මෙවර රාජ්‍ය සාහිත්‍ය උත්සවයෙන් පසු වඩාත් ප්‍රකට මාතෘකාවක් වූයේ සිවලිංගම් ආරූරන් නම් ලේඛකයාගේ ජීවිත කතාවය. ඉංජිනේරුවෙකු වන ඔහු 2009 වසරේ සිට සිරගතව සිටියි. ඔහුගේ නවකතාවක් හොඳම නවකතාව( දෙමළ) සේ මෙවර සම්මානය දිනුවේය. සෑම පුවත්පතක්ම පාහේ මේ ලේඛකයා ගැන සවිස්තර ලිපි පළ කළ නිසා ඔහුගේ කතාව සිංහල භාෂක සමාජය පුරා පැතිර ගියේය.නොවැම්බර් 6 වෙනිදා අරුණපුවත්පතද අගනා ලිපියක් පළ කළේය. ආරූරන් නිදහස් කළ යුතු බව බොහෝ දෙනෙක් කීහ. එය කළ යුතු බව මමද විශ්වාස කරමි. මේ රචනයෙන් මා අදහස් කරන්නේ මේ ලේඛකයාගේ ජීවන පුවත ඇසුරින් වෙනත් මාතෘකාවක් පිවිසෙන්නටය.
2011 වර්ෂයේදී පමණ පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙහි සිංහල අධ්‍යයන අංශය තරමක් අලුත් ස්වරූපයේ පාඨමාලාවක් හඳුන්වා දුන්නේය. “දෙමළ සාහිත්‍යය පිළිබඳ හැඳින්වීමක්” යන සරල නාමයෙන් හැඳින්වෙන එහි ශික්ෂණ ශාස්ත්‍රමය අරමුණ හෙවත් අධ්‍යාපනික අරමුණ සරල නැත. ඒ පාඨමාලාවට අදාළ විෂය නිර්දේශය රචනා කළ මා එහිලා මෙහෙය වනු ලැබූ න්‍යායික ප්‍රවේශයක් තිබේ. එය ආචාරධාර්මික සාහිත්‍ය විචාරය යැයි කෙටියෙන් හැඳින්විය හැකිය.
සහවේදනීය පරිකල්පනය
අප එම පාඨමාලාව හඳුන්වා දීමේදී අපේක්ෂා කළේ කුමක්ද? ඒ මෙයයි: සිංහලට නැගී ඇති ලාංකේය දෙමළ සාහිත්‍ය කෘති සමීපව අධ්‍යයනය කරමින් ලංකාවේ දෙමළ භාෂක ජනයාගේ ජීවිතය සහවේදනීය සේ වටහා ගැනීමට සිංහල උපාධි අපේක්ෂක අපේක්ෂිකාවන් හුරු කිරීම.
ඒ පාඨමාලාව බෙහෙවින් ජනප්‍රිය විය. දෙමළ සහ මුස්ලිම් ජනයාගේ ජීවිතයෙහි විවිධ තතු සමීපව වටහා ගැනීමේ අවශ්‍යතාවක් තරුණ සිසුන් තුළ පවතින බව පෙනිණි. ඒ පාඨමාලාවේ ඇතැම් දේශන සඳහා දෙමළ සහ මුස්ලිම් ජාතික විද්වතුන් හැකි පමණින් සහභාගි කරවා ගැනීමට අපි ප්‍රයත්න දැරීමු. අදටත් ඒ පාඨමාලාව පවතින අතර ආරූරන්ගේ සම්මානිත නවකතාව වහා සිංහලට නැගී මේ පාඨමාලාවේ උගන්වන්නට අවස්ථාවක් එන්නේ නම් අගනේය.
සංස්කෘතිය, භාෂාව, ජාතිය, ලිංගිකත්වය ආදිය අතින් අපට වඩා වෙනස් මනුෂ්‍යයන්ගේ ජීවිත වෙත පාරිකල්පනික වශයෙන් ඇතුළු වී ඒ ජීවිත සහවේදනීය සේ වටහා ගැනීම සාහිත්‍යයෙන් කෙරෙන එක් වැදගත් කාර්යයකි. සාහිත්‍ය රසිකයා තුළ ඇති කෙරෙන ඒ ශක්තියට සහවේදනීය පරිකල්පනය හෝ සහකම්පනීය පරිකල්පනය යන නම යෙදිය හැකිය.
සාහිත්‍යයෙහි බොහෝ ප්‍රයෝජන තිබේ. සුන්දර වස්තුවක් සේ පැවතීම පමණක් වුව සාහිත්‍යයෙහි වැදගත් ප්‍රයෝජනයකි. ඇතැම් කවි වටිනා නිර්මාණ යැයි අප දකින්නේ ඒවායෙහි එන වාග්මය හෝ ආකෘතික සුන්දරත්වය නිසාම පමණි. කෙටිකතා, නවකතා වැනි ඇතැම් ආඛ්‍යානමය කලා වටිනා සෞන්දර්ය වස්තු සේ හඳුනා ගැනෙන්නේ ඒවායෙහි එන භාෂාමය හෝ ආඛ්‍යාන ශිල්පමය සුන්දරත්වය නිසාමය. එසේම සාහිත්‍යය යනු මානව සංවාදයක කොටසකි. ඕනෑම සාහිත්‍ය කෘතියක් මනුෂ්‍යයා සමග සංවාදයකද යෙදෙයි. සාහිත්‍ය කෘතියක් මගින් ඇති කරන සාමූහික මනුෂ්‍ය සංවාදය වටහා ගැනීමට නොයෙක් න්‍යායික ප්‍රවේශ තිබේ. ආචාරධාර්මික විචාර න්‍යායද ඉන් එකකි. සහවේදනීය පරිකල්පනය මා දකින්නේ සාහිත්‍ය රසිකයා තුළ ආචාරධාර්මික තර්කනය ඇති කරන්නට දායක වන පරිකල්පන ශක්තියක් ලෙසයි.
හුදෙක් සුන්දර වස්තුවක් සේ පමණක් පවතින සාහිත්‍ය කෘති නිර්මාණය තමන්ගේ කාර්ය යැයි ඇතැම්හු කියති. එහෙත් සාහිත්‍ය කෘති නිර්මාණය, ග්‍රන්ථ නිෂ්පාදනය, බෙදා හැරීම, මිලට ගැනීම කියවීම ආදී සියලු කටයුතු උදෙසා විශාල මනුෂ්‍ය ශ්‍රමයක්, කාලයක්, හා පිරිවැයක් දරන්නට සිදු වන කලෙක සාහිත්‍යයෙහි ප්‍රයෝජන මොනවාදැයි බොහෝ දෙනෙක් අසති. සාහිත්‍ය කලා ආදිය අධ්‍යාපනයෙහි කොටසක් විය යුත්තේ මන්දැයිද ඔවුහු අසති. ඒ නිසා “ප්‍රයෝජන ගැන අපෙන් අහන්න එපා. සුන්දර වස්තු හදන උදවිය” හෝ “අපි සුන්දර වස්තු අගය කරන උදවිය” හෝ යනුවෙන් පමණක් පිළිතුරු දීම ප්‍රමාණවත් නැත. මෙවැනි ප්‍රශ්නවලට සාරවත් වූද බහුවිධ අර්ථ ඇත්තා වූද පිළිතුරු ගොඩ නගා ගැනීම උචිතය. “සාහිත්‍යය නිසා සහවේදනීය පරිකල්පනය වර්ධනය වී ආචාරධර්මික තර්කනයෙන් යුක්ත පුරවැසියන් බිහි කළ හැකිය” යන්නද අර පිළිතුරුවලින් කොටසක් වීම වරදක් නොවේ.
අප බොහෝ දෙනෙකුට එදිනෙදා ජීවිතයේදී අපට වඩා වෙනස් වූ සියලූ මනුෂ්‍යයන් ආශ්‍රය කරන්නට ලැබෙන්නේ නැත. එය අවශ්‍යද නැත. එහෙත් මනුෂ්‍ය ජීවිතයේ විවිධ ස්වරූප, මනුෂ්‍ය අත්දැකීමේ නොයෙක් සංකීර්ණතා ආදිය වෙත පාරිකල්පනික වශයෙන් ප්‍රවේශවීම බෙහෙවින් ප්‍රයෝජනවත්ය. එසේ වුවද සාහිත්‍යය පවතින්නේ සෞන්දර්ය ප්‍රීතිය ඇති කිරීමට පමණක් නොව එහි වෙනත් ප්‍රායෝගික ප්‍රයෝජනද තිබේ යැයි කීමේ ගැටලුද නැතුවා නොවේ. ඕනෑම දෙයක් “ප්‍රයෝජනවත්” යැයි කීමේ එක් ගැටලුවක් වන්නේ ප්‍රයෝජනය හෙවත් උපයෝගීතාව බවට සාහිත්‍ය කෘතිය ඌනනය වීමය. මා මේ රචනය ලියන විට මේස ලාම්පුවකින් මගේ කොම්පියුටරය වෙත ආලෝකය ලැබේ. ඒ මේස ලාම්පුවේ ප්‍රයෝජනය හෙවත් උපයෝගීතාව යනු ඒ එළිය සැපයීමය. සාහිත්‍ය කෘතිය යනු මේස ලාම්පුවක් වැනි උපකරණීය උපයෝගීතාවක් ඇති දෙයක් නොවේ. ඉන් ලැබෙන ප්‍රයෝජනය ඊට වඩා සංකීර්ණ වේ. මේ කාරණය සැලකිල්ලට ගන්නා සාහිත්‍ය න්‍යායවේදිනියක වන රීටා ෆෙල්ස්කි මෙවැන්නක් යෝජනා කරයි: සාහිත්‍යය යන්න “ප්‍රයෝජනවත්” දෙයක් කීමට වඩා උචිත වන්නේ “ප්‍රයෝජනයෙහි යෙදවිය හැකි” දෙයකි. එනම් සාහිත්‍ය කෘතියක ප්‍රයෝජනය හුදෙක් නිරන්තරයෙන්ම සූදානමින් තිබෙන ප්‍රයෝජනයක් නොවන්නේය යන්නය. මගේ මේස ලාම්පුවෙහි සුවිචය ක්‍රියාත්මක කළ විට ආලෝකය සැපයේ. ඉන් ලැබෙන්නේ ආලෝකය පමණි. සාහිත්‍ය කෘතියක් යනු එවැන්නක් නොවේ. යම් සමාජ කතිකාවක් වෙත අවශ්‍ය නම් භාවිත කළ හැකි අගයයන් එහි අඩංගු වේ. කෘතිය වෙතින් ඒ වටිනාකම් නිදහස් කරගෙන ඒවා වැඩෙහි යෙදවිය හැකි නිර්මාණශීලී සංවාදකයෙකු කෘතිය වෙත එළඹිය යුතුය. මා “සංවාදකයා” යන යෙදුම භාවිත කරන්නේ එය “විචාරකයා” යන්නෙන් වෙන් කර ගැනීමටය. නිර්මාණශීලී වූද විචාරශීලී වූද සංවාදකයා සාහිත්‍ය කෘතිය සංවාදයෙහි යොදවයි. මෙයින් සාහිත්‍ය කෘතිය හුදෙක් ප්‍රයෝජ්‍ය වටිනාකමකට ඌනනය නොකර ඉන් ලැබෙන සමාජ සංවාදමය වටිනාකම අගය කරන්නට ඉඩ ලැබේ.
ලෝකය දැකීම සහ මනුෂ්‍යත්වය හඳුනා ගැනීම
සහවේදනීය පරිකල්පනය යනුවෙන් මහාචාර්ය මාර්තා නස්බෝම් ඇගේ කෘති ගණනාවකදී විස්තර කරන්නේ සාහිත්‍ය සහ සමාජය අතර පාලම දැමිය හැකි එක් වැදගත් සංකල්පයකි. සාහිත්‍ය කෘතිවල හමු වන චරිත ආචාරධාර්මික ස්ථාවර ගැනීමෙහි යෙදෙති. එය පහසුකටයුත්තක් නොවේ. “දුවන වට්ටියා සහ හිනාවෙන ටිකිරා” යනුවෙන් කතාවක් එනමින්ම යුතු මගේ කෙටිකතා පොතේ එයි. 1987-89 සමයෙහි ශිෂ්‍ය දේශපාලනයෙහි යෙදීම නිසා මර්දනයට ලක් වූ ශිෂ්‍යයෝ දෙදෙනෙක් කෙසේ හෝ ජීවිතය බේරාගෙන පසු කලෙක විදුහල්පතිවරු බවට පත් වෙති. ඔවුන් මැදිවියේ විදුහල්පතිවරුන් වූ පසු ආණ්ඩුව පාසල් විදුහල්පතිවරුන්ට කර්නල් තනතුරු දෙයි. කලෙක තමන්ගේම මර්දකයන් වූ හමුදා නිලධාරීන් යටතේ පුහුණු වී හමුදා නිල ඇඳුමක් හැඳ හමුදාමය ලෝක දෘෂ්ටියකින් ලෝකය දෙස බලන්නට සිදුවීම මේ කතාවේ චරිතයක් මුහුණ දෙන දරුණු ආචාරධාර්මික අර්බුදයකි. මෙය ඔවුන්ගේ පැවැත්ම එක්තරා ඛේදයකට හෙළයි. කතාකරුවා ලෙස මගේ අරමුණක් වූයේ මේ ආචාරධාර්මික අර්බුදය වෙත පාරිකල්පනිකව ඇතුළු වන්නට පාඨකයාට ඉඩ සැලසීමය. එය සාහිත්යික වශයෙන් සාර්ථක වූ ප්‍රයත්නයක්දැයි තීරණය කළ යුත්තේ රසිකයාය.
මේ ආඛ්‍යානමය සෞන්දර්ය අත්දැකීම ලෝකය සමග ගනුදෙනු කිරීමේ එක් අර්ථවත් ක්‍රමයකි. සාහිත්‍ය න්‍යායවේදිනී ඉසොබෙල් ආම්ස්ට්‍රෝං රැඩිකල් ඊස්තටික්ස් ( Radical Aesthetics) කෘතියෙහි පෙන්වා දෙන පරිදි සෞන්දර්ය යනු අප ජීවත් වන ලෝකය වටහා ගැනීමේ මාධ්‍යයක් පමණක් නොව ඒ ලෝකය තුළ තබා තමාගේම ආත්මීයතාව වටහා ගැනීමේ මාධ්‍යයකි. හුදෙක් බාහිර ලෝකය වටහා ගැනීමේ කතිකා බොහෝ තිබේ. සාහිත්‍යය අපට උපකාර කරන්නේ ලෝකය නම් සන්දර්භය තුළ අපේ ආත්මීයතාව හෙවත් අප තුළම වසන “මම” යනු කවුදැයි වටහා ගැනීමට උපකාර කිරීමය. විරාගය නවකතාව කියවන පාඨකයා එක්තරා සමාජමය සන්දර්භය පමණක් නොව එවන් සමාජමය සන්දර්භයක තබා තමාගේම ආත්මීයතාව දකියි. ඒ ආත්මීයතාව දකින්නට උදව් කරන්නේ හුදෙක් අරවින්ද හෝ සරෝජිනී පමණක් නොවේ. අනික් සියලු චරිතද අපට අප තුළම වසන “මම” දකින්නට උපකාර කරයි.
සමාජ-ඓතිහාසික සන්දර්භවල වසන මනුෂ්‍යයාගේ චර්යාව(මනුෂ්‍යයාගේ අභ්‍යන්තරය) වටහා ගැනීමට සාහිත්‍ය කලාවලින් ලැබෙන එළිය නූතන සාහිත්‍ය ඉතිහාසය පුරා ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කර තිබේ. මේ රචනය ආරම්භයේදී සඳහන් කෙරුණු පාඨමාලාව හඳුන්වා දීමට පේරාදෙණියේ අප තීරණය කළේද ඒ නිසාය. මහාචාර්ය ලින් හන්ට් ඉන්වෙන්ටින් හියුමන් රයිට්ස් ( Inventing Human Rights) යනුවෙන් ලියූ පොත නිදර්ශනයට ගනිමු. ඇය පෙන්වා දෙන හැටියට 18 වෙනි සියවසේදී යුරෝපයේ ලියැවුණු නවකතා කියවූ සුදු ජාතික පාඨකයෝ සුදු නොවන, යුරෝපීයද නොවන මනුෂ්‍යයන් පමණක් නොව සුදු ජාතික නිර්ධන පාන්තික මනුෂ්‍යයන්ද තමන්ට සමාන හැඟීම් ඇති මනුෂ්‍යයන් බව වටහා ගත්හ. එනම්, එකල සමාජයෙහි සාක්ෂරතාවද පොතපත කියවීමේ විවේකයද සහිත වරප්‍රසාදිත සුදු ජාතිකයන්ට යට කී මනුෂ්‍යයන්ද හැඟීම් දැනීම් අතින් තමන්ට සමාන වන බව අවබෝධ කරදීමට නවකතාවද උපකාර වී තිබේ. 18 වෙනි සියවසේ සුදු ජාතික මධ්‍යම පාන්තිකයින්ද සහවේදනයෙන් හා සහකම්පනයෙන් යුතුව බැලුවේ තමන්ට සමාන අය, තමන්ගේ ඥාති හිතමිත්‍රාදීන් දෙස පමණි. එහෙත් නවකතා කියවීම නිසා ඔවුහු තමන්ට වඩා වෙනස් මනුෂ්‍යයන්ද මනුෂ්‍යයන් සේ දකිමින් ඒ මනුෂ්‍යයන්ගේ ජීවිත දෙස සහකම්පනීය වශයෙන් දකින්නට උගත්හ. ජාති, ආගම්, භාෂා, පන්ති ආදී සීමා මායිම් ඉක්මවා පොදු මනුෂ්‍යයත්වය දකින්නට පුහුණුව ලදහ. මේ වූකලි නූතන ලෞකික සාහිත්‍යය නිසා ඇති වූ අධ්‍යාපනික වාසියකි. ආගමික සාහිත්‍යය පවා හුදෙක් තමන්ගේ ආගමේ ශික්ෂාපද පිළිගන්නා මනුෂ්‍යයන් පමණක් මනුෂ්‍යයන් සේ දකින්නට දිරිදෙන්නට ඉඩ තිබේ. ලෞකික සාහිත්‍යය එසේ නොවේ. එය මූලික ප්‍රජාතන්ත්‍රවාදී ලෝක දෘෂ්ටියකින් අනෙක් මනුෂ්‍යයන්ගේ පොදු මිනිස් බව දකියි. එහෙයින් විශ්වීය මානව හිමිකම් පහළ වීමට සාහිත්‍යය මගින් වූ සේවය මහාචාර්ය හන්ට්ගේ අගය කිරීමට ලක් වේ. පේරාදෙණියද ඇතුළු ලංකාවේ ඇතැම් විශ්වවිද්‍යාල මානව හිමිකම් ඩිප්ලෝමා ආදී පාඨමාලා ඉගැන්නුවද ඒවා තුළ තෝරාගත් නවකතා කිහිපයක් කියවා හැදෑරීම කෙරෙන බවක් මා අසා නැත. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රකාශනයේ මෙවැනි යෙදුමක් එයි: “මනුෂ්‍ය පවුලේ සියලු සාමාජිකයන්ගේ නෛසර්ගික අභිමානයද සමාන වූද අනුල්ලංඝනීය වූද අයිතිවාසිකම් හඳුනා ගැනීම නිදහසෙහි, යුක්තියෙහි, සහ ලෝක සාමයෙහි පදනම වේ.” මහාචාර්ය හන්ට් කියන හැටියට මේ සමානකම් හා අයිතිවාසිකම් පැහැදිලිව කාටත් මතු වී පෙනෙන්නේ නැත. එනම් ඒ සමානකම් හා අයිතිවාසිකම් කාටත් ඉබේම මෙන් පෙනී යන්නේ නැත. ඊට හේතු බොහෝය. අප කවුරුත් ජීවත් වන්නේ අපේම සංස්කෘතික ලෝකවලය. ඒ සංස්කෘතික ලෝක භාෂාව, ආගම, ජනවර්ගය, ජාතිය ආදිය විසින් නිර්ණය වී තිබේ. ඒවාගෙන් පිට වසන අය මනුෂ්‍යයන් වුවත් ඔවුන් අපට පෙනෙන්නේ ‘අප නොවන’ පිරිසක් ලෙසයි. ඒ නිසා අප විසින් ඔවුන් අනන්‍යයත්වයට පත් කරනු ලැබේ. යම් දේශපාලන සංකීර්ණතාද එක් වූ කල ඒ අප නොවන අය ‘මනුෂ්‍ය නොවන’ පිරිසක් සේද පෙනෙන්නට පුළුවන. වර්ගවාදයේ උග්‍රම කාලවලදී සුදු මිනිසුන්ට කළු මිනිසුන් පෙනුණාක් සේය. හිට්ලර්ට යුදෙව් ජනයා පෙනුණාක් මෙනි. තව නිදර්ශන රැසකි. ඒ නිසා මනුෂ්‍යයන් අතර සමානත්වය යනු ඉබේම මතු වී පෙනෙන සත්‍යයක් හෙවත් ස්වයං සිද්ධ කාරණයක් නොවේ. එය නිරන්තර සංවාදයකින් මතු කර ගත යුතුය. සාහිත්‍යයද මේ කාරණයට දායක වී තිබේ.
තනි තනි මනුෂ්‍යයාට තමන්ටම වූ අභ්‍යන්තරික ජීවිතයක්, මානසික සැකැස්මක්, තිබේය යන අවබෝධය 19 වෙනි සියවසේදී සමාජය පුරා පැතිරෙන්නට නවකතාවද දායක වී තිබේ. නවකතාව මනුෂ්‍ය චරිතයෙහි අභ්‍යන්තරය සහ ඒ අභ්‍යන්තරයෙහි ක්‍රියාකාරිත්වය ආඛ්‍යානගත කර අප හමුවේ පෙන්වයි. 19 වෙනි සිය වසේදී නවකතාව ජනප්‍රිය වින්දන මාර්ගයක් සේ පැතිරීම සෑම මනුෂ්‍යයෙකුටම තමන්ටම වූ අයිතිවාසිකම් පැවතිය යුතුය යන කතිකාව ඇති කිරීමට හේතු වී තිබේ. ‘නවකතාව මනුෂ්‍ය අභ්‍යන්තරය ගැන නව සංවේදනා ජනිත කළේ’ යැයි මහාචාර්ය හන්ට් කියන කාරණය නිවැරදිය.
නවකතාවේ හෝ සාහිත්‍යයෙහි එකම කාර්ය මානව හිමිකම් ආරක්ෂා කිරීමට දායක වීම යැයි මෙම රචනයෙන් අදහස් නොවේ. සාහිත්‍යයෙහි ‘ප්‍රයෝජනවලට’ බෙහෙවින් සංකීර්ණ ඉතිහාසයක් තිබේ. පාරිශුද්ධ සෞන්දර්යාස්වාදයේ සිට නොයෙක් සමාජ කතිකාවලට අර්ථ එක් කිරීම දක්වා බහුවිධ අර්ථවත්භාවයක් සාහිත්‍ය වෙතින් පළ වී තිබේ. එය ඉදිරිටත් එසේ වීම මනුෂ්‍ය සමාජයට අවශ්‍ය වේ.
(නොවැම්බර් 20 වෙනිදා අරුණ පුවත්පතේ පළ වූ ලිපියකි)
සිංහල පොත් දෙමළට සහ දෙමළ පොත් සිංහලට පරිවර්තනය කිරීම දිරිමත් කිරීමට අර සංහිදියා අමාත්‍යාංශයේ හෝ වැඩ පිළිවෙලක් තිබුණේ නෑ නේද?
ReplyDelete