Monday, November 2, 2020

ඒ සුද්දාටත් මේ සුද්දාටත් එරෙහිව අප අමතන නො-සුද්දෙක්? ලියනගේ අමරකීර්ති

 


                                     


     

සුද්දෙක් ඔබ අමතයි යනු මෑත කාලයේ ඉතා ජනප්‍රිය වූ නාට්‍යයකි. මේ නාට්‍යය ජනප්‍රිය වන්නේ එක් අතකින් මූලික වශයෙන් බටහිර විසින් මෙහෙය වෙන ගෝලීයකරණයත් අනික් පැත්තෙන් ජාතිකවාදය විසින් ඇති කරන ලද සරල බටහිර විරෝධයත් අතර දෝලනය වන ජනතාවක් අතරය. එහෙයින් මෙම නාට්‍යයේ තේමාව එකී ජනතාව තමා සමගම නිසැකවම එළඹිය යුතු සංවාදයකට දායක වීමේ විභවතාවෙන් යුක්තය. එහෙත් එම නාට්‍යයට එම සංවාදයට අර්ථවත් ලෙස දායක විය හැක්කේ එහි එන කියමන් වාචාර්ථයෙන් ගැනීමෙන් නොව ඒවායේ උත්ප්‍රාසාත්මක බවද ඉන් ඇති කෙරෙන ස්වයං හාස්‍යයද වටහා ගැනීමෙනි. එසේම එම නාට්‍යය නාට්‍යකරුවාගේම දෘෂ්ටියට එරෙහිව කියවීමෙනි. එය කළ හැක්කේ විසංයෝජනීය කියවීම මෙවළමක් කරගෙනය.


     සුද්දෙක් ඔබ අමතයි ජනප්‍රියවීමට එක් හේතුවක් නම් ඒවා ලංකාවේ ඉතාම ජනප්‍රිය මාධ්‍යයක් වන කතා පැවැත්වීම නාට්‍යයමය ලෙස භාවිත කිරීමයි. අපේ රටේ කතා පවත්වන්නෝ ඕනෑ තරම් සිටිති. සිංදු කීම හා කතා පැවැත්වීම අප වැඩියෙන්ම දක්ෂතා දක්වන අංග දෙකකි. මේ දෙකම යථාර්ථය වෙත එතරම් වගකීමක් නොදැක්වීම ඊට හේතුව විය හැකියි. කතා පැවැත්වීමද හුදු ප්‍රසංග කාරියක් විනා කිසිම වගකීමක් ඇති ප්‍රකාශයක් කිරීමක් නොවේ. එම ප්‍රසංගමය බව භාවිතයට ගන්නා උදයසිරි වික්‍රමරත්න කතා පැවැත්වීමේ කලාව උත්ප්‍රාසාත්මක ලෙසද නාට්‍යමය ලෙසද භාවිත කරයි. කතා පැවැත්වීම යනු වාග් අලංකාරිකය ප්‍රධානත්වය දරන්නකි. ඒ නිසාම එය ද්වි-භාෂාණය වෙනුවට කේවල භාෂණය ව්‍යූහය ලෙස ගත්තකි. අප රට ජනප්‍රිය දේශපාලකයන්ගේ කතා පරිස්සමින් සලකන්න. ඒවා අතිසරල කේවල භාෂණයන්ය. ඒ අර්ථයෙන් ගත් කල කතාපැවැත්වීම යනු නාට්‍යයේ ප්‍රතිවිරෝධ අන්තය සලකුණු කරන භාෂා භාවිතයකි. එවැනි ඉදිරිපත් කිරීම් විධියක් නාට්‍යයක් බවට පත් කිරීම ඉතා නිර්මාණශීලී වැඩකි. එය කරන්නට වික්‍රමරත්නට හැකි වී ඇත්තේ ඔහු කතා වින්‍යාසය කේන්ද්‍රකරගත් සාම්ප්‍රදායික නාට්‍යය වෙනුවට කතා පැවැත්වීමේ ප්‍රාසාංගිකත්වය සිය නාට්‍යයේ ඉදිරිපත් කිරීම් ක්‍රමවේදය ලෙස භාවිත කරන නිසාය. අප රට පැවැත්වෙන තොර තෝංචියක් නැති කතා පැවැත්වීම් හුදු ප්‍රසංග කාර්යන් බව යළි මතක් කරදෙන්නටද ඒ නිසා මෙම නාට්‍යයට හැකිවෙයි. 


  මෙම නාට්‍ය ඉතා නිර්භීත නාට්‍යයකි. ජනප්‍රිය අංලකාරික සහිත කතා පැවැත්වීම් තුනක් අංක තුනක් ලෙස ඉදිරිපත් කරමින් පැය දෙකකට ආසන්න කාලයක් ප්‍රේක්ෂක අවධානය රඳවා ගැනීමට හැකිය යන විස්වාසය එක් නිර්භීතකමකි. ආඛ්‍යානයද චරිත නිරූපණයද අතහැරීම තවත් නිර්භීතකමකි. මේ නිසාම මෙය අතිසරල ජාතිකවාදී කියමන්වලින් පිරුණ පපඩමක් ලෙස පෙනීයාමේ අනතුරද දරයි. ඒ නිසා මෙම නාට්‍යයේ කලාත්මකත්වය විවර කර ගත හැක්කේ එහි එන කියමන් අතිසරල වාචාර්ථයන් ලෙස ගැනීමෙන් නොව කල්පනාකාරී උත්ප්‍රාසයන් ලෙස ගැනීමෙනි. 

    එල්ටීටීඊයේ පරාජයෙන් පසු අතිසරල ජාතිකවාදී කියමන්වල දේශපාලන කාර්ය අවසන් විය. දැන් එවන් කියමන් පෙනෙන්නේ බරපතල ඒවා ලෙස නොව ප්‍රහසන ලෙසය. පාන්පිටි ත්‍රස්තවාදය පිළිබඳ අලංකාරිකද ප්‍රහසනාත්මක කියමන් ලෙස ජනයා තේරුම්ගත් බව පෙනිණ. 

මගේ මිතුරෙකු ඒ දවස්වල ගමේ කඩෙන් “පාන් ඉල්ලුවේද මට ත්‍රස්තවාදියෙක් දෙන්ඩ” යනුවෙනි. එල්ටීටීඊයට විරුද්ධව සිය මත ප්‍රකාශ කරන විට වීරයෙකු ලෙස පෙනුණ ගුණදාස අමරසේකර මහතා පාන් පිටි ත්‍රස්තවාදයට විරුද්ධව කතා කරන පෙනුණේ විහිලු බම්මන්නෙකු ලෙසය. තිරිගු පිටි, කිරිපිටි, ඉන්ධන වැනි දේ ලෝක ධනවාදය මගින් අධිරාජ්‍යවාදී උපකරණ ලෙස භාවිත කරන බවද ඒවාට විරුද්ධ විය යුතු බවද ඇත්තය. එහෙත් ඒ විරෝධය සීමාන්තික ජාතිකවාදයක දැවටූ විට ලැබෙන්නේ පාන් පිටි ත්‍රස්තවාදය වැනි විහිලුවකි. බොහෝ අතිසරල ජාතිකවාදී අලංකාරික බරපතල අර්ථ දැන වූ යුගයක් අවසන්ව විහිලු රසය සපයන යුගයක සුද්දෙක් ඔබ අමතයි නාට්‍යයේ කියමන්ද පපඩම් කියමන් ලෙස නොව කලාත්මක උත්ප්‍රාසයන් ලෙස දැනීමේ විභවතාව වැඩි වෙයි.  


උත්ප්‍රාසය මුදා හැරීම හා මුදා ගැනීම

  මෙම නාට්‍යයේ කලාත්මකත්වය උපදින්නේ ඉතා සියුම් ලෙස උත්ප්‍රාසයට ඉඩ හැරීම නිසාය. මේ කරුණ පැහැදිලි කිරීම සඳහා මේ නාට්‍යය නම සපයන සුද්දෙක් ඔබ අමතයි අංකය ගනිමු. නාට්‍ය ආරම්භ වී මොහොතක් ගත වන විට පෙනෙන්නේ මේ නාට්‍යය ජනප්‍රිය ජාතිකවාදයන්ගේ ප්‍රචාරණ උපකරණයක් බවයි. එහෙත් සුද්දාගේ කතාව මොහොතක් අසා සිටින විට සුද්දාගේ කතාව අප දන්නා මිනිස් ඉතිහාසය අතිසරල කරන බව පෙනෙන්නට පටන් ගනී. සුද්දා විස්තර කරන සුදු ලෝකය අතිසරල බව වහා පැහැදිලි වෙයි. තම මව් බස තරම් හොඳට සිංහල භාෂාවෙන් අප අමතන සුද්දා ලෝකය විස්තර කරන්නේ මෙසේය: 


     එංගලන්තය, ස්කොට්ලන්තය, අයර්ලන්තය, ප්‍රංශය, නෙදර්ලන්තය, අයිස්ලන්තය, ජර්මනිය, කැනඩාව, ඇමරිකා එක්සත් ජනපදය, පෝලන්තය, හංගේරියාව, නවසීලන්තය යනාදී සියල්ල සුදු මිනිසුන්ගේ රටවලය. ලෝක ඉතිහාසය ගැන යම් අවබෝධයක් ඇති කෙනෙකුට මෙම ප්‍රකාශය ඇසුණ වහාම නාට්‍යකරුවාගේ උත්ප්‍රාසය පෙනෙන්නට පටන් ගනියි. ඒ උත්ප්‍රාසය නිසාම මේ සුද්දා කවුදැයි කල්පනා කර බලන්නට ප්‍රේක්ෂකයාට ඉඩ ලැබෙයි. ඉහත කී රටවල් සමූහයම සුදු මිනිසුන්ගේ රටවල වන්නේ කෙසේද? ඒ ජාතික රාජ්‍ය නාමාවලියෙන් විස්තර කෙරෙන භූගෝලීය කලාපය විවිධ සංස්කෘතීන්ගේ වාසභූමිය විය. නිදර්ශනයක් අයර්ලන්තය නමෙහි “අයර්” යන්නත් ඉරානයේ “ඉරා” යන්නත් උපදින්නේ එකම භාෂා මූලයෙන් යැයි ඇතමෙක් තර්ක කරති. ඉන් අදහස් වන්නේ මැදපෙරදිග කලාපයේ බිහි වූ මිනිස් කණ්ඩායම් දැන් සුදු යැයි සැලකෙන ලෝකය වෙත සංක්‍රමණය වී ඇති බවයි. වර්තමාන ඇමරිකා එක්සත් ජනපදයේ සහ සමස්ත ඇමරිකා මහාද්වීපයේ ආදිවාසී ජනගහණය සමන්විත වූයේ මොංගෝලියනු සානුව තරම් ආසියානු ප්‍රදේශයක සිට දීර්ග කාලයක් තිස්සේ සංක්‍රමණය වූ ජනගහණයකිනි. අවුරුදු දහස් ගණනක් පුරා ඒ මිනිසුන් සයිබීරීයාව හා ඇලස්කාව ඔස්සේ ඇමරිකා මහාද්වීපයට ගිය මිනිස් සමාජයේ ඈතට ඇදෙන නෑකම් පිළිබඳ සිත්ගන්නා කතා පුවතකි. එපමණක් නොව වර්තමාන ඇමරිකා එක්සත් ජනපදයේ මුල් ව්‍යවස්ථා සම්පාදනයේදී ස්වදේශික ඇමරිකානු ආදීවාසී ගෝත්‍රවල පැවති දේශපාලන සම්ප්‍රදායන්ගෙන්ද ආභාසය ලැබූ බව පෙන්වන අධ්‍යයන රැසකි. ඒ නිසා වර්තමාන ජාතික රාජ්‍යවල සීමාවේ හෝ ජනවාර්ගික අනන්‍යතාවේ සීමාවේ ඉඳගෙන ඒ රටවල් පිහිටි භූමීන්හි සංස්කෘතික ඉතිහාසය විස්තර කළ නොහැකිය. යුරෝපයෙන් සෙසු ලෝකය වෙත බෙදා හරින ලද ව්‍යසනයක් වන ජාතිකවාදයට එය විස්තර කළ නොහැකිය.   


   තවත් නිදර්ශනයක් වෙත යමු. මෙම නාට්‍යයේ සුද්දා විස්තර කරන හැටියට හංගේරියාවද සුද්දන්ගේ රටකි.  වර්තමාන හංගේරියානු ජනගහණය පවා  සුදු යැයි කිව නොහැකි මනුෂ්‍යයන්ගෙන් සමන්විත වෙයි. හුදෙක් හමේ පාටින් පමණක් සමස්ත ජනගහණයක් සුදු යැයිද ඒ රට සුද්දන්ගේ රටක් යැයි නම් කළ හැකිද? හංගේරියානු කලාපයේ ඉතිහාසය සෑදී ඇත්තේ රෝමානු අධිරාජ්‍ය යුගයේ සිට බටහිර යුරෝපය දෙසින් දේශපාලන හා සංස්කෘතික ආක්‍රමණ එරෙහි වන නිර්-යුරෝපීය ලක්ෂණවලිනි. හංගේරියානු කලාපය සුදු හෝ කලු යන චර්ම වර්ණයන්ගෙන් විස්තර කළ නොහැකි සංස්කෘතික ඉතිහාසයක් ඇත්තකි. එහෙත් උදයසිරි වික්‍රමරත්නගේ සුද්දා මේ සංකීර්ණතා සියල්ල අමතක කර ඉහත කී සුවිශාල භූගෝලීය කලාපය සුද්දන්ගේ ලෝකයක් බවට ඌනනය කරයි. මෙම ඌනිතවාදය වටහා ගන්නට විකල්ප කිහිපයක් ප්‍රේක්ෂකයා හමුවේ ඇත. එකක් නම් මේ සුද්දා කරන ප්‍රකාශයන් නාට්‍යකරුවාද විශ්වාස කරන සරල සත්‍යයක් සේ ගැනීමයි. සංකීර්ණ මිනිස් ඉතිහාසයක් ඉතා ජාතිවාදී නිර්වචනයකට ඌනනය කිරීමක් ලෙස ගැනීමයි. එසේ ගත් විට මෙම නාට්‍යයේ සුද්දෙක් ඔබ අමතයි යන අංකය හරයක් නැති පපඩමක් බවට පත් වෙයි. එවිට එය පෙනෙන්නේ ඉතා යුරෝකේන්ද්‍රීය සුද්දෙකුගේ අතිසරල ආත්මභාෂණයක් ලෙසිනි.


   පසුගිය ශතවර්ෂයක කාලයක ලෝක හා යුරෝපීය ඉතිහාසය දන්නා කිසිවෙකුට එංගලන්තය හා අයර්ලන්තය එකම අන්දමේ සුදු රටවල් ලෙස හැඳින් විය නොහැකිය. සංස්කෘතිය, සාහිත්‍ය හා සංගීතය අතින් අයර්ලන්තය වුකලි සුදු අධිරාජ්‍යවාදීන්ට එරෙහි සුදු නොවන මිනිසුන්ගේ අරගලවලට ප්‍රාණය සැපයූ සුදු රටකි. එහෙත් මේ නාට්‍යයේ සුද්දාට මේ සුවිශේෂතා කිසිවක් විෂය නොවේ. එසේම ඒ සුද්දාට අයින්ස්ටයින්, කාල් මාක්ස්, ඩොස්ටයෙව්ස්කි, ඒබ්‍රහම් ලින්කන්, ජෝර්ජ් බුෂ්, ටොල්ස්ටෝය,ි හිට්ලර් යනාදී සියල්ලෝම සුද්දෝ වෙති. මොවුන් අතර කිසිම වෙනසක් නැත. ඔවුන්ගෙන් ඇතමෙකු තමන් උපතින් ලත් ජාතිකත්වයන්ද පන්ති පසුබිම්ද විශාල අතික්‍රමණය කළ අයය යන්නද මේ සුද්දාට අමතකය. 

උත්ප්‍රාසයේ ද්විධාකාරය

   මෙලෙස සුදු ලෝකය අතිසරල කර ඉදිරිපත් කිරීම නිසා එක්වර උත්ප්‍රාසයන් දෙකක් උපදී.

එය වටහා ගැනීම සඳහා මේ සුද්දා කවුදැයි වටහා ගත යුතුය. බටහිර යටත් විජිතවාදය ශතවර්ෂ ගණනාවක් පුරා සුදු මිනිසා (ක්‍රිස්තියානු සුදු පිරිමියා) ශිෂ්ටාචාරයේ නිර්මාණකාරයාද ඒජන්තයාද ලෙස තමාම හඳුන්වා දෙමින් සුද්දා අධිනිශ්චය කළේය. සුදු නොවන මිනිසා ම්ලේච්ඡද නිර්ශිෂ්ටාචාරවත්ද අවවර්ධිතද ලෙස නම් කෙරිණ. නිර්යුරෝපීය ලෝකය වෙත ශිෂ්ටාචාරය ගෙනයාම සුදු මිනිසාගේ උරමත වූ වගකීම යැයි කියවිණ. මේ ඇතැම් නිර්යුරෝපීය රටවල දියුණු ශිෂ්ටාචාරයන් තිබූ බව අමතක කෙරිණ. යටත්විජිත යුගයේ මුල් අවස්ථාවේ වූ ඇතැම් මානව විද්‍යාත්මක න්‍යායන්ද සුදු මිනිසාගේ සුපිරිබව පිළිබඳ මතවාද වර්ධනය කළේය. මේ වුකලි බටහිර යටත් විජිත ක්‍රමය ඇති කර පවත්වාගෙන යාමට භාවිත කළ කතිකාමය මෙවලම්ය. (එහෙත් මේ ඇතැම් න්‍යායන් වැඩි කල් නොයාම බටහිර තුළම ප්‍රශ්න කිරීම්වලට ලක් විය. එයද අමතක නොකළ යුතුය) මේ නිසා සුද්දා අධිනිශ්චය වී අධිමානුෂික වූයේය. උදයසිරි වික්‍රමරත්න , ඩොස්ටයෙව්ස්කි, ඒබ්‍රහම් ලින්කන්, ජෝර්ජ් බුෂ්, ටොල්ස්ටෝයි හා හිට්ලර් යන සියල්ලන්ම සුද්දන් යැයි කීමෙන් සුද්දන් සියල්ලන්ම ශිෂ්ටාචාරවත් නොවන බව පෙන්නා දෙයි. හිට්ලර් හා  ජෝර්ජ් බුෂ් සිටි ලෝකයක් ශිෂ්ටාචාරවත් ලෝකයක් වන්නේ කෙසේද? 


   මෙම උත්ප්‍රාසයේ තවත් පැත්තක් ඇත. යටත් විජිතවාදයට හා අධිරාජ්‍යවාදයට එරෙහිව ඇති වන සීමාන්තික ජාතිකවාදී කතිකාවද සුද්දා නම් සත්ත්වයා අධිනිශ්චය කරයි. මා “සත්ත්වයා” යන යෙදුම භාවිත කළේ ජාතිකවාදියා අතිනුත් සුදු මිනිසා නිර්මානුෂිකකරණයට ලක් කෙරෙන නිසාය. මේ අධිනිශ්චිත සුදු මිනිසා විජිතකරණයට ලක් වූ යටත් වැසියාගේ මනස අරා වැඩෙයි. උදයසිරි වික්‍රමරත්න නිර්මාණය කරන සුද්දා මගින් ජාතිකවාදී මනස තුළ අධිනිශ්චය වූ සුද්දාද අඟවයි. මෙසේ සුද්දා අධිනිශ්චය වූ පසු ඒ සුදු රුවෙන් වැසී සරල ජාතිකවාදී නුවණැසටද සුද එය! නාට්‍යයේ එක් තැනක සුද්දා මෙසේ කියයි: විදේශධාර යන යෙදුම වැරදිය. එය සුද්දාධාර විය යුතුය. සියලුම විදේශවලින් ආධාර නොලැබෙන බැවිනි. ආධාර ලැබෙන්නේ සුද්දන්ගේ රටවලිනි. මේ වුකලි සුද්දා අධිඅවධාරණය වූ පශ්චාත් යටත් විජිත රටක පැවතිය හැකි දෘෂ්ටිවාදයක් මිස ඇත්තක් නොවේ. මෙකල අපේ රටේ බලවතුන් යැපෙන්නේ සුදු නොවන රටවල ආධාරවලිනි. චීනය වැනි රටක් ආධාර දීම්වලදී වැඩි කොමිස් කුට්ටි දෙන අතර මානව හිමිකම් කඩවීම් ආදිය ගැන ප්‍රශ්න කරන්නේ නැත. එහෙත් සුදු නොවන චීනුන්ගේ 

“අධිරජ්‍යවාදී” ලක්ෂණ අපට නොපෙනේනේ දුෂ්ටයා සුද්දාය යන අධිනිශ්චය වීම නිසාය. අපට කහ චීනාගේ අධිරාජ්‍යවාදය පෙනෙන ඇත්තේ චීන උගුල්වල කරවටක් හිර වූ කලය. අපට චීන අධිරාජ්‍යවාදී අරමුණු නොපෙන්නේ අපේ ඇස් වසා සුද පතුරුවා සිටින සුද්දා නිසාත් චීනාට මුවා වී සිටින අය නොදැක්කා වගේ සිටින්නට අවිචාරවත් ජාතිකවාදය අපට උගන්වා ඇති නිසාය. ඒ වෙනුවට අපට උගන්වන්නේ පාන් පිටි සමග යුද වදින්නටය! 


     මෙම නාට්‍යයේ සුද්දා විටෙක අධිරාජ්‍යවාදී යුරෝකේන්ද්‍රීය සුද්දාය. විටෙක අතිසරල ජාතිකවාදියගේ මනසෙහි අධිනිශ්චය වූ සුද්දාය. මේ දෙදෙනාමට සුදු නොවන මිනිසාවත් සුදු මිනිසාවත් තමන් හා වසන මනුෂ්‍යයන් ලෙස පෙනෙන්නේ නැත. ඔහුට මිනිස් ලෝකය නිවැරිදිව පෙනෙන්නේද නැත. එක් පැත්තකින් විජිතවාදයත් එය විසින් ස්වදේශිකයන්ට දී ඇති දෙැපැත්ත කැපෙන ආයුධයක් වන ජාතිකවාදයත් විසින් කරන්නට ඉඩ ඇති නිර්මානුෂිකකරණය මෙයින් පෙනේ. ජාතිකවාදය දෙැපැත්ත කැපෙන ආයුධයක් වන්නේ සෘජු යටත් විජිතවාදයෙන් රටවල් නිදහස් කර ගැනීමට ඊට හැකියාව ඇතත් පශ්චාත් යටත් විජිත ලෝකය පොදු මිනිස් ශිෂ්ටාචාරය වෙත අවදි කරවන්නට ඊට ඇති අසමත්කමත් නිසාය. එවන් අතිසරල ජාතිකවාදයන්ට සදාතනික සංකල්පමය සුද්දෙකු හෝ බටහිරයෙකු සිටිය යුතුය. ඒ යුගලමය ව්‍යුහය නැතිව ඊට පවතින්නට බැරිය. මේ උගුලෙන් ගැලවීමේ උවමනාව මෙම නාට්‍යයෙන් ඇඟවෙතියි තර්ක කළ හැකි එක් මොහොතක නාට්‍යයේ සුද්දා ස්වදේශිකයෙකු බවට පත්ව මෙසේ කියයි:

  “මගේ අධිෂ්ඨානය සුදු මහත්තුරුන් ගොඩනගා ඇති ලෝකයේ මට හිමි තැන ලබා ගැනීම”


මේ වුකලි වැරදි අපේක්ෂාවකි. ලෝකය ගොඩ නගා ඇත්තේ හුදෙක් සුදු මිනිසුන්ය යන වැරදි අදහස මත ගොඩ නැගූ අපේක්ෂාවක් බැවිනි. අද අප වසන ලෝකයේ ඇති හොඳ නරක සියලු දේහි කර්තෘත්වය එක් චර්ම වර්ණයක් පමණක් ඇති මිනිසුන්ට පැවරිය හැකිද? මිනිස් ශිෂ්ටාචාරයේ ඉතිහාසය ඊට වැඩිය සංකීර්ණය. සුදු ලෝකයේ වර්ධනයට සුදු නොවන අය කළ විවිධ දායකත්වයන් ගැන අධ්‍යයන කොතෙකුත් තිබේ. ඒවා බොහෝ තිබෙන්නේ සුද්දාගේ භාෂාවලින් බව නම් ඇත්තය. මෙම නාට්‍යයෙන් පෙනෙන්නේ පශ්චාත් යටත් විජිත සමාජයක තරග වැද සිටින යුරෝකේන්ද්‍රීය හා ජාතිකවාදී කතිකා අතර හිර වී මහා මිනිස් ශිෂ්ටාචාරය දෙස සාකල්‍යවාදී දෘෂ්ටියක් ගැනීමට අසමත් මිනිසාගේ ඛේදවාචකය වැන්න. සරල හාස්‍ය සඳහා දෝ විටින් විට එළියට පනින නාට්‍යකරුවාගේ ආශිර්වාදයද ලත් ඇතැම් සරල කියමන් තිබුණත් මේ සුද්දා කරන කතාව මුළුමනින්ම පාහේ උත්ප්‍රාසාත්මක කතාවක් ලෙස ගෙන එහි මතුපිට අර්ථයට එරෙහිව කියවන්නට පුළුවන. 


    සුද්දා හා කල්ලා යන ඥානවිභාගමය රාමුවේ හිර වුණ පශ්චාත් යටත් ලංකාවාසියාට ලෝකය සාකල්‍යයෙන් වටහා ගත නොහැකි වන සේම පිරිමියා සහ ගැහැනිය දෙබෙදුම ඥානවිභාගමය දඬුකඳක් කරගත් විටද පොදු මිනිස් බව සාකල්‍යවාදීව දකින්නට නොහැකි වන සැටි නාට්‍යයේ තුන් වැනි කතාව වන ස්ත්‍රියක් ඔබ අමතයි වෙතින් පෙනේ. එය සිංහල භාෂාව පිළිබඳ නිර්මාණශීලී විසංයෝජනය කිරීම්වලින්ද යුතු රචනයකි. එහි එන ඇතැම් කියමන් දාර්ශනික කවටකම් බඳුය: “මිනිස්සු කැමතිය ගැහැනියක් විදියට ගැහැනියක් දකිනවාට වඩා සිහිනයක් විදියට ගැහැනියක් දකින්න. ගැහැනියත් කැමතියි මිනිස්සු දකින සිහිනය විදියට රඟපාන්න.” 

 

   මෙහි එන කතා පැවැත්වීම් තුනම ජනප්‍රිය දේශපාලන කතා සේම සංගත බවෙන් තොරය. තැනින් තැන පැන පැන යයි. මෙහි පිටපතෙහි එන්නේ ගොජ දම දමා නටන වතුරක් සේ වචන හා අලංකාරික නටන රචනයකි. ඒ නිසා ඒවා පැන පැන යාම ස්වභාවිකය. මේ නටන වචන වේදිකා රූපයක් බවට පත් කිරීමට මීට වැඩි උත්සාහයක් දැරුණේ නම් මැනවියි සිතුණද මෙම නාට්‍යය නාට්‍ය මේ යැයි යන සම්මත රාමුව පුපුරුවන නිර්මාණශීලිත්වයක් ඇත්තකි. මෙහි එන කියමන්වල මතුපිට හාස්‍යයෙන් වශී නොවී ඒවායේ කණපිට හාස්‍ය දැකීමෙන් ලංකාවේ මෙකල අප මුහුණ දෙන සංස්කෘතික අර්බුද ගැන යළි සිතන්නට මේ නාට්‍යයේ උත්ප්‍රාසයෙන් පළ ලැබිය හැකිය. 

(මෙම ලිපිය 2011 දී පමණ පුවත්පතක පළ විය. ඒ කුමන් පුවත්පතදැයි දැන් මතක නැත)




No comments:

Post a Comment