Wednesday, May 26, 2021

ශාස්ත්‍ර පීඨවල නිදහස් කලා අධ්‍යාපනයෙහි "ප්‍රයෝජන" සමහරක් - ලියනගේ අමරකීර්ති



  (පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙහි ප්‍රථම වසර සිසුන් ඉලක්ක කර පැවැත්වෙන මෙම දේශන මාලාවක එන මාතෘකා ඇසුරින් සැකසෙන මෙම කෙටි ලිපි මගේ බ්ලොග් අඩවියෙහි බෙදා ගැනෙන්නේ මේ දිනවල ශාස්ත්‍ර පීඨ අධ්‍යාපනය ගැන සංවාදයක් ඇති වී තිබෙන බැවිනි. මේ කොටස ඒ ලිපි මාලාවේ තුන් සිව්වැන්නය.)

,"The only person who is educated is the one who has learned how to learn and change. Carl Rogers (Humanistic Psychologist and Nobel Peace Prize Nominee)

මේ ලිපි මාලාවේදී අප නිදහස් කලා යනුවෙන් අදහස් කරන්නේ හුදෙක්  ලංකාවේ ශාස්ත්‍ර පීඨවල ඉගැන්වෙන මානව ශාස්ත්‍ර සහ සමාජයීය විද්‍යා විෂයයන් පමණක් නොවේ. මූලික ස්වභාවික විද්‍යා විෂයයන් සහ ගණිතය වැනි දේද ලෝකයෙහි නිදහස් කලා පාඨමාලාවලට ඇතුළත් වේ. එහෙත් අප රට ශාස්ත්‍ර පීඨවල ඉගැන්වෙන විෂයවලින් විශාල ප්‍රමාණයක් නිදහස් කලා යනුවෙන් හැඳින්වෙන විෂය ධාරාවට අයත් වේ. ඒ නිසා මෙහි සාකච්ඡා කෙරෙන අධ්‍යාපනය වූකලි අප රට විශ්වවිද්‍යාලවල ශාස්ත්‍ර පීඨවලින් ලැබෙන අධ්‍යාපනය යැයි සැලකීම වරදක් නැත. කලින් ලිපි කිහිපයක අපි මේ ගැන සාකච්ඡා කළෙමු. 

අධ්‍යාපනය පිළිබඳ කෙරී ඇති පර්යේෂණ පදනම්ව කලා උපාධි පාඨමාලාවකින් අපේක්ෂිත ප්‍රතිලාභ මෙසේ අංකනය කළ හැකිය.

1. ඔබගේ පෞද්ගලික රුචිය සහ උනන්දුව පෘථුල කර ඔබගේ සමාජමය ආත්ම විශ්වාසය වැඩි කිරීම

   හොඳින් සැකසුණු සේම හොඳින් උගන්වනු ලබන කලා උපාධි පාඨමාලාවකින් විශාල කලාපයක විසිරුණු දැනුමක් ලැබේ. එසේම දේවල් දෙස බැලීමට පෘථුල පර්යාලෝක සහ දෘෂ්ටිකෝණද ලැබේ. මේ නිසා පෞද්ගලිකව ඔබ උනන්දුව දක්වන ක්ෂේත්‍රවල පෘථුල වීමක්ද, ඔබට මානසික උත්තේජනය සපයන මූලාශ්‍රවල පදනම පෘථුල වීමක්ද සිදුවේ.

  මේ අධ්‍යාපන ඉලක්කයට දිග ඉතිහාසයක් ඇත. අධ්‍යාපනයෙහි අරමුණ එක තනි පටු ක්ෂේත්‍රයක දැනුමක් ලබා ගැනීම එක තනි දෘෂ්ටිකෝණයකින් ලෝකය බැලීම නොවේ. එසේම මනුෂ්‍ය මනස නිරන්තරයෙන් උත්තේජනය කර තැබීම පහසු නැත. ජීවිතයේ විවිධ අඩවි ගැන පළල් උනන්දුවක් ඇති කිරීමට මානව ශාස්ත්‍ර සහ සමාජයීය විද්‍යා විෂය ධාරා මගින් තැත් දැරෙන්නේ එහෙයිනි. 

එසේ පළල් විෂය ක්ෂේත්‍රයක පැතිරුණු දැනුමක්ද විශාල කලාපයක විසිරුණු දේවල් ගැන උනන්දුවක්ද ඇති විට කෙනෙකුගේ සමාජමය ආත්ම විශ්වාසය වැඩිවේ යැයි සැලකේ. වියතුන් සභා මැද පැකිලී පසුබා නොයාම උගතෙකුගේ ගුණයක් සේ අපේ සාහිත්‍යයේද නිතර විස්තර කෙරේ. 

එවන් සමාජමය ආත්ම විශ්වාසයක් ඇති විට ඔබට බහුවිධ අධ්‍යාපනික, පෞද්ගලික සහ වෘත්තීය රුචි අරුචිකම් ඇති විවිධ ස්වරූපයේ මනුෂ්‍යයන් සමග පහසුවෙන් සම්බන්ධ වීමේ හැකියාව අත්පත් කර ගත හැකිය.

මෙවන් ආකාරයක පළල් කලාපයක විසිරුණු විෂය මාලාවක් උගනිමින්, පෘථුල ආකාරයේ දෘෂ්ටිකෝණ වර්ධනය කරගන්නා ශිෂ්‍යශිෂ්‍යාවන් තුළ ඉහළ මට්ටමේ ආත්ම අභිමානයක් සහ සමාජමය ආත්ම විශ්වාසයක් ඇති වන බව පර්යේෂකයන් සොයාගෙන ඇත.

2. වඩා ඵලදායක ලෙස සහ කාර්යක්ෂම ලෙස ඉගෙනීමේ ධාරිතාව වර්ධනය වීම

   මනුෂ්‍යයන් දේවල් උගන්නා ආකාරය ගැන ඉතා සිත්ගන්නා ස්නායු විද්‍යාත්මක පර්යේෂණ මත පදනම්ව මෙම කරුණ සාකච්ඡා කෙරේ. 

  ඉගෙනීම හොඳින් සිදුවන්නේ අප දැනටමත් දන්නා දේවල් හෙවත් අපේ මොළයෙහි දැනටමත් තැන්පත්ව ඇති දේවල් සමග අලුතින් ඉගෙනගන්නට තැත් කරන දේ ස්නායු විද්‍යාත්මක වශයෙන් සම්බන්ධ වන විටය. අපේ මොළයෙහි දැනටමත් ගබඩා කරගෙන ඇති සම්බන්ධතාවල ප්‍රමාණය සහ විවිධත්වය වැඩි නම් ඒවා අලුත් දේවල් සමග සම්බන්ධ කිරීම පහසුය. මෙය විශ්වවිද්‍යාලයට ප්‍රවේශ වනතුරු අධ්‍යාපනය ලබා ඇති ඔබ හොඳින් දන්නා දෙයකි. “මනමේ කුමාරියටත්, ඇනා කැරනිනාටත්, එමා බොවාරිටත් තිබුණේ මූලික වශයෙන් එකම ප්‍රශ්නයක්. ඒ තමයි පුරුෂාධිපත්‍යයෙන් යුතු විවාහයක් තුළ ස්ත්‍රියගේ ස්ථානය පිළිබඳ ප්‍රශ්නය.” මා මෙසේ කීවේ යැයි සිතන්න. එය වටහා ගැනීම සඳහා මනමෙ නාට්‍යය, ඇනා කැරනිනා සහ එමා බොවාරි යන නවකතා දෙක දැක කියවා තිබීම අවශ්‍ය බව අපි දනිමු. මනමෙ නාට්‍යය ගැන දැනට දන්නා නමුත් අර නවකතා දෙක නොකියවා ඇති කෙනෙකුට මේ සබඳතාව ගොඩ නගා ගැනීම අපහුසය. මනමෙ ගැන අප තුළ ඇති මතකය (හෝ ස්නායුවිද්‍යාත්මක දත්ත) අර නවකතා දෙක අලුතින් ඉගෙනීම පහසු කරයි. 

   ඉගෙනීම හැඳින්වෙන "learning" යන වචනය එන්නේ "lira" යන ලතින් වචනයෙනි. එහි අර්ථය රේඛාව, ඉරි ඇඳීම, නගුල් තලයකින් පොළොවෙහි ඉරක් ඇඳීම වැන්නකි. එනම් ඉගෙනීම යනු අපේ මොළයෙහි එක්තරා ආකාරයකින් ස්නායුමය ඉරක් ඇඳීම වැන්නකි. එසේ ඇඳි ස්නායු ඉරි වැඩි වන තරමට අලුතින් උගන්නා ඒ හෑරුණු ඉරිවලට පටලා සම්බන්ධ කිරීම පහසුය. 

    මානව ශාස්ත්‍ර සහ සමාජයීය විද්‍යා අධ්‍යාපනය මගින් අපගේ මොළයෙහි ඇති අර වැනි ස්නායු විද්‍යාත්මක ජාල පද්ධතිය හෙවත් රේඛා පද්ධතිය පෘථුල කිරීමක් සහ බහුවිධ කිරීමක් සිදු වේ. ශාස්ත්‍ර පීඨයේ නියම ලෙස අධ්‍යාපනය ලබන්නේ නම් පළල් කියවීම අවශ්‍ය වන්නේ එමනිසාය. එමගින් අලුත් අදහස් සමග සම්බන්ධ වීමේ මාර්ග වැඩි කරනු ලැබේ. එවැනි දැනුම පිළිබඳ ස්නායු විද්‍යාත්මක වශයෙන් පළල් පදනමක් අප අභ්‍යන්තරයෙහි ඇති කර ගැනීම නිසා ඔබ තුළ දැනටමත් පවත්නා දැනුම වෙනත් සන්දර්භ වෙත මාරු කිරීමට පහසු කරයි. 


3. බහුවිධ පර්යාලෝක තුළින් විචාරාත්මකව චින්තනයෙහි යෙදීම 


ලෝකයෙහි ඇති ඉතාම වැදගත්, කාලීන, බරපතල ගැටලු හෝ අභියෝග එක තනි විෂයකදී මුණ ගැහෙන්නේ නැත. මා උගන්වන සාහිත්‍ය පාඨමාලාවලදී නූතන සාහිත්‍යයට අදාළ ගැටලු හා අභියෝග සමහරක් මුණ ගැසුණද වඩා කාලීන ගැටලු වන පාරිසරික ප්‍රශ්න, ගෝලීය ආර්ථික අසමානතාව, ආදී බොහෝ වැදගත් ප්‍රශ්න හුදෙක් සාහිත්‍ය පාඨමාලාවකදී මුණ නොගැසේ. අද ලෝකයේ තීරණාත්මක වශයෙන් වැදගත් වන්නා වූ බොහෝ ප්‍රශ්න මුණ ගැසෙන්නේ බහුවිධ විෂයධාරා අතර ගැඹුරු අන්තර්ක්‍රියා සිදුවන තැන්වලදීය. එහිලා අන්තර් විෂයීය සම්බන්ධතා අවශ්‍ය වේ. පෞද්ගලික නිදර්ශනයක් මෙසේය. මම පරිසරවාදී සාහිත්‍ය න්‍යාය සහ විචාරය ගැන දේශන මාලාවක් උගන්වමි. එහිදී මට සාහිත්‍යය, පරිසරවාදය, නූතනත්වය, නූතනවාදී සංවර්ධනය ආදිය මුණ ගැසේ. ශාස්ත්‍ර පීඨයේ අධ්‍යාපනය ඉහළ මට්ටමින් සිදුවන අවස්ථාවල මෙවන් විෂයාන්තර තේමාත්මක සම්බන්ධතා ගොඩ නැගේ. එහිලා ලෝකයේ පවත්නා එවන් කතිකා ගැන අවබෝධයක් ඇති ගුරුවරුන්ද, ඒවා අධ්‍යයනයට අවශ්‍ය පහසුකම්ද එවැනි දේ ගැන කුතූහලයෙන් යුතු ශිෂ්‍යයන්ද සිටිය යුතු බව වෙනම කතාවකි.

  අපි පාරිසරික වෙනස්වීම පිළිබඳ ප්‍රශ්නය ගනිමු. ඒ තේමාව හොඳින් හැදෑරීමට අඩු තරමින් පහත සඳහන් විෂය පර්යාලෝක අවශ්‍ය වේ:

පරිසරවිද්‍යාව- 

මනුෂ්‍යයන් පරිසරය සමග අන්තර්ක්‍රියා කරන්නේ සහ පරිසරය ආරක්ෂා කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීම

භෞතික විද්‍යාව- 

විකල්ප බලශක්ති ප්‍රභව පිළිබඳ අවබෝධය ලබා ගැනීම

ආර්ථික විද්‍යාව- 

විකල්ප බලශක්ති ප්‍රභව වෙත මාරුවීමෙන් කර්මාන්තවලට සිදු වන වියදම් අවම කරගන්නා ආකාරය ගැන අවබෝධය

දේශපාලන විද්‍යාව- 

පොසිල ඉන්ධන අධික ලෙස භාවිත කරන කර්මාන්ත සම්බන්ධයෙන් නීති රෙගුලාසි සම්පාදනය

ජාත්‍යන්තර සම්බන්ධතා- 

ලෝකයේ විවිධ රටවල් පරිසර ප්‍රශ්නයට දායක වන ආකාරය පිළිබඳ අවබෝධ සහ සම්මුති ඇති කර ගැනීම

ඉතිහාසය- 

 පරිසරය සහ මිනිසා අතර සම්බන්ධයෙහි ඓතිහාසික විකාශනය තේරුම් ගැනීම

ආගමික අධ්‍යයනය-

 විවිධ ආගමික සම්ප්‍රදායයන් තුළ පරිසරය පිළිබඳ ගොඩ නැගී ඇති දැනුම් තුලනාත්මකව වටහා ගැනීම.


මෙම විෂය ලැයිස්තුව තව දිගය. මෙවන් විෂයාන්තර ප්‍රවේශයකින් ලෝකයෙහි සහ යුගයෙහි ප්‍රධාන ප්‍රශ්න දැකීමට එළිය ලබා දීම ශාස්ත්‍ර පීඨයෙහි අධ්‍යාපනයෙහි කාර්යයි. ඉහත ලැයිස්තුව නැවත බලන්න. එහි එන භෞතික විද්‍යාව නම් විෂය අපේ ශාස්ත්‍ර පීඨවල උගන්වන්නේ නැත. එය බලවත් පාඩුවකි. එවන් විෂයන් පිළිබඳ මූලික හැඳින්වීමක් ශාස්ත්‍ර පීඨවලින්ම සැපයීමට නම් අප මෙතෙක් දේශනවල කතා කළ නිදහස් කලා සම්ප්‍රදායෙන් එළිය ලැබිය යුතුය. ඒ ගැන තවත් දේශනයකදී කතා කරමු.




3. නිර්මාණශීලී ලෙස සිතීම


   නිර්මාණශීලීත්වය සාමාන්‍යයෙන්ම පැන නගින්නේ හුදෙක් තනි විෂයක සීමාවෙන්ද, තනි පර්යාලෝකයක සීමාවෙන්ද, තනි විෂයකට පමණක් සීමා වූ කුසලතාවලින්ද එපිටට විහිදුණු දැනුම් පදනමක් තුළිනි. අතිශයින්ම නිර්මාණශීලි පුද්ගලයන් පිළිබඳ කෙරී ඇති පර්යේෂණවලින් මෙවැන්නක් හෙළි වී තිබේ: ඔවුහු හුදෙක් තනි විෂයකට සීමා නොවූ දැනුමද උනන්දුවද ඇත්තෝ වෙති. එමගින් ඔවුන්ට බහුවිධ විෂය ක්ෂේත්‍ර වෙතින් අදහස් උරා ගැනීමේ හැකියාව ඇත. ලෝකයේ සිටි සහ සිටින විශිෂ්ටතම සාහිත්‍යකරුවන් බොහෝ දෙනෙකුගේ නිර්මාණ කියවා ඇති මම මේ කාරණය ඇත්තක් බව දනිමි. ඉතා හොඳින් ශාස්ත්‍ර පීඨ අධ්‍යාපනය සිදුවන්නේ නම් එය නිර්මාණශීලිත්වයට දිරි දිය යුතුය. මාර්ටින් වික්‍රමසිංහ වැනි අතිශය නිර්මාණශීලී කෙනෙකු විශ්වවිද්‍යාලයෙහි උපකාරයෙන් තොරව බිහි වූයේ කෙසේදැයි කෙනෙකු අසන්නට පුළුවන. ඔහුගේ උපන්දා සිට නම් චරිතාපදානය කියවන්න. අටේ පන්තියට පමණක් උගත් ඔහු මා මෙහි පැහැදිලි කරන අන්දමේ අධ්‍යාපනයක් තමාම නිර්මාණය කරගත්තේය. ඔහු සාහිත්‍ය, විද්‍යාව, මානව විද්‍යාව, මනෝ විද්‍යාව, දර්ශනය ආදී විෂයාන්තර පොත පත කියවූයේය. හොඳින් ඉංග්‍රීසි බස දැන සිටීම ඔහුට විශාල උපකාරයක් විය. ඔහුට නොතිබුණු පහසුකම් ඇති, නිර්මාණශීලිත්වයට තුඩු දෙන්නේ යැයි කියන විශ්වවිද්‍යාලය ඔහු වැන්නවුන් අඩුවෙන් බිහි කරන්නේ ඇයි? මෙය ඔබද ඇසිය යුතු ප්‍රශ්නයකි.

4. වෘත්තීය විකල්ප ගවේෂණය සහ තෝරා ගැනීම


මෙම කාරණය ගැන මා කතා කරන්නේ ඉතා කෙටියෙනි. ශාස්ත්‍ර පීඨයේදී විවිධාකාර විෂය ක්ෂේත්‍රවලට ඔබ අනාවරණය වන නිසා බහුවිධ වෘත්තීය ගමන්පථ ගැන අදහසක් ඔබට වර්ධනය කරගත හැකිය යන්න මෙහි අදහසයි. රුචිය, දක්ෂතා, වටිනාකම් (ජීවිතයට වැදගත් යැයි ඔබ සිතන දේවල්) මේ තෝරාගැනීමේදී තීරණාත්මක වේ. මෙය න්‍යායිකව ඇත්තක් වුවද අපේ රටේ ඇති ආර්ථික තත්ත්වය අනුව ඔබ බොහෝ දෙනෙකු පාසල් ගුරුවරුන් වීමට මිස වෙනත් වෘත්තීය විකල්ප ගැන නොසිතන බව මම දනිමි. එය අප රට ආර්ථිකයේ මෙන්ම සමාජ පද්ධතියේද ස්වභාවයකි. 

එහෙත් වෘත්තීය තෝරා ගැනීම වැටුප හෝ ආර්ථික තත්ත්වය ගැන පමණක් සිතා ගැනීම අනුවණකමකි.

වෘත්තිය යන්නට වොකේෂන් යැයි ඉංග්‍රීසියෙන් කියයි. එහි මූලය ඇත්තේ ලතින් බසෙහිය. වොකේෂියෝ යැයි ලතින් බසින් හැඳින්වෙන්නේ “කැඳවීම” වැනි අර්ථයකි. එහි අදහස මෙවැන්නකි: ඔබගේ වෘත්තිය ඔබගේ සැබෑ දක්ෂතා, රුචිය සහ වටිනාකම්වලට ආමන්ත්‍රණය කර ඒවා කැඳවිය යුතුය. 

රක්ෂාව සහ රැකියාව යන දේවල් අපගේ අධ්‍යාපනයෙහි ප්‍රධාන අරමුණකි. රක්ෂාවීම යනුවෙන් වැටුපක් ගෙන බඩ වියත රැකගැනීමට වඩා දෙයක් අදහස් විය යුතුය. අපගේ රක්ෂාව අපගේ දක්ෂතා, අප ඇත්තටම කරන්නට කැමති දේ, සහ අප අගයකොට සලකන වටිනාකම්ද ආරක්ෂා කරන්නේ නම් වඩා හොඳය.



5. ඔබගේ වෘත්තීය ගමනෙහි සාර්ථකත්වයට දායක වීම

   ශාස්ත්‍ර පීඨ අධ්‍යාපනයෙන් ලැබිය යුතු ප්‍රයෝගික ඵලද අපමණ තිබේ. වෘත්තීය ගමනෙහි සාර්ථකත්වයට තුඩු දිය හැකි කුසලතාද ඉන් ලැබේ. විසි එක් වෙනි සියවස වන විට රැකියා වෙළඳපොළෙහි ඉල්ලුම ඇත්තේ මොන මොන ගුණවලටද යන්න ගැන කතාබහක් ඇති වී තිබේ. අපේ අධ්‍යාපනයෙන් ලැබෙන ඇතැම් කුසලතා එහිලා ගැලපෙන ආකාරය විස්තර කෙරෙන අධ්‍යයන ඇත. ශාස්ත්‍ර පීඨවලින් ලැබෙන අධ්‍යාපනය ඉතා හොඳින්ම ලැබෙන විට විසි එක් වෙනි සියවසේ රැකියා වෙළඳපොළට ඊට වඩා සුදුසු අන් අධ්‍යාපනයක් නැත. 

5.1

සමෝධානීය ඉගෙනුම-

               ඉන් අදහස් වන්නේ දැනුම සහ කුසලතා සැබෑ ලෝකය සම්බන්ධයෙන් භාවිත කිරීමේ හැකියාව

5.2. මනුෂ්‍ය සංස්කෘති, භෞතික ලෝකය, ස්වභාවික ලෝකය පිළිබඳ දැනුම

  ඒ දැනුම පහත සඳහන් අංගවලින් සෑදී තිබුව මනාය:

    විද්‍යාව සහ තාක්ෂණයෙහි නව වර්ධන පිළිබඳ දැනුම

    ගෝලීය ගැටලු, ගෝලීය ආර්ථික දේශපාලන ප්‍රවණතා, ඒවාගෙන් අනාගතයට වන බලපෑම


  අප රටෙහි සහ අනෙක් රටවල සංස්කෘතික වටිනාකම් පිළිබඳ තුලනාත්මක අවබෝධය


5.3. බුද්ධිමය සහ ප්‍රායෝගික කුසලතා

       - භාෂණයෙන් සහ ලේඛනයෙන් ඵලදායක ලෙස සන්නිවේදනය කිරීමේ හැකියාව

       - විචාරාත්මක සහ විශ්ලේෂණීය චින්තන කුසලතා

       - බහුවිධ මූලාශ්‍රවලින් තොරතුරු සොයා ගැනීමේ, සංවිධානය කිරීමේ සහ තක්සේරු කිරීමේ හැකියාව

      -  අභිනව ආකාරයෙන් නිර්මාණශීලීව සිතිමේ හැකියාව

      - සංකීර්ණ ගැටලු විසඳීමේ හැකියාව

      - සංඛ්‍යා සමග වැඩ කිරීමේ සංඛ්‍යානමය දත්ත තේරුම් ගැනීමේ හැකියාව

      -

5.4.   පෞද්ගලික සහ සමාජමය වගකීම

      -බහුවිධ කණ්ඩායම් පසුබිම්වල සහයෝගීතාවෙන් වැඩ කිරීමේ හැකියාව.

       -සමුහ ක්‍රියා කුසලතා

       -අවංකභාවය සහ ආචාරධර්ම පිළිබඳ හැඟීම

     

   ඇමරිකා එක්සත් ජනපදයෙහි මිල්වෝකී නගරයෙහි සමාගම් විධායකයෙක් අලුත් තනතුරු සඳහා උපාධිධාරීන් බඳවා ගැනීම ගැන මෙසේ කීවේය:

 “අනික් ඔක්කොම සුදුසුකම්වලට වඩා මම හොයන්නෙ වගකීම් ගන්න පුළුවන්, සාමූහිකව වැඩ කරන්න පුළුවන් අය. රස්සාවට අදාළ තාක්ෂණික දේවල් ටික මම උගන්නන්නම්.” 

 අපට මෙවන් සමාගම් විධායක හමුවන්නේ කලාතුරකිනි.

    

ඉහත කී අන්දමේ දැනුම් සහ කුසලතා ගණනාවක් ඒකාබද්ධ කරනසුලු විෂය මාලාවක් ඔබට අධ්‍යයනය කරන්නට ලැබේ. අපේ පීඨයෙහි නව විෂයමාලා සංස්කරණය ඒ කරුණු විශේෂයෙන් සැලකිල්ලට ගෙන තිබෙනු ඔබට දැකගත හැකිවනු ඇත. මෙවන් කුසලතා බෙහොමයක් වර්ධනයට අවශ්‍ය ඉගෙනුම් පසුබිම කොවිඩ් 19 වසංගතය වෙතින් සොරාගෙන තිබෙන බව ඉතා පැහැදිලිය.


6.  ජීවිතය සඳහා ඉගෙනීම

     රැකියාව යනු ජීවිතයේ එක කොටසක් පමණි. ජීවිතය රැකියාවට වඩා පළල, ගැඹුරු අඩවියකි. එහිලා අවශ්‍ය කරන කුසලතා ගණනාවක් ශාස්ත්‍ර පීඨ අධ්‍යාපනයෙන් ලැබේ. එවන් කුසලතා ගණනාවක් අතරින් ජොස්ෆ් කුසීයෝ සහ ඒරන් තොම්ප්සන් නම් මහාචාර්යවරු දෙදෙනා උපාධි පාඨමාලාවෙන් ජීවිතය වෙත ගෙන යා හැකි ගුණාංග දෙකක් නම් කරති. ඒවා වැදගත් යැයි මටද සිතේ

   1. සුඛනම්‍යතාව- එක තනි වචනයකට සාරාංශ කර ඇති මෙය ජීවිතයෙහි විවිධ අඩවිවලට අදාළ කරගත හැකිය. ශාස්ත්‍ර පීඨයෙන් විවිධ විෂය ඔස්සේ ඔබ ලබන දැනුම නිවැරදිව ඔබගේ විඥානය වෙත උරාගැනෙන්නේ නම් ඔබ තුළ බුද්ධිමය, භාවයමය වශයෙන් ඇති වන සුඛනම්‍යතාව සහ බුහුටි බව ඉතා ප්‍රයෝජනවත් වේ. ආධානග්‍රාහීත්වයෙන් සහ අන්තවාදයෙන් තොරවීමට ඉඩ ලැබීම සුඛනම්‍යතාවෙහි ප්‍රධානම වටිනාකමයි.

   එසේම සුඛනම්‍යතාව තවත් ආකාරයකින් අර්ථකථනය කළ හැකිය. ඒ මෙසේය: ඔබ විශ්වවිද්‍යාලයේදී අත්පත් කරගන්නා කුසලතා බොහොමයක්ද නොයෙක් ආකාරයෙන් වෙනස් කරමින් සුඛනම්‍ය ලෙස භාවිත කළ හැකිය. ඒ නිසා ඒවා විභාගයට පිළිතුරු ලිවීමෙන් පසු අත්හැර දැමෙන දේ නොවිය යුතුය.

  2. කල්පවත්නාසුලුබව. අර කී මහාචාර්යවරු දෙදෙනා මේ වචනයෙන් අදහස් කරන්නේ මෙයයි. ශාස්ත්‍ර පීඨයේදී ඔබ ලබන බොහෝ කුසලතා ජීවිතයේ විවිධ අවස්ථාවලදී නැවත නැවත භාවිත කළ හැකි දේය. ඒවා උපාධි සහතිකයෙන් අවසන් නොවේ. 

   මහාචාර්ය ජෝසෆ් කූසියෝ මෙසේ කියයි:

 “මම ප්‍රථම උපාධියට ඉගෙනගත් මනෝ විද්‍යා සහ සමාජ විද්‍යා පාඨමාලාවලින් ලත් දැනුම ජීවිතයේ පසු කලෙක මගේ පුතාගේ වර්ධනය තේරුම් ගැනීමටත්,  ඔහුගේ ජීවිතයේ විවිධ අවස්ථාවල ඔහුට උපකාර කිරීමටත් මට උදව් විය. ”

   

      වැඩිදුර කියවීම්

J. Willis (2006) Research-based Strategies to Ignite Student Learning: Insights from a Neurologist and Classroom Teacher

R. Harris(2001). On the Purpose of a Liberal Arts Education.

J.M. Baer(1993). Creativity and Divergent Thinking.

Hart Research Associates(2013) It takes a more than a major: Employer priorities for college learning and student success.

E.T. Pascerella and P.T. Terenzini(1991) How college affect students: A third decade research.


1 comment:

  1. These ideas are so generative. What an innovation to give such a rich lecture to first year undergraduates! Liyanage Amerasirthi.

    ReplyDelete