Monday, May 10, 2021

වර්තමාන නවකතාවේ එක් ප්‍රධාන ප්‍රවණතාවක් - ලියනගේ අමරකීර්ති

 



     ලෝක නවකතාවේ නව ප්‍රවණතා ගැන කෙටි ලිපියක් ලියන්නැයි ගාමිණි කන්දේපොල මහතා ඉල්ලා සිටියේය. මේ වූකලි ඉතා පළල් මාතෘකාවකි. සෑහෙන තරම් විශාල නවකතා සංඛ්‍යාවක් නොකියවා ඒ ගැන කතා කිරීම අමාරුය. අනික නවකතාව වැනි ඉතා විචිත්‍ර හා විවිධ සාහිත්‍ය විධියක එක් කලෙක ඇත්තේ එක් ප්‍රවණතාවක් නොවේ. ලෝකයේ විවිධ රටවල සිට විවිධ ආකාරයෙන් ලිවිය හැකි සාහිත්‍ය ශානරයක් (Genre) වීමම නවකතාවේ ස්වභාවයයි. එවැනි කලාවක ප්‍රවණතා සියල්ල ගැන සමාලෝචනයක් කිරීම ලෙහෙසි නැත. 

   1960-70 දශකවල සිට ලෝක නවකතාව තුළ දැකිය හැකි වූ ප්‍රධාන ප්‍රවණතාවක් වූයේ යථාර්ථවාදී ප්‍රතිනිර්මාණ විධිය අතික්‍රමණය කරන විකල්ප ප්‍රතිනිර්මාණ විධි පිළිබඳ ගවේෂණයයි. ඒ නිසා පහළ වී ජනප්‍රිය වූ ප්‍රතිනිර්මාණ විධියක් නම් මායා යථාර්ථවාදයයි. මැජික් රියලිස්ම් යනුවෙන් පැතිරි එය ලෝකය පුරා බලපෑමක් ඇති කළේය. ඉන් අදහස් කෙරුණේ සමාජ-දේශපාලන යථාර්ථයන් අත් හැර මැජික් ලෝකයක් ගැන ලිවීම නොවේ. සමාජ-දේශපාලන යථාර්ථයන්හි විෂයබද්ධ හා මනෝබද්ධ සංකීර්ණතා වඩා හොඳින් ග්‍රහණය කරන හා ඒවා සංකීර්ණ ආකාරයෙන් ප්‍රතිනිර්මාණය කරන විධියක් සෙවීමයි. මූලික වශයෙන් ලතින් ඇමරිකානු රටවලින් පැන නැගි මේ ප්‍රවණතාව ලෝක පරිමාණ ආකර්ෂණයක් දිනා ගත්තේ හැට-හැත්තෑව දශකවලය. කොලොම්බියාවේ ගේබ්රියෙල් ගාර්සියා මාර්කේස්ගේ සියක් වසරක හුදෙකලාව කෘතිය මේ ප්‍රවණතාවේ ආරම්භය නොවුණත් එහි ආකර්ෂණීයම අවස්ථාව විය. එය පළ වූයේ 1968 වර්ෂයේදීය. ඉංග්‍රීසියට පරිවර්තනය වූයේ 1970 දීය. මේ කාලයේම තවත් නවකතාකරුවෙක් මෙක්සිකෝවේ සිට මේ ප්‍රවණතාව ඉදිරියට ගෙන ගියේය. ඒ කාර්ලෝස් ෆුවෙන්තේස්ය. ඔහුගේ ද ඩෙත්  ඔෆ් ආර්ටිමියෝ කෲස් වැනි නවකතාවක් ඒ ප්‍රවණතාවම නියෝජනය කරයි. යුරෝපයේදී මේ ප්‍රවණතාවේ ගැඹුරුම නවකතාකරුවා හැටියට මා දකින්නේ පෘතුගීසි ලේඛක හොසේ සරමාගෝය. ජර්මනියේ ගුන්තර් ග්‍රාස් ඒ ප්‍රවණතාවේ වඩා ප්‍රකට යුරෝපීය රචකයා වන්නට පුළුවන. මැජික් රියලිස්ම් ප්‍රවණතාව නැගෙනහිර යුරෝපයේදී ආකර්ෂණීය සේ නියෝජනය කළේ චෙක් ජාතික ලේඛක මිලාන් කුන්දේරාය.  ටෝනි මොරිසන්, ඇමී ටෑන් වැනි ලේඛිකාවන් හරහා නූතන ඇමෙරිකානු නවකතාව වෙතද පිවිසුණු මේ ප්‍රවණතාව සල්මාන් රුෂ්ඩි ඔස්සේ දකුණු ආසියාව නවකතාවට ආයේය. බෙන් ඔක්රිගේ ප්‍රබන්ධ කතාවලින් එහි අප්‍රිකානු ලක්ෂණ පෙනේ. ඒ ප්‍රවණතාව ජපානයට එළඹුණු බව හරුකි මුරකමිගේ නවකතාවලින් පෙනේ. 

    මැජික් රියලිස්ම් හෙවත් මායා යථාර්ථාදී නවකතාකරුවන් සොයා ගිය අලුත් ප්‍රතිනිර්මාණ විධිය ඒ ඒ සාහිත්‍ය සංස්කෘතියේ ප්‍රකාශයට පත් වන්නේ ඒ ඒ ආකාරටය. නිදර්ශනයක් ලෙස රුෂ්ඩිගේ මායා යථාර්ථවාදය ඉන්දියානු දේවකතා, අරාබි නිසොල්සාලය, කුරාණය වැනි ඉස්ලාම් සංස්කෘතියේ කතා බල පෑවේය. බෙන් ඔක්රිගේ මායා යථාර්ථවාදයට අප්‍රිකානු ජනකතා හා හොල්මන් කතා බලපෑවේය. ඒ නිසා මායා යථාර්ථවාදය යනු ලෝකය පුරා එකම ලක්ෂණ දැරූ ප්‍රවණතාවකියි කීම වැරදිය. මේ කාරණය මම අමුතු කතාව නම් කෘතියේදී සෑහෙන තරම් සරලව පැහැදිලි කළෙමි. යථාර්ථවාදය යන්න ලෝකය පුරාම එකක් නොවූ සේම මායා යථාර්ථවාදයද ලෝකය පුරාම එකක්ම වී යැයි ගැනීම වැරදිය. එහෙත් තාර්කික හේතුපල සම්බන්ධයෙන් යුතුව කතාව ගොඩ නගන සාමාන්‍ය යථාර්ථවාදී ප්‍රතිනිර්මාණ විධියට විකල්පයක් සොයන්නට සාපෙක්ෂ වශයෙන් එකම කාලයක ලෝකය පුරාම ලේඛකයන් කැපවීම සිත් ගන්නාසුලු සංසිද්ධියකි. මෙවර විවිධ සම්මාන සඳහා නිර්දේෂ වූ ටෙනිසන් පෙරේරාගේ අභිරහස් ජීවිත තරණය හා කපිල කුමාර කාලිංගගේ පියැසි කවුළුව යටකී ප්‍රවණතාවේම ඵලයෝ වෙති.

   දළ වශයෙන් පසුගිය දශක හයක පමණ කාලය තුළ ලෝකය පුරා පැවති මේ ප්‍රවණතාව හුදෙක් මායා යථාර්ථවාදී ප්‍රවණතාව යැයි හැඳින්වීම අතිසරලකරණයක් නිසා ඒ ඒ විවිධ ආකාරයේ ප්‍රතිනිර්මාණවිධි සහිත නවකතා පශ්චාත්-යථාර්ථවාදී නවකතා ලෙස හඳුන්වන්නට කැමැත්තෙමි. ඇතැම් විචාරකයන් ඒවා හඳුන්වන්නේ විකල්ප-යථාර්ථවාදී හෙවත් ඕල්ටර් රියලිස්ම් යන පදයෙනි. 

   කවර නමකින් හැඳින්වුවත් මේ ප්‍රවණතාව ගෝලීය වශයෙන් පැතිරුණු ආකර්ෂණීය නිර්මාණ රැසක් බිහි කළේය. දැන් බොහෝ ලේඛකයෝ මේ ප්‍රවණතාවේ ප්‍රධාන ලක්ෂණ අන්තරීකරණය කරගෙන සරල යථාර්ථවාදය ඉක්මවන ආකාරවලින් ලියති. වර්තමාන සිංහල කෙටිකතාව මේ ප්‍රවණතාවෙන් විශිෂ්ට පල ලබා ඇති බව පෙනේ.


   මායා යථාර්ථවාදයෙන් පසු ගෝලීය වශයෙන් පැතිරුණු ශිල්පීය ප්‍රවණතාවක් දකින්නට නැත. අද කොහේ ලියවෙන නවකතාව වුවත් අඩුවැඩි වශයෙන් ඒ ප්‍රවණතාවේ ආභාසය හා ආවේශය ලැබූ නවකතා වෙයි. එහෙත් අප අමතක නොකළ යුතු දෙයක් නම් සරල යථාර්ථවාදී ප්‍රතිනිර්මාණ විධිය අනුගමනය කරන විශිෂ්ට නවකතා තාමත් ලියවෙන බවය. 

ගෝලීය පුරවැසියාගේ කතාව

    මෙසේ විවිධ ආකාරයෙන් ලෝකයේ වර්තමානයෙහි ලියවෙන නවකතා සියල්ලෙහි තේමා හෝ විෂයයන් ගැන මට අවබෝධයක් නැතත් ඒවායෙහි එන එක් තේමාත්මක ප්‍රවණතාවක් මට පෙනේ. එය නම් ගෝලීයකරණය වූ ලෝකයක මිනිසාගේ ජීවිතය පිළිබඳ නවකතාවයි. ඒ ප්‍රවණතාවේ විවිධ අනුප්‍රවණතා ඇතත් ප්‍රධාන ප්‍රවණතාවේ නවකතාවලින් කියවෙන්නේ මෙයයි: තව දුරටත් මිනිස් ජීවිතය යනු ලෝකයේ කොහේ හෝ හුදෙකලා මුල්ලක ඇති ගමක කතාවක් නොවේ. ඇෆ්ඝනිස්ථානයේ ඈත පිටිසර ගමක ගෝත්‍ර වැසියාගේ ජීවිතය මත් ද්‍රව්‍ය වෙළඳාම නැත්නම් පොපි වගාව මගින් ලෝකය සමග සම්බන්ධය. ඇමරිකානු ආක්‍රමණය නිසා ඒ සම්බන්ධය තවත් තීව්‍ර වී ඇත. ඉරාකයේ ඈත පිටිසර ගමක දරුවෙකුට අකාලයේ මැරෙන්නට සිදුවන්නේ ඉරාකයේ තෙල් ඇති නිසාත් ලෝකයේ අනික් රටවල මිනිසුන්ට (ඉරාකයත් ඇතුලුව) මිනිසුන්ට කාර් ඇති ඇති නිසාත්ය. ඊට සෘජුව වගකිව යුත්තේ ඇමරිකානු අධිරාජ්‍යවාදය වුවද තෙල් පරිභෝජනය කරන අපි කවුරුත් ඊට වක්‍රව වගකිව යුත්තෙමු. එසේම සංස්කෘතික වශයෙන්ද ලෝකයේ සෑම කොණක්ම පීඩනයකට හසු වී තිබේ. අධිරාජ්‍යවාදී සංස්කෘතිය අනිකුත් සංස්කෘතීන් තෙරපා පීඩනයකට හසු කරයි. සංස්කෘතීන්ට තම තම තෝරා ගැනීම පරිදි එකට සම්මිශ්‍රණය වන්නට ඉඩ හා කාලය නොදෙන අධිරාජ්‍යවාදය තම සංස්කෘතික ප්‍රවණතා සෙසු ලෝකය මත පටවයි. එහිදී සෙසු ලෝකය මත පටවන්නට අධිරාජ්‍යවාදියා තෝරා ගන්නේ තමන්ට වෙළඳමය හා දේශපාලන වාසි ලැබෙන සංස්කෘතික ලක්ෂණය. පරිභෝජන සංස්කෘතිය පතුරුවන අතර නිදහස් පුරවැසිභාවය පිළිබඳ අදහස් පතුරුවනු නොලැබේ. අධිරාජ්‍යවාදියාට අවශ්‍ය කීකරු පාරිභෝගිකයන් මිස නිදහස් චින්තනයෙන් යුත් පුරවැසියන් නොවේ. ඒ ඒ රටවල ජාතික රාජ්‍යයන්ටත් අවශ්‍ය මෙවැනි ජනපිරිසකි. ඒ නිසා අධිරාජ්‍යවාදියා හා දේශීය පාලකයා යනු එකම න්‍යාය පත්‍රයකට වැඩ කරන අය වෙති. මෙරට ඊට හොඳ නිදර්ශනයකි.

   මේ තත්වය ගවේෂණය කිරීම වර්තමාන ලෝක නවකතාවේ දැකිය හැකි ප්‍රවණතාවකි. ප්‍රාග්ධනයට නිදහසේ ලෝකය පුරා ගමන් කරන්නට නිදහස ඇතත් මනුෂ්‍යයන්ට ඒ නිදහස නැති ගෝලීයකරණය වූ ලෝකයක මිනිස් අත්දැකීම ප්‍රබන්ධගත කිරීම ඒ ප්‍රවණතාවයි. මේ ප්‍රවණතාවට අයත් නවකතා මාලාවක් පසුගිය කාලය පුරා පළ විය. ඉංග්‍රීසි බසින් ලියවුණු ඒ නවකතා අතර බෙහෙවින්ම ජනප්‍රිය වූ නවකතාවක් වන කයිට් රනර් නවකතාවට පසුබිම් වන්නේ රුසියාව(1975) හා ඇමරිකාව(2001) විසින් ඇෆ්ඝනිස්ථානය ආක්‍රමණය කරනු ලැබීමෙන් පසු ඇති වූ තත්වයයි. තලෙයිබාන්වරුන්ගේ නැග්මත් ඇෆ්ඝනිස්ථානය වෙත රුසියානු ආක්‍රමණයත්, ඊටත් පසු ඇමරිකානු ආක්‍රමණයත් පසුබිමෙහි ඇෆ්ඝන් ජාතිකයාගේ ජීවිතය පිළිබඳ අනුවේදනීය කතාවක් එහි එයි. ඛලීඩ් හුසේනි නම් ඇෆ්ඝන්-ඇමරිකානු වෛද්‍යවරයා විසින් ලියන ලද මෙම නවකතාව ඇමරිකානු අධිරාජ්‍යවාදය කෙරෙහි ප්‍රමාණවත් තරම් විචාරාත්මක නොවීම එහි අඩුවකියි කිවහැකි වුවත් මිනිස් ජීවිතය ගෝලීය පසුබිමක තබා වටහා ගන්නට එය තැත් කරයි. 

    මොශීන් හමීඩ්ගේ ද රිලක්ටන්ට් ෆන්ඩමෙන්ටලිස්ට් නවකතාවත් 2001 වර්ෂයේදී නිව්යෝක්-වොෂින්ටන් දෙනුවරට එල්ල කළ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඇමරිකාවේ ප්‍රකට විශ්වවිද්‍යාලයක උගෙන එහිම රැකියාව කරන චින්ගේස් නම් පාකිස්ථානු තරුණයෙකුගේ අත්දැකීම් මාලාවක් එහි එයි. අතිදක්ෂ ශිෂ්‍යයෙකු වන ඔහුට ඉහළ පාන්තික ඇමරිකානු පෙම්වතියක්ද සිටියි. එහෙත් සැප්තැම්බර් 11 ප්‍රහාරයෙන් පසු ඇමරිකාවේ පැතිර ගිය මුස්ලිම් විරෝධය නිසා සිය අනන්‍යතාව යළි හඳුනාගන්නා ඔහු තමා මුස්ලිම්වරයෙකුය යන අනන්‍යතාවෙහි තදින් පිහිටන්නට පටන්ගනී. ඔහුගේ කාර්යක්ෂතාව හා දක්ෂතාව නැතිව යයි. ඔහුට රැකියාව අහිමි වෙයි. යළි සිය රට එන ඔහු මුස්ලිම් සටන්කාමියෙකු බවට පත් වන බව නවකතාවෙන් ඉඟි කෙරේ. එක් අතකින් ජාතිකවාදී දේශපාලනයත් අනික් අතින් අධිරාජ්‍යවාදී ලෝක පද්ධතියත් තුළ මිනිසා පෙළෙන සැටි මේ නවකතාවෙන් කිය වේ. මෙතරම් සෘජුව දේශපාලනික නොවුණත් ඉංග්‍රීසියෙන් නවකතා ලියන අය මේ ගෝලීය අත්දැකීම ගැන නිතර ලියති. දකුණු අප්‍රිකානු ලේඛිකා නැඩීන් ගෝඩිමර්ගේ ද පිකප් නවකතාව නීති විරෝධී සංක්‍රමණය විෂය කර ගනී. එය ප්‍රාග්ධනයට මිස මනුෂ්‍යයාට රටින් රට යාමට නොහැකි වූ ගෝලීයකරණය ප්‍රශ්න කරයි. 

   විවිධ රටවලින් ලෝකයේ ධනවත් රටවලට සංක්‍රමණය වූ අය සංස්කෘතීන් දෙකක් අතරට මැදිව නව ජීවිතයක් ගොඩ නගා ගැනීමට ප්‍රයත්න දරන අන්දම ගැන නවකතා නිතර ලියවේ. ජුම්පා ලහිරිගේ ද නේම්සේක්,  මීරා චාන්ද්ගේ අ ඩිෆරන්ට් ස්කයි, ඇන්ඩි්‍රයා ලෙවිගේ ස්මෝල් අයිලන්ඩ් හා ෆෘට්  ඔෆ්ද ලෙමන්, හනීෆ් කුරේෂිගේ ද බුද්ධා ඔෆ් ද සබර්බියා, ඇමී ටෑන්ගේ ජෝයි ලක් ක්ලබ් ආදී නවකතා, සේඩි ස්මිත්ගේ වයිට් ටීත්,  ආදී නවකතා ගණනාවක් ඉන්දියාව, ටි්‍රනිඩෑඩඩ්, චීනය, පාකිස්ථානය යනාදී රටවලින් සංවර්ධිත බටහිර රටවලට සංක්‍රමණය වූ ජනයාගේ ජීවිතය ගැනය. ඒ නවකතා පශ්චාත්-ජාතික රාජ්‍යය ලෝකයක යථාර්ථයන් ගැන කියන අතර ඒවාට ගෝලීය පාඨක පිරිසක් සිටියි. ඒ නිසා නවකතා එක්තරා ආකාරයක ගෝලීය නවකතා විශේෂයක් යැයි හඳුන්වන්නට පුළුවන. කැනඩාවේ වසන සිංහල සම්භවයක් ඇති රැන්ඩි බෝයගොඩගේ ද බෙගාර්ස් ෆීස්ට් නවකතාව මේ ප්‍රවණතාවටම නිදර්ශනයකි. ලංකාවෙන් ඒ රටවලට සංක්‍රමණය වූ ජනයාගේ දෙවැනි පරම්පරාව අතරින් මෙවැනි නවකතාකරුවන් පහළ වීමට ඉඩ ඇත. හිමාලි එන්. ලියනගේගේ දෙහි, සුවඳ රස හා කටු නවකතාවේ මේ තේමාව සම්බන්ධයෙන් සිංහලෙන් ලියවුණු නවකතාවකි. ඒ නිසා සිංහල භාෂාවෙන් පවා විදේශයන්හි සිට විදේශයන්හි ජීවිතය ගැන කිය වෙන නවකතා ලියවෙන්නට ඉඩ ඇත. 

    පශ්චාත්-ජාතික රාජ්‍යමය ලෝකයක යථාර්ථය පිළිබඳ නවකතා වර්තමාන නවකතා කලාව වෙත මා දකින එක් ප්‍රවණතාවකි.

    

  (2012 වසරේදී ලංකාදීප පුවත්පතට ලියූවකි)

No comments:

Post a Comment