දීය කඩුවේ සෝමානන්ද හිමියන්ගේ මිස්සක පව්ව පොත මගින් පෙනෙන්නේ අද ලංකාවේ අපට අනිවාර්යෙන්ම තිබිය යුතු බෞද්ධකමකි. එසේම ඉතා දුර්ලභ භික්ෂූත්වයක්ද ඉන් පෙනේ.
විවිධ විෂයයන් අළලා උන්වහන්සේ ලියූ තීරු ලිපි 46ක් මෙම පොතෙහි සංග්රහ වේ. මේ තීරු ලිපි පළ වූ රැස පුවත්පත පොහොට්ටු ආණ්ඩුව විසින් නතර කෙරිණි. මෙවැනි ලිපි පළ කරන්නට බිය නොවූ ආණ්ඩුවේ පුවත්පතක් වසා දැමීමෙන්ම පෙනෙන්නේ පොහොට්ටුකාරයන්ගේ සහ වියත්මග්ගුන්ගේ අසංස්කෘතිත්වයයි.
සෝමානන්ද හිමියෝ නූතනයෙහි වසන නියම භික්ෂුවකට තිබිය යුතු සෑම දෙයක් වෙතම විචාරාක්ෂිය යොමු වූ තෙර නමක් වෙති. ඒ නිසා මේ පොතෙහි ළගන්නා බසින් ලියවුණු ලිපිවලට පතිරාජ, හඳගම, ඩෙකාට්ස්, ටෙලිනාට්යය, චිත්ර කලාව, සාහිත්යය, සංගීතය, කියවීම, රසිකත්වය ආදී බොහෝ දේ හසුවේ. ඒ සියල්ල විමසීමේදී උන්වහන්සේ ගෙන එන්නේ මධ්යස්ථ බෞද්ධ දෘෂ්ටියකි. මැදුම් පිළිවෙතින් යුත් බුදු මග කුමක්දැයි දකිනු කැමති අයට මේ පොත අමා රසක් වන්නේ ඒ නිසාය.
නායකත්වයේ අර්බුදය නම් රචනාවේ එක් තැනක උන්වහන්සේ මෙසේ කියති:
"ජන සමාජය ආධ්යාත්මික ව සහ නූතන ලෝකයට ගැළපෙන ලෙස නිවැරදි දිසානතියකට ස්ථානගත කිරීම සමාජ නායකත්වයේ වගකීම යි. වර්තමානයේ ලාංකික බෞද්ධ ජන සමාජයට එබඳු නායකත්වයක් ලැබේද යන්න ප්රශ්නාර්ථයකි.,"
මේ ප්රශ්නය නගන උන්වහන්සේ එවැනි ආධ්යාත්මික නායකත්වයක් සැපයීම භික්ෂුව අසමත් වූ බව නොපැකිල කියා සිටිති. එහිමියන් එසේ වදාළේ ලංකාවේ භික්ෂූන් ඉතාම තදබල ජාතිවාදී රැල්ල මතු කරමින් සිටි කලෙකය. ඒ 2019 මහ මැතිවරණය ආසන්න කාලයයි. ඒ භික්ෂු පිරිස අද තම මුහුණු වැල්ලේ හංගාගෙන සිටින නමුත් සෝමානන්ද කියන වැනි ආධ්යාත්මික පුනරාවර්ජනයක යෙදී සිටින බවක් පෙනෙන්නට නැත.
"රාජා භවතු ධම්මිකො" යන ලිපියෙන් රජවරුන් අධාර්මික වූ විට රටක මනුෂ්යයන්ට පමණක් නොව සතා සිව්පාවන්ට පවා සිදුවන විනාශය උන්වහන්සේ සාකච්ඡාවට ගන්නේ ගන්ඩතින්දු ජාතකයෙහි එන උත්තර පංචාල නුවරත්, ලංකාවත් කොතරම් සමානදැයි පෙන්වමිනි. ඒ කතාවේ රජු නම් තම අධාර්මිකත්වය වටහා ගෙන ධර්මයේ මගට එයි.
ඊයේ ජාතිය අමතා කළ කතාවෙන් නම් අපේ අය තුළ කිසිම ආත්ම විචාරාත්මක ආවර්ජනයක් සිදු වී ඇති බවක් පෙනී ගියේ නැත.
"සතුරෙකු නැතිවම බැරිද" යන අගනා රචනයෙන් උන්වහන්සේ විසින් ආමන්ත්රණය කෙරෙන්නේ අප රට නිතර දැකිය හැකි විදේශ විරෝධය, අන්ය ජාති විරෝධය, අන්ය ආගම් විරෝධය වැනි දේය. සංස්කෘතික වෙනස ඉදිරියේ කළබලවීම මෑත කාලීන සිංහල පුරුද්දක් වී තිබේ. මේ සංස්කෘතික ඒකමානිත්වය නිර්මාණය කරන්නට ඇතම් භික්ෂූන්ද දායක වී තිබේ. සංස්කෘතික වෙනස ඇති සෑම තැනකම සතුරෙකු දැකීමේ පුරද්දට අපගේ යටත් විජිත ඉතිහාසය බල පා ඇති බව ඇත්තය. එහෙත්, ඊටත් වඩා බලපා ඇත්තේ සංස්කෘතික වෙනස ඉදිරියේ ජනතාව තුළ ඇති වන අපහසුව ගසා කා බලයට එන්නට තැත් කරන දේශපාලන ව්යාපාරය. මෑත කාලීන භික්ෂුව ඒ ගසා කෑමේ දේශපාලනය යහමින් දායක වී තිබේ.
සෝමානන්ද හිමිගේ පොත ගැන කියන්නට බොහෝ දේ තිබේ. එක එක ටීවී විකාර නොව මේ පොහෝදා මෙවැනි ප්රඥාසම්පන්න අදහස් ගැන අපේ අවධානය යොමු කරමු.
No comments:
Post a Comment