සෞම්‍ය ලියනගේ කොළඹ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයෙහි මහාචාර්යවරයෙකුව සිටියේය. ඔහු එහි පශ්චාත් උපාධි පීඨයෙහි පීඨාධිපතිවරයාද විය. පසු ගියදා ඔහු ඒ තනතුරු දෙකෙන්ම පහත හෙළිණි. එය කරන ලද්දේ ඒ විශ්වවිද්‍යාලයෙහි පාලක සභාව විසිනි. එහිලා පාදක කරනගන්නා ලද්දේ එකම එක රෙගුලාසියකි. ඒ වූකලි ඔහු පරිවාස කථිකාචාර්යවරයෙකු ලෙස ගත කළ පළමු අවුරුදු අට ඇතුළත සිය පශ්චාත් උපාධි සුදුසුකම් සපුරන්නට අසමත් වීය යන්නයි.
සාමාන්‍යයෙන් විශ්වවිද්‍යාලයක පරිවාස කථිකාචාර්යධුරයට බඳවා ගැනුණ පසු සේවයෙහි ස්ථිර වන්නට පශ්චාත් උපාධි සුදුසුකම් සැපිරිය යුතුය. ඒ පශ්චාත් උපාධිය ශාස්ත්‍රපති උපාධියක්, දර්ශනපති උපාධියක්, හෝ දර්ශනසූරී (ආචාර්ය) උපාධියක් යන කවරක් හෝ විය හැකිය. ඒ උපාධිය කුමක්ද යන්න අදාළ කථිකාචාර්යවරයා බඳවා ගන්නා අවස්ථාවේ ඇති සුදුසුකම්ද තවත් කරුණද අනුව තීරණය වේ. මහාචාර්ය සෞම්‍ය ලියනගේට සිය තනතුරෙහි ස්ථිරවීමට සැපයිය යුතු සුදුසුකම වූයේ ආචාර්ය උපාධියයි.
ඒ උපාධිය පිණිස ඉගෙනීමට ඔහු ඔස්ටේ්රලියාවේ ලා ට්‍රෝබ් විශ්වවිද්‍යාලයට ඇතුළත් විය. එවැනි විශ්වවිද්‍යාලයකට ඇතුළත් වීමද එක්තරා ජයග්‍රහණයකි. ආධුනික කථිකාචාර්යවරයෙකු ලෙස පත්වීම ලද දින සිට අවුරුදු අටක් ඇතුළත ඔහු සිය ආචාර්ය උපාධිය සම්පූර්ණ කළ යුතු විය. සෞම්‍ය ලියනගේ ඒ වගකීම ඉටු කර තිබේ. ඔහු සිය ආචාර්ය උපාධි පාඨමාලාවට අදාළ සෙසු සියලු අධ්‍යයන කටයුතු අවසන් කොට, ඒ උපාධියෙහි එක් කොටසක් වන ආචාර්ය උපාධි නිබන්ධනයද ලා ට්‍රෝබ් විශ්වවිද්‍යාලයට බාර දී ඇත. ඔහු එය කර ඇත්තේ තමන්ට ලැබී ඇති අවුරුදු අටෙහි කාලයට ඉකුත් වන්නට මාස හතරකට පමණ පෙරය.
තනතුරින් ඉවතට
එසේ නම් සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය ඔහු තනතුරින් පහ කරන්නේ ඇයි? එය සිදු වන්නේ මෙසේය: සෞන්දර්ය විශ්වවිද්‍යාලය සෞම්‍ය ලියනගේගේ ආචාර්ය උපාධියෙහි දිනය විමසා තිබේ. එවිට එම විශ්වවිද්‍යාලය සපයා ඇති දිනය අර අවුරුදු අටේ සීමාව ඉක්ම වූ දිනයකි. එනම් ලියනගේ ආචාර්ය උපාධි නිබන්ධනය බාර දුන් පසු එහි ප්‍රතිඵල ලැබෙන්නට මාස හතරකට වැඩි කාලයක් ගත වී තිබේ. ඒ නිසා “උපාධියෙහි දිනය” අර අවුරුදු අටෙන් පිටතට වැටේ. එහෙත් ලියනගේ එම උපාධිය සාර්ථකව සමත් විය. ඒ නිබන්ධනය සුදුසු මට්ටමක පැවතියෙන් එම උපාධිය පිණිස බාර ගැනිණි.
වරද කාගේද?
දැන් සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය මහාචාර්ය ලියනගේට දඬුවම් දෙන්නේ ඔහු කළ වරදකට නොවේ. ඒ ඒ විශ්වවිද්‍යාල පශ්චාත් උපාධි ප්‍රතිඵල නිකුත් කිරීමට විවිධ කාල ගනියි. එය උපාධි අපේක්ෂකයාගේ පාලනයෙන් පිට පවතින දෙයකි. ඒ නිසා ලංකාවේ සෑම විශ්වවිද්‍යාලයක්ම පාහේ පරිවාස කාලය ගෙවන කථිකාචාර්යවරුන් ස්ථිර කිරීමේදී සලකා බලන්නේ උපාධි නිබන්ධනය බාරදුන් දිනය මිස ප්‍රතිඵල නිකුත් වූ දිනය නොවේ.
තව මොන මොන සංකීර්ණතා තිබුණද මහාචාර්ය සෞම්‍ය ලියනගේගේ ප්රශ්නය මේ කියූ දෙයයි. ඔහු කිසිම වරදක් කළ බවක් නොපෙනේ. අනෙක, මහාචාර්යධුරය සහ පිඨාධිපතිධුරය ඉවත් කිරීම වැනි බරපතල දඬුවමකට ඔහු ලක්වීම කිසිසේත් සුදුසු නැත. සෞන්දර්ය විශ්වවිද්‍යාලය මේ කරුණෙහිදී නිවැරදි නම් මහාචාර්ය ලියනගේ විදේශගතව සිටි කාලය වෙනුවෙන් අත්සන් කළ බැඳුම්කරයෙහි පොරොන්දු වූ මුදලත්, ඔස්ටේ්රලියාවේ සිට පැමිණ යම් වැටුප් වර්ධකයක් ලැබුවේද ඒ සියල්ලත් ආපසු ගෙවිය යුතුය. ඒ සියල්ල රුපියල් මිලියන ගණනක් වනු ඇත. තම විශ්වවිද්‍යාලයෙහි අනාගත වර්ධනයට දායක වනු පිණිස විදේශගත වී සුදුසුකම් සපුරා එන කෙනෙකුට ලැබෙන දිරිගැන්වීම නම් මෙයයි!
මෑතකදී මෙම ප්රශ්නය වෙනුවෙන් විශ්වවිද්‍යාල ආචාර්වරුන් පිරිසක් පැවැත්වූ පුවත්පත් සාකච්ඡාවේදී ආචාර්ය අනුරුද්ධ ප්‍රදීප් කර්ණසූරිය කී සේම මහාචාර්ය සෞම්‍ය ලියනගේට විරුද්ධව සෞන්දර්ය විශ්වවිද්‍යාලයෙහි විශාල පිරිසක් සංවිධානය වී සිටින බව පෙනේ. ඔහු කළ යම් වෙනත් වැරදි ඇති නම් ඒවාට විනිවිදභාවයෙන් යුතු පරීක්ෂණ පවත්වා දඬුවම් ලබාදීම මිස ඉහත කරුණ පාදක කරගෙන රැකියාවෙන් දොට්ට දැමීමට කිසිදු පදනමක් එම විශ්වවිද්‍යාලයෙහි පාලක සභාවට නැත.
කලායතනයක සිට විශ්වවිද්‍යාලයක් දක්වා
ඉහත පැහැදිලි කළ රෙගුලාසිමය තාක්ෂණික කාරණා හැරුණු විට සෞම්‍ය ප්රශ්නය ඇසුරින් සාකච්ඡාවට ගත හැකි තවත් විශාල ප්‍රශ්නයක් තිබේ. ඒ මෙයයි. අද සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය යැයි හැඳින්වෙන ආයතනය කලෙක කලායතනයකි. ඒ ඒ ක්ෂේත්රවලට අයත් කලා ශිල්පීන් පුහුණු කිරීම ඒ ආයතනයෙන් කෙරිණි. එය විශ්වවිද්‍යාලයක් බවට පසුව පත් විය. කලායතනයක් විශ්වවිද්‍යාලයක් බවට පත්වීමට සිදුවිය යුතු යම් යම් වෙනස්වීම් තිබේ. ඒවා ඇතැම් අංශවලින් බෙහෙවින් සංකීර්ණය. ඒ සංකීර්ණතා ගැන එහි වසන ඇතැම් අයට අවබෝධයක්ද නැත. ඒ සංකීර්ණතා සහ අනවබෝධය ගැන ඒ විශ්වවිද්‍යාලය හා සම්බන්ධ එක්තරා ඇගයුම් කමිටුවක සේවය කළ මට පෞද්ගලිකවද දැනගන්නට ලැබිණි.
ඒ ආයතනයට එලෙසම පවතින්නට හැර එම විෂය හා සම්බන්ධ දියුණු පීඨයක් කොළඹ විශ්වවිද්‍යාලය වැනි තැනක ආරම්භ කළේ නම් සමහර විට වඩා උචිත වන්නටද ඉඩ තිබිණි.
කලායතනයකින් ශිල්පීන් පුහුණු කරන අතර විශ්වවිද්‍යාලයකදී අදාළ විෂය පිළිබඳ ඥාන පද්ධතිය ආශ්රිත පර්යේෂණද කළ යුතුය. ඒ ඥානය පැවතිය යුත්තේ ඇයි? පවතින ලෙසටම පැවතියහොත් ප්‍රමාණවත්ද? වෙනස් විය යුතුද? ආදී ප්‍රශ්න ඇසිය යුතුය. කලායතනයක් සාම්ප්‍රදායික කලා සම්ප්රදායක් ගුරුවරයාගෙන් ශිෂ්‍යයාට පවරා දෙන දෙන අතර විශ්වවිද්‍යාලයක් ඒ කලා සම්ප්රදාය ඇසුරින් නව නිර්මාණද කරයි. කලායතනයක් විෂයක ශිල්පීය ප්රාගුණ්යය හඹා යන අතර විශ්වවිද්‍යාලයක් ඒ විෂය මානව ශාස්ත්‍ර විෂය ධාරාවේ තිබිය යුත්තේ මන්ද යන දාර්ශනික ප්‍රශ්නයටද මුහුණ දෙයි. කලායතනයක් පරම්පරාවෙන් පරම්පරාවට එන ශිල්පය සංරක්ෂණවාදී රැකගෙන එයි. එය ඒ ශිල්පය හා සම්බන්ධ ඓතිහාසික මානයයි. විශ්වවිද්යලායක් ඒ ශිල්පය දෙස සමකාලිකව බලා ඒ ශිල්පය තවත් ශිල්ප සහ අනෙක් සංස්කෘති අතර ඇති සම්බන්ධතා තුලනාත්මකව ගවේෂණය කරයි. එසේම විශ්වවිද්‍යලයක් තුළ යම් විෂයයක් පිළිබඳ ප්රාගුණ්යයක් ඇති පුද්ගලයාට ඒ විෂය ඉක්මවා පරිවාර විෂය සමග සංවාද කිරීමේ කුසලතාව තිබිය යුතුය.
නිදර්ශනයක් මෙසේය: චිත්‍ර කලාව තුළ විශේෂ පාගුණ්යය සහිත කෙනෙකුට සෞන්දර්ය දර්ශනය, සාහිත්‍ය න්‍යාය, පශ්චාත් යටත් විජිත න්‍යාය, දේශපාලන න්‍යාය ආදී පරිවාර විෂයයන් හා සම්බන්ධ කතිකාවනටද යම් බරසාරකමකින් මැදිහත්වීමේ හැකියාව තිබිය යුතුය. මේ හැකියාව ලැබෙන්නේ හොඳ විශ්වවිද්‍යාලයක ඉහළ මට්ටමේ ආචාර්ය උපාධියක් හොඳින් හැදෑරීමෙනි. ‘නිකම් සහතිකේ ගැනීම’ ඉක්මවා ආචාර්ය උපාධියක් හැදෑරීමෙනි.
කලායතනයක සිට විශ්වවිද්‍යාලයක් දක්වා සංක්‍රමණයේදී සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයට ඉහත ආකාරයේ විද්වතුන් බිහිකර ගැනීම පහසු වූයේ නැත. මහාචාර්ය සරත් චන්ද්‍රජීව, මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර වැනි කිහිපදෙනෙකු පමණක් අපේ මතකයට එන්නේ එහෙයිනි. අර කලායතන යුගයෙහි ඒ ඒ විෂයෙහි ප්‍රවීණ පිරිසක් බිහිවූහ. ඔවුහු ඒ ඒ විෂයට විශාල සේවයක්ද කළහ. අද විශ්වවිද්‍යාලයක් බවට පත්ව ඇති ඒ ආයතනයෙහි පදනම දැමීමට එකී විද්වතුන් කළ සේවයද අතිමහත්ය. ඔවුන්ගේ යම් යම් සීමා ඇති නම් ඒවා සියල්ලටම ඔවුන්ම පමණක් වගකිව යුතු නැත. ඔවුන්ගේ සීමා යනු ඔවුන්ට පුහුණුව සැපයූ ආයතනයෙහි ස්වභාවය අනුව ඇති වූ සීමාද වේ.
“විශ්වවිද්යාලමය නොවන”
එම විශ්වවිද්‍යාලයෙහි “විශ්වවිද්යාලමය නොවන” ලක්ෂණ එන්නේ එහි කලායතනමය ඉතිහාසයෙන් පමණක් නොවේ. එය ආයතනය “විශ්වවිද්‍යාලයක්” සේ පිහිටුවීමෙන් පසුව බඳවාගත් බොහෝ දෙනෙක්ද ඉහත කී සැබෑ අර්ථයෙන් විශ්වවිද්‍යාල ඇදුරන් වීමේ සුදුසුකම් සපුරා තිබේද? තමන්ගේ විෂය කුමක්ද? එම විෂයෙහි තමන්ගේ ප්‍රවීණතාව කුමක්ද? එම විෂයෙහි වර්ධනයට තමන් කර ඇති දේ මොනවාද? යනාදී ප්‍රශ්නවලට සාර්ථකව මුහුණ නොහැකි අය එම ආයතනයෙහි “විශ්වවිද්‍යාලය යුගයෙහිද” බිහිව නොසිටීද? ඒ ඇතැම් දෙනෙකු අද සෞම්යවාදී වියහැකි වුවත් ඔවුන් නියම විශ්වවිද්‍යාල ඇදුරන් නොවන බව මහාචාර්ය ලියනගේටද පෙනී යා යුතුය.
මේ සියල්ල සඳහන් කළේ මහාචාර්ය සෞම්‍ය ලියනගේ මැදිවී ඇති ඉතිහාසයෙහි සංකීර්ණතාව පැහැදිලි කිරීමටය. පසුගිය කාලය තුළ එම විශ්වවිද්‍යාලයෙහි “විශ්වවිද්යාලමය” ලක්ෂණ ගොඩනැගීමට මහාචාර්ය ලියනගේ බෙහෙවින් වෙහෙස වූ බවට බැහැරින් බලන අපට පෙනේ. ජාත්‍යන්තර සම්මන්ත්රණ, පර්යේෂණ සැසි ආදිය එහි පැවැත්විණි; පර්යේෂණ ව්‍යාපෘති පැවැත්විණි. පර්යේෂණ පත්‍රිකා පළ විය. ජාත්‍යන්තර විශ්වවිද්‍යාල සමග අවබෝධතා ගිවිසුම් අත්සන් කෙරිණි. නූතන සිංහල නාට්‍ය කලාවේ නව යුගය ඒ විශ්වවිද්‍යාලයෙන් බිහිව ඇති බව ඇඟවෙන ප්‍රකාශද නිකුත් කෙරිණි ! මේ සියල්ල සිදුවන්නේ ආයතනයක් පරිවර්තනය වූකලි තම ජීවිතය යැයි සිතා මහාචාර්ය ලියනගේ එහිලා කැප වූ බැවිනි.
ඉතා දක්ෂ නළුවෙකු වූ සෞම්‍ය ලියනගේ නාට්‍ය වේදිකාවට වඩා පර්යේෂණ පත්‍රිකා ඉදිරිපත් කරන පෝඩියම ළඟ සිටීමට අභිරුචියක් දක්වන බවද පෙනිණි; පන්ති කාමර ඉගැන්වීමට සහ මහජන සංවාදයට වඩා ඉදිරියෙන් නාමපුවරුව තබාගත් නිලධාරිමය රැස්වීමට කැමැත්තක් දක්වන බව පෙනිණි. ඔහුගේ මේ පරිවර්තනයටත් හේතුව ඒ විශ්වවිද්‍යාලය පරිවර්තනය කිරීමෙහිලා ඔහුගේ කැපවීම යැයි මම සිතමි.
සෞන්දර්ය විශ්වවිද්‍යාලයද එවැන්නෙකු බිහි කරගැනීමට අවශ්‍යව පැවති බවද ඉතිහාසයෙන් පෙනේ. සෞම්‍ය ලියනගේ නම් තරුණ කථිකාචාර්යවරයා බැඳුම්කර ගිවිසුමකින් බැඳ ලා ට්‍රෝබ් විශ්වවිද්‍යාලයට යවන්නේ එවැනි විශ්වවිද්යලායකින් ලැබෙන පුහුණුව තමන්ට අවශ්‍ය යැයි සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය එකල සිතූ බැවිනි. එදා ඒ විශ්වවිද්‍යාලයට අවශ්‍ය වූයේ යම් ශිල්පීය පුහුණුවක් පමණක් ඇති කෙනෙකු නම් සෞම්‍ය ලියනගේ මහනුවර සරස්වතී කලායතනයට එවන්නට ඉඩ තිබිණි. එයින්ද හොඳ පුහුණුවක් ලැබේ. එහෙත් ලා ට්‍රෝබ් පුහුණුව සහ සරස්වතී කලායතනයෙහි පුහුණුව එකක් නොව දෙකකි. එදා සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයෙහි පාලන අධිකාරියට අවශ්‍ය වී ඇත්තේ සරස්වතී වර්ගයේ පුහුණුවක් නොව ලාට්රෝබ් වර්ගයේ එකකි. එසේ නම්, දැන් එම විශ්වවිද්‍යාලයේම පාලක සභාව මහාචාර්ය ලියනගේ සේවයෙන් පහ කරන්නේ තම ආයතනය පිළිබඳ ඔවුන්ට කලෙක තිබූ දැක්මද අත්හැර දමන නිසාද?
මට සිතෙන හැටියට නම් සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයට සෞම්‍ය ලියනගේ ලැබූ වැනි පුහුණුවක් සහිත අය තවත් අවශ්‍ය වේ. අපේ රටේ කවර විශ්වවිද්‍යාලයේත් මානව ශාස්ත්‍ර විෂයධාරාවලට එවැනි පුහුණුව සහිත අය බොහෝ දෙනෙකු අවශ්‍ය වේ. සෞන්දර්ය විශ්වවිද්‍යාලයට එවැන්නන් සිටින්නේ ටික දෙනෙකි. ඉනුත් කෙනෙකු අයින් කර ගැනීම අවශ්‍ය යැයි ඒ විශ්වවිද්‍යාලය සිතන්නේ නම් එසේ වන්නේ තමන් කොතැනින් කොතැනට සංක්‍රමණය වෙමින් සිටින්නේදැයි ඒ ආයතනයට අමතක වීම නිසාය.
මෙවැනි වැදගත් සංක්රමණීය අවස්ථාවක පසුවන ආයතන මානවශාස්ත්ර අධ්‍යාපනය ගැන කිසිම අවබෝධයක් නැති නිසි බලධරයෙකුට අතට පත් කිරීම මුග්ධකමකි. “නිසිබලධරයා” යනු නිලබලතන්ත්රමය තනතුරකි. අවශ්‍ය වන්නේ චින්තන-පරිකල්පනය ශක්තිය ඇති කෙනෙකි.
(2020 ඔක්තෝබර් 17 දින, අනිද්දා පුවත්පත)
කාලීනව ඉතා වැදගත් සංවාදයක් ඇති කිරීමට අවශ්‍ය පසුබිම සකසන වටිනා ලිපියක්.. බොහොම ස්තූතියි මහාචාර්යතුමනි!!
ReplyDeleteGreat ....!
ReplyDeleteඉතාමත් ප්‍රායෝගික ලියවිල්ලක් සර් 🙏
ReplyDelete