Tuesday, December 1, 2020

සුජාතා අලහකෝන්ගේ "අපරාධය" සහ ලොකු ප්‍රබුද්ධයන්ගේ "අපරාධ" - ලියනගේ අමරකීර්ති

 

 

   


  ලේඛිකා සුජාතා අලහකෝන්ගේ පොතක තවත් පරිවර්තිත පොත් කිහිපයකින් ගත් වැකි හමු විය. ඇය ලේඛන චෞර්යට වැරදිකාරිය වූවාය. ඇයට ලැබුණු සම්මාන සහ මුදල් ත්‍යාගද ආපසු බාරදුන් බව කියවිණි. ඇගේ එක් නවකතාවක් වන නිහඬහඬ කෘතියට දිලිසෙන පෙරවදනක් ලියූ අනුරසිරි හෙට්ටිගේම ගොඩගේ සම්මාන කමිටුව වෙනුවෙන් ඇගේ අපරාධය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කළේය. නිහඬ හඬ මාද කියවූ අතර එය රසවත් පොතකි. එහිද අර ප්‍රශ්න ඇතිදැයි මා දන්නේ නැත. බොහෝ පුවත්පත් ඇගේ අපරාධය ගැන ලිපි හෝ අතිරේක පළ කළේය. දිවයින පුවත්පත ඒ ගැන අතිරේකයක්ම පළ කළ බව කියවුණද මා එය දැක්කේ නැත.

  සමාජ මාධ්‍යවල පළ වූ ඇගේ ලේඛන චෞර්ය පිළිබඳ නිදර්ශන දුටු මට ඇගේ අතින් වරදක් සිදු වූ බව පැහැදිලිව පෙනිණි.

  සමහර විට ඇය කිය වූ යමක් ගෙඩිය පිටින් වහා මතක හිටින කෙනෙක විය හැකිය. නැතිනම් ලියන විට පොත් කීපයක් පෙරළාගෙන හොඳ හොඳ තැන් තමන්ගේ ගද්‍ය වෙත ඇතුළත් කරන්නියකද විය හැකිය.





  එහෙත් ලේඛන චෞර්ය පිළිබඳ චෝදනා ලැබිය යුතු, ඒ නිසාම පිළිකුළට භාජනය විය යුතු තව බොහෝ අය වෙති.

  මහාචාර්ය සුචරිත ගම්ලත් ඒ අතින් අංක එකය. ඔහු අනුන්ගේ පොත් කීපයක්ම සිංහලට දමා තමන්ගේ නමින් පළ කළේය. මගේ කලාව සහ මිනිසා පොතෙහි පෙරවදනෙහි මම මෙසේ ලිව්වෙමි:

බටහිර සෞන්දර්ය විද්‍යා ඉතිහාසය ගැන ලියවුණු ප්‍රධානම කෘතිය හැටියට අද සිංහල භාෂාවෙන් කියවන්නට ඇත්තේ මහාචාර්ය සුචරිත ගම්ලත්ගේ නමින් පළ වී ඇති සෞන්දර්ය විද්‍යා ඉතිහාසය කෘතියයි. එය ප්‍රයෝජනවත් හැඳින්වීමකි. අපගේ ශිෂ්‍යශිෂ්‍යාවෝද එය භාවිත කරති.

    ඒ කෘතියෙහි කර්තෘ ලෙස මහාචාර්ය ගම්ලත්ගේ නම ශිෂ්‍යයන්ගේ පැවරුම්වල සඳහන් වන සෑම විටෙකම පාහේ මම තනිවම සිනාසෙමි. ඒ කෘතිය කලා න්‍යාය සම්බන්ධයෙන් විසි වෙනි සියවසෙහි මැද භාගයෙහි පමණ ප්‍රකටව සිටි ඇමරිකානු මහාචාර්යවරයෙකු වන මොන්රෝ බියර්ඞ්ස්ලිගේ Aesthetics from the classical Greece to the Present කෘතියෙහි පරිවර්තනයකි. 1966 දී පළ වූ බියර්ඞ්ස්ලිගේ කෘතියෙන් තැනින් තැන සුළු කොටස් අත් හැර පරිවර්තනය කරන මහාචාර්ය ගම්ලත් එය තමාගේ නමින් පළ කරයි. ඇමරිකානු නව විචාරක ගුරුකුලයට අයත් වියතෙකුගේ බුද්ධිමය ශ්‍රමය ලංකාවේදී මාක්ස්වාදී වියතෙකුගේ කෘතියක් බවට පත් වේ! මහාචාර්ය ගම්ලත් තවත් පොත් කිහිපයකටම මේ ඉරණම අත් කර දී ඇත. ඔහු ජීවත්ව සිටියදී මා වරක් ඔහුගෙන් මේ ලේඛන චෞර්ය ගැන විමසූ විට ඔහු එය පිළිගත් නමුත් මා හා වෛර බැඳ ගත්තේය. ජනප්‍රිය වමේ බුද්ධිමතෙකු ලෙස වාමාංශික අනුගාමිකයන්ද වමේ සහ දකුණේ පත්තර මිත්‍රයන්ද සිටි ඔහුට සෞන්දර්ය කලා පිළිබඳ අසීමිත ඥාණධාරී වියතෙකු සේ ප්‍රතිරූප නඩත්තුව පහසු විය.    මේ මහාචාර්ය බියර්ඞ්ස්ලිගේ පොතෙහි ආරම්භක ඡේදයෙන් කොටසකි: “Though we cannot say when men first began to reflect philosophically on the arts, we can get some glimpses of the stages that must have preceded the appearance of aesthetics in the full sense. For one thing, works of art, or the activities that produce them, would have to be distinguished, however vaguely, from other things. The generic concept of art might come later, but stories, or songs, or dances, for example, would have to be recognized as belonging to special classes, in virtue of their peculiar properties or a noteworthy sort of value. And this means that, at least on occasion, art objects would have to be spoken of – described and judged- in certain ways…” (Beardsley, Monroe C. Aesthetics from the Classical Greece to the Present. New York: Macmillan, 1966. P. 21.)

මේ මහාචාර්ය ගම්ලත් තම නමින් පළ කරන කෘතියෙහි ආරම්භක ඡේදයෙන් කොටසකි:

මිනිසුන් කලාකරුවන් හා කලා කෘති ගැන දාර්ශනික ආකාරයෙන් කල්පනා කිරීමට පටන්ගත්තේ කවදා දැයි දත නොහැකිය. එහෙත් පූර්ණ අර්ථයෙන් සෞන්දර්ය විද්‍යාව පහළවීමට පෙර කාලයේ පැවති සෞන්දර්ය චින්තා ගැන යම් හැඟීමක් ඇති කර ගත හැකිය. සෞන්දර්ය විද්‍යාව පහළවීම සඳහා ඊට පෙර කලා කෘති හෝ ඒවායේ නිෂ්පාදන ක්‍රියාකාරිත්වය හෝ වෙනත් දේවලින් යන්තමින් හෝ වෙන් වීම අවශ්‍ය වේ. කලාව යන ජාති නාමය පසුව පහළ විය හැකිය. එහෙත් කතා හෝ ගීත හෝ නැටුම් හෝ චිත්‍ර කර්මය හෝ එවැනි වෙනත් දෑ හෝ විශේෂ ලක්ෂණ හේතු කොට ගෙන වෙනම වර්ගයන්ට අයත් සේ හඳුනා ගැනීම අවශ්‍ය වේ. මෙහි අර්ථය වන්නේ ඇතැම් අවස්ථාලදී වත් කලා වස්තු ගැන එක්තරා ආකාරයකින් කතා බස් කිරීම හා නිගමනයන්ට එළඹීම අවශ්‍ය වේය යන්නයි...

  මෙය එතරම් විශිෂ්ට පරිවර්තනයක් නොවුණත් පරිවර්තනයකි. මහාචාර්ය ගම්ලත්ගේ මුළු පොතම අර පොත සිංහලෙන් කොපි කිරීමකි.

  අප මහාචාර්යවරයා කරන්නේ බියර්ඞ්ස්ලිගේ පොත බලාගෙන සිංහලෙන් ලිවීමක් නිසා සිංහල පාඨකයාට වූ එක්තරා යහපතක්ද ඇත. ඒ නම් බියර්ඞ්ස්ලිගේ දීර්ඝ වැකි සිංහල කතුවරයා අතින් සරල කෙටි වැකි බවට බිඳී පැමිණීමයි. එහෙත් එහිදී බියර්ඞ්ස්ලිගේ වැකිවල එන උපහාසය, උත්ප්‍රාසය සේම සංකීණත්වයද ඇතැම් තැනක නැතිව යයි.

   කෙසේ වෙතත් මහාචාර්ය ගම්ලත්ගේ මෙම බුද්ධිමය රොබින්හුඞ් වික්‍රමය නිසා සෞන්දර්ය ඉතිහාසය ගැන සිංහලයෙන් කියවන්නට යමක් අපට ලැබිණි! අර්වින් එඞ්මන්ගේ මෙම කෘතියද බියර්ඞ්ස්ලි සහ ගම්ලත් දෙදෙනාගේ අර කෘතිය සමග කියවීම වරදක් නැත.

                               

                                            නවකතා විවරණ

      මහාචාර්ය සරච්චන්ද්‍ර වික්‍රමසූරිය යනු ඉංග්‍රීසි අධ්‍යයන අංශයට සම්බන්ධව සිටි කෙනෙකි. ඔහු ලියූ නවකතා විවරණය පොත 1963 වසරේ පළ විය. එය එදා සිට අද දක්වා පාසැල් ගුරුවරුන් සහ ඇතැම් සරසවි ඇදුරන් නැවත නැවත උගන්වන පොතකි. එය බි්‍රතාන්‍ය මහාචාර්යවරියක වූ කැතරින් ලෙවර්ගේ The Novel and the Reader කෘතියට බෙහෙවින් ණයය. 1961 වර්ෂයේදී එංගලන්තයෙහි පළ වූ ඒ කෘතිය එම අවුරුද්දේ ඔක්තෝබර් මාසය වන විට විශ්වවිද්‍යාල පුස්තකාලයට එක් විය.

 මේ වික්‍රමසූරියගේ පළමු පරිච්ඡේදයේ පළමු වැකියයි: "නවකතා කලාව හැදෑරීමට පෙර, විචාරයට බැසීමට පෙර, නවකතාව යනුවෙන් හැඳින්වෙන්නේ කුමක්දැයි දැන සිටීම ප්‍රයෝජනවත් වෙයි."  

මේ කැතරින් ලෙවර්ගේ පළමු පරිච්ඡේදයේ පළමු වැකියයි:( “ Before we start consideration of the art of the novel, we should be sure we know what a novel is.”

    වික්‍රමසූරිය කරන්නේ ලෙවර්ගේ වැකිය පරිවර්තන කිරීම මිස අනිකක් නොවේ.

  මේ එන්නේ ඔහුගේ තවත් වැකියකි:

මේ නිසා නවකතා විචාරකයාගේ මූලික කාර්ය වන්නේ, තමාගේ විවේචනයට ලක්වන කෘතිය ඇත්ත වශයෙන්ම නවකතාවක් වන්නේද, නැද්ද යනන් තීරණය කර ගැනීමයි. මේ කාර්ය අප වැඩි දෙනා හිතන තරම් පහසු දෙයක් නොවේ.එය ලෙවර්ගේ පහත වැකිය හා සසඳා බලන්න. සිංහල වැකිය ඉංග්‍රීසි වැකියෙහි පරිවර්තනයකි: “His fist task is to be sure that the book in hand is in fact a novel at all. The nature of the novel being what it is, this task is more difficult than one might suppose

වික්‍රමසූරිය මෙසේ ලියයි:

නවකතාව යනු කුමක්ද යන්න තේරුම් ගැනීමට ඇති මූලික බාධකය නම් සාමාන්‍ය ව්‍යවහාරයේදී මෙම පදය සියලුම දීර්ඝ ප්‍රබන්ධ කථා (fiction) හැඳින්වීම සඳහා යොදා ගනු ලැබීමයි. එය ලෙවර්ගේ පහත වැකිය හා සසඳා බලන්න:

“The primary difficulty is that in common usage the word novel often denotes all types of book-length fiction.”

  එයද පරිවර්තනයකි. මේ කිසිම තැනක වික්‍රමසූරිය ඒ වැකි ලෙවර්ගෙන් ගත් බවක් සඳහන් කරන්නේ නැත. පාදක සටහන්වල ලෙවර් ගැන සඳහන් වන්නේ ඇගේ පොතින් යමක් සෘජුව ගෙන පරිවර්තනය කරන විට පමණි. එහෙත් සෘජුව නොගන්නා බව පෙන්වන බොහෝ තැන්වලදීත් වික්‍රමසූරිය කරන්නේ සෘජුව ගැනීම පමණි!

 ඒ පොතේ අනික් පරිච්ඡේදවලදී ඔහු ඊ. එම්. ෆෝස්ටර්ටද අර කී ලෙසම ණය ගැතිය. ඒ ගැන නිදර්ශන මෙහි ඇතුළත් කරන්නේ නැත.

  මෙවැනි ලේඛන චෞර්යමය කටයුතු විශ්වවිද්‍යාලවල නිතර සිදුවේ. උසස්වීම් පිණිස අයදුම්කරුවන්ගේ රචනා පරීක්ෂා කරන අයට මේවා හමුවන අවස්ථාද ඒවා ගැන දීර්ඝ වාර්ථා ලියන අවස්ථාද තිබේ. ඒවාට සිදුවන්නේ කුමක්දැයි මා දන්නේ නැත.

  වික්‍රමසූරිය යනු හුදු ලේඛන චෞරයෙකුම නොවේ. මෙවැනි න්‍යායික කරුණු සමහරක් සොරකම් කරන ඔහු දේශීය නිදර්ශන ඇසුරින් එවකට පැවති සිංහල නවකතා ගැන අගය කළ යුතු සාකච්ඡාවක් කරයි. නවකතා කලාව අධ්‍යයනයට සිංහල පොතපත නැති කාලයක ඔහු කළ සේවය අමිලය. 

   එහෙත් සුජාතා අලහකෝන්ට එල්ල වූ චෝදනාව ඔහු වෙත කෙලෙසකවත් එල්ල වී තිබේද? ඇය කොළඹින් බැහැර වසන ස්ත්‍රියක වීම නිසා පහරදීම පහසු වීද?

                    


                          

                                 තවත් නිදර්ශන

 මළගිය ඇත්තෝ සහ නවකථා කලාව නමින් මහාචාර්ය සුචරිත ගම්ලත් පොතක් පළ කළේය. එහි නවකතා කලාව ගැන පිටු 135ක් දිග රචනයක් ඇත. 2010 වසරේදී පළ වූ බැවින් එය නවකතා කලාව ගැන සිංහලෙන් ලියැවී ඇති අලුත්ම රචනයකි. කරුණුමය වැරදිද රැසක් ඇති එහි කිසිම ආශ්‍රිත ග්‍රන්ථයක් නැත. නවකථාවක් යනු පිටු 200ක් හෝ ඊට වැඩි වන පොතකියි යන විකාර නිර්වචනය එහි එන බරපතල වැරැද්දකි. අලහකෝන් සිද්ධියට හිසේ අත් ගසාගන්නා කිසිවෙක් කිසිම ආශ්‍රිත ග්‍රන්ථයක් නැති පොතක් නවකතා කලාව ගැන ලියන්නේ කෙසේදැයි අසන්නේ නැත. මහාචාර්ය තිස්ස කාරියවසම් බටහිර සාහිත්‍ය න්‍යාය ගැන පොතක් ලිව්වේය. එහිද කිසිම ආශ්‍රිත ග්‍රන්ථයක් නැත.  ආශ්‍රිත ග්‍රන්ථ කිසිවක් නැති පොත් කීපයක්ම මහාචාර්ය කාරියවසම් ලිව්වේය.




එරික් ඉලයප්ආරච්චි චිත්‍ර කලාව හා විචාරය නමින් පිටු 400 ඉක්මවූ පොතක් ලිව්වේය. එහිද එන්නේ චිත්‍ර කලාව ආශ්‍රිත ඉංග්‍රීසි පොතපතෙහි එන කරුණුය. කිසිදු ආශ්‍රිත ග්‍රන්ථයක් නැත. එය චිත්‍ර කලාව ගැන සිංහල බසින් කියවන්නට දේවල් අඩු කාලයක පළ වූ ප්‍රයෝජනවත් පොතකි. එසේම ඉලයප්ආරච්චි පසු කලෙක ලියූ මන්ටො වැනි පොත්වලදී අර වැනි ලේඛන චෞර්යමය කටයුතු කළේද නැත. 

   අනෙක, ජනමාධ්‍යමය හෝ රචනාමය ලේඛනවලදී මූලාශ්‍ර දැක්වීම තදබල ලෙස කෙරෙන්නේද නැත. එහෙත් ඒ රචනා පොත් ලෙස පළ වන විට අදහස්මය ණය ගැතිකම් හෙළිකිරීම අවනම්බුවට කරුණක් නොවේ.

                                     සුජාතා අන්තර්පඨිතත්වය දැන සිටියේ නම්

 සුජාතා අලහකෝන් කළකර ඇත්තේ වැරැද්දකි. එහෙත් ඇයට පහර වදින්නේ ඒ නිසාම නොවේ. වික්‍රමසූරියට එසේ පහර නොවැදුණේ කිසිවෙකු ඒවා පරීක්ෂා නොකළ නිසා විය හැකිය. මා ඒවා දැනගත්තේ ඒ විෂය ගැන නිතර හදාරන නිසාය. ගම්ලත් මහතා විශාල අනුග්‍රාහක පිරිසක් නඩත්තු කළ නිසාත්, ඔහුගේ දෙන්නම් බැටේට ඇති බය නිසාත් ඔහුගේ ලේඛන චෞර්යකම් ගැන ඔහු ජීවත්ව සිටියදීම ලිව්වේ කිහිප දෙනෙකු පමණි. මාද ඉන් කෙනෙකි. එය වෙනම කතාවකි.

   සුජාතා ඇගේ පොතේ මුල් පිටුවක මෙසේ ලිව්වේ නම් සිදුවන්නේ කුමක්ද? “මෙම පොතෙහි ඇතැම් තැන්වල අහවල් අහවල් පොත්වලින් ගත් වැකි අන්තර්පඨිතමය අර්ථෝද්දීපනය පිණිස මගේ ගද්‍ය වියමන තුළට කාවද්දා තිබේ. ඒවා එන මුල් පොත් නොකියවා තිබීම මගේ රචනය රස විඳීමට බාධාවක් නොවේ.

 එසේ වී නම් ඇයට සම්මානයද ත්‍යාග මුදලද ඇය වෙතම තබාගන්නට තිබුණේ නොවේද?

    බොහෝ අදහස් බොහෝ ආකාරවලින් පළ වෙන අද තමන්ගේ වැකිය අවසන් වන තැන හෝ අනුන්ගේ වැකිය ඇරඹෙන තැන සෙවීම පහසු නැත. එහෙත් ඒ තැන අමාරුවෙන් හෝ සොයා සලකුණු කිරීම වූකලි මනුෂ්‍ය බුද්ධිමය ශ්‍රමයෙහි සාමූහික වැදගත්කම හඳුනාගෙන ගරු කිරීමකි.

1 comment:

  1. ඔබ සඳහන් කර ඇති කිසිදු පොතක් මා කියවා හෝ ඇසින් දැක හෝ නැහැ.

    නමුත් මේ ලිපියෙහි සඳහන් වන ගම්ලත්, වික්‍රමසූරිය සහ ඉලයප්පාරච්චි කර ඇති දේ සහ අලහකෝන් කර ඇති දෙය අතර පැහැදිලි වෙනසක් තිබෙනවා. එහෙනම් මුල් තිදෙනා ඉංග්ලිෂ් භාෂාවෙන් ලියැවුණු කෘති වල අඩංගු කරුණු තමන්ම පරිවර්තනය කොට තම නමින් පළ වුණු ග්‍රන්ථවලට ඇතුළත් කිරීම සහ අලහකෝන් වෙනත් අයෙකු විසින් කරන ලද පරිවර්තනයක ඇතුළත් වුණු කොටස් එලෙසම තමන්ගේ කෘතියට ඇතුළත් කිරීමයි.

    ReplyDelete