Friday, February 3, 2023

කලාවේ ප්‍රජානන ප්‍රයෝජන: විස්මයෙහි සෞන්දර්ය අත්දැකීමට නව පණක් දීම - Liyanage Amarakeerthi

 

    



   


   සෞන්දර්ය අත්දැකීමේ අදාළත්වය පිළිබඳ කතිකාවට මෑතකදී එක් වූ චින්තකයන් අතර රිචඩ් ශස්ටර්මන් ප්‍රධාන කෙනෙකි. මෙකල අපගේ මනුෂ්‍ය ජීවිතයට සෞන්දර්ය අත්දැකීම අවශ්‍ය වන්නේ මන්ද යන්න ඔහු පැහැදිලි කරයි. ඔහු විසින් විස්තර කෙරෙන්නේ සෞන්දර්ය කලාවල එකම කාර්ය නොවේ. අපි ඔහුට සාවධානව සවන් දෙමු: කලාව හුදෙක් කලාව සඳහාම වූ සෞන්දර්ය කාර්යක් සේ ගත් විට සිදුවන අනතුරක් ඔහු පැහැදිලි කරයි. ඒ වූකලි ඕනෑම දෙයක් කලාව සේ පිළිගැනීමට ලක්වීමයි. කිසිම රසිකයෙකුට කිසිම සෞන්දර්ය අත්දැකීමක් ලැබිය නොහැකි, අර්ථමය ආස්වාදයක් ලැබිය නොහැකි, යාන්ත්‍රික එකලස් කිරීම් ප්‍රහේලිකාමය කලාවක් සේ ඉදිරිපත් කිරීම හොඳම කලාව යැයි කියන අය වෙති. ඇතැම් විට එවැනි කලා කෘතිය රසිකයාට ඒ වෙත එළඹීමට කිසිම fදාරක් විවර කර තබන්නේ නැත. ඒ කලා විධිය දැන් සිංහල කවිය සහ කෙටිකතාව වෙතද පිවිස ඇති බවක් පෙනේ. එක්තරා කලාත්මක පර්යේෂණකාමයක් සේ එවැනි කලාව පැවතීම හොඳය. යම් රසික පිරිසක් එවැනි කලාවක් අගය කිරීමද වරදක් නැත. එහෙත් සැබෑ කලාව යනු එය යැයි කියා සිටීම හොඳ දෙයක් නොවේ. කලාව එහි කලාත්මක අනන්‍යතාව රැකගන්නා අතරම රසිකයා සමග සෞන්දර්ය සංවාදයකට උත්තේජනය සපයන්නේ කෙසේද?


  මේ ප්‍රශ්නයට පිළිතුරු ගණනාවක් තිබේ. එහිලා එක් පිළිතුරක් ගොඩ නැගීම මෙම රචනයේ අරමුණ වේ.ඒ කාරණයේදී මහාචාර්ය රිචඩ් ශස්ටර්මන්ගේ අධ්‍යයනවලින් අපට උපකාර ලැබේ. ඔහුගේ අදහස් අපේ කලා අධ්‍යාපන ක්ෂේත්‍රයෙහි භාවිත වන බවක් මා දැක නැත.


   ඔහුගේ තර්කය  මෙසේය: ‘කලාව ප්‍රජාතන්ත්‍රවාදී සංස්කෘතියක ජනයා උනන්දුවක් දක්වන අදහස්මය තරංග සමග සම්බන්ධ වී ඒ ජන උනන්දුව සමග සෞන්දර්ය අත්දැකීම සම්බන්ධ කරන්නේ කෙසේදැයි සලකා බැලීම උචිතය.’ එමගින් කලාවේ සප්‍රාණිකත්වය සහ අරමුණුසහගත බව යළි පිහිටුවිය හැකි බවද ඔහු දකියි. ‘කලාවේ සප්‍රාණිකත්වය’ යනුවෙන් ඔහු අදහස් කරන්නේ කුමක්ද? කලාව පණ ඇති දෙයක් සේ මනුෂ්‍ය සමාජය තුළ සජීවී පැවැත්මක් අත්පත් කරගන්නේ එය යම් කලෙක පවතින මනුෂ්‍ය සංවාදයක කොටසක් බවට පත් වූ කලය.


   යම් කලෙක පවතින මනුෂ්‍ය සංවාදයට එක් විය හැක්කේ සෞන්දර්ය අත්දැකීමේ කවර නම් අංගයටද යන්න ගැන වාද විවාද තිබේ. සමහර කලාකරුවෝ පවතින අධිපති දේශපාලන අදහස්වල ප්‍රචාරණ උපකරණ බවට තම කලාව පත් කරති. මෙය ඉතා සාවද්‍ය කලා භාවිතයකි. ලංකාවේ ඇතැම් සිනමාකරුවෝ 2009 වර්ෂයෙන් පසු රජ කතා චිත්‍රපට මාලාවක් මගින් යුද්ධයක් විජයග්‍රහණය කළ සිංහල රජ පවුලකට වටින්ගොඩින් දිරිදුන්හ. ඒ වීරෝදාර රාජ්‍යයත්වය පිළිබඳ සංකල්පය රට ගෙන ආවේ විනාශය වෙතය. විසි වෙනි සිය වස මුලදී මනුෂ්‍ය ඝාතක හිට්ලර්ට ප්‍රචාරණ සහාය සැපයූ කලාවක්ද විය. සෝවියට් දේශය තුළ මනුෂ්‍ය ඝාතක යකඩ පාලනයක් ස්ථාපිත කළ ස්ටාලින්ට දිරිදුන් කලාවක්ද විය. එවන් කලාවක් යනු විශිෂ්ට කලාවක් නොවේ.


  මේ නිසා සෞන්දර්ය අත්දැකීමේ කවර නම් අංගය මනුෂ්‍ය සංවාදය සමග සම්බන්ධ විය යුතුද යන ප්‍රශ්නය ඉතා වැදගත්ය. මේ කාරණය සාකච්ඡාවට ගන්නා තරුණ මහාචාර්යවරියක වන ටේ්‍රසි කොස්ටන්ටිනෝගේ අදහස් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මගේ ඉගැන්වීම්වලට ප්‍රයෝජනවත් වී තිබේ. සෞන්දර්ය වස්තුවක් සහ රසිකයෙකු මුණ ගැසීමේදී ඇති වන සෞන්දර්ය අත්දැකීමේ කේන්ද්‍රීය ගුණයක් සේ ඇය දකින්නේ ‘විස්මය’ හෙවත් උදබාැර යන්නයි. ඒ වචනය ‘ආශ්චර්ය’ හෝ ‘චමත්කාරය’ යනුවෙන්ද සිංහලට ගත හැකිය. ඉන් ‘චමත්කාරය’ යන්නට සංස්කෘත සෞන්දර්යවේදයෙන් එන අර්ථයක්ද තිබේ. එහෙත් මෙම රචනයේදී මා ‘විස්මය’ යන වචනය භාවිත කරන්නේ එය ‘චමත්කාරය’ යන දකුණු ආසියානු අදහසින් වෙන් කරගනු පිණිසය.


   කලා කෘතියක් සමග ගනුදෙනුවේදී රසිකයා ලබන විස්මය ආශ්‍රිත අත්දැකීම සෞන්දර්ය අත්දැකීමේ කොටසකි. ඒ විස්මයයෙහි කාර්ය මොනවාද යන ප්‍රශ්නය මහාචාර්ය කොස්ටන්ටිනෝගේ අවධානයට ලක් වේ. ‘විස්මය’ ඇති වන්නේ හුදෙක් රසිකයා සහ කලා කෘතිය මුණ ගැසීමේදී පමණක් නොවේ. ස්වභාවික සෞන්දර්යද මනුෂ්‍ය නිරීක්ෂකයා තුළ විස්මය ඇති කරයි. එහෙත් අපි මේ රචනයේදී අවධානය යොමු කරන්නේ කලා කෘතියෙහි විස්මය ගැන පමණි.


   සෞන්දර්ය අත්දැකීමේදී මනුෂ්‍යයන් තුළ ඇති වන විස්මය යමක් තව දුරටත් විමසීමට ආවේශයක්ද, අත්දැකීමේ අර්ථය සොයා ගැනීමට ආශාවක්ද, අත්දැකීමක අර්ථය අන් කෙනෙකුට විස්තර කිරීමට ආශාවක්ද ඇති කරන බව මහාචාර්ය කොස්ටන්ටන්ටිනෝ කියයි. තවත් න්‍යායධරයන් උපුටා දක්වමින් සෞන්දර්යමය විස්මය පිළිබඳ ඇය ගොඩනගන නිර්වචනය වටහා ගන්නට අපි තැත් කරමු: හොඳ කලා කෘතියක් හා අභිමුඛ වීමේදී රසිකයා ඉතා සෙමින් අවධානය දෙමින්, ප්‍රශ්න කරමින් කෘතියෙන් මතු කරන චින්තනයෙහි සියලු අංග ගැන සිත යොමමින් කලා කෘතිය විශ්ලේෂණය කරන්නට වෙහෙස වෙයි. මේ ක්‍රියාවලිය තුළ රසිකයා රඳවා ගන්නේ කෘතියෙන් ඇති කෙරෙන ආශ්චර්යවත් විස්මයයි. එසේම, කලා කෘතියෙන් ඇති කරන විස්මය රසිකයා තුළ අවධානවත්භාවය තීව්‍ර කරයි. ප්‍රකට අධ්‍යාපන දාර්ශනිකයෙකු වූ ජෝන් ඩුවීගේ අදහසක් උපුටා දක්වන කොස්ටන්ටිනෝ අවධාරණය කරන්නේ සෞන්දර්ය වස්තුව නිසා ඇති වන විස්මය පිළිබඳ හැඟීම ‘බුද්ධිමය හැඟීමක් වන අතර එය බුද්ධිමය ක්‍රියාවක් කරා රසිකයා යොමු කරන බවය. ඒ විස්මය නිසා සෞන්දර්ය වස්තුව ගැන ගැඹුරු උනන්දුවක් ඇති වන අතර එමගින් රසිකයාට සන්තෘප්තියක් ලැබෙන්නේ තම සමස්ත ආත්මයෙන්ම සෞන්දර්ය වස්තුව සමග අන්තර්ක්‍රියා කිරීමෙන් පමණි.


  අපි මේ කාරණය ගැන තව ටිකක් සිතීමේ යෙදෙමු. කෙනෙකු නවකතාවක් කියවමින් සිටින්නේ යැයි සිතන්න. එය විශිෂ්ට කලා කෘතියක් වූ නවකතාවක් නම් ඒ නිසා රසිකයා තුළ ඇති කරන විස්මය රසිකයා යොමු කරන්නේ ඒ නවකතාව අසිරිමත් සෞන්දර්ය වස්තුවක් සේ දකින්නටය. අපගේ සිත් තදින් ගත් නවකතා සමග ඇත්තේ එවන් ආත්මීය සම්බන්ධයක් බව අප කාටත් සිහි කළ හැකිය. අප කාටත් හුරුපුරුදු නවකතාවක් වන විරාගය නිදර්ශනයක් සේ ගනිමු. ඒ විශිෂ්ට නවකතාවේ ලෝකය සමග විස්මයෙන් යුක්තව බැඳෙන රසිකයා අරවින්දගේ අදහස්, ජීවන දෘෂ්ටිය, රුචිඅරුචිකම්, ඔහු ආදරය කරන හැටි, වටහා ගැනීම වෙත තමාගේ සම්පූර්ණ ආත්මය යොමු කරයි. ජෝන් ඩුවී කියන හැටියට කෙනෙකු දැඩි සේ සිත්ගන්නා සෞන්දර්ය වස්තුවක් සමග අභිමුඛ වීමේදී හටගන්නා අත්දැකීමේ උපරිම ප්‍රකාශනය ‘විස්මය’ වේ.


   බාහිර සෞන්දර්ය වස්තුව විස්මයාවහ අත්දැකීමක් ගෙන ආවේ මන්දැයි යන ප්‍රශ්නය විමසමින් කලා කෘතිය සමග ගැඹුරු නිමග්නයකට යොමු වන රසිකයා ඒ බාහිර වස්තුවෙහි අගය සපුරා දැක ගනියි. අපි නිදර්ශනයක් සේ ගසක චිත්‍රයක් ගනිමු. ඒ චිත්‍රය අප විස්මගන්වන විට චිත්‍රය සමග ගැඹුරු ගනුදෙනුවකට යොමු වන අපි ඒ විස්මය උපදවන අංග දැක හඳුනා ගනිමු. මේ වූකලි කලාවෙන් පමණක් අපට හුරු කෙරෙන කල්පනා ස්වරූපයකි. ඒ කල්පනා ස්වරූපය ‘ආලෝචනය’ යනුවෙන්ද හැඳින්වේ. 


  සෞන්දර්ය අත්දැකීමේ තිබෙන මෙම විස්මය ජීවිතය සහ ලෝකය පිළිබඳ කුතූහලාත්මක උද්යෝගයකින් යුක්ත රසිකයෙකු බිහි කරන නිසා ඒ ගුණය අධ්‍යාපනඥයන්ටද ප්‍රයෝජනවත් වන බව ජෝන් ඩුවී වැනි දාර්ශනිකයෝ කියති. විද්‍යාවේ සහ දර්ශනයේ උපතට තුඩු දෙන මූලයද විස්මයම යැයි ප්ලේටෝ සහ ඇරිස්ටෝටල් දෙදෙනාද කීහ. මිනිසා තමාගේ ආත්මීය ලෝකයෙන් එළියට ගෙන, බාහිර ලෝකය සමග ක්‍රියාකාරී සම්බන්ධයක යොදවා, එහි අර්ථය වටහා ගැනීමෙහිලා ගෙන යන ප්‍රවාහය විස්මය යැයි ඩුවී තවදුරටත් කීවේය. මෙහිදී තවත් යමක් කිව යුතුය. ඩුවී සේම තවත් න්‍යායධරයන් පෙන්වා දෙන හැටියට සෞන්දර්ය අත්දැකීම නිසා ඇති වන විස්මය තාර්කික හෝ තර්කබුද්ධිය පැත්තට බර දෙයක් නොව හැඟීමකි. කෙටියෙන් කිවහොත් මෙසේය: කලා කෘතිය නිසා රසිකයා තුළ ඇති කරන විස්මය වූකලි භාවමය පදනමකින් යුතු චින්තනයකි. මහාචාර්ය කොස්ටන්ටිනෝ එය ‘භාවමය චින්තනය’ යැයි හඳුන්වයි. හැඟීම මත පදනම් වූ චින්තනය යන සංකල්පය පහළ වූයේ මෑතකදී ස්නායු විද්‍යාඥයන් දැනුම සහ හැඟීම් අතර සම්බන්ධය පිළිබඳ කළ පර්යේෂණ ඇසුරිනි. දැනුම පිළිබඳ බුද්ධිවාදී අදහස වූයේ හැඟීම් යනු දැනුම ලබා ගැනීමට බාධාවක්ය යන්නයි. දැනුම නමැති වීදුරු බඩු කඩයට පැන රාක්ක පෙරළන දඟකාර පොඩි දරුවෙකු සේ හැඟීම් හෙවත් භාවයන් වටහා ගැනුණු යුගයක් තිබිණි. එහෙත් නවතම පර්යේෂකයන් පෙන්වා දී ඇත්තේ දැනුම නමැති බිඳෙනසුලු වීදුරු බඩු තබා තිබෙන ආරක්ෂිත රාක්කය හැඟීම්ය යන්නයි. දැනුම නමැති වස්තුව දරා සිටින්නට හැඟීම් අවශ්‍ය වේ. මේ සිත්ගන්නා කරුණ ගැන බොහෝ දේ ලියැවී තිබේ.  ඒ ගැන තව ලිපියකදී සාකච්ඡා කරමු. මවිසින් ලියන ලද විශ්වවිද්‍යාලය යනු කුමක්ද? නම් පොතේ ඒ ගැන යම් යම් කරුණු එයි.


විස්මය සහ අධ්‍යාපනය


    කලාව නිසා සැපයෙන සෞන්දර්ය අත්දැකීම තුළ අඩංගු විස්මය ලෝකය සහ ජීවිතය පිළිබඳ ගවේෂණාත්මක කුතූහලයෙන් යුක්ත ශිෂ්‍ය ගවේෂකයෙකු බිහි කරන්නට දායක කරගන්නා සැටි ගැන දැන් දැන් නොයෙක් පර්යේෂණ කෙරේ. මේ වූකලි පොතපත කියවන, කලා රසවින්දනයෙහි යෙදෙන අප කවුරුත් ඉවෙන් මෙන් දැන සිටි දෙයකි.


ට්වින්කල් ට්වින්කල්


ලිට්ල් ස්ටාර්


හව් අයි වොන්ඩර්


වට් යූ ආ


 ළමා කවියට හසු වන්නේද ඈත අහසේ බබලන පුංචි තරුවක ජීවිතය ගැන දරුවෙකුගේ විස්මසහගත කුතූහලයයි.


නැගුණු තැන බැස්මය


එද මරණයට දෙස්මය


එය නොවෙයි විස්මය


දියෙන් දිනු ලුණු දියෙන් නැස්මය


 යනුවෙන් කුමාරතුංග මුණිදාස ලියූ කවියක් මට කටපාඩම්ය. මෙහි ‘විස්මය’ යන යෙදුම තිබෙන්නේ පමණක් නොව දියෙන්ම උපන් ලුණු දියෙහිම දියව නැසී යන අරුමය ගැන කියා ඒ සංසිද්ධිය ගැන විස්මයෙන් යුත් උනන්දුවක් ඇති කරන්නට ඒ පද්‍යය සමත් වේ. ඒ අතරම ජීවිතයෙහි ඇති ‘වෙනස්වීම’ නමැති සංසිද්ධිය ගැනද අවබෝධයක් පද්‍යයෙන් ඇති කෙරේ.


                         ස්ත්‍රිය එල්ල වෙන ජීවවිද්‍යාත්මක ප්‍රහාරයක්


   ලෝකය සහගත විස්මයෙන් යුතු කුතූහලය ඇති කොට ලෝකය සහ මිනිස් ජීවිතය ගැන ගැඹුරු යථාර්ථ කරා ශිෂ්‍යයා රැගෙන යා හැකි කලා කෘති තිබේ. නිර්මාණශීලී ගුරුවරු ඒවා උපක්‍රමශීලීව තම ඉගැන්වීම් වෙත ගෙන එති. එවැනි ගුරුවරුන්ගෙන් එළිය ලැබ පසුගිය සතියේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේදී සාකච්ඡාවට ගත් කරුණක් සිහි කරමින් මෙම රචනය අවසන් කරන්නට මට ඉඩ දෙන්න.


   කේ.බී. හේරත්ගේ දෝන කතරිනා නාට්‍යය සිංහබාහු, සුබ සහ යස, වැනි නාට්‍ය සමග එක පෙළට තැබිය හැකි විශිෂ්ට ස්වතන්ත්‍ර නාට්‍යයකියි මම සිතමි. එය මා උගන්වන පාඨමාලාවක සෑම වසරකම උගන්වමි. 1995 වර්ෂයේදී බිහි වූ එය ඊට ලැබිය යුතු නිසි ගෞරව නොලද නාට්‍යයකි. දෝන කතරිනා හෙවත් කුසුමාසන දේවිය උඩරට සිහසුනෙහි එකම සුජාත උරුමක්කාරිය වෙයි. එහෙත් ඇය සිටින්නේ පෘතුගීසින්ගේ රැකවරණය යටතේය. මේ දාසය වෙනි සියවසේ අග භාගයයි. ඇය උඩරටට රැගෙන විත් ළමා වියේදීම සිහසුන් ගන්වා තමන්ට හිතවත් පිරිමියෙකුට විවාහ කරදීම පෘතුගීසින්ගේ සැලැස්මයි. එහෙත් විමලධර්මසූරිය රජු ඊට ඉඩනොදෙයි. ඔහු බලෙන්ම ඒ ළාබාල දැරිය විවාහ කර ගනියි. ඉන් පසු ඔහුගේ සහෝදර කුමාරසිංහද, තවත් සහෝදරයෙකු වන සේනාරතන හිමිද ඇය බලෙන්ම විවාහ කර ගනිති. සේනාරතන හිමි සිහසුන පැහැර ගැනීමට සිවුරු හැර එන්නේ සෙනරත් නමිනි. පසු කලෙක ඔහු දෝනකතරිනාට දාව බිහි වූ තම සහෝදරයෙකුගේ දියණියද විවාහ කර ගනියි. කලක් සිවුරේද සිටි නමුත් කිසිම බෞද්ධ ආචාරධර්මයක් ඔහුගේ විඥානයේ පැත්ත අහළකවත් නැත. දරුවන් සත් දෙනෙකු බිහි කළ දෝන කතරිනා මිය යන්නේ තිස් හතර වෙනි වියේදීය. බටහිර යටත්විජිතවාදය, ලංකාවේ අභ්‍යන්තර දේශපාලන ආරවුල්, ගිහි පැවිදි පිරිමින්ගේ අමානුෂික බල ව්‍යාපෘති ආදියට මැදි වන ස්ත්‍රියකගේ ඉරණම ඉතිහාස පොත්වල එන ආකාරයට වඩා වෙනස් දෘෂ්ටිකෝණයකින් නාට්‍යයෙහි ඉදිරිපත් කෙරේ. නාට්‍යය ගොඩනගා ඇති ආකෘතික නිර්මාණශීලිත්වයද උසස්ය. 1995 දී කෞශල්‍යා ප්‍රනාන්දු දෝන කතරිනා චරිතය නිරූපණය කළ විශිෂ්ට විලාසය මට තාමත් මතකය.


   මෙම නාට්‍යය කියවන අවුරුදු විසි දෙකක් පමණ වන තරුණ විශ්වවිද්‍යාල ශිෂ්‍යාවන්ට ඉතිහාසය තුළ ස්ත්‍රී ඉරණම පිළිබඳ අවබෝධයක් ලැබිය හැකිය. එහිලා මෙම නාට්‍යය නමැති සෞන්දර්ය වස්තුව විසින් ජනිත කෙරෙන විස්මය දැනුමේ පදනම සේ භාවිත කරන්නට පුළුවන. අපේ ශිෂ්‍යශිෂ්‍යාවෝ කියවීම යන්න ආසාවෙන් කරන පිරිසක් නොවෙති. එහෙත් කියවන කිහිප දෙනාට හෝ මේ නාට්‍යය ඇති කරන විස්මය සැබැවින්ම විස්මයජනකය!


  යන්තම් අවුරුදු දා හතරක් වන දෝන කතරිනා විවාහ කරගන්නා විට විමලධර්මසූරිය රජු විවාහක වැඩිහිටියෙකි. ඔහුට සුජාත රාජ්‍ය උරුමයක් නැත. ඒ නිසා ඔහු පසුවන්නේ බියෙන් සැකෙනි. විවාහ කරගත් දෝන කතරිනා මාලිගයෙන් පැනගොස් පෘතුගීසින්ට හෝ අන් සතුරු කණ්ඩායමකට එක් වෙතියි ඔහු බියෙන් පසු වෙයි. එවිට එක් උපදේශකයෙක් මෙවැන්නක් කියයි: “ගැහැනියක සිර කර තැබීමට කළ හැකි දේ නම් ඇය ගැබ් ගැන්වීමයි” ස්ත්‍රියගේ ජීව විද්‍යාත්මක ස්වභාවය ඇයටම එරෙහි ආයුධයක් සේ භාවිත කරන පුරුෂෝත්තමවාදී සැලසුම් ගැන සිතන්නැයි මම ශිෂ්‍යශිෂ්‍යාවන්ට ඇරයුම් කළෙමි. නාට්‍යය නිසා ඇති වූ සෞන්දර්යාත්මක විස්මය දිගේ ආ ඇතැම් ශිෂ්‍යාවෝ අර කී යථාර්ථය වටහා ගත්හ. ඒ බව කෙරුණු සාකච්ඡාවෙන් පෙනිණි. ‘ප්‍රජානනය’ යනු දැනුම ලබා ගැනීමයි. සෞන්දර්ය අත්දැකීම යනු විස්මය මූලික කරගත් දැනුම් කවුළුවක් විවර කරන්නකි.


 

(2022 දෙසැම්බර් 4 වෙනිදා අරුණ පුවත්පතෙහි පළ වූ ලිපියකි)

  


 


.   


 

No comments:

Post a Comment