Thursday, March 4, 2021

නිදහස් ඥානයේ අවකාශයන් වන නියම විශ්වවිද්‍යාල පරිසරයක් ගොඩනැගීම උදෙසා - ලියනගේ අමරකීර්ති

 

    (මීට දෙවසරකට පමණ පෙර ශිෂ්‍ය සඟරාවකට ලියූ මෙම ලිපිය නැවත පළ කරන්නේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ගැන උනන්දු පිරි වෙනුවෙනි. ) 




විශ්වවිද්‍යාලය යනු කුමක්ද? කවරක් විය යුතුද? යනාදී ප්‍රශ්න දැන් දැන් නිතර නිතර නිතර ඇසෙන සමයක් පැමිණ තිබේ. එය ශිෂ්‍යයන් අතරද ආචාර්යවරුන් අතරද පොදු සමාජයේද දැකිය හැකිය. කෙතරම් අඩුපාඩු තිබුණද නිදහස් චින්තනයට, නිර්මාණශීලිත්වයට සහ ඥානගවේෂණයට විශ්වවිද්‍යාලය තරම් හොඳ තැනක් ලංකාවේ නැත. විශ්වවිද්‍යාලයෙහි සේවය නොකළේ නම් මගේ සාහිත්‍ය ජීවිතයත් ශාස්ත්‍රීය ජීවිතයත් පවත්වාගෙන යාම මීට වඩා බෙහෙවින් දුෂ්කරවීමට ඉඩ තිබිණි. මෙරට විශ්වවිද්‍යාලවල සේවය කරමින් දැනුම නිර්මාණය කරන, දැනුම විසරණය කරන, නව නිර්මාණ කරන බොහෝ දෙනෙකුගේ තත්ත්වය එසේය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අනෙක් පීඨවලද තමන් තෝරාගත් විෂය ක්ෂේත්‍රයට කැපවී සුවිශේෂ සේවයක් කරන අය සිටිති. මෙම විශ්වවිද්‍යාලයෙහි අධ්‍යාපනය ලබා ඒ ඒ දැනුම් ක්ෂේත්‍රවලටද වෘත්තීය ක්ෂේත්‍රවලටද එළඹෙන ශිෂ්‍යශිෂ්‍යාවෝද බොහෝ දෙනෙකි. විශ්වවිද්‍යාලයෙහි නොසිටියේ නම් නොලැබෙන අවස්ථා නිතර පාහේ ඒ කාටත් ලැබේ. එහෙයින්ම, මෙම වැදගත් ආයතනය අනාගත ශාස්ත්‍රාවන්තයින් වෙනුවෙන් ආරක්ෂා කර තැබීම අත්‍යවශ්‍ය වේ. එහිලා කළ හැකි දෙයක් නම් අපගේ සරසවි ජීවිතය අර්ථසම්පන්න කළ හැකි පුංචි පුංචි දේවල වත් නියැළෙන්නට තැත් කිරීමය. මෙම සඟරාව පළ කිරීම පවා අර්ථවත් ව්‍යායාමයකි. 


ලොව පළමු පෙළ සරසවි

    ශත වර්ෂ කිහිපයක් ඇතුළත ලෝකයේ ඉහළම පෙළෙහි සැලකිය හැකි විශ්වවිද්‍යාල පද්ධතියක් ගොඩ නැගූ ඇමරිකා එක්සත් ජනපදය දෙස බලන විට විශ්වවිද්‍යාල වෙතින් ඔවුන් අපේක්ෂා කළේ කුමක්ද යන්න වටහා ගත හැකිය. තමන් අලුතින් පදිංචියට ආ නව ලෝකය(හෙවත් ඇමරිකානු මහාද්වීපය) තුළ යුරෝපීය සංස්කෘතිය කේන්ද්‍ර කරගත් නව රටක් ගොඩනැගීමේ කාර්යේදී, ඒ රට තුළ බුද්ධිමය සම්ප්‍රදායක් ගොඩ නැගීමේ කාර්යේදී ඉතා ප්‍රකට සුවිසල් ධනවත්තු සිය පෞද්ගලික ධනය පරිත්‍යාග කරමින් අද ඉතා ප්‍රකට විශ්වවිද්‍යාල ගොඩනැගූහ. ඇතැම් ක්‍රිස්තියානි⁄කතෝලික ආගමික කණ්ඩායම්ද විශ්වවිද්‍යාල ගොඩනැගීමට කැප විය. ගොඩනැගෙමින් පැවති ඇමරිකානු රාජ්‍යය විශ්වවිද්‍යාල වෙත ප්‍රතිපාදන හෝ ඉඩම් වෙන් කරදී ඒ විශ්වවිද්‍යාල ගොඩ නැගූහ. එසේ කරමින් ඔවුන් විශ්වවිද්‍යාලවලින් අපේක්ෂා කළේ කුමක්ද? 

  ඇමරිකා මහාද්වීපය පුරා යුරෝපීය සංස්කෘතිය පැතිරවීම එහි අරමුණය යන්න එක් පිළිතුරකි. එය අර ප්‍රශ්නයට දිය හැකි පහසු පිළිතුරුවලින් එකකි. එහෙත් අපි ලිපි ලේඛන කිහිපයක් පරීක්ෂා කරමු.

  උක්ත  ප්‍රශ්නයට ඓතිහාසික පිළිතුරු සොයා ගැනීමට පොතපත අපමණ තිබේ. ලංකාවේ විශ්වවිද්‍යාලවල සේවය කරන අප අතරින් බොහෝ දෙනෙකු විශ්වවිද්‍යාලය යනු කුමක්ද යන ප්‍රශ්නය නොඅසා හෝ නොසලකා සුපුරුදු දිනචරියාවට අනුව දේශන කරමින්, විභාග පවත්වමින්, ශිෂ්‍යයන් සහතික ලබා දී පිටකරමින් සිටියද ලෝකයේ ප්‍රධාන විශ්වවිද්‍යාල ඇති සෑම රටකම පාහේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය යනු කුමක්ද යන්න ගවේෂණය කරන පොතපත නිතර පළ වේ.  එවැනි රටවල සමකාලීන විශ්වවිද්‍යාල ආචාර්යවරුන් තම විශ්වවිද්‍යාලවල ආරම්භක පියවරුන් අපේක්ෂා කළ විශ්වවිද්‍යාලය ගැන දැන් කියන දේ ඇසුරින් විශ්වවිද්‍යාලයෙහි කාර්ය වටහා ගන්නට තැත් කරමු. නොබෙල් ත්‍යාගලාභී ආර්ථික විද්‍යාඥයෙකු වන යේල් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ජේම්ස් ටෝබින් මෙසේ කියයි: යේල් විශ්වවිද්‍යාලයේ මූලික කාර්ය වන්නේ දැනුම සහ සංස්කෘතිය සංරක්ෂණය කිරීම, ඉදිරියට ගෙන යාම සහ පොහොණි කිරීමය.” දැනුම සහ සංස්කෘතිය සංරක්ෂණය කිරීම පමණක් නොව ඒවා නැවත සැකසීමද අලුතින්ම සැකසීමද විශ්වවිද්‍යාලයට අයිති කාර්යකි. මහචාර්ය ටෝබින්ගේ ඉහත ප්‍රකාශය උපුටා දක්වමින් යේල් විශ්වවිද්‍යාලයේ සභාපතිවරයා (උපකුලපතිවරයාට සමාන තනතුර) ලෙස කටයුතු කළ රිචඩ් සී. ලෙවින් මෙසේ කියයි: 

“අපේ විශ්වවිද්‍යාලය සුවිශේෂ තැනකි. විද්‍යාව, මානව ශාස්ත්‍ර, ලලිත කලා, සහ උගත් වෘත්තීන්හි දැනුම වර්ධනය කිරීමට අපට ඇති ධාරිතාව ගැන අපි ආඩම්බර වෙමු. මෙම විභවතාව ඇති විශ්වවිද්‍යාල සුළුතරයක් අතර ප්‍රථම උපාධි අධ්‍යාපනය වෙනුවෙන් වඩාම කැප වූ විශ්වවිද්‍යාලය ලෙස අපි විශේෂයෙන් ආඩම්බර වෙමු...ශාස්ත්‍රාලිකයන් සහ ගුරුවරුන් ලෙස අප ජීවත් වන්නේ මනුෂ්‍ය ප්‍රාණයෙහි සම්පූර්ණ සුපුෂ්පිත වීම අරමුණු කරගත් වටිනාකම් අනුවය. නිදහස් විමර්ශනය සහ නිදහස් අදහස් ප්‍රකාශනය වෙත ගැඹුරු ලෙස කැපවීම මගින් අපි මනුෂ්‍ය විභවතාව වගා කරන්නෙමු. පැහැදිලි ස්වභාව ධර්මය සහ අප ගැන අපගේ අවබෝධය ඉදිරියට වර්ධනය කළ හැක්කේ බුද්ධිය බාධාවකින් තොරව භාවිතයෙන්ම පමණි. අපි දුෂ්කර ප්‍රශ්න අසා ඒවාට අවංකව පිළිතුරු දෙන්නෙමු. මනුෂ්‍ය තර්ක බුද්ධි අප මෙහෙයවන්නේ කොතැනටද, යන මග කොතරම් බාධාකාරී වුවත් අපි එහි යමු. අපි අපගේ ශිෂ්‍යයන්ට උගන්වන දේ භාවිතයට නගන්නෙමු: ඒ නම් සෑම උපකල්පනයක්ම ප්‍රශ්න කොට සත්‍යය සොයමින් සියලු තර්ක ලුහුබැඳ යාමයි.”(Levin, Richard C. The Work of the University. New Haven: Yale University Press, 2003)




මහාචාර්ය ලෙවින් මෙම කෘතියේදීම නිදහස් හෙවත් ලිබරල් අධ්‍යාපනය විශ්වවිද්‍යාලයේ කාර්යක් වන ආකාරය පැහැදිලි කරයි. නිදහස් අධ්‍යාපනය යනුවෙන් අප රට අදහස් වන්නේ නොමිලේ ලැබෙන අධ්‍යාපනයයි. ලිබරල් අධ්‍යාපනය යනුවෙන් ප්‍රකට ඇමරිකානු විශ්වවිද්‍යාලවල අදහස් වන්නේ නිදහසේ සිතමින් අධ්‍යාපනය ලැබීමේ බුද්ධිමය සහ මානසික නිදහසයි. සංස්කෘතියෙන් සහ සම්ප්‍රදායෙන් නිදහස් වූ මනුෂ්‍ය තර්ක බුද්ධිය සහ පරිකල්පනය මෙහෙය වීමේ නිදහසයි. මේ වූ කලි නිදහස් අධ්‍යාපනයෙහි නාමයෙන්ම අප රට දී අහිමි වන නිදහසකි. ඒ නිසා එය නිදහස් මතධාරී අධ්‍යාපනය යැයි හඳුන්වන්නට පුළුවන. අපි මහාචාර්ය ලෙවින් නිදහස් අධ්‍යාපනය පැහැදිලි කරන ආකාරය වෙත යමු.

 නිදහස් මතධාරී අධ්‍යාපනය මූලික වශයෙන්ම වෘත්තීය අධ්‍යාපනයෙන් සහ රැකියා පුහුණුවෙන් වෙනස් වෙයි. එහි අදහස වන්නේ ශිෂ්‍යයා යම් නිශ්චිත වෘත්තියක් පිණිස පුහුණු කිරීම නොවේ. නිදහස් මතධාරී අධ්‍යාපනය තුළ අඩංගු වෙන විෂයයන්ද බැලූ බැල්මට “ප්‍රයෝජනවත්” වන විෂයයන් නොවේ. ඇතැම් අය නිදහස් මතධාරී අධ්‍යාපනය නිර්වචනය කරන්නේ එහි විෂය මාලාව ඇසුරිනි. එහි අඩංගු වන්නේ විශිෂ්ට සාහිත්‍ය කෘති, දර්ශනය, ඉතිහාසය, ලලිත කලා, විද්‍යාවේ මූලික සිද්ධාන්ත සහ විධික්‍රම යනාදියයි. තව අයට අනුව නිදහස් මතධාරී අධ්‍යාපනය යනු ඉන් ලැබෙන ප්‍රායෝගික ඵලවලින් ස්වාධීනව පවතින අධ්‍යාපනයයි. එනම් හුදෙක් නිදහසේ මනස භාවිත කිරීම හැර අන් ප්‍රායෝගික ඉලක්කයක් නැති විට පවතින අධ්‍යාපනය එයයි (Levin 2003. P. 13)එහෙයින් රැකියාවක් ලබා ගැනීම පිණිස සහතිකයක් දිනාගැනීම උදෙසා කෙරෙන අධ්‍යාපනය නිදහස් මතධාරී අධ්‍යාපනය යයි කිවනොහැකිය. එය නිදහස් අධ්‍යාපනය විය හැකි වුවත් නිදහස් මතධාරී අධ්‍යාපනය නම් නොවේ.

  අපි නැවතත් මහාචාර්ය ලෙවින් වෙත යමු:  ඉහත කී අර්ථයෙන් නිදහස් මතධාරී අධ්‍යාපනය මගින් සිදුවන්නේ බුද්ධිය වගා කිරීම සහ තර්ක කිරීමෙහි සහ සහවේදනයෙහි ධාරිතාව වර්ධනය කිරීමයි.  තාර්කික චින්තනය ක්‍රියාවට දැමීම හෙවත් සිතීමේ හැකියාව යනු වගා කරනු ලැබිය යුත්තකි. එය වගා කරගැනීමට නිදහස් අවකාශයක් විශ්වවිද්‍යාලයෙන් ලැබේ. අනෙක් මනුෂ්‍යයන්ගේ ජීවිතවල යථාර්ථය වෙත පරිකල්පනයෙන් එළඹී ඔවුන්ගේ හැඟීම් සමග සහවේදනීය ලෙස සම්බන්ධවීමේ හැකියාවද මෙවන් අධ්‍යාපනයකින් ලැබේ. සාහිත්‍ය කලා අධ්‍යාපනයත්, දර්ශනය, මනෝ විද්‍යාව වැනි විෂයයනුත් එහිලා අධාර වේ. මේ වූකලි 19 වැනි සියවසේ මුල සිටම යේල් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනයෙහි කොටසකි. එම නිදහස් මතධාරී අධ්‍යාපනය ලබා දීම පිණිස භාවිත කළ විෂයමාලා අන්තර්ගතය, පොතපත ආදිය, කාලය සමග වෙනස් වුවද අධ්‍යාපනයෙහි හරය වෙනස් වී නැත. මහාචාර්ය ලෙවින් මෙසේ කියයි: “නිදහස් මතධාරී අධ්‍යාපනයෙහි සාරය වන්නේ ස්වාධීනවද විචාරාත්මකවද සිතන්නටද කෙනෙකුගේ මනස එහි උපරිම විභවතාව කරා ළංවෙන තෙක් වගා කිරීමටද, අගතීන්ගෙන්, අවිචාර ඇදහිලිවලින්, සහ ආධානග්‍රාහිත්වයෙන් විමුක්තිය ලැබීමටද කෙනෙකුට අවශ්‍ය නිදහස වර්ධනය කිරීමය.”(P. 15)

  මෙම කාරණයෙහිලා විද්‍යාව, ගණිතය, දර්ශනය, සාහිත්‍යය, ලලිත කලා යනාදී සියල්ල නිදහස් මතධාරි අධ්‍යාපනය පිණිස අවශ්‍ය බව පිළිගන්නා ලදී. එහෙයින් අපගේ විශ්වවිද්‍යාලවල මෙන් විද්‍යා, වානිජ, කලා ආදී වශයෙන් කුඩා ක්ෂේත්‍රවලට නොබෙදීම ඇමරිකානු විශ්වවිද්‍යාලවල මුල් කාලයේ සිටම පැවති ලක්ෂණයකි. එසේම නිදහස් මතධාරි අධ්‍යාපනයෙහි අරමුණ වන්නේ සිතිය යුත්තේ කුමක්ද යන්න ඉගැන්වීම නොව සිතිය යුත්තේ කෙසේද යන්න ඉගැන්වීම බව ඔහු තව දුරටත් කියයි. 

කාර්ඩිනල් නිව්මන්ගේ විශ්වවිද්‍යාල සංකල්පය

   පටු ධාරාවලට බෙදන ලද තනි තනි විෂය නොව ඉහත කී ආකාරයේ සියලු විෂයයන් නිසා ලැබෙන සමස්ත අවබෝධය විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙහි හරය විය යුතුය යන්න අයර්ලන්තයේ ඩබ්ලින් විශ්වවිද්‍යාලය ආරම්භ කරන්නට මුල් වූ අගරදගුරු ජෝන් හෙන්රි නිව්මන් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ගැන ලියූ ප්‍රකට ලේඛන කරාම ගමන් කරයි. ඔහු ලියූ The Idea of a University  කෘතියෙහි විශ්වවිද්‍යාලය ගැන ඔහු සිතූ ආකාරය අඩංගු වේ. 1852 වර්ෂයේදී සිට විශ්වවිද්‍යාලය නම් මාතෘකාව යටතේ ඔහු පැවැත්වූ දේශන මාලාවක් පොතක් ලෙස පළ විය. විශ්වවිද්‍යාලය යනු කුමක්ද යන්න පිළිබඳ ඉතා සිත්ගන්නා කියුම් රාශියක් එම කෘතියෙහි අඩංගු වේ. ඔහු දුටු හැටියට විශ්වවිද්‍යාලය යනු දැනුමෙහි සියලු ප්‍රභේදවලට අවකාශ තිබිය යුතු තැනකි. ඔහු දකින හැටියට සියලු දැනුමක්ම එකිනෙක ඌනපූරණය කරන හෙයින් ඒ සියල්ල ඉගෙනීමට ශිෂ්‍යයාට ඉඩ තිබිය යුතුය. එක් විෂයකට පමණක් ප්‍රමුඛතාව දීම අනෙක් විෂයයන්ට කරන අසාධාරණකියන් ඔහු තර්ක කළේය.(Newman1931) කතෝලික පූජකවරයෙකු ලෙසද ඩබ්ලින් කතෝලික විශ්වවිද්‍යාලය ආරම්භ කරන්නට කතෝලික පල්ලිය විසින් ආරාධනා ලද්දෙකු ලෙසද විශ්වවිද්‍යාලය සම්බන්ධයෙන් ඔහු දක්වන විවෘත ආකල්පය විස්මයජනකය. ඔක්ෂ්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ උගෙන කලක් එහිම සේවය කළ ඔහු විශ්වවිද්‍යාලය යනු කුමක්ද යන්න ගැන හොඳින් දැන සිටි බව ඇත්තය. එහෙත් අදටත් ඔහුගේ කෘතිය විශ්වවිද්‍යාල අධ්‍යාපනය ගැන ගැඹුරින් කල්පනා කරන අයගේ අත්පොතක් වී ඇත්තේ ඔහු වෙතින් පෙනෙන යටකී විවෘතභාවය නිසාය.( නිව්මන්ගේ අධ්‍යාපන අදහස් ගැන සම්පූර්ණ අධ්‍යයනයක් සඳහා බලන්න. Pelikan, Jaroslav. The Idea of the University: A Reexamination. New Haven: Yale University Press, 1992.) මෙම පොත ලංකා විශ්වවිද්‍යාලය ආරම්භ කළ පියවරුන්ගේද අත්පොතක්ව පැවති බව මෙම රචනය ලියන අතරතුර මට සොයාගත හැකි විය. 

    විශ්වවිද්‍යාලය යනු නිදහස් මතධාරී අධ්‍යාපනය වෙනුවෙන් නිදහසේ මනස, තර්ක බුද්ධිය සහ ගැඹුරු ආලෝචනය ක්‍රියාවට නැගිය හැකි ස්ථානයක් විය යුතු යැයි ඔහු කියයි.(Newman P. 31) “දැනුම මගින් කෙරෙන්නේ කුමක්ද යන්න නොසලකා සතු කර ගැනීමට තරම් වටිනා දැනුමක් පවතින්නේය” යැයි තර්ක කරන ඔහු එවන් දැනුමක් සැපයීම විශ්වවිද්‍යාලයේ කාර්ය යැයි කියයි. එසේම ”දැනුම දැනුම සඳහාම මිස අන් කිසිදෙයක් පිණිස නොවන” බවත්, එවන් දැනුමක් ලබා දීම විශ්වවිද්‍යාලයේ කාර්ය බවත් ඔහු කියයි.(පි 39) එසේම විශ්වවිද්‍යාලය යන ආයතනය කතෝලික පල්ලියෙනුත්(එනම් ආගමික සංස්ථාවෙන්), රාජ්‍යයෙනුත් නිදහස්ම මනුෂ්‍ය බුද්ධිය භාවිතයට දැමීමට ඉඩ තිබෙන ස්ථානයක් විය යුතු බව නිව්මන් කියන්නේ තමාද කතෝලික පූජකවරයෙකුය යන කාරණය පවා අමතක කරමිනි.(පි 50)නිදහස් ඥානයේ අවකාශයක් ලෙස විශ්වවිද්‍යාලය පරිකල්පනය කිරීම පිළිබඳ නිව්මන් වෙත ගෞරවය පුදමින් අප ඔහුගේ අලංකාරික ශක්තියෙන් යුතු වැකි නැවත නැවත කියවා වටහාගත යුතුය. 

   ලෝකයේ පළමු පෙළ විශ්වවිද්‍යාලයක් වන හාවර්ඩ් විශ්වවිද්‍යාලය වෙතින් අසන්නට ලැබෙන්නේද මෙවැනිම අධ්‍යාපන දර්ශනයකි. එවැනි ප්‍රධාන විශ්වවිද්‍යාලවල කොලේජ් යනුවෙන් හැඳින්වෙන ප්‍රථම උපාධි පිරිනමන ආයතනය විශ්වවිද්‍යාලයේ එක් කොටසකි. විශ්වවිද්‍යාලය යනු පශ්චාත් උපාධි පාසැල, වෛද්‍ය, ව්‍යාපාර වැනි තවත් විෂය කේන්ද්‍රීය පාසැල, අනෙකුත් පර්යේෂණ ආයතන ආදියෙන් සැදි සුවිශාල ආයතනයකි. මේ අතර පූර්ණකාලීන පශ්චාත් උපාධි ශිෂ්‍යයන් පුහුණු කරන පශ්චාත් උපාධි පාසැල ප්‍රධානය. අපගේ විශ්වවිද්‍යාල පවා නියම විශ්වවිද්‍යාල බවට පත් වීමට නම් ඉතා සුපරික්ෂාවෙන් තෝරාගත් පූර්ණ කාලීන හෙවත් මුළු සතියම විශ්වවිද්‍යාලයෙහි ගැවසෙන පශ්චාත් උපාධි ශිෂ්‍යයන් සිටිය යුතුය. එවිට ඔවුන්ට යම් යම් ආකාරවලින් ප්‍රථම උපාධි අධ්‍යාපනයට දායක වන්නටද හැකියාව ඇත. හාවර්ඩ් විශ්වවිද්‍යාලයෙහි ප්‍රථම උපාධි පිරිනමන ආයතනය වන හාවර්ඩ් කොලේජ්හි පීඨාධිපතිවරයා ලෙස සේවය කළ මහාචාර්ය හැරී ආර්. ලුවිස් Excellence without a Soul  අගනා පොතක් ලිව්වේය. ලංකාවේ විශ්වවිද්‍යාලවලද ජ්‍යෙෂ්ඨ ආචාර්යවරුන්ගේ අවධානයට ලක් විය යුතු එම කෘතිය ඇසුරින්ද විශ්වවිද්‍යාල යනු කුමක් විය යුතුද යන ප්‍රශ්නය වෙත එළඹෙන්නට පුළුවන. 

  හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ මෙහෙය විස්තර කරමින් 1650 වර්ෂයේ ලියවුණු ප්‍රතිපත්තිමය සන්නසෙහි විශ්වවිද්‍යාල ආරම්භ කිරීමට ධන පරිත්‍යාග කළ අය දැරූ පරමාර්ථ මෙසේ විස්තර වේ: “සියලු හොඳ සාහිත්‍යය, කලාව සහ විද්‍යාව ප්‍රවර්ධනය කිරීම, ඉංග්‍රීසි සහ ස්වදේශික ඇමරිකානු තරුණයන් දැනුම සහ ආචාරධර්ම විෂයෙහි පුහුණු කරන්නට තුඩු දෙන ගොඩනැගිලි සහ අනෙකුත් අවශ්‍ය පහසුකම් සැපයීම පිණිස” මෙම ධන පරිත්‍යාග කෙරේ. එනම් එම අධ්‍යාපනයෙහි අරමුණ වී ඇත්තේ දැනුම නිර්මාණය කිරීම, තරුණ පරම්පරාවට අධ්‍යාපනය ලබා දීම, තරුණය අය දැනයුතු දේවල් සේම ජීවත්විය යුතු ආකාරය ඉගැන්වීම යනාදියයි. එසේම, විශ්වවිද්‍යාලයේ ආරම්භයේදීම ජනවාර්ගික සහ සංස්කෘතික විවිධත්වය සම්බන්ධයෙන්ද අවධානය යොමු වී ඇත(Lewis, Harry R. Excellence Without a Soul. New York: Public Affairs, 2007).

  හාවර්ඩ් වැනි විශ්වවිද්‍යාල නිදහසේ මනුෂ්‍ය ඥානය වර්ධනය කරන නිදහස් මතධාරීන්ගේ වාසස්ථාන බවට පත්වීම රසවත් කතාවකි. එය මිනිසා තමගේ ඥානයේ නිම්වළලු පුළුල් කර ගැනීමට කළ අරගලයේ කතාව වැනිය. අතීත විශ්වවිද්‍යාලය කුමක්වීද යන්න වටහා ගැනීමට තැත් දැරෙන මෙම අවස්ථාවේදී ඒ කතාව සැකෙවින් වටහා ගැනීම උචිතය. හාවර්ඩ් මුලින්ම ආරම්භ වූයේ එංගලන්තයේ (සහ අනෙකුත් යුරෝපීය රටවල) අභිනවයෙන් සොයාගත් ඇමරිකානු මහාද්විපයට එන සුදු ජාතිකයන්ගේ ආගමික ඉගැන්වීම පතුරුවමින්, ඇමරිකානු මහාද්වීපය යටත් කරගැනීමේ ව්‍යාපෘතියෙහි කොටසක් ලෙසට බව එම විශ්වවිද්‍යාලවල උපයෝගිතා අරමුණු දෙස බලන විට පෙනේ. එහෙත් පොදුවේ මනුෂ්‍ය ඥානය වර්ධනය කිරීමට එම විශ්වවිද්‍යාලවල මුල සිටම වූ කැපවීම නිසා හුදු ආගමික ඉගැන්වීම ඉක්මවූද ජනවාසකරණයේ උපයෝගීතා අවශ්‍යතා ඉක්මවන දැනුම විසරණය කරන්නා වූද ආයතන බවට මෙම විශ්වවිද්‍යාල පත් විය. 

     1728 පමණ වන විට හුදු ආගමික ඉගැන්වීම ඉක්ම වූ ලෞකික මනුෂ්‍ය ඥානය විශ්වවිද්‍යාලයේ කොටසක් බවට පත් විය. තාරකා විද්‍යාව සහ විද්‍යාව විෂය පිළිබඳ මහාචාර්යවරයෙක්(අයිසාක් ග්‍රීන්වුඩ්) ඒ වසරේදී පත් වී විශ්වවිද්‍යාලයේ සෑම දෙනෙකු වෙනුවෙන්ම දේශන පවත්වන්නට විය. එහෙත් එය පහසු වූයේ නැත. අවුරුදු 9කට පසු අධික බීමත්කම වැනි විවිධ හේතු දක්වා ඔහු සේවයෙන් පහ කෙරිණි. ඉන් පසු එම තනතුරට පත් වූ මහාචාර්යවරයා(ජෝන් වින්ත්‍රොප්) ශාස්ත්‍රාලික නිදහස නිසි ලෙස භාවිත කරමින්, ගතානුගතික ආගමික සංස්ථාව සමග ගැටෙමින් ඥානය වර්ධනය කළේය. භූමිකම්පා ඇතිවන්නේ දේව කෝපය නිසා නොව ස්වභාවික හේතු නිසා බවත්, මෙවැනි තවත් විද්‍යාත්මක පැහැදිලි කිරීම් ගණනාවකුත් කරමින් අවුරුදු හතලිහක් පමණ හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ සේවය කළ ඔහුට අවසානයේ ආගමික සංස්ථාවේ අපකීර්තියද, ශිෂ්‍යයන්ගේ ගෞරවයද, විශ්වවිද්‍යාලය ආශ්‍රිත ගිහි ප්‍රජාවේ කුතූහලයද දිනා ගැනීමට හැකි විය. මනුෂ්‍ය ඥානයෙහි වර්ධනයට දිරි දෙන නිදහස් ආයතනයක් ලෙස විශ්වවිද්‍යාලය වර්ධනය වූයේ සෙමින් සෙමිනි.

    විශ්වවිද්‍යාලය නම් ආයතනය නිදහස් ඥානයේ අවකාශයක් ලෙස වර්ධනය වූයේ නොනවතින අරගලයක ඵලයක් වශයෙනි. ඒ ආයතනය රැකගැනීමේ අරගලය විවිධ තලවල නිරන්තරයෙන් පැවතිය යුතුය. 

1 comment:

  1. ලංකාවේ විශ්වවිද්‍යාල ලඟකදී සිට hierarchical (අධිකාරිවාදී??) වීම පිලිබඳ විශ්ලේෂනයක් තියනවද? මං ගිය උසස් අධ්‍යාපන ආයතනයේ (not a university, but somewhat equivalent) ඒ කාලයේ අයියා/මල්ලී/ අක්කා/ නංගී තිබුනේ නෑ. ඒත් මං පිටවී සුලු කාලයකින් ආවා. මං දැකලා තියනවා විශ්වවිද්‍යාලවල ඒක හමුදාවට ආසන්න සීරියස් විදිහට පාවිච්චි වෙනවා. එක කථිකාචාර්යවරියක් තවත් කථිකාචාර්‍යවරයෙක් ගැන මාත් එක්ක කිව්වා "එයාට මං හරියටම කියන්න ඕනෙ සර් නෙමෙයි අයියා කියලයි, එයා මං ඉන්න කාලෙ සීනියර් බැච් එකක හිටපු නිසා " කියලා. සර් සහ අයියා මාර සීරියස් දේවල් මට තේරුන විදිහට. (In my view, both forms of address were totally unnecessary in her situation, but she was seriously distinguishing the proper usage of the two!)

    ඉස්කෝලවල හා බාහිර සමාජයේත් සර්, මැඩම්, අයියා, අක්කා, ගරු, අතිගරු, පූජය, වන්දනීය වගේ දේවල් මං පොඩි කාලෙට වඩා අතිශයින් වැඩියි. විශ්වවිද්‍යාලවලට ඒක ආවෙ සමාජයෙන්ද, රැග් එකේ සම්බන්ධයකුත් තියනවද? , ඒකෙන් නිදහස් චින්තනය/ඥානය, විශ්ව විද්‍යාල සංස්කෘතියට බලපෑම (if any) කුමක්ද ?

    ReplyDelete