Thursday, April 29, 2021

ශාස්ත්‍ර පීඨවල අධ්‍යාපනයෙහි අරමුණ කුමක්ද? ලියනගේ අමරකීර්ති

  




    

(පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙහි  පැවැත්වෙන  දේශන මාලාවක කොටසක් ඇසුරෙන් සැකසෙන මෙම කෙටි ලිපිය මෙම මාතෘකාවෙන් ඇසෙන ප්‍රශ්නයට අර්ධ පිළිතුරක්ද, ප්‍රථම වසරේ ශිෂ්‍යශිෂ්‍යාවන් ඉලක්ක පාඨක පිරිස සේ සලකා සැකසුණක්ද බව සලකන්න) 

                                                                   කලා අධ්‍යාපනය

    මානව ශාස්ත්‍ර සහ සමාජයීය විද්‍යා යනුවෙන් හැඳින්වෙන විෂයයන් විශ්වවිද්‍යාලවල ශාස්ත්‍ර පීඨවල උගන්වනු ලැබේ. ශාස්ත්‍ර පීඨ “කලා පීඨ” යනුවෙන්ද සාමාන්‍යයෙන් හැඳින්වේ. ඒ නාමකරණය නිසා මෙම පීඨවල උගන්වන විෂයයන්හි ස්වභාවය ගැන තවමත් නොවිසඳුණු ගැටලු තිබේ. ලංකාවේ විශ්වවිද්‍යාල අධ්‍යාපනයට අවුරුදු සීයක් පිරෙන විට පවා මේ අනවබෝධය ඇතැම් අය සහ ඇතැම් අඩවිවල තිබෙනු දැකිය හැකිය. ඒ සියලු තැන්වල ඇති අනවබෝධයට සමාව දිය හැකිය. වඩාත්ම ඛේදජනක කාර්යවන්නේ ශාස්ත්‍ර පීඨවල උගන්වන සහ ඉගෙනගන්නා ඇතැම් අයටද තමන්ගේ විෂය ක්ෂේත්‍රය කුමක්ද? එය පවතින්නේ කුමකටද? යන ප්‍රශ්න ගැන අවබෝධයක් නැති වීමය.

   මෙම රචනයෙන් තැත් දැරෙන්නේ මෙම විෂයයන්හි අදාළත්වය පිළිබඳ කරුණු කිහිපයක් ඉදිරිපත් කිරීමටය. සාමාන්‍යයෙන් ශාස්ත්‍ර පීඨවල කාර්ය කුමක්ද යන්න පිළිබඳ නිරන්තර සංවාදයක් ඇමරිකානු විශ්වවිද්‍යාලවල පවතී. ඊට හේතුව වානිජ විශ්වවිද්‍යාලය සහ වානිජවාදී අරමුණුවලින් යුතු අධ්‍යාපනය විශ්වවිද්‍යාලය නම් සම්භාව්‍ය ආයතනය ඛාදනය කරමින් සිටීමය. 


  ඇමරිකානු විශ්වවිද්‍යාලවල “ශාස්ත්‍ර පීඨ” යැයි අප හඳුන්වන ආයතනවලින් ලබා දෙන අධ්‍යාපනය සංකල්ප ගත කෙරෙන්නේ තරමක් වෙනස් විදියටය. ඔවුන් ලිබරල් ආට්ස් (liberal arts) හෙවත් නිදහස් කලා යනුවෙන් හඳුන්වන විෂය ධාරාව විශාල වශයෙන් අපේ කලා පීඨවල අධ්‍යාපනය සමානය. එහෙත් විද්‍යාව, ගණිතය ආදිය පිළිබඳ පාඨමාලාද ලිබරල් ආට්ස් විෂය ධාරාවට අයත් වේ. සාමාන්‍යයෙන් නිදහස් කලා උපාධි පාඨමාලාවක් හදාරන ශිෂ්‍යයෙකුට මේ ආදී විෂය ක්ෂේත්‍රවලින් පාඨමාලා ඉගෙනීමට සිදුවේ:

සාහිත්‍යය

භාෂාව

දර්ශනය

ඉතිහාසය

සමාජ විද්‍යාව

සංගීතය

ආගමික අධ්‍යයනය

මානව විද්‍යාව

නීතිය

ජීව විද්‍යාව

මූලික ගණිතය

විද්‍යාවේ දර්ශනය

සන්නිවේදනය

  අඩුවැඩි වශයෙන් මෙවැනි විෂයයන්ට හෝ මෙවන් විෂයන් කිහිපයක් එකට ඈඳුන අන්තර්-ශික්ෂණීය පාඨමාලා හෝ නිදහස් කලා ධාරාවට අයිති වේ. මේ විෂයමලාවට සමග තවත් විෂය සමගාමී විෂය මාලාවකින් පාඨමාලා ඉගෙනීමට සිදුවේ. ඒවා නොයෙක් ආකාරයේ, ක්‍රීඩා, සංගීතය, රංගනය, නිර්මාණශීලී ලේඛනය ආදී විෂයයන් සමග සම්බන්ධ විය හැකිය.

                                                            මානව නිදහස

  ලිබරල් ආට්ස් (liberal arts) යන නම එන්නේ ලතින් වදන දෙකකිනි. liberalis යනු නිදහස් කිරීම හෝ නිදහස්වීම යන අර්ථ ඇති වචනයකි.  artes යන ලතින් වචනයෙහි තේරුම කුසලතාව යන්නයි. ඒ නිසා liberal arts හෙවත් නිදහස් කලා ඉගෙනීම යනු “නිදහස ලැබීමේ කුසලතා” ඉගෙනීමය. සිංහලයෙන් අප |"මානව ශාස්ත්‍ර " යනුවෙන් නම් කරන විෂයයන් අප තේරුම්ගත යුත්තේද මනුෂ්‍යයන් “මනුෂ්‍යයන් වීම” පිණිස උගන්නා විෂයයන් යනුවෙනි.  අපට උරුම වී ඇති ස්වභාවික හෝ සමාජයීය කොන්දේසිවලින් නිදහස්වීම, නිදහසින් වැඩි නව කොන්දේසි නිර්මාණය කිරීම මනුෂ්‍යයන් වීමේ එක් විධියකි.

   මෙහි එන "නිදහස "යන අදහස හුදෙක් ඒක පුද්ගල නිදහස නොවන බව මේ දේශනයේදී ඉදිරියටත්, මේ දේශන මාලාවේ අනික් දේශනවලදීත් පැහැදිලි වනු ඇත.

                                         පැරණි අදහසක්

    බටහිර අධ්‍යාපනය තුළ මේ නිදහස්වීම පිණි ඉගෙනීම යන  අදහසට ඉතා දිගු ඉතිහාසයක් ඇත. පුරාණ ග්‍රීක සහ රෝම ජනරජවල පුරවැසියන්ට තමන්ගේ නායකයන් තෝරා ගැනීමට අවස්ථාව දෙන ලදී. ඒ වූකලි ඉබේම හෝ දේව වරමින් හෝ බලයට පත්ව ඒකාධිපතියන් වන පාලකයන්ගෙන් නිදහස්වීමට අවස්ථාවකි. තමන්ට පරවේණියෙන් හෝ දේව වරමින් හෝ බලය උරුම යැයිද තමන්ගේ වචනය අවසන් වචනය යැයිද කියන ඒකාධිපතියාගෙන් නිදහස් වීම වූකලි කලාවකි. එය ප්‍රගුණ කළ යුතු පුරවැසි කලාවකි. ඒ කලාවේ අංග කිහිපයකි. විචාරාත්මක චින්තනයේ කලාව ඉන් එකකි. පෙලඹවීමේ බලයෙන් යුතු සන්නිවේදන කලාව තවෙකකි. මෙවන් කුසලතා ඇති විට තම ජනරජය පාලනය කරන අය ප්‍රඥාසම්පන්න ලෙස තෝරාගැනීමට පුරවැසියාට හැකියාව ලැබේ. නිදහස් කලා අධ්‍යාපනය සැලසුම් කෙරී ඇත්තේ මෙම පුරවැසි කුසලතාව ලබාදීම පිණිසය. 

   සැබැවින්ම අපේ කලා පීඨවලින් ලැබිය යුතු මූලික පුහුණුව විය යුත්තේ එයයි. එහෙත් අපේ අධ්‍යාපනය ලබා දෙන අයත්, ලබාගන්නා අයත් අපේක්ෂා කරන්නේ රැකියාවක් ලබා ගැනීම සඳහා භාවිත කළ හැකි සහතික පත්‍රයකි. 


   අදත් ඇමරිකානු විශ්වවිද්‍යාලවල නිදහස් කලා යනුවෙන් උගන්නා විෂය වෙත අර මුලින් කී ග්‍රීක-රෝම පරමාදර්ශය ලැබී ඇත. ඇමරිකා එක්සත් ජනපදය නම් රාජ්‍යය නිර්මාණය කළ එහි ආරම්භක පියවරුන්ද ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය පවත්වා ගැනීමට උගත් පුරවැසිභාවයෙහි අත්‍යවශ්‍ය බව දැක්කහ. පළමු ඇමරිකා එක්සත් ජනපද ව්‍යවස්තාවට අත්සන් තැබූ , ඇමරිකාවේ හතර වෙනි ජනාධිපතිවරයා වූ ජේම්ස් මැඩිසන්(1751-1836)  මෙසේ කීවේය:

“සදාතනිකව අඥානභාවය පාලනය කරතබන්නේ දැනුම මිස අනිකක් නොවේ. තමන්ගේම පාලකයන් වීමට කැමති ජනතාව දැනුම විසින් සපයනු ලබන දැනුමෙන් සන්නද්ධ විය යුතුය.”

   බ්‍රිතාන්‍ය යටත් විජිතවාදයෙන් ඇමරිකානු නිදහස ප්‍රකාශයට පත් කළ ප්‍රකාශයෙහි ප්‍රධාන රචකයා සහ ඇමරිකා එක්සත් ජනපදයෙහි තුන්වන ජනාධිපති වූ වූ තොමස් ෆෙෆර්සන් (1743-1826) මෙසේ කීවේය:

“යම් ජාතියක් අඥාන වීම සහ නිදහස් වීම යන දෙකම අපේක්ෂා කරන්නේ නම් එම ජාතිය කරන්නේ කවදාවත් නොතිබුණු කවදාවත් නොපවතිනු ඇති දෙයක් අපේක්ෂා කිරීමය.”

එනම් ජෙෆර්සන් දකින හැටිය අඥානභාවය සහ නොදැනුම සහිත ජාතියකට කවදාවත් නිදහස ලැබිය නොහැකිය.

                                                   පරමාදර්ශ

   දහ නම වෙනි සියවසේ ඇමරිකානු චින්තක-දේශපාලකයන්ගේ මෙම ප්‍රකාශ පරමාදර්ශී ප්‍රකාශ සේ ගැනීම වැරදිබව ඇත්තකි. ඒ අය විසූ කාලය සහ සමාජය සෑම විටෙකම දැනුමටම දිරි දුන්නේ නැත. සෑම ජනවර්ගයකටම ඒ දැනුම විවෘත වූයේද නැත. දැනුම නමැති බලය වෙනත් ජනපිරිස්වල නිදහස නැති කරන්නටද භාවිත විය. ඒ සංකීර්ණ ඓතිහාසික පසුබිම කෙසේ වෙතත් අධ්‍යාපනයෙහි ප්‍රධාන අරමුණක් විය යුත්තේ නිදහසය යන අදහස දිගටම පැවැත්තේය.

   ඒ නිසා නිදහස් කලා යනුවෙන් හැඳින්වෙන විෂයයන්ගෙන් අපේක්ෂා කළ දෙයක් මෙසේය:

“පළල් ක්ෂේත්‍රයක පැතිරුණු දැනුමක්ද, ගැඹුරු ලෙස චින්තනයෙහි යෙදීමේ පුහුණුවක්ද, ව්‍යයක්ත ලෙසද අර්ථවත් ලෙසද සන්නිවේදනය කිරීමෙහිද, ඥානවන්ත ලෙසද ඒත්තු යන ලෙසද තර්ක කිරිමෙහිද කුසලතා ලබාදී පුරවැසියන් බල ගැන්වීම.”

අධ්‍යාපනය පිළිබඳ මෙම මූලික අදහස අදත් ලිබරල් ආට්ස් හෙවත් නිදහස් කලා යන විෂය ක්ෂේත්‍රයෙහි තිබේ. 

                                               අපේ යුගයට නිදහස් කලා

  අද එම විෂයධාරාවේ අධ්‍යාපනයෙහි අර අරමුණ වඩා පුළුල් වී අපගේ යුගය වෙත හැඩගැසී ඇත. එය සැකෙවින් මෙසේ ප්‍රකාශ කළ හැකිය:

“මනා සේ තර්ක කරන ලද අදහස් සහ වටිනාකම් මත පිහිටා තමාම මෙහෙය වී තීරණ ගැනීමේ හැකියාව වර්ධනය කිරීම මගින් මනුෂ්‍යයාගේ නිදහස පිළිබඳ කුසලතා වර්ධනය කිරීම.

එසේම අධිකාරිත්වයට සහ සමාජ සම්මුතියට අන්ධ ලෙස යටත් වීමෙන් පුරවැසියා වළකාලීම.”

   ඒකාධිපතිවාදී දේශපාලකයන්ගේ සටකපටකම්වලට විරෝධය පෑමට අමතරව, ස්වයං-තීරක ශක්තියෙන් යුත් විචාරශීලී පුරවැසියාට තවත් සමාජ බලවේගවලින් එල්ල වන සටකපට බලපෑම්වලින් නිදහස් විය හැකිය. එවන් සමාජ බලවේග කිහිපයක් මෙසේ පෙළ ගැස්විය හැකිය:

                  බලාධිකාරී චරිත- දෙමාපියන්, ගුරුවරුන් පමණක් නොව හමුදාව පොලීසිය වැනි බලාධිකාරීන් විසින් අධිකතර ලෙස බලය යෙදවීමට විරුද්ධවීම

                  සමපදස්ථයන්-  නිෂේධනීය ආකාරයේ සමාජ සම්මුතිගත වීම පිණිස සමවයස්කයන් සම වෘත්තිකයන් වැනි අයගෙන් එන පීඩනයට විරෝධය පෑම. නිදර්ශනයක් ලෙස ජාතිවාදී අදහස්, ස්ත්‍රී විරෝධී අදහස්, ප්‍රජාතන්ත්‍ර විරෝධී අදහස් මෙවන් පිරිස් වෙතින් එන විට ඒවාට විචාරාත්මකව විරෝධය පෑමට කුසලතා අධ්‍යාපනයෙන් ලැබිය යුතුය.

                ජනමාධ්‍යය- ජනමාධ්‍ය වෙතින් එන නොමග යවනසුලු පණිවිඩ හඳුනාගෙන ඒවාට විචාරාත්මකව මුහුණදීමේ හැකියාව.

 කෙටියෙන් කියන්නේ නම් මෙසේය: 

          නිදහස් කලා අධ්‍යාපනය ඔබට හොඳ දැනුම් පදනමකින් යුතුව විචාරාත්මක චින්තකයෙකු වෙමින් ”ඇයි?” යන ප්‍රශ්නය ඔබේ සමාජය සහ ලෝකය වෙතින් අසන්නට උගන්වයි. එසේම ඒ ප්‍රශ්නය ඔබ ඔබෙන්මද ඇසිය යුතුය. 

 විශ්වවිද්‍යාල අධ්‍යාපනය වෘත්තීය පුහුණු අධ්‍යාපනයෙන් වෙන් කරන්නේ නිදහස් කලා අධ්‍යාපනයයි. හොඳින් උගත් කෙනෙකු යනු කවුද යන්න නිර්වචනය කරන්නේ ඔබේ අධ්‍යාපනයෙහි ඇති නිදහස් කලා අන්තර්ගතයයි.

  අපේ පීඨයෙහි මානව ශාස්ත්‍ර සහ සමාජයීය විද්‍යා යන විෂය ධාරා දෙක ඇමරිකානු සම්ප්‍රදායේ නිදහස් කලාවලට වඩා තරමක් පටු බව ඇත්තය. එහෙත් ඒ ධාරාවලට අයත් සාහිත්‍යය, භාෂාව, දර්ශන, ඉතිහාසය, ආර්ථික විද්‍යාව, සමාජ විද්‍යාව, මනෝ විද්‍යාව ආදී විෂයයන් ඔබ උගත යුත්තේ ඒවාගෙන් ඔබට සැපයෙන මනුෂ්‍ය නිදහස පිළිබඳ පදනමෙනි. ඒ විෂයයන් වෙතින් කාර්මික විද්‍යාලයකින් ලැබෙන පුහුණුවක් අපේක්ෂා කිරීම ඒ විෂයයන් කරන හානියකි. සැබවින්ම එය ඔබටද කරගන්නා හානියකි.

  මනුෂ්‍ය ජීවිතයෙහි අර්ථය ප්‍රසාරණය කරමින් අපගේ ජීවිතයත්, අප සමග ජීවත් වන අනෙකු අයගේ ජීවිතයත් අර්ථසම්පන්න, ආරක්ෂිත සහ ප්‍රීතිදායක කිරීමෙහිලා අපගේ අභ්‍යන්තරයද බාහිර සමාජයද ගවේෂණය කරමින් විචාරාත්මක වූද සාවධාන වූද සක්‍රීය වූද පුරවැසියෙකු සේ ජීවත්වීම ගැඹුරු කලාවකි. අපේ විශ්වවිද්‍යාලයෙහි කලා අධ්‍යාපනය යනු ඒ කලාව ඉගෙනීමය. එවැනි අධ්‍යාපනයක් අප වෙතින් ඔබට නොලැබේ නම් අපටද අභියෝග කිරීමේ වගකීම ඔබ වෙත තිබේ.  

    කලා පීඨය හෙවත් ශාස්ත්‍ර පීඨයෙන් ලැබිය යුතු ඒ ගැඹුරු කලාව ඉගෙනීම මගහැර විභාගට ලකුණු ගැනීමට, උපාධි සහතිකය දිනා ගැනීමට, උපාධි ලෝගුව පැළඳ ආඩම්බරවීමට ඉගෙනීම කලා පීඨයෙන් ලැබෙන නියම අධ්‍යාපනය නොසලකා හැරීමකි. 

  “මනුෂ්‍යයෙකු ලෙස ජීවත්වීමේ සැබෑම ප්‍රකාශනය නම් ජීවිතයෙහි අර්ථය වෙත නිරන්තරයෙන් අභියෝග කිරීමය” යනුවෙන් ප්‍රකට මනෝ විශ්ලේෂක සහ ස්නායු විශේෂඥ වික්ටර් ෆ්‍රැන්කල් වරක් කීවේය. 

  නියම නිදහස් කලා අධ්‍යාපනය ලද්දෝ ජීවිතයෙහි සම්මත ප්‍රවාහය හසුව ඔහේ ගසාගෙන යන්නෝ නොවෙති. සාහිත්‍ය කලා ආදිය ඉගෙනීමෙන් අපට ලැබෙන එක් ප්‍රධාන පුහුණුවක් නම් නිෂ්ක්‍රීය ගසාගෙන යන්නන් නොවී නැවතී විමසීමේ හැකියාවය. 

  අපි ඉදිරි දේශනවලදී මෙවන් හැකියා ලබන හැටි, ඒ ලැබූ හැකියා ව්‍යක්ත ලෙස සන්නිවේදනය කරන හැටි සාමූහිකව අධ්‍යයනය කරන්නට තැත් කරමු. 

වැඩිදුර කියවීම්

B. Kimball.(1986) Orators and Philosophers: A History of the Liberal Arts

D.T. Conley. (2005) College Knowledge: What it really takes for students to succeed and what we can do to get them ready?

 S.F. Gamson(1986) Liberating Education


 

No comments:

Post a Comment