(මෙම ලිපියෙහි අධිනීතිඥ ලාල් විජේනායක මහතා මතු කරන ප්‍රශ්නය ඉතා වැදගත්ය. බොහෝ ජනප්‍රිය රූපවාහිනී වැඩසටහන්වල මව්පියන් රැකබලා ගැනීම ආදිය ගැන නිවේදක නිවේදිකාවන්ද ඇතැම් ආරාධිතයන්ද කරන කතාබහා ඉතා ඕලාරිකය. අනවශ්‍ය තරම් හැඟීම් බරය. වැඩිහිටියන්ට රැකවරණය නැති සමාජයක් බිහිවීම සම්බන්ධයෙන් ඒ ටෙලි කතාබහ සංකල්පමය වශයෙන් බෙහෙවින් දුප්පත්ය. මේ දිනවල පුවත්පත් මුද්‍රණය නොවන නිසා විජේනායක මහතාගේ මෙම ලිපිය මගේ බ්ලොග්අඩවියෙන් බෙදාගන්නට සිතුවෙමි.)
"මව අගය කරමු” යන තේමාව යටතේ ජාතික රූපවාහිනියේ පැවති "සිහිනයකි රෑ” වැඩ සටහන බලා සිටි මට මෙම ලිපිය ලිවීමට සිත් විය. සමාජයේ කුමන තරාතිරමක වුවද තම මවට ආදරය නොකරන” මව අගය නොකරන අයෙකු සොයා ගැනීම විරලය. මව යනු ඕනෑම අයෙකුගේ ජීවිතයේ සමීපතම තැනැත්තිය වේ.
මවකගේ දරු සෙනෙහස ඉක්මවා යන වෙනත් සෙනෙහසක් අප මෙලොව දැක නැත. පිය සෙනෙහස බැලූබැල්මට නොපෙනෙන නමුත් මවගේ සෙනෙහසට නොදෙවෙනි සෙනෙහසක් බව කිව මනා නොවේ. මේ නිසාම දෙමවුපියන් දරුවන් රැක බලා ගැනීමද පසුකලෙක වැඩිහිටි වියේදී දරුවන් විසින් දෙමවුපියන් විශේෂයෙන්ම මව රැක බලා ගැනීමද අපේක්‍ෂා කෙරේ.
වැඩිහිටියන්ට සාමාජික රැකවරණය
කෘෂිකාර්මික ආර්ථිකයක් පැවති සමාජය තුළ මේ ආකාරයෙන් දෙමවුපියන් රැක බලා ගැනීම දරුවන්ට එතරම් අපහසු කර්තව්‍යයක් නොවීය. කෘෂි ආර්ථිකයේ පැවති අතිරික්ත ශ්‍රමය එම කාර්යය සඳහා යොදා ගැනීම එතරම් ප්‍රශ්නයක් වූයේ නැත. අද මතු වී ඇති දැඩි විවේචනය නම් (මෙම වැඩසටහනේ ප්‍රධාන කථිකාව) අද සමාජය තුළ දෙමවුපියන් රැක බලා ගැනීම කෙරෙහි තමන් වෙත පැවරී ඇති වගකීම ඉටු නොකිරීමය. මතුපිටින් බැලූ බැල්මට එම විවේචනයට පදනමක් ඇත. මෙම විවේචනය විශේෂයෙන් අදාළ වන්නේ පහළ මධ්‍යම පන්තිය හා පීඩිත පන්තියට අයත් සමාජ ස්ථරවලටය. ප්‍රශ්නය වී ඇත්තේ මෙම සංකීර්ණ ප්‍රශ්නය දෙස මතුපිටින් බැලීමය. අප සමාජයේ මෙන්ම සමාජ ස්ථර විකාශනයක් ඇති වූ” කෘෂිකාර්මික ආර්ථිකයෙන් වර්තමාන වාණිජමය සමාජයකට පරිවර්තනය වූ අනෙකුත් රටවල් තුළද දෙමවුපියන්ගේ දරු සෙනෙහස මෙන්ම දරුවන්ගේ විශේෂයෙන්ම මව කෙරෙහි ඇති සෙනෙහස ද අඩු වී නොමැත.
මෙම සංකීර්ණ මනුෂ්‍ය සම්බන්ධතා ප්‍රකාශ කරන ස්වරූපය වෙනස් වීමක් අනිවාර්යයෙන්ම මෙම සමාජ ආර්ථික පරිවර්තනය සමග ඇති වූනමුත් විශේෂයෙන්ම මව කෙරෙහි ඇති සෙනෙහස වෙනස් වී ඇතැයි පිළිගත නොහැක. මනුෂ්‍ය වර්ගයාගේ විකාශනයේදී ගොඩ නැගුනුමවු සෙනෙහස හා දරු සෙනෙහස ඇට මස් නහර තුලට කා වැදී ඇති සෙනෙහසකි. අද වර්තමාන සමාජයේ දරුවන් දෙමවුපියන් රැක බලා නොගනී යන චෝදනාව අප ගැඹුරින් විග්‍රහ කළ යුතුය. දරුවන් දෙමවුපියන් ගෙය තුළ වසාදමා රැකියාවට යෑම” ඉතා ඛේදනීය අන්දමට දෙමාපියන් මහමග දමා යෑම වැනි සිද්ධීන් වාර්තා වී ඇත. මේවා අප කම්පනය කරවන සිද්ධීන් වේ. මෙවැනි චෝදනා වැඩි වශයෙන්ම එල්ල වන්නේ පහළ මධ්‍යම පන්තිය වෙත බව පෙනී යයි.
කුමන ප්‍රශ්නයක් වුවද තේරුම් ගැනීම සඳහා එම ප්‍රශ්නය පිළිබඳ ගැඹුරට සලකා බැලිය යුතුය. අප පුරුදුව ඇති තර්ක ක්‍රමය අනුව එම ප්‍රශ්නයට හේතුවක් ඇත. එම ප්‍රශ්නය විසඳිය හැක. එම ප්‍රශ්නය විසඳීමට මාර්ගයක් ඇත යන තර්ක ක්‍රමය භාවිතා කර එම ප්‍රශ්නය දෙස බැලිය හැක. ප්‍රශ්නය පැහැදිලි හෙයින් මෙයට හේතුව සොයා බැලිය යුතුව ඇත. අද පහළ මධ්‍යම පාන්තික පවුලක් ගැන සලකා බැලුවහොත් අද ඔවුන්ට ජීවත්වීම සඳහා විශාල අරගලයකට මැදිහත් වීමට සිදුව ඇත. ස්වාමියා සහ බිරිඳ දෙදෙනාම යම්
ආදායමක් උපයන මාර්ගයකට පිවිසීම අවශ්‍ය වී ඇත. රජයේ සේවකයෙකු ගැන සළකා බැලුවද සාමාන්‍ය කම්කරුවෙකු දෙස බැලුවද එය සත්‍යයකි.අඹු සැමි දෙදෙනාම රැකියාවක් නොකොට තම දරුවන් හදා වඩා ගත නොහැක. අද නිදහස් අධ්‍යාපනය නාමිකව ඇති නමුත් දරුවෙකු සඳහා මොන තරම් විශාල මුදලක් වියදම් කිරීමට සිදුවී ඇත‘ද යන්න නොරහසකි’ දරුවන් පාසල් යවා දෙමවුපියන් රැකියාවට යෑමේදී දිනයආරම්භයේදීම කොපමණ වෙහෙසක් දැරීමට සිදුවන්නේදැයි අප දනිමු. අද සමාජයේ කාන්තාව” විශේෂයෙන්මපහළ මධ්‍යම පන්තියේ කාන්තාව තමන් නොදැනුවත්වම දැඩි පීඩනයකට ලක්වේ’ මෙවැනි පරිසරයක් තුළ දෙමවුපියන්ට තම රැකවරණය සලසාදීම පහසු කාර්යයක් නොවේ’ මධ්‍යම පන්තිය හා ඉහළ පන්තිවල පිරිස් ගෘහ සේවකයින් යොදා මෙවැනි ප්‍රශ්නවලට මුහුණ දෙන බව අප දැක ඇත්තෙමු. පහළ මධ්‍යම පන්තියට හා පීඩිත පන්තියට එවැන්නක් සිතියවත් නොහැක.
එහෙයින් මෙම ප්‍රශ්නයට හේතුව පැහැදිළිය. අද තම දෙමවුපියන් කෙරෙහි හා අනෙකුත් සමීප ඥාතීන් කෙරෙහි තම යුතුකම් ඉටු කිරීමට සමාජ ආර්ථික විපර්යාස තුළින් ඔවුනට අවකාශය අහිමි කර ඇත. අප විශ්ව විද්‍යාලයේ සිටි අවධියේ ලංකාවේ සුප්‍රකට ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු වූ මහාචාර්ය සී සී ද සිල්වා සෝවියට් දේශයේ ආරාධනයක් පිට මාස 3ක සංචාරයකින් පසුව පැමිණි අවස්ථාවේ ”මා දුටු සෝවියට් දේශය” යන මාතෘකාව යටතේ දේශනයකට ආරාධනා කළෙමු. එම වකවානුවේ සෝවියට් දේශය අද තරම්
විවෘත නොවූ හෙයින් එය වැදගත් මාතෘකාවක් විය. දේශනයෙන් පසුව ඔහුට ඉදිරිපත් කළ පළවන ප්‍රශ්නය වූයේ "ඔබ සෝවියට් දේශය තුළ වරප්‍රසාද ලත් පංතියක් දුටුවේද” යන්නයි’ මහාචාර්යවරයාගේ උත්තරය වූයේ "ඔවු වරප්‍රසාදලත් පංති දෙකක් මා දුටුවා" ඒවානම් දරුවන් සහ වැඩිහිටියන්” යන්නය. මහාචාර්යතුමා ප්‍රසිද්ධ ක්‍රිස්තියානි භක්තිකයෙකූ මෙන්ම කිසිම ආකාරයෙන් සෝවියට් දේශයේ දේශපාලනයට සම්බන්ධයක් පැවති අයෙකු නොවීය.
එයින් පෙනී ගියේ එම රටවල් තුල ගොඩනගා ඇති සමාජ ආර්ථික ක්‍රමය තුල සෑම දුබල කොටසකටම රාජ්‍ය අනුග්‍රහය යටතේ ආරක්‍ෂාව ලැබෙන බවය. එහෙයින් ඇත්ත වශයෙන්ම ආදරය බෙදා ගැනීමට මෙන්ම මනුෂ්‍යවර්ගයාගේ සෙනෙහස පෙන්වීමට අවස්ථාව ඇති බවය. දියුණු දනේෂ්වර ආර්ථික ක්‍රම ඇති රටවල් ද එම අභියෝගය පිළිගෙන එම රටවල්තුළ සමාජයේ දුබල කොටස්වලට සහන සලසන සුභසාධන සමාජයක් ගොඩනගන්නට විය. ඒ අනුව අද එම ධනේශ්වර රටවල්වලද දරුවන් හා වැඩිහිටියන් රැකබලා ගන්නා ක්‍රමවේද ඇති කොට ඇත.එහෙයින් බොහෝදුරට ආර්ථික බරින් මිදී මනුෂ්‍යවර්ගයාට තම සෙනෙහස පෙන්විය හැකි සමාජයක් ගොඩ නැගීම ප්‍රශ්නයට විසඳුම වේ.
අප රට වැනි අර්ධ ගෝත්‍රික ආර්ථික වශයෙන් දුබල රටවල්වල සමාජය තුල ප්‍රමුඛතා පිළිබඳව විශාල ගැටලුවක් පවතී. නෙඵ’ම් කුලුණු” විශාල සම්මන්ත්‍රණ ශාලා” විශාල ක්‍රීඩා පිටි” නැව් නොයන වරායවල්” අහස්යාත්‍රා නොඑන ගුවන්තොටුපළවල් වැනි ඉදිකිරීම් වෙනුවෙන් විශාල මුදල් ණයට ගෙන වැය කර ඇති නමුත් ජනතාවට ඇත්ත වශයෙන් මනුෂ්‍ය අගයන් ගරුකරමින් ජීවත්විය හැකි සමාජයක් ගොඩ නැගීමට අපොහොසත් වී ඇත.
අර්ධ වහල්භාවය සමාජය වෙලාගෙන ඇත’ එහෙයින් අප සමාජයේ වෙසෙන අති බහුතරයකට තම මානවදයාව” සෙනෙහස” ආදරය පෙන්වීමට ඇති අවකාශය අහිමිකර ඇත.
ලෝකයේ උතුම්ම රටයැයි අපම කියා ගන්නා අප රටේ අවුරුදු දෙසීයකට වැඩි කාලයක් අර්ධ වහලුන් ලෙස සේවය කරමින් මෑතක් වනතුරු රටේ ප්‍රධාන විදේශ විනිමය උපයන මාර්ගයක් ලෙස පවත්වාගෙන යන වතුකරයේ ද්‍රවිඩ කම්කරු ජනතාවගේ තත්වය දෙස බැලීමේදී අපගේ වංචා සහගත කරුණාව ප්‍රදර්ශනය වේ.
දැනටද තේ කර්මාන්තයෙන් ලැබෙන ආදායම රටේ 3 වන විදේශ විනිමය උපයන ප්‍රධාන මාර්ගය වේ. මෙම කම්කරුවන්ට අප අවුරුදු 40ක් වැනි කාලයක් පුරවැසිභාවය අහිමිකර” ඡන්ද බලයද අහිමිකර තිබිණ. තවමත් ලයිම් කාමර තුළ කිසිදු පුද්ගලිකත්වයක් නොමැතිව අතැම්විට පරම්පරා දෙක තුනක් වාසය කරති. මෙවැනි තත්වයක් තුළ දරු සෙනෙහස හා මවුපිය සෙනෙහස දැක්විය හැකිද?
එහෙයින් මෙම මතු කළ ප්‍රශ්නයට පිළිතුර පැහැදිලිවම මානව දයාව සෙනෙහස ආදරය පෙන්විය හැකි සමාජයක් ගොඩනැගිය හැකි සමාජ ආර්ථික ක්‍රමයක් ගොඩ නැගීමය. මෙය කළහැක්කේ රට තුළ ආණ්ඩුව මගින් සුභසාධන සමාජයක් ගොඩ නැගීම මගින්ය. එම ප්‍රධාන කාරණය අමතක කර පහළ පන්තිවල ජනතාවට අවලාද කිරීම සැබෑ ප්‍රශ්නය වසන් කිරීමකි.
No comments:
Post a Comment