Monday, September 20, 2021

උපන්දින දෙකේ මහාචාර්යතුමනි- සුබ උපන් දෙදිනක් ! ලියනගේ අමරකීර්ති

 




අප මිතුරු නිර්මාල් රංජිත් දේවසිරි සමග අද උදේම පැවැති දුරකථන සංවාදයකින් මහාචාර්ය ජයදේව උයන්ගොඩ ගැන මාතෘකාවත්  ආවා. එතකොට මම මහාචාර්ය උයන්ගොඩගෙ පළමු පොත අතට අරන් උන්නෙ වෙන වැඩකට. ඒ පොත ඇසුරින් දැම්ම පොඩි ෆේස්බුක් සටහන් දැනටත් බොහෝ දෙනෙකුගෙ අවධානය දිනා තිබෙනවා.

ඒ කවි පොත අතට ගන්න හේතුව මහාචාර්යවරයාගේ උපන්දිනය ගැන සමාජ මාධ්‍යයෙහි ඇති වුණු කතාබහක්. මම උයන් සර්ට කතා කළාම හොරයක් දැනගත්තා. මහාචාර්ය උයන්ගොඩටත් උපන් දින දෙකයි. ඒ විමල් වීරවංස පන්නයේ වැඩක් නෙමේ. ඔහුගෙ නිල උපන්දිනය අද. ඒ කියන්නෙ සැප්තැම්බර් 20. හැබැයි හරි උපන් දිනය අද නෙමේ. සැප්තැම්බර් 13. හරි උපන්දිනය පවුලෙ අය දන්නවා. නිල උපන්දිනය උප්පැන්න සහතිකයේ තියෙනවා. 

   මහාචාර්යවරයාගේ කවි පොත අතට අරන් උන්නෙ ඔහුගෙ කවිය ගැන පොඩි සටහනක් ලියන්න. මම් කෙසේ පවසම් පොත පළ වෙන්නෙ 1977 මාර්තු. පොතේ සඳහන් වන අන්දමට කවියාගේ ලිපිනයයි මේ: සිරකරු අංක සී 13355, නව මැගසින් බන්ධනාගාරය, කොළඹ. 

  පොත පළ කරන්න “සියලු වෙහෙස දැරූ ගාමිණී මල්ලී මගේ සිහිනය සැබෑ කිරීමේ පුරෝගාමියා වශයෙන් මගේ නිබඳ ස්නේහය ලබයි” ජේ. උයන්ගොඩ කවියා ඔහුගෙ පෙරවදනෙ කියනවා. මේ ගාමිණී මල්ලි යනු ගාමිණී වියන්ගොඩ විය හැකියි.

  පොතට කවරයේ සටහනක් ලියන්නෙ එවක ලංකාවේ ප්‍රමුඛම සාහිත්‍යධරයා යැයි කිව හැකි ගුණදාස අමරසේකර. ඒ සටහනේදී අමරසේකර කියන වැදගත් දෙයක් තියෙනවා. ඒ තමයි 70 දශකයේ බොහෝ සටන්කාමී කවිවලට වඩා වෙනසක් උයන්ගොඩගේ කවිවල ඇති බව.  සිය ඇතුළු හදෙහි වන මිනිසත් බව හෙළි කරන්නට මැලි නොවන කවි ඒ අතර ඇති බව අමරසේකර කියනවා. ඔහුගේ නිර්ව්‍යාජ හදවත කවිවලින් හෙළිවන බවත් අමරසේකර හිතනවා. 

   මේ අමරසේකරම තමයි පස්සෙ කාලෙ යන්තමට වෙස් ගැන්වූ උයන්ගොඩ චරිතය විජාතික, ඩොලර් කාක්කා, එන්ජීඕකාරයා, හැටියට පෙන්වන ප්‍රබන්ධ කථා ලියන්නෙ. ඒ කතාවලදි උයන්ගොඩ වැනි චරිතය සදාකාලික විජාතිකයෙක්, මව්බිමේ හතුරෙක්. අනුකාරකයෙක්. ඒ වගේ චරිතෙකට පූර්ණ මනුෂ්‍යත්වය ප්‍රදානය කෙරෙන්නෙ නෑ. එයාලා අර්ධ මනුෂ්‍යයො. මොකද ජාතික චින්තනය නෑ. ඒ කියන්ගෙ  චරිත බාගෙට සත්තු. ඒනිසා  රණවිරු කණ්ඩායමක් එයාලව ආයුධ පෙන්නන්න එක්ක ගියත් කමක්නෑ. මේ දෘෂ්ටිවාදය ප්‍රබන්ධ කථාවල වක් මගින් කියවුණාට සරත් වීරසේකරල වගේ උදවිය කෙළින්ම කියනවා.


ඒ නිසා අමරසේකර උයන්ගොඩ වගේ චරිතයක් ප්‍රබන්ධ කථාවකදි හඳුන්වල දෙනකොටම දන්නවා කතාව කොහෙද යන්නෙ කියල. ජාතිකවාදය වෙත එන්නෙ නැතුව ඊට වඩා පළල් ලෝක දැක්මක් සහ ජීවන දැක්මක් ආරක්ෂා කරගත්තු පුත්තු ගැන අමරසේකර තාත්තගෙ ආදරේ ප්‍රකාශ වෙන්නෙ වෛරයක් විදියට. අමරසේකර ඇත්තටම ආදරේ ඒ පුත්තුන්ට. වීරවංසල වගේ අය අවශ්‍ය වෙලාවට කොඩිය වනන්න ගන්න වාචාලයො කියල අමරසේකර කවි හදින් දන්නවා. 

ජාතික-විජාතික දෙබෙදුම අවුරුදු තිහක් ඔය විදියට තමයි සංස්කෘතික ක්ෂේත්‍රයෙ වැඩ කෙරුවෙ. උයන්ගොඩට විරුද්ධව විජාතික ලේබලය අලවන්න ජවිපෙ 2000- 2008 කාලෙදි හෙවත් වීරවංශ යුගයෙදි දායක වෙනවා.

  මේ පොතේ එන කවි මම නොයෙක් වර කියවා තිබෙනවා. නිර්මාණ සාහිත්‍යය අත්හැර දැමීම ගැන මහාචාර්ය උයන්ගොඩට මම නොයෙක් විට මැසිවිලි කියා තිබෙනවා. 

මම රාවයේ වැඩ කරපු කාලෙ අතුලය්යා (වික්ටර් අයිවන්) අපි එක්ක කියූ කතාවක් මෙහෙමයි: ඒ කාලෙ 71 සිරකරුවන් අතර ලස්සන අත්අකුරින් ලියූ කෙටිකතා අත්පිටපතක් හුවමාරු උනා. අතුලය්යා කියන විදියට ඒක ඔහු කියවා ඇති හොඳම කෙටිකතා එකතුවක්. ඒ නොපළ අත්පිටපතේ කර්තෘ තමයි ජේ. උයන්ගොඩ. 

ඒ අත්පිටපත කෝ කියා මා කිහිපවරක් මහාචාර්යවරයාගෙන් අසා තිබෙනවා. ඒක ඒ කාලෙම නැති වූ බව ඔහු කිව්වා. ඒ ගැන මතක් කරනවට කැමති නැති ගතියකුත් ඒ හැම වාරෙම මං දැක්කා.

   සාහිත්‍ය රසිකයෙක් වන නිර්මාල් උයන්ගොඩගේ කවියේ අමරසේකරගේ කවියේ ලක්ෂණ දකිනවා. මමත් හිතනවා ඒක ඇත්ත කියා.

   71 කැරැල්ලේ නායකයෙකුව සිට සිරගත දිවියක් ගෙවමින් ඔහු ලියූ කවිවල ප්‍රචාරාත්මක විප්ලව කවි නෑ. ඒත් මනුෂ්‍යයන් වෙත වූ ගැඹුරු ආදර ගෞරවයක් කවිවල තියෙනවා. ආණ්ඩුව, පොලීසිය, සිරගෙදර, ජේලර්වරුන්, ගැන ලියවුණු සුලබ කවිත් මේ පොතේ නෑ. 

 මේ තියෙන්නෙ එක කවියක්:

උසාවියේදී මුණ ගැසුණ යුවතියට

මවෙත නුඹ නෙතු සඟල යොමු වූ

සැණෙන් මම සිනහවක් පිදුයෙමි

සිනහවෙන් පිළිවදන් අස්වා

අසුරු සැණෙකින් ඉවත හැරි නුඹ

නෙතු කොනින් යළි යළිත් බලමින්

ළඟ සිටිය යෙහෙළියට රහසින්

කුමක්දෝ කොඳරනු දිටිමි මම.


යව්වනිය, නුඹ වත දුටුව සඳ

මගේ මුවගට සිනහ නැගුණේ

නුඹට ඉපදුණු සිතක් ඇති බව

පළ කරන්නට නොවේ ඉඟියෙන්


වියෙහි සූ විසි වසන මා හද

යව්වනය වෙත බැඳුණ බැති කඳ

නුඹද නොව දහසකුත් යොවුනන්

දුටු මතින් මඳහස නගයි තොල

    කවියෙන් ජීවිතය ස්පර්ශ කළ යුතු සහ හැකි ආකාරය ගැන හොඳ අවබෝධයක් තරුණ උයන්ගොඩ කවියා තිබුණ බව මෙයින් පේනවා. අපි කවුරුත් මේ අත්දැකීම දන්නවා. අපි තරුණ ජනයා දෙස බලන්න ආසයි. ඔවුන් තුළ ජීවිතයේ ප්‍රාණය තියෙනවා. ජවය තියෙනවා. කථකයා කෙල්ල දෙස බලන්නෙ තරුණ මනුෂ්‍යයත්වයේ සංකේතයක් සේ ඇය බාරගෙන. ආදරයෙන් බැඳීම තුළ සැමවිටම මේ මානයත් තියෙනවා වෙන්න පුළුවන්. ෆ්ලොරින්තිනෝ අරීසා කොහොම කිව්වත් ආදරයේ කාරකයා තුළ තාරුණ්‍යය තිබීම ආදරයේ නෛසර්ගික අවශ්‍යතාවක් වගේ. මේ කථකයා හෙවත් තාරුණ්‍යයේ නිදහස්කාමයට ඉඩ නැතිව සිරගතව ඉද්දි මේ තත්ත්වය තවත් වැඩියි.

  මීට වඩා වෙනස් ආදරයක් යුවතියක වෙත එල්ල කරන කවියක් මේ:

සමුගැන්ම

නිසල පොකුණට කැටක් විසිකර

ජලය කැළතූ දැරිවියක මෙන්

ඇයිද යුවතිය මසිත කළඹා

නොපෙනි යන්නේ යළි නොඑන්නද?


වාලුකා තල මැද පිපාසෙන්

වියැලි තොල් අග තෙමා පොඟවන

සිසිල් දිය බිඳුවක් වෙසින් මිස

අහස් ගඟ වී මවෙත එන්නැයි

ඔබෙන් මම ඉල්ලා නොසිටියෙමි


සුළං රැල්ලක් ලෙසින් පාවී

ඔබ මවෙත එනු ඇතැයි පැතුවේ

දැවෙන ගිනි අවුලුවන්නට නොව

ඇවිලි ගිනි දැල් නිවනු රිසියෙනි.


හාත්පස පැතිරුණ අඳුර මැද

අබ තෙලින් දැල්වුණු පහන වී

අඳුර විනිවිදි තිතක් වනු හැර

ඉර සඳින් ඇති පල කිම්ද මට

එහෙත් විදුලිය ඉරක් විය ඔබ

අඳුර රෑ මේ ගැජුම් මැද්දේ


යළිත් හමුවන බවක් නොකියා

ඔබ නික්ම යනු බලා සිටියෙම්

තනිව නවතිමි මගේ කුටියේ

තටු සිඳුණ පරෙවියෙකු විලසින්


 මේ කවියෙහි රිද්ම, පද කඩන ආකාර, ඇතැම් යෙදුම් සහ වචන අමරසේකර වැනි කවියෙකුගේ කවිය අපේ මතකයට ගේනවා. හැත්තෑ එකේ කැරලිකරුවන්ට වයසින් ආසන්න කොඩිතුවක්කු වැනි කෙනෙකුගේ කවියට වඩා ඒ වන විටත් පරිණත, සමසමාජයට කිට්ටු අමරසේකරගේ කවියට උයන්ගොඩගේ කවිය ආසන්න වීම සිත්ගන්නා කාරණයක්.


  නූතන සිංහල සාහිත්‍යය තුළ මුල්ම වරට සමසරාගිකත්වය හෝ සමකාමිත්වය ප්‍රකාශ වුණේ උයන්ගොඩගේ මේ පොතේ වෙන්න පුළුවන්. ඒහා බැඳුණු කවි දෙකක්වත් මේ පොතේ තියෙනවා. මේ එකක්:

මතකයට අකමැති සිදුවීමක්

සිව්වසකට පෙර එසමේ

සිල්ප ලැබූ සරසවියේ

මල් ලියගොමු උයන් බිමේ

කඳු පාමුල් අවන්හලේ

යොවුන් කතුන් සිප සනසා

අප කෙළිලොල් විය ගෙව් සැටි

ඔබට මතක නේද සබඳ


ළඳුන් ඇසුර අවසන් වී

සිව් වසකට පසු මෙසමේ

ලුහු බැඳ එන සතුරු පිරිස් යුද සේනා

මග හැර රැකවරණ සොයා

ගමින් ගමට

මිතුරන් විසි ගෙයින් ගෙයට

පා නැගු කල අප දෙන්නා

රෑ වුණ තැන

ගිමින් හරින සඳ එක් යහනක වැතිරී

ඔබ ළඳකගෙ වෙස් ගත් බව එක් මොහොතක්

ඔබට මතක ඇතිද සබඳ!

   මෙය මිහිරි කවියක් වන්නෙ එවැනි කවි දුර්ලභ නිසත්. අනික ජවිපෙ දෙවැනි කැරැල්ලට එනකොට  එක්කෝ ජාතිකවාදයෙන් එක්කෝ සුචරිතවාදයෙන් මනුෂ්‍ය ලිංගිකත්වය වසා වෙස් ගන්වන තත්ත්වයක් ආව. ඒ නිසා ඒ කැරැල්ලේ අය මේ වගේ මාතෘකා අල්ලන්නත් බයයි. ලාල්කාන්ත වගේ කෙනෙක් නිසා තමයි මේ වගේ මනුෂ්‍ය මානයක් ජවිපෙට ආයෙත් සමීප වෙන්නෙ. අනුරත් එවැනි මනුෂ්‍ය යථාර්ථ පිළිගන්න බය නෑ. හැබැයි එතකොට මේ පොත අගය කරපු අමරසේකර වෙනම තැනක. 

      

  මහාචාර්ය උයන්ගොඩගෙ උපන්දින දෙකෙන් එකක් කවියාට දෙන්නැයි මං කාලෙක ඉඳල කියලා තියෙනවා. ජීවිතයේ හත්වෙනි දශකයට එළඹ සිටින ඔහුගෙන් ඒ ඉල්ලීම කරන එක අසාධාරණයි. ඔහුගේ කවියෙන් පෙනෙන මුදු හදවත, ගැඹුරු ජීවන අවබෝධය ඔහු තම දේශපාලන විද්‍යාමය හා සංස්කෘතික විචාරමය රචනාවලට එක්කොට තිබෙනවා.  ඒ නැතත් ඔහුගේ සමීප මිතුරන් හොඳින් දන්න ඔහුගේ දයාබර චරිත ස්වභාවය තුළ කවියා ඉන්නවා. 

  මහාචාර්ය උයන්ගොඩ සමග මං නිතර දුරකථනයෙන් කතා කරනවා. ඔහුත් එහෙමයි. අපි ඉස්සර සංවාදෙ පටන්ගන්නෙ "මොනවද මේ දවස්වල කියවන්නෙ" කියලා. දැන් මං ඔහුගෙන් අහන පළවෙනි ප්‍රශ්නෙ "සනීපෙන් ඉන්නවද" කියන එක.ඒක වසංගතය ගැනත් අප දෙදෙනාගේම වයසට යාම ගැනත් අප දෙදෙනාම සවිඥානක නිසා ඇසෙන ජීවිතයේ දුක්ඛය සිහි කරන ප්‍රශ්නයක්. 

    මොනවද කියවන්නෙ කියන සංවාදෙ ඉවර වෙන්නෙ අපේ කියවීම් ලැයිස්තු තව ටිකක් දික් වෙලා. ඇස්වල යම් යම් ප්‍රශ්න තිබුණත් ඔහු තවම සාහිත්‍ය කෘති කියවනවා.

අපි වෙලාවකට පොතුත් හුවමාරු කරගන්නවා. අවසාන වතාවට ඔහු පේරාදෙණි ආපු වෙලාවෙ ඔහු මට අරන් ආවෙ රාජා රාඕගේ The Chessmaster and his Moves.මගෙන් අරන් ගියෙ මිෂිමාගෙ නවකතා දෙකක්. මගෙ ළඟ මිෂිමාගෙ පොත්වල අලුත් ඇමරිකානු මුද්‍රණ තිබුණා. ඒවා ඔහු හිරගෙදරදි කියවා තිබුණා. අරන් ගියෙ ආයෙත් කියවන්න. ඔහු රාජා රාඕගෙ දරුණු රසිකයෙක්. මම විශ්වවිද්‍යාලෙ දෙවන වසරෙදි විතර රාජා රාඕගෙ The Serpent and the Rope කියවන්න කිව්වෙ ඔහු. ඒක අපේ කැම්පස් පුස්තකාලෙ තිබුණා. මං කියවන්න ගත්තා. ඕන්නං සියයට 60ක් විතර තේරෙන්න ඇති. මං සියයට 100ක්ම තේරුණා වගේ අඟවගෙන උන්නා. යාළුවො එක්කත් කය්ය ගැහුවා.  අවුරුදු ගාණකට පස්සෙ  රාජා රාඕ නිල වශයෙන් හදාරන්න මට අවස්ථාව ලැබුණා. එතකොට මගේ නිල ගුරුවරයෙකු නොවුණු මේ අපූරු මිනිසා මතක් උනා.



මේ වසංගත සමය අවසන් වූ වහාම අපේ ගෙදර එයි කියල ආසාවෙන් ඉන්න කෙනෙක් තමයි මහාචාර්ය උයන්ගොඩ. එතෙක් ඔහුට සුබ උපන්දින දෙකක්. එක උපන්දිනයක් දේශපාලන විද්‍යා මහාචාර්යවරයාට අනික. කලා රසිකයාට. 


No comments:

Post a Comment