Thursday, January 3, 2019

නවකතාවේ ස්ත්‍රී චරිත නිරූපණය සහ කරුණාසේන ජයලත්ගේ නවකතා




නවකතාව සහ ස්ත්‍රී චරිත අතර ඇත්තේ නවකතාවේ ආරම්භය කරාම දිවෙන සම්බන්ධයකි. සිංහල නවකතා ක්ෂේත්‍රයේද ආරම්භයේ සිටම ස්ත්‍රී චරිත කේන්ද්‍රීය නවකතා හමුවේ. අපේ පළමු නවකතාව යැයි ඇතැම් අය සලකන මීනා එක් නිදසුනකි. තව පිරිසක් පළමු නවකතාව යැයි සලකන ජයතිස්ස සහ රොසලින් හි එක් ප්‍රධාන චරිතයක් ස්ත්‍රියකි. ස්ත්‍රී ප්‍රරුෂ ප්‍රේමය සහ විවාහය තුළ ස්ත්‍රියගේ ස්වභාවය තේරුම් ගැනීම සම්බන්ධයෙන් ආදි කාලීන නවකතාකරුවා තුළ පවා උනන්දුවක් පැවතියේය. අපේ නවකතාවේත් මීනාගෙන් සහ රොසලින්ගෙන් පසු විවිධ ස්ත්‍රී චරිත හමුවේ. මෑත කාලීන සිංහල නවකතා වන පොදු පුරුෂයා, කන්දක් සේමා, මේ රහස් කවුළුවෙන් එබෙන්න, නිලි වැස්ස,අසන්ධි මිත්තා, මාණික්කාවත ආදී නවකතා මාලාවකද ස්ත්‍රිය නම් විෂය ප්‍රේමය, විවාහය, පවුල, සංස්කෘතික-දේශපාලන ව්‍යූහ යනාදී පසුබිම්වල තබා ගවේෂණය කෙරේ. මෙය ලෝක පරිමාණ තත්වයකි. හො ස්ත්‍රී චරිතයක් නැති නවකතාවක් කියවීම යනු ලෝරනස් ඔෆ් ඇරේබියා වැනි ස්ත්‍රී චරිත නැති සිනමා කෘතියක් නැරඹීම වැනි අමුතු අත්දැකීමකි. මේ තත්ත්වය කෙතරම්ද යත් නවකතාව නම් ශානරයේ ප්‍රධානම විෂය ස්ත්‍රිය යැයි පවා කෙනෙකුට කියන්න පුළුවන.  එසේ වූයේ ඇයි යන්න නවකතා කලාව හදාරණ අයගේ කුතූහලයට නතු වූ ප්‍රශ්නයකි.


නවකතාව යනු නූතන ප්‍රජාතන්ත්‍රවාදය සමගම වර්ධනය වී ප්‍රජාතන්ත්‍රවාදී කතිකාවේ උපකරණයක් ලෙසද භාවිත වූ සාහිත්‍ය ශානරයකි. එනම් ප්‍රජාතන්ත්‍රවාදී විඥානය සහ ප්‍රජාතන්ත්‍රවාදී ආචාර්ධාර්මික තර්කනය සමාජය තුළ පතුරුවා හරින්නට නවකතාව දායක වී ඇත. එසේම ඒකපුද්ගල නිදහස පිළිබඳ ලිබරල් මානවවාදී කතිකාව සමාජගත කරන්නටද නවකතාව දායක වී තිබේ. ඒ නිසා නවකතාකරුවන් නවකතාව නමැති ශානරයේ අත්‍යවශ්‍ය අංගයක් ලෙස ස්ත්‍රී චරිත වෙත අවධානය යොමු කිරීම වටහාගෙන ඇති බව පෙනේ. මානව සමාජයේ ඇති පළමු භේදය ස්ත්‍රී-පුරුෂ භේදයකි. පුරුෂ සහ ස්ත්‍රී වෙනස්කම් ශරීරය මතම සටහන් වී ඇති නිසා සමාජයේ මිනිසුන් අතර පවතින වෙනස්කම් අතරින් ස්වභාවික යැයි බැලූබැල්මට පෙනෙන ප්‍රධානම වෙනසද ස්ත්‍රී පුරුෂ භේදයයි. ඒ නිසා මේ වෙනස සමාජ-සංස්කෘතික සන්දර්භවල ප්‍රකාශයට පත් වන ආකාරය හඳුනා ගැනීමේ අවශ්‍යතාවක් පැන නැග්ගේය. ස්ත්‍රී සහ පුරුෂ ලිංගික වෙනස ශරීරය මතම සටහන්ව තිබීමෙන් මිනිස් සමාජයේ කණ්ඩායම් දෙකක් වශයෙන් වෙනසක් ඇති බව පෙනුණද ඒ වෙනස උස් පහත් වශයෙන් වන ධුරාවලි ගතවීම ස්වභාවික එකක් නොවේ. එය සමාජ-සංස්කෘතික කාරණයකි. ස්ත්‍රියට වඩා පුරුෂයා උසස් බවට පත් කරන කිසිම ස්වභාවික හේතුවක් නැත. පුරුෂයා හඳුන්වන ලිංගික නිමිත්ත වඩා ස්ත්‍රිය හඳුන්වන ලිංගික නිමිත්ත උසස් නොවිය හැක්කේ කෙසේද යන්නට කිසිම ස්වභාවික හේතුවක් නැත. ඒ නිසා පුරුෂා සහ ස්ත්‍රිය අතර ධුරාවලියට හේතුව පුරුෂයා විසින් ස්ත්‍රිය යටත් කර ගැනීමට දරණ ලද උත්සාහයේදී ඇති වූ විවිධ දෘෂ්ටිවාද සහ සහ ආයතනයි. පුරුෂ කේන්ද්‍රීය පවුල යනුද එවැනි දෘෂ්ටිවාදවලින් මෙහෙය වනු ලබන ආයතනයකි. 

නවකතාව මෙකී පුරුෂ කේන්ද්‍රීය සමාජය වර්ධනය වීම පිළිබඳ ඉතිහාසයට සංකීර්ණ ලෙස සහභාගි වූ සාහිත්‍ය ශානරයකි. ඇතැම් විට නවකතාව ස්ත්‍රි ලිංගිකත්වය පුරුෂයාට වඩා දෙවැනි ලිංගිකත්වයක් ලෙස ගොඩනැගීමට දායක වී ඇත. ඇතැම් පුරුෂ නවකතාකාරයන් මේ කාර්යට සියුම් ලෙස දායක වී ඇති සැටි සිමෝන් ඩි බුවා සිය ප්‍රකට අධ්‍යයනය වන The Second Sex කෘතියෙන් පෙන්වා දුන්නාය. ඇය දකින හැටියට පිරිමියා තම ආත්මීයත්වය හෙවත් තමා බව ගොඩ නගා ගන්නේ ස්ත්‍රිය අන්‍යයත්වයට හෙළමිනි. අන්‍යයත්වය හෙවත් otherness යනු ආත්මීයත්වය ගොඩනගා ගැනීම පිණිස අත්‍යවශ්‍ය ව්‍යුහමය කාරණයක් බවද සිමෝන් ඩි බුවා පෙන්වා දෙයි. පුරුෂයා එහිලා යොදා ගන්නේ ස්ත්‍රියයි. ඒ නිසා ස්ත්‍රිය කතා බහ, ගමන බිමන, චර්යාරටා, රුචි අරුචිකම් පමණක් නොව සිතුම් පැතුම් අතින්ද පුරුෂයාගේ අන්‍යයා ලෙස වටහා ගනු ලැබේ. ඒ නිසා ස්ත්‍රිය අර්ථකථනය කෙරෙන්නේ ස්වාධීන වූද ඊටම ආවේනික වූද සංකල්පයක් ලෙස නොවෙ පුරුෂයාට සාපේක්ෂව ඔහුට දෙවැනි වූ කෙනෙක ලෙසිනි. සිමොන් ඩි බුවා “දෙවන ලිංගිකය” යන යෙදුම නිපදවන්නේ මේ තත්ත්වය විස්තර කිරීමටයි. පුරුෂ කේන්ද්‍රීය සියලු සමාජ සංස්කෘතික කතිකාද පුරුෂ කේන්ද්‍රීය යන නිසා පුරුෂයා විසින් අන්‍යයත්වයට පත් කරන ලද ස්ත්‍රිය පිළිබඳ සංකල්පරූප එකී කතිකා වෙතටද වැද ගනී. 

එහෙත් සෑම කලෙකම සාපේක්ෂ වශයෙන් බුද්ධිමත් වූද විචාරශීලී වූද සමාජ කණ්ඩායම් අතර මේ තත්ත්වය පිළිබ අවබෝධයක් පැවතියේය. සාහිත්‍යකරුවන් සාමාන්‍යයෙන් අයත් වන්නේ මෙවැනි සමාජ කණ්ඩායම්වලය. ඒ නිසා පිරිමින් විසින් ලියන ලද සාහිත්‍ය කෘතිවල පවා ස්ත්‍රිය දෙවැනි මනුෂ්‍ය යෙකු ලෙසට පිරිහෙළුවා වූද ඒ දෙවැනි බව ඉදිරියට පවත්වාගෙන යන්නා වූද සමාජ ව්‍යූහ සහ දෘෂ්ටිවාද ගැන විචාරයක් සහිත සාහිත්‍ය කෘති ගණනාවක් නවකතාව නැමති ශානරය තුළින්ම මතු විය. එමා බොවාරි සහ ඇනා කැරනිනා එවැනි කෘති වේ. සාර් රුසියාවේ ඉහළ රාජ්‍ය නිලධාරියෙකු වන කැරනින් මහතා විවාහය නම් පූජණීය ආයතනය තුළ සිය බිරිඳ වන ඇනාට අයිති වන ද්වීතිය තත්ත්වය අදහාගෙන ආරක්ෂා කරන්නෙකි.
ඇතැම් විට ගුස්ටාව් ප්ලෝබෙයා හෝ ලියෝ ටොලස්ටෝයි තරම් ශ්‍රේෂ්ඨ නොවන ලේඛකයෝ ස්ත්‍රිය දෙවැනි ලිංගිකයෙකු බවට පත් කර ඇයට පුරුෂයාට වඩා පහළ තැනක්  ලබා දෙන දෘෂ්ටිවාද එලෙසම ප්‍රතිනිෂ්පාදනය කරමින් පුරුෂ මූලික සමාජය ආරක්ෂා කළහ. 19 වැනි සියවසේදී පමණ ලියවුණු බහුතරයක් යුරෝපීය නවකතාවල ස්ත්‍රී චරිත නිරූපණය වූයේ ගෙදරදොර ජීවිතයට හෝ මල් වැවීම වැනි ගෙවත්තේ කටයුතුවල හෝ පමණක් උනන්දු ගෘහස්ත මනුෂ්‍යයෙකු ලෙසයි. එවැනි ස්ත්‍රීන් තම සමාජ ප්‍රගමනයට එකම මග හැටියට සැලකූයේ සාර්ථක යැයි සැලකෙන පිරිමියෙකු හා විවාහවීමයි. මෙවැනි නිරූපණ මගින් පෙනුණේ එකල ස්ත්‍රියගේ සැබෑ තත්ත්වයක පමණක් නොවේ. ස්ත්‍රියක විසින් පැතිය යුතු ජීවිතය මේය යන නිර්දේශකරණයද සීමාකරණයද ඒ නවකතා මගින් ස්ත්‍රී විඥානයට ඇතුළත් කරන ලදී. ඒ නිසා ඒ නවකතා පුරුෂෝත්තම දෘෂ්ටිවාද තවදුරටත් වගා කළ නවකතා වේ.

මෙසේ පිරිමින් විසින් ස්ත්‍රිය යනු කවුද යන කාරණය නිරූපණය කරන ලද ආකාරයට විරුද්ධව 19 වැනි සියවසේදීම ස්ත්‍රීහුද සාහිත්‍ය ලෝකයට ආහ. ඔවුන්ගේ එළඹීමෙන් නවකතාවේ ස්ත්‍රී චරිත නිරූපණය බෙහෙවින් පොහොසත් විය. සිංහල නවකතාව වෙතද ස්ත්‍රීන්ගේ එළඹීම ඉතා සාධනීය දෙයක් සේ දැකිය යුතුය. අද අපට සිටින ප්‍රධාන ලේඛිකාවන් වන සුනේත්‍රා රාජකරුණානායක, කැත්ලීන් ජයවර්ධන, සුමිත්‍රා රාහුබද්ධ, ශාන්ති දිසානායක, සේපාලි මායාදුන්නේ වැනි අයගේ කෘතිවලින් ස්ත්‍රිය නම් මනුෂ්‍යයාගේ විඥාන ලෝකය වෙත අපමණ ආලෝක ධාරා එල්ල වේ.

ජයලත්ගේ ස්ත්‍රිය

බ්‍රිතාන්‍ය ලේඛිකා චාලට් බ්‍රොන්ටේ සිය ශර්ලි නවකතාවේදී කී දෙයක ක්ෂණික පරිවර්තනයක් මෙසේය. “පුරුෂයන්ට අප සැබෑ ලෙසම දැක ගත හැකි නම් ඔවුන් තරමක් පුදුම වනු ඇත. එහෙත් පුරුෂයන් අතර තියුණුම, දක්ෂම අය පවා ස්ත්‍රීන් ගැන මායාවකට යට වී සිටිති. ඔවුන් අප කියවන්නේ නිසි එළියෙන් නොවේ. ඔවුහු අප සම්බන්ධ යහපත සේම නපුරුද වැරදියට වටහා ගනිති. ඔවුන්ගේ යහපත් ස්ත්‍රිය වන්නේ තරමක් විකාර, අර්ධ වශයෙන් බෝනික්කෙකු, අර්ධ වශයෙන් දේව දූතියක, වූ අතර ඔවුන්ගේ නරක ස්ත්‍රිය සෑම විටෙකම පාහේ යක්ෂණියක හෝ ප්‍රේතියකි.” 

විසි වැනි සියවසේ සිංහල නවකතාරුවන් අතර ස්ත්‍රී චරිත නිරූපණයට විශේෂ අවධානයක් යොමු කළ ලේඛකයෙකි කරුණාසේන ජයලත්. ඔහු ලාංකේය ස්ත්‍රී අත්දැකීමේ විවිධ ස්වරූප නවකතාවට හසු කර ගත්තේය. චාලට් බ්‍රොන්ටේ ඉහත උපුටනයේ කියන අන්දමේ අතිසරල ස්ත්‍රී චරිත නිරූපණයක් ජයලත්ගේ නවකතාවල ඇති බවක් මට මතක නැත. ඔහුගේ නවකතාවල අර්ධ-බෝනික්කියෝ හමු නොවෙති. ජයලත්ගේ ප්‍රධාන ස්ත්‍රී චරිත සියල්ලම පාහේ තමගේම වූ අදහස් ඇති, ඒවා ක්‍රියාවට දැමීමේ ආරම්භක ශක්තිය ඇති සේම අපමණ ආදර ධාරිතාවක්ද සහිත අය වෙති.

ඔහු ස්ත්‍රී චරිත නිරූපණය කළේ ලංකා සමාජය තුළ ප්‍රජාතාන්ත්‍රික නිදහස් සමාජයක් ගොඩනැගීමට නම් අප ස්ත්‍රියට සලකන ආකාරය තීරණාත්මක ලෙස වෙනස් විය යුතු යැයි සලකමින් බව පෙනේ. ඔහුගේ නවකතාවලට ස්ත්‍රී චරිත කේන්ද්‍රීය වීමට හේතු ගණනාවක් තිබෙන්නට ඉඩ ඇත. ලංකාවේ නවකතා පාඨකයින් අතර අතිබහුතරය ස්ත්‍රීන් යැයි බැලූබැල්මටම පෙනෙන දෙයකි. ඒ බැලූබැල්මට පෙනෙන දේ ඇත්තක් නම් ඒ කාරණයද ජයලත්ගේ නවකතාවල ස්වභාවයට බලපාන්නට ඇත. එසේම ස්ත්‍රීන් අතරින් නූතන ලංකාවට උචිත සවිඥානක පුරවැසියා නිර්මාණය කිරීමේ අවශ්‍යතාව ගැනද ඔහු සවිඥානක වන්නට ඇත. ඔහු සිය නවකතාවලට වස්තු බීජ සපයාගත් ජීවන කලාපයට ස්ත්‍රීන් බහුල වශයෙන් අයිති වන්නටද ඉඩ ඇත. කෙසේ වෙතත් ඔහුගේ නවකතාවලිය පිළිබඳ අද දවසේ කරන පසුවිපරමකදී අවධානයට ලක් විය යුතු දෙයක් නම් නූතන කලා මාධ්‍යයක් වන නවකතාව හා ස්ත්‍රිය අතර පවත්නා ඉහත විස්තර කරන ලද සම්බන්ධය ලාංකේය සන්දර්භයක වටහා ගැනීමේදී ජයලත්ගේ නවකතා කෙතරම් වැදගත් වන්නේද යන්නයි. ඒ කාරණය පිළිබඳ සවිස්තර සාකච්ඡාවකට මේ ලිපියෙහි ඉඩකඩ නැත. ජයලත් වැනි ප්‍රවීණ ලේඛකයන්ගේ කෘති විවිධ දෘෂ්ටිකෝණවලින් සාකච්ඡා කරන එක් දින සම්මන්ත්‍රණ වැනි දේ  සංවිධානය කිරීම සාහිත්‍ය අනුමණ්ඩලය ආදී ආයතනවලට පැවරෙන වැඩය.  

මෙම ලිපිය සඳහා මා කේන්ද්‍රකරගන්නට තීරණය කළේ සතීගේ කතාව නවකතාවයි. හැත්තෑව දශකයේ මැද භාගයේ පමණ දුප්පත් ග්‍රාමීය පසුබිමකින් කොළඹ විශ්වවිද්‍යාලයට තේරී එන සරස්වතී මානවඩු නම් ශිෂ්‍යයාවගේ ජීවිතය මේ නවකතාවට හසු වේ. සිය මවගේ මරණයෙන්ද දෙමාපියන්ගේ විසිර ගිය විවාහයෙන්ද පසුව මිත්තණිය විසින් හදා වඩා ගන්නා ලද සරස්වතී හෙවත් සතීට පවුලේ කිසිම පුරුෂයෙකුගෙන් හවහරණයක් නැත. ඇගේ වැඩි මහලු සහෝදරයාද ගෙවන්නේ පවුල් වගකීමෙන් මැඩුණු පීඩිත ජීවිතයකි. ඒ නිසා දෙමටගොඩ ප්‍රදේශයේ මුඩුක්කු බෝඩිමක සිට විශ්වවිද්‍යාලය වෙත එන්නට ඇයට සිදුවේ. විශ්වවිද්‍යාල ජීවිතය ගෙවන්නට ඇය කරන අරගලය පිළිබඳ කතාවේ විශාල අපූර්වත්වයක් නැතත් ඇය නිස්සංක වීරකෝන් නම් තරුණයා වෙත දක්වන ආකර්ෂණය නිසා ඇති වන මානව සම්බන්ධතාව සංකීර්ණ එකකි. ජයලත්ගේ සෑම නවකතාවක පාහේ එන පුරුෂ චරිත එක්තරා මුදු මොලොක් ගුණයකින් යුක්ත සාමාන්‍ය පිරිමිකම්වලින් තොර අය වෙතියි මට සිතේ. නිස්සංකද එවැන්නෙකි.

   ආරම්භයේදී සතී නිස්සංක වෙත ආකර්ෂණය වන්නේ ඇගේ පීඩිත පසුබිම නිසා දුෂ්කර සරසවි ජීවිතය සැහැල්ලු කරන මිනිස් ඇසුරක් පතන්නියක ලෙසිනි. එහෙත් එක්තරා නොදන්නා හේතුවක් නිසා ඇය හා ආදර සම්බන්ධයකට නිස්සංක කැමති නැත. ඔහු යෝජනා කරන්නේ අලුත්ම ආකාරයක මානව සම්බන්ධයකි. එය ස්ත්‍රී-පුරුෂ ප්‍රේමයත් මිත්‍රත්වයත් අතර එකකි. අපට පසුව දැනගන්නට ලැබෙන ආකාරයට නිස්සංක ලියුකේමියා රෝගියෙකි. ඒ නිසා භාවමය වශයෙන් හෝ සමාජමය වශයෙන් හෝ සතීට රුකුලක් වන්නට නිස්සංකට හැකියාවක් නැත. නවකතාව අවසන් වන්නේ තමාට ලැබෙන රැකවරණ පිළිබඳ ආත්මාර්ථකාමී අදහසකින් තොරව නුදුරු අනාගතයේදීම මිය යාමට නියමිත පුරුෂයෙකුට ආදරය කරන්නට සතී සූදානම් බව ඉඟි කරමිනි. ජානකී නම් මිතුරිය සහ සතී අතර ඇති වන සමසරාගික ඉඟිද සහිත මිත්‍රත්වය නවකතාව තවත් සංකීර්ණ කරයි. 

ජනප්‍රිය ආදර කතාව නම් නවකතා විධිය(එම උපශානරය) භාවිත කරමින් කරුණාසේන ජයලත් සිංහල නවකතාව පෝෂණය කරන අතරම ආදර කතා ආකෘතියට ගැඹුරක්ද දුන්නේය. ඇතැම් විට ඔහු අතින් නූතන ලාංකේය ස්ත්‍රි අති-සෞන්දර්යකරණයකට ලක් වූයේ යැයි කියන්නට පුළුවන. එය එසේ වූයේ ඔහුගේ ප්‍රියතම නවකතා විධිය වූයේ යොවුන් ආදර කතාව උපශානරය වීම නිසාම විය හැකිය. ඒ උපශානරය තරමක අතිසෞන්දර්යකරණයක් ඉල්ලා සිටියි. යොවුන් ආදර කතාව ජයලත්ගේ අත ලැබූ විශිෂ්ටත්වය ඉන් පසු අපට දකින්නට ලැබුණේ නැතැයි කීම අතිශයෝක්තියක් නොවේ. ජයලත් යනු සිංහල නවකතාවේ එච්. ආර්. ජෝතිපාලයි. සිංහල ආදරය ගීතයට ජෝතිපාල කෙනෙකු නැති සේම සිංහල ආදර නවකතාවට ජයලත් කෙනෙකුත් නැත.  ස්ත්‍රී-පුරුෂ ප්‍රේමයේ කිසිදු සියුම් මොහොතක් ජෝතිපාලගේ ගීයකින් කඩක් සිහි නොවී අත්විඳින්නට බැරි තරම්ය. ජයලත්ගේ නවකතාවද නිතර පාහේ අපට මතක් කර දෙන ආදරයේ සුන්දර මොහොතවල් අපි අත්දකිමු. ඒ මොහොතවල් සුන්දර සේ අපට දැනෙන්නේ ජයලත්ගේ නවකතා නිසාද?

1 comment:

  1. සර් මේ ලිපිය සර් ලියපු පොතක තියෙනවද?

    ReplyDelete