Wednesday, January 12, 2022

ප්‍රගීතිකා ස්පර්ශ කරන අමුතුම තැන් - ලියනගේ අමරකීර්ති

 


 


අපි කොච්චර කවි ගැන පණ්ඩිතකම් කිව්වත් විචාරයේ ගද්‍යයෙන් කවිය අල්ල ගන්න එක හරි අමාරුයි. මහචාර්ය හැරල්ඩ් බ්ලූම් කියනවා වගේ හොඳ කවි හඬ නගා තමන්ටම කියවා ගන්න එක හොඳයි. කවියෙන් ලෝකෙ හදන්න යන එකට බ්ලූම් කවදත් කැමති නෑ. කියවීම කියන්නෙ ඉතා ආත්මාර්ථකාමී වැඩක්. ඒකෙන් කාගෙවත් ජීවත හෝ ජීවන කෝන්දේසි හොඳ වෙන්නෙ නෑ. එහෙමයි බ්ලූම් කිව්වෙ. ඒකෙ ඇත්තක් තියෙනවා. නමුත් සාහිත්‍ය සමාජමය සංවාදවලට සම්බන්ධ කරන්න පුළුවන් සාහිත්යිකත්වය නොනසා වුණත්. ඒ වගේ වැඩකට ඕනෙ තරම් න්‍යායික ගුරුකුල තියෙනවා. 

මමත් මේ දවස්වල ඉගැන්වීමේ රස්සාවට අමතරව සමාජ-දේශපාලන වැඩවලත් ඉන්නවා. ඒත් ඉඩක් ලැබුණ වහාම කරන්නෙ මගෙම අභ්‍යන්තරය සමග සංවාදය පිණිස කියවන එක. අද නම් ආයෙත් ගෙවතු වගාවටත් බැස්සා උදැල්ලත් අරන්. ඒක මමත් පරිසරයෙම කොටසක් නේද කියල භාවනාවක යෙදෙන්න හොඳ වැඩක්. හැබැයි සාහිත්‍ය කියවීම කියන්නෙ මම කවුද කියන එක හොයන්න මගේ ඇතුළෙම කැලෑව එළි කිරීමක් වගේ එකක්. 

අපේ අභ්‍යන්තරය සමග සංවාදෙදි අපිට උදව්වට තියෙනවා හොඳයි අපේ විඥානයේ අපි නොදැක්ක අඩවි හෝ වල් බිහි වෙලා අඩි පාරවල් මැකිල ගිය අඩවි හොයාගන්න මග කියන සාහිත්‍ය කෘති. දාර්ශනික කෘති. 

සිංහල කවියෙදි අපිට ඉඳල හිටල එහෙම අවස්ථා හම්බ වෙනවා. 

තනියම, හෙමින් කියවමින්, කියවන කියවන වාරයක් පාසා අපිව මනුෂ්‍ය පැවැත්වෙන ඇතුළට අරන් යන කවි තියෙන පොතක් හම්බ වුණා. ඒ තමයි ප්‍රගීතිකා ජයසේකරගෙ හත් පෙති මලෙන් අත් හැරුණු පෙත්තක්.

  ඇගේ පළමු කවි පොත වුණත් ඇය තමන්ගෙ බස පිරි මැදල තියුණු කරගෙන තියෙනවා හරි ලස්සනට. ඇය සම්ප්‍රදායෙන් ගන්නෙ වචන නෙමේ. වචනවල මුවහත. සම්භාව්‍ය කවිය නමැති අඛණ්ඩ ගංගාවේ නොනැවතී පෙරළි පෙරළී එක එක හැඩගත් වචන ඇය හිමින් අහුලලා අරන් ඉවුරේ සුදු වැලි මත ලස්සන රටා හදන පුංචි කෙල්ලක් වගේ කවිය බඳිනවා. අනික් මොකවත් ගැන අවධානයක් නැතිව වැලි ඉවුරේ දණ ගසාගෙන ඉන්න කවි කෙල්ලක් අපිට පේනවා. තියුණු ප්‍රඥා ශක්තියකින් බබලන නළලක් ඒ කෙල්ලට තියෙනවා වගේ පේනවා.

මම මෙහෙම රූපකමය වශයෙන් ලියන්නෙ ඇයි? විචාරක ගද්‍යයෙහි භාෂාවෙන් කවි අල්ලන්න බෑ කියල මම කලිනුත් කියපු නිසා. 

මේ කවි ගැන ලියන කොට ඒවා ආයෙත් ටයිප් කරන එක පවා හිංසනයක් කියා හිතෙන විදියට සියුම්.

ඇගේ කවියේ තියෙන්නෙ කල්පනාකාරියකගේ සිතිවිලි රිද්මය වගේ දෙයක්. සරාගිකත්වයක් ගෑවිලාවත් නැති විදග්ධ පෙනුම ඇති ඇඳුමක් හැඳි, එහෙත් නෙත වශී කරන සුන්දරත්වයක් ඇති තරුණියක් වගේ ඒ කවිය. එවැනි තරුණයෙක් වගේ කියලත් කියන්න පුළුවන්. ඒත් ශික්ෂිත සුන්දරත්වය විනිවිද ගෙන ඇසට නොපෙනෙන තරම් වූ ඊ තලයක් වගේ සියුම්සරාගයේ පැන නැගීමක් එන වෙලාවල් තියෙනවා ප්‍රගීතිකාගෙ කවියෙ. ආදරයේ තියුණුම කවි පද වගේ ඒවා අපට පේනවා. මේ බලන්න:


හමු නොවී හමුවීම

පෙම්බරය

ඔබේ දෑසේ කැඩපත

ඉසියුම්ව

යොමු නොකරන්න මා දෙස...


රුති සිතින් ඔබ විඳින රුව පත්ල

කැට කැබලි ආත්මය

ඔබේ දිගු ඇඟිලි තුඩු

සිදුරු විසිදුරු කරනු ඇත...


සරාගික සේ හැඟෙන දෙතොලෙහි

සැබෑ වෙව්ලුම

සිනාසෙන දෑසෙහි

හැලි වළං පැලුණු ඉගැඹර

ඒ අතර මිය නොගිය

ළදරු සිහිනාලාප දුටොත් ඔබ

අතින් අල්ලාගෙන මා

රැගෙන යනු ඇති

වන ගුල්ම තැනිතලා

වලාකුළු සමුදුරු දිය වෙත

ඉවසා සිටිනු ඇත ඔබ

බිම වැති තරු ගණින තෙක් මම...


දනිමි එනමුදු

උඩු ගං බලා යනු

නොහැකි බව අපට

කාලයට පසුපස ආරක් වෙතොත්

මතක පමණක්ය...


නොතැවෙන්න ඔබ

තිබේ මට ජීවිත දහසක් 

පොත් පිටු අතර..


මා කැමති ප්‍රබන්ධෙක

ඇතැම් විට

ඔබට මා හමුවන ඇත

එහෙත් මා පෙම්බරය

ජීවිතය එතරම් දිග නැත...


  මේ කවිය කිහිප වරක් කියවූ විට පුදුමාකාර වේදනාවක් ඇති වෙනවා. ඒ අපි ගැනමයි. කවියේ කථිකාවිය ගැන නොවෙයි. අපේම අහිමි වීමක්, අපේ හදවතේ හංගාගෙන තිබුණ අහිමිවීමකට ප්‍රාණය සපයා අප තුළම ඒ වේදනාව සජීවී කිරීමයි කවියෙන් වෙන්නෙ. හොඳ සාහිත්‍යකාරයො කරන්න ඕනෙ ඒ වැඩේ. නිර්මාණයේ ඉන්න චරිතයක වේදනාව රසිකයා ලබා ඈත සිට බැලවීම නෙමේ. ඔය දුරස්තීකරණය බ්‍රෙෂ්ට්ට පවා කරගන්න පුළුවන් උනාද කියන එක සැකයි. 

මෙහි කථිකාවියට මේ ඉසියුම් ආදරවන්තයා හමුවන්නෙ පසු කලෙක. නැත්නම් මේ ඉසියුම් ආදරවන්තයා එන්නෙ අතීතයෙන්. ඔහුගේ ආදරබර බැල්ම කැඩපතක් කොට ගෙන ඇය තමාවම දකිනවා. සුන්දර රූපකාය යට බිඳුන ආත්මය ඇය ඔහුට පෙන්වනවා. ඇය දැන් විවාහකයි කියන්න සාක්ෂි තියෙනවා. සැබෑ ලොවේ ඒ දෙදෙනාට එක්වන්න බෑ. ඔහුත් සාහිත්‍ය රසිකයෙක් වෙන්න ඇති. දෙන්නම එකම වගේ පොත් කියනවා ඇති. 

ඕනෑම හොඳ සාහිත්‍ය රසිකාවිකට වගේ ඈටත් දහසක් තවත් ජීවිත තියෙනවා පොත්වල. හොඳ පොත්වල එන චරිත අපි වගේ කියා අපට හිතෙනවා.

ඒ වගේම ඇය කැමති ප්‍රබන්ධ කථාවක් ඔහුත් කියවන කල ඇගේ ආත්මය හමුවෙන්න ඉඩ තියෙනවා.

කෙළින්ම තමා නොව පොතක් වෙත ප්‍රක්ශේපණය කළ තමාගේ වෙනත් ආත්මයක් හඳුනාගන්නා ලෙස ඇය ඔහුට කියනවා. ඒත් කවිය අවසානයෙහි ඇය ඇති කරන සංදිග්ධතාව වේදනාකාරියි.

එහෙත් මා පෙම්බරය

ජීවිතය එතරම් දිග නැත...

ඇය කියනවා. පොතක පිටු අතර නොව උයනක බංකුවක, ඇඳක ඇතිරිලි අතර ඒ දෙදෙනා දැකීමේ අපේ ආසාව නොසන්සිඳෙන නිසා කවිය අපේ හද බිඳිනවා. ඒ කවියේ එන දෙදෙනාගේ දෙහදත් බිඳින යථාර්ථයක් තමයි සැබෑ ජීවිතයෙ තියෙන්නෙ. කාලය හෝ අවකාශය විසින් ඇගේ හද බිඳින්න ඉඩ තියෙනවා. ඒ බව දන්නා අප තුළ ඇති වෙන ශෝකී හැඟීම් වලාව තුළ පාවෙවී අපිට බොහෝ වෙලා ඉන්න පුළුවන්. 


පෙරළන පෙරළන පිටුවේ අපේ හදවතේ අමුතුම තැනකට ආමන්ත්‍රණය කරන කවි මේ පොතේ තියෙනවා. ඒ ආමන්ත්‍රණය කරන රිද්මයත් අමුතුයි. නැවුම්. කාලෙකින් දැකි නොහැකි වුණු රිද්මයක්.

මේ තව කවියක්.

පොකුරු වැස්ස

තුඟු ගිරි මුදුන්, නුබ ගැබ

සක්වළ අනේ තරු කැට

හිවි තුරු මල් පලින් බර

ඔබේ පියවර එදෙස ය


මහරු තණ පියවිලි මත

සත් සිඳු එතෙර විඳගමි

සප් දළ රිදුම් සිනිඳු ය

දෑස පිස ලන පවන සිසිල ය


නොතිත් ඇල්මක උණුසුම

කාලයෙ සිලිටි දෑතින්

පිරිමැදී පෑ වියැකුණ

සමනල් පියාපතකි ය


තණ පත් මල් පියලි මත

ලියා ඇත මගෙ කවිය

විඩා දැනුණොත් ඔබට

මාවුලාවක් පිණිස ය 


එහෙත් ආපසු එන්නැයි

සුළඟෙහි ලියා නොඑවමි

අනෝරා ප්‍රේමෙනි මම

පොකුරු වැස්සක් විය හැකි.


   මම අර කලින් කියපු සම්භාව්‍ය පද්‍ය භාෂා ගංගාවෙන් ගන්න රවුම් වූ වචන-ගල් මෙතන දකින්න පුළුවන්. මාවුලාව (හිස තබන කොට්ටය) වැනි දුර්ලභ, දුෂ්කර වචනයක් වුණත් ලස්සනට හැඩ වැටුණු වචන-ගලක්. කවිකාරිය ඒක අර සිනිදු වැල්ලේ ලස්සනට, පේළියට තියනවා.

 නොවිඳි ආදරයක් අනෝරා වැස්සක්ව ඇද වැටෙන්නට සූදානම්ව කථිකාවගේ හදවතෙහි පැහි පැහි තියෙන හැටි දකින අපි තුළ සරාගී ශෝකයක් ඇති වෙනවා. "මේක අමුතුම කවි මිහිරක්නෙ." අපිට හිතෙනවා.

මේ කවිවල භාෂා රිද්මය විදග්ධ විනීතාචාර ඇති රූමතියකගේ ඇඳුමක් වගේ යයි මම කලින් කිව්වා. එවන් විදග්ධතාවක් ඇති, හරි තැම්පත් කවිකාරියකගේ කවිය ආදරය ගැන ශෝකය සහ සරාගය මෙතරම් ලස්සනට මිශ්‍ර කරන හැටි පුදුමාකාරයි. 

නූතන ජීවිතයේ එක එක තනි තනි සිරගෙවල සිරවුණ සුහදසුහදිනියන්ගේ වේදනා විලාපය අපට කවියෙන් ඇහෙනවා. මේ තව කවියක්:

ප්‍රේමප්‍රාප්ති

දැවෙන සැඩ රැස්

තුරුලු කරගෙන

සිහිල් කොට

මුදු එළිය විහිදන

සඳක මවු හදවතින් බිඳුවක්

සොයා යන සැරියකය ඔබ මම


අතරමග මං ලකුණු පැටලෙන

අතරමං වන විටද නොබිඳෙන

ඒ සියුම් හුය දෙහද උපදින

කුසුම් අමුණන සොඳුරු වියමන


පුරා හඳ හමු වෙන සුයාමය

නුරා ඉම ඉක්මවා යෑම ය.


  මේ කථිකාව යෝජනා කරන නුරා ඉම ඉක්මවා යෑම සිදුවන්නේ 'රාගයෙන් තොර' ප්‍රේමයක නොවේ. නුරාවේ අවසන් ඉමට  එක ගොස් ඉන් එහාටද යෑමයි ඒ.

  මේ කවිවල එන ආදරය, සුහදසුහදිනියන්ගේ සම්භෝගය, සෑබෑ ලෝකයට හොඳ වැඩි තරම් හොඳයි. ඒ නිසා අපේ වේදනාව වැඩියි. ප්‍රගීතිකාගේ බොහෝ කවි කියවා අවසන් වුණාම ඒ ආදරය හෝ ඒ මිනිස් සබඳතාව කවියේම විතරක් තියෙන තරමට හොඳයි කියා අපට හිතෙනවා. කවියෙ විතරක් පවතින්න හොඳ දේවල් කවියෙන් සපයන්න පුළුවන් නම් ඒ කවිය හොඳයි.

   මේ පොත ඒ කිවිඳියගේ පළමු පොත. ඒත් ඇය කාටවත් කාව්‍යමය ඥාතිත්වයක් හෝ ණයකාරත්වයක් දක්වන්නෙ නෑ. පුදුමාකාර ස්වීයත්වයක් කවියෙන් පේනවා. කවියෙන්ම විතරක්ම අල්ලන්න පුළුවන් තැන් අපේ පැවැත්මේ සහ විඥානයේ තියෙන බව අපට දැනෙන්නේ “මෙයා ඒ තැන් අපිටත් හොරෙන් අල්ලලා නේද” කියල අපිටම හිතෙන කොට.

  සාහිත්‍ය ගැන කතාබහ කරන තැන්වල වරක් දෙකක් දැක ඇති මේ කිවිඳිය මං දන්න කියන කෙනෙක් නෙමෙයි. “අනේ මෙහෙම කෙනෙක් අපේ යාළු කණ්ඩායමේ උන්න නම්” කියා ආසාවක් මේ පොත කියවද්දි ඇති වෙනවා.




පිරිමින්ට වඩා සියුම් විදියට කවි ලියන ස්ත්‍රීන් පිරිසක් දැන් මතු වෙලා ඉන්නවා. ඒ අයගෙ විෂය ලෝකය තව ටිකක් පෘථුල වෙනවා දකින්න නම් මට ආසාවක් තියෙනවා. ගැඹුරටම යන්න වුණත් බිරිඳ, ආදරවන්තිය, පෙම්වතිය, මව යනාදී දෙන ලද භූමිකාවල කීකරුව ඉඳිමින් ජීවිතය ගවේෂණය කරන්න අමාරුයි. එක්තරා තැනකදි එවැනි පුංචි ලෝකයක් වටේ ඇති සංකල්පමය තාප්පය හමු වෙනවා. 


පෘථුල නැති වුණත් හුරුපුරුදු ලෝකෙම වුණත් ගැඹුරට යන එක ලේසි වැඩක් නෙමේ.

   මේ පොත අනිවාර්යෙන්ම කියවන්න.


No comments:

Post a Comment