෙන් දැක්වේ. රොමෑන්තික ආදරය සංකේතවත් කිරීමට හදවත භාවිත කළ පළමු අවස්ථාව විය හැකි යැයි ෆිගරේඩු කියයි. 1344 වර්ෂයේදී ජෝන් ඩී ග්‍රීස් නම් චිත්‍ර ශිල්පියා විසින් රූ සටහන් අඳින ලද ඇලෙක්සැන්ඩර්ගේ ප්‍රේමය නමැති පොතේ එක් තරුණියක් මහා ඇලෙක්සැන්ඩර් රජුගෙන් තමා ලද හදවත ඔසවා පෙන්වයි. 14 වන සියවස මැද වන විට යුරෝපයේ කලා ලෝකය පුරා හදවත නම් සංකේතය පැතිරෙන්නට පටන්ගත්තේය. මේ කාලයේදී රොමෑන්තික ආදරය පිළිබඳ තේමාවද සාහිත්‍ය කලාවල ජනප්‍රිය විෂයයක් බවටද පත් වූයේය. හදවත සංකේතයක් සේ භාවිත වීම හුදෙක් චිත්‍ර කලාවට පමණක් නොව සාහිත්‍යයටද අදාළ දෙයක් බවට පත් වීම ඒ කාලයේදීම  ඇරඹේ. 

   සිය ස්වයංචරිතාපදානමය වීටා නුවෝවා (1294) කාව්‍යාඛ්‍යානයේදී ඉතාලි කිවි දාන්තේ සිය බිරිඳ බියටි්‍රස් කෙරෙහි ප්‍රේමය ගැන මෙසේ ලිව්වේය: 

‘මගේ හද තුළ මට දැනිණ එහි නිදන ආදරණීය ප්‍රාණයක්. 

ඉක්බිතිව මම දිටිමි මහා ආදරය ඉතා ඈත සිට මා වෙත; 

බොහෝ ප්‍රීතියකි එය මට හඳුනාගත හැකි වීම” 

එපමණක් නොව දාන්තේ දකින සිහිනයකදී බියටි්‍රස් ඔහුගේ හදවත කා දමයි. එය ප්‍රසන්න චිත්ත රූපයක් සේ අද අපට නොපෙනුණද ඉන් ඇඟවෙන්නේ ආදර හැඟීම හා හදවත අතර සමීප සම්බන්ධය ගැන එකල පැතිරෙමින් පැවති අලුත් අවබෝධයයි. ඉතාලියානු ලේඛක හා කිවි ජියෝවන්නි බොකාෂියෝ 1342 වර්ෂයේදී ලියූ අමරෝසා විසියෝනේ කාව්‍යාඛ්‍යානයේදී හදවත දැක්කේ පොතක් ලෙසය. ඒ හදවතෙහි අභ්‍යන්තර බිත්ති මත වචන ලිවිය හැකිය. කලින් දෙවියන් වහන්සේගේ වචන ලියැවුණු හද බිතු මත දැන් ලියැවෙන්නේ ආදරවන්තියගේ වචනය. එනම් දේව වචනය රොමෑන්තික ආදර වචනයෙන් විතැන් වේ:

‘මා එහි නැගී සිටියදී

ඒ සොඳුරු ළඳ පැමිණ

ලය ඇති තැනින් මා කය විවර කොට

මහදවත වෙත එළඹ 

එහි ලියනු රත්තරන් අකුරින් 

යළිත් කිසිදා ඉන් බැහැර නොවන ලෙස

ඇගේ සුන්දර නාමය මට දැනිණි.’

                                                          ඩිකැමරන් 

බොකාෂියෝ යනු ලංකාවේ සාහිත්‍ය අධ්‍යයන ක්ෂේත්‍රයේ ප්‍රසිද්ධ නමකි. Giovanni Boccaccio  යන ඒ නම සිංහලයට පැමිණ ඇත්තේ ජියොවන්නි බොකෑෂියෝ ලෙස වුවත් එය ඉතාලි බසින් උච්චාරණය වන්නේ ජොවන්නි බොක්කාෂො ලෙසය. ඔහුගේ ඩිකැමරන් නම් කතා සංග්‍රහය අපගේ සාහිත්‍ය කතිකාවේ එන්නේ නූතන ප්‍රබන්ධ කථාවට මගපෑදූ පූර්වගාමී කතා සංග්‍රහයක් ලෙසටය. එය 1350 වර්ෂයේදී පළ විය. ඒ වූකලී අප රට සද්ධර්මරත්නාවලිය ලියැවුණු කාලයේය. ඩිකැමරන් කෘතියෙහි එන කතා දෙකකදීම සැබෑ ආදරය නියෝජනය කරන්නට හදවත යොදා ගැනේ. එහි එක් කතාවක එන්නේ මෙවැනි කතාවකි: එක් රටක පාලකයෙකු වන තන්ක්‍රේදි කුමාරයා සිය දියණිය කෙරෙහි ව්‍යභිචාරාත්මක ප්‍රේමයක් දක්වයි. පළමු විවාහයෙන් පසුව තරුණ වයසේදීම වැන්දඹුවකව බවට පත්ව පියාගේ මාලිගයට පැමිණ සිටින දියණියට පෙම්වතෙක් සිටියි. ලිංගික ඊර්ෂ්‍යාවෙන් යුත් තන්ක්‍රේදි දියණියගේ පෙම්වතා මරා ඔහුගේ හදවත රන් මංජුසාවක බහා දියණිය වෙත යවයි. ඒ කුමාරිය පෙම්වතාගේ හදවත සිය දෙතොල වෙත ඔසවා සිපගනියි. ඇය මෙසේ කියයි:

‘ඔහුගේ ආත්මය තවමත් මේ හදවත තුළ තිබෙන බව මම දනිමි. ඔහුත් මාත් ප්‍රීතියෙන් සිටි තැන් දෙස ඒ ආත්මය බලා සිටින බවත් දනිමි.’

ඉක්බිතිව ඇය තමන් ලද මිල කළ නොහැකි ත්‍යාගය (එනම් පෙම්වතාගේ හදවත) තමා වෙත ගෙනා සේවකයන්ට ස්තුති කරයි. ඒ හදවත රැඳි මංජුසාවටම සිය කඳුළුද යම් විෂ වර්ගයක්ද එක් කරන ඇය එය බී මරණය අපේක්ෂාවෙන් සයනයෙහි වැතිරෙයි. ඇය මෙසේ කියයි:

‘අහෝ හදවත! ඔබ වෙනුවෙන් කළ යුතුව තිබූ සියල්ල මා දැන් කර අවසන්ය.’

මරා දැමුණු ප්‍රේමවන්තයාගේ ආත්මය සමග එක් වන අපේක්ෂාවෙන් ඇය දැන් බලා සිටින්නේ මරණය පැමිණෙන තෙක්ය.

  අපේ ඇතැම් ජාතක කතාවක් සිහි කරන මෙම කතාව ව්‍යභිචාරය (incest)  හෙවත් ලේ ඥාතීන් සමග ලිංගික සම්බන්ධතා වළක්වා ගැනීමට මනුෂ්‍ය වර්ගයා කළ දීර්ඝ කාලීන අරගලය සිහිපත් කරයි. ව්‍යභිචාරය යනු බොහෝ කාලයක ප්‍රයත්නයකින් පසුව මනුෂ්‍ය සමාජයෙන් ඉවත් කෙරුණු දෙයකි. අදත් එය සපුරා ඉවත් වී නැති බවට අපමණ සාක්ෂි සෑම රටකින්ම හමු වේ. බොක්කාෂො අපට කියන්නේ සදාතනික අදාළත්වයක් ඇති කතාවකි.

   ඉතිහාසය පුරා බටහිර සාහිත්‍ය කෘතිවල ආදරයේ සහ හෘදය සාක්ෂියේ ප්‍රධාන ඉන්ද්‍රිය ‘හදවත’ බව පෙන්වන නිදර්ශන ෆිගරේඩුගේ පොතෙහි එයි. අපි තවත් නිදර්ශනයක් වෙත උඩින් පැන යමු:

   විලියම් ශේක්ස්පියර්ගේ කවි සහ නාට්‍ය ගණනාවකද හදවත ප්‍රබල සංකේතාර්ථ පිණිස භාවිත වේ. ඔහු 1623 දී ලියූ Much Ado About Nothing නාට්‍යයෙහි එක් තැනක එන්නේ මෙවැන්නකි: ආදරවන්ත බෙනඩික් සිය ආදරය ප්‍රකාශ කළ විට ආදරවන්තිය වන බියටි්‍රස් මෙසේ කියයි: ‘මා ඔබට හදවතේ කෙයිතරමකින් නම් ඔබට ආදාරේද කියනවා නම් ඊට විරුද්ධ වන කිසිවක් හදවතේ ඉතිරිව නැත.’

   හදවත රොමෑන්තික ආදරයේද, ගෘහස්ථ ප්‍රේමයේද, දෙවියන් වෙත වූ ආදරයේද කේන්ද්‍රය ලෙස බටහිර සාහිත්‍ය ඉතිහාසයේ දිගින් දිගටම භාවිත වන බව ෆිගරේඩු පෙන්වා දෙයි. නූතන බටහිර සාහිත්‍යයෙන් ඔහු සපයන නිදර්ශනද සිත්ගන්නාසුලුය. ශ්‍රේෂඨ නූතනවාදී ලේඛක ජේම්ස් ජොයිස්ගේ නවකතාව A Portrait of the Artist as a Young Man (1916) කෘතියෙහි එක් තැනක එන වැකියකින් නවකතාවේ කතා නායක ස්ටීවන් ප්‍රථම වරට සිය ආදර ආකර්ෂණයට ලක් වූ කෙල්ල ගැන සිතමින් දැවෙයි. ජොයිස් එය විස්තර කරන වැකිය අපට මෙසේ සිංහලට ගන්නට පුළුවන: 

‘දිය රැලක් මත නටන කිරල ඇබයක් සේ ඔහුගේ හදවත ඇගේ චලනයන් මත නටන්නට වූයේය.’ 

   මිලාන් කුන්දේරාගේ The Unbearable Lightness of Being (1984)  කෘතියෙහි එන වැකියක් අපගේ රචනයෙහි අවසන් නිදර්ශනය සේ ගනිමු. මේ කෘතිය පියාපතක් වන් ජීවිතයක් යනුවෙන් ගාමිණි විජේතුංග විසින් සිංහලට නැගුණද මේ ලියන මොහොත වන විට එය මා අසල නැත. එම නවකතාවෙහි සබීනා නම් චරිතය ඇමරිකානු සෙනෙට් සභිකයෙකු සිය දරුවන් දුවපනිමින් සෙල්ලම් කරන දෙස බලා සිටින ආකාරය දකියි. ඒ දකින ඇය මෙසේ සිතයි: ‘හදවත කතා කරන ඊට බාධා කිරීම අශීලාචාර බව මනසට අවබෝධ වේ.’ මනසින් කරන තර්කය බැහැර කරන ඇය සිතන්නේ අපේ හදවතෙහි ඇති හැඟීම් අපට කියන දේවල් අපගේ තාර්කික චින්තනයට වඩා අර්ථවත් වන බවය. මෙය විවාදාත්මක අදහසක් විය හැකිය. හදවත වෙත අප පවරා දෙන සංවේදනාවලින් තොර තාර්කික චින්තනය ඉතා දුප්පත් චින්තනයක් බව නම් ඇත්තය. ඉතා සියුම් චින්තනයෙහි යෙදෙන අතරම ඉතා සියුම් හැඟීම් හා සංවේදනාද ඇති පුරවැසි පිරිසක් බිහි කරගත හැක්කේ ඉතා පොහොසත් අධ්‍යාපනයකිනි. සාහිත්‍ය කලා ආදිය දායක වන්නේ ඒ කාර්යටය.

    සිංහල සාහිත්‍ය සංස්කෘතිය තුළ සීගිරි ගීයෙහි සිටම හදවත පිළිබඳ රූපකය එයි. එහි ගිය පිරිමි සීගිරි බිත්තිවල ඇඳි රුවැති ළඳුන් හදවත් ගල් කරගෙන සිටීම පිළිබඳ මැසිවිලි කියති. සිංහල සාහිත්‍යයෙහි හදවත නිරූපණය වී ඇති ආකාරය කාට හෝ හොඳ පර්යේෂණ මාතෘකාවකි.

   තාර්කික මනස හා භාවමය හදවත අතර මනා සුසංවාදයක් ඇති කිරීම පිළිබඳ අදහස මෙම රචනයට තේමාව සපයන ෆිගරේඩුගේ පොතෙහිද එයි. සැබැවින්ම මොළය හා හෘදය වස්තුව අතර සංධ්වනියක වැනි සමීම සමාගමය නිසා මනුෂ්‍ය ජීවිතයෙහි පැවැත්ම ඇති වන්නේ පමණක් නොව එය අර්ථවත්ද වේ. අතිතාර්කික, අතිවිද්‍යාත්මක, හෝ විතණ්ඩවාදී මනුෂ්‍ය ජීවිතයක් යනු ඉතා දුගී ජීවිතයක් බව සාහිත්‍ය කලාකාරයන් ඉඟි කර ඇත්තේ හදවත හා මොළය අතර සුසංවාදය ගැන විද්‍යාඥයන් කතා කරන්නට බොහෝ කලෙකට පෙරය.

(2024 ජනවාරි 28 -අරුණ පුවත්පත)

   


No comments:

Post a Comment