Saturday, March 20, 2021

මෙවන් ඇන්ටීක් කඩයක සිදු විය හැක්කේ මරණම පමණද?- හඳගමගේ අලුත් නාට්‍යය ගැන සටහනක්- ලියනගේ අමරකීර්ති



මාර්තු 19 වෙනිදා නාට්‍ය කලාවට කැමති අප කාටත් විශේෂ දිනයකි. මේ කොරෝනා කරදර අස්සේ අලුතින් බිහි වූ පළමු නාට්‍යය වේදිකාගත විය. ඒ අශෝක හඳගමගේ “ඇන්ටීක් කඩයක මරණයක්”ය. නැවත නාට්‍ය සංස්කෘතිය ආරම්භ වීම සැමරිය යුතු කරුණකි. අවුරුදු තිස් ගණනකට පසුව හඳගම නාට්‍ය කලාව වෙත පැමිණීම තවත් සුබ ලකුණකි. සෑහෙන කාලයක් වේදිකා රංගනයෙන් ඈත්ව සිටි දක්ෂ නළුවෙකු වන සෞම්‍ය ලියනගේ නැවත රංගනයට පැමිණීම උපප්‍රධාන මංගල්‍යයක් සේ සලකන අයද වූහ. මමද ඉන් කෙනෙක්මි. 

ඇන්ටීක් කඩයක් යනු පැරණි කෞතුක භාණ්ඩ යැයි කියනු ලබන එක එක දේ විකිණීමට ඇති තැනකි. වේදිකාවේ විශාල දෘශ්‍ය කලාපයක් අරා පවතින්නේ ඒ කඩයයි. එහි පැරණි බුදු පිළිම, දේව ප්‍රතිමා, කඩු කිණිසි ආදිය විකිණීමට තිබේ. මුළු නාට්‍ය කාලය පුරාම අපේ ඇස් ආක්‍රමණය කර සිටින එම කඩය තුළ සිද්ධ වන වෙළඳාමක් අපට දක්නට නොලැබේ. එය එසේම පවතී. ඒ නිසා එය නාට්‍යයෙහි ආඛ්‍යානය සමග සම්බන්ධ වන්නේ සංකේතමය අර්ථයකින් පමණකියි පෙනේ.

හඳගම අක්ෂරය නමින් සිනමා කෘතියක් කළේය. එය ලංකාවේ ප්‍රදර්ශනය කරන්නට ඉඩ ලැබුණේ නැත. එය සංකීර්ණ මානසික තත්ත්ව සහිත චරිත දෙක තුනක් වටා ගෙතුණකි. ඒ සිනමා කෘතිය ප්‍රදර්ශනයට ඉඩ නොදුන් සමාජයට හඳගම දැඩි දඬුවමක් දෙයි. ඒ මේ නාට්‍යයෙනි. එහෙයින් අක්ෂරය සිනමා කෘතිය නමැති කෞතුක වස්තුවද අන්තර්පඨිතමය වශයෙන් මෙම නාට්‍ය හා බැඳේ. නාට්‍යයෙහි පූර්ව රංගයේදී නාට්‍ය කණ්ඩායමේ නායකයා හෙවත් කථකයා ඒ චිත්‍රපටයේ කතාව අපට කියයි. නාට්‍යයෙහි සිද්ධි විකාශනය වන අතර වේදිකාවේ දැනටම ඇති ඇන්ටීක් කඩයට ඉහළින් පිටුපස බිත්තියෙහි අක්ෂරය සිනමා පටයේම තෝරාගත් දර්ශන විකාශනය වේ. ඒ නිසා ෆ්‍රොයිඩියානු අර්ථයකින් ගත් කල මර්දිත දෙයෙහි යළි පැමිණීම සංකේතවත් කරමින් අක්ෂරය සිනමා කෘතියත් වේදිකාවට පැමිණෙයි.


අක්ෂරයේ කතාව නාට්‍ය කණ්ඩායමේ කථකයා වේගයෙන් කියයි. ඒ දීර්ඝ පූර්විකාව ග්‍රහණය කර ගැනීම තරමක් අමාරුය. අක්ෂරය නරඹා නැති කෙනෙකුට ඒ ගැටලුව බෙහෙවින් බලපාන්නට පුළුවන. අක්ෂරයේ සිද්ධ වන්නේ මෙවැන්නකි: එහි මහේස්ත්‍රාත්වරියක් සිටියි. ඇය ධනවත් ප්‍රභූ පවුලක කෙනෙකු හා විවාහ වී සිටියි. එහෙත් ඒ ප්‍රභූ පවුලේ කෞතුකත්වය සංකීර්ණ එකකි. මහේස්ත්‍රාත්වරිය විවාහ වී සිටින මහත්තයා එක් කලෙක සිය නිවසේ සේවය කළ මෙහෙකාරියක හා ලිංගික සම්බන්ධයක් පැවැත්වීය. මෙහෙකාරිය දියණියක බිහි කළාය. ඇය ඒ ප්‍රභූ පවුලේ ආධාර උපකාර ලැබ හොඳින් අධ්‍යාපනය ලබයි. රූමත් ස්ත්‍රියක බවට පත් වෙයි. අර මහත්තයා විවාහ කරගන්නේ මේ තරුණියයි. ඒ පියා සහ දියණිය අතර විවාහයකි. ඒ දෙදෙනාගේ දරුවා පුතෙකි. ඒ අසාමාන්‍ය ඊඩිපස් ත්‍රිකෝණය තුළට බිහිවන ඒ පුතා අසාමාන්‍ය දරුවෙකි. ඔහු ළමා කාලයේදීම ඔහු අතින් මිනීමැරුම් දෙකක් සිදුවේ. ඒ දෙවැනි මරණයට ගොදුරු වන්නේ ඔහුගේම මව වන මහේස්ත්‍රාත්වරියයි. ඒ ළමා අපරාධකාරයා පුනරුත්ථාපන කඳවුරක සිට තරුණයෙකු බවට නැත පැමිණෙයි. එසේ පැමිණි පසු ඔහුගේ ඉරණම ඇන්ටීක් කඩයක මරණයට හසු වේ.

                           අමුතු කතාවක්

   දැන් මේ සාරාංශය කියවූ කෙනෙකුට වුවත් මේ නාට්‍යයෙහි කතාව ඇදහිය නොහැකි තරම් අමුතු කතාවක් බව පෙනේ. එය සිනමා කෘතියේ සිට එන ලක්ෂණයකි: මේ නාට්‍යයෙහි ආඛ්‍යානයක් ඇත. එහෙත් එය කතාවක් ලෙස ක්‍රමයෙන් විකාශනය වී තේමාත්මක සංකල්පය කරා විකාශනය වී වැඩෙන්නක් නොවේ. සංකල්පයක් වෙනුවෙන් රචකයෙකු ගොඩ නගන කතාවකි. එවැනි ගොඩ නැංවීම්ද ආඛ්‍යාන කලාවේ තිබේ. සංකල්පමය රාමුව තුළට ආඛ්‍යානමය කැබලි එක් කර පුරුද්දන ලද්දක් සේ නොපෙනේ නම් වඩා හොඳය. මේ ගැටලුව ජය ගැනීමට ඕනෑම මාධ්‍යයක කතාකාරයෝ විවිධ උපක්‍රම යොදති. එකක් නම් ප්‍රතිනිර්මාණ උපක්‍රමය අධිතාත්ත්වික තත්ත්වයකට පත් කිරීමය. එවිට වියහැකි බව පිළිබඳ භව්‍යාභව්‍යතා ගැටලු මතු කිරීම අමාරුය. මෙම නාට්‍යයෙහි ප්‍රතිනිර්මාණ විධියෙහි අධිතාත්ත්විකත්වයක් නැත. නාට්‍යයෙහි සිදුවන දේ පිළිගන්නැයි අපෙන් ඉල්ලා සිටින එකම අංගය ප්‍රධාන චරිතයෙහි අමුතු මානසික යථාර්ථයයි. එනම් නාට්‍යයට විෂය වන චරිතවල සංකීර්ණ මනෝවිද්‍යාවෙහි ඇති අධිතාත්ත්විකත්වය භාවිත වන්නේ එහි සිදුවන සිද්ධි වෙත භව්‍යතාව ලබා දෙනු පිණිසය. එය ඕනෑම ආඛ්‍යානකරුවෙකුට කරන්නට අමාරු ක්‍රීඩාවකි.

  හිච්කොක්ගේ සයිකො සිනමා කෘතිය මුලින්ම ප්‍රදර්ශනය වූ වෙලාවේ නිෂ්පාදක සමාගමේ අය අදාළ සිනමා ශාලා වෙත ගොස් චිත්‍රපටය අවසාන වන්නේ කෙසේදැයි කිසිවෙකුට නොකියන ලෙස ප්‍රේක්ෂකයන්ගෙන් ඉල්ලා සිටියහ. නාට්‍යයෙහි නමෙහි එන “මරණයක්” යන වචනය ආඛ්‍යානය තරමක් දුරට පාවා දී තිබෙන නමුත් මෙම නාට්‍යය ගැන ලියන විටත් එහි ආඛ්‍යානමය අවසානය කුමක්දැයි නොකියා සිටීම හොඳය.


  මෙම නාට්‍යය වේදිකාව වෙත රැගෙන එන ප්‍රේක්ෂාමය ප්‍රාබල්‍යය ඉතා වැදගත්ය. එය අපේ දෘශ්‍ය පථය අරා සිටියි. නළිනිළියන් වේදිකාවට එක් කරන දේවල්ද හරි අපූරුය. සෞම්‍ය ලියනගේ, පසන් රණවීර, ස්ටෙෆාන් තිරිමාන්න ආදීහු ඉතා හොඳින් රඟපාති. නිපුණි සාරදා වේදිකාවට ජීවයක් එක් කරයි. සයිකො සිනමා කෘතිය සිහි කරන නමුත් පසන් රණවීර සිය චරිතය නිරූපණය කරන ආකාරය විශිෂ්ටය. වංසගතවලින් තොර කාලයකදී නම් රංගවාර බොහෝ ගණනක් දිනාගත හැකි නිෂ්පාදනයක් සේ මෙම නාට්‍යය පෙනේ. 

  අක්ෂර චිත්‍රපටයේ කෞතුකාගාරයක මුරකාරයෙක් සිටියේය. ඒ චරිතය නිරූපණය කළේ සෞම්‍ය ලියනගේය. ඔහු කෞතුකාගාර මුරකාරයෙකුට සිටි එදවස අප ඉහත කී මහේස්ත්‍රාත්වරියගේ කුඩා පුතා නිවසින් පැනවිත් කෞතුකාගාරයේ සැඟවේ. එවකට පාසල් දැරියකව සිටි මුරකාරයාගේ දියණිය හා අර කොලුවා මිතුරු වෙති. මුරකාරයා කොලුවා සිය තට්ටු නිවාසයට කැටුව යයි. ඒ මුරකාරයා සහ මහේස්ත්‍රාත්වරිය අතර ලිංගික සම්බන්ධයක්ද කෞතුකාගාරයේදීම ඇති වේ. එය දූෂණයක් බව මුරකාරයාම පසුව (නාට්‍යයේදී) කියයි. වසර ගණනාවකට පසුව මහේස්ත්‍රාත්වරියගේ පුතා හිරෙන් නිදහස් වී එන විට කෞතුකාගාරයේ මුරකරු කෞතුක භාණ්ඩ වෙළඳසැලක් ආරම්භ කර තිබේ. කෙතරම් ප්‍රභූ පසුබිමකින් පැමිණියත්, තවත් ඥාතිමිත්‍රාදීන් කොතෙකුත් සිටිය හැකි වුවත් මේ තරුණයා කෞතුකාගාර මුරකාරයා අසලම ගැවසෙයි. එසේ සිදුවන්නේ ඇයි යනාදී වශයෙන් ඇසිය හැකි නොයෙක් ප්‍රශ්නවලට සියලු පිළිතුරු මේ තරුණයාගේ අමුතු සයිකොලොජියෙන්ම සොයාගන්නා ලෙස නාට්‍යකරු අපට කියයි. එය ෆ්‍රොයිඩ්ගේ සිටම සයිකොලොජිකයන් සම්බන්ධයෙන් තිබුණු ප්‍රශ්නයකි: ඔවුහු ඉදිරිපත් කරන සංකල්පමය අදහස්වලට සාක්ෂි ඉදිරිපත් කිරීම අතින් එතරම් වගකීම් සහගත නොවුණහ. 

                             ඊඩිපස් ත්‍රිකෝණය

   මනුෂ්‍ය අතදරුවා තම ආශා සහ මනෝශක්තීන් තම මව වෙත කේන්ද්‍රගත නොකරන්නේ නම් ඔහුට හෝ අයට ජීවත් විය නොහැකි යැයි ෆ්‍රොයිඩ් වරක් කීවේය. එනම් අතදරුවා තම ජීවශක්තිය උරාගන්නේ මව වෙතිනි. තම පැවැත්මේ කේන්ද්‍රය මවගේ ශරීරයයි. එය සාක්ෂි ඇතිව හෝ නැතිව පිළිගත හැකි නම් මෙම තරුණයා අවුරුදු ගණනක පුනරුත්ථාපනයකින් පසුව පවා නැවතත් මුරකරුවා සහ ඔහුගේ දියණිය සොයා එන්නේ ඇයි? තමා අතින් සිදුවූ මරණ පිළිබඳ ස්වාත්ම විමර්ශක භාවනාවක යෙදෙන්නට ඔහුට ඉඩ නොලැබුණිද? මේ ප්‍රශ්නයට එක් පිළිතුරු නාට්‍යකරුවා ලබා දෙයි. පුනරුත්ථාපන සිරගෙදර මේ තරුණයාට මතක ඇත්තේ ලොකු පුරුෂ ලිංගයක් ලෙස පමණි. එනම් දරුවා බොහෝ දෙනෙකුගේ ලිංගික අපයෝජනයට ලක්ව ඇත.

   තමාට සපුරා අයිතිකර ගත නොහැකි වූ තම මවගේ ශරීරය තමන්ට අවසන් වරට අහිමි වූ තැන මුරකරුගේ නිවසයි. එය සිදුවන අවස්ථාවෙහි මුරකරුගේ දියණිය ඔහු හා සිටියේය. මවට පිහියෙන් ඇන පලා යන ඔහුගේ අත අල්ලාගෙන මුරකරුගේ දියණියද එදා සිටියාය. එහෙත් එක්තරා තැනකදී ඇගේ අත “අත හැරිණියි” නාට්‍යයෙහි කියවේ. හිරෙන් නිදහස් වී තරුණයා එන්නේ ඒ අත නැවත අල්ලා ගැනීමට බව පෙනේ. දැන් රූමත් තරුණ විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක වී සිටින ඒ දියණිය තම මවගේ දිගුවක් ලෙස ඔහුට පෙනෙන්නේද? එදා කොලු ගැටයෙකු වූ ඔහු සිය තත්‍ය මවට පිහියෙන් ඇන්නේ තම මවගේ ශරීරය පිළිබඳ ආශාව ඒ මුරකරුගේ දියණිය වෙත ප්‍රක්ශේපණය කරනු පිණිසද? මේ දරුවා නිසා තම ජීවිතයද අවුල් කරගත් මුරකරු(සෞම්‍ය) ඒ දරුවා තරුණයෙකු ලෙස නැවත පැමිණෙන විට තම එකම දියණිය වෙත මෙලෙස සමීප වන්නට ඉඩදීම පිළිගත හැකිද? යථාර්ථවාදී ප්‍රවේශයක් ගතහොත් භව්‍යතාව පිළිබඳ බොහෝ ප්‍රශ්න ඇසිය හැක්කේ මේ චරිතය සම්බන්ධයෙන් නොවේද? මේ සියල්ලට පිරිමසින පිළිතුරු නොලැබේ. ඒ පිළිතුරු ලෙස අපට ඇත්තේ නම් දෙකක් පමණි: ෆ්‍රොයිඩ් සහ හඳගම. පළමු වැන්නාගේ සංකල්පත්, දෙවැන්නාගේ වැඩත් නිසා අපට අර ප්‍රශ්න ඇසීම අමාරුය. ඉතා පැරණි අදහසක් වන ඊඩිපස් ත්‍රිකෝණය පිළිබඳ අදහස අදටත් සංකීර්ණ ආඛ්‍යානයක් දරා සිටිය හැකි තරම් ප්‍රබල අදහසක්ද? සයිකො, පර්ෆියුම්, සැවේජ් සර්කල්, රීඩර්, හැරල්ඩ් ඇන්ඩ් මෝඩ්, ෂට් ඉන් ආදී සිනමා කෘති ගණනාවකට සංකල්පමය පසුබිම අඩුවැඩි වශයෙන් සපයන සංකල්පයක් ආඛ්‍යානයක අර්ථකාරක යාන්ත්‍රණයක් ලෙස දැන් පිළුණු වී නැතිද?

                                    ජාතිය නමැති මව

 මෙම නාට්‍යයෙහි තේමාත්මක තලය තුළ මා දකින වඩාත් අර්ථවත් මානය ඇත්තේ ඊඩිපස් ත්‍රිකෝණය තුළ ඇති පුද්ගල සංකීර්ණතාවේ නොවේ. මා එය දකින්නේ ඊඩිපස් ත්‍රිකෝණයෙහි මව සංකේතමය මවක ලෙස අපගේ සාමූහික ජීවිතය වෙත ප්‍රක්ශේපණය කිරීමට මෙම නාට්‍යයෙහි ඇති විභවතාව වෙතය. නාට්‍යයෙහි වේදිකාව අරා සිටින ප්‍රධානතම දෘශ්‍ය වස්තු වන අප ආඩම්බරයෙන් සලකන කෞතුක වස්තු අප සලකන්නේ අර සංකේතමය මවගේ ශේෂ ලෙසය. අතීතය ලෙසද, ඉතිහාසය ලෙසද, සංස්කෘතික උරුමය ලෙසද ඒ මව නැවත නැවත අප වෙත එයි. අපි ඒ මව වෙත ව්‍යභිචාරාත්මක ආශාවක් දක්වමු. අපේ දේශපාලනය යනු ඒ මව සමග කරන සංකේතමය රමණයකි. ඒ මානසිකත්වයෙන් වෙන් වන්නට කරන දේශපාලනය මව පාවාදීමක් සේ අර්ථකථනය කෙරේ. තමන් ඒ මවගේ ආරක්ෂකයන් යැයි සිතාගත් පිරිසක් විසින් කොළඹ කෞතුකාගාරයේ වූ කඩුවක් සොරකම් කළ පුවත වසර කිහිපයකට පෙර ආරංචි විය. ඒ අර්ථයෙන් ගත් කල වේදිකාවේ ඇති ඇන්ටීක් කඩය වේදිකා වස්තුවක් තවදුර භාවිත විය හැකිව තිබිණි. එහි විකිණීමට ඇති ආකාරයේ කෞතුක භාණ්ඩවලට දේශීය මධ්‍යම පාන්තිකයා අතරද ලොකු ඉල්ලුමක් ඇති කතිකාවක් පවතින බව තවත් පැහැදිලිව පෙනුණේ නම් වඩා හොඳය. කෙසේ වෙතත් ඒ කඩයෙන් පෙනෙන සංකේතමය මව නියෝජනය කරන අංග අපගේ වර්තමානය වෙත පැමිණ වර්තමානයෙහි ජීවත් වන අප එකිනෙකාට ආදරය කළ නොහැකි රොබෝ හිංසකයන් පිරිසක් බවට පත් කරන්නේ මන්ද යන ප්‍රශ්නය මේ නාට්‍යය ඇසුරින් මතු කළ හැකිය. 

    නිදර්ශනයක් ලෙස මෙම නාට්‍යයෙහි එන හීරළු ශිෂ්‍ය සටන්කරුවා ජාතිය නමැති මවගේ උරුමය සංකේතවත් කරන කෞතුක වස්තු වෙනුවෙන් දේශපාලනය කරන්නෙකු වී නම් අපට අර අර්ථමය මානය හසුවේ.( හීරළු ශිෂ්‍ය සටන්කරුවා නිරූපණය කරන ආකාරයෙහි ඇති නිර්දයභාවයට මා කැමති නැත. ඔහුගේ මනුෂ්‍යමය යහපත්භාවයට ඉඟියක් නාට්‍යයෙහි අවසාන ජවනිකාවෙන් පෙනෙන බව ඇත්තය. මෙය තුවක්කුවක් නොවේ නාට්‍යයේහී හීරළු චරිතය දෙස බලන දයාබර බව මෙහිද වී නම් හොඳය. මෑත කාලීන ශිෂ්‍ය ව්‍යාපාරය සම්බන්ධයෙන් තරමක අකාරුණික ස්වරූපයක් මේ චරිතය නිරූපණය තුළ තිබේ.). අපේ ඉතිහාසය පුරා ශිෂ්‍ය සටන්කරුවාගේ සටන්පාඨ අතර කෞතුක මව කෙරේ වූ සරාගී සටන් පාඨ දැකිය හැකි විය. එවැනි මානයකට නාට්‍යය වර්ධනය වී නම් වේදිකාවේ විශාල ප්‍රමාණයක් ආවරණය කරගෙන සිටින කෞතුක වස්තු අර්ථවත් ප්‍රේක්ෂාමය කාර්යයකට සහභාගි කරගන්නට තිබිණි. දැනට සිදුවන්නේ ඒ කෞතුක වස්තු අතර වූ එක මොට්ට කඩුවක් නාට්‍යයෙහි ඉතා ආදරණීය වූද, ජීවිතයෙහි ප්‍රාණ ශක්තිය අඟවන්නා වූද, සියලු චරිත අතර වඩා අවංක චරිතය වූද මනුෂ්‍යයා විනාශ කිරීම පිණිස භාවිත කිරීම පමණි. එසේ මරණය කරා යන චරිතය කවුදැයි නොකියා සිටින්නට කැමැත්තෙමි.

  අනෙක, ඇන්ටීක් වෙළඳාම යනු අපේ පශ්චාත් නූතන තත්ත්වයෙහි සිදුවන ප්‍රධාන ආර්ථික කටයුත්තකි. එයට ඇන්ටීක් අලුතින් නිෂ්පාදනයද අයිතිය. මෙම වෙළඳසැලේ අයිතිකරුවා ඒ කඩය තුළ ඇන්ටීක් වස්තු අලුතින් නිෂ්පාදනය කරන බව රංගයෙන්ම පෙන්වී නම් වඩාත් උචිතය! එසේ වී නම් මා ඉහත කී සාමූහික අවිඥානය පිළිබඳ කතාව වඩා ප්‍රබල වන්නට තිබිණි. එනම් ඊඩිපස් ත්‍රිකෝණය න්‍යෂ්ටික පවුලෙන් පිටතට ගෙන ඊට වඩා විශාල අඩවියකද අදාළ කළ හැකිව තිබිණි.

  ප්‍රේක්ෂාමය ප්‍රාබල්‍යයෙන් උසස් මෙම නාට්‍යය බොහෝ දෙනාගේ අවධානයට යොමු විය යුත්තකි.  මෙම නාට්‍යය නොයෙක් වාදවිවාද ඇති කරනු නිසැකය. වේදිකා සංගීතද ගායනයද ආකර්ෂණීය ලෙස භාවිත වූ මෙම නාට්‍යයෙහි මහජන ආකර්ෂණය දිනිය හැකි අංග බොහෝය.

  

  



1 comment:

  1. https://lankacitizens.com/art/මෙවන්-ඇන්ටීක්-කඩයක-සිදු-ව/

    ReplyDelete