Tuesday, October 13, 2020

රසිකයා අවදිව තැබිය හැකි නොනිදන රැය - ලියනගේ අමරකීර්ති

 




තිඹිරියාගම බණ්ඩාර යනු ඉතා මිහිරි ලෙස සිංහල ගද්‍ය ලියන ලේඛකයෙකි. මේ බව කලින්ම දැන සිටි මා ඔහුගේ නොනිදන රැය නවකතාව මහනුවර පොත්කඩවලට එනතුරු බලා උන්නේ ඉතා නොඉවසිල්ලෙනි. නවකතාවක් විදියට එය කවරක් වුවද රසවත් සේ ලියවුණ සිංහල ගද්‍යය ඒ කෘතියෙහි හමුවන බව නම් මම කලින්ම දැන සිටියෙමි. 

    රසවත් ගද්‍යය කියවීම සඳහා යම් නවකතාවක් එනතුරු බලා සිටීම නවකතා කලාව සම්බන්ධයෙන් වැරදි අපේක්ෂාවකි. නවකතාවක බස යනු නවකතා කලාවෙහි ආඛ්‍යාන ව්‍යූහයට අයිති බොහෝ කරුණු විසින් තීරණය වන්නකි. නවකතාවේ කථකයා කවුද, නවකතාවේ පසුබිම කුමක්ද, එහි එන යථාර්ථ තලය කුමක්ද, එය යම්කිසි උපශානරයකට අයත්ද යනාදී නොයෙක් දේ එහිලා බලපායි. තම කතාව කියන්නට කථකයෙකු තෝරා ගැනීම කතාකරුවාගේ නිර්මාණශීලීත්වයේ එක් ප්‍රධාන අංගයකි. අවුරුදු දහයක ළමයෙකු වැඩිහිටි ලෝකය දකින හැටි කීම සඳහා ඒ වයසෙහි කථකයෙකු තෝරාගතහොත් කථකයාගේ භාෂා ශෛලිය, එය කියන තානය යනාදිය ඊට ගැලපෙන සේ යෙදිය යුතුය. නවකතාවේ ඓතිහාසික හෝ සමාජීය පසුබිම අනුවද එය ලියවෙන භාෂාව වෙනස් වේ. නවකතාවක යථාර්ථ තලය යනු එය කීමේදී කථකයා බාහිර යථාර්ථය පිළිබඳව දරණ සම්බන්ධය කුමක්ද යන්නයි. බාහිර ලෝකය උමතු වූවෙකු දකින්නාක් මෙන් දකින කථකයෙකු වැඩ කරන යථාර්ථ තලය බාහිර ලෝකය බරපතල තාර්කික මිනිසෙකු සේ දකින කථකයෙකු වැඩ කරන යථාර්ථ තලයට වඩා වෙනස් විය යුතුය. දක්ෂ ලේඛකයෝ තම කථකයා ක්‍රියාත්මක වන යථාර්ථ තලය හොඳින් සැලසුම් කර එය පාඨකයාට සලකුණු කර දක්වති. මරියෝ වර්ගාස් යෝසාගේ තරුණ නවකතාකරුවෙකු වෙත(විජේසූරිය ග්‍රන්ථ 2006) කෘතියේ මේ සංකල්පය පිළිබඳ හොඳ සාකච්ඡාවක් එයි. නවකතාව යන රචනා විධියේ විවිධ උපශානර(ිSub genre) ඇත. අපරාධ කතා, ආදර කතා, රහස් පරීක්ෂක කතා, යෞවන නවකතා, කලවයස එළඹීම පිළිබඳ කතා යනාදී වශයෙන් නවකතාවල උපශානර තිබේ. ඒ ඒ උපශානරයේ ස්වභාවය අනුවද භාෂාව වෙනස් වෙන්නට පුළුවන. රහස් පරීක්ෂක නවකතාවට ආවේනික භාෂා ශෛලියක් තිබිය හැකි සේම ආදර කතාවට උචිත ශාලා ශෛලියක් ඇත. ඒ නිසා යම් නවකතාවක භාෂාව එම නවකතාවට ගැලපේද යන්න සලකා බැලිය යුත්තේ නවකතාවේ කලාවට ආවේනික ඉහත කී අංග  (එවන් තවත් අංග ඇත) අනුවය.


    ඒ නිසා රසවත් සේ ගද්‍ය ලියන නිසා තිඹිරිගේ නවකතාව කියවන්නට අපේක්ෂාවෙන් සිටීම වැරදි වැඩක් බව මම දනිමි. එහෙත් නවකතාව කියවීම පටන් ගන්නා විටම ඔහු ලියන ශෛලිය හා ඔහුගේ කතාවේ අනෙක් අංග මනාව පෑහී තිබෙන බව මට පසක් විය. මා මේ නවකතාව දකින්නේ කල වයස එළඹීම පිළිබඳ නවකතාවක් ලෙසය. කල වයස එළඹීමේ නවකතාව නම් උපශානරයෙන් සාමාන්‍යයෙන් කෙරෙන්නේ ගැටවරයෙකු ළමා වියට නැත්නම් නොමේරූ වියට ආවේනික ළාමකකම් සමග ලෝකය සමග ගැටී ජීවිතය, ආදරය, දේශපාලනය හෝ අන් යමක් සම්බන්ධයෙන් එක්තරා වැඩිවිය පත්වීමකට පත්වීමයි. ඒ ප්‍රධාන චරිතයේ මුහුකුරායාම පාඨකයාටත් එක්තාරා පරිණතවීම පිළිබඳ අත්දැකීමක් සාදා දෙයි. 

   සුනිල් වයඹ පළාතේ වාරියපොල පෙදෙසේ ග්‍රාමීය නිර්ධන පවුලක පුතෙකි. ඔහු තමාගේම පවුලේ දුගීබව වෙත අවදි වෙන සැටි ඇසුරින් නවකතාව ආරම්භ වේ. අන් සියලු දෙනාට බත් බෙදාදී අම්මා නිරාහාරව නිදන සැටි පිළිබඳ රහස දැන ගැනීම යනු ජීවිතයේ තතු පිළිබඳ සුනිල්ගේ අවදිවීමයි. ඉන් පසු දිගින් දිගටම ජීවිතයේ විවිධ තතු වෙත ඔහුගේ ඇස් විවර වෙයි. සිය දෙමාපියන්ගේ ආදර ජීවිතය, ලිංගික ජීවිතයේ තතු, අක්කාගේ ප්‍රේමය, සුනිල් හා අප්පච්චී අතර ඊඩිපස් ආකෘතියේ සංකීර්ණ ගැටුම, ජීවිතයේ ඇති වන හිස් තැන් මිතුරන් විසින් පුරවනු ලබන සමලිංගික අනුරාගයෙන් යුතු දැඩි මිත්‍ර සම්බන්ධතා ආදිය අනුවේදනීය සේ චිත්‍රණය කෙරෙන නවකතාව ලංකාවේ ගමක හැදීම වැඩීම පිළිබඳ ළගන්නා නිරූපණයකි. එයි එන්නේ සේකරගේ තුංමංහන්දියේ හා උදයසිරි වික්‍රමරත්නගේ කිරි අම්මා කතාවේ වැනි නිස්කලංක ශෛලියකි; සුහද සිංහල ගැමි ජීවිතයකි. එහෙත් ඒ කෘති දෙකටමත් වඩා සිංහල ගැමි ජීවිතය ගැන මධ්‍යස්ථ හා නොඇලුණු බවක් නොනිදන රැයෙහි එයි.

    නාට්‍යමය කතා වින්‍යාසය හා සංකීර්ණ චරිත නිරූපණ සැලසුම් හෝ ආඛ්‍යාන කලාවේ අතිනවීන ශිල්ප ක්‍රම ආදිය කිසිවක් නැති මේ නවකතාව මෙතරම් මිහිරි කියවීම් අත්දැකීමක් වන්නේ ඇයි? එහිලා බලපාන කරුණු කීපයක් ඇතැයි මට සිතේ. එකක් නම් වයඹ පලාතේ ග්‍රාමීය දුප්පතුන්ගේ ජීවිතය වාස්තවිකකරණයටද සමාජවිද්‍යාත්මකකරණයට ලක් නොකර ඇතුළතින් නිරූපණය කිරීමේ හැකියාවයි. මෙය වූකලි අපේ ගම පිළිබඳ ආදරබර සේම විචාරාත්මක චිත්‍රණයකි. ඒ විචාරය ඇත්තේ ආදරයේ පතුළෙහි නිසා එය වියළි සමාජවිද්‍යාත්මක විචාරයක් නොව දයාබරත්වයේ තෙතමනය සහිත විවසුමකි. 

    තිඹිරියාගම බණ්ඩාර මෙහිලා භාවිත කරන අල්පෝක්තිමය ශෛලිය නවකතාවේ නිරූපිත ජීවිතයට ආකාර කිහිපයකින් සේවය කරයි. ඔහු ටිකක් කියා ගොඩක් අඟවන නිසා කීමට වඩා ඇඟවීම ප්‍රධානත්වය ගනියි. ඒ නිසා සිදුවීම් හා අවස්ථා පිළිබඳ කතුවර විශ්ලේෂණය අවමය. ඉන් සිදුවන යහපතක් නම් මෙහි නිරූපිත ගැමි ජීවිතය නාගරික උගතාගේ වාස්තවික තක්සේරුවට ලකම්ම සිදු නොවීමයි. ඒ ජීවිතය පිළිබඳ විවිධාකාරයෙන් දකින්ට පාඨකයාට ඉඩද ලැබේ. මේ අල්පෝක්තිය නිසා සිදු වන තව දෙයක් නම් ගම නම් අවකාශය රොමෑන්ටික්කරණය අවම කිරීමයි. එහෙත් කතුවරයා ගොඩ නගන ඇතැම් පුංචි අවස්ථා ගැන කප්පරක් සිතන්නට දේ ඉතිරි කරයි. ඒ නිසා මෙය ළමා ජීවිතය පිළිබඳ වැඩිහිටියන්ට ලියූ නවකතාවකි. ජීවිතය පිළිබඳ බරපතල අත්දැකීම් නැති ග්‍රාමීය ළමා විය ගැන ලියද්දී තෝරා ගත් සිදුවීම් ඉදිරිපත් කළ යුත්තේ කියන දේට වඩා යමක් ඈතට හා ගැඹුරට පෙනෙන ලෙසය. මෙය කළ හැක්කේ ඉතා දක්ෂ ලේඛකයෙකුට පමණි. 

මේ අහඹු ලෙස ගත් එක් තැනකි:

“බසයෙන් බැසගත් මම ඊ ළඟ බසය සොයා බැලුවෙමි. නෑටිය දක්වා සත විස්සක දුර බසයෙන් ලොස් ඇස්සැද්දුමට සැතපුමක් පයින් යා යුතුය. මුළුදුර සැතපුම් පහකි. නෑටිය පාරෙහි එක ම එක බසය කැඩී ඇති හෙයින් එදින මිනිසුන්ගේ ගමන පයින් ම ය. මම ඔවුන් සමඟ පයින් ගමන අරඹීමි.

අම්මා දුන් රුපියලෙන් සත දහයක් මා අත ඉතුරුව ඇත.

නෑටිය හන්දියේ කඩයෙන් සත දහයක සීනි බෝල ගත් මම ඒවා ගණන් කර බැලුවෙමි. සීනි බෝල එකොළහක් තිබිණ. “මුදලාලි එකක් වැඩිය ඇවිත්” මම කීවෙමි.

“ආ එහෙමද? කමක් නෑ. ඔයා හොඳ ළමයෙක්. ඔයා ඒක ගන්න!”

සීනි බෝලය කටේ දමා ගත් මම ගෙදරට එන විට අම්මා සුදු එළදෙනට අලුත් කඹයක් දමමින් සිටියාය. මල්ලී පිදුරු ගොඩට නැග ආපසු බිමට පනියි.


මම දිවගොස් ඔහුට සීනි බෝල දුනිමි. (පි. 48).


අම්මා සුදු එළදෙනට අලුත් කඹයක් දැමීමත් මල්ලී පිදුරු ගොඩ නැග බිමට පැනීමත් වැකකි දෙකකින් කියන ලේඛකයාට මේ ගැමි ජීවිතයේ සන්සුන් බව හා රිද්මය සුන්දර සිනමාත්මක චිත්‍රයක් මවන්නට හැකි වෙයි. තාමත් ධනේශ්වර ක්‍රමය විසින් සපුරා විනිවිද නැති ග්‍රාමීය ජීවන අවකාශයකි මේ. මේ සුදු එළදෙන භාවිත වන්නේ එම ජීවිතය පිළිබඳ සංකේතයක් ලෙසය. නවකතාව අගදී මේ සුදු එළදෙන මස් කඩකාරයට විකුණනු ලබන්නේ සුනිල්ගේ අක්කාට මැරපෙරදිගයාමට සල්ලි හොයා ගන්නටය. ප්‍රාග්ධනයේ තර්කනය විසින් සුණුවිසුණු කෙරෙන ග්‍රාමීය ජීවිතය පිළිබඳ කතුවරයා හෙළන දෘෂ්ටිය මේ නවකතාවේ ශෛලිය තරම්ම නොඇලුණු හා මැදහත් එකකි. ප්‍රාග්ධනය හා වෙළඳාම සුනිල්ගේ ජීවිතය විනාශ කරන්නක් නොව ඔහුට ආර්ථික හා කාරක ශක්තිය ලබා දෙන්නකි. සුනිල්ට දුගීබාවයෙන් ගොඩ ඒමටත් ශක්තිමත් පෞරෂයක් ඇත්තෙකු ලෙස ගොඩ නැගීමටත් උපකාර කරන්නේ ඔහුට රැකියාවක් ලබා දෙන ව්‍යාපාරිකයෙකි. ඒ ව්‍යාපාරික ශ්‍රී ලාංකික සංස්කෘතියෙහි හෝ පොදුවේ විශිෂ්ට මානව සංස්කෘතියෙහි එන යහපත් ආචාරධර්ම ස්වීකරණය කරගත් ව්‍යාපාරිකයෙකු මිස ප්‍රාග්ධනයේ සුවච කීකරු හා නිර්දය උපකරණයක් නොවේ. දුප්පත්කමද ධනවත්කමද (ප්‍රාග්ධනයද) මැදහත් සිතින් නිරූපණය මේ නවකතාවේ තවත් විශිෂ්ට ලක්ෂණයකි. 


      මෙම පොත ලියා ඇති සරල භාෂා ශෛලියද එහි එන දැනුවත් අල්පෝක්තියද නිසා මෙම කෘතියෙහි පෘෂ්ටීය වියමන හෙවත් මතුපිට භාෂාවේ හා ශෛලියේ ස්වභාවය එහි තේමාත්මක අභ්‍යන්තර පඨිතයට කරන දායකත්වය කෙනෙකු නොදකින්නට ඉඩ ඇත. ඒ නිසා මෙය ඉතා අර පරස්සමින් කියවිය යුතු කෘතියකි. එය අරපරිස්සමින් ලියනු ලැබ ඇති බැවිනි.

    නවකතා ලිවීමේ එකම හෝ හොඳම ශෛලිය මෙය යැයි මම අදහස් නොකරමි. මීට වඩා වෙනස් තේමාත්මක අවශ්‍යතාවක් සඳහා වාග් ප්‍රකාශනය අතින් මීට වඩා අලංකාරගත කරන ලද භාෂා ශෛලියක් උචිත වන අවස්ථා ඕනෑ තරම් ඇත. එහෙත් මේ නවකතාවේ කියන දේ කියන්නට වඩාම උචිත බස හා ශෛලිය කතුවරයාට හසු වී තිබේ.  

   නවකතා කලාවේ තවත් ආඛ්‍යානමය අංග වන චරිත නිරූපණය, තේමාත්මක මුවහත, කතාවෙන් මතු කරන තේමාත්මක ඓතිහාසික මානය ආදිය අතින් මේ නවකතාවට තවත් වර්ධනය වන්නට ඉඩ තිබිණ. එහෙත් ඉතා විශිෂ්ට විචාරකයෙකුටවත් නැවත විස්තර කළ නොහැකි මිහිරක් මේ නවකතාවේ ඇත. එවන් කෙනෙකු තමා සමාන්‍ය විචාරකයෙකු වත් නොවන මම ඒ කෘතිය නැවත වරක් කියවීමට සිතාගෙන මේ සටහන නිමා කරමි.

    (මෙම ලිපිය 2012 වර්ෂයේදී දිවයින පුවත්පතෙහි පළ විය)

No comments:

Post a Comment