Monday, July 19, 2021

ඇතැම් පරිවර්තන කියවන පාඨකයාට අහිමි වන සම්පත් - ලියනගේ අමරකීර්ති

 






  තුලනාත්මක සාහිත්‍ය ගුරුවරයෙකු ලෙස නිතරම පරිවර්තිත සාහිත්‍ය ගැනද ඇස ගසාගෙන සිටීමට සිදුවේ. එම විෂය පිළිබඳ මගේ එක් පාඨමාලාවකදී නවකතා සහ ඒවා ඇසුරින් නිපදවුණු සිනමා කෘති හදාරන්නට ශිෂ්‍යයෝ යොමු කෙරෙති. ඒ නිසා දැනට සිනමා කෘති බවට පත් වී ඇති නවකතා සිංහලට නැගෙන විට ඒවා කියවන්නට ශිෂ්‍ය ශිෂ්‍යයාවන් යොමු කිරීම මගේ සිරිතකි. මගේ සාමාන්‍ය ශිෂ්‍ය නියැදිය සාමාන්‍යයෙන් කියවන්නේ සිංහල බසින් පමණක් බැවිනි.

හාපර් ලීගේ ටු කිල් අ මොකිංබර්ඩ් සිනමා කෘතිය සහ නවකතාව හැදෑරීමට තවත් හේතු තිබේ. වර්ණභේදවාදය ප්‍රධාන හේතුවකි. ජාතිවාදයට කුඩා දරුවන් හසු වන ආකාරයත්, දරුවන් ඊට හසු නොවී සිටින ආකාරයත් ඒ නවතතාව ඇසුරින් සාකච්ඡා කළ හැකිය. එමෙන්ම කොලුකම් සහිත දැරියන් හෙවත් ටොම් බෝයිලා ඇසුරින් සම්මත ස්ත්‍රී-පුරුෂ සමාජභාවයේ ගැටලුද ඒ නවකතාව ඇසුරින් සාකච්ඡා කළ හැකිය.

එසේම සාහිත්‍ය පරිවර්තනය ආශ්‍රිත අධ්‍යයනද අද වන විට තුලනාත්මක සාහිත්‍යයෙහි කොටසකි. ඒ නිසා ටු කිල් අ මොකිං බර්ඩ් හි සිංහල පරිවර්තනයක් ඇත් නම් එය තුලනාත්මක සාහිත්‍ය ගුරුවරයාට තේමා නිධානයකි.


මේ රචනය ඒ නිධානයෙන් මතු වූ අමතර “සම්පතක්” ගැනයි. නවකතාවේ සෑම පිටුවකම පාහේ ඉතා තීරණාත්මක ස්ථාන අත්හැර පරිවර්තනය කර තිබේ. එසේ කෙරුණද එය සංක්ශිප්ත අනුවර්තනයක් යැයිද අපට කියනු නොලැබේ. 

පරිවර්තකයන්ද පොත් ප්‍රකාශකයන්ද අමනාප කරගන්නට සිදුවෙන මෙවන් ලිපිද ලියන්නට සිදුවීම අපේ වෘත්තියෙහි ඇති මහත්ම කරදරයෙකි.

 අපි ඒ පරිවර්තනයෙහි තැන් කිහිපයක් පරීක්ෂා කරමු.

1. When enough years had gone by to enable us to look back on them, we sometimes discussed the events leading to his accident. (පළමු පරිච්ඡේදය දෙවන ඡේදය) 

  මෙම වැකිය මෙසේ පරිවර්තනය වී ඇත:

ජෙම්ගේ අත බිඳුම ඇති කිරීමට හේතු කාරක යූ සිද්ධි මාලාව දෙස අපි ආපසු හැරී බැලුවෙමු. 


ඉංග්‍රීසි වැකියෙහි එන රිද්මයට අමතරව වැදගත් තොරතුරක්ද අතහැරී තිබේ. එය සම්පූර්ණයෙන්ම පරිවර්තනය වී නම් මෙවැන්නක් විය යුතුය:

“ඔහුගේ අනතුරට මග පෑදූ සිද්ධි ගැන ආපසු හැරී බලන්න අපට හැකියාව ලබා දිය හැකි තරම් කාලයක් ගත වී ගිය පසු අපි සමහර විට ඒ සිද්ධි ගැන සාකච්ඡා කළෙමු.”

  මේ අනතුර යන කතාවේ කථිකාව වන ස්කවුට්ගේ වැඩිමහලු සහෝදරයා වන ජෙම්ගේ වැලමිට බිඳීයාම පිළිබඳ සිද්ධියයි.


2' Being Southerners, it was a source of shame to some members of the family that we had no recorded ancestors on either side of the Battle of Hastings. All we had was Simon Finch, a fur-trapping apothecary from Cornwall whose piety was exceeded only by his stinginess. (පළමු පරිච්ඡේදය තුන් වන ඡේදය)

මෙම වැකි දෙක සිංහල පරිවර්තනයෙහි එන්නේ මෙසේය:

“දකුණේ උපත ලැබූ අපි, අපේ පරම්පරාවේ මුල්ම සාමාජිකයන් ගැන ආවර්ජනය කළේ තරමක ලජ්ජාවකිනි. ඒ මව්පස හෝ පියපස කිසිදු ඥාතියෙකු එකල සිටි වීරයන් අනිවාර්යෙන්ම සභභාගි වූ හේස්ටිංහි සංග්‍රාමයට සහභාගි වූ බවට කිසිදු සාක්ෂියක් සොයා ගැනීමට නොහැකි වූ නිසාය. බොහෝ ඈතට සොයාගෙන ගියත් පරම්පරාවේ වීරයා හැටියට ඉදිරිපත් කිරීමට අපට සොයාගත හැකි වූයේ එකම එක පුද්ගලයෙක් පමණි. ඒ අපේ මී මුත්තා වූ සයිමන් ෆින්ච්ය. දැඩි මසුරෙකු වූ ඔහු ඇපොතිකරිවරයෙකු හැටියට සේවය කළේය.”


    මුල් වැකිවල එන වැදගත් තොරතුරු කිහිපයක් සිංහල පරිවර්තනයෙහි නැත. සයිමන් පිංච් ලොම් පිණිෂ සතුන් දඩයම්( fur-trapping) කළ පුවත අත හැරේ. ඔහු ඇපොතිකරිවරයෙකු වීමට අමතරව මුදල් ඉපයීම පිණිස ඒ දඩයම කළේය යන තොරතුර මේ පවුලේ ඉතිහාසය සම්බන්ධයෙන් ඉතා වැදගත්ය. විවිධ වර්ගයේ සතුන්ට උගුල් අටවා උන් මරා මස්ද ලොම්ද ගැනීම 18 වෙනි සියවසේදී පමණ ඇමරිකාවේ සිදුවූ දෙයකි. 

එසේම හේස්ටිංහි සංග්‍රාමය ගැන මෙම නවකතාවේ කෙලි කථිකාව සඳහන් කරන්නේ උපහාසයෙනි. ඒ වැකිය වැරදියට පරිවර්තනය වන්නේ පමණක් නොව ඒ කවර සංග්‍රාමයක්ද යන්න පිළිබඳ සිංහල පාඨකයාට උපකාර කෙරෙන කිසිදු සටහන් නැත. Battle of Hastings යනු 1066 දී එංගලන්තය සහ ප්‍රංශය අතර පැවති යුද්ධයකියි දළ වශයෙන් සඳහන් කළ හැකිය. ඒ ඓතිහාසික යුද්ධයේදී එංගලන්ත පැත්තෙන් හෝ ප්‍රංශ පැත්තෙන් තමන්ගේ මුතුන් මිත්තන් සම්බන්ධ යැයි කීම ආඩම්බරයට කරුණකි. ඒ දෙරටින්ම ඇමරිකාවට සංක්‍රමණය වූ අය අතර මේ වාගාම්බඩරය තිබී ඇත. 

එවන් තොරතුරු සිංහල පරිවර්තනයට අනවශ්‍ය යැයි තීරණය කෙරුණේ නම් මෙම පොත අනුවර්තනයකියි සඳහන් කිරීම උචිතය.

එසේම ඉහත උපුටා දැක්වූ කොටසෙහි දෙවෙනි වැකිය නැවත බලන්න:

All we had was Simon Finch, a fur-trapping apothecary from Cornwall whose piety was exceeded only by his stinginess.

මෙම වැකිය සිංහල පැමිණ ඇත්තේ “දැඩි මසුරෙකු වූ ඔහු ඇපොතිකරිවරයෙකු හැටියට සේවය කළේය” යනුවෙනි. ඔහුගේ දැඩි ආගමික භක්තිය ඉක්මවා ලූ යමක් වී නම් ඒ ඔහුගේ මසුරුකම පමණියි එහි කියවේ. ආගමික භක්තිය ගැන සඳහන සිංහල වැකියෙහි නැත.

3. " Simon would have regarded with impotent fury the disturbance between the North and the South, as it left his descendants stripped of everything but their land, yet the tradition of living on the land remained unbroken until well into the twentieth century, when my father, Atticus Finch, went to Montgomery to read law, and his younger brother went to Boston to study medicine." (පළමු පරිච්ඡේදය අට වෙනි ඡේදය)


  වැකි සිංහල පරිවර්තනයට පැමිණ ඇත්තේ මෙසේය:

“තමන් පය තැබූ බිම හැර අන් හැම දෙයක්ම පසු පරම්පරාවන්ට අහිමි කළ උතුරු-දකුණු යුද්ධය දෙස ජීවත්ව සිටියා නම් සයිමන් ෆින්ච් බලනු ඇත්තේ දැඩි කෝපයකින් විය යුතුය. කෙසේ වෙතත් මේ සරු බිමට පරම්පරාවේ පිරිමි දරුවන් සතු උරුමය විසිවෙනි සියවස දක්වා එලෙසින්ම පවත්වාගෙන යන ලදී. මේ රටාව නීතිය හැදෑරීමට මොන්ටිගෝමරි දක්වා ගිය මගේ පියාද, වෛද්‍ය වෘත්තිය හැදෑරීමට බොස්ටන් කරා ගිය ඔහුගේ සොහොයුරාද නිසා බිඳ වැටුණි.”


මෙම වැකි සිංහලට නැගී ඇත්තේ පරිවර්තනීය ස්වරූපයකට වඩා අනුවර්තනීය ස්වරූපයකිනි. සිංහල පරිවර්තකයා භාෂා දෙක හොඳින් දන්නා බවත්, ඉංග්‍රීසියෙන් කියවූ දේ තමන් වෙත උරාගෙන නැවත සිංහලෙන් ලියන බවත් පෙනේ. වචනයෙන් වචනය පරිවර්තනය කිරීමට වඩා වැඩි දෙයක් මෙහි සිදු වේ. එහෙත් පරිවර්තනය වෙත අමුතුවෙන් එකතු වෙන කොටස් පරීක්ෂා කර බලන්න.

එසේම උතුරු-දකුණු යුද්ධය යනු ඇමරිකානු සිවිල් යුද්ධයයි. ඒ වහල් ක්‍රමය පිළිගත් දකුණත්, ඊට විරුද්ධ උතුරත් අතර යුද්ධයයි. මේ තීරණාත්මක ඓතිහාසික අවස්ථාව මේ නවකතාවට ඉතා අදාළය. අමතර වචන කිහිපයක් හෝ එක් කර ආඛ්‍යානය වෙතට ගත යුතුව තිබුණේ ඒ ඉතිහාසයයි.


4. When my father was admitted to the bar, he returned to Maycomb and began his practice. Maycomb, some twenty miles east of Finch's Landing, was the county seat of Maycomb County. Atticus's office in the courthouse contained little more than a hat rack, a spittoon, a checkerboard and an unsullied Code of Alabama.(පළමු පරිච්ඡේදය හත් වෙනි ඡේදය)

“ෆින්ච් තොටුපලේ සිට සැතපුම් විස්සක දුරින් පිහිටි මේකොම්බි නගරය, මේකොම්බි ප්‍රාන්තයේ ප්‍රධානම නරගයයි. නීතිඥයෙකු හැටියට සුදුසුකම් ලැබූ පසු මගේ පියා ආපසු මේකොම්බි නරගයට අවුත් වෘත්තියේ නිරත වන්නට විය. උසාවි සංකීර්ණයේ කෙලවරක පිහිටි තාත්තාගේ කාර්යාලය, තොප්පි රාක්කයක්ථ කුඩා ටී පෝවක්, දාං ලෑල්ලක් හා ඇලබාබා නරගයට නරගය හා සම්බන්ධ නීති සංග්‍රහයකින්ද සමන්විත කුඩා එකකි”


මෙම වැකි කිහිපයක පරික්ෂාවෙන් බලන්න. එහි එන බොහෝ ගැටලුවල මුල ඉංග්‍රීසි නොදැනීම නොවේ. නොසැලකිල්ල යැයි පෙනේ. මේකොම්බ් යන නම මේකොම්බි වීම වැනි පුංචි පුංචි දේවල් කාටත් පෙනෙනු ඇත. “කවුන්ටි” යන්න ප්‍රාන්තය ලෙස පරිවර්තනය වී තිබේ. ඒ නිසා “මේකොම්බි නගරය, මේකොම්බි ප්‍රාන්තයේ ප්‍රධානම නරගයයි” යන වැකිය වැරදිය. ඉංග්‍රීසි වැකියෙන් කියවෙන්නේ මේකොම්බ් කවුන්ටියෙහි කවුන්ටි මැතිවරණ කොට්ඨාශය හෙවත් ආසනයද මේකොම්බ් වන බවය. එසේම ඇලබාමා නගරය හා සම්බන්ධ නීති සංග්‍රහය යැයි කීමද වැරදිය. ඒ පොත ඇලබාමා ප්‍රාන්ත නීති සංග්‍රහයයි. එය නවකතාවේ ඉදිරියට ඉතා තීරණාත්මක වන පොතකි. එසේම ඇටිකස්ගේ කාර්යාලයෙහි ඇත්තේ කුඩා ටී පෝවක් නොව පඩික්කමකි. සිංහල පරිවර්තනයට ටීපෝව කොහෙන් පැමිණියේදැයි සොයාගන්නට නැත!


5. Maycomb was an old town, but it was a tired old town when I first knew it. In rainy weather the streets turned to red slop; grass grew on the sidewalks, the courthouse sagged in the square.

“මගේ මතකයට අනුව නම් මේකොම්බි නගරය පැරණි, සුවපහසුකම් අඩු නගරයකි. වැසි දිනවල එහි පාරවල ඇති රතු මැටිපස දෙපාවල ඇලෙයි. පදිකවේදිකාවේ පිපිරූ තැන් අතරින් මතු වූ තණකොළ දණක් උසට වැවී ඇත. චතුරශ්‍රය මැද පිහිටි උස ගොඩනැගිල්ලේ වහලය ගරා වැටී ඇත.”


මේ වැකි සසඳා බලන්න. සිංහල පරිවර්තනයට අනවශ්‍ය වූද වැරදි වූද තොරතුරු එක් වී ඇත. දණක් උසට වැවුණු තණකොළ ගැන හාපර් ලී විස්තර කරන්නේ නැත. මේ වැකිවල එන වැදගත්ම තොරතුරක් සිංහල පැමිණ නැත. ඒ කථිකාවගේ පියා නඩුවලට කතා කරන උසාවි ගොඩනැගිල්ලේ ස්වරූපයයි. එය ඉංග්‍රීසි ඡේදයෙහි කෙළින්ම කියවේ. සිංහලට “උස ගොඩනැගිල්ල” වී පැමිණ ඇත්තේ “උසාවි ගොඩනැගිල්ල” විය හැකිය.


6. Our mother died when I was two, so I never felt her absence. She was a Graham from Montgomery; Atticus met her when he was first elected to the state legislature. He was middle-aged then, she was fifteen years his junior. Jem was the product of their first year of marriage; four years later I was born, and two years later our mother died from a sudden heart attack. They said it ran in her family. (පළමු පරිච්ඡේදය- දහතුන් වන ඡේදය)

“මා ඉපදී දෙවසරකින් මියගිය මවගේ අඩුව මට කිසිදා දැනුණේ නැත. ඇය  අයත් වූයේ මොන්ට්ගෝමරි ග්‍රෙහැම් පරපුරටයි. තමාට වඩා පසලොස් වසරකින් බාල මගේ මව පියාට මුණ ගැසී ඇත්තේ ඔහු නීතිඥ වෘත්තියේ යෙදෙන්නට වූ මුල් වකවානුවේදීය. එවකට පියා මැදිවියේ මිනිසෙකුව සිටියේය. ඔවුන් විවාහ වූ මුල් අවුරුද්දේ ම ජෙම් උපත ලැබූ අතර මා ඉපදුණේ ඊට අවුරුදු හතරකට පසුවයි. මා ඉපදී දෙවසරකට පසු පාරම්පරිකව උරුම වූ හෘදයාබාධයකින් මගේ මව මෙලොව හැර ගියාය. ”


   ටු කිල් අ මොකිං බර්ඩ් නවකතාව කියන කොලුගැටයෙකු වැනි කෙල්ල ඒ කතාව කියන ශෛලිය මිහිරි උපහාසයකින් යුතුය. ඒ උපහාසය මේ පරිවර්තනයට හසු වන්නේම නැත. සාහිත්යික ලේඛනය යනු කුමක්ද යන්න ගැන අවබෝධයක්ද පරිවර්තකයෙකුට තිබිය යුතුය. 

  අපි මෙහි කෙරෙන තීරණාත්මක වැරැද්දක් හඳුනා ගනිමු. ඇටිකස් හෙවත් කථිකාවගේ පියාට සිය බිරිඳ මුණ ගැසෙන්නේ ඇලබාමා ප්‍රාන්ත ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙකු ලෙස ඔහු තේරීපත්වූ පසුවය. එය මෙහි කෙළින්ම කියවේ. එය ඉතා වැදගත් තොරතුරකි. සිංහල පරිවර්තනයෙන් එය මුළුමනින්ම ගිලිහෙයි.

They said it ran in her family යන වැකිය මුල් කතුවරිය වෙනම තබන්නේ ඉන් නැගෙන සියුම් උපහාසයත් ඇඟවීමටය. පරිවර්තනයේදී ඒ වැකියේ අදහස හුදු වාච්‍යාර්ථයක් ලෙස කලින් වැකියට එක් වේ. මුල් කතුවරියගේ ශෛලිය අපරාදෙ!


                                   සිංහල පාඨකයාට සිදුවන අලාභය

   මේ පොතේ තැනින් තැන ගෙන මා කළ සන්සන්දනයෙන් මෙවැනි තවත් සාවද්‍ය පරිවර්තන, ඌන පරිවර්තන සහ අධි-පරිවර්තන පමණක් නොව අත්හැර දැමීම(ශූන්‍ය පරිවර්තන) රැසක් හමු විය. 

  පරිවර්තනවලින් ලෝක සාහිත්‍ය කියවන සිංහල පාඨකයාට මේ වැරදි ගැන අවබෝධයක් ඇති වන්නට ඉඩක් නැත. ලෝකයේ විශිෂ්ටතම නවකතාවක අර්ථයෙන් සහ රසයෙන් අඩක්වත් නැතිව ගොස් ඇති අයුරු නොදැනම ඔවුන් පොත කියවන බව පේරාදෙණිය විශ්වවිද්‍යාල පුස්තකාලයෙන් මේ පොත බැහැර ගෙනගොස් ඇති වාර ගණනින්ම පෙනේ. 

  පොතේ තැනින් තැන ඉතා වැදගත් වැකියක් දෙකක් අත හැරී ඇත්තේ අත්වැරදීමකින් වන්නට බොහෝ ඉඩ තිබේ.

  මේ පොත් එන නම්ගම්වල නියම ඇමරිකානු උච්චාරණයද බොහෝ විට වැරදිය. එය නම් එතරම් ගැටලුවක් නොවේ. එහෙත් හැකි තරම් මුල් කෘතියට ආසන්නයෙන් ඒවාද තිබීම හොඳය. මන්ට්ගමරි යැයි උච්චාරණය කරන නගරය මොන්ට්ගෝමරි යැයි කීම එපමණ වරදක් නොවේ. එනමුත් නවකතාවේ උපප්‍රධාන චරිතයක් වන "බූ රැඩ්ලි "  යන්න "බෝ රැඩ්ල්"   වීම  එච්චර හොඳ දෙයක් නොවේ. 


 මෙවැනි ප්‍රශ්න පරිවර්තන පොත්පත්වල අමුවන අවස්ථා තිබේ. ඒ ඇතැම් වැරදි පරිවර්තන වෘත්තියට පිවිස අත්දැකීම් ලත් විට මග හරවා ගත හැකි දේය. මෙය පරිවර්තනය කර ඇත්තේ යම් මාර්ගෝපදේශයක් ලැබිණි නම් හොඳට පරිවර්තනය කළ කෙනෙකු බව පෙනේ.

  මා මෙය පරිවර්තනය කළ කෙනාගේ නම සඳහන් නොකරන්නේ කෙසේ හෝ ඒ පරිවර්තනය කිරීම ගැන මගේ ගෞරවය දැක්වීමක් වශයෙනි. මේ තත්ත්වය එක පරිවර්තකයෙකුට සීමා වූ දෙයක් නොවේ. 

  

                                                       යෝජනාවක්

බොහෝ දෙනෙක් සාහිත්‍ය පරිවර්තනයට ආසාවක් දක්වති. එය හොඳ දෙයකි. පරිවර්තන ක්ෂේත්‍රයට මුලින්ම එන අයගේ අත්පිටපත් සිංහල සහ ඉංග්‍රීසි හොඳින් දන්නා සමීක්ෂකයෙකු ලවා පරීක්ෂා කරවා ගැනීම උචිතය. ඒ සඳහා සමීක්ෂකයාට ගෙවන මුදල (රුපියල් 5000-10000ක් පමණ) පරිවර්තකයාගෙන්ම අය කර ගත හැකිය. අත්පිටපත මුල් කෘතිය හා සසඳමින් මා ඉහත කළාක් සේ තැනින් තැන ගත් වැකි කිහිපයක් හෝ පිටු කිහිපයක් පරීක්ෂා කිරීමට සමීපක්ෂකයාට පුළුවන. එමගින් සියලු වැරදි හසු නොවුණත් පරිවර්තනයෙහි ගුණය ගැන යම් අදහසක් ඇති කර ගැනීමට පුළුවන. සමීක්ෂකයයෙකු වැනි කෙනෙකු ලවා සම්පූර්ණ පරිවර්තනය පරීක්ෂා කරවීම අසාධාරණය. මන්ද ඉන් පසු බිහි වන පොතට පරිවර්තකයාට කර්තෘත්වය පිරිනැමීම අසාධාරණ බැවිනි. අනෙක එවැනි පරීක්ෂාවකට සමීක්ෂකයන්ට ගෙවන්නට තරම් අපේ ප්‍රකාශන කර්මාන්තයට මුදල්හදල් නැත.  


No comments:

Post a Comment