Sunday, August 13, 2023

මහජන නාට්‍ය කලාවක තිබිය යුතු ලක්ෂණ - ලියනගේ අමරකීර්ති

   




     

    

   සාහිත්‍ය උත්සව සමය ආරම්භ වී තිබේ. මහනුවර පොත් ප්‍රදර්ශනය පසු ගිය දා පැවැත්විණි. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සාහිත්‍ය උළෙල දැන් පැවැත්වේ. එය මාස කිහිපයක් පුරා පැවැත්වෙන බව ශිෂ්‍ය නායකයෝ කියති. ඊට සමගාමීව නාට්‍ය සංදර්ශන ආදියද පැවැත්වේ. පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙහි මහාචාර්ය සරච්චන්ද්‍ර එළිමහන් රංග පීඨයෙහි විවිධ අවස්ථාවල නාට්‍ය ප්‍රදර්ශනය කෙරේ. එළඹෙන 27 වෙනිදා පරාක්‍රම නිරිඇල්ලගේ පරාස්ස රංග ගත විය.

   මෙම එළිමහන් රංගපීඨය ලංකාවේ පවත්නා විශාලතම රංග පීඨයයි. එහි උපරිම ධාරිතාවට ළඟා වූ අවස්ථාවල පන්දාහක් තරම් රසිකයෝ එකට හිඳ නාට්‍ය නරඹති. ඒ රංග පීඨයෙහි හෙවත් ‘වළෙහි’ නාට්‍ය නැරඹීම සඳහා ලංකාවේ විවිධ පළාත්වල සිට එන අයද වෙති. ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඇතුළු සරසවි ප්‍රජාවේ අය පමණක් නොව අවට ගම්වල අයද පැමිණ සාපේක්ෂ වශයෙන් අඩු මුදලකට නාට්‍ය නැරඹීම මේ රංග පීඨයෙහි දකින්නට පුළුවන.


  ඇතැම් විට නාට්‍ය සංවිධානය කරන ශිෂ්‍ය ශිෂ්‍යාවෝ පැමිණ විශ්වවිද්‍යාලයෙහි පෙන්විය යුතු නාට්‍ය මොනවාදැයි අපෙන්ද අසති. එවිට බොහෝ දෙනෙකු අදහස් කරන්නේ සෙනග අද්දවා ගෙන ලාබ ලැබීමට නම් සරල හාස්‍ය සහිත නාට්‍ය හෝ ටෙලි නළිනිළියන් සිටින නාට්‍ය ගෙන්වා ප්‍රදර්ශනය කළ යුතු බවයි. දැන් සෑම දෙනා අතම කැමරා සහිත සෙල්ෆෝන ඇති බැවින් නාට්‍ය අවසානයේ ප්‍රකට නළුනිළියන් සමග ඡායාරූප ගැනීම උදෙසාම නාට්‍ය නැරඹීමට පැමිණෙන අයද සිටිති. අප හැකි පමණ තැත් කරන්නේ සිංහල නාට්‍යය ලෝකයෙහි පවත්නා විවිධත්වය නිරූපණය කෙරෙන නාට්‍ය හැකි තරම් ප්‍රදර්ශනය කරන්නටය. දැනටමත් සම්භාව්‍ය නාට්‍ය යැයි සැලකෙන කෘති (සරච්චන්ද්‍ර නාට්‍ය), තරුණ අයගේ නිර්මාණ,(යෞවන සම්මාන වැනි තරගවලින් මතු වූ නාට්‍ය) ශෛලිගත නාට්‍ය, රංගමය අත්හදා බැලීම් අතින් ඉහළ ප්‍රාසාංගිකත්වයත් සහිත නාට්‍ය (රජා මං වහලා වැනි), තාත්ත්වික යථාර්ථවාදී රීතියෙහි නාට්‍ය (නැතුව බැරි මිනිහෙක් වැනි) සේම සිංහල නාට්‍ය ලෝකයෙහි පවත්නා විවිධ කණ්ඩායම් නිරූපණය කෙරෙන නාට්‍යයද තෝරා ගැනීමට පේරාදෙණිය විශ්වවිද්‍යාලය තැත් කරයි. පරිවර්තන සේම ස්වතන්ත්‍ර නාට්‍ය රචකයන්ටද දිගු සේම කෙටි නාට්‍යවලටද අවස්ථාවක් ලබාදීමට ප්‍රයත්න දැරේ.  අඩු තරමින් එක් දෙමළ නාට්‍යයක් හෝ පෙන්වන්නට මෑතකදී සාකච්ඡා විය.  මේ කටයුතුවල මූලිකත්වය ගන්නා ආයතනය විශ්වවිද්‍යාලයීය කලා මණ්ඩලය නම් වෙයි. නාට්‍ය කලාව ගැන යම් අවබෝධයක් ඇති පිරිසක් එහි ස්වේච්ඡාවෙන් කටයුතු කරයි.

   ‘වළේ’ පෙන්විය යුතු නාට්‍ය කවරාකාර විය යුතුද යන සංවාදයක් මෑතකදී ඇති විය. බොහෝ දෙනාට විවෘත වූද, නොයෙක් අධ්‍යාපනික හෝ රසික පසුබිම්වල අය නාට්‍ය නරඹන ඒ රංගපීඨයෙහි පෙන්විය යුතු නාට්‍ය කවරාකාරද යන්න පිළිබඳ අනම්‍ය නිර්වචනයක් සැපයීම පහසු නැත. එය බෙහෙවින් විවෘත සේම නිර්ප්‍රභූ රංග මණ්ඩපයකි. රුපියල් සීයක පමණ ටිකට් පතක් ගෙන ඕනෑම තරුණ කෙනෙකුට නාට්‍ය නැරඹිය හැකිය. පේරාදෙණිය අවට ගම්වල රසිකයෝ පවුල් පිටින් පැමිණ අඩු මුදලට නාට්‍ය නරඹති. පේරාදෙණිය එළිමහන් රංග පීඨයෙහි උසස්, ප්‍රභූ රසවින්දනය ගැන නොයෙක් කතා කියවුණත් එහි පිටුපස ආසන හෙවත් පඩිපෙළවල සිට නාට්‍ය නරඹන බොහෝ සාමාන්‍ය රසිකයන් ගැන කතා නොකෙරෙන තරම්ය. මධ්‍යම පාන්තික කලා රසික ප්‍රභූන්ට විශේෂයෙන් වෙන් වූ රංග ශාලා තිබේ. ලයනල් වෙන්ට් රඟහල එවැන්නකි. මහාචාර්ය සරච්චන්ද්‍ර එළිමහන් රංග පීඨය එවැන්නක් නොවේ. එය රසිකත්වයේ විවිධ මට්ටම්වල විවෘතය. ‘වළ’ ගැන කෙරෙන බොහෝ සැමරුම් සටහන්වල එක්තරා ප්‍රභූත්වයක් දැකිය හැකි නමුත් ‘වළ’ යනු සාමාන්‍ය රසිකයාද අමතක නොකළ අවකාශයක් බව අපට අමතකව තිබේ. ‘වළේ’ ඉදිරි පේළිවල සංස්කෘතික ප්‍රභූන් සිටිය හැකි වුවත් පිටුපස පේළිවල සාමාන්‍ය ජනයා සිටිති. එවැනි අය තුළ නාට්‍ය රසිකත්වය වර්ධනය කරන්නට මහාචාර්ය සරච්චන්ද්‍රට අවශ්‍ය වූ මේ එළිමහන් රංග පීඨය ගොඩනැගීමේදී ඔහු කළ කී දේවලින් පෙනේ.

  මා මේ කියන ඉහත සංවාදයේදී මා ගෙන හැර දැක් වූ කරුණු කීපයක් ඇසුරින් මෙම රචනය කරමි. ඒ කරුණු පොදුවේ නාට්‍ය කලා කතිකාවට යමක් එකතු කරනු ඇතැයි යන අපේක්ෂාවෙනි. රොමේන් රොලන්ඩ් (Romain Rolland - 1866-1944)  යනුවෙන් ප්‍රංශ නාට්‍යකරුවෙක් සිටියේය. ප්‍රංශ භාෂකයන් එය උච්චාරණය කරන්නේ ‘රොමේන් රොලාන්’ යනුවෙනි.  ඔහු නවකතාකරුවෙකු සේම කලාව ගැන නොයෙක් න්‍යායික ස්වරූපයේ රචනා කළ කෙනෙකුද වූයේය. ඔහු ලියූ The people’s Theatre පොතෙහි එන අදහස් කීපයක් මෙහිදී අපගේ සැලකිල්ලට ලක්වීම උචිතය.

    පොදුජන (මහජන) නාට්‍ය කලාවක අත්‍යවශ්‍ය ලක්ෂණ තුනක් ඔහුගේ පොතෙහි එයි. පොදුජන නාට්‍ය කලාව මූලික වශයෙන්ම විනෝදාත්මක විය යුතු බව රොලාන් කියයයි. මහජන නාට්‍ය කලාව පළමු ගුණය එය සේ ඔහු දකියි. මහජන නාට්‍ය නැරඹීම සිතසැහැල්ලු කරනසුලු වූද විවේකයක් සපයන්නා වූද විනෝදාත්මක අත්දැකීමක් විය යුතුය. වැඩ කරන සාමාන්‍ය ජනයාට දවසේ වෙහෙස වෙතින් කායික සහ සදාචාරමය විශ්‍රාමයක් ලබා දෙන නාට්‍ය කලාවක් මෙහිදී රොලාන් අපේක්ෂා කරයි. ඒ වූකලි වැඩ කරන මිනිසාට ශරීරයෙහි වෙහෙස වෙතින් විවේකයක්ද ප්‍රීතියක්ද ලැබෙන නාට්‍ය කලාවකි. සදාචාරමය විශ්‍රාමය යන්නද ඉතා වැදගත්ය. දවසේ වැඩ කරන වෙලාවේදී ශ්‍රමිකයා ජීවත්වන්නේ ඒ රැකියාවට ආවේණික ආචාරධාර්මික හෝ සදාචාර රාමුවලින් බැඳීගෙනය. රාත්‍රියේ නාට්‍යයක් බලන විටද ඒ ආචාරධාර්මික රාමුවලටම ශ්‍රමිකයා නැවත සිර කළ යුතුද? ඊට වඩා නිදහස් සදාචාරමය රාමුවක් නාට්‍යයක නොතිබිය යුතුද? කලාවෙන් ලැබෙන ප්‍රීතියාස්වාදය නොවැදගත් යැයි සලකන දැඩිතර විදග්ධත්වයක් අදහන අය සිටිති. මා නම් සිතන්නේ ඕනෑම කලාවක එක්තරා මට්ටමක විනෝදාස්වාදමය මානයක් තිබිය යුතු බවය.

   රොමේන් රොලාන් මේ ප්‍රශ්න අසන්නේ වෙහෙසී වැඩ කරන ශ්‍රමිකයාට වඩා සාපේක්ෂ නිදහස් දිවා කාලයක් ගෙවන මධ්‍යම පාන්තික විදග්ධ රසිකයා සමග සාමාන්‍ය මහජන රසිකයා සසඳා බලමිනි. මධ්‍යම පාන්තික විදග්ධ රසිකයා රංග ශාලාවට පැමිණ දැඩි සේ බුද්ධිමය වූද, තේමාත්මක වශයෙන් ගැඹුරු වූද, ජීවිතයෙහි අඳුරු පැත්ත ගැන ආවර්ජනය කරන්නා වූද නාට්‍ය කලාවක් සොයන්නේ විය හැකිය. එහෙත් සාමාන්‍ය මහජන රසිකයාට අවශ්‍ය වන්නේ නාට්‍යයෙන් ලැබෙන විනෝදාත්මක විශ්‍රාමයෙහි ප්‍රීතිය යැයි රොලාන් තර්ක කරයි.

   මෙය නාට්‍යය වැනි ප්‍රාසාංගික කලාවකදී විශේෂයෙන් වැදගත් වන්නක් බව නිසැකය. නවකතාව වැනි ආඛ්‍යාන කලාවකදී පවා කියවීමේ ප්‍රීතිසහගත විශ්‍රාමය නොවැදගත් යැයි කිව නොහැකිය. එය අත්‍යවශ්‍ය යැයි සලකන ලේඛක ලේඛිකාවෝ වෙති. සියලු නවකතා එසේ විය යුතු යැයි මෙයින් අදහස් නොවේ.

  මහජන නාට්‍ය කලාවක තිබිය යුතු දෙවෙනි මූලික ලක්ෂණය සේ රොලාන් දකින්නේ කුමක්ද? ඔහු මෙසේ කියයි: ‘රංග කලාව ශක්තියේ මූලාශ්‍රයක් විය යුතුය.’ දෛනික මනුෂ්‍ය පැවැත්මේ ඇති නිෂේධනීය තත්ත්වය නිසා දුර්මුඛව සිටින සාමාන්‍ය මනුෂ්‍යයාගේ ආත්මය ඔසවා ඔහුට හෝ ඇයට ජීවත්වීමට ආධාර කරන නාට්‍ය කලාවක් රොලාන් ඉල්ලා සිටියි. රසිකයාට ප්‍රීතිමත් විශ්‍රාමයක් සැපයීම මගින් හෙට දවසෙහි වැඩ පිණිස වඩා හොඳින් සූදානම් කිරීමක් නාට්‍ය කලාවෙන් අපේක්ෂා කෙරේ. රොලාන් මෙසේ කියයි: ‘කිසියම් හෝ ක්‍රියාවකින් තොරව සරල හා සෞඛ්‍යසම්පන්න මනුෂ්‍යයන්ගේ සතුට කිසිකලෙක සම්පූර්ණ නොවේ. ඒ නිසා රංගය ක්‍රියාවේ වේදිකාවක් වුව මනාය. තමන්ගේ නාට්‍යකරුවා හිතේශිවන්ත ගමන් සගයෙකු සේ සැලකීමේ අවස්ථාව මහජනයාට තිබිය යුතුය. ඒ ජනයාට තමන් අවට ඇති දේ නිරීක්ෂණය කිරීමට ඉගැන්වීමේ කාර්ය අමතක නොකර ඒ ජනයා ගමනෙහි රැගෙන යාම නාට්‍යකරුවාගේ වගකීම වේ.’ ජීවිතය පිළිබඳ ආශාව ඇති කර මනුෂ්‍ය ආත්ම ශක්තිය පොහොණි කිරීම ඕනෑම කලාවක තිබිය හැකි හොඳ අරමුණකි.

   තමන් ජීවත් වන සමාජයෙහි ස්වභාවය තියුණු ලෙස නිරීක්ෂණය කරන ගමනක රසිකයා රැගෙන යන ගමනක මාර්ගෝපදේශකයා නාට්‍යකරුවාය යන රොලාන්ගේ කියමන අපට විවිධාකාරයෙන් අර්ථකථනය කරගන්නට පුළුවන. 

  මේ මුලින් කී මූලික ලක්ෂණවලට සැබෑ ගැඹුරක් එක් වන්නේ රොලාන් හඳුන්වා දෙන තුන් වෙනි මූලික ලක්ෂණවලිනි. ඔහු මෙසේ කියයි: ‘රංග කලාව බුද්ධිය වෙත මග කියන මාර්ගෝපදේශක ආලෝකයක් විය යුතුය.’ මේ කාරණය ගැන රොලාන් කරන පැහැදිලි කිරීම සිත්ගන්නාසුලුය. වැඩ කරන මිනිසාගේ මොළය නොයෙක් අඳුරා ඡායා හා හොල්මන්වලින් පිරී තිබේ. මෙයින් ඔහු අදහස් කරන්නේ වැඩකරන ජනයාගේ හෙවත් මහජනයාගේ බුද්ධිය නොයෙක් රොඩුබොඩුවලින් අන්ධකාර වී ඇති බවය. ඒ මොළය බුද්ධියේ ආලෝකයෙන් එළි කිරීම නාට්‍යයෙහි කාර්ය බව ඔහු කියයි. රොලාන් මෙසේද කියයි: වැඩ කරන මිනිසා වැඩ කරන අතරතුරදී සිතීමේ යෙදෙන්නේ නැත. ඒ නිසා ඔහුගේ මොළයට අභ්‍යාස ලබා දීම අවශ්‍ය වේ. ඔහු හෝ ඇය අවබෝධ කරගන්නේ ස්වල්පයක් වුවත් මොළය වෙත අභ්‍යාස ලබා දීම නාට්‍යයෙන් සිදු විය යුතුය. අවබෝධ කරගැනෙන්නේ ස්වල්පයක් වුවත් ඒ බුද්ධිය අභ්‍යාසය පවා ප්‍රීතියකියිද රොලාන් කියයි. ඒ වූකලි කායික වශයෙන් කලක් නිෂ්ක්‍රීයව සිට ශාරීරික අභ්‍යාස කරන විට දැනෙන ප්‍රීතිය වැනි යැයි ඔහු පැහැදිලි කරයි. එය ඇත්තකි. යම් දීප්තිමත් අදහසක් සමග කරන බුද්ධිමය පොරබැදීමද ශාරීරික ව්‍යායාම කිරීමක් වැනිය. එය ප්‍රීතිය ජනිත කරයි.

   මේ බුද්ධිමය ව්‍යායාමයේ අරමුණ විය යුත්තේ දේවල් තමන්ම දැක විනිශ්චය කරගැනීමේ හැකියාව වැඩ කරන ජනයාට හෙවත් සාමාන්‍ය ජනයාට ලබා දීමය.

  මහජන නාට්‍ය කලාවක අත්‍යවශ්‍ය මූලික තුන ලෙස රොලාන් දකින්නේ ප්‍රීතිය, ශක්තිය, බුද්ධිමත්භාවයයි. මේවා එක තරමින් වැදගත්ය. එකක් අනිකට වඩා උසස් හෝ පහත් නැත. 

   රොලාන් මේ ලක්ෂණ තුන නාට්‍යයෙහි මූලික අවශ්‍යතා සේ හඳුන්වා දෙන්නේ මනුෂ්‍ය යහගුණ ධර්ම හා මනුෂ්‍ය සහෝදරත්වය ඇති කිරීම නාට්‍ය කලාවෙහි අරමුණ යැයි විශ්වාස කළ නාට්‍ය කලාවකට එරෙහිව බව පෙනේ. රොලාන් දකින හැටියට ඉහත කී ලක්ෂණ ත්‍රිත්ත්වය ඇති විට මනුෂ්‍ය යහගුණ හා මානව සහෝදරත්වය ඉබේම මෙන් ඇති වේ. හුදෙක් ‘ගුණ ධර්ම සැපයීම’ වෙනුවට ප්‍රීතිය, ශක්තිය, හා බුද්ධිය නාට්‍ය කලාවෙන් සපයන්නැයි ඔහු කියා සිටියි. 

   කලාව සම්බන්ධයෙන් අප කාගේත් අවධානය යොමු විය යුතු කරුණක්ද ඔහු සඳහන් කරයි: මනුෂ්‍යයන් ස්වභාවයෙන්ම නරක නැති බව කියන ඔහු දකින හැටියට මනුෂ්‍යයන්ගේ නරක පැන නැග ඔන්නේ අඥානතාව වෙතිනි. එනම් නොදැන්ම වෙතිනි. යමක් නිවැරදිව අවබෝධ කරන ගන්නට නොහැකි මනුෂ්‍යයන්ගේ ආත්මය පිරිපහදු කරනසුලු බුද්ධිමය ආලෝකයක් සැපයීම කලාවේ කාර්යක් විය යුත්තේ ඒ නිසාය. මනුෂ්‍යයන් සිතන්නට හා ඒ අනුව ක්‍රියා කරන්නට යොමු කරන තැනට තම නාට්‍යය ගොඩනැගිය හැකි නම් ඒ ප්‍රමාණවත්ය. නාට්‍යකරුවාගේ කාර්ය මහජනයා කළ යුතුදේ දේශනා කිරීම නොවේ. කලා කෘති ඔස්සේ මෙසේ දේශනා කිරීම මගින් ජනතාවගේ සැබෑ හිතවතුන් වූ අය පවා ජනතාව කලාව වෙතින් ඉවතට එලවා තිබේ යැයිද ඔහු කියයි. 

    ඉන් අනතුරුව ඔහු අත්හළ යුතු අන්ත දෙකක් පැහැදිලි කරයි. එක් අන්තයක් නම් රසිකයාට උපදේශ දෙන හා පාඩම් කියා දෙන නාට්‍ය කලාවයි. අනික කිසිම බුද්ධිමය ඥාන සම්පාදනයකට තුඩු නොදෙන එල්ලයක් නැති විනෝදාස්වායයි. පළමු ආකාරයේ නාට්‍ය වර්තමාන සිංහල නාට්‍ය කලාව තුළ දක්නට නැති තරම්ය. ඒවා ඇතැම් විට දැකිය හැක්කේ පාසල් හා විශ්වවිද්‍යාලවල නාට්‍ය තරගවලදීය. දෙවැනි වර්ගයේ එල්ලයක් නැති සරල හාස්‍යයේ නාට්‍ය අදත් ලංකාවේ තිබේ. මා මේ රචනය මුලදී සඳහන් කළ සංවාදය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේදී හටගත්තේද ඒ නිසාය.

   ප්‍රීතිය, ශක්තිය, හා බුද්ධිය මූලික ලක්ෂණ තුනම ඉතාම සිත්ගන්නා සේ අඩංගු වූ නාට්‍යයක් සේ  රජා මං වහලා හැඳින්විය හැකිය. එය චාමික හත්ලහවත්ත රචනා කොට අධ්‍යක්ෂණය කර ඇත්තකි. එහි පිටපත, රඟපෑම, වේදිකා භාණ්ඩ භාවිතය ආදී සියලු අංග වෙතින් අර කී ලක්ෂණ වෑහේ. එහි රංගනය තුළින් මනුෂ්‍ය ශරීරයේ සහ කටහඬෙහි ප්‍රකාශන ශක්තිය මැනවින් විශද වේ. 

   තැනින් තැන කතා කියමින් යන කතන්දර කියන අය හතර දෙනෙකුගෙන් මෙම නාට්‍යයෙහි කතා තුනක් කිය වේ. එහි දෙවන කොටටසෙහි එන්නේ දුටු ගැමුණු කතාවය. සිංහල ජාතිකවාදියාට සහ ජාතිවාදියාට ඉතා ප්‍රිය වූ කතාවක් වන එහි ‘අනික් පැත්තක්’ හත්ලහවත්තගේ නාට්‍යයෙන් ඉදිරිපත් කෙරේ. නාට්‍යකරුවා එය කරන්නේ දුටුගැමුණු දැඩි සේ අදහන කෙනෙකුට පවා රිදෙන ලෙස නොව ඒ පැරණි රජුගේ කතාව දෙස ආපසු හැරී බලන්නට ආරාධනා කෙරෙන ලෙසය. ඒ කතාවේ අවසානය කරා නාට්‍යකරුවා තම රසිකයන් රැගෙන යන්නේ අප ඉහත දී පැහැදිලි කළාක් වැනි මාර්ගෝපදේශක ගමන් සගයෙකු මෙනි. ඒ නාට්‍යය ගැන සවිස්තර සාකච්ඡාවක තැන මේ නොවේ.

  හුදෙක් විනෝදය සපයන නාට්‍ය හෝ හුදෙක් දේශපාලන පණිවිඩ සහිත නාට්‍ය හෝ එල්ලයක් නැති සිනා රස ඇති නාට්‍ය හෝ නොව රොමේන් රොලාන් කියන වැනි නාට්‍ය පේරාදෙණි එළිමහන් රංගපීඨයෙහි පෙන්වීම උචිත නොවේදැයි අපි ඒ සිසුන්ගෙන් ඇසුවෙමු. දැඩි වෙහෙස මහන්සියක්ද විශාල මුදලක්ද වැය කර එතරම් පහසු නැති ගල් බැමි ආසනවල වාඩි වී නරඹන නාට්‍යයකින් යම් පරිණත සෞන්දර්ය අත්දැකීමක් ලැබිය යුතු නොවේද? විවිධ ස්වරූපයෙන් එවන් සෞන්දර්ය අද්දැකීම් සපයන නාට්‍යකරුවෝ මේ අර්බුද අස්සේ පවා ලංකාවේ සිටිති. ඔවුහු අපගේ සංස්කෘතිය ජීවිතය පොහොසත් කරන්නෝ වෙති. 

(2023 අගෝස්තු 6 වෙනිදා අරුණ පුවත්පතේ පළ විය)




  


No comments:

Post a Comment