Wednesday, December 16, 2020

ළඟ ළඟ එන පොතකින් කොටසක්- ලියනගේ අමරකීර්ති

 පහත එන්නේ කාලයක සිට මුද්‍රණයට සූදානම් වෙමින් පවතින පොතක කොටසකි. එය මා කළ පරිවර්තනයකි. තව නොබෝ දිනකින් විදර්ශන ප්‍රකාශනයක් සේ පළ වෙනු ඇති. කෑගල්ලේ බණ්ඩාර පැණිය ගැන විවාදය යන අතර මා සිටියේ මෙහි සංස්කරණ කටයුතු කරමිනි. මෙය කියවන අයට විදුසරට සහ දිවයිනට නොනැවතී ලියමින්, අප රට මධ්‍යම පාන්තික වෘත්තීන්වලට පිවිසෙන (වෛද්‍යවරුන් වැනි) තරුණ පිරිමින් සැලකිය යුතු පිරිසක් එක් මතවාදයක සෙබලුන් කණ්ඩායමක් බවට පෙරළුෑ මහාචාර්ය නලින්ද සිල්වාගේ ඥානවිභාග දේශපාලනද සිහිපත් වනු ඇත.




                විද්‍යාවේ ආතාර්කික සම්භවය

  විද්‍යාවේ මූලධර්මවාදීන් විසින් නිරූපණය කෙරී ඇති ආකාරයට විද්‍යාව යනු තර්ක බුද්ධියෙහි උපරිම ප්‍රකාශනයයි. විද්‍යාව අද අපගේ ජීවිත පාලනය කරන්නේ නම් ඒ  වූකලි දීර්ඝ කාලීන අරගලයකින් පසුවය. ඒ අරගලයේදී පල්ලිය, රාජ්‍යය සහ සියලුම ආකාරයේ අතාර්කික විශ්වාස නොනැවතී විද්‍යාවට විරෝධය දැක්වීය. මිත්‍යා විශ්වාසයට එරෙහි අරගලයෙන් ජයගෙන ඉස්මතු වී ඇති විද්‍යාව තාර්කික විමර්ශනයේ මූර්තියක් වී ඇත. විද්‍යාවේ මූලධර්මවාදීන් කියන්නේ එසේය. 

  ඊට වඩා සිත්ගන්නාසුලු ඉතිහාසයක් මෙම සුරංගනා කතාව මගින් වසා දැමෙයි. විද්‍යාවේ උපත පවතින්නේ තාර්කික විමර්ශනය තුළ නොව විශ්වාසය, ඉන්ද්‍රජාලය සහ ප්‍රයෝගය තුළය. විද්‍යාව එහි සතුරන් මැඩ නැගුණේ උසස් තාර්කිකත්වයේ බලය නිසා නොව මධ්‍යකාලීන යුගයේ සහ නූතන යුගයේ මුල් කාලයෙහි විද්‍යාව ආරම්භ කළ ප්‍රාරම්භකයන් අර සතුරන්ට වඩා අලංකාරික භාෂා භාවිතයෙහි සහ දේශපාලන කලාවෙහි කුසලතාසම්පන්න වූ බැවිනි. 

   ගැලීලියෝ කොපර්නිකානු නක්ෂත්‍ර විද්‍යාව පිළිබඳ ව්‍යාපාරය ජයගත්තේ ‘විද්‍යාත්මක ක්‍රමවේදයෙහි’ කිසිම ශික්ෂා පදයක් වෙත ස්ථාවරව කැපවූ නිසා නොවේ.  ෆෙයරබෙන්ඞ් තර්ක කළ ලෙස, ගැලීලියෝ ජයගත්තේ ඔහු සතු වූ පෙලඹවීමෙහි කුසලතා නිසාය. එසේම ඔහු ඉතාලි බසින් ලියූ නිසාය. ලතින් වෙනුවට ඉතාලි බසින් ලිවීමෙන් නක්ෂත්‍ර විද්‍යාවට ආ විරෝධය එකල පැවති බංකොලොත් ශාස්ත්‍රීයවාද සමග අනන්‍ය කිරීමටද, එමගින් පැරණි ඉගෙනුම් සම්ප්‍රදායවලට විරුද්ධ වූ ජනයාගේ සහාය ලබා ගැනීමටද ගැලීලියෝට හැකි විය: ‘කොපර්නිකස්  අද පෙනී සිටින්නේ අනෙකු අඩවිවලද ප්‍රගතිය වෙනුවෙනි. සම්භාව්‍යය යුගයෙහි වූ ප්ලේටෝ සහ සිසරෝ දකින්නට අතීතතය දෙසද වඩා නිදහස් හා බහුත්වවාදී සමාජයක් දෙස බලන නව පන්තියක පරමාදර්ශවල සංකේතයද කොපර්නිකස්ය.’

    ගැලීලියෝ ජයගත්තේ ඔහු සතුව හොඳම තර්ක තිබුණු නිසා නොව නව නක්ෂත්‍ර විද්‍යාව සමාජයෙහි නැග එන නව ප්‍රවණතාවෙහි කොටසක් ලෙස එය ඉදිරිපත් කරන්නට ඔහුට හැකි විය. ඔහුගේ සාර්ථකත්වය තීරණාත්මක සත්‍යයක් ගෙන හැර දක්වයි. ඒ මෙයයි: විද්‍යාවෙහි භාවිතය විධික්‍රමයෙහි නීතිරීතිවලට පමණක් සීමා කිරීම මගින් දැනුමෙහි වර්ධනය මන්දගාමී වෙයි; නොඑසේනම් ඒ වර්ධනය නවතා දමයි:

“ඉතිහාසයෙහි ඉතා පැහැදිලි කාරණයක් වන විද්‍යාව සහ විධික්‍රමය අතර වෙනස මගින් ඇඟවෙන්නේ විධික්‍රමයෙහි දුර්වලතාවකි. එසේම එය ‘තර්ක බුද්ධියේ නීතිවල’ දුර්වලතාවද වන්නට පුළුවන. වියවුලෙන් තොරව දැනුමක් නැත. තර්ක බුද්ධිය නිරන්තරයෙන් අත්හැර දැමීමෙන් තොරව ප්‍රගතියක් නැත. අද විද්‍යාවේ පදනම සේ සාදන අදහස් පවතින්නේ අගතිය, අහංකාරය, ලාලසාව යනාදී දේ පැවති නිසාය; මේ දේවල් තර්ක බුද්ධියට විරෝධය පෑ නිසාය; ඒවාට තමන්ගේම ආකාරයෙන් පවතින්නට අවසර දෙන ලද නිසාය.”

විසිවෙනි සියවසෙහි වඩාම ආනුභාව සම්පන්න විද්‍යාව පිළිබඳ දාර්ශනිකයා වූ කාල් පොපර් දකින හැටියට න්‍යායක් විද්‍යාත්මක වන්නේ එය සාවද්‍ය යැයි පෙන්වා දිය හැකි තරමටය. එසේම එය වැරදි යැයි පෙන්වා දුන් වහාම එය අත්හැර දැමිය යුතුය. මෙම ප්‍රමිතියට අනුව කටයුතු කළහොත් ඩාවින්ගේ සහ අයින්ස්ටයින්ගේ න්‍යායවල් කවදාකවත් පිළිනොගත යුතුව තිබිණි. ඔවුන්ගේ න්‍යාය මුලින්ම ඉදිරිපත් කෙරෙනු විට ඒවා ඒ වන විට පැවති ඇතැම් සාක්ෂි සමග ගැටුණේය. ඒ න්‍යායවලට තීරණාත්මක සහාය පළ කරන සාක්ෂි මතු වූයේ පසු කලෙකය. කාල් පොපර්ගේ විද්‍යාත්මක ක්‍රමය අනුගමනය කළේ නම් ඩාවින් සහ අයින්ස්ටයින් වැනි අයගේ න්‍යායයන් උපතේදීම මරා දමන්නට ඉඩ තිබිණි.

    ශ්‍රේෂ්ඨ විද්‍යාඥයෝ විද්‍යාත්මක ක්‍රමයෙහි නීති යැයි අද හැඳින්වෙන දේවලින් කවදාවත් බැඳී නොසිටියහ. නූතන විද්‍යාවේ ප්‍රාරම්භකයන්ගේ දර්ශනවාද වූ ඉන්ද්‍රාජාලික සහ පාරභෞතික, ගූඪවාදී සහ ගුප්ත දර්ශනවාදවල අද විද්‍යාත්මක ලෝකදෘෂ්ටිය යැයි සැලකෙන දේ සමග සමාන වූ කිසිවක් පැවතියේ නැත. ගැලීලියෝ තමා දුටුවේ දේවධර්මවාදයේ ආරක්ෂකයෙකු ලෙස මිස පල්ලියෙහි සතුරෙකු සේ නොවේ. නිව්ටන්ගේ න්‍යායන් යාන්ත්‍රික දර්ශනයෙහි පදනම බවට පත් වුවත්, සිය මනසෙහි නිව්ටන්ගේ න්‍යායන් දේව බලයෙන් නිර්මාණය කරන ලද පර්යායක් සේ සැලකුණු වූ ලෝකය පිළිබඳ ආගමික සංකල්පයෙන් වෙන් කළ හැක්කක් නොවීය. පැහැදිලි ලෙසම අනියම් සිදුවීම් නිව්ටන් විස්තර කළේ දෙවියන් විසින් තබා යන ලද සලකුණු ලෙසිනි. ඩෙන්මාර්ක් තාරකා විද්‍යාඥ ටික බ්‍රා  ඒවා දුටුවේ හාස්කම් ලෙසය. ජොහැන්නස් කෙප්ලර් නක්ෂාත්‍රයෙහි විධි විරෝධතා විස්තර කළේ පෘථිවි ආත්මයේ ප්‍රතික්‍රියා ලෙසය. ෆෙයරබෙන්ඞ් නිරීක්ෂණය කරන හැටියට අද ආගම, පුරාණෝක්තිය හෝ මන්ත්‍රගුරුකම් ආදියට අයිති යැයි සැලකෙන විශ්වාස නූතන විද්‍යාව ආරම්භ කළ අයගේ ලෝක දෘෂ්ටියෙහි කේන්ද්‍රීය විශ්වාස විය.

    දාර්ශනිකයන් විසින් චිත්‍රණය කෙරෙන විදියට විද්‍යාව යනු උපරිමයෙන්ම තාර්කික ක්‍රිියාවකි. එහෙත් විද්‍යාවේ ඉතිහාසය පෙන්වන්නේ විද්‍යාඥයන් විද්‍යාත්මක ක්‍රමයෙහි නීති සුළුකොට තකන බවය. විද්‍යාවේ ආරම්භය පමණක් නොව ප්‍රගතියද පැවත එන්නේ තර්කබුද්ධියට එරෙහිව ක්‍රියා කිරීමෙනි.


No comments:

Post a Comment