Tuesday, May 31, 2022

මේ අමුතු ආදරයේ ආනිසංස මොනවාද? ලියනගේ අමරකීර්ති






  ප්‍රේමානිශංස යනු අලුත් ආකාරයක නවකතාවකි. නිර්මාණශීලී ලේඛකයා අත ඕනෑම අතකට නමා අලුතින් හැඩයක් නෙළා ගත හැකි සුඛනම්‍ය ස්වභාවයක් නවකතාවට තිබේ. නවකතාව ලෝකයෙහි පවත්නා වඩාම සුඛනම්‍ය ශානරය යැයි ටෙරී ඊගල්ටන් කියා තිබිණි. එය යම් කාලයක් නවකතා කියවා ඇති ඕනෑම කෙනෙකුට වුවද අවබෝධ වන දෙයකි.

චන්ද්‍රරත්න බණ්ඩාර ලියා ඇති මේ නවකතාව නවකතාවක්දැයි ඇසිය හැකි තරමට එය අලුත් බව කෙනෙකුට පෙනෙන්නට ඉඩ තිබේ. එය එක්තරා ආඛ්‍යානමය රාමුවක් වෙතට දමන ලද සංස්කෘතික ඉතිහාසයක් සේද පෙනේ. ඒ සංස්කෘතික ඉතිහාස ලිය වී ඇත්තේ ගෘහ නිර්මාණ සහ දෘශ්‍ය කලා පිළිබඳ විවරණාත්මක ඉතිහාසයක් ආදර කතාවක් තුළ රුවමිනි.

යටත් විජිත යුගයෙහි රේන්ද කර්මාන්තය හා වතු වගාව නිසා ධනවත් වූ පහත රට පවුලක හතර වෙනි පරම්පරාවට අයත් තරුණයෙක් සිටියි. ඔහු සොක්කන් ලොක්කන් වූ හැටි වැනි පොතක මහාචාර්ය කුමාරි ජයවර්ධන විස්තර කරන වතුකාර සහ රේන්දකාර ධනවතුන්ගේ පවුල්වල අලුත් පරම්පරාවට අයිතිය. නවකතාවේ කථකයාද ඔහුය. ආනන්ද කුමාරස්වාමිගේ මී මිණිබිරියක වන නිරූ සමග ඔහු ප්‍රේමයෙන් වෙළී සිටියි. සංකේතමය වශයෙන් ගත් කල නිරූ යනු ආචාර්ය රාධිකා කුමාරස්වාමිගේ හෝ ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමිගේ දියණියක වැනිය. මුතු කුමාරස්වාමි ඇගේ මී මුත්තාය. යටත් විජිත යුගයේ බිහි වූ ඉහළ පාන්තික ප්‍රභූ සමාජ පන්තියක සංස්කෘතික ප්‍රබුද්ධත්වයක්ද ඉහළ මට්ටමේ උගත්කමක්ද ඇගේ පරම්පරාවෙන් නියෝජනය වේ. යටත් විජිත ශිෂ්ටාචාරකරණයෙහි අග්‍ර ඵලය ඒ පරම්පරාවෙන් නියෝජනය වන්නාක් මෙනි. 

                                     සොක්කන්ව සිට ලොක්කන්ව

 මේ තරුණ යුවළ විවාහ නොවී එකට වසයි. මේ ලිවින් ටුගෙද ජෝඩුව පුරාවිද්‍යාව හදාරති. ඔවුහු මහාචාර්ය සේනක බණ්ඩාරනායකගේ ශිෂ්‍යයෝ වෙති. ඔහු සමග ක්ෂේත්‍ර චාරිකාද ගොස් තිබේ. කථක තරුණයා වන සයුරුගේ ඇසද සිතද පුරා නිරූ නමැති තරුණ ස්ත්‍රිය උත්කර්ෂණය වේ. ඔහු ඇගේ සිරුරේ සියලු තැන්වලටද, ඇගේ සෑම වචනයකටම ආශක්ත වී සිටියි. ඔහුට එක්තරා සංස්කෘතිකවත් බවක් ගෙන දීමට ඇය හේතු වී ඇති බවද පෙනේ. යටත් විජිත ශිෂ්ටාචාරකරණයේ ප්‍රබුද්ධ අක්ෂය නියෝජනය කරන කුමාරස්වාමි ධාරාව සහ යටත් ආර්ථික වර්ධනයේ ව්‍යාපාරික අක්ෂය නියෝජනය කරන රේන්දකාර ධාරාව හතර වෙනි හෝ පස්වෙනි පරම්පරාවේදී අහම්බෙන් මෙන් මුණ ගැසී තිබේ. පානදුරේ රේන්දකාරයෙකු වන සයුරුගේ පරම්පරාවේ අය ධනවතුන් වී ඇත්තේ, පොල් වතු ආදිය හිමිකරගෙන ඇත්තේ වතුකර දෙමළ ශ්‍රමිකයන් ඇතුළු මෙරට වැඩ කරන ජනතාවට අරක්කු පුරුදු කර මත් ලෝලීන් කිරීමෙනි. ඒ ඉතිහාසය දෙස විචාරාත්මකව බැලිය හැකි සයුරු දැන් ගෘහ නිර්මාණ ශිල්පියෙකි.

                                සරාගික ප්‍රබුද්ධිනිය

  මේ තරුණයා තමන්ගේ පරම්පරාවට නැති කුමාරස්වාමි පරම්පරාවට ඇති බුද්ධිමය හා සංස්කෘතිකවත් ජිවිතය හා රසඥතාවට දැඩි ආසාවක් ඇත. ඒ ආසාව අර ප්‍රබුද්ධත්වය නියෝජනය කරන නිරූ වෙත ආරෝපණය කර උත්කර්ෂණය කරයි. එහෙත් ඇගේ විදග්ධ සංස්කෘතික උරුමය තිබියදීත් ඇය පශ්චාත් නූතන සංස්කෘතික රැඩිකල්භාවයක් දරයි. ක්ෂේත්‍ර චාරිකාවල ගිය විට ඉපැරණි ගල් ගුහාවල පවා සයුරු සමග රමණය කරන්නට ඇයට අවශ්‍ය වෙයි. ඒ නිසා නවකතාවේ තැනින් තැන උත්කර්ෂවත් වූද විටෙක භාවාතිශය වූද භාෂාවෙන් වර්ණනා වන රමණ දර්ශන තිබේ. හොලිවුඩ් රහස් පරීක්ෂක චිත්‍රපටිවල කඩවසම් රහස් පරීක්ෂකයා හා ඔහුගේ සරාගී සහකාරිය අතර ලිංගික රසායනයේ තෙරපුම චිත්‍රපටිය පුරාම ප්‍රේක්ෂකයා ග්‍රහණය කර ගැනීමටත්, විටින් විට චුම්භන දර්ශනයකින් ප්‍රේක්ෂකයා උත්තේජනය කර තැබීමටත් භාවිත වන්නේ යම් සේද මේ නවකතාවේ ආදර යුවළ අතර ලිංගික ආතතියද එසේය. විශේෂයෙන්, කථක පිරිමියාගේ ඇසෙහි නිරූ පෙනෙන්නේ සිය පරම්පරාවේ අහළකවත්, කවදාකවත් නොසිටි ගුප්ත ප්‍රබුද්ධත්වයකින් යුතු ස්ත්‍රියක ලෙසිනි.ඔහුගේ පරම්පරාව ව්‍යාපාරික රේඛාව දිගේද, ඇගේ පරම්පරාව ප්‍රබුද්ධ විදග්ධත්වයේ රේඛාව දිගේද රේල් පීලි මත යන්නාක් මෙන් පරම්පරා හතරක් විකාශනය වී ඇති සෙයකි. මේ විකාශන රේඛා දෙක නවකතාවෙහි පෙනෙන ආකාරය සරල වැඩි යැයි මට සිතේ.

  එය කොතරම්ද ධනවත් ඉඩම්හිමි ඉහළ පාන්තික උරුමයක් ඇති සයුරු නම් කථකයා නිරූ දෙස බලන්නේ නිදහස් අධ්‍යාපනය නිසා ඉහළ පාසලකට ගොස් මධ්‍යම පන්තියට ප්‍රවේශ වූ පහළ පාන්තික පිරිමියෙකු ඇය වැනි ඉහළ පාන්තික ස්ත්‍රියක අති උත්කර්ෂණය කරන්නාක් මෙනි. ඇය වැනි ප්‍රබුද්ධ, රැඩිකල්, කලා පිස්සියන් සයුරුගේ පවුල් ගහේ කොතනකින්වත් පහළ විය නොහැකිද? 

  දැනට සෑහෙන තරම් උගත්, අයිසීඊඑස් වැනි බුද්ධිමය රාජ්‍යනොවන සංවිධානවල දේශන ආදියද අසන, මහාචාර්ය සේනක බණ්ඩාරනායක වැනි අය සමීපව ඇසුරු කරන ප්‍රබුද්ධ රැඩිකල් අදහසින්ද, සරාගී සිරුරින්, මනබඳන හාවභාවලීලාවෙන්ද යුතු නිරූ සමාන කෙරෙන්නේ හොලිවුඩ් ජනප්‍රිය සංස්කෘතියෙහි හමුවන එතරම් ප්‍රබුද්ධ යැයි කිව නොහැකි ජෙනිෆර් ලොපේස්, පැරිස් හිල්ටන් වැනි මධ්‍යම ගණයේ නිළියන්, නිරූපිකාවන් ආදීන්ටය. කථක පිරිමියා කිසි දවස නිරූ අර නිළියන්ට සමාන යැයි ඇයට කියන්නේ නැත. එසේ කිව්වොත් හොඳවයින් දෙකක් අසා ගන්නට සිදු වනු ඇත. මෙයින් පෙනෙන්නේ කුමක්ද? ඇගේ ප්‍රබුද්ධත්වය වෙත වූ ඔහුගේ ආකර්ෂණය රැඳී ඇත්තේ හුදෙක් කායික ආශාව මතද? ඒ ප්‍රශ්නය එන්නේ අර හොලිවුඩ් ස්ත්‍රීන් දෙදෙනා යනු විදග්ධ ස්ත්‍රී ලාලිත්‍යයක සංකේතවලට වඩා ආසන්න වන්නේ සරල, වෙළඳ සංස්කෘතියක ලිංගික සංකේතවලටය.

                                        ලිංගික රසායනයේ ආතතිය

    කෙසේ නමුත් සයුරු සහ නිරූ දෙදෙනා අතර ආදර-ලිංගික රසයානයේ ආතතියෙන් යුතු කතාවේ එතරම් නාට්‍යමය කතාවක් නැත. ඒ දෙදෙනාගේ අතර ආතතිය භාවිත කර ග්‍රහණය කරගන්නා පාඨකයාට මහ නුවර ප්‍රදේශයේ සංස්කෘතික, කලා ඉතිහාසය ආදිය ඉදිරිපත් කෙරෙන ආකාරය ආඛ්‍යානමය අලුත් බවක් දරයි. අවශ්‍ය නම් තෝරාගත් තැන්වල (දළදා මාලිගාව, ඇම්බැක්කේ, දෙගල්fදාරුව වැනි) ඡායාරූපද ඇතුළු කොට මෙය කොෆී ටේබල් නවකතාවක් බවටද පත් කළ හැකිය. ඒ හුදෙක් හාස්‍ය පිණිස කීවේ නොවේ. ජර්මානු සම්භවයක් ඇති ඩබ්ලිව්. ජී. සීබෝල්ඩ් එවැනි ආකාරයක උපශානරයක් නිර්මාණය කළේය. චාරිකා කතාව සහ ප්‍රබන්ධය අතර නවකතා විශේෂයක් වූ එය විචාරක ආකර්ෂණයද දිනා ගත්තේය. ඔහු අනතුරකින් මිය ගියේද තවත් එවැනි පොතක වැඩ කරන අතරය.

   ‘ප්‍රේමානිසංස’ යනු ප්‍රේමයේ ප්‍රතිලාභ වැනි අදහසකි. සිංහල ජාතිකවාදී පරම්පරාවක පිරිමියා සහ දෙමළ සර්වභෞමිකවාදී පරම්පරාවක ස්ත්‍රිය එකිනෙකා මුණ ගැසීමෙන් සහ ප්‍රේම කිරීමෙන්, එකිනෙකාගේද දෙදෙනාගේමද උරුමය වූ සංස්සකෘතිය ගවේෂණය කරන්නට අවස්ථාව ලැබේ. කථක පිරිමියාට එක්තරා ප්‍රබුද්ධත්වයක් කරා යාමටද නෛසර්ගිකවම මෙන් ඔහුට උරුම වූ ජනවාර්ගික ජාතිකවාදී අදහස්වලින් නිදහස්වීමටද ඇය නිසා ඉඩහසර ලැබේ. නවකතාකරුවා මේ දෙදෙනාගේ ප්‍රේමයේ කතාවෙන් අපට ලබන්නට ආරාධනා කරන ආනිසංසයක්ද එයයි. ඒ දෙදෙනා 2009 වර්ෂයේ යුද්ධයේ අවසානයේ රූපවාහිනියෙන් පෙන්වන ජයග්‍රාහී වාර්ථාද එකටම නරඹති. ඒ ජයග්‍රහණය වෙනුවෙන් පිසින ලද වාර්ථාගත කිරිබතද නරඹති. පසුව ඔහු ඇය සමග කුමාරස්වාමිවරුන්ගේ සම්භවය සිදුවූ යාපනය නරඹයි. ඒ දෙදෙනා දකින දේවල් ඇසුරින් කෙරෙන විවරණය නවකතාවේ කලාත්මකත්වය බිඳගෙන නැගෙන සංස්කෘතික රචනයක ස්වරූපය ගනියි. චරිත දෙක තුනක් මුණ ගැසී මොහොතක් ගත වන විට ආඛ්‍යානමය සිද්ධි මාලාවක් ගොඩ නැගෙතියි අපේක්ෂා කරන පාඨකයාට දකින්නට ලැබෙන්නේ තව මොහොතකින් පැන නගින සංස්කෘතික විවරණයයි. ඇතැම් විට ඒවා ශාස්ත්‍රීය ලෝකයේදී අපට හුරුපුරුදු විවරණම වීමෙන් සාහිත්යික කියවීමට බාධාද සිදු වේ.

                                                විවරණාඛ්‍යානය

ඇතැම් දෘෂ්ටිකෝණයකින් බලන කල මෙය ඉතා අඩු නවකතාමය ලක්ෂණ සහිත ප්‍රබන්ධාත්මක සංස්කෘතික විවරණයකි. ඒ සෑම ගමනකදීම විටින් විට මතු කෙරෙන දෙදෙනා අතර පවතින ලිංගික රසායනය පාඨකයාගේ වෙහෙස නිවීමට යොදාගන්නා අවස්ථාද තිබේ. එහෙත්, සංස්කෘතිය ඉතිහාසය හදාරන්නට කැමති මා වැනි පාඨකයෙකු වෙහෙසට පත් නොවන ඉතා වැදගත් සංස්කෘතික තොරතුරු නවකතාවේ පඨිතය මත මැනවින් වියා දක්වා තිබේ. ඒ නිසා මේ ආදරවන්තයන් දෙදෙනා ලංකාව පුරා අවකාශය ඔස්සේ යන ගමන මගින් කාලය ඔස්සේ සංස්කෘතික ඉතිහාසමය චාරිකාවක යෙදෙන්නටද අපට අවකාශ ලැබේ. නවකතාවේ අවසාන කොටස වන විට ඒ සංස්කෘතික ගවේෂණය දකුණු ආසියාව පුරාම පැතිර යයි. අපි ඒ යුවළගේ ලිංගික රසායානයට ඇලී ඒ විශාල ලෝකය ඔස්සේ යමු. නවකතාවේ ඒ කොටසේ ආදරය ලිංගිකත්වය වෙතින් තරමක ඉහළට එසවී වෙනස් අඩවියකට මාරු වෙයි. ඒ කොයි අඩවියේ ආදරය පැවතියත් ඔවුන් සමග යන ඒ සංස්කෘතික ගවේෂණ චාරිකාවට මම ඉතා ප්‍රිය කරමි.

  ආනන්ද කුමාරස්වාමි යුගයේ සිට මෙරට සර්වභෞමිකවාදී ප්‍රබුද්ධයන්ගේ ජීවිතයෙහි වූ පොදු ජන ජීවිතයෙන් දුරස්ථ ඒකපුද්ගල නිදහස්කාමය මේ නවකතාවේ කථකයා වන සයුරුගේ, නිරූගේද පරම්පරාව වන විට තවත් වැඩිවී තිබේද? පහළ ජනබිම වෙත මුල් නැතිව සමාජ ප්‍රබුද්ධත්වයක් ඇති කළ හැකිද? ලයනල් වෙන්ඩ්, ස්ටැන්ලි කිරින්දේ, අයිවන් පීරිස්, ලෙස්ටර් ජේම්ස් පීරිස්, සේනක බණ්ඩාරනායක ආදීන්ගේ සිට අද සුනේත්‍රා බණ්ඩාරනායක දක්වා ඇදී එන්නේ අපගේ පොදු සමාජය සමග ඓන්ද්‍රීය සම්බන්ධයක් නැතිකමේ ප්‍රශ්නයද?

    යාපනයේ බ්‍රාහ්මණ පවුලකටත්, එංගලන්තයේ ප්‍රභූ පවුලකටත් ලේ ඥාති සම්බන්ධකම් ඇති නිරූ හෙවත් ආනන්ද කුමාරස්වාමිගේ මිණිබිරිය සහ නවකතාවේ කථක පානදුරේ රේන්දකාර පවුලකින් පැවත එන (සලාගම) උරුමයක් ඇති සයුරුගේ ආදර සම්බන්ධය කෙළවර වන්නේ කෙසේදැයි සොයා ගැනීමේ කාර්ය මම පාඨකයාට ඉතුරු කරමි. 


       මේ පොත රසවත්ය; එහි එන සංස්කෘතික ඉතිහාසමය අන්තර්පඨිතත්වය නිසා ඇති වන පෘථුල සමාජ-සංස්කෘතික චිත්‍රය හුදෙක් පොතෙහි එන ‘කතාව’ ඉක්මවා සිටියි. එය සැලකිය යුතු උගත්කමක් ඇති ලේඛකයෙකුට පමණක් ලිවිය හැකි පොතක් වන අතර පාඨකයාද එහි එන අන්තර්පඨිතමය ඇඟවුම් දැකීමේ හැකියාවෙන් යුක්ත විය යුතුය. මේ ස්වරූපයේ පොතක සාමාන්‍යයෙන් තිබිය හැකි අනවශ්‍ය බරක් ලේඛකයාගේ ගද්‍යයෙහි නොවේ. බෙහෙවින් සුපඨනීය ලෙස ලියැවී ඇති පොතෙහි ඇතැම් තැන් ඉතා ආකර්ෂණීයද වේ. ඇතැම් තැනක වන අතිශයෝක්ති උත්කර්ෂණය පරිණත පාඨකයෙකු වෙහෙසට පත් කරන්නටද ඉඩ තිබේ. එහෙත් ඊටත් වඩා අප වෙහෙසට පත් කරන දෙයක් මේ පොතේ තිබේ. ඒ වූකලි අප රට සංස්කෘතික ප්‍රබුද්ධත්වය ඇති කරන්නට සමත් වූද සීමාන්තික ජාතිකවාදී විෂය ලෝකයෙන් එපිටට දැකීමේ හැකියාව ඇත්තා වූද, එහෙත් සමස්ත සමාජයක් අමතා ප්‍රබුද්ධ පුනරුදයක භාෂාව කතා කරන්නා වූද මහා මිනිසුන් බිහි කරන්නට අප රටට තවදුරටත් හැකියාවක් තිබේද යන ප්‍රශ්නය නවකතාව පුරා තේමාත්මකව ඇසීමය. මා වෘත්තීය ජීවිතය ගෙවන්නේ අවිශිෂ්ටත්වය බහුතරය වූ විශ්වවිද්‍යාල සංස්කෘතියක් තුළය. ඒ ඒ අධ්‍යයන අංශය වෙන් වෙන්ව ගෙන පරීක්ෂා කොට බැලුවත් සාමාජ-සංස්කෘතික ප්‍රබුද්ධත්වය සමාජය වෙත කැඳවීමේ ශක්‍යතාව ඇත්තෝ ඒ අංශවල දැකිය හැකිද? මා විශ්වාස කරන්නේ එක එක තරමේ ශක්‍යතාවෙන් යුක්ත මධ්‍යම ප්‍රමාණයේ ප්‍රබුද්ධයන්ගේ සාමූහික ප්‍රයත්නයකින් ඇති කරන සමාජ-සංස්කෘතික පරිවර්තනයකි. මගේ ඒ අපේක්ෂාව මේ නවකතාවෙහි සංස්කෘතික දෘෂ්ටියට වඩා ප්‍රගතිශීලී යැයි සිතන්නට මම කැමැත්තෙමි.

  මේ නවකතාව කියවා ආරම්භ කර පිටු කිහිපයක් යන විටම මට ගුණදාස අමරසේකරගේ ගන්ධබ්බ අපදානය සිහිවිය. තවත් පිටු කිහිපයක් යන විට නවකතාවේ කථකයාද ඒ නවකතාව ගැන කතා කරන්නට විය. එනම් අමරසේකරගේ නවකතාව සහ ප්‍රේමානිශංස අතර අන්තර්පඨිතමය සම්බන්ධයක් ගොඩනගන්නට ලේඛකයාට අවශ්‍ය වී තිබේ. නවකතා දෙකේ කතා දෙකද ඒවා අවසාන වන ආකාරයද අපේ සංස්කෘතියේ හරස්කඩක් වේ. මේ නවකතාව කියවූ අය අර නවකතාව කියවා නැතිනම් එයත් කියවීම උචිතය.






No comments:

Post a Comment