මේ සතියේ මා හෙමින්සැරේ සලකා බලන්නට තෝරාගත්තේ මා කළ කතාවකි. 2014 ජූනි මස 20 වැනිදා විරුසිසු සමරුව පැවැත්විණ. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධානය කළ ඒ විරු සිසු සැමරුමට විවිධ විශ්වවිද්‍යාලවලින් ශිෂ්‍යශිෂ්‍යාවෝ දහස් ගණනක් සියලූම විශ්වවිද්‍යාලවලින් පේරාදෙණියට පැමිණ සිටියහ. එදින ආචාර්ය මණ්ඩලය නියෝජනය කරමින් මා විනාඩි 15ක් පමණ කතා කළ අතර අන්තරේ කැඳවුම්කරු නජිත් ඉන්දික පැයක් පමණ දිග න්‍යායික කරුණුද සහිත හොඳ කතාවක් කළේය. මා කී කරුණුවලින් කිහිපයක් සාරාංශ කොට කීමට මේ තීරුව යොදා ගනිමි.
විරු සිසු සැමරුම්වලදී ශිෂ්‍ය වීරවරියන් පිළිබඳවද විශේෂයෙන් සඳහන් කළ යුතුය. 1987-89 කාලයේ ශිෂ්‍ය අරගලවලදී බොහෝ ශිෂ්‍යාවෝ දිවි පිදූහ. උතුරු නැගෙනහිර පමණක් නොව සිංහල-බෞද්ධ දකුණේද දේශපාලන ක‍්‍රියාකාරකම්වල යෙදුණ ස්ත‍්‍රීන්ට දඬුවම් දෙනු ලබන්නේ හුදෙක් ”දේශපාලන වැරදි”වලට පමණක් නොවේ. ඔවුන් ස්ත‍්‍රීන් වීමද වරදක් කොට සලකා දඬුවම් කරති. ස්ත‍්‍රීන් ලිංගික හිංසනයට පත් වන්නේ ඒ නිසාය. ස්ත‍්‍රී දේශපාලන ක‍්‍රියාධාරිනියන් දහසක් එකක් තිරිසන් ආකාරවලින් ලිංගික වධදීම්වලට ලක්වීම් එකල සිදු වියග ඒ අපේ හමුදාව දකුණේ සිටි කාලයේය. ඒ නිසා අරගල කළ වරදටත් ස්ත‍්‍රීන් වීම නිසාමත් දඬුවම් විඳි ඒ වීරවරියන්ද අප නිතර සිහි කළ යුතුය.
කෙසේ වෙතත් අපේ රටේ නිදහස් අධ්‍යාපන පද්ධතිය ආරක්ෂා කර ගැනීම පිණිස ශිෂ්‍ය ව්‍යාපාරය කළ දායකත්වය අමිලය. ඔවුන් ඒ වෙනුවෙන් දිවි පරදුවට තබා කැපවූහ. ලංකාවේ නිදහස් අධ්‍යාපනය ප‍්‍රාග්ධනයේ ආක‍්‍රමණයෙන් බේරා ගැනීමට ශිෂ්‍යයන් කළ කැපවීම අතිවිශාලය.
සාමාන්‍යයෙන් ශිෂ්‍ය ව්‍යාපාරය අපේ අධ්‍යාපනයේ අන්තර්ගතය සම්බන්ධයෙන් සටන් කරන්නේ නැත. ඔවුන්ගේ අවධානය යොමු වන්නේ අධ්‍යාපන අයිතිය ආරක්ෂා කිරීමටයි. එහෙත් මෑතකදී ශිෂ්‍යයන් විසින් ජයගත් සමසෞඛ්‍ය අරගලයේදී අධ්‍යාපනයේ අන්තර්ගතය ගැනත් යම් අවධානයක් යොමු කරනු දැකිය හැකි විය. සම සෞඛ්‍ය උපාධිය අවුරුදු හතරක් පුරා විහිදුණු අන්තර්ගතයකින් යුක්ත විය යුත්තේ ඇයි? ඒ අන්තර්ගතය සකස් විය යුත්තේ කෙසේද? ආදී ප‍්‍රශ්න ශිෂ්‍යයෝ සාකච්ඡා කළහ.
ලංකාවේ ශිෂ්‍ය ව්‍යාපාරය අපේ නිදහස් අධ්‍යාපන පද්ධතිය ආරක්ෂා කර ගැනීමට ධෛර්ය ප‍්‍රාර්ථනා කරන මේ මොහොතේ ශිෂ්‍ය දේශපාලනය විසින් සැලකිල්ලට ගනු ලැබිය යුතු කරුණු කීපයක්ද සිහිපත් කළ යුතුය.
ලංකාවේ රාජ්‍යය යුද්ධයෙන් පසුවත් හිංසනය සිය පාලනයේ ප‍්‍රධාන මෙවලමක් භාවිත කරන බව හලාවත, වැලිවේරිය, රතුපස්වල ආදී සිද්ධිවලින් පෙනේග අධ්‍යාපනය, සෞඛ්‍යය පිළිබඳ වෘත්තීය අයිතිවාසිමකම් පමණක් නොව ජලයට ඇති අයිතිය පිළිබඳ මහජන සටන්වලට පවා හිංසක ආකාරයෙන් ප‍්‍රතිචාර දැක්වීම අද දක්නට ඇති දෙයකි. සමසෞඛ්‍ය අරගලයේදී ශිෂ්‍යයන්ට පහර දුන් ආකාරයෙන් එය පෙනේ.
සමසෞඛ්‍ය අරගලය ජයගන්නා විට එක්තරා ඡුායාරූපයක් ලෝක ප‍්‍රසිද්ධ වියග ඒ එක් ශිෂ්‍යයෙකුගේ ඇස පොලිස් පහරදීමෙන් චප්ප වී ඇති සැටි එයින් දැක්විණ. එය අපේ ශිෂ්‍ය ව්‍යාපාරයට ආචාරධාර්මික ශක්තිය සපයන ජායාරූපයක්විය යුතුය. ඉන් ඇ`ගවිය යුත්තේ හිංසනය ඉදිරියේ නිර්-හිංසකව තමාගේ සටනෙහි ආචාරධාර්මික ශක්තිය වෙතම රඳා පැවතීමයග මතුපරම්පරාවන්හි අධ්‍යාපන අයිතිය රැකීම මිස වෙනත් අරමුණක් තමන්ට නැති බව නිර්-හිංසනයෙන් යුතුව පෙන්නා දිය හැක්කේ එවිටය.
මේ සඳහා අපේ ශිෂ්‍ය ව්‍යාපාරය තමන්ගේ ඉතිහාසය පිළිබඳ අවංක වූද මැදහත් වූද තක්සේරුවක් කළ මනායග නිදර්ශන දෙකක් දක්වන්න කැමැත්තෙමි. අප 1988 දී කොළඹ විශ්වවිද්‍යාලයට ප‍්‍රවේශ වී සති දෙකක් යන විට උපකුලපතිවරයා වූ මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර මහතා සිය කාර්යාලයේදීම වෙඩි තබා මරා දමන ලදී. මේ හිංසක ක‍්‍රියාවට එවකට ශිෂ්‍ය ව්‍යාපාරය සම්බන්ධද යන්න මම නොදනිමි. එහෙත් ශිෂ්‍ය ව්‍යාපාරය තුළ ඒ ඝාතනය පිළිබඳ කිසිම විචාරාත්මක විස්තර කිරීමක් හෝ හෙලා දැකීමක් නොතිබිණ. මා සිතන්නේ විශ්වවිද්‍යාලයක් තුළදී උපකුලපතිවරයෙකු ඝාතනය වීම වැනි දේ කිසිම විටෙක සිදු නොවිය යුතු බවයි.
ඊ ළඟට එවකට ශිෂ්‍ය නායකයෙකු වූ දයා පතිරණ ගෙල කපා මරා දැමිණ. ඊට ශිෂ්‍ය ව්‍යාපාරය දායක වූයේ කෙසේදැයි මම හරියට නොදනිමි. එහෙත් එය එවකට ශිෂ්‍ය ව්‍යාපාරය අනුමැතිය ලද ඝාතනයක් යැයි මම සිතමි. මම අදත් විරුසිසුවන් වෙනුවෙන් නිහඬතාව රකින්නට නැගිට සිටි විට දයා පතිරණ සිහි කරමි. කිසිම ශිෂ්‍යයෙකු හෝ ශිෂ්‍ය නායකයෙකු ශිෂ්‍ය ක‍්‍රියාකාරකම් හේතුවෙන් මියයායුතු නැත.
හිංසනය පිළිබඳ සියලූ වගකීම ඉතිහාසයට පැවරීම ඉතිහාසය යන්න ඉතා යාන්ත‍්‍රිකව ගැනීමකි. ඉතිහාසයේ ප‍්‍රවාහයේදී මිනිස් කාරකත්වයක් ඇත. මිනිසාට සිතීමට ඉඩක් ඇත. එසේ නැතිනම් ඒ අවකාශය ගොඩ නැගිය යුතුය.
අපේ ශිෂ්‍ය ව්‍යාපාරය මේ අවංක විචාරාත්මක තක්සේරුව කරන්නට පටන් ගෙන ඇති බව පසුගිය දවසක ගිනිසිළුව පුවත්පතේ ඇති ලිපියකින්ද පෙනිණ. එහිදී තර්ක කෙරුණේ විශ්වවිද්‍යාලවල උපසංස්කෘතිය වෙනුවට ප‍්‍රති-සංස්කෘතිකවත් බව ඇති කළ යුතු බවයි. මෙය අගනා අදහසකිග උප-සංස්කෘතිය යනුවෙන් පවතින්නේ මහා සමාජයේ ඇති භේදභින්නතාවල සහ අගතීන්ගේ අනුරුවක් නම් ඒ උපසංස්කෘතියෙන් පලක් නැත. මහා සමාජයේ පවත්නා අගතීන් ප‍්‍රශ්න කර ඒවා වෙනුවට වඩා යහපත් ලක්ෂණ ඇති කරන ප‍්‍රතිසංස්කෘතිකවත් චින්තනයක් විශ්වවිද්‍යාලයේ පැවතිය යුතුය. අපේ සංස්කෘතියේ ඇති සියලූ දේ අපේ වන නිසාම අවිචාරවත්ව භාර නොගෙන පරිවර්තනීය ආකාරයකින් චින්තනයේ යෙදීම ප‍්‍රතිසංස්කෘතික චින්තනයයි. එවැනි චින්තනයක යෙදෙන්නට සහ විචාරාත්මක කාර්යක යෙදෙන්නට අපේ ශිෂ්‍ය ව්‍යාපාරයට හැකි වෙතියි මම අපේක්ෂා කරමි. විශ්වවිද්‍යාල තුළ අභ්‍යන්තරික ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගොඩ නැගිය හැක්කේ එවිටය.
ශිෂ්‍ය ව්‍යාපාරයටත් මහා සමාජයටත් හිංසනය සහ බලය අතර සම්බන්ධය යළි සලකා බලන්නට උදව් වෙන වැදගත් කෘතියක් ඇත. ඒ හන්නා අරෙන්ඩ්ගේ ”හිංසනය ගැන ආලෝචනා” නම් කෘතියයි. ඒ කෘතියේ එක් තැනෙක අරෙන්ඩ් මෙසේ කියයි:
”දේශපාලනික වශයෙන් ගත් කල බලය සහ හිංසනය යනු එකක් නොවේග බලය සහ හිංසනය යනු එකිනෙකට විරුද්ධ දෙකකිග හිංසනය ඇති වන්නේ බලය අනතුරට වැටී දුර්වල වී තිබෙන විටයග හිංසනයට එලෙසම වැඩෙන්නට දුන්නොත් එහි කෙළවර බලය ඇතිවීම නොව බලය සම්පූර්ණයෙන්ම නැතිව යාමයි. හිංසනයට බලය විනාශ කළ හැකි නමුත් බලය නිර්මාණය කිරීමේලා හිංසනය අතිශයින්ම අසමත්ය.”
ලංකාවේ රාජ්‍ය තවතවත් හිංසනය දෙසට ඇදෙන්නට ඇති ඉඩ වැඩිය. ශිෂ්‍ය ව්‍යාපාරය වඩවඩාත් ”බලය” වෙත යා යුතුය. ඒ නම් අන් කිසිවක් නොව අධ්‍යාපනයේ අයිතිය අනුල්ලංඝනීය මිනිස් අයිතියක් නිසා සෑම මිනිසෙකුටට එය නොමිලේ ලැබිය යුතුය යන අදහස ප‍්‍රජාතන්ත‍්‍රවාදීව සමාජගත කිරීමයි.
( 2014 ජූලි 20 වැනිදා ඇත්ත පුවත්පත)
සෞන්දර්ය විනිශ්චය කේන්ද්‍රකරගත් විචාරය වර්තමාන සාහිත්‍ය කලා විචාරයේදී එපමණ භාවිත නොවන බව කලින්ද කියැවිණි. කෘතියෙහි හොඳ නරක මට්ටම නිවේදනය කිරීම එවැනි විචාරවල ලක්ෂණයකි. ඒ ප්‍රවේශයේදී විචාරකයා හැසිරෙන්නේ අදාළ කලා ක්ෂේත්‍රය පිළිබඳ සියල්ල දන්නා පුද්ගලයා තමා බවත්, ඒ කලාව පිළිබඳ අවසන් විනිශ්චය තමා ලබා දෙන්නේ තමා බවත් විශ්වාස කරමිනි. දැන් මේ ප්‍රවේශය තරමක් පරණය. කිසිම කලා ක්ෂේත්‍රයක සියලු දේ දන්නා වූද, ඕනෑම කෘතියක් පිළිබඳ අවසන් විනිශ්චය ලබා දීමෙහි හැකියාව ඇත්තා වූද කෙනෙකු වීම පහසු නැත. එවැනි අධිකාරිත්වයකින් කිසිම කලා කෘතියක් ගැන කතා කිරීමේ ස්වරයද දැන් යල් පැන තිබේ. කලෙකට පෙර මහාචාර්ය සුචරිත ගම්ලත් වැනි අය එවැනි ස්වරයකින් කතා කළහ; එනයින් තමා අදාළ කලාව ගැන සියල්ල දන්නා බවක් ඇඟවූහ. දැන් එවැනි ස්ථාවරයක් නඩත්තු කිරීම ලෙහෙසි නොවේ. දැනුම යන්න බෙහෙවින් ප්‍රජාතන්ත්‍රකරණය වී තිබේ. කාලය හා ශ්‍රමය අතින් යම් කැප කිරීමක් කළ හැකි බුද්ධිමත් ඕනෑම කෙනෙකුට යම් කලා ක්ෂේත්‍රයක් ගැන දැනුම පහසුවෙන් සපයා ගත හැකිය. ඉංග්‍රීසි වැනි භාෂාවක් දන්නේ නම් එය වඩාත් පහසුය. අදාළ කලා ක්ෂේත්‍රය ගැන යම් නිල අධ්‍යාපන පසුබිමක් ඇති කෙනෙකුට දැනුම ගවේෂණය පිළිබඳ යම් පුහුණුවක් ලැබී තිබෙන්නට පුළුවන. එය අමතර වාසියකි.
සෞන්දර්ය තක්සේරුව පිළිබඳ විචාරය යල් පැන ඇත් නම් විචාරකයාට කළ හැකි කාර්යයක් නැතිද? තිබේ. විනිශ්චය හා තක්සේරුව ඉක්මවන කාර්යයක් තිබේ. එය ‘කතිකාමය සහභාගිත්වය’ යැයි හඳුන්වන්නට පුළුවන. අපට මෙහිදී සියලු කලාවන් ගැන එක් වර කතා කළ නොහැකි නිසා නවකතාව වෙත පමණක් දැනට අවධානය යොමු කරමු. අද වන විට නවකතා කලාව තේමා අතිනුත්, ශිල්පීය ක්‍රම අතිනුත් වර්ධනය වී තිබේ. විවිධ ස්වරූපයෙන් පහළ වී ඇති නවකතාවල කලාත්මක අංග ගැනද පැතිරුණු දැනුමක් සාහිත්‍ය කලා ක්ෂේත්‍රයේ පවතී. ලෝකයෙහි සිටි හා සිටින සියලු ප්‍රධාන ලේඛකයන්ගේම පාහේ හොඳ නවකතා සිංහලට නැගී ඇත. ඒ නිසා ‘මම තමයි සියල්ල දත් විචාරක සක්විති’ වැනි ස්වරූපයකින් විචාරයෙහි යෙදීම පහසු නොවේ.
නවකතාවක් හොඳද නරකද යන්න සරල විනිශ්චයක් නොදී අදාළ කෘතිය මෙකල පවත්නා අර්ථවත් සමාජ සංවාදවලට දායක කරගන්නේ කෙසේද යන ප්‍රශ්නය සලකා බැලීම අද අපට ගත හැකි එක් ප්‍රවේශයකි. ඒ ප්‍රවේශයෙන් නිසි ලෙස එළඹුණ විචාරකයාට කෘතිය ගැන යම් විනිශ්චයක්ද කළ හැකිය. එනමුත් විචාරය ප්‍රධාන අරමුණ ඒ විනිශ්චය සැපයීම නොවේ.
මෙම රචනයේ දී මෙකල සමාජ විචාරක කතිකාව තුළ පවත්නා එක් තේමාවක් ඇසුරින් නවකතා දෙකක් පිළිබඳ තේමාත්මක සාකච්ඡාවකට එළඹෙමු. මා තෝරාගන්නා තේමාව ‘කාරකත්වය’ යන්නයි. ‘Agency’ යනුවෙන් එය ඉංග්‍රීසියෙන් හැඳින් වේ. යම් කතිකාවකදී කෙනෙකුට ලැබෙන කාරක ශක්තිය, මූලිකත්වය, නායකත්වය, ආරම්භක අවස්ථාව ආදිය කාරකත්වය යනුවෙන් හැඳින් වේ. ‘කතිකාව’ යනු ඕනෑම මනුෂ්‍ය සංවාදයක් හෝ මනුෂ්‍ය අන්තර් ක්‍රියාවක් සේ ගත හැකිය. එහිදී වැඩි නායකත්වයක්, මෙහෙය වීමේ අවස්ථාවක්, ලැබෙන්නේ කාටද ඔහුට හෝ ඇයට ලැබෙන කාරකත්වය වැඩිය. සරල නිදර්ශනයක් වෙත යමු. යම් නිවසක එදින රාත්‍රී ආහාරය පිළිබඳ සංවාදයක් සිදු වන්නේ යැයි සිතමු. එහිදී සැකසෙන ආහාර වර්ගය කුමක්ද යන්න පිළිබඳ සියලු තීරණ ගන්නේ පිරිමියා නම් ඔහුගේ කාරකත්වය වැඩිය. ස්ත්‍රීන්ගේ කැමැත්ත, ඔවුන්ගේ ශරීර සෞඛ්‍යය, කෑම පිසීමේ ශ්‍රමය සැපයීමට ඔවුන්ට හැකියාවක්ද තිබේද නැද්ද යනාදිය ගැන අදහස් විමසන්නේ නැතිනම් ඔවුන්ට කාරක ශක්තියක් නැත. ඒ නිසා ඔවුන්ට සිදු වන්නේ පිරිමියා කැමති දේට අනුව ක්‍රියා කිරීමය. එවිට ඔවුන් හිමිවන්නේ බලය ඇති තැනැත්තා ‘අනුව ක්‍රියා කිරීම’ පමණි. වෙන කෙනෙකු කියන හැටියට පමණක් වැඩ කරන කෙනෙකුගේ කාරකත්වය අඩුය; කාරකත්වය යන්නට තමාගේම කැමැත්ත, තෝරා ගැනීමේ තීරක අවස්ථාව ආදියත් අයත් වන බැවිනි.
කාරකත්වය යනු සමාජයක කටයුතුවලට සහභාගි වන සියලු දෙනාට හිමි විය යුත්තකි. ගෙදර රෑ කෑම පිළිබඳ ප්‍රශ්නයේදී නොව ආර්ථික, දේශපාලන, සංස්කෘතික යනාදී සෑම තැනකදීම ඒ කාරකත්වයක් කාටත් ලැබිය යුත්තකි.
විශ්වවිද්‍යාලයක සාහිත්‍ය කලා උගන්වන විට සාහිත්‍යය යනු කුමක්ද යන සෞන්දර්ය ප්‍රශ්නය සේම තවත් ප්‍රශ්නයක් ගැන නිතර කල්පනා කරන්නට සිදුවේ. ඒ සාහිත්‍යයෙහි ‘ප්‍රයෝජන’ මොනවාද යන ප්‍රශ්නයයි. මේ වූකලි අධ්‍යාපන ක්ෂේත්‍රයෙන් පිටද නිතර ඇසෙන ප්‍රශ්න දෙකකි. සාහිත්‍ය කලාවලට අප රට ප්‍රධාන ජනමාධ්‍ය ආයතනද සැලකිය යුතු අවධානයක් යොමු කරයි. සෑම පුවත්පතක්ම පාහේ සාහිත්‍ය කලා වෙනුවෙන් අවකාශය වෙන් කරන අතර ගුවන් විදුලිය හා රූපවාහිනියද ඒ වෙනුවෙන් කාලය වෙන් කරයි. මෑතකදී ජාතික රූපවාහිනිය ආරම්භ කර ඇති අගය කළයුතු වැඩසටහනක් වන සාහිත්‍ය රසවිත බෙහෙවින් ජනප්‍රිය වී ඇති බවද පෙනේ. ඒ සෑම තැනකදීම අඩු වැඩි වශයෙන් සාහිත්‍යයෙහි සෞන්දර්යමය ස්වභාවය කුමක්ද, සාහිත්‍යයෙහි ප්‍රයෝජන කුමක්ද වැනි ප්‍රශ්න අසනු ලැබේ. එය ඉතා හොඳය. ඒ ප්‍රශ්න දෙකටම හොඳ පිළිතුරු ගොනු කිරීමේ වැදගත්කම මා මෑතකදී පළ කළ විශ්වවිද්‍යාලය යනු කුමක්ද? නම් පොතේද සාකච්ඡා කර තිබේ.
මේ ප්‍රශ්න දෙකටම පිළිතුරු දෙන ආකාර බොහෝය. මේ රචනයේ අරමුණ ‘ප්‍රයෝජන’ පිළිබඳ ප්‍රශ්නය ගැන අවධානය යොමු කරන්නටය. ‘ප්‍රයෝජනය කුමක්ද’ යන්න ඕනෑම දෙයක් සම්බන්ධයෙන් ඉතා භයානක ප්‍රශ්නයකි. වෙළඳපොළ හා ලාභය කේන්ද්‍රකරගත් ආර්ථික පද්ධතිවලදී ‘ප්‍රයෝජන’ මැනෙන්නේ ආර්ථිකයට ලැබෙන දායකත්වය ඇසුරිනි. කොපමණ ‘ලාභ’ උපයන්නේද වැනි නිර්ණායක ඇසුරින් ‘ප්‍රයෝජන’ මනිනු ලැබේ. ඒ මොහොතේ සමාජයෙහි ආධිපත්‍යය දරන අයගේ හෝ මතවාදවලට අනුව ‘ප්‍රයෝජනයක්’ නැතැයි පෙනෙන සියලු දේ අනවශ්‍ය දේ ලෙස සැලකෙන්නට ඉඩ තිබේ. සාහිත්‍ය කලා ආරක්ෂා කර ගැනීමේ හොඳම ආකාරය ඒවා උපයෝගීතාවෙන් ඈතට ගැනීම යැයි කියන සෞන්දර්ය දාර්ශනිකයෝ වෙති. ඒ සම්ප්‍රදාය ජර්මානු දාර්ශනික ඉමෑනුවෙල් කාන්ට්ගෙන් ආරම්භ විය. මනුෂ්‍ය ශිෂ්ටාචාරයේ ඇති ඇතැම් වස්තු හා ක්‍රියාකාරකම්වල උපයෝගීතායක් හෙවත් සෘජු ප්‍රයෝජනයක් නැත. ශිෂ්ටාචාරයක ඇති හොඳට අගය නම් සෘජු ප්‍රයෝජන නැති දේවල්ද පවත්වා ගැනීමේ හැකියාවය. සෞන්දර්ය වස්තු එවැනි වටිනාකම් සහිත දේ වේ. කලාත්මක ක්‍රියා (නර්තනය වැනි) එවැනි වටිනාකම් සහිත ක්‍රියාවන් වේ. කලාවෙහි වටිනාකම වූකලි එයම මිස වෙනකක් නොවේ. කලාව කලාව සඳහාය යනුවෙන් අප රටද ප්‍රචලිතව ඇති අදහසෙහි පදනම එයයි. මෙම කාන්ට්වාදී අදහස ඉතා වැදගත් වන අතර ඒ ගැන පැහැදිලි කිරීමක් ඉදිරි ලිපියක අඩංගු කරමු.
විශ්වවිද්‍යාල වැනි උසස් අධ්‍යාපන ආයතනවලදීද සාහිත්‍ය කලා හැදෑරීමේ හා ඉගැන්වීමේ ප්‍රයෝජන හෙවත් උපයෝගීතාව කුමක්දැයි නිතර අසනු ලැබේ. රටේ ආර්ථික අර්බුදය තීව්‍ර වන්නට වන්නට මේ ප්‍රශ්නය නිතර මතු වෙනු පෙනේ. සාහිත්‍ය කලා නිර්මාණය, ප්‍රකාශනය, බෙදා හැරීම හා අලෙවිය පිළිබඳ විශාල යාන්ත්‍රණයක්ද තිබෙන පසුබිමක අර ප්‍රශ්නය මග හැරයාමද සුදුසු නොවේ. අපට එහිලා තල දෙකක පිළිතුරු ගොණු කළ හැකිය. පළමු තලයේ පිළිතුර මෙවැන්නකි: මනුෂ්‍ය ශිෂ්ටාචාරයේ සියලු වස්තු හා ක්‍රියා හුදෙක් ‘ක්ෂණික ප්‍රයෝජන’ අපේක්ෂාවෙන් පවතින දේ නොවේ. මනුෂ්‍යයෝ සෘජු ප්‍රයෝජන නැති එහෙත් වටිනාකමින් යුතු දේ කරති. සාහිත්‍ය කලා නිර්මාණයද එවැන්නකි. එහෙත් ඒ තලයේ පිළිතුරට අමතරව තවත් නොයෙක් ‘ප්‍රයෝජන’ ගැනද කතා කළ හැකිය. මෙම රචනා මාලාවේ කලින් ලිපිවලදී ඇතැම් කරුණු සාකච්ඡා කර තිබේ.
මෙම රචනයේදී සාහිත්‍ය කලාවල එක්තරා ‘ප්‍රයෝජනයක්’ ගැන පොලීසියෙන් උගත හැකිද යන ප්‍රශ්නය අසන්නට තැත් කෙරේ. මේ රචනයට පදනම සපයන්නේ 2006 වසරේ ෆයිනෑන්ෂල් ටයිම්ස් පුවත් පතේ පළ වූ ලිපියකි.
මෙක්සිකෝවේ අගනුවර වන මෙක්සිකෝ සිටි යනු ලෝකයේ ජනාකීර්ණම නගරවලින් එකකි. එහි එක් කොටසක් වැසි ඇත්තේ ඉතා දුගී නගරවාසීන් සිටින මුඩුක්කුවලනි. ඒ පැල්පත්වාසින්ගේ කොටස වර්ග කිලෝ මීටර්ක් 64ක් වන අතර එහි මිලියන දෙකකට අධික ජනගහණයක් වාසය කරයි. ඒ ප්‍රදේශය අපරාධවලින් පිරී පවතී. ඒ අතර පොලීසිය අතිශය දූෂිතය. නගරයෙහි නීතිය හා සාමය පවත්වා ගැනීම යනු ඉතා දුෂ්කර කාර්යයකි. 2003 වර්ෂයේදී ඒ නගරයෙහි මහජන ආරක්ෂාව බාර ප්‍රධානියා සේ පත් වූයේ ඕර්හේ අමදෝර් නමැත්තාය. පොලීසියෙහි ප්‍රධානියෙකු වන වන පත් වූයේ මහජන ඡන්දයෙනි. ඔහු නියෝජනය කළේ වාමාංශික පක්ෂයක් වන ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවීය පක්ෂයයි.
අමදෝර් ඒ තනතුරට පත් වූ පසු ඔහුට අභියෝගයක් තිබිණි: 1200ක පමණ පොලිස් භටයන් නීතියේ හරි පැත්තේ තබා ගෙන දූෂණ වංචාවලින් මුදවා මහජනයා වෙත සහකම්පනීය සේවයක් සපයන අය බවට පත් කිරීම ඒ දැවැන්ත අභියෝගයයි. නීතිය පිළිබඳ අවබෝධයට අමතරව එහිලා ඔහු අලුත්ම උපකරණයක් භාවිත කළේය. ඒ වූකලි සාහිත්‍යයයි. මෙක්සිකෝ සිටීහි ඒ කොටසෙහි නගරාධිපතිවරයාද ඒ උපක්‍රමයට සහාය දක්වන්නට විය. නගරයෙහි ආරක්ෂාව භාර පොලිස් භටයන් හොඳ පුරවැසියන් බවට පත් කිරීමෙහිලා කළ යුතු දෙයක් සේ ඔහු දුටුවේද කියවීම පුරුදු කිරීමයි. මෙය කාගේත් මවිතයටද ආකර්ෂණයටද හේතු වූ දෙයක් විය. සෑම රටකම මෙන් මෙක්සිකෝවේද බන්ධනාගාරවල සිටින සිරකරුවන් හොඳ පාඨකයක් බවට පත් කරන්නට නොයෙක් වැඩසටහන් තිබේ. තෝරාගත් පොත් පිළිබඳ සාකච්ඡා පැවැත්වීම බන්ධනාගාරවල නිතර සිදු වේ. ලංකාවේද සිරගෙදර සිට නවකතා ලියූ දෙමළ ලේඛකයෙකු රාජ්‍ය සම්මානයට පවා පාත්‍ර වූ බව අපි දුටිමු. සිරගෙදර සිට තනිවම ජපන් බස උගෙන ජපානයේ සිට එන මහාචාර්යවරයෙකු සේ වෙස් ගන්නා සිරකරුවෙකු ගැන රතු ඉරි අඳින අත යනුවෙන් මා ලියූ නවකතාවේද එයි. සිරගෙදර සිට පොත් ලියන සිරකාර ලේඛකයා යනු අපට බෙහෙවින් හුරුපුරුදු චරිතයකි. එහෙත් පොත් කියවන, පොතපත ගැන සාකච්ඡා කරන පොලිස්කාරයා ගැන අපට නිතර අසන්නට නොලැබේ. මෙක්සිකෝ සිටි නම් නගරයෙන් ඇසෙන මේ පුවතෙහි ඇත්තේ ඒ දුර්ලභ කතාවයි.
ඒ නගරයේ පොලිස් භටයන්ට කියවීමට යෝජිත පොත් ලැයිස්තුවෙන් කීපයක් මෙසේය: සර්වන්තේස්ගේ දොන් කිහෝතේ, හුවාන් රුල්ෆෝගේ පේද්රෝ පරාමෝ, කාර්ලෝස් ෆුවෙන්තේස්ගේ ඕරා, ගේබ්රියෙල් ගාර්සියා මාර්කේස්ගේ වන් හන්ඩ්‍රඩ් යියර්ස් ඔෆ් සොලිටියුඩ්, සේන්ට් එක්සූපෙරිගේ ද ලිට්ස් ප්‍රින්ස්. මේ බොහෝ කෘති සිංහලටද නැගී තිබේ. ඊට අමතරව නොබෙල් ත්‍යාගලාභී මෙක්සිකානු කිවි ඔක්ටාවියෝ පාස්, ඇමරිකානු ලේඛක එඩ්ගා ඇලන් පෝ, ආතර් කොනන් ඩොයිල් ආදීන් ඒ පොලිසි භටයන් කියවිය යුතු ලේඛකයන් අතර වූහ.
පොලීසියට සාහිත්‍ය පරිශීලනය හුරු කිරීමෙන් ඔවුන් යහපත් පුරවැසියන් බවට පත් කළ හැකිය යන විශ්වාසය පිටුපසින් පවතින්නේ බටහිර සාහිත්‍ය ඉතිහාසය තුළ පවත්නා පැරණි අදහසකි. ඒ වූකලි සාහිත්‍යය කියවන අය වඩා හොඳ මනුෂ්‍යයන් බවට පත් වන්නේය යන්නයි. මෙය ලංකාවේද තරමක් ප්‍රචලිත විශ්වාසයකි. එහෙත් සාහිත්‍යය නිසා මනුෂ්‍යයන් යහපත් බවට පත් වන්නේය යන්න සරල සමීකරණයක් සේ ගැනීම බෙහෙවින් විවාදාත්මකය. සාහිත්‍යය සහ යහපත්භාවය අතර එවැනි ඒකරේඛීය සම්බන්ධයක් පවතී යැයි පිළිගැනීම අසීරුය. ජීවිතය සහ සමාජය පිළිබඳ යම් සංකීර්ණ අවබෝධයක් රසිකයා තුළ ඇති කිරීමේ විභාවතාව සාහිත්‍යය තුළ තිබෙන බව ඇත්තය. එහෙත් මිනිසා යහපත් කිරීමේ උපකරණයක් සේ සාහිත්‍යයට කළ හැකි කාර්ය ගැන ස්ථිරසාර විශ්වාසයක් තබා ගැනීමද අසීරුය. මෙවන් විවාද සාහිත්‍ය විචාර ක්ෂේත්‍රයෙහි පවතින නමුත් මෙක්සිකෝ සිටී පොලිස් ප්‍රධානියා කළ ඉහතා කාර්ය කුමක්දැයි පරීක්ෂා කිරීම වරදක් නොවේ.
ඒ නගරයේ පොලිස් ප්‍රධානියා විශ්වාස කළ ආකාරයට සාහිත්‍ය පරිශීලනය නිසා ආකාර තුනක වර්ධනයක් ඒ පොලිස් පාඨකයන් තුළ සිදුවේ.
1. කියවීම නිසා පොලිස් භටයන්ගේ භාෂා ශක්තිය වර්ධනය වේ. ඒ නිසා අපරාධකරුවන්ද ඇතුළු නගරවාසීන් සමග හොඳින් සන්නිවේදනය කිරීමේ හැකියාව ඇතිවේ.
2. කියවීම නිසා පොලිස් භටයන්ගේ අත්දැකීම් පරාසය වර්ධනය වේ. සෘජුව අත්දැකිය නොහැකි දේ සාහිත්‍යය ඔස්සේ වක්‍රාකාරව අත්දැකීමට ලැබීමෙන් වැඩෙන ජීවිත පරිඥානය පොලිස් සේවයට උපකාරී වේ.
3. එසේම සාහිත්‍යය නිසා පොලිස් නිලධාරීන්ට ආචාරධාර්මික වාසියක්ද අත්වේ. මෙක්සිකෝ සිටීහි පොලිස් ප්‍රධානියා දකින ආකාරයට පොලිස් සේවය යනු අනුන් වෙනුවෙන් තම ජීවිතය පරදුවට තබන්නට සිදු වන රැකියාවකි. හොඳ සාහිත්‍ය කෘති කියවීමෙන් ගැඹුරු ආචාරධාර්මික කැපවීමෙන් යුතු චරිත ගැන අවබෝධයක් ලැබේ. පොලිස් සේවයට බැඳෙද්දී ඒ භටයන් ප්‍රතිඥා දෙන සමහර වටිනාකම් වෙනුවෙන් කැපවීම පිණිස වඩා හොඳ ආචාර ධාර්මික තර්කන ශක්තියක්ද, වටිනා ආචාරධර්ම වෙත කැපවීමක්ද පොලිස් භටයා තුළ තිබිය යුතුය. මේ පසුබිම වර්ධනය කරන්නට සාහිත්‍යයට හැකියාවක් තිබේ.
මේ වූකලි අපටද අඩුවැඩි වශයෙන් එකඟ විය හැකි කරුණු තුනකි. මා මුලින් කී ලෙස මේ සියල්ල සාහිත්‍යය නිසා අනිවාර්යයෙන්ම ඇතිවෙතියි අනාවැකි කිව නොහැකි නමුත් මනුෂ්‍ය ආචාරධාර්මික තර්කන ශක්තිය වර්ධනය කරන එක් මෙවවලමක් සේ සාහිත්‍යය භාවිත වී ඇති බව නොරහසකි.
2006 වසර වන විට මේ නගරයේ පොලීසියට බැඳීමට අවුරුදු 9ක් පාසල් ගොස් තිබීම අනිවාර්ය වුවත්, වෘත්තිය තුළ හොඳින් ක්‍රිියාත්මක වීමට අවශ්‍ය ගැඹුරු සාක්ෂරතාවක් බොහෝ දෙනෙකුට නොමැති වීම විශාල ගැටලුවකි. ඒ වන විට පැවති දත්ත අනුව මෙක්සිකෝවේ සාමාන්‍ය පුරවැසියෙකු වසර කියවූයේ පොත් දෙකකි. එවැනි ජනගහණයකින් පොලිස් සේවයට බැඳෙන අයට මාසයකට එක් පොතක් කියවීම අනිවාර්ය කිරීම යනු බෙහෙවින් රැඩිකල් කාර්යයකි.
මේ නගරයේ පොලිස් භටයන්ට කියවීම හුරු කරන්නට යෑමේදී බාධක දෙකකට මුහුණ දෙන්නට සිදු විය. පළමු වැන්න කාලයයි. පොලිස් භටයන්ට පැය 24ක් සේවා මුරයක්ද ඉන් පසු රාජකාරිවලින් තොර පැය 24ක්ද වශයෙන් කාලය සංවිධානය වී තිබිණි. එක දිගට පැය 24ක් වැඩ කිරීමෙන් පසු කියවීමට කාලය සොයා ගැනීම දුෂ්කර විය. ඒ නිසා පොලිස් ප්‍රධානියා කළේ සේවා මුරය පැය 12කට අඩු කර රාජකාරිවලින් තොර පැය 24ක් ලැබෙන සේ සේවා මුර ක්‍රමය සංශෝධනය කිරීමයි.
එහෙත් තවත් බාධාවක් තිබිණි. ඒ ආර්ථික බාධයකයයි. සාමාන්‍යයෙන් ඒ නගරයේ පොලිස් භටයෙක් මසකට ඩොලර් 490ක් ඉපැයීය. එහෙත් පොත් අතිශය මිලාධිකය. ඒ නිසා පොලිස් ප්‍රධානියා කළේ පෞද්ගලික ධනවතුන්ගේ පරිත්‍යාගද ලබා සෑම පොලිස් ස්ථානයකම කුඩා පොත් ගුලක් ඇති කිරීමය. 2006 වර්ෂයේ මාර්තුවේදී මෙක්සිකෝ සිටී නගර සභාව පොලිස් භටයන් අතර නොමිලේ බෙදා දීමට ලෝ ප්‍රකට ලේඛකයන්ගේ කෙටිකතා ඇතුළත් පොතක් පළ කළේය. එලෙස නොමිලේ බෙදා දෙන පොත් 6ක් පළ කරන්නට සැලසුම් කෙරිණි.
දැඩි සාහිත්‍ය ලෝලියෙකු වන ඒ නගරයේ පොලිස් ප්‍රධානියා විශ්වාස කරන්නේ මනුෂ්‍යයන් යම් තරමකින් හෝ වෙනස් කිරීමේ හැකියාවක් සාහිත්‍යයට තිබෙන බවයි. ඔහු මෙසේ කීවේය: “ඒ පොලිස් භටයො කියවන්නෙ බයිබලේද කාම සූත්‍රයද කියන එක අදාළ නෑ. එයාල කියවන්න පටන්ගත්තට පස්සෙ යම් ආකාරයක හෝ දැනුම් වර්ධනයක් වෙනවා. සමහර පොලිස් භටයන්ට කියවීම කොච්චර අල්ලල ගිහින්ද කියනවා නම් එයාලා කියනව ලියන්නත් පටන් ගන්න ඕනෙ කියලා”
ඒ කියවීමේ ව්‍යාපෘතිය සාර්ථක වීද අසාර්ථක වීද යන්න වෙනම කතාවකි. බෙහෙවින් දූෂිත, අදක්ෂ, හා උද්යෝගයෙන් තොර පොලිස් භට පිරිසක් යැයි බොහෝ දෙනෙකු විසින් හඳුනා ගැනුණු පිරිසක් වෙනස් කිරීමට පොලිස් ප්‍රධානියා ගත් පියවර අතර කියවීමද වීය යන්න තුළ එක්තරා පණිවිඩයක් තිබේ. ඒ වූකලි මෙයයි: සාහිත්‍යය යනු සෘජු ප්‍රයෝජනයක් තිබුණත් නැතත් ශිෂ්ට මනුෂ්‍යයන් අතර පැවතිය යුතු කලාවකි. ඒ අතර ඇතැම් මනුෂ්‍යයන් අතර එය නොයෙක් අරමුණු සඳහා භාවිත වන්නටද පුළුවන. එවැනි ‘ප්‍රයෝජන’ නරක යැයි කිවහැකිද?
ලංකාවේ පොලිස් සේවය තුළ මෙවැනි පුස්තකාල වැඩසටහන් හෝ සාහිත්‍ය කියවන වැඩසසටහන් හෝ තිබෙන්නේදැයි මම නොදනිමි. එවැනි වැඩක් ආරම්භ කරන්නට වාමාංශික නැඹුරුවකින් යුක්ත, දැනඋගත් පොලිස් ප්‍රධානියෙකු මෙක්සිකෝවේ අගනුවරට අවශ්‍ය විය.
(පෙබරවාරි 5 වෙනි ඉරිදා අරුණ පුවත්පතේ පළ විය)
මෙවර රාජ්‍ය සාහිත්‍ය උත්සවයෙන් පසු වඩාත් ප්‍රකට මාතෘකාවක් වූයේ සිවලිංගම් ආරූරන් නම් ලේඛකයාගේ ජීවිත කතාවය. ඉංජිනේරුවෙකු වන ඔහු 2009 වසරේ සිට සිරගතව සිටියි. ඔහුගේ නවකතාවක් හොඳම නවකතාව( දෙමළ) සේ මෙවර සම්මානය දිනුවේය. සෑම පුවත්පතක්ම පාහේ මේ ලේඛකයා ගැන සවිස්තර ලිපි පළ කළ නිසා ඔහුගේ කතාව සිංහල භාෂක සමාජය පුරා පැතිර ගියේය.නොවැම්බර් 6 වෙනිදා අරුණපුවත්පතද අගනා ලිපියක් පළ කළේය. ආරූරන් නිදහස් කළ යුතු බව බොහෝ දෙනෙක් කීහ. එය කළ යුතු බව මමද විශ්වාස කරමි. මේ රචනයෙන් මා අදහස් කරන්නේ මේ ලේඛකයාගේ ජීවන පුවත ඇසුරින් වෙනත් මාතෘකාවක් පිවිසෙන්නටය.
2011 වර්ෂයේදී පමණ පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙහි සිංහල අධ්‍යයන අංශය තරමක් අලුත් ස්වරූපයේ පාඨමාලාවක් හඳුන්වා දුන්නේය. “දෙමළ සාහිත්‍යය පිළිබඳ හැඳින්වීමක්” යන සරල නාමයෙන් හැඳින්වෙන එහි ශික්ෂණ ශාස්ත්‍රමය අරමුණ හෙවත් අධ්‍යාපනික අරමුණ සරල නැත. ඒ පාඨමාලාවට අදාළ විෂය නිර්දේශය රචනා කළ මා එහිලා මෙහෙය වනු ලැබූ න්‍යායික ප්‍රවේශයක් තිබේ. එය ආචාරධාර්මික සාහිත්‍ය විචාරය යැයි කෙටියෙන් හැඳින්විය හැකිය.
සහවේදනීය පරිකල්පනය
අප එම පාඨමාලාව හඳුන්වා දීමේදී අපේක්ෂා කළේ කුමක්ද? ඒ මෙයයි: සිංහලට නැගී ඇති ලාංකේය දෙමළ සාහිත්‍ය කෘති සමීපව අධ්‍යයනය කරමින් ලංකාවේ දෙමළ භාෂක ජනයාගේ ජීවිතය සහවේදනීය සේ වටහා ගැනීමට සිංහල උපාධි අපේක්ෂක අපේක්ෂිකාවන් හුරු කිරීම.
ඒ පාඨමාලාව බෙහෙවින් ජනප්‍රිය විය. දෙමළ සහ මුස්ලිම් ජනයාගේ ජීවිතයෙහි විවිධ තතු සමීපව වටහා ගැනීමේ අවශ්‍යතාවක් තරුණ සිසුන් තුළ පවතින බව පෙනිණි. ඒ පාඨමාලාවේ ඇතැම් දේශන සඳහා දෙමළ සහ මුස්ලිම් ජාතික විද්වතුන් හැකි පමණින් සහභාගි කරවා ගැනීමට අපි ප්‍රයත්න දැරීමු. අදටත් ඒ පාඨමාලාව පවතින අතර ආරූරන්ගේ සම්මානිත නවකතාව වහා සිංහලට නැගී මේ පාඨමාලාවේ උගන්වන්නට අවස්ථාවක් එන්නේ නම් අගනේය.
සංස්කෘතිය, භාෂාව, ජාතිය, ලිංගිකත්වය ආදිය අතින් අපට වඩා වෙනස් මනුෂ්‍යයන්ගේ ජීවිත වෙත පාරිකල්පනික වශයෙන් ඇතුළු වී ඒ ජීවිත සහවේදනීය සේ වටහා ගැනීම සාහිත්‍යයෙන් කෙරෙන එක් වැදගත් කාර්යයකි. සාහිත්‍ය රසිකයා තුළ ඇති කෙරෙන ඒ ශක්තියට සහවේදනීය පරිකල්පනය හෝ සහකම්පනීය පරිකල්පනය යන නම යෙදිය හැකිය.
සාහිත්‍යයෙහි බොහෝ ප්‍රයෝජන තිබේ. සුන්දර වස්තුවක් සේ පැවතීම පමණක් වුව සාහිත්‍යයෙහි වැදගත් ප්‍රයෝජනයකි. ඇතැම් කවි වටිනා නිර්මාණ යැයි අප දකින්නේ ඒවායෙහි එන වාග්මය හෝ ආකෘතික සුන්දරත්වය නිසාම පමණි. කෙටිකතා, නවකතා වැනි ඇතැම් ආඛ්‍යානමය කලා වටිනා සෞන්දර්ය වස්තු සේ හඳුනා ගැනෙන්නේ ඒවායෙහි එන භාෂාමය හෝ ආඛ්‍යාන ශිල්පමය සුන්දරත්වය නිසාමය. එසේම සාහිත්‍යය යනු මානව සංවාදයක කොටසකි. ඕනෑම සාහිත්‍ය කෘතියක් මනුෂ්‍යයා සමග සංවාදයකද යෙදෙයි. සාහිත්‍ය කෘතියක් මගින් ඇති කරන සාමූහික මනුෂ්‍ය සංවාදය වටහා ගැනීමට නොයෙක් න්‍යායික ප්‍රවේශ තිබේ. ආචාරධාර්මික විචාර න්‍යායද ඉන් එකකි. සහවේදනීය පරිකල්පනය මා දකින්නේ සාහිත්‍ය රසිකයා තුළ ආචාරධාර්මික තර්කනය ඇති කරන්නට දායක වන පරිකල්පන ශක්තියක් ලෙසයි.
හුදෙක් සුන්දර වස්තුවක් සේ පමණක් පවතින සාහිත්‍ය කෘති නිර්මාණය තමන්ගේ කාර්ය යැයි ඇතැම්හු කියති. එහෙත් සාහිත්‍ය කෘති නිර්මාණය, ග්‍රන්ථ නිෂ්පාදනය, බෙදා හැරීම, මිලට ගැනීම කියවීම ආදී සියලු කටයුතු උදෙසා විශාල මනුෂ්‍ය ශ්‍රමයක්, කාලයක්, හා පිරිවැයක් දරන්නට සිදු වන කලෙක සාහිත්‍යයෙහි ප්‍රයෝජන මොනවාදැයි බොහෝ දෙනෙක් අසති. සාහිත්‍ය කලා ආදිය අධ්‍යාපනයෙහි කොටසක් විය යුත්තේ මන්දැයිද ඔවුහු අසති. ඒ නිසා “ප්‍රයෝජන ගැන අපෙන් අහන්න එපා. සුන්දර වස්තු හදන උදවිය” හෝ “අපි සුන්දර වස්තු අගය කරන උදවිය” හෝ යනුවෙන් පමණක් පිළිතුරු දීම ප්‍රමාණවත් නැත. මෙවැනි ප්‍රශ්නවලට සාරවත් වූද බහුවිධ අර්ථ ඇත්තා වූද පිළිතුරු ගොඩ නගා ගැනීම උචිතය. “සාහිත්‍යය නිසා සහවේදනීය පරිකල්පනය වර්ධනය වී ආචාරධර්මික තර්කනයෙන් යුක්ත පුරවැසියන් බිහි කළ හැකිය” යන්නද අර පිළිතුරුවලින් කොටසක් වීම වරදක් නොවේ.
අප බොහෝ දෙනෙකුට එදිනෙදා ජීවිතයේදී අපට වඩා වෙනස් වූ සියලූ මනුෂ්‍යයන් ආශ්‍රය කරන්නට ලැබෙන්නේ නැත. එය අවශ්‍යද නැත. එහෙත් මනුෂ්‍ය ජීවිතයේ විවිධ ස්වරූප, මනුෂ්‍ය අත්දැකීමේ නොයෙක් සංකීර්ණතා ආදිය වෙත පාරිකල්පනික වශයෙන් ප්‍රවේශවීම බෙහෙවින් ප්‍රයෝජනවත්ය. එසේ වුවද සාහිත්‍යය පවතින්නේ සෞන්දර්ය ප්‍රීතිය ඇති කිරීමට පමණක් නොව එහි වෙනත් ප්‍රායෝගික ප්‍රයෝජනද තිබේ යැයි කීමේ ගැටලුද නැතුවා නොවේ. ඕනෑම දෙයක් “ප්‍රයෝජනවත්” යැයි කීමේ එක් ගැටලුවක් වන්නේ ප්‍රයෝජනය හෙවත් උපයෝගීතාව බවට සාහිත්‍ය කෘතිය ඌනනය වීමය. මා මේ රචනය ලියන විට මේස ලාම්පුවකින් මගේ කොම්පියුටරය වෙත ආලෝකය ලැබේ. ඒ මේස ලාම්පුවේ ප්‍රයෝජනය හෙවත් උපයෝගීතාව යනු ඒ එළිය සැපයීමය. සාහිත්‍ය කෘතිය යනු මේස ලාම්පුවක් වැනි උපකරණීය උපයෝගීතාවක් ඇති දෙයක් නොවේ. ඉන් ලැබෙන ප්‍රයෝජනය ඊට වඩා සංකීර්ණ වේ. මේ කාරණය සැලකිල්ලට ගන්නා සාහිත්‍ය න්‍යායවේදිනියක වන රීටා ෆෙල්ස්කි මෙවැන්නක් යෝජනා කරයි: සාහිත්‍යය යන්න “ප්‍රයෝජනවත්” දෙයක් කීමට වඩා උචිත වන්නේ “ප්‍රයෝජනයෙහි යෙදවිය හැකි” දෙයකි. එනම් සාහිත්‍ය කෘතියක ප්‍රයෝජනය හුදෙක් නිරන්තරයෙන්ම සූදානමින් තිබෙන ප්‍රයෝජනයක් නොවන්නේය යන්නය. මගේ මේස ලාම්පුවෙහි සුවිචය ක්‍රියාත්මක කළ විට ආලෝකය සැපයේ. ඉන් ලැබෙන්නේ ආලෝකය පමණි. සාහිත්‍ය කෘතියක් යනු එවැන්නක් නොවේ. යම් සමාජ කතිකාවක් වෙත අවශ්‍ය නම් භාවිත කළ හැකි අගයයන් එහි අඩංගු වේ. කෘතිය වෙතින් ඒ වටිනාකම් නිදහස් කරගෙන ඒවා වැඩෙහි යෙදවිය හැකි නිර්මාණශීලී සංවාදකයෙකු කෘතිය වෙත එළඹිය යුතුය. මා “සංවාදකයා” යන යෙදුම භාවිත කරන්නේ එය “විචාරකයා” යන්නෙන් වෙන් කර ගැනීමටය. නිර්මාණශීලී වූද විචාරශීලී වූද සංවාදකයා සාහිත්‍ය කෘතිය සංවාදයෙහි යොදවයි. මෙයින් සාහිත්‍ය කෘතිය හුදෙක් ප්‍රයෝජ්‍ය වටිනාකමකට ඌනනය නොකර ඉන් ලැබෙන සමාජ සංවාදමය වටිනාකම අගය කරන්නට ඉඩ ලැබේ.
ලෝකය දැකීම සහ මනුෂ්‍යත්වය හඳුනා ගැනීම
සහවේදනීය පරිකල්පනය යනුවෙන් මහාචාර්ය මාර්තා නස්බෝම් ඇගේ කෘති ගණනාවකදී විස්තර කරන්නේ සාහිත්‍ය සහ සමාජය අතර පාලම දැමිය හැකි එක් වැදගත් සංකල්පයකි. සාහිත්‍ය කෘතිවල හමු වන චරිත ආචාරධාර්මික ස්ථාවර ගැනීමෙහි යෙදෙති. එය පහසුකටයුත්තක් නොවේ. “දුවන වට්ටියා සහ හිනාවෙන ටිකිරා” යනුවෙන් කතාවක් එනමින්ම යුතු මගේ කෙටිකතා පොතේ එයි. 1987-89 සමයෙහි ශිෂ්‍ය දේශපාලනයෙහි යෙදීම නිසා මර්දනයට ලක් වූ ශිෂ්‍යයෝ දෙදෙනෙක් කෙසේ හෝ ජීවිතය බේරාගෙන පසු කලෙක විදුහල්පතිවරු බවට පත් වෙති. ඔවුන් මැදිවියේ විදුහල්පතිවරුන් වූ පසු ආණ්ඩුව පාසල් විදුහල්පතිවරුන්ට කර්නල් තනතුරු දෙයි. කලෙක තමන්ගේම මර්දකයන් වූ හමුදා නිලධාරීන් යටතේ පුහුණු වී හමුදා නිල ඇඳුමක් හැඳ හමුදාමය ලෝක දෘෂ්ටියකින් ලෝකය දෙස බලන්නට සිදුවීම මේ කතාවේ චරිතයක් මුහුණ දෙන දරුණු ආචාරධාර්මික අර්බුදයකි. මෙය ඔවුන්ගේ පැවැත්ම එක්තරා ඛේදයකට හෙළයි. කතාකරුවා ලෙස මගේ අරමුණක් වූයේ මේ ආචාරධාර්මික අර්බුදය වෙත පාරිකල්පනිකව ඇතුළු වන්නට පාඨකයාට ඉඩ සැලසීමය. එය සාහිත්යික වශයෙන් සාර්ථක වූ ප්‍රයත්නයක්දැයි තීරණය කළ යුත්තේ රසිකයාය.
මේ ආඛ්‍යානමය සෞන්දර්ය අත්දැකීම ලෝකය සමග ගනුදෙනු කිරීමේ එක් අර්ථවත් ක්‍රමයකි. සාහිත්‍ය න්‍යායවේදිනී ඉසොබෙල් ආම්ස්ට්‍රෝං රැඩිකල් ඊස්තටික්ස් ( Radical Aesthetics) කෘතියෙහි පෙන්වා දෙන පරිදි සෞන්දර්ය යනු අප ජීවත් වන ලෝකය වටහා ගැනීමේ මාධ්‍යයක් පමණක් නොව ඒ ලෝකය තුළ තබා තමාගේම ආත්මීයතාව වටහා ගැනීමේ මාධ්‍යයකි. හුදෙක් බාහිර ලෝකය වටහා ගැනීමේ කතිකා බොහෝ තිබේ. සාහිත්‍යය අපට උපකාර කරන්නේ ලෝකය නම් සන්දර්භය තුළ අපේ ආත්මීයතාව හෙවත් අප තුළම වසන “මම” යනු කවුදැයි වටහා ගැනීමට උපකාර කිරීමය. විරාගය නවකතාව කියවන පාඨකයා එක්තරා සමාජමය සන්දර්භය පමණක් නොව එවන් සමාජමය සන්දර්භයක තබා තමාගේම ආත්මීයතාව දකියි. ඒ ආත්මීයතාව දකින්නට උදව් කරන්නේ හුදෙක් අරවින්ද හෝ සරෝජිනී පමණක් නොවේ. අනික් සියලු චරිතද අපට අප තුළම වසන “මම” දකින්නට උපකාර කරයි.
සමාජ-ඓතිහාසික සන්දර්භවල වසන මනුෂ්‍යයාගේ චර්යාව(මනුෂ්‍යයාගේ අභ්‍යන්තරය) වටහා ගැනීමට සාහිත්‍ය කලාවලින් ලැබෙන එළිය නූතන සාහිත්‍ය ඉතිහාසය පුරා ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කර තිබේ. මේ රචනය ආරම්භයේදී සඳහන් කෙරුණු පාඨමාලාව හඳුන්වා දීමට පේරාදෙණියේ අප තීරණය කළේද ඒ නිසාය. මහාචාර්ය ලින් හන්ට් ඉන්වෙන්ටින් හියුමන් රයිට්ස් ( Inventing Human Rights) යනුවෙන් ලියූ පොත නිදර්ශනයට ගනිමු. ඇය පෙන්වා දෙන හැටියට 18 වෙනි සියවසේදී යුරෝපයේ ලියැවුණු නවකතා කියවූ සුදු ජාතික පාඨකයෝ සුදු නොවන, යුරෝපීයද නොවන මනුෂ්‍යයන් පමණක් නොව සුදු ජාතික නිර්ධන පාන්තික මනුෂ්‍යයන්ද තමන්ට සමාන හැඟීම් ඇති මනුෂ්‍යයන් බව වටහා ගත්හ. එනම්, එකල සමාජයෙහි සාක්ෂරතාවද පොතපත කියවීමේ විවේකයද සහිත වරප්‍රසාදිත සුදු ජාතිකයන්ට යට කී මනුෂ්‍යයන්ද හැඟීම් දැනීම් අතින් තමන්ට සමාන වන බව අවබෝධ කරදීමට නවකතාවද උපකාර වී තිබේ. 18 වෙනි සියවසේ සුදු ජාතික මධ්‍යම පාන්තිකයින්ද සහවේදනයෙන් හා සහකම්පනයෙන් යුතුව බැලුවේ තමන්ට සමාන අය, තමන්ගේ ඥාති හිතමිත්‍රාදීන් දෙස පමණි. එහෙත් නවකතා කියවීම නිසා ඔවුහු තමන්ට වඩා වෙනස් මනුෂ්‍යයන්ද මනුෂ්‍යයන් සේ දකිමින් ඒ මනුෂ්‍යයන්ගේ ජීවිත දෙස සහකම්පනීය වශයෙන් දකින්නට උගත්හ. ජාති, ආගම්, භාෂා, පන්ති ආදී සීමා මායිම් ඉක්මවා පොදු මනුෂ්‍යයත්වය දකින්නට පුහුණුව ලදහ. මේ වූකලි නූතන ලෞකික සාහිත්‍යය නිසා ඇති වූ අධ්‍යාපනික වාසියකි. ආගමික සාහිත්‍යය පවා හුදෙක් තමන්ගේ ආගමේ ශික්ෂාපද පිළිගන්නා මනුෂ්‍යයන් පමණක් මනුෂ්‍යයන් සේ දකින්නට දිරිදෙන්නට ඉඩ තිබේ. ලෞකික සාහිත්‍යය එසේ නොවේ. එය මූලික ප්‍රජාතන්ත්‍රවාදී ලෝක දෘෂ්ටියකින් අනෙක් මනුෂ්‍යයන්ගේ පොදු මිනිස් බව දකියි. එහෙයින් විශ්වීය මානව හිමිකම් පහළ වීමට සාහිත්‍යය මගින් වූ සේවය මහාචාර්ය හන්ට්ගේ අගය කිරීමට ලක් වේ. පේරාදෙණියද ඇතුළු ලංකාවේ ඇතැම් විශ්වවිද්‍යාල මානව හිමිකම් ඩිප්ලෝමා ආදී පාඨමාලා ඉගැන්නුවද ඒවා තුළ තෝරාගත් නවකතා කිහිපයක් කියවා හැදෑරීම කෙරෙන බවක් මා අසා නැත. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රකාශනයේ මෙවැනි යෙදුමක් එයි: “මනුෂ්‍ය පවුලේ සියලු සාමාජිකයන්ගේ නෛසර්ගික අභිමානයද සමාන වූද අනුල්ලංඝනීය වූද අයිතිවාසිකම් හඳුනා ගැනීම නිදහසෙහි, යුක්තියෙහි, සහ ලෝක සාමයෙහි පදනම වේ.” මහාචාර්ය හන්ට් කියන හැටියට මේ සමානකම් හා අයිතිවාසිකම් පැහැදිලිව කාටත් මතු වී පෙනෙන්නේ නැත. එනම් ඒ සමානකම් හා අයිතිවාසිකම් කාටත් ඉබේම මෙන් පෙනී යන්නේ නැත. ඊට හේතු බොහෝය. අප කවුරුත් ජීවත් වන්නේ අපේම සංස්කෘතික ලෝකවලය. ඒ සංස්කෘතික ලෝක භාෂාව, ආගම, ජනවර්ගය, ජාතිය ආදිය විසින් නිර්ණය වී තිබේ. ඒවාගෙන් පිට වසන අය මනුෂ්‍යයන් වුවත් ඔවුන් අපට පෙනෙන්නේ ‘අප නොවන’ පිරිසක් ලෙසයි. ඒ නිසා අප විසින් ඔවුන් අනන්‍යයත්වයට පත් කරනු ලැබේ. යම් දේශපාලන සංකීර්ණතාද එක් වූ කල ඒ අප නොවන අය ‘මනුෂ්‍ය නොවන’ පිරිසක් සේද පෙනෙන්නට පුළුවන. වර්ගවාදයේ උග්‍රම කාලවලදී සුදු මිනිසුන්ට කළු මිනිසුන් පෙනුණාක් සේය. හිට්ලර්ට යුදෙව් ජනයා පෙනුණාක් මෙනි. තව නිදර්ශන රැසකි. ඒ නිසා මනුෂ්‍යයන් අතර සමානත්වය යනු ඉබේම මතු වී පෙනෙන සත්‍යයක් හෙවත් ස්වයං සිද්ධ කාරණයක් නොවේ. එය නිරන්තර සංවාදයකින් මතු කර ගත යුතුය. සාහිත්‍යයද මේ කාරණයට දායක වී තිබේ.
තනි තනි මනුෂ්‍යයාට තමන්ටම වූ අභ්‍යන්තරික ජීවිතයක්, මානසික සැකැස්මක්, තිබේය යන අවබෝධය 19 වෙනි සියවසේදී සමාජය පුරා පැතිරෙන්නට නවකතාවද දායක වී තිබේ. නවකතාව මනුෂ්‍ය චරිතයෙහි අභ්‍යන්තරය සහ ඒ අභ්‍යන්තරයෙහි ක්‍රියාකාරිත්වය ආඛ්‍යානගත කර අප හමුවේ පෙන්වයි. 19 වෙනි සිය වසේදී නවකතාව ජනප්‍රිය වින්දන මාර්ගයක් සේ පැතිරීම සෑම මනුෂ්‍යයෙකුටම තමන්ටම වූ අයිතිවාසිකම් පැවතිය යුතුය යන කතිකාව ඇති කිරීමට හේතු වී තිබේ. ‘නවකතාව මනුෂ්‍ය අභ්‍යන්තරය ගැන නව සංවේදනා ජනිත කළේ’ යැයි මහාචාර්ය හන්ට් කියන කාරණය නිවැරදිය.
නවකතාවේ හෝ සාහිත්‍යයෙහි එකම කාර්ය මානව හිමිකම් ආරක්ෂා කිරීමට දායක වීම යැයි මෙම රචනයෙන් අදහස් නොවේ. සාහිත්‍යයෙහි ‘ප්‍රයෝජනවලට’ බෙහෙවින් සංකීර්ණ ඉතිහාසයක් තිබේ. පාරිශුද්ධ සෞන්දර්යාස්වාදයේ සිට නොයෙක් සමාජ කතිකාවලට අර්ථ එක් කිරීම දක්වා බහුවිධ අර්ථවත්භාවයක් සාහිත්‍ය වෙතින් පළ වී තිබේ. එය ඉදිරිටත් එසේ වීම මනුෂ්‍ය සමාජයට අවශ්‍ය වේ.
(නොවැම්බර් 20 වෙනිදා අරුණ පුවත්පතේ පළ වූ ලිපියකි)