Friday, February 18, 2022

ගෙවතු වගාවේ මිහිර සහ වෙහෙස: විස්කොන්සින් සහ පේරාදෙණිය - ලියනගේ අමරකීර්ති (The Fun and Pain of Gardening)

 




  

මම ගෙවතු වගාවෙ යෙදෙන බව මගේ මිතුරන් දන්නවා. ඒක කරන්නෙ ව්‍යායාමක්, පරිසරය සමග සංවාදයක්, ආත්ම ශික්ෂණයක් විදියට. පොතක් ලියන්නයි, උගන්වන්නයි, වෙනත් සමාජ වැඩයි නිසා සම්පූර්ණයෙන්ම වගේ කැළෙන් වැහුණ ගෙවත්ත දවසකට පැයක් හමාරක් වැඩ කරල ආයෙම ගොඩ දාන්න මට හැකි උනා. ඒ වැඩේ මම කෙරුවෙ අනික් වැඩවලින් කාලෙ හොරාගෙන.


පේරාදෙණියෙ මගෙ නිවස අසල ගෙවතු වගාව කරන එක ලේසියි. වත්ත කෙළවරින් ඔයක් ගලන නිසා වතුර තියෙනවා.

ඒ වගේම මගේ නිවස තියෙන කඳු ගැටයෙ අනික් පැත්තෙ තියෙන කඳුවල විශ්වවිද්‍යාලයට අයිති සත්ත්ව ගොවිපළවල් දෙකක් තියෙනවා. එකක් කෘෂිවිද්‍යා පීඨෙට අයිතියි. අනික පශු වෛද්‍ය පීඨෙට අයිතියි.

ඒ නිසා තියෙන වාසිය මේකයි.

ඒ දෙකෙන්ම වගාවට අවශ්‍ය ගොම පේර ගන්න පුළුවන්. අවුරුද්දකට කලින් කිලෝ විසි පහක පෝර මල්ලක් රුපියල් පනහයි. දැන් හැම දේම ගණන් නිසා සීයයි.

ඒත් ලාබයි.

මම බූට් දෙකක් එහෙම දාගෙන ගිහින් ෆාම් එකෙන්ම සවලක් ඉල්ලගෙන පුරෝගෙන එනවා. 

මගේ ඩියෝ ස්කූටරේ එක පාරට පෝර මලු දෙකක් ගේන්න පුළුවන්. 

මේ ඡායාරූපෙ තියෙන්න මගෙ පෝර වික්‍රමේ සරිතාගෙ කැමරා ඇසින්.


විස්කොන්සින්

මම ශාස්ත්‍රපති සහ ආචාර්ය උපාධි කළ විස්කොන්සින් විශ්වවිද්‍යාලය සිසුන්ටත්, ආචාර්යවරුන්ටත්, අනික් නිලධාරින්ටත් ගෙවතු වගාව හුරු කරනවා. 

ඒක කරන්නෙ මෙහෙමයි. අප්‍රේල් අග විතර ඉඳලා සැප්තැම්බර් මුල විතර වෙනකල් ගෙවතු වගාව කරන්න පුළුවන්. විස්කොන්සින් විශ්වවිද්‍යාලය තියෙන්නෙ ඉතා සාරවත් ගොවි බිම් ප්‍රදේශයක. හොඳට වතුර තියෙනවා. සාරවත් පස් තට්ටුව හරි ගැඹුරුයි.

පේරාදෙණියෙ වගේ ඒ විශ්වවිද්‍යාලෙත් විශාල කෘෂි සහ සත්ත්ව විද්‍යා පීඨ තියෙනවා.

විශ්වවිද්‍යාලය අක්කර දහයක විතර ඉඩමක් වගාවට වෙන් කරලා තියෙනවා. එය වර්ග අඩි සීයෙ දෙසීයෙ විතර වගා බිම්කඩවල්ට වෙන් කරල. ලී වැටවල් එහෙම ගහල තියෙනවා.

හැම ගිම්හාන කාලෙම විශ්වවිද්‍යාලෙට ඩොලර් විස්සක් ගෙවල (දැන් වැඩි ඇති) ඒ බිම්කඩක් ගන්න පුළුවන්. විශ්වවිද්‍යාලෙ ෆාම්වලින් ගොම පෝර ගෙනැල්ලා ඒ වත්තෙ ගොඩ ගහල තියෙනවා. වගාකරුවන්ට ඒවා නොමිලෙ ගන්න පුළුවන්. අවශ්‍ය ආයුධ, උපකරණ, වතුර සියල්ල සපයා තියෙනවා.

ගිම්හාන කාලෙට ආචාර්ය මහාචාර්යවරු, පශ්චාත් උපාධි ශිෂ්‍යයො ආදීන් පවුල් පිටින් ඇවිත් එතන එළවළු කොටු වවනවා. සාමාන්‍යයෙන් එන්නෙ තමන්ගෙම ගෙවතු නැති අය වුණත්, සමහරු එතන තියෙන ප්‍රජාමය සම්බන්ධය නිසා ආවා.

 සරෝජිනියි, මමයි, එහෙම බිම්කඩක් ගිම්හාන කාල කීපෙක වැව්වා. අතදරු කාලෙ පවා පුතාවත් අරන් ගියා. අපේ අල්ලපු බිම්කඩ වැවුවේ අපේ සමීප මිතුරන් වුණ ධම්මික අතපත්තු සහ සුමුදු අතපත්තු පවුල. ධම්මික පේරාදෙණියෙ වෛද්‍ය පීඨෙ ආචාර්යවරයෙකුව ඉද්දි විස්කොන්සින් ගියා. සුමුදු කොළඹ විශ්වවිද්‍යාලෙ නීති පීඨෙ ආචාර්යවරියකව ඉද්දියි ගියෙ. ඇය පාලි පිළිබඳ මහාචාර්යවරියක වූ ලිලීද සිල්වා මැතිණියගෙ දුව. 


පාලිත දිසනායක සහ මංජුලා දිසානායක පවුලත් එතන බිම්කඩක් වැව්වා මතකයි. පාලිත විස්කොන්සින් විශ්වවිද්‍යාල රෝහලේ හෙද නිලධාරියෙක් විදියට වැඩ කළා. මාර හිත හොඳ මිනිස්සු.


"අපේ සුජාත මාතෘභූමියේ ඕනෙ දෙයක් වැවෙනවා," "මේක පින්බර බිමක් " ආදිය අපි අපේ රට ගැන කියනවා. ඒවා අපේ ආත්ම ශක්තිය ඇති කරගන්න කියන අලංකාරික කියමන්. ඇත්තම නෙමේ. ඔය වගේ කියමන් ඇත්ත වෙන්නම ඕනෙ නෑනෙ. 

විස්කොන්සින් අපේ ඒ ගොවිබිමේ ඕනැ දෙයක් සාරෙට වැවෙනවා. ඩොලර් විස්සෙ බද්දට ගන්න ඒ බිම්කඩෙන් ගිම්හාන කාලෙට ඕනෙ කරන සේරම එළවළු වවා ගන්න පුළුවන්. තක්කලි හැදෙනවා පට්ට ලස්සනට. අපි වැඩි හරියක් හැදුවෙ චෙරි තක්කලි. කැරට්, බීට්, වම්බටු, මිරිස්, කොලාර්ඩ්, නිවිති, ගෝවා, සිලැන්ත්‍රෝ, පාස්ලි, මින්චි මේ ඔක්කොම පොඩි පොඩි පාත්තිවල වවා ගත්තම ගෙදර වැඩිත් එක්ක.

    ඒ විදියෙ අස්වැන්නක් ලංකාවෙ ගන්න ලේසි නෑ, මේක පින් බර භූමියක් වුණත්.  

ඉල්   මැස්සා, කුඩිත්තා  අරුන් මෙවුනුත් විස්කොන්සින් විශ්වවිද්‍යාලෙ අපේ එළවළු කොටුවෙ හිටියෙ නෑ.. ඉත්තෑවා, වල් ඌරා, උරූ මියා ආදී අයත් නෑ. රිලව් රංචු ඇවිත් වම්බටු ගස් ටික පාළු කරන්නෙත් නෑ.

ඒ වගාව නිසා අපි ඉගෙනගත්ත එක දෙයක් කියන්නම්. අපේ අතිරික්ක තක්කලි අස්වැන්න කල් තබා ගන්න ක්‍රමයක් මගෙ ඇමරිකානු යෙහෙළියක වූ හෙදර් සොන්ටැග් මට කියලා දුන්නා. තක්කලි දෙකට පලලා, සිප්ලොක් බෑග්වල දාලා ෆ්‍රීසර් එකේ දැම්මම මාස හයක් වුණත් තියාගන්න පුළුවන්. 

ඒ වගේ ශීතාගාර ක්‍රම අපේ ජනතාවට සැපයුවොත් තක්කලි අස්වැන්නෙන් බාගෙකටත් වඩා අලින්ට කන්න විසි කරන්න ඕනෙ නෑ. මහපරිමාණ වශයෙන් කරනවා නම් තක්කලි දෙකට පලන්නෙ නැතුව තියාගන්න ක්‍රම තියෙනවා. මම උඩ කිව්වෙ ගෙවත්තෙ අතිරික්ත තක්කලි කල් තබා ගන්න විධියක්.


 අර වගේ වගා සංස්කෘතියකට වෙන් කළ හැකි බිම්කඩක් සකසා අර විදියට ආචාර්යවරුන්, අනධ්‍යයන නිලධාරින් හා සිසුන් අතර පතුරුවන්න පේරාදෙණියෙ විශ්වවිද්‍යාලෙ පාලනය කරන අයට පුළුවන්. අපේ කට්ටිය ඔය වගේ වැඩ කරයිද දන්නෑ. 

ඌරා, ඉත්තෑවා, රිලවා ආදීන්ගෙන් ආරක්ෂා කරන්න ක්‍රමයක් හදලා වුණත් එහෙම දෙයක් කළොත් වරදක් නෑ. 

විස්කොන්සින් විශ්වවිද්‍යාලෙ ආචාර්ය මහාචාර්යවරු නිලධාරින් මේ වගේ බිමට බයිසිකල්වලින් සහ පයින් එනවා.  ගිම්හාන කාලෙනෙ. කවුරුත් වගේ බයිසිකල් පදින කාලෙ. සමහරු විතරක් කාර්වලින් එනවා. අපි මාර පෝසත් රටක් නිසා මේ වගා සංස්කෘතිය පැතිරුණොත් ජපන්, යුරෝපීය, ඇමරිකන් ආදී කාර් එහෙම වගා බිම අසල තියෙයි. දැන් ශාස්ත්‍ර පීඨ කාර් නැවතුම් පොළෙත් කෝටි හතර පහේ වාහනත් තියෙනවානෙ. 


අතපත්තු පවුල ලංකාවට ආවෙ නෑ. සුමුදු විස්කොන්සින් විශ්වවිද්‍යාලෙම වැඩ. ධම්මිකත් ඇමරිකාවෙම තව විශ්වවිද්‍යාලෙක වැඩ. එයාලා දැනුත් ගිම්හාන කාලෙට අතන එළවළු වවනවද දන්නෙ නෑ. එයාලට දැන් තමන්ගෙම ගෙවත්තක් තියෙන නිසා එහෙ යන්න අවශ්‍ය නෑ.

ඒ වගා බිමේදී අපි පන්ති කාමරයෙදි මුණ නොගැසුණ අය මුණ ගැසුණා. ඒ ඇතැම් අය තවත් යාළුවො. ෆේස්බුක් ආදිය තියෙන නිසා අපිට තවදුරටත් ඒ මිත්‍රසම්බන්ධකම් වවන්න පුළුවන්.

මම අපේ පේරාදෙණියෙ ගෙවත්ත තවම වවනවා.


5 comments:

  1. 😀
    උගත් පාඩම:

    පේරාදෙණිය විශ්වවිද්‍යාලයේත් හොණ්ඩර ගාණට ගොම ඇත.

    ReplyDelete
  2. කෝටි ගණන් වටින වාහන ගෙදර තියද්දි බයිසිකලෙන් බස් එකෙන් ඒ වගේ සුළු ගමන් සහ සාමාන්‍ය ගමන් ( මං කියන්නෙ දුර ගමන් සහ විශේෂ අවස්ථාවල යෙදෙන ගමන් නෙවී) යන්න තරං පෝසත් රටක් නෙවී මේක.
    කෝටි ගණං වටින වාහන තියේ නං බයිසිකලෙන් යනේක මදිකමක් වෙන දුප්පත් රටක්

    ReplyDelete
  3. Impressive & great! I do the same.

    ReplyDelete
  4. ලාංකික ගොවියා මුහුන දෙන ගැටළු සමග මේ වගාව සසඳන්න නොහැකියි. ඒ ගොවිය රස්සාවක් විධියටත් ජීවිකාව ගැට ගහගන්නත් පවුල් පංසල් කරගෙන යන්නත් හැම දේටම තමයි ගොවිතැන කරන්නෙ. වෘත්තිකයනට සහ කුඩා ඉඩම් කෑලි තිබෙන නගරයේ වැඩ කරන් අයට මේක ආදර්ශ ගොවි පොළක්. අගෙයි පෝස්ටුව!

    ReplyDelete
  5. ආසාවෙන් කියෙව්වා

    ReplyDelete