Sunday, May 14, 2023

හැරී බෙලාෆොන්ටේ: කීර්තිමත් කලාකරුවෙකුගේ කලාව හා දේශපාලනය - ලියනගේ අමරකීර්ති (Liyanage Amarakeerthi)

 

  


  ඇමරිකානු කළු ජාතික කලාකරුවන්ගේ ලෝකය අධ්‍යයනය කරන්නට මා යොමු වූයේ ඇමරිකාවේ පශ්චාත් උපාධි හදාරන කාලයේ සිටය. කළු ඇමරිකානු හෙවත් අප්‍රිකානු-ඇමරිකානු ලේඛකයන්, චින්තකයන්, හා කලාකරුවන් ගැන මා පසු ගිය කාලය පුරා නොයෙක් දේ තැන්වල නොයෙක් දේ ලියා කියා තිබේ. පසු ගිය දා මගේ හද බිඳින දෙයක් සිදු විය. කළු ඇමරිකානු ගායක හා නළු හැරී බෙලාෆොන්ටේ(Harry Belafonte) මිය ගියේය. ඒ අප්‍රියෙල් මස 25 වෙනිදාය. ඔහු 96 වෙනි වියේ පසු විය. ගායකයෙකු හා නළුවෙකු ලෙස පමණක් නොව සිවිල් අයිතිවාසිකම් පිළිබඳ දේශපාලන ක්‍රියාධරයෙකුද වූ ඔහු මාර්ටින් ලූතර් කිංගේ දේශපාලන සගයෙක් වූයේය. 1968 වර්ෂයේදී ආචාර්ය කිං මරා දැමෙන තෙක්ම බෙලාෆොන්ටේ ඔහුගේ ප්‍රමුඛ ආධාරකරුවෙක් විය. සිය මෝහනීය කටහඬින්ද, කඩවසම් රුවින්ද රසික රසිකාවන් වසඟ කළ හැරි බෙලාෆොන්ටේ, කළු ජාතිකයන් ඇතුළු සුළුතර ජනයාට ඇමරිකාවේදී සිදුවන අසාධාරණයන්ට එරෙහිව සටනට පිවිසියේ ඉතා ධනවත් සේම කීර්තිමත් කලාකරුවෙකුව සිටියදීමය. සමාජමය වගකීම්වලින් හුදෙකලා නොවී සමාජ විඥානයක් සහිත කලාකරුවෙකු ලෙස ජීවත්වන්නේ කෙසේද යන්න ගැන බෙලාෆොන්ටේ සපයන්නේ අගනා ආදර්ශයකි.

  හැරල්ඩ් බෙල්ලන්ෆන්ටි නමින් නිව් යෝර්ක් නගරයේ දුගී ජනයා වසන කොටසක උපන් ඔහුගේ දෙමාපියෝ කැරීබීයන් දූපත් හෙවත් බටහිර ඉන්දීය කොදෙව් කලාපයෙන් ඇමරිකාවට ආ සංක්‍රමණිකයෝ වූහ. අවුරුදු හයේදී ඔහුගේ පියා පවුල හැර දමා ගියෙන් හැරී ඒ වන විට ජැමෙයිකාවේ විසූ මව සමග ජීවත් වන්නට එහි ගියේය. ඔහු නැවත ඇමරිකාවට ආවේ අවුරුදු 17 දීය. එහෙත් ඔහුගේ අධ්‍යාපන කටයුතු අතරමග නතර කර දමා නාවික හමුදාවට බැඳෙන්නට ඔහුට සිදු විය. ආර්ථික අපහසුකම් ඊට එක් හේතුවකි. මේ අතර එක්තරා වාසනාවන්ත දෙයක් සිදු විය. 1944 දී තරුණ ගුරුවරියක වූ මාගරට් ඔහුට මුණ ගැසුණේය. ඇය යමක්කමක් ඇති මධ්‍යම පාන්තික පවුලක කළු ජාතික කාන්තාවකි. පසු කලෙක ඔහුගේ පළමු බිරිඳ වූ ඇගේ මෙහෙය වීම යටතේ නිව්යෝර්ක් නගරයේ ප්‍රකට නාට්‍ය හා සංගීත පාසලකට ඇතුළු වන්නට ඔහුට අවස්ථාව ලැබිණි. ඒ වන විට ඇමරිකාවේ අලුතින් ඇතිව තිබූ අයිතිවාසිකම් නීති යටතේ සුළුජාතික ඔහුටද ඒ අධ්‍යාපන වරප්‍රසාද හිමි විය. ඒ නාට්‍ය හා සංගීත පාසලේදී ඔහුගේ සමකාලීන ශිෂ්‍යයන් අතර පසු කලෙක සුප්‍රකට නළුවන් බවට පත් වූ මාලන් බ්‍රැන්ඩෝ සහ සිඩ්නි පෝටියේද වූහ. පෝටියේ යනු ආකර්ෂණීය කළු ජාතික නළුවෙකි. ඔහු හා එක් වූ බෙලාෆොන්ටේ නිව් යෝර්ක් නගරයේ කළු ජාතික නාට්‍ය කණ්ඩායම් සමග එක් විය. ඉතා දිග කලා දිවියක ආරම්භය එයයි.

   එකල නිව්යෝර්ක් නගරයේ කළු ජාතික නාට්‍ය කලාව කර්මාන්තයක් ලෙස එතරම් දියණු නොවිණි. ඒ නිසා ඔහු ගායනය ආරම්භ කළේය. මුලින් මුලින් ගීතයක් දෙකක් තැටිගත කෙරුණු අතර ඒවා ටික ටික ජනප්‍රිය විය. ජෑස් ගායකයෙකු ලෙස තරමක ආදායමක්ද ලද ඔහු තමාගේම ආපන ශාලාවක් ආරම්භ කර එහි ගායන ශිල්පියා ලෙසද කටයුතු කරන්නට වූයේය. එතැන් සිට ක්‍රමයෙන් ජනප්‍රියට පත් ඔහුගේ ජාත්‍යන්තර කීර්තියද වර්ධනය විය. 1950 ගණන් වන විට යුරෝපයේද ප්‍රසංගවලට ආරාධනා ලබන මට්ටමට ඔහු පත්ව සිටියේය. එහෙත් 1960 ගණන්වල සිටම ඔහුගේ ධනයද කීර්තියද භාවිත කරමින් බෙලාෆොන්ටේ ඇමරිකානු කළු ජාතික අයිතිවාසිකම් ආරක්ෂා කරන්නට පමණක් නොව දකුණු අප්‍රිකානු වර්ණභේදවාදයට විරුද්ධවද ක්‍රියා කළේය. 

    ඔහුගේ ජීවන තොරතුරු සෙයා ගැනීම අපහසු නැත. ඔහු මයි සෝං(My Song) නමින් ඔහු ලියූ මතක පොත අගනා තොරතුරුවලින් සැදුණේ පමණක් නොව රසවත් ගද්‍ය ශෛලියකින්ද යුතුය. හුදෙක් තොරතුරුමය කරුණුවලට වඩා මේ රචනයේ අරමුණ ඔහුගේ ගීත කලාවේ සාහිත්යික මානය ගැන යමක් අප පාඨකයන් සමග බෙදා ගැනීමය. ඔහුගේ ගී අන්තර්ජාලයෙන් රසවිඳීමට අපමණ අවස්ථාව අද තිබේ.

   ඔහුගේ island in the sun  ගීතය පේළි හතරේ කණ්ඩ එකොළහකින් යුක්ත දිගු ගීයකි. එය කොටස් අඩු කොට එක් එක් දිගින් යුතුව ඔහු සිය ගායන ජීවිතයේ විවිධ අවස්ථාවලදී ගායනා කළේය. එය බටහිර ඉන්දීය කොදෙව් දූපත් වෙත පිදෙන උපහාර ගීයක් වැනිය. එහි ආරම්භක දෙකණ්ඩයෙහි දළ පරිවර්තනයක් මෙසේය:

 මේ හිරු එළියේ පිහිටි මේ මගේ දූපතයි

ආදි කාලයේ සිට මගේ ජනයා දහඩිය හෙළුෑ

මා කොපමණ මුහුදු තරණය කළද

ඇගේ වෙරළ මට මගේ නිවහනම වනු ඇත

අහෝ මාගේ දූපත හිරු එළියෙ පවතින

ම පිය දෑතින් මා වෙනුවෙන් සැදුණ දූපත

මගේ දිවියේ සෑම දවසක මම ගයමි තුති ගීම ඔබ ගැන

ඔබෙ වන ගහණ දිය කඳ ඔබේ බලලන වෙරළ වැලි තලා ගැන

   

  මේ ගීයෙහි කිහිප තැනක එන යෙදුමක කියවෙන්නේ මේ රමණීය දූපත නමැති මව් බිම තම පියාගේ අතින් ගොඩනැගුණු බවය. ගීයෙහි දේශපාලන අර්ථය ඇත්තේ එතනය. බටහිර ඉන්දීය කොදෙව් දූපත් ඉතා සුන්දරය. එහෙත් ඒවාගේ ඉතිහාසය කළු ජාතික මිනිසුන්ගේ රුධිරයෙන් තෙත් වී ඇත. ඒ දූපත් වූකලි බි්‍රතාන්‍යය ප්‍රමුඛ යුරෝපීය යටත් විජිතවාදීන් මුලින්ම වතු වගාව ඇති කළ ප්‍රදේශයකි. බොහෝ අප්‍රිකානු ජනයා ඉතා දුෂ්කර කොන්දේසි යටතේ ඒ දූපත්වල උක් වගා කළහ. එංගලන්තයේදී පිරිපහදු කෙරුණු සීනීවලට අවශ්‍ය උක් පැණි හා හකුරු නිපදවන ලද්දේ එහිදීය. ඒ නිසා ඒ දූපත මගේ පියාගේ අත් දෙකෙන් සැදුණේ යැයි බෙලාෆොන්ටේ ගයන්නේ කළු ජාතික වහල් ඉතිහාසය ගැනය.

ඒ ගීයේ එක් තැනක කොන්ද නමාගෙන උක් ගස් කපන ගැහැනියක ගැනද, මුහුදට මාළු දැල් විසි කරන ධීවරයෙකු ගැනද කියවේ. එහෙත් ඔහු ගයන්නේ ඒ දූපත් වාසින්ගේ දුක ගැන පමණක් නොවේ. ගීයේ තව කණ්ඩයක මෙසේද කියයි:

“බෙර හඬ ඇසීමෙන් මිස අන් ලෙසකින්

අවදි නොවන්නට මට සිදුවන දවසක් නොඑතියි මම පතමි

දාර්ශනික කැලිප්සෝ ගී ගැයෙන සැණකෙළි

මග හැරෙන දිනයක් නොඑතියි මම පතමි”

 ඒ ජනයා උක් වතුවල ශ්‍රමය වගුරන වහලුන් හෝ ප්‍රවේණි දාසයන් සේ ජීවත් වන ආර්ථික-දේශපාලනික යථාර්ථයකට ඇද වැටී සිටින්නේ විය හැකිය. එහෙත් ඔවුහු සංස්කෘතිකවත් මිනිස්සු වෙති. අප්‍රිකාවේ සිට කැරීබියන් දූපත් කරා බලහත්කාරයෙන් රැගෙන එන විට එක්තරා සංස්කෘතික මතකයක්ද ඔවුහු රැගෙන ආහ. බෙර හඬ එහි සංකේතයකි. කැලිප්සෝ ගීය යනු හුදෙක් සින්දුවක් පමණක් නොවේ. එය මේ ජනයාගේ ජීවන දර්ශනය අඩංගු කරගත් දාර්ශනික සම්භාෂණයක්ද වේ. කැලිප්සෝ ගීය යනු හුදෙක් අතීත අප්‍රිකාවෙන් ගෙනා සංගීතයක් පමණක් නොව කොදෙව් දූපත්වල ජීවන යථාර්ථය සමගද මිශ්‍ර වී සැදුණකි. කළු ජනයාගේ අතීත කලා උරුමය වර්තමානය සමග එක්වී සැදුණ නව කලාවකි. හැරි බෙලාෆොන්ටේ ගයන්නේ ඒ ගැනය.

   ඔහු ලෝකය පුරා විවිධ ජන සංගීත සම්ප්‍රදායන් වෙතින් එළිය ලද බව කියවේ. අප්‍රිකානු හා කැරීබියානු ජන කලාවන්ගෙන් ආභාසය ලද බව නම් ඉතා පැහැදිලිය. Turn the world around  නම් ඉතා ප්‍රකට ගීය අසන කෙනෙකුට ඒ ජන සංගීත ආභාසය ඉතා නිර්මාණශීලී ලෙස භාවිත වන ආකාරය පෙනේ. එම ගීයේ සමස්ත අර්ථය සියලු දෙයෙහි අන්තර් සම්බන්ධතාව ගැන විශ්වාස කරන පෙරදිග දර්ශනයද සිහි කරයි. එහෙත් මේ ගීයට ආභාසය ලැබෙන්නේ අප්‍රිකානු ජනසම්ප්‍රදායෙන් බව ඒ ගීයෙහි එන “අබතිවහා” නම් සුලූ නම් අප්‍රිකානු භාෂාවෙන් ගත් වචනයෙන් පෙනේ. එහි දළ අර්ථය වනගත මිනිසා හෝ වනය සමග වසන මිනිසා හෝ විය හැකිය. එම ගීයේ දළ පරිවර්තනයක් මෙසේය:

 ගින්නෙන් එන අපි ගින්නේ ජීවත් වී

ආපසු ගින්දර වෙත ගොස් ලෝකය නැවුම් කරලමු

ගින්නෙන් එන අපි ගින්නේ ජීවත් වී

ආපසු ගින්දර වෙත ගොස් ලෝකය නැවුම් කරලමු


ජලයෙන් එන අපි ජලයේ ජීවත් වී

ආපසු ජලය වෙත ගොස් ලෝකය නැවුම් කරලමු

ජලයෙන් එන අපි ජලයේ ජීවත් වී

  ආපසු ජලය වෙත ගොස් ලෝකය නැවුම් කරලමු

ජලයෙන් එන අපි ජලයේ ජීවත් වී

  ආපසු ජලය වෙත ගොස් ලෝකය නැවුම් කරලමු ”

   ඒ ගී කණ්ඩය නැවත නැවත කියවේ. අප්‍රිකානු බොහෝ ජන ගීවල ඒ ලක්ෂණය දැකිය හැකිය. ඒ වූකලි අපේ ජන සාහිත්‍යයෙහිද දැකිය හැකි ලකුණකි. ගීය තවදුරටත් මෙසේය:

“කඳුකරයෙන් එන අපි කන්දේම ජීවත්ව

 නැවත කන්දටම යමු; ලෝකය වෙනස් කරලමු.

“කඳුකරයෙන් එන අපි කන්දේම ජීවත්ව

 නැවත කන්දටම යමු; ලෝකය වෙනස් කරලමු.”


“කඳුකරයෙන් එන අපි කන්දේම ජීවත්ව

 නැවත කන්දටම යමු; ලෝකය වෙනස් කරලමු.

“කඳුකරයෙන් එන අපි කන්දේම ජීවත්ව

 නැවත කන්දටම යමු; ලෝකය වෙනස් කරලමු.”

   එහිදීද එකම දෙපදය සිව් වරක් ගැයෙන බව අපට පෙනේ. මේ කණ්ඩයෙන් පසුව ඊට වඩා කෙටි ගී කණ්ඩයකින් එතෙක් ගීයේ ගැයුණු ජීවන දෘෂ්ටිය සම්පිණ්ඩණය කර දැක්වේ:

“ඕ ඕ ජීවිතයෙ හැටි එහෙමයි

 ආ ආ ජීවිතයෙ හැටි එහෙමයි

  ඕ ඕ ජීවිතයෙ හැටි එහෙමයි

 ආ ආ ජීවිතයෙ හැටි එහෙමයි”

     අප ගින්නෙන්, ජලයෙන්, කන්දෙන් බිහිව ඒවා සමග ජීවත් වී නැවත ඒවා වෙතම ගොස් ලෝකය හෝ ජීවිතය අලුත් කරන බවක් ගීයේ දිගු කණ්ඩවලින් ගැයිණි. මේ කෙටි කණ්ඩයෙන් ලබා දෙන්නේ එක්තරා දාර්ශනික සාරාංශයකි. අප සංස්කෘතියෙහි එන පංච මහා භූතයන් හා සමාන සංකල්පයක් අප්‍රිකානු ජන සම්ප්‍රදායේද පැවතී තිබේ. ඒ ගැන මානව විද්‍යාත්මක අධ්‍යයනද අපමණය තිබේ. ඉන් පසු ගීයේ රිද්මය නැවත වෙනස් වී අපගෙන් ප්‍රශ්න කීපයක් අසනු ලැබේ:

“මා කවුදැයි ඔබ දන්නවද

  ඔබ කවුදැයි මා දන්නවද

 අප එකිනෙකා පැහැදිලිව දකිනවද

 අප කවුදැයි අපි දන්නවද?


“මා කවුදැයි ඔබ දන්නවද

  ඔබ කවුදැයි මා දන්නවද

 අප එකිනෙකා පැහැදිලිව දකිනවද

 අප කවුදැයි අපි දන්නවද?”

   ගීයේ මේ කණ්ඩයට එන විට අර මුල් පදවලින් මතු වුණු දාර්ශනික අර්ථය අප දැන් ජීවත් වන සමාජය වෙත එයි. එසේ එකම මූලයන්ගෙන් උපත ලබා එන අප එකිනෙකා නාඳුනන, ජාතිවාදය වැනි දෘෂ්ටිවාදවලින් බෙදී වෙන් වූ අය බවට පත් වී ඇත්තේ මන්ද ප්‍රශ්න අපෙන් අසයි. අප සැබැවින්ම එකිනෙකා නොහඳුනන බවට අපට අවබෝධ වන්නේ එක්තරා ශෝකී හැඟීමක් ඇති කරමිනි. 


“ඕ ඕ ජීවිතයෙ හැටි එහෙමයි

 ආ ආ ජීවිතයෙ හැටි එහෙමයි

  ඕ ඕ අබතිවහා  එහෙමයි

 ආ ආ ජීවිතයෙ හැටි එහෙමයි”


“ඕ ඕ ජීවිතයෙ හැටි එහෙමයි

 ආ ආ ජීවිතයෙ හැටි එහෙමයි

  ඕ ඕ අබතිවහා  එහෙමයි

 ආ ආ ජීවිතයෙ හැටි එහෙමයි”

  “අබතිවහා” යන අප්‍රිකානු සාම්ප්‍රදායික වචනය එන්නේ මෙතැනදීය. එය මේ සන්දර්භයේදී ජීවිතයේද, ස්වභාව ධර්මයේද සංකේතයක් වන සැටි පැහැදිලිය. “සංසාරේ” හැටි එහෙමයි යනුවෙන් අපට කිව හැකිය. ගීය එතනින් අවසන් නැත. නැවතත් අර ප්‍රශ්න මාලාව අසනු ලැබේ:


“මා කවුදැයි ඔබ දන්නවද

  ඔබ කවුදැයි මා දන්නවද

 අප එකිනෙකා පැහැදිලිව දකිනවද

 අප කවුදැයි අපි දන්නවද?”

   ඉන් පසු නැවත ගීය අර ආරම්භක පාදවල වෘත්තය වෙත ආපසු යයි:

“ජලය ගඟ සාදයි ගඟ කන්ද සෝදාලයි

 ගින්න හිරු එළිය සාදයි ලෝකය සකස් කරලයි

හදවත ගංගාවයි ශරීරය නම් කන්දයි

ආත්මය හිරු එළියයි ලෝකය වෙනස් කරලයි


ආත්මය අපිමයි සැබෑ ආත්මය අපිමයි

ලෝකය වෙනස් කළ හැක්කේ  ආත්මෙට පමණයි

   ආත්මය අපිමයි සැබෑ ආත්මය අපිමයි

ලෝකය වෙනස් කළ හැක්කේ  ආත්මෙට පමණයි”

    මෙහි “ආත්මය” යන්න වෙනුවට අවශ්‍ය නම් “ප්‍රාණය” යැයිද යෙදිය හැකිය. එහෙත් අප්‍රිකානු ජන විශ්වාස අනුව යමින් ආත්මය යන්න වඩා උචිත යැයි කිව හැකිය.




   හුදෙක් ආකෘතියෙන් පමණක් නොව ජීවන දර්ශනයෙන්ද අප්‍රිකානු උරුමය ප්‍රකාශ කරන මෙවැනි ගීයක් සුදු කළු භේදය පැවති ඇමරිකාවේ ගයන විට නැගෙන දේශපාලන අර්ථය කාටත් වටහාගත හැකිය. හුදෙක් විනාඩි තුනේ සරල ගී ආකෘතියට සිර වී ඇති සිංහල ගීතයද යම් එළියක් සපයන්නට හැරී බෙලාෆොන්ටේ වැනි කලාකරුවකුට හැකි වුවහොත් ලෝකයේ කොතැන හෝ සිට ඔහු කළ නිර්මාණවල උරුමය අපටද අත්පත් කරගත හැකිය. මෙවන් කෙටි ලිපියක ඔහුගේ තවත් අගනා ගී ගැන කතා කරන්නට අවකාශ නැත. ඒ ඇතැම් ගීවලට සවන් දෙන මෙන් ආරාධනා කරමි.







1 comment:

  1. හැරී බෙලාෆොන්ටේගේ අභාවය මෙරට ජනමාධ්‍යවලට නොදැනුන සිදුවීමක් විය. ඔහු ගැන සටහනක් තැබිම ගැන තුති.

    ReplyDelete