Wednesday, October 14, 2020

අන්තවාදී ව්‍යාපාරවල අභ්‍යන්තරය වටහා ගැනීම සහ විචාරාත්මක පරීක්ෂාව - ලියනගේ අමරකීර්ති

 


ඇමරිකාව ඇෆ්ඝනිස්ථානය ආක්‍රමණය කළේ එහි ප්‍රජාතන්ත්‍රවාදය පිහිටු වන බව කියමිනි. තලිබාන්වරුන් යටතේ ස්ත්‍රීන්ට හිමිව තිබූ පීඩිත තත්වයෙන් ස්ත්‍රීන් මුදා ගැනීමත් ඇෆ්ඝනිස්ථාන්යේ මානවහිමිකම් තත්ත්වය ඉහළ දැමීමත් ඒ ආක්‍රමණයට හේතු සේ දැක්විණ. එහිලා තලිබාන් රිජීමය විනාශ කිරීම අවශ්‍ය බව තර්ක කෙරිණ. ඒ ආක්‍රමණයෙන් සිදු වූ විනාශය අතිවිශාලය. ජිවිතද දේපොළද විනාශ විය. සංස්කෘතියද විනාශ විය.

නේපාලයෙන් පළවන හිමාල් සඟරාව 2014 වර්ෂයේ පළමු කලාපය වෙන් කළේ නව ඇෆ්ඝනිස්ථානය වටහා ගැනීම පිණිසය. එම කලාපයේ පළ වන ලිපි හුදෙක් දේශපාලන විග්‍රහයන් පමණක් නොවේ. මෑත කාලයේ ඇෆ්ඝනිස්ථානයෙන් පහළ වු සාහිත්යික රචනාද එහි අඩංගු වේ. දශක ගණනාවක සිට දේශපාලන අර්බුදවලටත් ගෝලීය බලවතුන්ගේ ආක්‍රමණවලටත් ඇෆ්ඝනිස්ථානය ගොදුරු විය(සෝවියට් දේශයද හැත්තෑව දශකය අගදී ඇෆ්ඝනිස්ථානය ආක්‍රමණය කළේය). විදේශීය බලවතුන්ගේ අතපෙවීම්වලට විරුද්ධව දේශීය වශයෙන් සීමාන්තික ප්‍රවණතා ඇති විය. දේශීය සීමාන්තිකයෝද රටෙහි ප්‍රජාතන්තවාදී ව්‍යූහය අතිශයින්ම දුර්වල කළහ. මේ අතර මේ දෙගොල්ලම ඇෆ්ඝනිස්ථානයේ විනාශකයෝ බව වටහා ගත් බොහෝ පිරිසක් එරට සිටියහ. එහෙත් ඔවුන්ගේ කටහඬට ඉඩ තිබුණේ නැත. විචාරාත්මකව කරුණු වටහා ගත් අය මුලින්ම නිහඬ කෙරිණ. ඒ පිරිස දුර්වල වූ කල අන්තවාදයන්ට රජ කරන්නට ඉඩ ලැබිණි.

දැන් ඇෆ්ඝනිස්ථානය දේශපාලන ආර්ථික වශයෙන් දුර්වල වී ඇතත් මධ්‍යස්ථ මතධාරී කටහඬවල් යළි මතු වෙමින් පවතී. අධිරාජ්‍යවාදයටත් ආගමික මූලධර්මවාදයටත් විරුද්ධ අදහස්ද යන්තමින් හෝ මතු වේ. සාහිත්‍යය මේ අදහස් හා හැඟීම් ප්‍රකාශනයේ ප්‍රධාන මාධ්‍යයක් වී තිබේ. 

ඊටත් වඩා සිත්ගන්නා දේ නම් තලිබාන් දෘෂ්ටිවාදයට පක්ෂපාත අය හෝ විවිධ හේතු නිසා තලෙයිබාන්වරුන්ට කැමති වූ අය හෝ තලෙයිබාන් සාමාජිකයන්ව සිටි අය හො ලියූ සාහිත්යික හෝ නිර්-සාහිත්යික රචනායි. එරට භාෂා හොඳ හැටි කතා කළ හැකි විදේශිකයන් දෙදෙනෙකු සංස්කරණය කළ පොයටි්‍ර ඔෆ් ද තලිබාන් කෘතිය මෑතකදී ලෝකයේ පැවති අතිශය දරුණුද සීමාන්තිකද වූ ව්‍යාපාරයක විඥානය වටහා ගැනීමට උදව්වේ. 

තලිබාන් යනු හිතක් පපුවක් නැති මිනීමරු කණ්ඩායමකිය යන්න ලෝකයේ ඇති සාමාන්‍ය විශ්වාසයයි. එවැන්නවුන්ට කවිය ගැන අදහසක් තිබිය හැකියැයි පවා අපට සිතෙන්නේ නැත. ඔවුන් කළ දරුණු අපරාධ ගැන අමතක නොකළ යුතු බව ඇත්තය. එහෙත් ඔවුන් නිර්මානුෂිකකරණය නොකර ඔවුන්ගේ විඥානය වටහා ගැනීමට අපට මේ කවි උපකාර වේ. මේ ඇතැම් කවි ඕනෑම ප්‍රජාවක් ලියන්නට ඉඩ ඇති කවි වැනිය. ඇතැම් කවි තලිබාන් ප්‍රචාර පත්‍රිකා වැනිය. කාව්‍ය සාහිත්‍යාදිය පිළිබඳ දීර්ඝ ඉතිහාසයක් පැවති ප්‍රජාවන් ගණනාවක් විසූ ඇෆ්ඝනිස්ථානය බාහිරෙන් එන අධිරාජ්‍යවාදයේත් ඇතුළතින් එන ආගමික අන්තවාදයන්ගේත් ගොදුරක් වූයේ කෙසේද යන්න වටහා ගැනීමේදී ඒ ඒ ප්‍රජාවේ අභ්‍යන්තරික භාවමය ලෝකය දැක ගැනීම ප්‍රයෝජනවත්ය. 

තලිබාන් නායකත්වයේ සිටි හෝ ඒ නායකත්වයට සමීපව සිටි අයගේ මතක පොත් සහ ස්වයං-චරිතාපදානද දැන් දැන් පළ වේ. මේ ස්වයං-චරිතාපදාන දැන් දැන් පළ වීමට පෙර බොහෝ දෙනෙකු තලිබාන් ව්‍යාපාරය වටහා ගැනීමට කළේ පිටස්තර පුද්ගලයන් ඒ ව්‍යාපාරය ගැන ලියූ දේ කියවීමයි. විලියම් මලේගේ ෆන්ඩමෙන්ටලිස්ම් රිබෝර්න්(1998) හෙවත් මූලධර්මවාදය යළි උපදිය කෘතිය එවැන්නකි. අහ්මඞ් රශීඞ් ලියූ තලිබාන්(2001) තව එකකි. මෙම කෘති තලිබාන් ව්‍යාපාරය තේරුම් ගැනීමට බොහෝ අය විසින් භාවිත කෙරිණ. එමගින් ඇති වූ වැරදි වැටහීම්ද ඇත. විශේෂයෙන් අල්කයිඩා සහ තලිබාරන්වරුන් අතර සම්බන්ධය එසේ වැරදියට වටහා ගැනුණකි. ඒ ව්‍යාපාර දෙක අතර වූයේ ගැටුම්කාරී සම්බන්ධයක් වුවද ඇමරිකාව ප්‍රමුඛ ආක්‍රමණිකයෝ ඒ දෙකම එකක් යැයි සැලකූහ. තවත් වරදක් නම් තලිබාන් ව්‍යාපාරයේ සමස්ත චින්තනය ජියාඞ්වාදයට අනුගත යැයි සැලකීමයි. ජිහාඞ්වාදය යනුවෙන් සාමාන්‍යයෙන් හැඳින්වෙන්නේ ඉස්ලාමීය ආගමික දේශපාලන කටයුතු වෙනුවෙන් සන්නද්ධව අරගල කිරීමයි. ජිහාඞ් යන අරාබි වචනයද අරගලය යන අරුත ඇත්තකි. එහෙත් මුස්ලිම්වරුන් සංවිධානය වන සෑම තැනක්ම ජිහාඞ්වාදය ඇති තැනක් යැයි දැකීම ඇමරිකාව ප්‍රමුඛ බටහිර අධිරාජ්‍යවාදීන්ගේ දැක්මකි. මේ නිසා ඇෆ්ඝන්වරුන් විසින්ම ලියන ලද ලේඛන මතු වී ඒම වැදගත් වර්ධනයකි.

හිටපු සහ දැනටත් සිටින තලිබාන්වරුන් තමන්ගේ අත්දැකීම් හා ජීවන විත්ති ලේඛන ගත කිරීමට දැන් දැන් පටන් ගෙන ඇත. යසිෆ් නමැති මුල්ලාවරයෙකු විසින් ලියන ලද මයි ලයිෆ් විත් ද තලිබාන් එවැනි කෘතියකි. යසිෆ් දරුවා කන්දහාර් ප්‍රදේශයේ දුප්පත් පවුලක උපන්නේය. ඔහු ඉතා ළාබාල වියේදී දෙමාපියෝ මිය ගියහ. ඉන්පසු 1979 දී සෝවියට් දේශය ඇෆ්ඝනිස්ථානය ආක්‍රමණය කළේය. ඒ නිසා පාකිස්ථානයට පලා ගිය ඔහුට 1983 දී සිටම අවිගත් සටනෙහි යෙදෙන්නට සිදු විය. ඔහු නැවත ඇෆ්ඝනිස්ථානයට පැමිණ සන්සුන් දිවියක ගෙවන්නට පටන් ගත්තද සෝවියට් හමුදා පිටව ගිය තැන් සිට විවිධ ගෝත්‍ර අතර සටන් ඇති විය. ඒ නිසා 1994 දී තලිබාන් ව්‍යාපාරය ආරම්භ කිරීම දක්වා වර්ධනය වූ සාකච්ඡාවලට ඔහුද ඇදී ගියේය. ඇමරිකානු ආක්‍රමණය  සිදුවන විට ඔහු පාකිස්ථානයේ ඇෆ්ඝන් තානාපතිවරයා විය. 2002 ඇමරිකානු අත්අඩංගුවට පත් වූ ඔහු අවුරුදු හතරමාරක් සිරබාරයේ සිටියේය.

තම රට තමන්ට හැකි පමණින් ගොඩනගන්නට තැත් කළ තරුණ පිරිසකට වැරදුණු තැන් ගැන අපූරු තොරතුරුද මේ පොතේ එයි. අවවරප්‍රසාදිත සමාජ පසුබිම්වලින් එන වැඩිමනත් අධ්‍යාපනයක්ද නැති තරුණ පිරිසක් තමන්ට තේරෙන හැටියට රටක් කරන්නට යාමේදී ඔවුන්ට පහසුවෙන් ලබා ගත හැකි ආගමික අන්තවාදී මතවාදවලට ගොදුරු වීමේ සංකීර්ණ කතාව මේ පොතෙහි අඩංගු වේ. මෙවැනි තවත් පොත් කීපයක් ගැන හිමාල් සඟරාව සාකච්ඡා කරයි.

පීඩිත පසුබිම්වලින් එන තරුණ පිරිස් දේශපාලනිකව ක්‍රියාකාරී වන්නේ තම සමාජ වෙනස් කිරීමටය. එය හොඳ දෙයකි. එවැනි පිරිස් සමග විචාරාත්මකව ගැටෙමින් ඔවුන් දැනුමින්, චින්තනයෙන් හා භාවමය වශයෙන් වර්ධනය කිරීමට දායකවීම එම සමාජවල සිටින දැනුවත් පුරවැසියන්ගේ වගකීමකි. එය එවේලේම කළ යුතු වැඩකි. ඒ තරුණ පිරිස් අන්තවාදයන්ගේ ගොදුරු බවට පත් වූ පසු ඔවුන්ගේ “දැනුම” අභියෝගයට ලක් කිරීමට ඉඩක් ලැබෙන්නේ නැත. ඉන් පසු ‘දැනුම’ සපයන්නට තැත් කරන අයට සිදුවන්නේ ද්‍රෝහීන් සේ වෙඩිකා මිය යන්නටය. තලිබාන් යනු ලෝකයට පාඩමකි. එය දෙවරක් නූගත යුතු පාඩමකි. එහෙත් අප පාඩම ඉගෙනීම වෙනුවට කරන්නේ තලිබාන් චින්තන ආකෘතියේ සංවිධාන හැම සංස්කෘතියකින්ම පැන නැංවීමයි. 

ඇත්ත පුවත් පත- අගෝස්තු 10- 2014


No comments:

Post a Comment