Wednesday, June 29, 2022

රාජ්‍යය හමුවේ පුරවැසි කාර්ය කියා දෙන ඒ අමරණීය සුදු රෝස පත්‍රිකා - ලියනගේ අමරකීර්ති

 


                                            White Rose Resistance Group

ක්ෂණික අන්තර්දෘෂ්ටියක් අනාවරණය කිරීම සහ කෙටිකතාව - ලියනගේ අමරකීර්ති

 



     කෙටිකතාව නම් සාහිත්‍ය ශානරය නිර්වචනය කිරීමට තැත් දැරූ අවස්ථාත් ඒ නිර්වචන ගැන වෙනම අධ්‍යයනය කිරීමට තැත් දැරූ අවස්ථාත් අපමණ ඇත. සාහිත්‍ය න්‍යායධරයෙකු වන චාල්ස් ඊ මේ කෙටිකතාව නම් රචනා විධිය පිළිබඳ නිශ්චිත නිර්වචනයක් වර්ධනය කිරීමට දසවරකටත් වඩා කාලයක් පුරා වරින් වර තැත් කළ බව කෙටිකතාව පිළිබඳ තවත් න්‍යායධරයෙකු වන නෝර්මන් ෆ්‍රීඩ්මන් 1989 දී ෂෝර්ට් ස්ටෝරි තියරි ඇට් අ ක්‍රොස්රෝඩ් නම් රචනා සංග්‍රහයේදී ලිව්වේය. එය ඇත්තකි. චාල්ස් ඊ මේ කෙටිකතාව නම් ශානරය ගැන කෘති කිහිපයක්ම පළ කළේය. විසි වැනි සියවසේ අගභාගයේදී කෙටිකතාව නම් සාහිත්‍ය ශානරය න්‍යායගත කිරීමට තැත් කළ ප්‍රධානතමයාද ඔහු විය හැකිය. ඔහුගේ අවධානය යොමු වූයේ කෙටිකතාවේ කෙටිවීමත් එහිලා පාදක වන අත්දැකීමත් අතර සම්බන්ධයක් ඇතිදැයි සොයා බැලීම වෙතයි. කෙටිකතාව වඩා සාර්ථක වන්නේ “කෙටි” යැයි හැඳින්විය හැකි අත්දැකීම් විශේෂයක් විෂය කරගත් විට යැයි ඔහු දැක්කේය. නවකතාව ජීවිතය පිළිබඳ අපේ දෛනික සංජානය විෂය කරගන්නා අතර කෙටිකතාව ඒ දෛනික සංජානනයේ තිරපට විනිවිද ක්ෂණික අන්තර්දෘෂ්ටියක් සපයයි. එය ක්ෂණික වූද අනපේක්ෂිත වූද ආලෝකයක් එල්ල කිරීමකි. 

  මෙම ක්ෂණික අන්තර්දෘෂ්ටි ආලෝකයක් එල්ල කිරීම හුදෙක් කෙටිකතාවට පමණක් ආවේනික දෙයක් නොවන බව දැන් සාහිත්‍ය ලෝකය දනී. එය නවකතාවත් කවියත් විසින් ඇතැම් විට කෙරෙන දෙයකි. එහෙත් චාල්ස් මේ අවධාරණය කරන්නේ ගද්‍යයෙන් කරන සාහිත්‍ය රචනා විධි අතර කෙටිකතාව යනු මේ ක්ෂණික අන්තර්දෘෂ්ටිය සැපයීම පිණිස විශේෂ හැකියාවක් ඇති සාහිත්‍ය ශානරයක් බවය. මීට සමාන අදහසක් දරන ඇන්තනී බර්ජස්ට අනුව නවකතාව යනු යමක් “විසඳීම” කේන්ද්‍රකරගත් කලාවක් නම් කෙටිකතාවක් යනු “අනාවරණය” කේන්ද්‍රකරගත් කලාවකි. 

    චාල්ස් ඊ මේගේ මෙවැනි අදහස් විවාදයට ලක් කරන අය සිටිති. මෙම රචනයේ මුල සඳහන් කළ කෘතියෙහිම එවැනි අයගේ ලිපි ඇතුළත් වේ. පාඨකයා අපේක්ෂා නොකරන මොහොතක පාඨකයා විස්මයට පත් කරමින් ජීවිතය ක්ෂණික අන්තර්දෘෂ්ටි සපයන සාහිත්‍ය කෘති නූතනවාදී සාහිත්‍ය කෘති අතර අපමණ ඇත. එසේම මේ ආකාර ක්ෂණික අන්තර්දෘෂ්ටි නොසපයන්නාවූද සෙමින් ගලා යන්නාවූද කෙටිකතාද අපමණ ඇත. එහෙත් පාඨකයා අනපේක්ෂිත මොහොතක ඔහු හෝ ඇය පුදුමයට පත් කරමින් ජීවිතය පිළිබඳ හදිසි වූද ක්ෂණික වූද ආලෝක කණිකාවක් සැපයීම යන කාරණය කෙටිකතාව වටහා ගැනීම සම්බන්ධයෙන් ප්‍රයෝජනවත් අදහසකි. එම නිර්වචනයේ ඇති වැදගත්කම නම් එය කෙටිකතාවේ දිග පළල මේ යැයි යාන්ත්‍රික නිර්වචනයක් නොසැපයීමයි. ඒ වෙනුවට එය කරන්නේ කෙටිකතාව නම් සුවිශේෂ කලාංගයේ සෞන්දර්ය කාර්ය ගැන අවධානය යොමු කිරීමය; කෙටිකතාවක් පාඨකයා වෙත ලබා දෙන අනුභූතිය වෙත අවධානය යොමු කිරීමයි. ඒ නිසා කෙටිකතාව කවර ස්වරූපයෙන් ලියවුණත් කවර තරමක් දිග වුවත් කවර අන්දමේ ප්‍රතිනිර්මාණ විධියක් අනුගමනය කළත් එහි සෞන්දර්ය කාර්ය විය යුත්තේ යටකී අන්දමේ විස්මය සහිත ක්ෂණික අන්තර්දෘෂ්ටි ආලෝකයක් සපයා එතෙක් අන්ධකාරයේ පැවති ජීවන ප්‍රදේශයක් අනාවරණය කිරීමය යන්න කෙටිකතාව පිළිබඳ ඉතා සුඛනම්‍ය නිර්වචනයක් විය හැකිය. 

   එසේම මෙම නිර්වචනය මගින් කෙටිකතාව සාහිත්‍ය අංගයේ ව්‍යූහමය සැකැස්ම වඩා හොඳින් වටහා ගැනීමටද ඉඩ ලැබෙයි. යටකී අන්දමේ ක්ෂණික අන්තර්දෘෂ්ටියක් අනාවරණය කිරීම කෙටිකතාවේ කලාත්මක ඵලාප්තියේ ලක්ෂණයක් නිසා ඊට ගැලපෙන ආකාරයට කතාවේ ව්‍යූහය සකස් වෙනු දැකිය හැකිය. කෙටිකතාවට මැදක් මිසක් මුලක් හෝ අගක් නැතැයි යන අදහසත්, කෙටිකතාව සාමාන්‍යයෙන් ආරම්භවන්නේ එහි අවසානයට ආසන්නයෙන් යන අදහසත්, කෙටිකතාව ජීවිතයෙන් පෙත්තකිය යන අදහසත්, ඒකීයධාරණාව නම් සංකල්පයත් ක්ෂණික අන්තර්දෘෂ්ටියක් අනාවරණය කිරීම නම් කලාත්මක ඵලාප්තිය සමග තීරණාත්මක ලෙස සම්බන්ධ වේ. එහෙත් මෙකී ලක්ෂණ කිසිවක් නැතිව පවා ක්ෂණික අන්තර්දෘෂ්ටියක් සැපයීමේ අවස්ථාව නිර්මාණශීලි රචකයෙකුට ඉතාම නැවුම් ආකාරයකින් ගොඩ නැගිය හැකි විය හැකිය. 

    ඒකීයධාරණාව නම් සංකල්පය  යනු සිංහල කෙටිකතා ක්ෂේත්‍රය තුළ ඇතැම් වැරදි අවබෝධයන්ටද තුඩු දී ඇති අදහසකි. එඩ්ගා ඇලන් පෝගේ එම අදහස විවිධ සංකල්පවලින් ඉදිරිපත් කෙරී ඇති අතර ‘ඵලාප්තියේ ඒකීයතාව’ ඉන් එකකි. එයින් මූලික වශයෙන් අදහස් කෙරෙන්නේ කෙටිකතාවක් කියවීම ඔස්සේ පාඨකයාට ලැබෙන සෞන්දර්ය ඵලාප්තිය කේවල අනුභූතියක් විය යුතුය යන්නයි. නෝර්මන් ෆ්‍රීඩ්මන් දකින හැටියට එය එක් කියවීම් වාරයකින් ලබා ගත හැකි අත්දැකීමක් විය යුතු වන නිසා පැය කිහිපයකින් කියවා අවසන් කළ හැකි පිටු පනහක් හැත්තෑපක් පමණ වන රචනයක් විය යුතුය. සිංහලයෙන් ඒකීයධාරණා සංකල්පය ගැන කතා කරද්දී බොහෝ විට සිතට එන්නේ පිටු හත අටකට කෙටිකතාව සීමා විය යුතු බවකි. එහෙත් අදත් ලෝකයේ පළ වන කෙටිකතා දෙස බලන විට පිටු කිහිපයක සිට පිටු පනහක් හැටක් දක්වා කෙටිකතාව දිගු වන බව පෙනේ. පසුගිය වසරේ නොබෙල් ත්‍යාගය දිනූ ඇලිස් මුන්රෝ ප්‍රධාන වශයෙන් ලියූවේ කෙටිකතා වන අතර ඇගේ කෙටිකතාවල සාමාන්‍ය දිග පිටු විස්සත් විසිපහත් අතරය. ඒ නිසා හුදෙක් දිග ප්‍රමාණයෙන් පමණක් කෙටිකතාවේ නිර්මාණක ඵලාප්තිය නොමිණිය හැකි බව පෙනේ. 

    එඩ්ගා ඇලන් පෝගේ ඒකීයධාරණා සංකල්පයට සමාන්තරව ගමන් කළ ඔහුගේම තවත් අදහසක් වූයේ කෙටිකතාවක අවසානය විසින් මුල හා මැද මෙහෙය වනු ලැබේ යන්නය. ‘අවසානයේ ප්‍රධානත්වය’ යන යන අංගය කෙටිකතාව නිසා එය අනික් දිගු ගද්‍ය ආඛ්‍යානවලින් වෙනස් වන බව පෙන්නා දෙනු ලැබිණි. මේ අදහස මත පිහිටා අදහස් දක්වන තවත් කෙටිකතා න්‍යායධාරිනියක වන මේරි රොහර්බර්ගර් පවසන දෙයක් අපගේ අවධානයට ලක් විය යුතුය. අවසානය විසින් කෙටිකතාවක මුල හා මැද මෙහෙය වනු ලබන්නේය යන්නෙන් අදහස් වන්නේ කෙටිකතාව යනු කලා මාධ්‍යයක්ය යන කාරණය යැයි ඇය කියයි.  එයින් ඇය තැත් කරන්නේ කලා මාධ්‍යයක් සේ කෙටිකතාවේ අනන්‍යතාව එම ව්‍යූහමය කාරණය නිසා ඇති වන්නේය යන්නයි. කෙටිකතාවේ මෙම ව්‍යූහමය ස්වභාවය නිසා එහි එන රිද්මය අපේ අනෙක් කටයුතුවල නිසා ජීවිතයට එන රිද්මයට වඩා වෙනස්ව ක්‍රියා කරයි.  එනම් කෙටිකතාවේ රිද්මය අපේ සැබෑ ජීවිතයේ රිද්මයෙන් අප ගලවා ඉවතට ගැනීමට සමත්ය. මේ වෙනත් රිද්මයක් වෙත අප ඇදගැනීම නම් ව්‍යූහමය කාරණය කෙටිකතාවෙන් සැපයෙන යටකී ක්ෂණික අන්තර්දෘෂ්ටිය සැපයීම පිණිස ප්‍රයෝජනවත්ය. ජීවිතය වෙත ක්ෂණික අන්තර්දෘෂ්ටි ආලෝකයක් එල්ල කළ හැක්කේ අප අපට හුරුපුරුදු දෛනික රිද්මයෙන් එළියට ඇදගත් කල්හිය. එහිලා කෙටිකතාවේ ව්‍යූහමය ස්වභාවය දායක වන්නේය යන මේරි රොහර්බර්ගර්ගේ අදහසට නෝර්මන් ෆ්‍රීඩ්මන්ද එකඟ වෙයි.

     මෙතෙක් කළ සාකච්ඡාවේදී මතු වූ අදහස්වලට සමාන අදහස් කිහිපයක් මෑතකදී මිය ගිය දකුණු අප්‍රිකානු ලේඛිකා නැඩීන් ගෝඩිමර් කෙටිකතා කලාව සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇත. ඇය දකින හැටියට නවකතාවට සාපේක්ෂව කෙටිකතාව යනු රචකයාගේ නිර්මාණශීලිත්වයට හා ව්‍යූහමය අත්හදා බැලීමට වැඩි ඉඩක් ඇති කලාංගයකි. අප සෑම දෙනෙකුටම දහසක් ජීවිත තිබිය හැකි අතර සාමාන්‍යයෙන් නවකතාවට හසු කර ගත හැක්කේ ඉන් එකක් පමණි. එහෙත් කෙටිකතාවට අපේ ක්ෂණ භංගුර ජීවිතය නැත්නම් මොහොතකින් ඇතිවී නැතිව යන ජීවිතයද හසු කර ගත හැකිය. නවකතාවේදී යම් සිද්ධියක් ඉදිරිපත් කිරීමේදී ඊට පෙර සිදුවූයේ කුමක්ද හෝ පසු සිදු වූයේ කුමක්ද යනාදී වශයෙන් කාලමය විකාශනයකින් යුක්තව සිද්ධි විස්තර කරන්නට සිදු විය හැකිය. කෙටිකතාවේදී ඒ විස්තර නැතිව ක්ෂණික මොහොතක් හසු කර ගන්නට හැකියාව ඇත. ඊට හේතුව කෙටිකතා ජීවිතය ඓක්‍යය නොව තනි හෝ හුදෙකලා සිද්ධියක් සමග ගනුදෙනු කිරීමයි. ඒ නිසා කෙටිකතාවේදී සිදුවන්නේ ජීවිතයේ සත්‍යය පිළිබඳ “මහා මොහොත” වෙනුවට එක් තනි මොහොතක් තෝරා ගැනීමයි. ගෝඩිමර් දකින විදියට කෙටිකතාව ජීවිතයේ සත්‍යයක් පිළිබඳ එක් තනි මොහොතක් තෝරා ගෙන එය අප වෙත අනාවරණය කිරීමය කණ මැදිරි එළියක ක්ෂණික දීප්තියක් වැනිය. ඇය මෙය සාකච්ඡා කරන්නේ “කණමැදිරියන්ගේ ක්ෂණීක දීප්ති” යන මැයෙන් කළ සුන්දර කෙටි රචනයකදීය. ඇය කියන ඒ ක්ෂණික දීප්තියේ එළි දැල්වීම පිණිස කෙටිකතා රචකයන් තාත්වික යථාර්ථවාදයෙන් බොහෝ ඈතට ගොස් අත්හදා බැලීම් කරන ආකාරයද සාකච්ඡා කරයි. තාත්ත්වික යථාර්ථවාදය ඉක්ම වූ ෆැන්ටසිමය අවස්ථා වඩාත් හොඳින් ගොඩ නගා පාඨකයා වෙත යථාර්ථයේ ප්‍රදේශයක් අනාවරණය කළ හැක්කේ කෙටිකතාවේදී බව ඇය කියයි. එය ඒත්තු යන තර්කයකි. අතිසාර්ථක ෆැන්ටසිමය කෙටිකතා සිය ගණනක් ලෝක සාහිත්‍යයෙන් සොයා ගත හැකි නමුත් එවැනි නවකතා ඇත්තේ අතලොස්සකි. එයින් පෙනෙන්නේ යටකී ක්ෂණික අන්තර්දෘෂ්ටිය සැපයීම පිණිස විවිධාකාරයේ අත්හදා බැලීම් කිරීමෙහිලා කෙටිකතාවේ ඇති ඉඩකඩ අතිවිශාල බවය. එයද කෙටිකතාවේ විශේෂ ලක්ෂණයකි. ගෝඩිමර් කළා මැදිරි එළියක ක්ෂණික දීප්තියෙන් අනාවරණය කළ හැකි යථාර්ථය යැයි දකින දේ මේ ලිපිය ආරම්භයේදී අප සඳහන් කළ “ජීවිතයේ කෙටි අත්දැකීම්” යැයි චාල්ස් ඊ මේ හඳුන්වන දේත් බෙහෙවින් සමාන බව අපට පෙනේ. 

   කෙටිකතාව නම් කලාව පිළිබඳ විසි වැනි සියවසේ පැවති විවිධ නිර්වචන සාකච්ඡා කරන නෝර්මන් ෆ්‍රීඩ්මන් කරන නිගමනය සමග මමද එකඟ වෙමි. ඔහු මෙසේ කියයි:

    “ගද්‍යයෙන් ලියන ලද කෙටි ප්‍රබන්ධමය ආඛ්‍යානයක්” යන්න හැරුණු විට කෙටිකතාව පිළිබඳ නිශ්චිත නිර්වචනයක් තිබිය හැකි යැයි මම නොසිතමි.” බැලූ බැල්මට සරල පෙනුණද මේ නිර්වචනය බොහෝ දේ ඇතුළත් කරගන්නාසුලු නිර්වචනයකි. එතෙක් මෙතෙක් ලෝක කෙටිකතා කලාවේ ඇති සියලු වර්ධනයන් මෙවැනි නිර්වචනයක් තුළට හසු කර ගත හැකිය. එහෙත් අප මෙතෙක් කළ සාකච්ඡාවේ ආ තීරණාත්මක අදහස් කීපයක්ද  මේ නිර්වචනයට එක්කොට මෙසේ කියන්නට පුළුවන. “කෙටිකතාව යනු අපට හුරුපුරුදු ජීවන රිද්මයට වඩා වෙනස් ආඛ්‍යාන රිද්මයකට අප හසු කරගෙන ජීවිතය වෙත ක්ෂණික අන්තර්දෘෂ්ටියක් අනාවරණය කරන සේ ගද්‍යයෙන් ලියන ලද කෙටි ප්‍රබන්ධමය ආඛ්‍යානයකි.”

   ඕනෑම නිර්වචනයක් යනු යම් කලාවක් වෙත පිවිසෙන ආරම්භක පියවර පමණි. එකී කලාව වෙත එන විශිෂ්ට ප්‍රතිභාව ඇති රචකයා එතෙක් පැවති හොඳම නිර්වචනයට පවා අභියෝග කරයි. පවතින හොඳම නිර්වචනය පවා අභියෝගයට ලක් කරන ආකාරයේ නිර්මාණශීලිත්වය ආරාධානා කරනසුලු ගුණයක් කෙටිකතාව නම් ශානරයෙහිම ඇත. 


(2014 වර්ෂයේ ලංකාදීප පුවත්පතේ පළ වූවකි)