Saturday, June 3, 2023

මරා දැමුණු ක්‍රිෂාන්ති සාහිත්‍යයෙහි ලබන පණ - ලියනගේ අමරකීර්ති

    

    






   යුද්ධයේ අවසානය සමරූ මැයි 19 වෙනිදා උදේ මා සිටියේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පන්ති කාමරයකය. මා කතා කරමින් සිටියේ සිංහලට පරිවර්තනය වූ දෙමළ සාහිත්‍යය ගැනය. යුද්ධයේ අවසානයෙන් පසුව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශය අලුත් ආකාරයක පාඨමාලාවක් හඳුන්වා දුන්නේය. ඉන් අවධානය යොමු කෙරෙන්නේ දෙමළ සාහිත්‍යය ගැනය. අපගේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ඒ සාහිත්‍යය දෙමළ භාෂාවෙන්ම ඉගෙනීමට හැකියාවක් නැත. සාහිත්‍යය කියවීමට තරම් ඉංග්‍රීසිය දන්නේද ටික දෙනෙකු පමණි. ඒ නිසා කාලයක් තිස්සේ සිංහලට නැගෙමින් තිබෙන දෙමළ සාහිත්‍ය කෘතිවලින් තෝරාගත් කෘති මේ පාඨමාලාවේදී අධ්‍යයනය කෙරේ. උනන්දුව ඇති ශිෂ්‍යශිෂ්‍යාවෝ සැපයෙන ඉඟි ඔස්සේ ගොස් තවත් කෘති සොයමින් කියවති. එවන් උනන්දුවක් ඇති අය ඉතා අඩු වීම අපේ රටේ අධ්‍යාපනයේ ඇති විශාල ප්‍රශ්නයකි. විභාග පිළිතුරු කටපාඩම් කරවන ටියුෂන් අධ්‍යාපනයකින් එන ඔවුන් අතර එවන් කිහිප දෙනෙකුවත් සිටීම වාසනාවකි.

  මෙම පාඨමාලාවේදී අප වෑයම් කරන්නේ මෙරට වසන දෙමළ භාෂක ප්‍රජාවන් දෙකෙහි ජීවිතය ආශ්‍රිත යථාර්ථය සාහිත්‍යයෙහි නිරූපණය වන ආකාරය ගැන යම් අවබෝධයක් සිංහල ශිෂ්‍යශිෂ්‍යාවන්ට ලබා දෙන්නටය. යුද්ධය අවසාන විය. එය හොඳය. ඇතැම් අශිෂ්ටයෝ එය විජග්‍රහණයක් සේ සමරමින් අප අවට ජීවත් වන අය තවත් බියට පත් කරති. ඒ අතර දෙමළ සහ මුස්ලිම් ප්‍රජා අතරින් පහළ වූ සාහිත්‍ය කෘති වෙතම අවධානය යොමු කරන පාඨමාලාවක් විශ්වවිද්‍යාලයක ඉගැන්වීම ඉතා ශිෂ්ට ක්‍රියාවකි. ඒ සාහිත්‍ය කෘති අධ්‍යයනය නිසා අප ශිෂ්‍ය ශිෂ්‍යාවන් තුළ ඒ ප්‍රජාවන් කෙරෙහි සහවේදනීය ආකල්පයක් වර්ධනය වේද, ඒ ප්‍රජාවන් නිරන්තරයෙන් අත්දකින ව්‍යූහමය පීඩනය ආදිය ගැන අපගේ සිසුන් සංවේදී වේද යනාදී කරුණු ගැන අනාවැකි කීම දුෂ්කරය. සාහිත්‍ය කලා මගින් ඇති කරන සවේදීතා ඵල දරන්නේ ඉතා සෙමිනි. එහෙත් එවැනි සාහිත්‍ය කලා කෘති නිසා මනුෂ්‍ය සංවාදය පොහොසත් කෙරේ.

   යුද ජයග්‍රහණ සැමරෙන අතරේ අපි එක්තරා තරුණියක හා සම්බන්ධ කවියක්ද කෙටිකතාවක්ද අපේ පන්තියේදී කියැවීමු. ඒ තරුණියගේ නම ක්‍රිෂාන්ති කුමාරස්වාමිය. දෙමළ කිවිඳිය විනෝදිනි ලියූ “ක්‍රිෂාන්ති” නම් කවිය අපි මුලින්ම කියවමු. මහාචාර්ය එම්. ඒ. නුහ්මාන් එය ඉංග්‍රීසියට නගා තිබේ. මේ ඇසුරින් මා කරන අනුවර්තනයකි:

 සියොතුන් ගයන අතරේ

 ඇගේ මරණය සිදු විය

 ගිලෙන විට හිරු සයුරේ

 උැගේ මරණය සිදු විය


දැරියක ලෙසින් ඇය මෙලොව එළිය දුටු දවසේ

ඇගේ මවත් ඇයවත් නොසිතන්නට ඇත මෙවන් විපතක්


මුලින්ම තියුණු උල් කටු ලෙසින් ඈ සිදුරු කර දැම්මේ

ඔවුන්ගේ බැල්මයි

ඉනික්බිති ඇගේ සියුමැලැ අත් පැහැර ගත්තේ

ඔවුන්ගේ විෂඝෝර අත්වලිනුයි


ඇය සිහිසුන්ව ගිය විට කිසි සද්දයක් නොකළහ

ඇගේ සිහියෙන්ද තොර සිරුර දූෂණය කර දැම්මහ

මේ මහා පාපය සිද්ද වූයේ

මහා සුදු වැලි වෙරළක 

ලුණු වැලි ගහණ සොහොනක ඔවුහු ඈ වළ දැම්මහ.


දැරියක ලෙසින් මෙලොව එළිය දුටු දවසේ

සිතන්නට නැත මෙවන් විපතක්


   මේ කවිය අපි පන්තියේදී ඉංග්‍රීසියෙන් සිංහලට නගමින් කියවීමු. මෙහි කියවෙන ක්‍රිෂාන්ති කුමාරස්වාමි යනු කවුද? ඇය මරා දැමෙන විට උසස් පෙළ ශිෂ්‍යාවකි. 1996 සැප්තැම්බර් 7 වෙනිදා ඇය උසස් පෙළ රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලියා අවසන්ව ඊට කලින් දා හමුදා කැබ් රථයක ගැටී මිය ගිය මිතුරියකගේ මළගෙදර ගියාය. එතැන් සිට ආපසු නිවසට ආවේ තනියමය; පාපැදියෙනි. ඒ එන අතර යාපනයේ කයිතඩි මුරපොළේදී හමුදා සොල්දාදුවෙක් ඇය නැවැත්වීය. ඒ උදෑසන එකොළහයි තිහට පමණය. මේ සිද්ධිය දුටු මාර්ගයේ ගමන් කළ කෙනෙක් ඒ පුවත ඇගේ නිවසට දැන්වීය. ඇගේ පියා මියගොස්ය. මව විදුහල්පතිවරියකි. මේ ආරංචිය ලැබී මවත්, බාල සහෝදරයාත්, තවත් අසල්වැසියෙකුත් ක්‍රිෂාන්ති සොයා හමුදා මුරපොළට ආහ.

  ඒ සිව්දෙනාගේම සිරුරු හමුවූයේ දින හතළිහකට පසුවය.

  හමුදා සෙබලුන් පස් දෙනෙකු විසින් ඇය පැහැර ගන්නා ලද බවත්, තවත් සොල්දාදුවන් හය දෙනෙකු ඇය සමූහ දූෂණයට ලක් කළ බවත් පසුව හෙළි විය. ජාතික සහ ජාත්‍යන්තර පීඩනය හමුවේ ලංකා ආණ්ඩුව මේ පිළිබඳ පරීක්ෂණයක් කළ අතර ඒ ඝාතනවලට වගකිවයුතු හමුදාභටයන්ට මරණ දණ්ඩනය නියම විය. ඒ නඩුවේදී සාක්ෂි දුන් එක් විත්තිකරුවෙකු වූ සෝමරත්න රාජපක්ෂ ඒ සිද්ධිය ආසන්න කාලයෙහි හමුදාව විසින් කරන ලද තවත් පැහැර ගැනීම් හා ඝාතන මාලාවක් හෙළි කළේය. ඒවා ගැන ඕනෑම කෙනෙකුට කියවා බැලිය හැකි සේ අද හෙළි වී තිබේ. මරණ දණ්ඩනය නියම වූ පිරිස දැන් ජීවත් වන්නේ කෙසේදැයි සොයා බැලීම වටියි. එය ජනමාධ්‍යවේදීන්ට භාරය.

     ක්‍රිෂාන්ති කුමාරස්වාමි ඝාතනය තවත් සාහිත්‍ය නිර්මාණවලට ආවේශය සැපයූයේය. ජේ. කේ. යන ආරූඪ නාමයෙන් ලේඛනයෙහි යෙදෙන ජෙයකුමාරන් චන්ද්‍රසේකරම් ඒ සිදුවීම පාදක ඇසුරින් අපූරු කෙටිකතාවක් ලිව්වේය. “දෙවිවරුන් නිදනා දේශයක” නම් වූ ඒ කෙටිකතාව  ජෙගන් ගනේෂන් පරිවර්තනය කොට පළ කළ අතිශය අභ්‍යන්තරික පරීක්ෂණය යන කතා සංග්‍රහයෙහි ඇතුළත් වේ. එය අප කාගේත් අවධානයට ලක් විය යුතු කතා එකතුවකි. 

   “දෙවිවරුන් නිදනා දේශයක” කතාවේ කථකයා ලේඛකයෙකි. ඔහු සිට බිරිඳ සහ දියණිය සමග ලන්ඩනයේ වාසය කරයි. කතාව ආරම්භ වන දවසේ ඔහු සිය දියණිය ලන්ඩන් සත්තු වත්තට කැඳවාගෙන යාමට පොරොන්දු වී සිටියි. ඔහු තම ඉඩකඩම් විකුණා නීති විරෝධී මාර්ගයකින් ලන්ඩනයට පැමිණ ඉතා දුෂ්කර දිවියක් ගත කොට අවුරුදු ගණනාවකට පසුව සරණාගත වීසා ලබා ගත් කෙනෙකි. ඔහුගේ බිරිඳද සාමාන්‍ය පෙළද උසස් පෙළද පමණක්  නොව ලන්ඩන් උසස් පෙළද සමත්ව නිව් කාසල් විශ්වවිද්‍යාලයෙන් වෛද්‍ය උපාධිය ලැබ දැන් නාරි හා ප්‍රසව වෛද්‍යවරියකව සේවය කරයි. කථක ලේඛකයා එවැනි අධ්‍යාපන ජයග්‍රහණ ලබා නැත. උසස් පෙළ සියලු විෂයයන් අසමත්ය. එහෙත් වෛද්‍ය බිරිඳ ඔහුට දැඩි සේ ආදරය කරයි. ඔහු ප්‍රකට ලේඛකයෙකු වනු දැකීමට ඇයද කැමතිය. ඔහු ලියන කතා කියවා අදහස්ද පළ කරයි. ඒ දෙදෙනාගේ කුඩා දියණිය වන කන්නම්මාටද සිය පියාගේ සාහිත්‍ය  පිස්සුව වැළඳී තිබේ. ඇය පුංචි පුංචි කතා ලියයි. මේ ඒ තිදෙනා දැන් ලන්ඩනයේ දිවි ගෙවති. එය ප්‍රීතිමත්, සාර්ථක පවුලකි.

  ඒ අතර ඔහු අතීතය සිහි කරයි. ඔහු උසස් පෙළට ඉගෙනගන්නා කාලයේ ක්‍රිෂාන්ති කුමාරස්වාමිද සිත් ගන්නා තරුණියකි. මේ කථක ලේඛකයා ඇගේ ආදරය දිනාගන්නට ඇය පස්සේ යයි. කථකයාගේ පවුල යුද ගැටුම් හේතුවෙන් අවතැන්ව වෙනත් ප්‍රදේශයක පදිංචියට යන අතර වරක් ක්‍රිෂාන්ති ඔහුට උදව් කරයි. එහෙත් ඔහුගේ ආදර ආක්‍රමණ ඇය ඉවසන්නේම නැත. කතාවේ කියවෙන ආකාරයට ඒ ක්‍රිෂාන්ති අවතැන් වූ ඔහුගේ පවුලේ අයට හැකි උපරිම උපකාර කරයි. 

   එහෙත් ඔහු ඇයගේ ආදරය ඉල්ලා ඇය පසුපස යෑම නතර කරන්නේද නැත. ක්‍රිෂාන්ති හමුදා අත්අඩංගුවට පත් වූ දවසේද ඔහු සිය බසිකලයෙන් තමා පසුපස එන්නේදැයි ඇය පරීක්ෂා කරයි. එසේ කරමින් ඇය තනිව පාපැදිය යන අතර කයිතඩි මුරපොල අසලදී හමුදා නිලධාරියෙක් ඇය නවත්වයි. ඒ ක්‍රිෂාන්තිගේ ජීවිතයේ අවසන් හෝරාව හෝ දෙක විය හැකිය.

   එහෙත් කෙටිකතාකරුවා අප හෙළන්නේ පුදුමාකාර ප්‍රබන්ධමය උගුලකටය. දැන් ලන්ඩනයේ සිට කෙටිකතාවක් ලියන ලේඛකයා විවාහ වී සිටින්නේ ක්‍රිෂාන්ති සමගය. ඇය එංගලන්තයේදී වෛද්‍යවරියක වී සිටියි. මෙය අපගේ හදවත සිදුරු කරන ප්‍රබන්ධ ප්‍රයෝගයකි.

   සිය කෙටිකතාව අවසන සටහනක් යොදන ලේඛකයා මෙසේ කියයි: ක්‍රිෂාන්ති කුමාරස්වාමි දූෂණ කොට මරා දමා ඇගේ සිරුර කොටස් කීපයකට කපා වළ දැමිණි.

  එසේ නම් මේ වෛද්‍යවරියකව ලන්ඩනයේ ජීවත්වන ක්‍රිෂාන්ති කවුද?

  කථකයා අපට කතාව කියන්නේ ඔහු ක්‍රිෂාන්තිගේ පාසල් පෙම්වතා වූ බව කියමිනි. ඇය එදා ක්‍රිෂාන්ති මරා දැමුණු දින ඇය පාපැදියෙන් ගමන් කළ ආකාරය ඔහු විස්තර කරයි. එය ඔහු ඇසින් දුටු දෙයක් බව අපටද හැඟෙයි. මේ බලන්න:

“පා පැදිය පැදගෙන යන විටත් සුළඟට හසු වන පාසල් නිල ඇඳුම නැවතත් යථා තත්ත්වයට පත් කරන විටත්, හිස පිටුපසට නොහරවා පාපැදියේ රඳවා ඇති පොත් බෑගය නොවැටී තිබෙනවාදැයි පරීක්ෂා කරන විටත්, වැසි දිනයේ දී එක් අතකින් කුඩයත් අනෙක් අතින් පා පැදි හැඬලයත් අල්ලගෙන ගමන් කරන විටත්, ඇය සමග ගමන් කරන මිතුරියන්ගේ කවට කතාවලට හැරී කට කොණකින් සිනාසෙන විටත්, ඉදිරියට වැටෙන කොණ්ඩ කෑලි කිහිපයක් නැවත සකසන විටත්, ඇය තුළ විශේෂ ලාලිත්‍යයක්, ඉවසීමක්, සුන්දරත්වයක් ගැබ්ව තිබුණි.”

  මේ දිගු, තනි වැකියෙන් 19 හැවිරිදි තරුණියක බයිසිකලය පැද යන ආකාරයෙහි සුන්දරතා විස්තර කෙරෙන්නේ පෙම්වතෙකුගේ ඇසිනි. ඒ නිසාම මේ සුන්දර ගමන යන තරුණිය මේ යන්නේ ඇගේ මරණය කරා යන කාරණය අප තුළ ඇති කරන්නේ වේදනාවකි. තමා යන්නේ ඒ අවසන් ගමන බව ඇය දන්නේ නැත.

  එසේ නම් දැන් ලන්ඩනයේ කථකයාගේ බිරිඳ වී සිටින ක්‍රිෂාන්ති කවුද? 1996 වර්ෂයේදී ඇගේ මරණයට පෙර ක්‍රිෂාන්ති තමන්ගේ ආදරය ආයාචනය කරමින් පසුපස ආ කථකයාගේ ආදරය ප්‍රතික්ශේප කළ බව කතාවේම කියවේ. ඇගේ අවධානය යොමු වී පැවතියේ අධ්‍යාපනය වෙතය. උගත් මධ්‍යම පාන්තික පසුබිමකින්  එන ඇය අධ්‍යාපනයට මුල් තැන දී ඇති බවක් පෙනේ.

  මේ කෙටිකතාවේ ව්‍යූහමය සංරචනය අපූරුය. ලේඛකයා කතාව ගොතමින් සිටියි. ලන්ඩනයේ සිටින ලේඛකයාගේ දියණිය ඔහු ලියමින් සිටින කතාවේ නම අසයි. “ඒ කතාවෙ නම තමයි ඔයාගෙ අම්මගෙ නම” යැයි ලේඛකයා කියයි. දියණිය දෙමළ අකුරින් ලියා ඇති කතාවේ නම කියවයි: “ක්‍රිෂාන්ති” 

  හරියමට ඒ වෙලාවට ක්‍රිෂාන්ති කුමාරස්වාමි කයිතඩි මුරපොළේදී හමුදා නිලධාරියාට නම කියූ මොහොතට ඡේදනය වේ. මෙය සිනමාවේ ව්‍යාකරණයෙහි එළියෙන් කෙටිකතාවක් සංරචනය කිරීම වැනිය.

  ක්‍රිෂාන්ති කුමාරස්වාමි ඝාතන සිද්ධිය ගැන කිසිවක්ම නොදන්නා අයද මේ කතාව අවසානය දක්වා කිය වූ විට කතාවේ එන බිරිඳ කුමාරස්වාමි නොවන බව වටහා ගනිති. එසේ නම් කතාවෙන් කියවෙන්නේ කුමක්ද? අපගේ හදවත වේදනාවෙන් බර වෙන්නේ ඒ ගැන කල්පනා කරන විටය.

ක්‍රිෂාන්ති කුමාරස්වාමි මරා දැමුණේ නැත්නම් ඇයටද ලන්ඩනයට පැමිණ වෛද්‍යවරියක වීමේ අවස්ථාව තිබිණි. ඒ දුෂ්කර යුද්ධ කාලය පසු කරගත්තේ නම් ඇය ඉදිරියේ පැවති විකල්ප බොහෝය. 

එසේම මේ කතාවේ එන ලන්ඩන් බිරිඳගේ නමත් ක්‍රිෂාන්ති බව පෙනේ. එය අහම්බයකි. මේ කතාව ලිවීම යනු ඔවුන්ගේ කුඩා දියණියට ක්‍රිෂාන්ති කුමාරස්වාමිට වූ අපරාධය කියන අවස්ථාව වීමට පුළුවන.

මේ වූකලි ලේඛකයා ක්‍රිෂාන්ති කුමාරස්වාමි වෙනුවෙන් ප්‍රබන්ධිත ජීවිතයක් පරිකල්පනය කිරීමක් වන්නටද පුළුවන. කථක ලේඛකයා ඇයගේ ආදරය ඉල්ලමින් ඇය පසුපස්සේ ගිය තරුණයෙකු වන්නටද පුළුවන. මේ කතාවේ පෙනෙන්නේ එක්තරා වරදකාරී හැඟීමක් හා අහිමිවීමක් සමග ඔහු පොර බදන ආකාරයද විය හැකිය.

 

   සමකාලීන දෙමළ කෙටිකතාවලට යුද්ධය ආශ්‍රිත අද්දැකීම් නිරන්තරයෙන් විෂය වේ. එය පුදුමයක් නොවේ. දෙමළ භාෂක ප්‍රජාවට තිස් වසරක් උසුලන්නට සිදු වූ හිංසනය සාපේක්ෂව මෙතරම් හොඳ කතා ලියන්නට පිරිසක් ඉතිරිවීම පවා පුදුමයකි. කොටි සංවිධානයේ අධිකාරිවාදී හිංසනයත්, දෙමළ ප්‍රජාව තුළ වූ නොයෙක් දේශපාලන කණ්ඩායම් අතර වූ ගැටුම් නිසා ඇති වූ හිංසනයත්, ශ්‍රී ලංකාවේ හමුදාවෙන් හා ඉන්දීය හමුදාවෙන්  එල්ල වූ හිංසනයත්, නොයෙක් නිල නොවන සන්නන්ධ කල්ලිවල හිංසනයත් අවුරුදු තිහක් පැවතියේය. ඒ භීෂණ යුගයෙන් පසුව ඒ අද්දැකීම් ලියන්නට මෙපමණ ලේඛක ලේඛිකා පිරිසක් ඉතිරි වී සිටීම පුදුමය. 

   ඒ කතා හොඳ කෙටිකතා වන්නේ ඒ බිහිසුණු අද්දැකීම් ගැන ලියන නිසා පමණක් නොවේ. ඒවා ලියන්නට සුදුසු ආඛ්‍යාන විධික්‍රම ගවේෂණය කිරීමටද මේ ලේඛක ලේඛිකාවෝ තැත් කරති. අතිශය අභ්‍යන්තර පරීක්ෂණය නම් සංග්‍රහයේ ඇතුළත් වන කතා ඒවා විෂය අතින් පමණක් නොව ආඛ්‍යාන ශිල්ප ක්‍රම අතින්ද වැදගත්ය. කතා කියන හැටි ගැන අත්හදා බැලීම් කරන සිංහල ලේඛක ලේඛිකාවෝ සිටිති. එහෙත් ඇතැම් විට ඔවුන්ගේ කතාවල ඇත්තේ ශිල්ප ක්‍රම ක්‍රීඩා පමණය. මේ ඇතැම් දෙමළ කෙටිකතාකරුවන් ශිල්පීය අත්හදා බැලීම් කරන්නේ බරපතළ අලුත් දෙයක් අපට කියන්නටය. ඒවා සිංහල අප සාවධානව කියවිය යුතු කතා වන්නේම ඒ නිසාය.



(ජූනි 4 වෙනි ඉරිදා අරුණ පුවත්පත)



1 comment:

  1. මොනවද දෙමළ කතා කරන ප්‍රජාවන් දෙක.
    දෙමළ සහ මුස්ලිම්ද? එහෙම හිතනවා නම් ඒ ඔබේ නොදැනුවත්කම.
    දෙමළ කතා කරන ප්‍රජාවන් අවම වශයෙන් 3ක් වත් තියෙනවා.

    සිංහල භාෂාවට පෙරලෙන දෙමළ පොත් ගැන පැහැදීමක් නෑ. ඒවා සියල්ල යම් NGO කණ්ඩායමක් හරහ කෙරෙන පරිවර්තන බවයි පේන්නේ. එහෙම නැතුව නිදහස් වෙළඳපොලක් තුල ඔය පරිවර්තන කටයුතු කෙරෙනවා නම් ඒක සංහිඳියාවට වුනත් හොඳයි.

    හරියට ධනවාදය ක්‍රියාත්මක වුනොත් ඔය වාර්ගික ප්‍රහ්න ඉබේම විසඳෙනවා.

    ReplyDelete