ශෝභාශක්ති යනු ලංකාවේ උපන් ලේඛකයෙකි. ඔහු ලියන්නේ දෙමළ
භාෂාවෙනි. අන්තෝනිදාසන් ජේසුදාසන් යනු ඔහුගේ සැබෑ නමයි. ඔහු මෑතක දී රගපෑ ධීපන් සිනමා
කෘතිය නිසා ලංකාවේ සිංහල රසිකයන් අතරද ප්‍රසිද්ධ නමුත් ලෝක පරිමාණව වැඩෙන ඔහුගේ කීර්තිය
රඳාපවතින්නේ ඔහු
ලියූ විශිෂ්ට සාහිත්‍ය කෘති කිහිපය මතය.
ලංකාවේ ඉපිද පිටරටවල සිට සාහිත්‍යකරණයෙහි යෙදී ලෝක
පරිමාණ කීර්තියක් අත්පත් කරගත් අය සිටිති. මයිකල් ඔන්ඩච්චි, ශ්‍යාම් සෙල්ලවදුරේ,
රොමේශ් ගුණසේකර එවැනි කිහිප දෙනෙකි. ඒ සියලු දෙනා ලියන්නේ ඉංග්‍රීසියෙනි. සිංහලෙන්
ලියමින් පිටරටවල වසන ලේඛකයන් සිටින්නේ ඉතා ස්වල්ප දෙනෙකි. ඊට හේතුව බටහිර රටවලට
සංක්‍රමණය වීම යනු බෙහෙවින්ම ධුරාවලීගත කාර්යක් නිසාය. බටහිර රටකට සංක්‍රමණයවීමට
එක්තරා පන්ති පසුබිමක් හෝ අධ්‍යාපන පසුබිමක් අවශ්‍ය වේ. සිංහල පමණක් දන්නා හෝ
සිංහලෙන් ලිවීම සවිඥානකව තෝරාගත් අයට බටහිර රටකට සංක්‍රමණය වීමට නම් සරණාගතයන් සේ
එහි යා යුතුය. බොහෝ විට ඒ දේශපාලන සරණාගතයන් ලෙසය. රාජපක්ෂ ආණ්ඩුව කාලේ එවැනි අය
පිටරට ගියහ. සමහරු එහි සිට ලියති. සමහරු තර්ජන ඇතැයි බොරුවට පෙන්වා ගිය නිසාදෝ ගිය
පසු ලියූ දෙයක් නැත.
දෙමළ ජනතාවට දෙමළවීම වීම නිසාම ඇති වූ ප්‍රශ්නයක් ලංකාවේ
ඇති නිසා විවිධ පන්ති පසුබිම්වලින් ඉතා විශාල දෙනෙක් බටහිරට සංක්‍රමණය වී දිවි
බේරාගත්හ. එවැනි ඇතැම් අය දිවිබේරාගත්තේ රාජ්‍ය මර්දනයෙන්ම නොවේ. එල්ටීටීඊයෙන්
බේරීමට පැන ගිය අයද සිටිති.
මේ පිරිස ලංකාවෙන් යාම යහපත් ලක්ෂණයක් නොවේ. එසේ යන්නට
හේතු වූ කරුණු නැති කිරීම අවශ්‍යම දෙයකි. එසේ කියන අතරම පවා මෙසේ කියන්නට මට සිතේ:ශෝභාශක්ති කෙසේ හෝ
ලංකාවෙන් පැනගොස් දිවි බේරාගැනීම ගැන මට නම් ඇත්තේ පුදුම සතුටකි. ඔහු ලංකාවේ
සිටියේ නම් ඔහු ලියන අපූරු සාහිත්‍ය කෘති ලියන්නට ඔහු ජීවත්ව නොසිටින්නට ඉඩ
තිබිණි. ශෝභාශක්තිගේ පසුබිමද සිංහල ජාතිකවාදීන් ඔහු වටහාගන්නා අකාරයවද ගැන අපූරු
ලිපියක් මංජුල වෙඩිවර්ධනද මෑතකදී කිසියම් පුවත්පතකට ලියා තිබුණු බව මතකය.ඒ නිසා
මෙහිදී කෙටියෙන් ලියන්න පුළුවන.
ශෝභාශක්ති 1983 ජූලි සිදුවීම්වලින් පසු එල්ටීටීඊ
සංවිධානයට එක්වී වසර තුනකට පසුව ඉන් වෙන් විය. එය ඔහු අපේක්ෂා කළ සංවිධානය නොවී
යැයි ඔහු කියා ඇත. එහෙත් දෙමළ ප්‍රජාව ඇසුරින් සන්නද්ධ සටන්කාමී බිහිවීම ලංකාවේ
දේශපාලන ඉතිහාසය තුළ වටහා ගත හැකි යථාර්ථයක් බවද ඔහු විවිධ තැන්වල කියයි.
ශෝභාශක්ති කොටි සංවිධානය හැරගොස් ප්‍රංශයට සංක්‍රමණය වී
නොයෙක් පොඩි පොඩි රස්සා කළේය. ඒ අතර ලේඛන කලාවේද යෙදුණේය. ඔහුගේ පළමු නවකතාව වූ
ගොරිල්ලා මූලික වශයෙන්ම ස්වයංචරිතාපදානමය නවකතාවකියි ඔහු කියයි. එහි එන්නේද ළමා
සොල්දාදුවෙකු ලෙස කොටි සංවිධානයට එක් වූවෙකුගේ කතාවයි. එහි එන සිද්ධි, දින වකවානු
පවා සැබෑ ඒවා යැයි කියවේ.
මෙම කෙටි ලිපිය ලියන්නට මා පෙළඹ වූයේ ඔහුගේ ද
එම්ජීආර් මර්ඩර් ට්‍රයල් කෙටිකතා සංග්‍රහයයි. මෑතකදී මා සිංහලෙන් හෝ ඉංග්‍රීසියෙන්
කියවූ කෙටිකතා අතර විශිෂ්ටතම කතා කිහිපයක් ඒ කෘතියේ එයි.
එහි එන පොතට නම සපයන කතාව හරිම අපූරුය. එහි භූගෝලීය
පසුබිම පැරිස් නගරයයි. එහෙත් එහි වසන දෙමළ චරිතවල අතීතාවර්ජන ඔස්සේ අප
අල්ලයිපිඩ්ඩි ගම්මානය වෙත රැගෙන යනු ලැබේ.
කෙටිකතාවේ මැදිවිය පත් කථකයා දෙමළ ජාතිකයෙකි. ඔහුට දවසක එන දුරකථන ඇමතුමකින් කියවෙන්නේ ඩොනාස් නම්
තරුණයා අල්ලාගෙන ඇති බවයි. ඩොනාස් මෑතකදී පැරීසියට පැමිණ ඇත. පැරීසියේ වසන දෙමළ
තරුණයන් ඔහු අල්ලාගෙන තිබේ. අල්ලයිපිඩ්ඩි ගම්මානයේ වූ හිංසක ක්‍රියා ගණනාවකට ඔහු
සම්බන්ධ යැයි කියවෙන බැවිනි.
කතාවේ කථකයා
ඩොනාස් සිරකරගෙන ඇති ගෙදරට යන විටත් පිරිසක් ඔහුට වධදෙමින් සිටියි. තමන්ගේ පහලොස්
හැවිරිදි පුතා යම් කණ්ඩායමක් විසින් මරා දමන ලද වේදනාව තවමත් විඳින පියෙක්ද පැමිණ
ඩොනාස්ගේ මුහුණට කෙළ ගසයි. තම දරුවා පැහැර ගැනීමට ඔත්තුව දී ඇත්තේ ඩොනාස් යැයි ඒ
පියා සිතයි. මේ සංක්‍රමණික ප්‍රජාව පැරීසියේ සිටියත් තම තම ගම්මානවල සිද්ධ වෙන දේ
ගැන තොරතුරු ලැබෙන සන්නිවේදන ජාලයක් පවත්වාගෙන යන බව පෙනෙයි.
තමා විසින් මරා දමන ලද්දේ එම්ජීආර් පමණිකියි ඩොනාස්
කියයි. කතාවේ එන්නේ මේ මරාදමන ලද එම්ජීආර් කවුද යන විස්තරයයි. එක්තරා කාලෙක එම් ජී
රාමචන්ද්‍රන්(එම්ජීආර්) අල්ලයිපිඩ්ඩි දූපත් ගම්මානයේ ඉතාම ජනප්‍රිය නළුවා විය.
පරිමලාකාන්තන් නම් මැදිවියේ සිනමා රසිකයා ඒ ගමේ එම්ජීආර් රසික සමාජයක්ද පිහිටු
වීය. ඒ රසික සමාජය යනු ඒ ගමේ සංස්කෘතික නිකේතනයකි. එය බුද්ධිමය සාකච්ඡා මණ්ඩපයකි.
එම්ජීආර්ගේ සිනමාකෘති නැරඹීම, ඒවා සාකච්ඡා කිරීම පිණිස ගමේ තරුණයෝ රැස් වූහ.
පරිමලාකාන්තන් මේ සංස්කෘතික- බුද්ධිමය සංවාදයේ නායකයා විය. ඔහු විවාහක නමුත් දරුවෝ
නොසිටියහ. ඔහුගේ රසික සමාජය ඔහුට තමාගේම දරුවන් සේ විය. 1987 දී එම්ජීආර් මිය ගිය
පසු පරිමලාකාන්තන් හිස මුඩු කළේය. පසු කලෙක එම්ජීආර් ආකාරය ඇඳුම් ඇන්දේය. ඒ නිසා
ඔහු එම්ජීආර් යන නමින්ම හැඳින් විණ. කතාවේ කථකයා පැරීසියට ආවත් පරිමලාකාන්තන්
හෙවත් එම්ජීආර්ගේ වගතුග සොයා බැලුවේය. ඔහු ගෙලවැලලාගෙන දිවි නසාගත් බව කථකයාට
ආරංචි විය.
දැන් මේ පැරීසියේදී හසු වී සිටින ඩොනාස් පාපොච්චාරණය
කරන්නේ තමා එම්ජීආර් මරා එල්ලූ බවය. පරිමලාකාන්තන් සිනමා රසික පර්ෂදයක් පිහිටුවා ඒ
වියළි ගම්මානයට සංස්කෘතික එළියක් ලබා දුන් දවස්වල ඩොනාස් ඉපදිලාවත් නැත.
උතුරු-නැගෙනහිර දුෂ්කර දවස්වල බිහි වූ ඇතැම් ගැටවර සටන්කාමීන්ට තමන්ගේ සංස්කෘතික
වීරවරයන් ගැන පවා කිසිම අවබෝධයක් නැත. තමා එම්ජීආර් මැරුවේ කොටින්ට මුදල් දුන්
නිසා බව ඩොනාස් කියයි. මේ මොහොත වන විට ඩොනාස් යනු ඊපීඩීපී වැනි කොටි විරෝධී,
එහෙත් මිනීමරු සංවිධානයක සාමාජිකයෙකු බව අපට පෙනේ.
කෙසේ හෝ කථකයා මැදිහත්ව ඩොනාස් නිදහස් කර යවයි. ඔහුද
රස්සාවක් හොයාගෙන පැරීසියේ පය ගසා ගත යුතු බැවිනි. ටික කාලයකට පසුව කථකයාට ඩොනාස්
හමු වේ. තමා එම්ජීආර්ගේ සිනමාකෘති නැරඹූ බවත් ඒවා නරක නැති බවත් ඔහු කියයි. කථකයා
කුණු හරපයෙන් බැණ ඩොනාස් එළවා ගනියි. එම්ජීආර් නමින් අන්වර්ථ නාම ගැන්වුණු ඒ ගැමි
සංස්කෘතික බුද්ධිමතා ගැන කිසිම වැටහීමක් නැති පිලිස්තීනු සටන්කාමීන් පිරිසක් සෑම
සන්නද්ධ සංවිධානයක් විසින්ම බිහි කරනු ලැබ ඇත. අවුරුදු 30ක යුදමය වාතාවරණයක් යටතේ
ඉපිදි හැදුණු වැඩුණු ඩොනාස්ලාගෙන් ගැඹුරු සංස්කෘතික සංවේදීතාවවක් අපේක්ෂා කළ
හැකිද? ශෝභාශක්තිගේ කතා සියල්ලෙන්ම පාහේ මේ පැණය අසනු ලබන මට සිතේ.
(2015 වසරේදී ලංකාදීපයේ පළ වු කෙටි ලිපියකි.)
ඒ පොත හොයාගන්න පුලුවන් කොහෙන්ද කියල සදහන් කරන්න පුලුවන් නම් වටිනවා.
ReplyDeleteඇත්තටම මේ කමෙන්ටුව මේ පෝස්ටුව විතරක් ඉලක්ක කරල දාපු එකක් නෙවී. ලියවුණ ලියැවෙමින් පවතින සහ ලියැවෙතියි සිතෙන පෝස්ටු ත් ඉලක්ක කරලයි ලිව්වෙ.