Sunday, December 20, 2020

අධ්‍යාපනයෙහි විවෘතභාවය යනු කුමක්ද?- කෙටි හැඳින්වීමක්- ලියනගේ අමරකීර්ති





(දෙසැම්බර් 15 වෙනිදා පැවති විවෘත විශ්වවිද්‍යාලයෙහි උපාධිප්‍රදානෝත්සවයේදී සූම් මගින් පැවැත්වූ විනාඩි විස්සක පමණ දේශනයෙහි පරිවර්තනයයි, මේ. මෙහි ඉංග්‍රීසි පිටපත අයිලන්ඞ් පුවත්පතෙහිත්, තරමක් දීර්ඝ ස්වරූපයකින් කලම්බුටෙලිග්‍රාෆ් වෙබ් අඩවියේත් දෙසැම්බර් 16 වෙනිදා පළ විය.)

  කුලපතිතුමනි, උපකුලපතිතුමනි, ලේඛකාධිකාරීවරුනි, පීඨාධිපතිවරුනි, අධ්‍යක්ෂකවරුනි, පුස්තකාලයාධිපතිතුමනි, මහාචාර්යවරුනි, කථිකාචාර්යවරුනි, සියලු ආරාධිතයනි, අද උපාධි ලබන ශිෂ්‍යශිෂ්‍යාවනි, නෝනාවරුනි, මහත්වරුනි.   

   ආඩම්බරය සහ කෘතවේදීත්වය මුසු හැඟීමකින් මම මෙම වසරේ විවෘත විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සව දේශනය පවත්වමි. අප සිටින්නේ ගෝලීය වසංගතයක් අතරමැදය. ලෝකයපුරා නොයෙක් බොහෝ ජීවිත අහිමි කිරීමටත්, ජීවිතවලට හානි කිරීමටත් අමතරව මෙම වසංගතය අත්‍යලංකාර උපාධි ප්‍රදානෝත්සව ශාලාවක ප්‍රීතියෙන් බබලන ඔබේ මුහුණ දෙස බලාගෙන මෙම දේශනය පැවැත්වීමේ අවස්ථාව මගෙන් සොරාගෙන ඇත. එහෙත් අපි අද මෙම අවස්ථාව ඓතිහාසික ස්වරූපයකින් සමරමින් සිටිමු. මනුෂ්‍ය ප්‍රාණය ඕනෑම වසංගතයකට මුහුණ දී පැවැත්ම තහවුරු කරගන්නා බව අපි සාමූහිකව ප්‍රදර්ශනය කරමු.

   මෙම වසංගතය සැබැවින්ම විනාශකාරී වී තිබේ. සමහර විද්වතුන් පෙන්වා දෙන හැටියට ඇතැම් රටවල දරුවන්ගේ අධ්‍යාපනය ප්‍රවේශවීමේ හැකියාව 1980 ගණන්වල පැවති තත්ත්වයට පහත වැටෙනු ඇත. සමහර රටවල දරුවන් 10 දෙනෙකුගෙන් 9 දෙනෙකු පාසල්වලින් බැහැරට විසිවෙනු ඇත.  අප රටෙහි පවා අධ්‍යාපනය මත මෙම වසංගතය ඇති කරන බලපෑම අප සිතන තරමට වඩා බොහෝ වැඩි වීමට ඉඩ තිබේ.  සමහර විට, මෙම වසංගතයෙන් පසු ලංකාවේ විවෘත විශ්වවිද්‍යාලය විසින් සපයනු ලබන අන්දමේ අධ්‍යාපනයකට ඇති ඉල්ලුම බෙහෙවින් වැඩි වන්නට ඉඩ තිබේ.

  කරුණු කිහිපයක් නිසා විවෘත විශ්වවිද්‍යාලයට මගේ හදවතෙහි විශේෂ තැනක් තිබේ. ඉතා සමීප මිතුරුමිතුරියන් කිහිපදෙනෙකු එහි ඉගැන්වීම පළමු හේතුවයි. ඒ මිතුරුමිතුරියෝ මගේ අප රටෙහි ඉතා කීර්තිමත් සාහිත්‍යකරුවන්, ශාස්ත්‍රවන්තයින් සහ බුද්ධිමතුන් අතර සිටින අය වෙති. එසේම විවෘත විශ්වවිද්‍යාලයෙහි පවතින අධ්‍යාපනය පිළිබඳ සංකල්පය වෙනුවෙන්ද මගේ හදවතෙහි විශේෂ තැනක් තිබේ. සිසුන් ඇතුළත් කරගැනීම සම්බන්ධයෙන් සාම්ප්‍රදායික වූ විශ්වවිද්‍යාලයක උගන්වන මට, රටෙහි සිටින දීප්තිමත් තරුණ තරුණියන්ගෙන් කොටසකට ඉගැන්වීමේ වාසනා වරප්‍රසාදය තිබේ. එහෙත් ඒ සියලු දෙනාම විශ්වවිද්‍යාලය වෙත එන්නේ ඉතා පටු ද්වාරයක් වන අපොස උසස් පෙළ තුළින් පමණි. වෙනත් සුජාත ද්වාරයන් වෙතින් පිවිසෙන ශිෂ්‍යශිෂ්‍යාවන් පැමිණ අපේ විශ්වවිද්‍යාලයෙහි ශිෂ්‍ය ප්‍රජාව දැනට පවතිනවාටත් වඩා බහුවිධ කරන්නේ නම් මැනවියි මා නොයෙක් වර සිතා තිබේ. 


      අපේ ජීවිතවල තීරණාත්මක අවස්ථාවල අපි කවුරුත්, එතෙක් ජීවිතයෙහි දේවල් සිදු වී ඇති ආකාරය ගැන ආවර්ජනයක යෙදෙමු. එවන් අවස්ථාව ජීවිතය නැවත සංවිධානය කරගැනීමට අලුත් ප්‍රඥා මූලාශ්‍ර ඇතිදැයි අපි සොයා බලමු. එවැනි විටෙක නැවතත් නිල ශාස්ත්‍රාලික අධ්‍යාපනය වෙත යායුතු යැයි කෙනෙකුට සිතුණහොත් ඔහුට හෝ ඇයට එහිලා අවස්ථාව තිබිය යුතුය. 

   ජීවිතය ගැන නැවත සිතන, නැවත සලකා බලන, තම ජීවිතය නැවත තක්සේරු කරන, නැවත සංවිධානය කරන්නට ප්‍රයත්න දරන බොහෝ දෙනෙකුට විවෘත විශ්වවිද්‍යාලය ක්ෂේමභූමියක් වී තිබේ. එය ඉතා උචිතය. යම් සමාජයක් සැබැවින්ම නිදහස් වන්නේ, සැබැවින්ම සාධාරණවන්නේ, සැබැවින්ම ප්‍රජාතාන්ත්‍රික යන්නේ මනුෂ්‍යයන්ට දෙවෙනි අවස්ථාවක්ද පවතින විටය. වඩා හොඳ යහපත් ජීවිතයක්, කලින් පැවති ජීවිතයට වඩා ගුණයෙන් වෙනස් වූ ජීවීතයක් අත්පත් කරගන්නට ප්‍රයත්නයක් ගැනීමේ අවස්ථාව ඇති විටය. විවෘත විශ්වවිද්‍යාලය ඔබ බොහෝ දෙනෙකුට ඒ අවස්ථාව ලබා දී තිබේ. විශිෂ්ට කවියෙකු වන ආරියවංශ රණවීරගේ එක් කෙටි කවියක මෙසේ එයි:

    බොහෝ විට

බොහෝ දෙන

යළි එති කවිය වෙත

මහළු හිස් නමමින

   කවිය වෙත පමණක් නොව ජීවිතයේ බොහෝ දේ වෙත බොහෝ දෙනෙක් තම ජීවිතවල පසුකාලයේදී පැමිණෙති. කවිය සේම, ඒ ක්ෂේත්‍රද නැවත පැමිණෙන අය වෙනුවෙන් ලස්සනට සකසා තැබිය යුතුය. තම හිස් පරාජිත හැඟීමෙන් නමාගෙන නොව, ආත්මාභිමානයෙන් තම හිස් කෙළින් තබාගෙන නිල අධ්‍යාපනය වෙතද පැමිණීමේ අවස්ථාව ජනතාවකට තිබිය යුතුය. 

විවෘතභාවයෙහි තවත් අර්ථ

   අධ්‍යාපනයෙහි පැවතිය යුතු තවත් විවෘතභාවයන් ගැන කිහිපයක් හඳුන්වා දෙන්නට මට ඉඩ දෙන්න. ලංකාවෙහි අපට අධ්‍යාපනය යනු දැනුම සහ ප්‍රඥාව ලබාගන්නා විධියක් පමණක් නොවේ. ඒ වූකලි නූතන ලංකාවේ ශ්‍රේෂ්ඨතම සමාජ සමානකරන යාන්ත්‍රණයයි.  අපගේ සමාජය යනු අතිශයින්ම අසමාන සමාජයකි. ජනවාර්ගික, ආගමික, ස්ත්‍රි-පුරුෂභාවය, පන්තිය, කුලය, ආගම ආදී වශයෙන් අපි අසමාන වෙමු. අපගේ සමාජය වෙත යම් ආකාරයක හෝ සමානත්වය පිළිබඳ මානයක් ගෙනැවිත් ඇති යාන්ත්‍රණය වූ කලී අධ්‍යාපනයයි. මට එක් හදිසි නිදර්ශනයක් පමණක් සපයන්න ඉඩදෙන්න. 1881 වර්ෂයේදී ලංකාවේ ස්ත්‍රී සාක්ෂරතාව 3%කි. 1921 වන විට එය 21% දක්වා වැඩි වී තිබිණි. 1921 අවුරුද්දේදී ලංකා විශ්වවිද්‍යාලය කොලීජිය ආරම්භ වූ විට පළමු ශිෂ්‍ය කණ්ඩායම එහි ඇතුළත් වූයේ ශිෂ්‍යාවන් හතර දෙනෙකු පමණි. 

   ආසන්න වශයෙන් වසර සියයක් තුළදී ඒ විශ්වවිද්‍යාල කොලීජියෙහි විකාශනයක් වූ පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙහි ශාස්ත්‍ර පීඨයෙහි ශිෂ්‍යාවන්ගේ ප්‍රතිශතය 85%කට ඉහළය. තවමත් අප රටෙහි බොහෝ ක්ෂේත්‍රවල ස්ත්‍රී නියෝජනය සහ ස්ත්‍රී රැකියා නියුක්තිය ඉතා අඩුය. එහෙත් නිදහස් අධ්‍යාපනය නොවී නම් අප රට ස්ත්‍රීන් සහ පුරුෂයන් අතර පරතරය ඉතා දැඩි වන්නට තිබිණි. අද උපාධි ලබන නෝනාවරුනි, ස්ත්‍රී සාක්ෂරතාව 3%ක් පමණක් වූ රටක ජීවත්වීම කෙසේ විය හැකිදැයි පරිකල්පනය කරන්න. අද උපාධි ලබන මහත්වරුනි එවන් රටක ජීවත්වීමට ඔබටද අවශ්‍ය නැතැයි මම අපේක්ෂා කරමි. 

   ගුරුවරුන්, ශිෂ්‍යශිෂ්‍යාවන්, පරිපාලන නිලධාරීන් යනාදී අප කවුරුත් මතක තබා ගත යුතු දෙයක් තිබේ. ඒ වූකලි නිදහස් අධ්‍යාපනයෙහි කෙතරම් ගැටලු තිබුණත් එය අප රට ඇති ප්‍රධානතම සමාජ සමානකරන යාන්ත්‍රණය වන බවයි. එසේ මතක තිබේ නම්, ඒ අධ්‍යාපනය විවිධ පසුබිම්වලින් එන සුදුසුකම් ඇති අයට විවෘතව තැබීමේ අර්ථවත්භාවයද අපට අමතක නොවනු ඇත. 

විවෘතභාවයේ තවත් ආකාර 

   අධ්‍යාපනය විවෘතවීමේ තවත් මානයක් ගැන යන්තමින් සඳහන් කරන්න මට ඉඩ දෙන්න. සබුද්ධික මනුෂ්‍යයෝ සෑම තැනකම ස්වභාවික සහ සමාජමය කොන්දේසි සමග ගැටෙමින් වඩාත් යුක්තිගරුක වූද, සමානත්මතාවෙන් යුක්ත වූද වඩා නිදහස් වූද ලෝකයක් නිර්මාණය කරන්නට අරගල කරති; ස්වභාවික ලෝකය වඩා සියුම් සහසම්බන්ධයක් නිර්මාණය කරගැනීමට අරගල කරති. ඒ ක්‍රියාවලියේදී ඒ මනුෂ්‍යයෝ විවිධ පසුබිම්වල සිට දැනුම නිර්මාණය කරති. පටු ප්‍රාදේශීයවාදයන්, ජාතිකවාදයන්, ජාතිවාදයන්, ආගම්වාදයන් ආදීන්ගෙන් සීමා නොවී යට කී වැනි දැනුම වෙත විවෘතවීම අධ්‍යාපනයෙහිදී විවෘත වීම යන්නෙහි එක් වැදගත් අංගයකි.  

   සංස්කෘතිත වෙනස උත්කර්ෂයෙන් සමරන මෙවන් යුගයකදී, අපට ඇති අභියෝගයක් නම් මනුෂ්‍යයන්ගේ පොදු ඉතිහාසය හඳුනාගැනීමය. අද්විතීයත්වය සහ සුවිශේෂත්වය සැමරීමේ ක්‍රියාවලියේදී මනුෂ්‍යයන් වන අපට තුළ ඇති පොදු ලක්ෂණ නිතර පාහේ අමතක වේ. මානව ඉතිහාසය පුරා මනුෂ්‍යයන් එකිනෙකා අතර නොයෙක් ආකාරයේ සම්බන්ධතා පවත්වා ඇත. ඒ සම්බන්ධතා හිංසකද නිර්හිංසකද විය හැකිය. දැනුම සහ සංස්කෘතිය බෙදාහදා ගැනීම අතින් ගෝලීයකරණය යනු අප සිතනවාට වඩා ඉතා පැරණි ක්‍රියාවලියකි. අපේ අධ්‍යාපනයෙහි එක් අරමුණක් විය යුත්තේ ඒ සබඳතා ඇති වූයේ මන්ද කෙසේද යන්න දැකගැනීමය.  

   ඒ සමහර සමානකම් පැන නැග එන්නේ අප අපගේ ජීවවිද්‍යාත්මක අභ්‍යන්තරික සැකැස්ම අතින් එකිනෙකාට සමාන වන නිසාය. නිදර්ශනයකට යමු. දළ වශයෙන් ඉතිහාසයේ එකම අවස්ථාවකදී මෙන් සෑම තැනකම මනුෂ්‍යයෝ තමන්ගේ දඩයක්කාර-ආහාර රැස්කරන්නන්ගේ ජීවිතයට තිත තබා එක තැනක නැවතී වගා කරන්නටද එක තැනක සිට පවුලක් ගොඩනගන්නටද තීරණය කළහ. මෙම සමානකම ඇතිවන්නේ මනුෂ්‍ය සත්ත්වයන් වන අප මූලික ස්වභාවිකත්වය අතින් එක සමාන වන නිසාය. ඒ සියලුම ස්ථානවලදී පාහේ සතුන් සහ පැලෑටි හීලෑ කරගැනීමේ ආරම්භකයින් වී ඇත්තේ ස්ත්‍රීන්වීම සිත්ගන්නා කාරණයකි. “දැන් ඉතින් මේ දරුවොත් ඇදං තැන් තැන්වල ගියා ඇති එක තැනක ඉඳගෙන දරුවො ටික හදන්න ඕනෙ”යි ඔවුන් සිතන්නට ඇත. ඒ ස්ත්‍රීමය චින්තාව, ඒ මාතෘමය චින්තාව, අද අප දකින නූතන ශිෂ්ටාචාරය ඇතිවීමට පදනම් වූ චින්තාවක් වන්නට ඇත. ඒ චින්තාව, නොදැනුවත්වම ස්ත්‍රියද හීලෑකොට ගෘහස්තකරණය කරන්නටද හේතු වන්නට ඇත. එය වූකලි වෙනම කතාවකි.

   අප එකිනෙකාගෙන් වෙන්ව එක් එක් තැන්වලදී කෘෂිකර්මය සොයා ගත්තේ විය හැකිය. එහෙත් පසු කලෙක අප එකිනෙකා අතර කෙතරම් නම් සම්බන්ධතා ගොඩනගා ගත්තේද යත් දකුණු ඇමරිකාවේදී මුල් වරට වගා කළ මංඤොක්කා, බතල හා අල දැන් අපේම බෝගය. දකුණු ඇමරිකාවෙන් අර්ථාපල් ගත්තේ නමුදු ඒවා උයන විධි හාරසියයකට වඩා අද දකුණු ආසියාවේ තිබේ.                  

    අපේ අධ්‍යාපනයෙහි තවත් ආකාරයක විවෘතභාවයක් තිබිය යුතු යැයි මම සිතමි.  ඒ කාරණය ගැන සංක්ශිප්තව සඳහන් කරන්නට මට ඉඩ දෙන්න. ඒ මා මෙම දේශනයේදී මතු කරන අවසන් කාරණයයි. අපගේ අධ්‍යාපන පද්ධතියේ විවිධ ක්ෂේත්‍ර එකිනෙක වෙත මීට වඩා විවෘත වී එකිනෙක අතර සංවාද වර්ධනය කළ යුතුය. සාහිත්‍ය අධ්‍යයනය සහ සංස්කෘතික අධ්‍යයනය විෂය ක්ෂේත්‍රවල සිටින මට ස්වභාවික විද්‍යා විෂයයන්හි සිටින ශාස්ත්‍රාලිකයන් සමග යම් බරපතලකමකින් යුතු සංවාදයක් පවත්වාගෙන යාමට හැකි විය යුතුය. අපගේ අධ්‍යාපනය එවන් සංවාද පොහොණි කළ යුතුය. 


                                             (Antonio Damasio)


තාර්කික චින්තනය සහ හැඟීම්

තාර්කික මනස අධිඅවධාරණය කරමින්ද අනෙක් ඉන්ද්‍රිය අත්දැකීම් ප්‍රජානනයෙහි ද්වීතීයත්වයට පත් කරමින්ද ඩෙකාට් වරදක් කළේය. ප්‍රජානනයේදී හෙවත් තාර්කික දැනුම අත්පත් කරගැනීමේදී ඒ කාරණය ඇත්ත විය හැකිය. එහෙත් ප්‍රජානනය යනු මනුෂ්‍ය පැවැත්මේ කොටසක් පමණි. අප මනුෂ්‍යයන් වන්නේ අප තාර්කිකව සිතන නිසා පමණක් නොවේ. අප මනුෂ්‍යයන් වන්නේ අප හඟින නිසාද වේ; භාවමය වශයෙන් හඟින නිසාය. ඇමෙරිකානු ස්නායු විද්‍යාඥ අන්තෝනියෝ දමාෂියෝ මොළයට හානි වූ රෝගීන් සම්බන්ධයෙන් කළ පර්යේෂණයකදී මෙවැන්නක් හෙළි විය. මනුෂ්‍ය මොළයෙහි හැඟීම් හා සමග ගනුදෙනු කරන කොටසට තුවාල සිදු වූ රෝගීන්ට තමන්ගේ හැසිරීම ආදිය ගැන තාර්කික තීරණ ගැනීමට හැකි වූයේ නැත. අපගේ මොළයෙහි හැඟීම් සමග ගනුදෙනු කරන කොටස සහ තර්කය සමග ගනුදෙනු කරන කොටම වෙන් වෙන්ව පවතී. එහෙත් තර්කය සමග ගනුදෙනු කරන කොටස තර්කානුකූල තීරණ ගන්නා අවස්ථාවලදී අර හැඟීම් සමග ගනුදෙනු කරන කොටසේ සහායද අවශ්‍ය වේ. දමාෂියෝගේ ඇස් අරවනසුලු පොත වන ඩෙකාටේගේ වැරැද්ද නම් පොත අපේ අධ්‍යාපනය එකිනෙක ක්ෂේත්‍ර වෙත වඩ වඩා විවෘත කිරීමේ මාර්ගෝපදේශයක් සේ ගත හැකිය. 

   එසේම, ඩොකාට්ගේ වරද තාර්කික විඥානයක් සහිතය යන කාරණය මත මනුෂ්‍යයන් අනෙක් සියලු ජීවයට වඩා ඉහළට ඔසවන්නටද දායක විය. මෑත කාලීන අධ්‍යයනවලින් පෙනී යන පරිදි ගස්වලට පවා එක්තරා සාමූහික විඥානයක් ඇතැයි හෙළි වී තිබේ. ගස් පවා තම චිරපැවැත්ම වෙනුවෙන් “සවිඥානකව” ක්‍රියා කරන බව පෙනීගොස් තිබේ. එක් නිදර්ශනයක් මෙසේය: යම් ගසක් පළඟැටි වළාවක ප්‍රහාරයට ලක් වෙමින් තිබෙන්නේ යැයි සිතමු. එවිට ඒ ගස් එක්තරා හෝර්මෝනයක් වැනි සාන්ද්‍රණයක් වායුවට මුදා හරියි. එවිට වාතය ඒ සාන්ද්‍රණය අනෙක් ගස් කරා රැගෙන යයි. ඒ සුළඟ ගෙන එන පණිවිඩයෙන් පළඟැටි ප්‍රහාරය ගැන ආරංචිය දැනගන්නා අනික් ගස් පළගැටියා පළවා හැරිය හැකි තවත් සාන්ද්‍රණයක් නිකුත් කරයි. ඒ නිසා පළගැටි රෑන පසුබසයි.  අප අපේ සුවිශේෂ විෂය ක්ෂේත්‍රවල සිර වී සිටිනතාක් ගස්වලට එකිනෙකා සමගත්, සමහර විට අප සමගත් සන්නිවේදනය කළ හැකි බව අපට දැනගන්නට නොලැබේ. මේ සුවිශේෂ දැනුමේ සිරකූඩුවලින් එළියට පැමිණීම අධ්‍යාපනයෙහි මා දකින්නට කැමති තවත් විවෘතභාවයකි. 

     සියලු විෂය ක්ෂේත්‍රවල ශාස්ත්‍රාලිකයන් සිංහබාහු නාට්‍යයෙහි සිංහයා මෙන් තම බුද්ධිමය දරුවන් විශේෂ දැනුම නැමැති ගල්ලෙන්වල සිර කරන අය නම් යට කී විවෘතභාවය අත්පත් කරගත නොහැකිය. ඒ නිසා හුදෙක් වෙන් වෙන් කුටීරවලට හිරකරන ලද විශේෂඥ දැනුම නමැති ගල් ලෙන බිඳීමෙහි පමණක් නොව සාකල්‍යවාදී චින්තනයෙහිද සමත් සිංහබාහු පරපුරක් අපට අවශ්‍ය වේ.   

  අපගේ යුගයේදී විශේෂයෙන් උගත් පුද්ගලයා යනු තම විශේෂඥ දැනුම අර්ථවත් මනුෂ්‍ය දැනුමෙහි අනෙක් ක්ෂේත්‍ර සමග සංවාදයකට යොමු කළ හැකි කෙනෙකි. මෙම උපාධි ප්‍රදානෝත්සවයට සහභාගි වන ස්වභාවික විද්‍යා මහචාර්යවරුනි, ඔබගේ විශේෂඥතා අඩවිය වෙත මා පියවර තබන්නේ නම් මට සමාවන්න. කෙසේ වෙතත් මා තර්ක කරන්නේද එවැනි සීමා මායිම් උල්ලංඝනය කිරීම ගැනමය! 

  අපගේ මොළයෙහි ඇති “අමිග්ඩලා” නම් අඩවියක් ගැන ජීව විද්‍යාඥයෝ කතා කරති. අප නරක් වූ කෑමක් වැනි දෙයක් වැරදීමකින් සපන විට මොළයෙහි ඒ කොටසෙහි රසායනික ක්‍රියාවලියක් වහාම ඇති වේ. ඒ නිසා අර නරක් වූ කෑම ගැන සවිඥානක සිතිවිලි අප තුළ ඇති වන්නට පෙරම අපි එය වහා මුඛයෙන් ඉවතට දමමු. 

  මගේ සිත ආකර්ෂණය කළ කාරණය මෙයයි: අප ආචාරධාර්මිකව පිළිකුල්සහගත යමක් දකින විටද මොළයෙහි එම කොටස ක්‍රියාත්මක වේ. දැන් බලන්න විද්‍යා පීඨයට අයත් මස්තිෂ්ක රසායන විද්‍යාව සහ ශාස්ත්‍ර පීඨයට ආචාර ධර්ම විද්‍යාව අප හිතන තරම් එකිනෙකින් ඈත් නැත. 

  නෝනාවරුනි මහත්වරුනි, අද ඔබ උපාධි ලබන්නේ විවෘත විශ්වවිද්‍යාලය වෙතිනි. අධ්‍යාපනයෙහි තිබිය හැකි තවත් විවෘතභාවයන් කිහිපයක් ගැන ඔබේ මනස කළඹන්නට මට අවශ්‍ය විය. ඔබ වැඩ කරන අඩවිවල සහ ඔබ විවේකය ගත කරන අඩවිවල යන දෙකෙහිම මෙවැනි කරුණු ගැන විවෘත සංවාද ඇති කරන්න ඔබ ප්‍රයත්න ගනු ඇතැයි මම අපේක්ෂා කරමි. අනෙක, විවෘතභාවය පිළිබඳ අදහස ඔබේ විශ්වවිද්‍යාලයෙහි නමෙහිම තිබේ. ඔබ අද උපාධි ලබා පිටවන්නේ ඒ නමද රැගෙනය. එයම පමණක් වුවද ඔබ විශේෂ පිරිසක් බවට පත් කරයි.

පේරාදෙණියෙහි සිට මම ඔබට සියලු සුභාශිංසන ගෙන එමි.

ස්තුතියි

    

3 comments:

  1. ආකර්ෂණීය මෙන් ම වැදගත් තොරතුරු සහ කරුණු රැගත් දේශනයක්. ස්තූතියි සර් විවෘත විශ්වවිද්‍යාලයට පැවැත් වූ දේශනය අපට විවෘත කළාට .

    රන්දික

    ReplyDelete
  2. ස්තුතියි බෙහෙවින් .ඉතා වැදගත් කියවීමක් .

    ReplyDelete
  3. ඉතා වටිනා අදහස් සහිත හර බර සාර ප්‍රකාශිතයකි.ස්තුතියි ..

    ReplyDelete