Tuesday, April 9, 2024

කලාවේ සෙල්ලම්කාරකම හා ආස්වාදය - ලියනගේ අමරකීර්ති



   කලාව තුළ එක්තරා සෙල්ලම් කිරීමේ මානයක් තිබේ. ඉංග්‍රීසියෙන් playfulness   යැයි හැඳින්වෙන අදහස මා විටින් විට මගේ රචනාවලදී භාවිත කර ඇත්තේ ‘සෙල්ලම්කාරකම’ යනුවෙනි. එය පරිස්සමින් භාවිත කළ යුතු වචනයකි. එය ‘සෙල්ලක්කාරකම’ සමග පැටලිය හැකි බැවිනි. ‘සෙල්ලම්කාරකම’ යනුවෙන් මා අදහස් කරන්නේ කලා කෘතියක් නිර්මාණය කරන අවස්ථාවක කලාකරුවා තුළ එක්තරා සෙල්ලම් ‘ක්‍රීඩාවක යෙදෙන්නාක්’ වැනි ගුණයක් පැවතීමය. කලා කෘතිය කොතරම් බරපතළ අර්ථ ජනිත කළත් ඕනෑම කලා නිර්මාණ කාර්යයක එක්තරා සෙල්ලම් කිරීමේ ගුණයක් පවතී. සෙල්ලම්කාරකම යනුවෙන් මා හඳුන්වන්නේ එයයි.

  මා මේ ලිපි පෙළෙහි වැඩි අවධානයක් යොමු කරන්නේ සාහිත්‍ය කලා ගැනයි. එහෙත් මා මේ ගොඩනගන තර්කය අනික් කලා ප්‍රභේදවලටත් අදාළය. එපමණක් නොව අප සංස්කෘතිය යැයි සලකන බොහෝ දේ පිටුපස ‘සෙල්ලමෙහි යෙදීමට’ මිනිසාගේ ඇති කැමැත්ත පවතින බව පෙන්වා දෙන දාර්ශනිකයෝ වෙති. 

  මා මේ ලිපියට ප්‍රවේශ වන්නට රුවන් බන්දුජීවගේ ධූමලාවණ්‍යාගාරය පොතෙහි එන කවියක් භාවිත කරන්නට කැමැත්තෙමි. එහි එන සුරාසල් කවි නම් කවියෙහි එක එක ර පොලින්රා බී මත් වන කෙනෙකු හෝ පිරිසක් ගැනය. එය තරමක් දිග කවියකි. එහෙයින් සම්පූර්ණයෙන් උපුටා දැක්විය නොහැකිය. එහි එන පැදිවලින් තුනක් මෙසේය:

“කුරුඳු කෝටු ගොඩ තලලා ඉවර වෙලා

අප්පුයි මා රා කළයක් ඉවර     කළා

වැනි වැනි ඇවිත් අපි හිටියදි දොළට වෙලා

දොළ ගල් අතර හිර වී හඳ මාම මලා



තොටුපළ ළඟදි වක්කරලා     ඔරුවකට

තෙලිකඩ රාළ රා පෙව්වලු කිඹුලෙකුට

හිනාවුණු ගමන්මල් දැන් උගේ    කට

කරදර කරන්නෑ කිව්වලු ඌ      ගමට



පේරාදෙණිය හරියෙදි හරි වැඩක් වුණා

රූරා ගලපු ගඟ ගල උඩ නතර   වුණා

මීරා පොළේ කොයි කවුරුත් එකතු වුණා

තල්ලු දෙකක් දැම්මම ගඟ පිටත් වුණා


  මේවා වූකලි බන්දුජීවගේ කවියෙන් තැනින් තැන උපුටාගත් පද්‍යයන්ය. ඔහුගේ කවිය කොහොමත් ‘සෙල්ලම්කාරකම්වලින්’ පිරී තිබේ. මීළඟ මීවිත නම් කලින් පොතෙහිද මේ ලක්ෂණය තිබිණි. 


  කවියන් වැනි නිර්මාණශීලී ලේඛකයෝ නිර්මාණකරණයේදී සෙල්ලම් කරන්නෝ වෙති. ඒ සෙල්ලම්කාරීත්වය එක එක නිර්මාණකරුවාගේ නිර්මාණවල පැනෙන්නේ එක් එක් ප්‍රමාණවලිනි. ඒ ගුණ බොහෝ අඩු නිර්මාණවල එක්තරා දරදඬු ඒකාකාරිත්වයක් පවතින අවස්ථා තිබේ.

  බන්දුජීවගේ ඉහත පැදිවල ‘සෙල්ලම්කාරිත්වය’ වඩාත් පෙනෙන්නේ ඔහුගේ පරිකල්පන ක්‍රීඩාවේය. ඒ කවියෙහි එන්නේ රා බී මත්වීමෙන් තථ්‍ය යථාර්ථය ඉක්මවා පරිකල්පනමය ලෝකයට ප්‍රවේශ වන කෙනෙකුගේ මානසික තත්ත්වය වැන්නකි. තුන්වෙනි පද්‍යයෙන් පෙනෙන හැටියට රා මතින් සිටින පිරිසකට පෙනෙන්නේ ගලාගෙන හා මහවැලි ගඟ පේරාදෙණියේදී නතර වූ බවයි. වාහනයක් නතර වන්නාක් මෙනි. රා පොළේ බිබී උන් පිරිස තල්ලුවක් දැමූ විට ගඟ ගලයි. මෙය ඉතා සෙල්ලම්කාර පරිකල්පනයකට හොඳ නිදර්ශනයකි.

   නිර්මාණශීලී ලේඛනයේදී රචකයන් කරන්නේ එවැනි සෙල්ලම් පමණක් නොවේ. සමහරු භාෂාව සමග සෙල්ලම් කරති; සමහරු ආකෘති සමග සෙල්ලම් කරති; ප්‍රබන්ධ කථාවේදී ඒ කලාවට අයත් බොහෝ අංග සමග සෙල්ලම් කරන අය සිටිති. කතාවේ ව්‍යූහමය අංග වන ආකෘතිය, කතා වින්‍යාසය, කථකයා, දෘෂ්ටිකෝණය ආදී සියලු අංග සමග එක්තරා ආකාරයක සෙල්ලමක යෙදීම හොඳ ප්‍රබන්ධ රචකයෝ කරති. මේ වූකලි තමන් යෙදෙන කලාව ගැන සුඛනම්‍ය මනස්වලින් යුත් ප්‍රතිභාසම්පන්න අයට පමණක් කළ හැකි කාර්යයකි. කලාව ගැන දරඳඩු අනම්‍ය අදහස් දරන අයද කලාවේ ප්‍රධාන කාර්ය එහි දෘෂ්ටිවාදී මානය හෙවත් අදහස්මය මානය පමණකියි සිතන අයටද මෙය කළ නොහැකිය.

                               සෙල්ලම හා මනුෂ්‍යත්වය

    සෙල්ලම් කිරීම යනු මනුෂ්‍යයන් කරන ඉතා අර්ථවත් වැඩකි. එය පාඩම් කිරීම හෝ වැඩකිරීම වැන්නක් නොව එක්තරා නිර්උපයෝගිතා කාර්යයකි. එනම් සෙල්ලම් කිරීම යනු යමක් ලබා ගැනීම පිණිස කරන්නක් නොවේ. ගසකට නැග ගෙඩියක් කඩා ගැනීම උපයෝගීතා කාර්යයකි. ඒ ක්‍රියාවෙහි ඵලය ලෙස ගෙඩිය අපට ලැබේ. සෙල්ලම් කිරීම එවැනි ක්‍රියාවක් නොවේ. ක්‍රිකට් ක්‍රීඩාවෙහි දඟපන්දු යැවීමට කැමති මම කම්මැලිකමක් ආ විට ප්ලාස්ටික් බෝලයකින් අපේ ගෙදර සාලයේම දඟපන්දු යවමි. එක්තරා විකට්ටුවක් සකසාගෙන ඒ වෙත පාදඟ පන්දු යැවීම මහත් ආස්වාදයකි. ඒ නිසා ලැබෙන අන් කිසිම ඵලයක් නැත. ඵලය එම ක්‍රීඩාවමය. ඇතැම් සෞන්දර්ය දාර්ශනිකයන් පෙන්වා දෙන හැටියට කලා නිර්මාණය තුළ මෙම සෙල්ලම් කිරීමේ මානය තිබේ. ඕනෑම විශිෂ්ට කලා කෘතියක් තුළ ඒ කලාවට අදාළ නීතිරීති හෝ ව්‍යුහමය අංග සමග සෙල්ලම් කිරීමක් දැකිය හැකිය. ඇතැම් කෘතිවල සෙල්ලම්කාරකම පැහැදිලිව පෙනේ. සුරත්ද මැල්ගේ ළමුතු අමයා නවකතාවේ මේ සෙල්ලම්කාර ගුණය පැහැදිලිව පෙනෙන අතර එය කෘතියට එක් කරන අර්ථ කලාපය ඉහළය. ඔහුගේ සෑම කෘතියකම පාහේ මා මේ කියන සෙල්ලම්කාරකම දැකිය හැකිය. සමහර කෘතිවල එය පවතින්නේ කෘතිය තුළ සැඟවී ගෙනය. හොඳ රසිකයෝ එය හඳුනාගනිති. 

   ගුන්තර් ග්‍රාස්ගේ ටින් ඩ්‍රම් නවකතාවේ සවිඥානකව තම වයසට යාම නවත්තන කොලු ගැටයෙක් සිටියි. ඔහු හැදී වැඩීම ප්‍රතික්ශේප කරයි. නවකතාව කියවන අපට මේ සිද්ධිය හමුවන විටම එහි සෙල්ලම්කාරකම දකින්නට ලැබේ. නවකතාවේ තේමාත්මක අර්ථය විවර වන්නට පටන්ගන්නේද ඒ නිසාමය. මගේ අටවක පුත්තු නවකතාවේ ප්‍රධාන චරිතය වන දමයන්තගේ හිසට දෙල්ගෙඩියක් වැටීමෙන් පසු සෑම දෙයක්ම දෙකක් වී පෙනෙන්නට පටන්ගනියි. ඔහුගේ ද්විත්ව විඥානය කෙසේද යත් තමා තුළම නූපන නිවුන් සහෝදරයෙකු සිටින බව ඔහු විශ්වාස කරයි. ඔහුට දැනෙන හැටියට මේ නිවුන්නා දමයන්තගේ අභ්‍යන්තරයේ යම් තැනක සිට දමයන්තට කතා කරයි. 2007 වර්ෂයේ සිට තාමත් අලෙවි වෙමින් ජනප්‍රිය වී ඇති මේ නවකතාවේ ඒ ජනප්‍රියත්වයට එහි ඇති ආඛ්‍යානමය සෙල්ලම්කාරකම හේතු වී ඇති බව මම දනිමි. ඒ සෙල්ලම්කාරකමේ තේමාත්මක අර්ථය බොහෝ දෙනෙකු නොදකින්නට ඉඩ ඇති නමුත් ඒ සෙල්ලම්කාරකම ඒ නවකතාව ක්‍රියවීමෙන් ලැබෙන ප්‍රීතියේ කොටසක් බව පාඨකයෝ කියති. එය ඇත්තය. එවැනි ප්‍රබන්ධ සෙල්ලම්කාරකම් නිසා අප කියවන බොහෝ සාහිත්‍ය කෘති තිබේ. ඒවා කවි, කෙටිකතා, නවකතා ආදී ඕනෑම දෙයක් විය හැකිය.

   මා මීට කලිනුත් කිහිප වරක් මේ ලිපිවලදී සඳහන් කළ නයිජීරියානු ලේඛක බෙන් ඔක්රි දකින හැටියට අපේ අපගේ උපවිඥානය ක්‍රිඩාවලට කැමතිය. 

   ඔක්රි දකින හැටියට සම්පූර්ණ නිර්මාණශීලිත්වයම වටහාගත යුත්තේ ක්‍රීඩා ආශය හෙවත් සෙල්ලම් කිරීමේ ආශාව හා සම්බන්ධ වූ දෙයක් ලෙසය. මහත් දැඩි ආයාසයෙන් දැඩි බුද්ධිමය වෑයමකින් ගොඩනගන අදහස් වෙනුවට සැහැල්ලු සෙල්ලමක් සේ එළඹ ක්‍රමයෙන් ගැඹුරු තේමාත්මක ආවර්ජනා කරා කිඳා බසින්නට තැත් කරන කලා කෘතිය ආකර්ෂණීය වන බව ඔක්රි විශ්වාස කරයි. එය ඉතා නිවැරදි නිරීක්ෂණයකියි මමද සිතමි. ඒ සෙල්ලම්කාරකම නම් මානය දුර්වල වූ විට කලා කෘතිය නීරස වෙන්නට පටන්ගනියි. අපේ රටේ ඇතැම් ප්‍රවීණ සාහිත්‍යකරුවන්ගේ මෑත කාලීන නිර්මාණ ඒකාකාරී වන්නට එක් හේතුවක් වන්නේ අදාළ කලා ප්‍රභේදය තුළ නිර්මාණකරණයේදී ඒ සමග ළමයෙකු සේ සෙල්ලම් කිරීමෙහිලා ඒ ලේඛකයන් අසමත් වීමය. 

   අපි යම් විෂයක් ගැන කවියක් හෝ කෙටිකතාවක් ලියන්නේ යැයි සිතමු. ඒ විෂය ආශ්‍රිත සංකල්ප හා අදහස් සමග බරපතළ චින්තකයෙකු සේ පමණක් ගනුදෙනු කිරීමෙන් අදාළ කලා කෘතිය දුර්වල වේ. පාපන්දුවකට පයින් ගසමින් සෙල්ලම් කරන්නාක් මෙන් ඒ සංකල්ප හා අදහස් සැහැල්ලුවෙන් සෙල්ලම් කරන විට ඒ සංකල්ප හා අදහස් ඇසුරින් සංකල්ප රූප (චිත්ත රූප) ගොඩනගා ගැනීම පහසුය. අදහසක් චිත්තරූපයක් බවට පෙරළන ලද විට එය තවත් අර්ථ ජනනය කිරීමෙහි සමත් වේ.

 සාහිත්‍ය කෘතියකදී සෙල්ලම් කරන්නේ අදහස් හා සංකල්ප සමග පමණක් නොවේ. ඒ ඒ සාහිත්‍ය ප්‍රභේදය (ශානරයට) ආවේණික ව්‍යූහමය අංගද තිබේ. ඒවාද අනම්‍ය සිරගෙවල් සේ නොගෙන ඒවා සමග සැහැල්ලුවෙන් ක්‍රීඩා කිරීමෙන් ඒවාගේ ප්‍රකාශන ශක්තිය වැඩි වේ. 

  බෙන් ඔක්රි මෙසේ කියයි: “කලාකරුවා කිසිවිටෙකත් ක්‍රීඩාවේ ප්‍රාණය අත්නොහැර ගත යුතු” යැයි තර්ක කරන ඔහු කලාවට ආවේණික බරපතළ ක්‍රියා වෙත ප්‍රවේශ විය යුතු හොඳම විධිය ඉතා සැහැල්ලු ආත්මයකින් යුතුව වීම පුදුමසහගත බවද කියයි. ඔහු මේ පැහැදිලි කිරීම කරන්නේ   A Way of Being Free  කෘතියෙහිය. ඉන් අදහස් වන්නේ කුමක්ද? කලාකරුවා තම විෂය වෙත බරපතළ බුද්ධිමය ප්‍රවේශයකින් එළඹීම නරක යැයි බෙන් ඔක්රි කිසිවිටෙකත් කියන්නේ නැත. එහෙත් විෂය වෙත එළඹීමේදී තබා ගන්නා ක්‍රීඩාශීලී ප්‍රවේශය මගින් ඒ වෙත එක් කරන ආකර්ෂණීයත්වයක් තිබේ. අවසානයේදී එය තේමාත්මක බරපතළකම හෝ බරසාරත්වය කරාද ගමන් කරයි. එසේ ගමන් කරන තැනට තම නිර්මාණ කාර්ය මෙහෙයවා ගැනීම බුද්ධිමත් නිර්මාණකාරයාගේ ලක්ෂණයයි. ඉතා සැහැල්ලු සෙල්ලම්කාරකමින් රසිකයා සමග ආරම්භ කරන කලාත්මත ගනුදෙනුව වඩා ගැඹුරු තේමාත්මක මානයක් කරා ගෙන නොයන්නේ එය විශිෂ්ට කලාවක්ද නොවේ.

  මේ කාරණය පැහැදිලි කිරීමට ඉටාලෝ කැල්වීනෝගේ කෙටිකතාවක් වෙත යමු. උපමා කතාවක් වැනි සැහැල්ලු ඒ කතාව මෙසේය:

  එක්තරා නගරයක් තිබේ. එහි සියලු දේ තහනම්ය. තහනම් නැත්තේ එක දෙයක් පමණි. ඒ තහනම් නැති දේ කල්ලී ගැසීමේ ක්‍රීඩාව යැයි අපි කියමු. ඒ වූකලි බිම හෑරූ වළක් හරහා කුඩා ලී කැබැල්ලක් තබා එය තවත් දිග කෝටුවකින් ඈතට විසි කරමින් කරන ක්‍රීඩාවකි. ඒ ක්‍රීඩාව තහනම් නැති නිස ඒ නගරයේ සියලු දෙනා කරන්නේ නගර මධ්‍යයෙහි තැනකට ඇවිත් වලකජු ගැසීමය. අන් සියලු කටයුතු තහනම් කරන ලද්දේ එකින් එක වරින් වර නිසා ඒවා තහනම් වූයේ කවර හේතුවක් නිසාද යන්න දැන් කාටවත් මතක නැත. මේ අන්දමින් වසර ගණනාවක් කල්ලි ගැසීමේ ක්‍රීඩාව පමණක් කරගෙන යන විට එය නගරවාසීන්ගේ පුරුද්දක් බවට පත් විය.

  පසු කලෙක අනික් සියලු දේවල තහනම ඉවත් කෙරිණි. දැන් ඕනෑම දෙයක් කරන්නට අවසර ඇතැයි නගරවාසීන් වෙත පණිවිඩ යවන ලදී. එහෙත් නගරවාසීහු දිගටම කල්ලි ගැසීමේ ක්‍රීඩාව පමණක් කරගෙන ගියහ. මේ බව දැනගත් පොලීසිය අනික් කිසිම දෙයක් දැන් තහනම් නැතැයි නැවත පණිවිඩ එව්වද පුරවැසියන් කළේ කල්ලි ගැසීම පමණි. මේ නිසා නගර බලධාරීහු මෙවැනි තීරණයක් ගත්හ: ඔවුහු කල්ලි ගැසීමද තහනම් කළහ. ඉන් පසු නගරවාසීහු කැරලි කෝලාහල ඇති කළහ. මේ ගැටුම්වලින් බොහෝ දෙනෙක් මිය ගියහ.

ඒ කැරලිවලින් පසු නැවතත් නගර වැසියෝ ආපසු නිදහස ලැබ කල්ලි ගැසීමේ ක්‍රීඩාවේම යෙදුණහ.


  මෙය සරල සෙල්ලම්කාර කතාවක් වුවද කතාව අවසානයේදී ගැඹුරු තේමාවක් කරා යයි. කල්ලි ගැසීමේ ක්‍රීඩාව හැර අනික් සියලු දේ ක්‍රමයෙන් තහනම් වුවද එය සිදුවූයේ ටිකෙන් ටික නිසා නගරවාසීන්ට ඒ අහිමි වීම දැනෙන්නේ නැත. දීර්ඝ කාලයක් එකම දේට පුරුදු වී සිටින ඔවුන්ට අහිමි වූ අනික් දේහි වටිනාකම දැනෙන්නේද නැත. පසුව අනික් සියලු දේහි තහනම් ඉවත් කෙරුණද ඒ වෙනුවට ඒකාකාරී එකම ක්‍රීඩාවට හුරුවී අවසානය. එය තහනම් කරන ලද පසු ජනතාව කැරලි ගසා ඒ නිදහස දිනාගත්තද ඔවුන් නිදහස වෙත දැන් පෙනෙන්නේ කල්ලි ගැසීමේ ක්‍රීඩාව නැතිවීම පමණි. නැවත නිදහස දිනාගෙන පවා ඔවුහු අර නැති වූ අනික් දේ වෙත ආපසු නොයති.

  මේ සැහැල්ලු කතාව ඉතා බරපතළ ගැඹුරකින් යුතුය. පොහොසත් නාගරික ජීවිතයක පැවතිය යුතු බොහෝ සංස්කෘතික අංග නැතිව ගොස් ඇති බව ඔවුන්ට නොදැනේ. මේ වූකලි ලංකාවේ අපටද බෙහෙවින් අදාළ කතාවකි. අප යෞවන විය ගත කළ කාලයේ අපේ නගරවල සිනමා ශාලා තුන හතරක් හෝ පහක් තිබිණි. මා හැදුණු වැඩුණු කුරුණෑගල නගරයේ සිනමා ශාලා පහක් හෝ හයක් තිබිණි. දැන් ඇත්තේ දෙකකි. එහෙත් ඒ අහිමි වීම අපට නොදැනෙන්නේ ඉතුරු වූ ටිකට අප හුරුවී සිටින බැවිනි. මහ නුවර නගරයේ පැවති සිනමා ශාලා පහකින් පමණ දැන් ඉතිරිව ඇත්තේ එකකි. එයද ඇත්තේ කටුගස්තොටය. නුවර නගර කේන්ද්‍රයෙහි වූ සිනමා ශාලා සියල්ල වැසී ගොසිනි. එහෙත් අපි දැන් නගරයෙහි අලුතින් බිහිව ඇති මිලාධික සිනමා ශාලාවට හුරුවෙමින් සිටිමු.

  කැල්විනෝගේ කතාව මනුෂ්‍ය ජීවිතය ක්‍රමයෙන් දුප්පත්වීම හා ඊට මනුෂ්‍යයන් හුරුවීම පිළිබඳ අගනා උපමා කතාවක් සේ කියවිය හැකිය. එහෙත් එහි ගැඹුරු පවත්නේ එහි ඇති සෙල්ලම්කාර සරලකම තුළමය. මහා ඉහත උපුටා දැක්වූ රුවන් බන්දුජීවගේ කවිය හෝ ඒ පොතෙහි ඇති ඔහුගේ අනික් කවි ඒවාගේ වන සැහැල්ලු ක්‍රීඩාශීලිත්වය තේමාත්මක ගැඹුරක් කරා යන්නේද යන්න වැදගත් ප්‍රශ්නයකි. ඒ වූකලි ඒ පොත විචාරශීලීව කියවන අය පිළිතුරු දිය යුතු ප්‍රශ්නයකි.


April 7th, Aruna


2 comments:

  1. මුලින්ම කියපු බන්දුගෙ "සෙල්ලම්කාරකම" ම මට පේනව විමලරත්න කුමාරගමගෙ "සෝවිස්", මහගම සේකරගෙ "කොන්ත නෝනා", බන්දුගෙම "අපි දෙන්නා පැනලා යමු නංගි", වගේ කවි වලත්.

    ReplyDelete
  2. බංදුජීවගේ කුඩා කුඩා බැකෝ යන්ත්‍ර කවියද මේ සෙල්ලක්කාරකමින් පිරි කවියකි.එසේම එය මහා සමාජය සියුම් ලෙස කියවීමකට ලක් කරයි

    ReplyDelete