Thursday, December 3, 2020

ස්වදේශීය සේවයට සහ රාජිතට මල් මිටක්: රේඩියෝවේ විස්මිත මිහිර - ලියනගේ අමරකීර්ති

 

   



  රේඩියෝව මගේ ප්‍රියතම මාධ්‍යයයි. එක්තරා යන්ත්‍රයක ස්විචයක් පණ ගැන්වූ විට කොහෙන්දෝ කටහඬක් ඇසෙන මේ මාධ්‍යය පුදුමාකාර විස්මයක් මා තුළ ඇති කර තිබේ. කලෙක මා අසන්නට කැමති කටහඬවල් වූ ප්‍රේමකීර්තිද අල්විස්, එච්.එම්.ගුණසේකර, චන්දන තිලකරත්න, ස්වර්ණ ගුණවර්ධන වැනි හඬවල් දැන් අසන්නට නැතත් සෑම මිනිස් කටහඬකම අද්විතීයතාවක් තිබේ. නිතර පාහේ මම එන්පීආර් රේඩියෝවේ ටෙරි ග්‍රොස් වැනි අයගේ කටහඬ මා අදත් අසා සිටින්නේ මහත් ආසාවෙනි. ඇය සාහිත්‍ය කලා ආදිය ගැන කරන සාකච්ඡා වැඩසටහන් අහන්න ලස්සනය. මේ ලිපිය ලියන විටත් ඇය බි්‍රතාන්‍ය නළු හියූ ග්‍රාන්ට් සමග කරන සම්මුඛ සාකච්ඡාවක් පසුබිමින් ඇසේ. මෙතෙක් කල් සුන්දර, යහපත් පිරිමියාගේ චරිත රඟපෑ ග්‍රාන්ට් දැන් දරුණු පිරිමි චරිතයක් රඟපා ඇති බව ඒ සාකච්ඡාවෙන් හෙළි වේ. 

   ලංකාවේ එෆ්එම් රේඩියෝව තරුණ නිවේදක නිවේදිකාවන්ගේ කටහඬ බෙහෙවින් එක සමාන බවට පත් කළේය. "සිංහල හරියට බැරි" යැයි ඇඟෙන ස්වරයෙන් කතා කරන එෆ්එම් නිවේදිකාවෝ බලන බලන අත සිටිති. තමන්ට ආවේණික සාමාන්‍ය කටහඬින් කතා කරන නිවේදක නිවේදිකාවන් නැති විට රේඩියෝ ඇසීම එපා වේ. එදිනෙදා ජීවිතයේ ඉංග්‍රීසියෙන් කතා කරන අය සිංහල කතා කරන විට භාෂා දෙකේම රිද්ම ලක්ෂණ එකතු වීම සාමාන්‍ය දෙයකි. එහෙත් බොහෝ එෆ්එම් නිවේදිකාවන්ගේ සිංග්ලිශ් රිද්මය කෘත්‍රිම මවාපෑමක් බව එක්තරා ගුවන්විදුලියක ඉහළ නිලධාරියෙක් මට කීවේ මෙසේය: “එයාලට එහෙමට ඉංග්‍රීසිත් බෑ. නමුත් ඕක තමයි එයාල කතා කරන්න කැමති, අහන අය අහන්නත් කැමති විදිය.” මනුෂ්‍ය කටහඬ යනු මිහිරි අනන්‍යතාවක් ඇත්තකි. තමාට ආවේණික කටහඬ වටිනා වස්තුවක් රැකගෙන, එය යුගයේ ජනප්‍රිය කතා විලාසයකින් අකාමකා නොදමන නිවේදක නිවේදිකාවන් සිටින විට රේඩියෝව අහන්න ලස්සනය. එච්. එම්. ගුණසේකර මගේ මතකයේ තවත් සිටින්නේ ඒ නිසාය. විස්කොන්සින් පබ්ලික් රේඩියෝවේ ජීන් ෆෙරාකාට මා අදත් සවන් දෙන්නේ ඒ නිසාය.

   ලංකාවේ ස්වදේශීය සේවයේ එවැනි නිවේදක නිවේදිකාවන් තවමත් සිටින බව පෙනේ. 

  මේ කෙටි රචනය ඒ ගැන නොවේ. රේඩියෝව නිසා ඇති වන විස්මිත සම්බන්ධතා ගැනය. ඒ වූකලි ස්ලීප්ලස් සියැටල් මොහොතක් වැනිය. සෑම් බෝල්ඞ්වින්ගේ බිරිඳ මිය ගියාය. ඔහු සිය කුඩා පුතෙකුද සමග තනි වේ. ඒ අතර ඔහු සියැටල් නගරයට පදිංචියට එයි. රේඩියෝවේ යන එක්තරා සාකච්ඡා වැඩසටහනකි. අට හැවිරිදි පුතු ඒ වැඩසටහනක කතා කරන්නේ සිය පියාට අලුත් බිරිඳක් සොයා ගන්නටය! දරුවාගේ කොලුකමට කළ වැඬේ නිසා ටොක් ෂෝ එකට දුරකථනයෙන් කතා කරන්නට සෑම්ට සිදු වේ. ඔහු සිය ජීවිතය ගැන අවංකව කතා කරයි. ස්ලීප්ලස් ඉන් සියැටල් යනු ඒ රේඩියෝ වැඩසටහනෙහි නමයි. එය අසා සිටින නාඳුනන ස්ත්‍රියක ඔහුගේ අදහස් හා කටහඬ හා පෙමින් බැඳේ. ඒ වන විට විවාහ ගිවිසගෙන සිටි ඇය එයද අත් හැර සෑම් සොයා යයි. ඒ වන විට ඇය බෝල්ටිමෝර් සන් පුවත්පතේ වාර්ථාකාරියකි. එනම් ඇය වසන්නේ සියැටල් නගරයේ සිට සැතපුම් තුන්දහසක් තරම් ඈතය. එහෙත් රේඩියෝ තරංගය ඔස්සේ දෙදෙනාගේ ආදර තරංගයද ගමන් කරයි. මේ හාස්‍යමය ආදර කතාවෙහි ටොම් හෑන්ක්ස් සහ මෙග් රයන් සිත්ගන්නා ලෙස රඟපාති. මෙහිම නැවත නිෂ්පාදනයක් ඊමේල් යුගයේදී යූ හැව් ගොට් මේල් නමින් නිෂ්පාදනය වුවද ගුවන් විදුලියෙන් එන කටහඬ තරම් කොම්පියුටර් තිරයට එන ඊමේල් රචනාව මට නම් ආකර්ෂණය වූයේ නැත. 

                                                 රසදීපනී

  මාද රේඩියෝ පිස්සෙකු බව තරමක් දන්නා රාජිත දිසානායක මට ගුවන් විදුලි වැඩසටහනක් කරන්නට ඇරයුම් කළේය. ඔහු ස්වදේශීය සේවයේ වැඩසටහන් නිෂ්පාදකයෙකි. සාමාන්‍යයෙන් ආණ්ඩුවේ රේඩියෝවලින් දැන් අසන්නට නොලැබෙන අන්දමේ වැටසටහන් නිෂ්පාදනය කරන කෙනෙකි. මම අන්තර්-සංස්කෘතික පෝෂණය යන තේමාව යටතේ වැඩසටහන් මාලාවක් සැලසුම් කළෙමි. එය බෙහෙවින් විවෘත තේමාවක් විය. එහෙත් එක් පොදු ලක්ෂණයක් එහි වූයේය. ඒ නම් නොයෙක් සංස්කෘතිය එකට මුසු වීමෙන් සෑදෙන අලුත් දේ ගැන කතා කිරීමය.

   එය මනමෙ නාට්‍යයද, සිංහල නවකතාවද, අධ්‍යාපනයද යන ඕනෑම දෙයක් විය හැකිය. සාහිත්‍ය සහ කලාව ඉංජිනේරුවන්ට අදාළ වන සැටි ආචාර්ය ජනක විජයකුලසූරිය කතා කළේය. සිංහල සහ දෙමළ සිනමා-කලා සම්මිශ්‍රණ ගැන සිවලිංගම් අනූෂා කතා කළාය. බහුවිධ ඥාන පද්ධතිවල එකතුවෙන් පශ්චාත් උපාධි අධ්‍යාපනය සකස් විය යුතු ආකාරය ගැන මහාචාර්ය හර්ෂණ රඹුක්වැල්ල, ඇන්ඩි ශූබර්ට්, ආචාර්ය සුදේශ් මන්තිලක. ක්‍රිෂාන්ත  ‍ෆෙඩ්රික්ස් ආදීහු කතා කළහ. වෛද්‍යවරුන් කවියන් වන්නේ මන්ද යන්න ගැන නුවන් තොටවත්ත, ප්‍රසාද් වීරසිංහ ආදීහු කතා කළහ. පාසැලේදී සාහිත්‍ය කලා සහ අනෙක් විෂයන් අතර අන්තර්පෝෂණය සිදුවිය යුත්තේ මන්ද යන්න ආදිය ගැන අනුරුද්ධිකා ගුණතිලක වැනි කතා කළහ. 

   මේ ඇතැම් දෙනා ආණ්ඩුවේ ගුවන් විදුලි ගොඩනැගිල්ලට ඊට කලින් කෙදිනකවත් පය නොතැබූ අය වූහ. 



                                             (විවිමරී)


                        විවීගේ කවි සහ වැදි රජුගේ පුතු

    අපේ රටේ ඉංග්‍රීසි සාහිත්‍ය ලෝකය හා සිංහල සාහිත්‍ය ලෝකය අතර පාලමක් තැනීමද අපේ අපේක්ෂාව විය. ඒ නිසා මගේ මිතුරියක වන ආචාර්ය විවිමරි වැන්ඩර්පූට්න්ගේ කවි ගැනද අපි කතා කළෙමු. ආචාර්ය සුනන්දා ප්‍රේමසිරි, ප්‍රියන්ත ෆොන්සේකා සහ මා පරිවර්තනය කළ විවීගේ කවි කියවමින් අපි ඒවා ගැන කතා කළෙමු. කොහොමත් ලස්සනට කවි කියවන විවී ඇගේ කවි ඉංග්‍රීසියෙන්ම කියවූවාය. ලංකාවේ සිටින ප්‍රමුඛ පෙළේ කිවිඳියක වන ඇය රජයේ ගුවන් විදුලියට පය තැබූ පළමු අවස්ථාව එය බව ඇය කීවාය. ඒ කැඳවීම ගැන රාජිත දිසානායකට ගෞරවය හිමි විය යුතුය. ඈ සමග කළ වැඩසටහන් කිහිපයෙන් පළමු වැන්න විකාශනය වී විනාඩි කිහිපයක් ඇතුළත මගේ නිවසේ දුරකථනය නාද විය. ඒ ප්‍රවීණ කවි රත්නශ්‍රී විජේසිංහය. එවැනි කවි ලංකාවේ ඉංග්‍රීසියෙන් ලියවෙන බව තමන් දැන සිටියේ නැතැයි ඔහු නිහතමානීව කීවේය. පැය කිහිපයක් ඇතුළත මගේ සෙල්ෆෝනය වෙත පිටරටකින් ඇමතුමක් ආවේය. ඒ තවත් විජේසිංහ කෙනෙකු බව පසුව දැනගන්නට ලැබිණි.

     ඒ ප්‍රියාන් විජේසිංහය. එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙහි එමිරේට්ස් ගුවන් සේවයෙහි සැලසුම් සහ පුහුණු කටයුතු පිළිබඳ කළමනාකරුවා වූයේය. එය ඉතා ඉහළ විධායක තනතුරකි. ඔහු එහි සිට ස්වදේශීය සේවයට සවන් දී තිබේ.   ඒ වූකලි අර ආරදවන්තයන් ස්ලීප්ලස් ඉන් සියැටල් වැඩසටහනට සවන් දෙදෙනා අතර පැවතියාටත් වඩා දුරකි.  ප්‍රියාන් වැනි කෙනෙකු මෙවැනි රේඩියෝ වැඩසටහන්වලට සවන්දීම විස්මයට හේතුවකි. අපි බොහෝ වේලාවක් දුරකථනයෙන් කතා කළෙමු. ඒ ඇමතුම අවසන් වූ වහාම මට සිහි වූයේ කාලයකට පෙර මා නැරඹූ ස්ලීප්ලස් ඉන් සියැටල් සිනමා පටයයි. නාඳුනන අය මුණ ගැස්වීමට රේඩියෝවට ඇති පුදුම හැකියාව ගැනයි.

      ප්‍රියාන් රසදීපනී වැඩසටහන් සියල්ලම පාහේ අසා ඇත්තේ පමණක් නොව ඒවා සහභාගි වූ අයගේ දුරකථන අංක සොයාගෙන ඔවුන්ටද කතා කොට තිබේ. ඔහු එවැනි උද්යෝගී රසිකයෙකි. ඒ අතරතුර ඔහු තවත් සිද්ධියක් කීවේය. “මගෙ අප්පච්චි තමයි මනමෙ නාට්ටියෙ පළවෙනි වැදි රජු. එඞ්මන්ඞ් විජේසිංහ.” ඒ තොරතුරෙන් පසුව අපට ඒ යුගය ගැනත්, මහාචාර්ය සරච්චන්ද්‍ර ගැනත්, පේරාදෙණිය ගැනත් කතා කරන්නට බොහෝ දේ තිබිණි. අපි යම් දිනෙක මුණ ගැසීමට ගිවිස ගතිමු.

   කොරෝනා නිසා රාජිත සමග කළ රසදීපනී වැඩසටහන නතර විය. එහෙත් කොරෝනා මගේ රසික මිතුරු ප්‍රියාන් විජේසිංහ මුණ ගැසීමේ අවස්ථාව උදා විය. කොරෝනා එමිරේට්ස් ගුවන්සේවයටද බලපෑවේය. ප්‍රියාන් ලංකාවට ආවේය. 

මෑතකදී දවසක මහනුවර ඉතා දර්ශනීය නිවසක රාත්‍රි භෝජන සංග්‍රහයකට ආරාධනා ලැබිණි. ඒ ප්‍රියාන්ගෙනි. මම සුදේශ් මන්තිලකත් සමග එහි ගියෙමි. 

සාහිත්‍ය කලා රසිකයන්ගේ සංවාදයකට දිරිදෙන සියලු දේ එහි විය. සුමිත් සමරසිංහ නම් තවත් රසිකයෙක් එහි විය. ඔහුටද එඞ්මන්ඞ් විජේසිංහ ගැන පමණක් නොව තවත් මනමෙ ගැන කතා මතක තිබිණි.

මම එහි සිටම විවිමරීටද රාජිතටද ඇමතුම් ගත්තෙමි. “විවී මම ඉන්නෙ යාළුවෙක්ගෙ ගෙදර. ඒ යාළුව මුණ ගැහුණෙ ඔයාගෙ කවි නිසා” කියූ මම ඈට දුරකථනය දුන්නෙමි.

ප්‍රියාන් අද විවීගේ සහ රාජිතගේද මිතුරෙකි. මෙවැනි සම්බන්ධතා මාධ්‍ය ලෝකයේ අයට අලුත් දේවල් නොවන බව කලක් මාධ්‍ය ලෝකයෙහි වැඩ කළ මම දනිමි. වැන්දඹු පිරිමින්ට සුන්දර බිරින්දෑවරුන් සොයාදෙන්නට පමණක් නොව අර්ථවත් මානව සම්බන්ධතා ඇති කරන්නටද රේඩියෝවට පුළුවන. අප නිතර දෙවේලේ ගැවසෙන වායුගෝලයෙහි නාඳුනන අන්‍යයන්ගේ කටහඬවල් තිබෙන බවත්, ඒ හඬවලින් අර්ථවත් දේ කියවෙන බවත් සැණෙකින් අපට කියාදෙන රේඩියෝව මනුෂ්‍ය ප්‍රාණයෙහි පුදුමාකාර ජයග්‍රහණයකි. 

 


  එහෙත් ක්‍රමයෙන් ගරා වැටෙමින් යන, ලාබ නොලබන තැනට ඇද වැටී ඇති, රාජ්‍ය ගුවන් විදුලියෙහි එතරම්ම දෙනෙකු නොඅසන වැඩසටහන් විකාශනය වන ස්වදේශීය සේවයටද තවමත් ස්ලීප්ලස් ඉන් සියැටල් වැනි විස්මයන් ඇති කිරීමේ හැකියාව ඇත. ඒ හැකියාව තමන් වෙත ඇති බව වැඩියෙන්ම නොදන්නේ ගුවන් විදුලි සංස්ථාවයි.

    

No comments:

Post a Comment