Saturday, December 30, 2023

ලක්දිව කිතු සමය හා සිංහල කවියෙහි සුඛනම්‍ය සම්බන්ධය: නත්තල් සමයෙහි ආවර්ජනා -- ලියනගේ අමරකීර්ති (Amarakeerthi)

  




   තවමත් මේ ගත වෙන්නේ  නත්තල්  සතියයි. එය ලෝකය පුරා කිතුනු බැතිමතුන්ට පමණක් නොව අප කාටත් උත්සව සමයකි. නත්තල වූකලී සියලු ප්‍රජාවන් උද්යෝගයෙන් සහභාගි වන හෝ නරඹන සංස්කෘතික අංගවලින් සැදුණකි. පසුගිය 17 වෙනිදා පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙහි කිතුනු සිසුසිසුවියෝ රමණීය කැරොල් ගී ප්‍රසංගයක් පැවැත්වූහ. විශ්වවිද්‍යාලය අභ්‍යන්තරයෙහි පන්සලක්, කෝවිල, මුස්ලිම් පල්ලියක් සමග කතෝලික සහ ක්‍රිස්තියානි දේවස්ථාන දෙකක්ද පිහිටා තිබේ. ඒ බහුසංස්කෘතික පසුබිම විශ්වවිද්‍යාලය ආරම්භයේ සිටම පැවතිණි. පසුගිය දා පැවති කැරොල් ගී ප්‍රසංගයට කතෝලික හා ක්‍රිස්තියානි දේවස්ථාන දෙකම එක් විය. ඒ ප්‍රසංගය ආශ්‍රිත සංවිධාන හා සැරසිලි කටයුතුවලට බොහෝ බෞද්ධ ශිෂ්‍යයෝද දායක වූහ. ඉංජිනේරු පීඨයේ ආචාර්ය ජනක විජයකුලසූරිය සහ මම ද ඊට සහභාගි වීමු. විශ්වවිද්‍යාලයෙහි අන්තර්සංස්කෘතික සම්බන්ධතා වර්ධනය කිරීමට බෞද්ධයන් වන අප පෙරමුණ ගතයුතු බව අපි සිතුවෙමු. ඒ ප්‍රසංගය කාටත් රසවිඳිය හැකි මිහිරි ගීවලින් සෑදී තිබිණි. තවමත් ඒ නිසා ඇති වුණු පහන් හැඟීමෙන් යුත් මම මෙවර ලිපියෙහි සිංහල කිතුණු සාහිත්‍යය ගැන ලියමි. 

    එහිලා මට ආනුභාවය සපයන්නේ තරුණ විද්‍යාර්ථිනියක වන ඉරේෂා නිලූකානි විසින් ලියන ලද අගනා පොතකි. හෙළ කිතුනු කාව්‍ය හා දේශානුරූපීකරණය නම් වේ. ගොඩගේ ප්‍රකාශකයන් විසින් 2019 වර්ෂයේදී පළ කෙරුණු ඒ පොත සිංහල සාහිත්‍යයෙහි විචිත්‍රත්වය වටහා ගැනීමට උපකාර කරයි. 

    කිතු දහම අප රට වෙත මහාපරිමාණ වශයෙන් පැමිණියේ පෘතුගීසි ආක්‍රමණය සමග ඇරමුණු යටත් විජිත පාලනය නිසා බව නොරහසකි. එහෙත්  1505 වර්ෂයට පෙරට මෙරටට ක්‍රිස්තියානි ආගමිකයන් පැමිණි බවට ඓතිහාසික සාක්ෂි තිබේ. අනුරාධපුරයට එවැනි කිතුනු සංචාරකයන් ආ බවද කියැවේ. බටහිර යටත්විජිත පාලනයක් මෙරට ඇති නොවී අපට සෛ්වරී රාජ්‍යයක් ලෙස දිගටම පැවතෙන්නට ඉඩ ලැබුණි නම් ක්‍රිස්තියානි, ඉස්ලාම් වැනි ආගම් අප රට වෙත එන්නට ඉඩ තිබිණි.  බටහිර යටත් විජිතවාදයට පෙර ඉන්දියාවේද කිස්තු භක්තිකයෝ සිටියහ. කවර හේතු නිසා ඇති වූ අන්තර්සංස්කෘතික සම්බන්ධයක් වුවද පෘතුගීසි ආගමනයෙන් අවුරුදු පන්සීයකට පසුව අප ඒ දෙස බැලිය යුත්තේ ඒ යුගයද අපේ පොදු මනුෂ්‍ය ඉතිහාසයෙහිම කොටසක් ලෙසය. කිතු දහම හා සමය නොයෙක් ආකාරවලින් අපේ පොදු සංස්කෘතිය පොහොසත් කර තිබේ.

   ඉරේෂා නිලූකානිගේ පොත කිතු දහම දේශානුරූපීකරණය වීමත් සමග කිතුනු පද්‍ය සාහිත්‍යයක් සිංහල සංස්කෘතිය තුළ ඇතිවීම ගැනය. එය අගනා පර්යේෂණයකි.

   පෘතුගීසි යුගයේදී කිතු දහම පැතිර වීම සඳහා සිංහල පද්‍ය සාහිත්‍යයද භාවිතයට ගැනීමේ අවශ්‍යතාව ධර්මදූතවරුන්ට වැටහිණි. කතුවරිය පෙන්වා දෙන හැටියට සිංහල පද්‍යය කිතු දහම ප්‍රචාරය කිරීමට යොදාගත් මුල් කාලීන ධර්මදූතවාදී කවියෝ බුදුදහම ඇතුළු අනික් ආගම් කෙරෙහි ප්‍රහාරාත්මක ආකල්පයක් දැක්වූහ. එහෙත් පසු කලෙක, ආගමික සහජීවනය හා කිතු දහම දේශානූරූපීකරණය ධර්මදූත කටයුතුවල ප්‍රධාන ප්‍රවේශය වූයේය. එනම් ඒ ඒ සංස්කෘතියට අනුරූප වන ආකාරයට හා ඒ ඒ සංස්කෘතියෙහි පවතින අනෙක් ආගම් කෙරෙහි සහෝදරාත්මක ආකල්පයකින් කටයුතු කිරීමය. යටත් විජිත සන්දර්භයකදී යටත් කරන්නා හා යටත් කරනු ලබන්නා අතර පවතින්නේ අසමාන හා අසමබර සම්බන්ධයක් නිසා යටත් විජිතවාදියාගේ ආගමික ප්‍රචාරණ කටයුතු කොතරම් දුරට නම් ‘සහෝදරාත්මක’ වන්නේද යන්න සංකීර්ණ කරුණකි.

   කල් යත් යත්ම දේශීය කතෝලික ප්‍රජාව සහ ධර්මදූතවරු යටත් විජිතවාදී ආක්‍රමණකාරිත්වයෙන් දුරස් වූහ; යටත් විජිතවාදයට එරෙහි ව්‍යාපාරවලට නායකත්වයද දුන්හ. විමුක්තිවාදී දේවධර්මය යනු යටත්විජිත බලව්‍යූහයෙන්ද, යුරෝකේන්ද්‍රීය චින්තනයෙන්ද විචාරාත්මකව ඈත්වීම ප්‍රයත්න දැරීමේ ඵලයකියිද කිව හැකිය. ඒ නිසා ආසියාවේ, අප්‍රිකාවේ හෝ ලතින් ඇමරිකාවේ කිතුනු සාසනය හුදෙක් යටත් විජිතවාදයේ ඒජන්ත ආයතනයකියි කීම ඉතිහාසය අතිසරල කිරීමකි. ලංකාවේ කිතුනු සාසනය තුළ දරිද්‍රතාව, නූගත්කම, හා පීඩිතභාවයෙන් අසරණ වූ දුගී ජනයා වෙනුවෙන් විමුක්තිකාමී කිතුනුවරුන් කළ කාර්ය හුදෙක් ආගමික ප්‍රචාරයට ලඝු කළ නොහැකිය. එහෙත් 16 වන සියවසේදී පමණ ඇමරිකානු මහාද්වීපයේ යූරෝපීය යටත් විජිතවාදීන් කළ හිංසන සහ සමූල ඝාතනවලට කිතුනු සාසනයද දායක වූ බව ප්‍රකට කරුණකි. නිලූකානි කතුවරියද ඒ ඉතිහාසය සැකෙවින් සඳහන් කරයි.

   යටත් විජිත හිංසනය හා හිංසනාත්මක ධර්ම ප්‍රචාර කටයුතුවලින් ඈත් වීමට ඉතිහාසයේ එක් අවස්ථාවක වතිකානුව තීරණය කරයි. ‘දේශානුරූපීකරණය’ යනු එහි ප්‍රතිඵලයක් වශයෙන් ඇති වන්නකි. එය සිදු වූ ආකාරය ගැන සාරවත් සාකච්ඡාවක් ඉරේෂා නිලූකානිගේ පොතෙහි එයි. 

   විසි වෙනි සියවස පුරාම පාහේ ලංකාවේ දේශීය ධර්මදූතවරු සහ කතෝලික පියවරු කිතු දහම දේශීය විමුක්ති දහමක් බවට පත් කරන්නට ප්‍රයත්න දැරූ බව පෙනේ. බෙහෙවින් උගත් හා ප්‍රතිභාසම්පන්න කතෝලික පියවරු බොහෝ දෙනෙක් ලංකාවෙන් බිහි වූහ. ඇලෝයි පීරිස් පියතුමා වැනි අයගේ බෙහෙවින් නිර්මාණශීලී ධර්ම අර්ථකථන ඒ අතර කැපී පෙනේ. පීරිස් පියතුමාගේ අදහස් සාරාංශකරණය කරන කතුවරිය මෙසේ කියයි:

‘පීරිස් පියතුමා විමුක්තිය යන්න නිර්වචනය කරන්නේ ධන කුවේරයන් ධනයෙන්ද, දරිද්‍රයන් දරිද්‍රතාවෙන්ද ඒ පන්ති දෙකම තණ්යහාවෙන්ද මුදවාලීම ලෙසටය.’ බහුජනයාගේ දරිද්‍රතාව නැති කිරීමේ විමුක්ති දේවධර්මයේ ප්‍රධාන ඉලක්කයක් සේ මේ විමුක්තිකාමී පියවරු දකිති. මේ වූකලී ‘අශිෂ්ට ස්වදේශිකයන්’ කිතු දහමට හැරවීමේ යටත් විජිත ව්‍යාපෘතියට වඩා සපුරා වෙනස් අරමුණකි.

                             සිංහල කිතුනු කවිය හා දේශීයකරණය

 කිතුනු ආගමික පණිවිඩය දේශානුරූපීකරණය කිරීමේ අවශ්‍යතාව යුරෝකේන්ද්‍රීය කිතුනු අධිකාරියට අවබෝධ වූයේ අනවශ්‍ය තරම් දිගු කාලයකට පසුවය; ගෝලීය පරිමාණයෙන් සිදු වූ අනවශ්‍ය තරම් හිංසන මාලාවකට පසුවය. ස්වේතාන් තොfදාරොව්ගේ කොන්ක්වෙස්ට් ඔෆ් ඇමරිකා (The Conquest of America)  වැනි කෘතියක් කියවන කල එය පෙනේ. ඇමරිකානු මහාද්වීපයට ආ මුල් කාලීන කතෝලික ආක්‍රමණිකයන් වන කොලොම්බස්, කෝර්තේස් වැනි අයට ඒ මහාද්විපයෙහි ස්වදේශික ජනයා තවත් මනුෂ්‍ය පිරිසක් සේ පෙනුණේ නැත. නිලූකානිගේ පොතෙහි විස්තර වන හැටියට අනික් සංස්කෘති සමග මානව සහෝදරත්වයෙන් ක්‍රියා කිරීම පිළිබඳ ඇතැම් නිල තීරණ වතිකානුවෙහි ගැනෙන්නේ විසි වෙනි සිය වසෙහි මැද තරම් මෑතකදීය. ඊට පෙර මනුෂ්‍ය සහෝදරත්වය පිළිබඳ විශ්වාස කල තනි තනි පූජකවරුන් හා පූජකවරියන් අපමණ සිටින්නට ඇත.

   යටත් විජිත සන්දර්භයක් තුළ ලංකාවට ලැබුණේ වුවද කිතු දහම හා සමය ගැන ලංකාවේ දේශීය ප්‍රබුද්ධයන්ගේ පිළිගැනීම නිල කතෝලික පල්ලියට වඩා සහෝදරාත්මක වී තිබේ. අලගියවන්න මුකවෙටි පඬිතුමාගේ කාව්‍ය ජීවිතය ඇසුරින් පවා මෙය පෙනේ. කුන්ස්තන්තීනු සටන (1620) මුකවෙටි කවියාගේ නිර්ඹානයක්ද නැද්ද යන්න ගැන විවාද තිබුණද බහුතරය මතය වන්නේ එය එතුමා කිතු දහම වැලඳ ගැනීමෙන් පසුව ලියන ලද කාව්‍යයක් බවයි. මේ කාව්‍ය පිළිබඳ ඉතා සිත්ගන්නා සාකච්ඡාවක් නිලූකානිගේ පොතෙහි එයි. සුභාෂිතය, සැවුල් සන්දේශය,  කුෂ ජාතක කාව්‍යය යනාදී කෘති රචනා කළ මුකවෙටි පඬිතුමා කුස්තන්තීනු සටන නම් කිතුණු කව ලියන විට බෞද්ධ සාහිත්‍ය සංස්කෘතිය තුළ පහළ වූ නොයෙක් කාව්‍යමය ප්‍රයෝග, භාෂා ප්‍රයෝග ආදිය ඒ කාව්‍යය වෙතද රැගෙන එයි. එකම කවියෙකුගේ ජීවිත කාලය තුළ ඔහුගේ ආගමික විශ්වාසවල තීරණාත්මක පරිවර්තනයක් වුවද, කාව්‍ය කලාව එලෙසින්ම පාහේ ඉදිරියට යයි. මෙය පුදුමාකාර විඥානමය සුඛනම්‍යතාවකි. අනික් සංස්කෘති සමග සහෝදරාත්මක සම්බන්ධයෙහි වැදගත්කම වටහා ගන්නට යටත් විජිතවාදයේ දෘෂ්ටිවාදී ආයතනයක් වූ නිල පල්ලියට බොහෝ කල් ගියද, නිර්මාණශීලී ලේඛකයා එය වහා වටහා ගනියි. 

   කුස්තන්තීනු සටන කෘතිය ‘ලාංකේය කිතුනුවන්ට වැදගත් වන්නේ ඒ පොත මගින් සිංහල කාව්‍ය සංස්කෘතිය වෙත කිතුනු සංකල්ප කීපයක් එක් වන නිසා බව ඉරේෂා නිලූකානි කියයි. එහි ඇත්තක් තිබේ. ඊටත් වඩා වැදගත් වන්නේ සිංහල කවියා එකිනෙකින් වෙනස් ආගමික දෘෂ්ටිවාද දෙකක් කාව්‍ය කලාව තුළ හසුරුවන ආකාරයයි. යටත්විජිත දේශපාලන යථාර්ථය තුළ සිංහලයාගේ සතුරෙකු වන ‘පෘතුගීසි වීරයෙකු’ ඒ කවියෙන් වර්ණනා කරන්නට ලබන ‘කාව්‍යමය අවසරය’ සිංහල සාහිත්‍ය සංස්කෘතියෙහි පැවති එක්තරා නිදහස් මතධාරී ස්වභාවයක්ද පෙන්නුම් කරයි. කවියා බුදු සමයෙහි සිට කිතු සමය වෙත එන සැහැල්ලු සුඛනම්‍යතාව ඒ කාව්‍යයෙහි එන මේ පැදිවලින් පෙනේ:

“බස කර අරුත මෙ          න

වෙනස නොම පද පවති      න

පිති පුත් විදී ය                න

තෙවක් එක් සුර වඳිම් අදරි    න”

    බුදු ගුණ සිහි කර තම කාව්‍යයන් ආරම්භ කිරීම සම්භාව්‍ය සිංහල කවියාගේ සිරිත විය. මේ පද්‍යයේදී මුකවෙටි කවියා තම කාව්‍ය ආරම්භ කරද්දී පියා, පියා සහ ශුද්ධාත්මය සිහි කරන්නට යොදාගන්නා බස අර බුදුන් සිහි කරන්නට ගත් කවි බසමය. හුරුපුරුදු බුදුන් වෙනුවට අලුත් පූජණීය ත්‍රිත්වයක් පැමිණ තිබීම පාඨක අපට පවා දැනෙන නොදැන තරම්ය. 

   අලගියවන්න මුකවෙටි කවියා කුස ජාතක කාව්‍යය අරඹන්නේ මේ පැදියෙනි:

“තිත් ගනඳුරු             මිතුරු

විනෙදන කුමුදු          නිසයුරු

ගුණ මිණි මහ             සයුරු

වඳිමි මුනිඳුතුමන්     තිලෝගුරු”

    එක් කාව්‍යයක් ‘තිලෝගුරු’ මුනීන්ද්‍රයාට වැඳ අරඹන කවියාට තවත් කාව්‍යයක් ශුද්ධ වූ ‘ත්‍රිත්වයට’ වන්දනා කර ඇරඹීම ඉතා පහසු කාරියක් වී තිබේ. ඒ වූකලි කතෝලික පල්ලිය ඉතා වෙහෙස මහන්සි වී බොහෝ කල්ගත වී අත්පත් කරගත් ‘පහසුවකි.’

  මේ කුන්ස්තන්තීනු සටනෙහි තවත් පැදියකි:

“සව් ලෙව් සත්      මුදු          න්

සිය සිරි පා කමල     දු          න්

මෙත් ගුණ පිරි     නඳු          න්

වඳිමි යේසුස් ක්‍රිස්තු   සුරිඳු       න්”

  එය කුස ජාතක කාව්‍යයෙහි දෙවෙනි පැදිය හා සසඳන්න:

“සව් කෙලෙස්                     මුලුපුට

බුදු  වැ මොක්සිරි පළ             කොට

දෙසූ සව් ලෙව්                       හට

අනගිසදහම් වඳිමි                හැමවිට”

   මේ පැදි දෙක අතර එකිනෙකින් බෙහෙවින් වෙනස් ආගම් දෙකක් පවතින බව අප කාටත් නොදැනෙන තරම්ය. කවියාගේ සුඛනම්‍ය විඥානය තුළ බුදුන් වහන්සේද යේසුස් වහක්සේද එක තරමේ ආචාරධාර්මිකත්වය ජීවිතයෙන් පෑ මුනිවරු දෙදෙනෙක් වෙති.

  ඉන් පසු ලංකාවේ කිතුනු සාහිත්‍යය සිංහල බසින් වැඩුණු සැටි කතුවරිය පැහැදිලි කරන ආකාරය සිත්ගන්නාසුලුය. එවන් සාහිත්‍යයක් වැඩුණේ හුදෙක් කිස්තු භක්තිකයන් යටත් විජිත රාජ්‍ය බලය දරූ නිසා නොවේ. එය සාහිත්‍ය ලෝකය තුළ සිදු වූ එක්තරා සුඛනම්‍ය සංවාදයක ඵලයකි. මේ කාරණය ඉතා හොඳින් අවබෝධ කරගත් බුද්ධිමතුන් කතෝලික පියවරුන් අතර සිටි බව ඇලෝයි පීරිස් පියතුමාගේ අදහස්වලින් පෙනේ. එතුමන්ගේ ප්‍රබුද්ධත්වයේ එළිය නිලූකානිගේ කෘතිය වෙත හොඳින් වැටී තිබේ.

   දේශපාලන බල ක්ෂේත්‍රවල සංස්කෘති මුණ ගැසෙන ආකාරයට වඩා සුඛනම්‍ය ලෙසින් සාහිත්‍ය කලා ලෝකයේදී සංස්කෘති මුණ ගැසේ. එය අපට නොයෙක් පාඩම් උගත හැකි අන්තර්සංස්කෘතික සංවාදයකි. මෙය ජාකෝමේ ගොන්සාල්වේස් පියතුමාගේ සිංහල සාහිත්‍ය කටයුතු දක්වා පැතිර යන ආකාරය සිත්ගන්නාසුලු වර්ධනයකි. ඔහුද කතෝලික සමය හා සිංහල ජනජීවිතය අතර සුසංවාදය ගොඩගන්නට භාවිත කළේ කවියයි. කිතුනු කවීන් අත සිංහල කවිය භාවිත වූයේ හුදෙක් කිතුනු අදහස් ප්‍රචාරයටම නොවේ. එය තවත් ආකාරවලින් භාවිත විය. නිදර්ශනක් මෙසේය: ඇතැම් උඩරට බෞද්ධ නායකයන් ගැන ලියැවුණු ප්‍රශස්ති කාව්‍ය ලියන ලද්දේ කිතුනු කවීන් විසිනි.   

 ‘පෙදෙන් බුදු සිරිත’ යනු සියබස්ලකරෙහි සිට සිංහල කවීන්ට පැනවුණු නියමයකි. එය අණසකක් වැනි දෙයක් නොවුණක් කවි සමය තුළ පැවති සම්මතයකි. එහෙත් අපට ජාකෝමේ ගොන්සල්වේස් පියතුමා අතින් ඒ නියාමය ‘පෙදෙන් කිතු සිරිත’ වෙනස් වන සැටි පෙනේ. ඒ වේද කාව්‍යය කෘතියෙනි.  මේ එහි එන පැදියකි:

“රිවි සොමි දෙරණ ඔ          ර

මැවු ලෙව් මෙ අප සිරිස       ර

නමදිම් එ සුර ව                ර

සදා බැති පෙම් සිතිනි නිරතු   ර”


  මෙවන් පැදිවල එන භාෂාව, රිද්මය හා සංකල්පරූප යනාදී සියල්ලෙන් අපට ඇසෙන්නේ ශත වර්ෂ ගණනාවක් බුදු සිරිත හා බුදුගුණ වර්ණනා කරන්නට යෙදුණු බසෙහි මිහිරමය. මේ වූකලි සුඛනම්‍ය කලා විඥානයක හා සංස්කෘතික අන්තර්ක්‍රියාවක ඵලයකියි මා කියන්නේ එහෙයිනි.

  මේ සුඛනම්‍යතාව විසිවෙනි සිය වස කරාද එයි. සිංහල ජාතිකවාදයෙහි උපරිමක අවස්ථාවක් වූයේ නිදහස ලැබීමට (1948) පෙර යුගයයි. දෙස, බස, රැස වෙනුවෙන් තියුණු අරගලයක් කළ මුනිදාස කුමාරතුංග වැනි අය සහ හෙළ හවුල කිතු සමය දෙස අන්තවාදී ලෙස බලා නැත. නිලූකානී ඒ කරුණ මතුකර දැක්වීම ඉතා වැදගත්ය. 1934 ලක්මිණි පහන නිකුත් කළ නත්තල් පණිවිඩයෙහි කුමාරතුංග මෙසේ කීවේය:

“සාමදානයෙහි කුමාරයාණන් වන අපගේ මහෝත්තම දිව්‍ය කුමාරයාණන්ගේ ජන්මෝත්සවය දිනය යි කුල්මත් වැ සැණ වෙස් ගෙන ප්‍රීති සාගරයෙහි ඉල්පෙමින් කෙළෙනා කෝටී ගණන් සහෝදර සහෝදරියන් සමඟ අපි ද ප්‍රීති වම් හ... භක්ති විසින් අපි ඒ ජනකායට අයත් නොවෙමු. එහෙත් ඔහු ද මිනිස්සු යැ. අපි ද මිනිස්සු වම් හ. ඉතා බලවත් සම්බන්ධයෙකි.”

  මුනිදාස කුමාරතුංගගේ ඒ අගනා වචන කතුවරිය විසින් උපුටා දක්වනු ලැබේ. සාහිත්‍ය ලෝකයෙහි කිතු දහම හා සිංහල කවිය අතර සිදු වූ සුඛනම්‍ය සංවාදය පුරාම මිනිස්කම් නම් ‘ඉතා බලවත් සම්බන්ධය’ පැවති බව හොඳින් පෙනේ. පසුගිය 17 වෙනිදා පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙහිදී අප දැක්කේද ඒ බලවත් සම්බන්ධයෙහි තවත් මුහුණුවරකි.

(දෙසම්බර් 31 අරුණ පුවත් පතේ පළ විය.)

                                                                                                                                                                                                                                            

        




1 comment: