හයිකු වැනි කෙටි කවිය කවි ලියන තරුණ තරුණියන් අතර බෙහෙවින් ජනප්‍රිය වී තිබේ. ඇතැම් ආධුනිකයෙකු තමන් ලියන ඕනෑම කෙටි කවියක් ‘හයිකු’ නමින් හඳුන්වන අවස්ථාද තිබේ. එය තවමත් කෙනෙකු ‘මං නිසඳැසක් ලිව්වා’ යැයි කියනු වැනි දෙයකට වඩා බෙහෙවින් වැරදි කියමනකි. හයිකු නම් ජපන් කවි විශේෂය පිළිබඳ තරමක් තාත්ෂණික හා ආකෘතික අර්ථයකින් අර්ථයකින් තේරුම් ගතහොත් ඊට ඇත්තේ ඉතා දැඩි ආකෘතික සැකැස්මකි. කවියට පේළි තුනකි. පළමු පේළියේ මාත්‍රා පහකි. දෙවෙනි පේළියේ මාත්‍රා හතක් හෝ නමයකි. තුන්වෙනි පේළියේ නැවතත් මාත්‍රා පහකි. මේ ආකෘතියට කවි ලිවීම කොතරම් අමාරුද යත් එතෙක් මෙහෙතක් සිංහලයෙන් එකම හයිකු කවියක් වත් ලියැවී නැති තරම්ය.
හයිකු වැනි කවි විශේෂයක් හුදෙක් ඒ ආකෘතික සැකැස්ම ඇසුරින් යාන්ත්‍රිකව වටහා ගැනීම අසීරුය; එමෙන්ම වැරදිය. ඒ නිසා පාලිත සේනාරත්න වැනි කෙටි කවි ලියන අය හයිකු ආත්මය වැනි යෙදුමක් භාවිත කිරීම නිවැරිදිය. විලියම් ජේ හිගින්සන් වරක් සිය The Haiku Handbook නමැති පොතේදී මෙසේ කීවේය: ‘අපි හයිකුවක් රචනා කරන කොට මෙන්න මෙහෙම දෙයක් රසියකයා කියනවා: මට මේ දැනෙන දේ ඔයාට කියන්න හරි අමාරුයි. ඉතින් මේ හැඟීම් මට දැනෙන්න සැලස්සපු සිද්ධිය ඔයාට කියන්නම් එතකොට මට දැනුණ හැඟීමට සමාන හැඟීම් ඔයාටත් ඇති වෙන්න පුළුවන්. මේක අපේ හැඟීම් බෙදාහදාගන්න තියෙන හොඳම විදියක් නෙමේද? අපි අපේ හැඟීම්වලින් තව කෙනෙකුට ළං වෙන්න නැත්නම් අපේ හැඟීම් රැගෙන තව කෙනෙක් ළඟට යන්න ඕනෙ වුණාම අපි නිකම්ම කියනවද ‘මට දුකක් දැනෙනවා’ නැත්නම් ‘මට සතුටක් දැනෙනවා’ කියලා? අපි කරන්නෙ අපිට සතුට හෝ අසතුට ඇති කරන්නෙ මොකක්ද කියලා කියන එක. නැත්නම් කොහොමද අනික් කෙනා එක්ක අපි ඒ හැඟීම් බෙදා ගන්නෙ? ඇත්තටම කියනවා නම් තමන්ට දුක, සතුට, වේදනාව හෝ ප්‍රීතිය දැනෙනවා කියලා යාළුවෙක් කියන කොට අපි ක්ෂණිකව කරන්නෙ මෙහෙම අහන එක: “මොකක්ද ඒ? මොකක්ද කාරණේ? ඔයාට සතුට ඇති කළේ මොකක්ද?”
හයිකු යන මේ ‘මොකක්ද’ යන්නට දෙන පිළිතුරයි.