Sunday, July 21, 2024

බහුචිතවාදියා ගැන සටහනක්- Liyanage Amarakeerthi

 







(2018 වසරේ මැයි මාසයේ ලියූ ලිපියක් නැවතත්. බහුචිතවාදිය සිනමා පටය ප්‍රදර්ශන වන බවට පැතිරෙන සුබ ආරංචිය වෙනුවෙන්.)

මාලක දේවප‍්‍රියගේ බහුවිතචාදියා චිත‍්‍රපටය මට නරඹන්නට හැකි වූයේ පසුගිය විසිහය වෙනිදා(2018 වසරේ මැයි 26) සාක් සිනමා උළෙලේදීය. ඊට පසු දින පැවැත්වුණු සාක් සිනමා සම්මාන උළෙලේදී එම චිත‍්‍රපටයට ජූරියේ විශේෂ සම්මානයක් හිමි වූ බව ආරංචි විය. 

බහුචිතවාදියා මා මෑතකදී නැරඹූ ඉතා හොඳ සිනමා කෘතියකි. මා මේ නිගමනය කරන්නේ අවුරුදු තිහක වත් අතීතයක් ඇති චිත‍්‍රපට පිස්සෙකු ලෙස මිස චිත‍්‍රපට ගැන බසන්, ලකාන්, සිසෙක්(ජිජෙක්, චිචෙක්)* හෝ වෙන යම් කෙනෙක් කියූ දේ ඇසුරින් නොවේ. එවැනි අය සිනමා කෘති ගැන ඉතා වැදගත් දේවල් කියා ඇති බව ඇත්තකි.

බහුචිතවාදියා හොඳ නිර්මාණයක් වන්නේ වර්තමාන ධනවාදී ලංකාවේ තරුණ පරම්පරාවේ පැවැත්ම පිළිබඳ ඇතැම් අර්බුද ඉතා හොඳින් විෂය කරගෙන එය අපූරු සිනමා අත්දැකීමක් බවට පෙරළන නිසාය.

තම සමීපතමයන්ගෙන් දුරස්ව ලංකාවේ හෝ වෙන යම් තැනක වෙසෙන අය තමන් ආදරය කරන අයට අන්තර්ජාලයෙන් ත්‍යාග යැවීම නම් ක‍්‍රියාවලියම ධනේශ්වර වර්ධනයේ එක් නිශ්චිත අවස්ථාවක් ඉඟි කරයි. මෙම අන්තර්ජාලයෙන් තෑගි ඇණවුම් කරන ආයතනයේ ”ඩිලිවරි බෝයි” තමන් තෑගි යවන සහ ලබන ඇතැම් ස්ත‍්‍රීන් සමග ඇති කරගන්නා ලිංගික සම්බන්ධතා මාලාවක් චිත‍්‍රපටයට විෂය වේ. ඒ ස්ත‍්‍රීන් තමන් ආදරය කරන අය සමග සම්බන්ධ වන්නේ යම් කිසි ත්‍යාග වස්තුවක් ඔස්සේය. 


නිදර්ශනයක් මෙසේය. ලන්ඩනයේ වසන එක් පිරිමියෙකුගේ බිරිඳ සිය දරුවා සමග හුදෙකලාව ලංකාවේ වසයි. ඒ සැමියාගේ ආදරය ඇය වෙත එන්නේ ඔහු එවන ත්‍යාග වස්තු විලාසයෙනි. එය මානව-මානව සම්බන්ධයක් නොවේ. මානව-භාණ්ඩ සම්බන්ධයකි. ඒ නිසා ඒ ත්‍යාග බෙදා හරින තරුණ පිරිමියා සමග මිනිස් ඇසුරක් ඇති කර ගැනීමට ඇය පෙලඹේ. මෙවැනි ස්ත‍්‍රීන් ගණනාවක් චිත්‍ර`පටයෙහි අපට දැකිය හැකිය. ඔහු හුදෙක් ගනුදෙනුකරුවෙකු නොවී ඒ ස්ත‍්‍රීන්ගේ ජීවන ගමනේ සහකරුවෙකුද සවන්දෙන්නෙකුද ලිංගික ප‍්‍රීතිය සපයන්නෙකුද බවට පත් වේ. එහෙත් ඔහු ඒ ස්ත‍්‍රීන් සලකන්නේ තමන්ගේ ඉලක්ක කරා යාමට භාවිත කළ හැකි උපකරණ ලෙසිනි. 

  මේ සියල්ල සිදුවන ලංකාවේ අගනගරය වේගයෙන් ධනවාදී වර්ධනය කරා යනු පෙනේ. 

පසු බිමින් ඇතැම් විට ඇසෙන රූපවාහිනි වැඩසටහන්වල ලංකාවේ සංස්කෘතික පාරිශුද්ධත්වය සහ අද්විතීයත්වය ගැන ජාතිකවාදී ටෙලි ෂෝ සංදර්ශනය පැවැත්වේ. ඒවා සුපර් ස්ටාර් වැනි සංදර්ශනවලින් වෙනස් නැති බවට සිනමා බසින් අපට කියවේ. මව්බිමෙහි උදාරත්වය ගැන කතිකා සංදර්ශන පසුබිමින් ඇසෙද්දී පෙරබිමෙහි අප දකින්නේ මැදපෙරදිග විවිධ රැකියාවලට ගොස් හුදෙකලා වූ, විවිධ පිරිමින් විසින් සූරා කැවෙන අසරණ ස්ත‍්‍රීන්ය. චිත්‍රපටයේ ප‍්‍රතිවීරයා තැත් කරන්නේ මේ ලෝකෙන් උතුම් රටෙන් ඈතට පැන ගන්නටය. ඇමරිකාවට, යුරෝපයට, ඔස්ටේ‍්‍රලියාව බැරිනම් ඉන්දියාවට හෝ පැන නැගීමටය. ඒ සඳහා මාර්ගය ලෙස මෙම තරුණයාට පෙනෙන්නේ පිටරට සිටින ස්ත‍්‍රියක දැපනෙ දා ගැනීමය. 

ඔහුට ආකර්ෂණය වන ස්ත‍්‍රීන් සොයන්නේ නවතින්නට තැනකි. ඔහුට ඒ ස්ත‍්‍රීන් පෙනෙන්නේ වෙන තැනකට නැගිය හැකි ඉණිමගක් ලෙසකි. ඔහුට ඔවුන් සිය ගමනෙහි උපකරණයක් පමණි. ඒ සෑම ස්ත‍්‍රියකම ඔහු වෙතින් අපේක්ෂා කරන්නේ ඔවුන්ගේ ගමනෙහි ගමනාන්තය බවට පත් වීමය. ඒ නිසා මේ ජෝඩු කෙදිනකවත් එක තැන නවතින්නේ නැත. මනුෂ්‍ය සම්බන්ධතාවල මෙම ඛාදනය සිදු වී ඇත්තේ ඇයි? එය හුදෙක් ආර්ථික නිර්ණයවාදීව පමණක් විස්තර කළ හැකිද?

  අලූත් පරම්පරාවක පැවැත්ම පිළිබඳ මේ අර්බුදය, එනම් මනුෂ්‍යයන් එකිනෙකාගෙන් වෙන් කර හුදෙකලා කරනු ලැබීම පිළිබඳ අර්බුදය, සිනමා කෘතියට  හසු වෙන්නේ පශ්චාත්-නූතන ගෝලීයකරණය පිළිබඳ ඇතැම් යථාර්ථද හසු වන ලෙසය. ආර්ථික ගෝලීයකරණය ප‍්‍රාග්ධනයට දේශසීමා පනින්නට ලබා දෙන ඉඩ ශ‍්‍රමිකයාට ලබා දෙන්නේ නැත.ශ‍්‍රමිකයාට දේශසීමා ඉක්මවා යන්නට ලැබුණද ඔහුට හෝ ඇයට ඒ ගමන යාමට ලැබෙන්නේ ශ‍්‍රමිකයෙකු ලෙසම පමණි. ආදරවන්තවෙකු ලෙස සිය ආදරවන්තියද රැගෙන, සැමියෙකු ලෙස සිය බිරිඳද රැගෙන, පියෙකු ලෙස සිය දරුවන්ද රැගෙන දේශසීමාව පනින්නට ලැබෙන්නේ ඉතා කලාතුරකිනි. ඒ අවස්ථාව ලැබෙන්නේ ඉහළ පුහුණු ශ‍්‍රමිකයන්ට පමණි. අනෙක් කායික ශ‍්‍රමිකයන්ට දේශසීමාව පැනිය හැක්කේ තනි ශරීරයක ශ‍්‍රමය විකුණන්නෙකු ලෙස පමණි. ඒ නිසා එවන් සංක‍්‍රමණික ශ‍්‍රමිකයන්ට තම අාදරවන්තියට, අාදරවන්තයාට ආදරය එවන්නට සිදුවන්නේ තෑගි පාර්සලයක වේශයෙනි. එවැන්නවුන්ට ලිංගික ප‍්‍රීතිය ලබා ගන්නට සිදුවන්නේ තාවකාලික පදනමකින් ලබන පරිභෝජන සේවාවක් ලෙස මිස ආදරයේ දිගුවක් ලෙස නොවේ. ආර්ථික ගෝලීයකරණයේ නිදහස මූලික වශයෙන් ප‍්‍රාග්ධන නිදහසකි. එහෙත් සංස්කෘතික ගෝලීයකරණය මනුෂ්‍ය ජීවන විලාසිතා සාපේක්ෂ වශයෙන් සමජාතිීය බවට පත් කරයි. මේ වූකලි සම්භාව්‍ය මාක්ස්වාදයේ ආර්ථික නිර්ණයවාදය ඇසුරින් හරියටම විස්තර කළ නොහැකි නව තත්ත්වයකි. නැතිනම් අධෝ වයූහය සහ එහි උපරිව්‍යූහමය ප‍්‍රතිබිම්බණය අතර ඇත්තේ දැවන්ත පැල්මකි. පරතරයකි. මේ කාරණය හසුවීමම චිත‍්‍රපටයේ වැදගත් ජයග‍්‍රහණයකි.

  මේ සියල්ල අතරෙහි මෙම යුගයෙහි පරම්පරාව විශේෂයෙන් පිරිමියා ඉතා වගකීම් විරහිත සත්ත්වයෙකු බවට පත්ව තිබේ. චිත‍්‍රපටයෙහි හමුවන සියලූම පිරිමින් පාහේ ආචාර්ධාර්මිකව බංකොලොත් වූ අය බව පෙනේ. එහෙත් ඉතා දරුණු උපකරණීය තර්කනය(කරණීය තර්කනයකට) හසු වූ මේ පිරිමි තුළ මනුෂ්‍යයත්වය පිළිබඳ යම් අපේක්ෂාවක් ඉතිරිව තිබේ.

  කතාවේ ප‍්‍රධාන චරිතය වන ඩිලිවරි බෝයි ස්ත‍්‍රීන් රවටන්නෙකු වුවද ස්ත‍්‍රීන් හිංසනයට ලක් කරන්නෙක් නොවේ. ඔහු හා සම්බන්ධයක් පවත් වන මැදිවියේ ගැහැනියක යම් නොදන්නා රෝගයකින් පෙළෙයි. එය ආර්ථවහරණය හා සම්බන්ධ ගැටලූවක්ද විය හැකිය. ඇය රෝගී වූ අවස්ථාවක රෝහළට ගෙනයාම වැනි දේ අපේ කතානායකයා කරයි. ඔහු තමා ඇසුරු කරන ස්ත‍්‍රීන් සමග යාන්ත‍්‍රික ලිංගික සම්බන්ධතා පවත්වන්නෙක් නොවේ. ඔවුන් සමග කතාබහ කරමින් කාලය ගත කරන බවද පෙනේ. ඔවුන්ගේ හුදෙකලාව ගැන අනුකම්පාවක් ඔහු තුළ තිබෙන බවද පෙනෙන්නට තිබේ.

  එසේ ගෝලීය ප‍්‍රාග්ධනය හෝ ගෝලීය මට්ටමේ පරිභෝජන ආශාව විසින් විසරුවා හරින ලද න්‍යෂ්ඨික පවුල තුළ ස්ත‍්‍රිය යනු අකර්මණ්‍ය වැලපෙන්නියක්ද නොවේ. ඇයද තම ඉරණමට මුහුණ දෙන්නේ කාරක ශක්තියෙන් යුතුවය. එක් පවුලක ස්වාමි පුරුෂයා එංගලන්තයේය. ඔහුගේ බිරිඳ ඩිලිවරි බෝයි වෙතින් ලිංගික තෘප්තිය සහ සහකාරිත්වය ලබා ගත්තද පවුලද පවත්වාගෙන යයි. ඇය ඩිලිවරි බෝයිට පවුල කඩන්නට ඉඩ නොදෙයි. ඔහු හා පැන යන්නටද තැත් නොකරයි. ඔහුට විශේෂ ආදරයක්ද නොදක්වයි. බොළඳ වචනද නොකියයි. සමනලී ෆොන්සේකා මේ චරිතය සිත්ගන්නා සේ ගොඩනගයි. 

   කූඹියෝ ටෙලි නාට්‍යයේද ඩිලිවරි බෝයි කෙනෙකුගේ චරිතයක් තිබේ. එහෙත් ඊට වැඩි සංකීර්ණතාවකින් මෙම චිත‍්‍රපටයේදී ඒ ඩිලිවරි බෝයි චරිතය අපට දක්නට ලැබේ. 

  කළණ ගුණසේකර බහුචිතවාදියා චිත‍්‍රපටයෙහි කරන ර`ගපෑම අගනේය. කූඹියෝ ටෙලියෙහි වුවද මගේ කැමතිම රංගනය කරන්නේ ඔහුය. (ඊ ළ`ගට කැමති ර`ගපෑම කරන්නේ ටිරන් ලෙස ර`ගපාන නළුවාය.) බහුචිතවාදියා අපේ යුගයේ පාරදිගේ වැනිය. එනමුත් ඊට වැඩි පැතිමාන මෙහි තිබේ. අපේ යුගයේ තාරුණ්‍යයෙහි ජීවිතය කළණ ගුණසේකර නිරූපණය කරන්්නේ ඒ චරිතය ගැන යම් දයාවක්ද ඇති වන ලෙසය.

   විදේශගත ස්ත‍්‍රීන් ස්කයිප් ඔස්සේ ලංකාවේ සිටින ඩිලිවරිබෝයිට හසුවන ආකාරය ස්කයිප් ඔස්සේම නිරූපණය වන සැටි අපූරුය. ස්කයිප් තිරය ඒ ස්ත‍්‍රිය ඉලෙක්ට්‍රොනික හිරගෙයක සිරවූවක ලෙස අපට පෙන්වයි. මනුෂ්‍ය ස්ත‍්‍රිය ඉලෙක්ට්‍රොනික රූපයක් බවට පත් වී ඇත. පිරිමියා ගනුදෙනු කරන්නේ ඉලෙන්ට්‍රොනික සංඥා සමූහනයක් ලෙස හීලෑ කරගත් ස්ත‍්‍රියක සමගය. 

ඒ ඉලෙක්ෙට්‍රානික ස්ත‍්‍රිය සමීප රූපයක් බවට පත් කරන කොම්පියුටර් තිරය මත එක් පසෙක ඉතා කුඩා කොටුවක මේ චිත‍්‍රපටයේ වීරයාද සිර වී සිටියි. ඔහු වීරයෙකු නොව අසරණ ප‍්‍රතිවීරයකු බව කියන්නට ඒ අ`ගලක පමණ කොටුවේ සිට කළණ ගුණසේකර විශිෂ්ට ලෙස ර`ගපායි. 

  ආදරය යනු මෝටර් සයිකලයකින් ගොස් ඩිලිවර් කළ හැකි තෑගි පාර්සලයක්ද? වේගයෙන් වර්ධනය වන අගනගරය තුළ අපේක්ෂා භංගයට පත් වන මේ තරුණයාත්, න්‍යෂ්ටික පවුල් තුළට ආදරය සහ රැකවරණය සොයා එළඹුණු ස්ත‍්‍රීන්ගේ අතෘප්තියෙන් බරවුණු හුදෙකලාවත් ගැන මේ චිත‍්‍රපටය කියන කතාව වර්තමානය ගැන චිත‍්‍රණයක්ද? අනාගතය ගැන අනතුරු ඇ`ගවීමක්ද? න්‍යෂ්ඨික පවුල තවදුරටත් නොබෙදිය හැකි පරමාණුවක් සේ සැලකුණු යුගයක් තිබිණි. අද එය තවදුරටත් පරමාණුවක් නොවේ. එයද කැඞී තවත් කුඩා කෑලිවලට කැඬේ. එසේ කැඩී විසිවුණු මනුෂ්‍ය දූවිලිවල කතාව සිනමාත්මකව කීම අපේ සිනමාව බාරගත යුතු අභියෝගයකි. එය රජකතාකාර සිනමාකරුවන්ට බැරිවැඩකි. ඒ අය රජකතා කියන අතර තව පිරිසක් මේ අපේ කතාව කිව යුතුය. ඒ කතා වර්ග දෙකම කියන සිනමාවක් අපට තිබිය යුතුය. මේ දෙවැනි කතාව කියන දක්ෂ සිනමාකරුවන් පේළියක්ම පෙළ ගැසී සිටියත්, මේ චිත‍්‍රපටි ටික ඉක්මනට පෙන්නන්නට කිසිවෙක් ඉදිරිපත් නොවේ.

No comments:

Post a Comment