Sunday, May 12, 2019

බෙග් මාස්ටර්ලාගේ සංස්කෘතික විශ්වය සහ ආගමික අන්තවාදය






වෙසක් දවසට බුදුගුණ ගැයෙන්නේ බෙග් මාස්ටර්ගේ හඬින්ය යන්න අපි නිතර කියමු. එය කියවෙන්නේ මුස්ලිම් සහ සිංහල ජනයා අතර සම්බන්ධයේ සංහිඳියාව පෙන්වනු පිණිසය. සැබවින්ම එය ඉතා සාධනීය කරුණකි. එපමණක් නොව ගවුස් මාස්ටර්ගේ සංගීත නිර්මාණද ගලගෙදර අබ්දුල් හක්ගේ තනු නිර්මාණද ගැන අපි කතා කරමු. බුදු ගුණ පමණක් නොව ලෞකික ආලයේ මිහිරද මුස්ලිම් සංගීතඥයන් සහ ගායක ගායිකාවන් නිසා අපට විඳින්නට ඉඩ ලැබී තිබේ. ටිකිරි මැණිකෙ ඇඹුල ගෙනැල්ලා ගොවි රාළ ගොඩට ඇවිල්ලායනුවෙන් මොහිදීන් බෙග් ගයන්නේ සිංහල ගමක ප්‍රේමයයි. එය සිංහල-බෞද්ධ ගමක ගොවි යුවළකගේ ප්‍රේමයෙන් යුතු ජීවිතය අපට විස්තර කරයි. එය සුන්දර සන්සුන් ජීවිතයකි. බෙග් විසින් රොමෑන්තිකකරණය වන්නේ අපේ ජීවිතයයි.

Monday, May 6, 2019

පර්දාවට එරෙහි මුස්ලිම් කිවිඳියෝ සහ නූතනත්වය - ලියනගේ අමරකීර්ති



 ස්ත්‍රීන්ගේ විමුක්ති කතිකාව දකුණු ආසියාව වෙත ආවේ බටහිර නූතනත්වය සමග යැයි කීම අතිසරල කතාවකි. එසේ කීම නූතනත්වයද ආගමක් සේ ඇදහීමකි. එසේම ස්ත්‍රීන් පර්දාවෙන් හෝ බුර්කාවෙන් වසා කොන් කර මුල්ලකට කර තැබීම හෝ දූෂ්‍යකාරක වස්තුවක් සේ හෝ සැලකීම ඉස්ලාමයේ හෝ අනික් ආගමක සිරිත වී යැයි තර්ක කිරීමද සීමාන්තික ආගමිකවාදයකි. එයද පැරණි ඉස්ලාමයේ සෑම විටෙකම තිබුණු දෙයක් නොවේ. දකුණු ආසියාවේ පැවති ඇතැම් ස්ත්‍රී පීඩක ආගමික සිරිත විරිත් යටත් විජිතවාදීන් විසින් අධි-අවධාරණය කෙරිණි. සිය සැමියාගේ දර සෑයට පැන වැන්දඹු බිරිඳ දිවි නසා ගත යුතු යැයි කියන සති පූජාව ඉන්දියාවේ බහුලව පැවති සිරිතක් නොවේ. 

Saturday, May 4, 2019

ඉස්ලාම් මූලධර්මවාදය සහ බටහිර නූතනත්වය - ලියනගේ අමරකීර්ති




අප්‍රේල් 21 වැනි දා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ලංකාවේ ඉස්ලාමීය අන්තවාදීන් සහ ත්‍රස්තවාදීන් දඩයම සිදු වේ. ඊට මධ්‍යස්ථ මතධාරී මුස්ලිම් ජනයාගේ සහාය ලැබෙන බවද පෙනේ. ඇතැම් අත්අඩංගුවට ගැනීම්වලට මග පාදන තොරතුරු සපයනන්නේද සාමාන්‍ය මුස්ලිම් ජනයා යැයි කියවේ. දේශපාලන බලය ඇති මුස්ලිම් අය තම බලය අවභාවිත කොට තොරතුරු සඟවන්නට ඉඩ ඇතත්, සාමාන්‍ය මුස්ලිම් ජනයා ආරක්ෂක අංශ වෙත සියලු සහාය දෙන බව පෙනේ. එය උචිතය. මෙම අත්අඩංගුවට ගැනීම්වලින් පමණක් මෙම ගැටලුව විසඳීම ඉතා දුෂ්කර වන්නට ඉඩ තිබේ. ඒ පාස්කු දවසේ ලංකාවේ අප කැඳවනු ලැබ ඇත්තේ ලෝක පරිමාණ ත්‍රස්තවාදයක් වෙත වන්නටද ඉඩ තිබේ. ඒ කෙසේ වෙතත් ළඟදී එළඹෙන මැතිවරණ උදෙසා කරන දේශපාලන ගණන් බැලීම්වලින් වැලකී සියලු පරීක්ෂා කිරීම්වලට ආරක්ෂක අංශවලට ඉඩ දීම අවශ්‍ය වේ.