Wednesday, December 25, 2024

සිංහල කෙටි කවියට වැරදිය හැකි තැනක් හා බර කවිය සොයා ගැනීම - ලියනගේ අමරකීර්ති

 

     හයිකු වැනි කෙටි කවිය කවි ලියන තරුණ තරුණියන් අතර බෙහෙවින් ජනප්‍රිය වී තිබේ. ඇතැම් ආධුනිකයෙකු තමන් ලියන ඕනෑම කෙටි කවියක් ‘හයිකු’ නමින් හඳුන්වන අවස්ථාද තිබේ. එය තවමත් කෙනෙකු ‘මං නිසඳැසක් ලිව්වා’ යැයි කියනු වැනි දෙයකට වඩා බෙහෙවින් වැරදි කියමනකි. හයිකු නම් ජපන් කවි විශේෂය පිළිබඳ තරමක් තාත්ෂණික හා ආකෘතික අර්ථයකින් අර්ථයකින් තේරුම් ගතහොත් ඊට ඇත්තේ ඉතා දැඩි ආකෘතික සැකැස්මකි. කවියට පේළි තුනකි. පළමු පේළියේ මාත්‍රා නමයකි. දෙවෙනි පේළියේ මාත්‍රා හතක් හෝ නමයකි. තුන්වෙනි පේළියේ නැවතත් මාත්‍රා පහකි. මේ ආකෘතියට කවි ලිවීම කොතරම් අමාරුද යත් එතෙක් මෙහෙතක් සිංහලයෙන් එකම හයිකු කවියක් වත් ලියැවී නැති තරම්ය.




    හයිකු වැනි කවි විශේෂයක් හුදෙක් ඒ ආකෘතික සැකැස්ම ඇසුරින් යාන්ත්‍රිකව වටහා ගැනීම අසීරුය; එමෙන්ම වැරදිය. ඒ නිසා පාලිත සේනාරත්න වැනි කෙටි කවි ලියන අය හයිකු ආත්මය වැනි යෙදුමක් භාවිත කිරීම නිවැරිදිය. විලියම් ජේ හිගින්සන් වරක් සිය The Haiku Handbook  නමැති පොතේදී මෙසේ කීවේය: ‘අපි හයිකුවක් රචනා කරන කොට මෙන්න මෙහෙම දෙයක් රසියකයා කියනවා: මට මේ දැනෙන දේ ඔයාට කියන්න හරි අමාරුයි. ඉතින් මේ හැඟීම් මට දැනෙන්න සැලස්සපු සිද්ධිය ඔයාට කියන්නම් එතකොට මට දැනුණ හැඟීමට සමාන හැඟීම් ඔයාටත් ඇති වෙන්න පුළුවන්. මේක අපේ හැඟීම් බෙදාහදාගන්න තියෙන හොඳම විදියක් නෙමේද? අපි අපේ හැඟීම්වලින් තව කෙනෙකුට ළං වෙන්න නැත්නම් අපේ හැඟීම් රැගෙන තව කෙනෙක් ළඟට යන්න ඕනෙ වුණාම අපි නිකම්ම කියනවද ‘මට දුකක් දැනෙනවා’ නැත්නම් ‘මට සතුටක් දැනෙනවා’ කියලා? අපි කරන්නෙ අපිට සතුට හෝ අසතුට ඇති කරන්නෙ මොකක්ද කියලා කියන එක. නැත්නම් කොහොමද අනික් කෙනා එක්ක අපි ඒ හැඟීම් බෙදා ගන්නෙ? ඇත්තටම කියනවා නම් තමන්ට දුක, සතුට, වේදනාව හෝ ප්‍රීතිය දැනෙනවා කියලා යාළුවෙක් කියන කොට අපි ක්ෂණිකව කරන්නෙ මෙහෙම අහන එක: “මොකක්ද ඒ? මොකක්ද කාරණේ? ඔයාට සතුට ඇති කළේ මොකක්ද?”

හයිකු යන මේ ‘මොකක්ද’ යන්නට දෙන පිළිතුරයි.






  

හයිකු කවියෙහි ස්වභාවය පිළිබඳ මා නවකවි සලකුණ කෘතියෙහිද ලියා ඇතත් උක්ත උද්ධෘතය අලුතෙන් පරිවර්තනය කළේ එය තුළ ඉතා සරල නිර්වචනයක් අඩංගු වන බැවිනි. හයිකු කවියෙහි ආත්මීය අනන්‍යතා ලක්ණය කුමක්ද යන්න වටහාගන්නට එය උපකාර වේ. එය හුදෙක් හයිකු කවිය පමණක් නොව පොදුවේ සියලු කෙටිකවි වටහාගන්නට භාවිත කළ හැකිය. කෙනෙකු දැනුණ යම් හැඟීමක් මේ යැයි කීමට වඩා හයිකු කවියෙහි අරමුණ ඒ හැඟීම දැනවූයේ කුමක්ද යන්න තව කෙනෙකුට කීමකි. 

   ඒ අර්ථයෙන් ගත් විට හයිකු යනු යම් හැඟීමකට තුඩු දුන් අවස්ථාවක් කවිය තුළ යළි ගොඩනැගීමකි. එය සිදුවන්නේ හුදෙක් සැබෑ ජීවිතයෙහි සිදු වූ දෙයක් නැවත ඒ ලෙසටම ගොඩනැගීමෙන් නොවන්නට පුළුවන. කවියා කරන්නේ යම් අත්දැකීමක් ජනිත කරන චිත්තරූපමය යාන්ත්‍රණයක් වචන හා චිත්තරූප ඇසුරින් යළි ගොඩනැගීමකි. එසේ ගොඩ නගන ලද යාන්ත්‍රණය බොහෝ අර්ථ දැනවිය හැකිය. කෙටි කවියෙහි පවතින වචන ගණන අඩු නිසාම රසිකයාට බොහෝ ඉඩ හා වැඩ කෙටි කවියෙහි පවතී. කෙටි කවියෙහි වන සෞන්දර්යමය පිරිමැසුම් සහගත බවෙහි ඵලය විය යුත්තේ අර්ථමය වශයෙන් පොහොසත් රසවින්දනයකි. විලියම් ජේ හිගින්සන්ම තව තැනෙක කියන හැටියට සංගීතයේදී සේම හයිකු වැනි කෙටිකවියේදීද ලියන ලද්ද යනු කවියෙහි ආරම්භය පමණි; ඒ කවිය සම්පූර්ණ වන්නේ රසිකයාගේ පරිකල්පන ලෝකයෙහිය. ඒ නිසා හයිකු කවිය රසිකයා වෙත ඉදිරිපත් කරන්නේ ඉතා ක්ෂුද්‍ර හා සංක්ශිප්ත දෙයක් වුවත් ඒ කවිය වෙත ප්‍රතිචාර අසීමිතය. හයිකු වේවා නොවේවා හොඳ කෙටි කවිය එවන් අසීමිත සෞන්දර්ය ප්‍රතිචාර ජනනය කරන්නක් වීම උචිතය. හොඳ කෙටි කවිය එවැන්නකි.

    මේ රචනය කරන්නට මා මෙහෙය වූයේ එක්තරා කවියෙකු පහත කවිය ගැන කරන විශාල වර්ණනාවක් දැකීමය:

“තිබුණ නම් නැටි 

අපට

වනල වනලම කැඩිල

 මෙලහට”

   ඒ විචාරක-කවියා කියන හැටියට මෙය මෑතකදී ලියවුණු හොඳම කවියකි. කවි සහ ගීත රසවින්දනය නමින් දේශන හා සංවාද පැවැත්වීම අමතර ආදායම් මාර්ගයක් වන තත්ත්වයක් මෑතකදී ඇති විය. ඒ දේශන පවත්වන මුඛරිකම් ඇති උදවිය මෙවැනි හදිසි ආකර්ෂණ ඇති කවි තෝරා ගෙන මුඛරි කටහඬින් ඒවා හඬගා කියති. එවිට රසිකයන් අතරින් උපහාස සිනා නැගේ. මේ නිසා ආධුනික කවියෝද එවැනිම ක්ෂණික ආකර්ෂණ ඇති කෙටි කවි ලියති. කවිය නම් සාහිත්‍යාංගය යම් මහජන උනන්දුවක් ඇති කිරීමට ඉහත කී වර්ගයේ මුඛරි දේශනවල යම් ප්‍රයෝජනයක් තිබෙන්නේ විය හැකිය. අලෙවි කළ හැකි විනෝදාංගයක් ලෙස එය විනෝද වෙළෙඳපොළෙහි පවතින අනික් විනෝදාංග තරම් නරක නොවන්නේද විය හැකිය. ඒ නිසා ඒ විනෝදාංග සාදා අලෙවි කරන අයගේ වානිජ ව්‍යාපෘතිය ගැන මට විශේෂ විරෝධයක් නැත. මේ බොහෝ දෙනා බොහෝ දේ හැකි පමණින් විකුණා ගන්නා යුගයකි. එහෙත් කෙටි කවිය යනු ඉහත නිදර්ශනය වැන්නක් යැයි සිතීම තුළ සෞන්දර්යමය ගැටලුවක් තිබේ.

  ඉන්දික ගුණවර්ධන නම් කවියා ලියූ ඉහත  උපුටා දැක්වූ කවියෙහි වන අදහස නරක නැත. ලංකාවේ පුරවැසියන් වන අප බොහෝ විට අධිකාර බලය ඉදිරියෙහි හෝ හෙජමනිය ඉදිරියෙහි සුවච කීකරුව සිටින පිරිසක් විය හැකිය. අප හුදෙක් සුවච කීකරු වන්නේ පමණක් නොව ඒ සුවච කීකරු බව බලයෙහි සිටින අයට නිතර නිතර පෙන්වන පිරිසක්ද වන්නේ විය හැකිය. අප සමාජය ගැන යම් සත්‍යයක් ඒ කවියෙහි අදහස තුළ ඇත. අප ගැනම වන උපහාසය අතින්ද එය ප්‍රබලය. එහෙත් එය ආංශික කියමනකි. අප සමාජයක් හැටියට එවැනි සදාතනික යටහත්පහත්භාවයක සිරවූ ජනතාවක්ද? අප ඉතා බලවත් ආණ්ඩු ගෙදර යැවූ ජනතාවක් නොවෙමුද? එසේම, අන්තෝනියෝ ග්‍රාම්ස්චි වැනි ඉදිරිපත් කළ හෙජමනිය වැනි න්‍යායික සංකල්පයකින් බැලුවහොත් ‘අප බලය හමුවේ නැටි වන වනා සිටින ජනතාවකි’යි අපටම සිනාසීම යුක්තයුත්තද? හෙජමනිය යනු පවතින ස්ථාපිතය මගින් සමාජය තුළ ඇති කරන බලව්‍යූහයට අනුමැතිය දී ඒ හා එකඟවීමට පුරවැසියන් සම්මුතිගත කරගැනීමකි. ඒ අනුමැතිය ගොඩනැගීම රාජ්‍යයෙහි සන්නන්ධ බලය, දෘෂ්ටිවාදී බලය සේම අදාළ සමාජයෙහි පවත්නා අධිපති කණ්ඩායම්වල දෘෂ්ටිවාදී-සංස්කෘතික බලය ආදිය නිසා සිදුවන්නකි. ඒ නිසා පුරවැසියන් ‘නැට්ට වනා එකඟ වන බලු නැට්ටන්’ බවට පත් කරන්නේ හෙජමනියේ ව්‍යූහයයි. උක්ත කවිය ගැන අදාළ දේශකයා කරන මුඛරි වර්ණනාව තුළ පුරවැසි යටහත්පහත්භාවය ඇති කරන ව්‍යුහමය කරුණ ගැන කිසිදු සඳහනක් නැත.

   එවැනි එකපැහැර ආකර්ෂණය ඇති කරන බුහුටි කියමන් පමණක් කෙටි කවිය යැයි ගැනීම ගැන ආධුනිකයන් කල්පනාකාරී විය යුතුය. කෙටි කවිය ‘එකවැකි කියමන්’ හෙවත් ‘ඒක වාක්‍යය ප්‍රකාශ’ නැතිනම් ‘එක පේළියේ කියමන්’ නම් අනතුරින් ගලවා ගත යුතුය. ඒ යෙදුම් දෙක නිර්මාණය කළේ One-liner  යන ඉංග්‍රීසි යෙදුම ඇසුරිනි. එක තනි හාස්‍යමය ප්‍රඥා වැකියකින් හෝ එක පේළියකින් හෝ යම් සත්‍යයක් ග්‍රහණය කරගන්නට තැත් කරන කියමන් ඉංග්‍රීසි භාෂා ලෝකයේ පවතී. ඒවා බටහිර විනෝද කර්මාන්තය තුළ ප්‍රචලිත ස්ටෑන්ඩ් අප කමීඩියන්ස්ලා හෙවත් හිටිවන විහිළු සපයන අයද කාටූන් ශිල්පියෝද භාවිත කරති. ඇතැම් ප්‍රසිද්ධ දේශකයන්ගේ කතාවලද තැනින් තැන අඩංගු වන එවන් කියමන් ඒ කතාවලින් ඉවතට පැමිණ මහජනයා අතර සැරිසරයි. ඇතැම් විට ඒවා චිත්‍රපට දෙබස්වලින් ගිලිහී මහජනයා අතරට එයි. මතක තබා ගැනීමටද පහසු එවැනි කියමන් මහජන මතකය තුළ සැරිසැරීම හොඳය. ඒවා තනි වැකි කියමන් වන නිසාම ඒවා අදාළ විෂය පිළිබඳ ආංශික කියමන් මිස සම්පූර්ණ කියමන් නොවේ. ඒ නිසා ඒවාට හසුවන්නේ අදාළ විෂයෙහි එක් පාර්ශවයක් පමණි. ඒ නිසා ‘එක වැකි කියමන’ එක පැත්තක් පමණක් දකින කියමනක් විය හැකිය. 

   අපි ඉංග්‍රීසියෙන් ගත් එවන් කියමන් කීපයක් පරිවර්තනය කරමු. ඒ ඇතැම් කියමන්වල බුහුටිබව කෙතෙක්ද යත් පරිවර්තනය බෙහෙවින් දුෂ්කර වන්නටද පුළුවන.

1. ජීවිතය යනු ප්‍රශ්නයකි; අප ජීවත් වන ආකාරය වූකලි ඊට සපයන පිළිතුරයි. (Life is a question and how we live it is our answer.)

2. පිරිසිදු ගෙදරක් යනු වැරදියට ගෙවූ ජීවිතයක ලකුණකි. (   “A clean house is a sign of a misspent life)

3. ඇමරිකාව කියන්නෙ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් යුද්ධ කරන්න මහාසාගර තරණය කරන පුරවැසියො මිසක් පාර පැනල ගිහින් ඡන්දෙ දෙන පුරවැසියෝ නිර්මාණය කරන රටක් නෙමේ. (America is a country which produces citizens who will cross the ocean to fight for democracy but won't cross the street to vote.)

4. හොරකම් කරන්න එපා. ආණ්ඩුව ඒ වැඩේ කරනවා. Don't steal. That's the government's job.)

5. හොඳ කෙල්ලො දිවියෙ ලෝකෙ යනවා- නරක කෙල්ලො ඕනෙ තැනක යනවා. (Good girls go to heaven. Bad girls go anywhere.)


                                            කෙටි කවි ගැන ලියමන්

  අපේ එක වැකි කියමන් හෝ එක පේළි කියමන් ත්‍රීවිල් පිටුපසද දැකිය හැකිය. ආධුනිකයන්ගේ කෙටි කවියද එවැනි එක වැකි කියමන් සපයන්නටද තැත් කිරීම අනතුරුදායකය. ආරියවංශ රණවීර, නන්දන වීරසිංහ, අපරැක්කේ සිරිසුධම්ම හිමි, වසන්ත ප්‍රියංකර නිවුන්හැල්ල වැනි අය ලියා ඇති රචනාවල සැබෑ කෙටි කවියෙහි ස්වරූපය ගැන හොඳින් සාකච්ඡා වී තිබේ.

 එසේම, කෙටි කවියෙහි සෞන්දර්ය හොඳින් ග්‍රහණය කරගත් කවි පොත් ගණනාවක්ද මෑතකදී පළ විය. ඒ ආරියවංශ රණවීර, නන්දන වීරසිංහ, ලක්ශාන්ත අතුකෝරල හා මංජුල වෙඩිවර්ධන වැනි අයගේ ප්‍රකට කෙටිකවි පොත්වලි පසු මෑතකදී පළවු කවි පොත් කීපයකද හොඳ කෙටි කවි දැකිය හැකි විය.

මේ ළහිරු කරුණාරත්නගේ කවියකි:

“පිටත වැස්සට

ඉහලූ කුඩයෙන්

ඇරඹුණි ඇතුළත 

වැස්ස”

   මේ වූකලි ඉහත ජනප්‍රිය දේශකයා වර්ණනා කරන මුඛරි කවියට වඩා ගැඹුරු සෞන්දර්ය අත්දැකීමකට මග කියන කවියකි. කවියා ගොඩනගන චිත්තරූපය අපට නොයෙක් කියවීම්වලට ආරාධනා කරයි. මෙහි දෙතැනක යෙදෙන වැස්ස යන යෙදුම බහුවිධ අර්ථ නගයි. එය සිදුවන්නේ කවියා සිය නිර්මාණය සංරචනයේදී ගොඩනගන චිත්තරූප මාලාව නිසාය. ඇතුළෙහි ඇතිවන්නේ යැයි කියන වැස්ස පිටත වැස්සට වඩා වෙනස් වූවක් වන්නට පුළුවන. 

   විජය නන්දන පෙරේරා සහස්පත් නමින් කෙටි කවි ඇතුළත් පොතක් මෑතකදී පළ කළේය. එහිද බහුවිධ අර්ථ ජනනය කරන කවි මාලාවක් ඇත.

“පිළිලයත්

සොයන්නේ

ඉර

එළිය!”

   බැලූබැල්මට එක වැකි ප්‍රකාශයක් සේ පෙනෙන මෙහි ඇත්තේද බහුවිධ අර්ථ ජනනය කරන චිත්තරූපයකි. අන් සෑම ශාකයක් සේම පිළිලයද හිරු එළියෙන් පෝෂණය වෙයි. ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් සපයන අයිතිවාසිකම්ම භාවිත කර ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන අන්තවාදීන් හා ජාතිවාදීන් වැඩෙන්නේ නොවේදැයි මා මෑතකදී කල්පනා කරන අතර මේ කවිය දකින්නට ලැබුණි.

මේ ඒ පොතෙන් තවත් කවියකි:

“උදා

තරුවක

ඉරණම

උදා

එළියෙ ම

මළගම”

   පාන්දරට පායන අලුයම් තාරකාව උදා එළිය නිසාම මියයයි. උදාසන එන බව නිවේදනය කරන ඒ තරුව තමාම සුබාරංචි කියූ එළියෙහි මියයාම බොහෝ අර්ථ නගයි.

   ප්‍රවීණ කිවිඳියක වන අනුරාධා නිල්මිණීගේ ඉර්තු නම් කාව්‍ය සංග්‍රහයෙහි එක් කොටසක් වෙන් වන්නේ කෙටි කවි වෙනුවෙනි. මේ ඉන් ගත් කවියකි:

“මරා දැමූ පසුවත්

දියෙහි ගිල්වා

අත නොහරී

තෙමුණු කඩදාසි

තම ඇකයෙහි නිදන


හොඳ ම වචන”

  ඒ කවියද ඉන් ගොඩනැගෙන චිත්තරූපය නිසා බොහෝ අරුත් නගයි. අත්අකුරු සහිත කඩදාසිවල සමහර වචන බොඳවී ගොස් සමහර වචන ඉතිරි වී තිබෙන අයුරු අප කවුරුත් දැක තිබේ. කවිකාරිය ඒ ගැන කරන ආවර්ජනාත්මක පරිකල්පනය නිසා ‘දියෙහි ගිල්වා මරා දැමීම’ ආශ්‍රිත බොහෝ අර්ථ අප සිත්හි පහළ වේ.

   ප්‍රවීණ ලේඛක චූලානන්ද සමරනායක කෙටි කවි ඇතුළත් පොත් කීපයක් දැනටමත් පළ කර තිබේ. ඉන් එකක් හැඩයෙන්ද කුඩාය. විත් සහ විත් නම් වූ එහි එන එක් කවියකි මේ:

“සඟවා සිනහ පැස

දුම්රිය මැදිරියක

පිය නගයි ඕ නිවසට

රවන අඳුරට තැතිගෙන”

   කාර්යාල දුම්රියක හවසට ආපසු ගොස් ගමේ ස්ටේෂමෙන් බැස තම නිවස දෙසට යන ඇය සතුට දුම්රියේ මැදිරියේ තබා යන්නේ ඇයි? ඒ නිවස ‘රවන අඳුරක්’ වන්නේ ඇයි? ‘සිනහ පැස’ යන යෙදුමද එය ‘සඟවන’ බව කීමද බොහෝ අර්ථ නගයි.

   සිංහල කෙටි කවිය සරල ‘එක වැකි කියමන්’ නම් ගැටලුවට සාර්ථකව මුහුණ දී තිබෙන අවස්ථා තිබේ. කවිය ජනප්‍රිය කරන්නට දේශන පවත්වන අයත්, රස වින්දන කර්මාන්තය තුළ සිටින අයත් කවියෙහි ගම්බිර කවිතාව ගැනද අවධානය යොමු කිරීම උචිතය. කවිය හදාරන්නට කැමති ආධුනිකයා රසවින්දන කර්මාන්තයේ ලාබ සුලබ දේශනයේ මුඛරිකම්වලින් වශී නොවී ‘බරකවිය’ සොයාගත යුතුය.


(දෙසැම්බර් 15 අරුණ පුවතපතෙහි පළ විය)



   


1 comment:

  1. ඉතා හොද පැහැදිලි කිරීමක්. ස්තූතියි

    ReplyDelete