Friday, April 9, 2021

මල් ගෙනෙන පණිවිඩ: සකුරා සමග විකසිත සිතිවිලි - ලියනගේ අමරකීර්ති

 

   



    මේ පේරාදෙණියෙහි කුසුම සමයයි. කොරෝනා නිසා පාළුවට ගොස් තිබූ සරසවි උද්‍යානයෙහි පවා මල් දකින්නට ආ ශිෂ්‍යශිෂ්‍යාවෝ වූහ. හිසෙහි මල් ගසා ගත් යෞවනියන්ගේ සේයාරූ සමාජ මාධ්‍යයෙහිද පාවී ගියේය. තම තම පෙම්වතියන හෝ හිතවතියන සිරුරුවල එක එක තැන නෙක නෙක මල් තබා ඡායාරූප ගන්නා යෞවනයෝද අපේ සරසවි උයනෙහි පසු ගිය දවස්වල සිටියහ. තම සරසවි උයනෙහි පිපී වැටුණු මල්වලින් මියන්මාරයෙහි ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා සටන් කරද්දී මරා දැමුණු අය වෙනුවෙන් ආචාර පුද කරන සිසුන් පිරිසක්ද දැකිය හැකි විය. මේ රචනයෙහි මැද ඒ ඡායාරූපය ඇත.

   අවුරුදු දහයක පමණ කාලයක් තුළ මම පරිසරවාදී සාහිත්‍ය න්‍යාය හා සමග පරිසරවාදී චින්තනය අපේ ප්‍රථම උපාධි පාඨමාලාවේ උගන්වමි. ඒ නූතන සාහිත්‍ය න්‍යාය පිළිබඳ පාඨමාලාවේ කොටසක් ලෙසිනි. පරිසරවාදී චින්තනයේ සම්භවය පමණක් නොව ගෝලීය මූලයන් ගැනද අපි ටික ටික හෝ කතාබහ කරමු. ඒ අතර හයිකු කවිය ගැනද කතා කරන්නට සිදු වේ. ආරියවංශ රණවීර, මහාචාර්ය ආරිය රාජකරුණා ආදීන් සිංහලට නැගූ ජපන් හයිකු පමණක් නොව නොයෙක් ඉංග්‍රීසි පරිවර්තනවලින් ගත් හයිකු කවිද අපගේ සාකච්ඡාවට ලක් වේ. මේ සතියේ ද ඉකොනොමිස්ට් සඟරාවේ පළ වූ ලිපියක් අද උදේ ඇස ගැසීම හද කම්පනය කරන සිද්ධියක් විය.

  ජපන් හයිකු කවියට අපමණ වාරයක් අපමණ ආකාරයේ නිමිති සැපයූ චෙරි හෙවත් සකුරා මලට පැවැත්ම අහිමි වෙමින් තිබේද? එමගින් සකුරා හයිකුවෙහි අවසානය එළඹේද? ඒ ලිපියේ කෙටි පණිවිඩය එයයි.

  

නංවයිද සිතට

කොපමණ, අපමණ දේ

මෙ සකුරා මල්

යනුවෙන්  


වරක් මත්සුවෝ බෂෝ කවියක ලිව්වේය. ද ඉකොනොමිස්ට් ලිපිය ආරම්භ වන්නේද ඒ කවියෙනි. 

සකුරා මලෙහි සුන්දරත්වය, එහි ක්ෂණ භංගුරභාවය, අනිත්‍යය, සකුරා මලින් නිවේදනය වන ස්වභාව ධර්මයෙහි නොනවතින රිද්මය ආදිය ගැන කවියෝ ලියූහ. මේ හයිකු දර්ශනය හයිකු නම් කෙටි කවියෙන් මිදී නවකතාව වැනි නූතන ශානර වෙතද බලපෑම් කළ බව කවබතා වැනි අයගේ නවකතාවලින් පෙනේ. The Snow Country සහ  Beauty and the Sadness   වැනි නවකතා හයිකුමය ආත්මයක් ඇති ප්‍රබන්ධ කථා වැනිය.


මෙවර මාර්තු 14 වෙනිදා සකුරා පළමු වරට පිපිණි. ජපාන කාලගුණ දෙපාර්තනමේන්තුව 1953 වසරේ සිට සකුරා පිපෙන දවස් නියාමනය කළේය. මාර්තු 14 වෙනිදා යනු වසරේ කලින්ම සකුරා මතුවීම පිළිබඳ එතෙක් වූ වාර්තාව සම කළ සිද්ධියක් විය. මාර්තු 26 වෙනිදා වන විට කියෝතෝ නගරයේ චෙරි ගස් සම්පූර්ණයෙන්ම මල් දරුවේය. ඒ වූකලි අවුරුදු 1200ක කාලය පුරා යම් වසරක කලින්ම සපුරා සකුරා පිපුණු දවස විය. මාර්තු මාසයේ අග තරම්  කලින් සකුරා පිපෙන්නේ ඇයි? ඒවා පිපිය යුත්තේ තව සති කිහිපයකට පසුව වසන්තය පැමිණි බව නිවේදනය කරමින් නොවේද? මේ ශීත සෘතුවෙහි මැද ඒවා පිපෙන්නේ ඇයි? විද්‍යාඥයන් දකින හැටියට ඊට හේතුව කාලගුණ විපර්යාසයයි.

    වැඩිකල් නොයාම සෑම වසරකම කලින්ම සකුරා පිපෙන්නට ඉඩ ඇත්තේ පමණක් නොව පිපෙන මල්වල ගණනද විසිරියද අඩු වීමට ඉඩ තිබේ යැයි ඒ විද්‍යාඥයෝ කියති.. ජපානයේ බහුලව දැකිය හැකි සොමෙයි යෂිනෝ නම් චෙරි විශේෂය අලංකාර ලෙසද බහුල වශයෙන්ද සකුරා උපදවන්නට නම් දීර්ඝ සරත් කාලයක් හා දැඩි ශීත කාලයක් තිබිය යුතුය. එනම් අඩු තරමින් මාස හතරක වත් ක්‍රමයෙන් වැඩි වන හා ක්‍රමයෙන් අඩු වන සීතලක් තිබිය යුතුය. වසන්තය එන්නේ එවන් කාලයක් අවසනය. සකුරා හරියටම ලස්සනට පිපෙන්නේ එවිටය. සෙන්ටි ග්‍රේට් අංශ 8ට අඩු උෂ්ණත්වය අඩු තරමින් දවස 40 කාලයක් එක දිගට පැවතිය යුතුය. එවන් උෂ්ණත්වය නිසැක වශයෙන්ම පවතී යැයි අද දක්ෂිණ ජපානයට කිසිම සහතිකයක් නැත. හේතුව ගෝලීය උෂ්ණත්වයේ ඉහළ යාමය. මේ කාරණය කලින්ම දුටු විද්‍යාඥයෝ ශීත සෘතුව මැද පවා මල් දරන චෙරි විශේෂයක් අභිජනනය කළහ. ඒ නිසා සකුරා මල ගෙනෙන සුන්දරත්වය සපුරා අහිමි නොවනු ඇත. එහෙත් සකුරා විසින් නිවේදනය කෙරුණු සොබාදහමේ රිද්මය තව කොපමණ කාලයක් තිබේදැයි කිව නොහැකිය. ඒ නිසා ඒ රිද්මය ගැන කවීන් කළ භාවානව නිසා උපන් නෙක නෙක අරුත්වලට කුමක්වේදැයි දැනට කිසිවක් කියන්නට හැකියාවක් නැත. 


                            {Showing solidarity with Myanmar struggle for democracy)


 කාලගුණ විපර්යාසය නිසා අවුල් කරන්නේ සකුරා පිපෙන දවස් පමණක් නොවේ. ඒ සොබා අසිරි ගැන ලියූ කවීන්ද ඒ නිසා අවුල් වේ. ජපානය යනු සෘතු ආශ්‍රිත සාහිත්‍ය නිර්මාණ පිළිබඳ කීර්තියක් උසුලන රටකි. සාහිත්‍යකාරයෝ නොයෙක් අර්ථ පිණිස ස්වභාව ධර්මය වෙත ඉඟි කරති. එය හරුකි මුරකමි වැනි පශ්චාත් නූතන ජපන් ජීවිතය ගැන ලියන කෙනෙකුගේ ඇතැම් කෘතියකට පවා පිවිසෙන තත්ත්වයකි. නෝර්වීජියන් වුඩ්ස් නිදසුනකි.

   10 වෙනි සිය වසේ ජපානයේ පළවූ කාව්‍ය එකතුවක් තිබේ. එහි නම කොකින්වකශුය. එය ආරම්භ වන්නේ එක එක සෘතු ගැන ලියූ පරිච්ඡේද හයකිනි. ඒ කවිවල අර්ථ අනාගත රසිකයන් වටහා ගනු ඇත්තේ කෙසේද?17 වෙනි සියවසේදී හයිකු කවිය ජනප්‍රිය කළ බෂෝ ඔහුගේ කවිවල සෘතු වචන හෙවත් කිගෝ ඇතුළත් කළේය. එහෙත් දැන් කාලගුණ විපර්යාසය නිසා කිගෝ වචන නිසා කවියට එළඹුණු සෘතුමය අර්ථ වියවුල් වී ඇත. බෂෝගේ එක කවියක සුළිසුළඟක් ගැන කියවේ. එය වාර්ෂිකව ඇතිවන සුළං තත්ත්වයකි. ඒ කවියේ එන හැටියට එය සිදුවිය යුත්තේ සැප්තැම්බර් මැද වැනි කාලයකය. ඒ සුළං තත්ත්වය අද එක්කෝ මැයි මාසය තරම් කලින් සිදුවේ; නැත්නම් දෙසැම්බර් මාසය තරම් පමා වේ. 

  මේ තත්ත්වය ගැන කතා කරන මියශිතා එමිකෝ නම් මෙකල ජපානයෙහි වසන ප්‍රකට කිවිඳිය මෙසේ කියයි:

“සකුරා පිපෙන කාලයෙ වෙනස්වීම හිතට කරදර ඇති කරනවා තමයි. එහෙම වෙලත් සකුරා අපේ හිතේ හැඟීම් ඇති කරනවා. ඒ තමයි පාරිසරික වශයෙන් අපි ඉන්න අනතුරුදායක තත්ත්වෙ ගැන හැඟීම්.”

ඇය කියන්නේ විසි එක් වෙනි සියවසට අලුත් අරුතක් උපදවන කවි සිතිවිලි නගන්නටද සකුරා මලට හැකි බවය.

                                                               පිපෙන සරසවි උයන

    පේරාදෙණියෙහි වැඩි වශයෙන් මල් පිපෙන්නේ සරසවි උයනෙහිය. ඒවා සරසවිය සැලසුම් කළ අය ලෝකයේ නොයෙක් තැන්වලින් ගෙනැවිත් පැළ කළ මල්ය. ඒ නිසා ඒ සරසවි උයනෙහි ස්වභාවිකත්වය එක්තරා අර්ථයකින් මුළු පෘතුවි ගෝලයෙහිම ස්වභාවික ඉරණම සංකේතවත් කරයි. මේ සරසවි උයනෙහි මල් පිපෙන හැටි, රිද්ම, ප්‍රමාණ ආදිය අපේ විද්‍යාඥයන් විසින් වාර්ථා කර තැබිණිද? ඒ මල්වල අඩු වැඩි වීමක් ගැන පර්යේෂණ කෙරී තිබේද? මගේ හදිසි නිගමය වන්නේ නැත යන්නයි. අපමණ කවිකිවිඳියෝ නම් ඒ මල් ගැන අපමණ කවි ලියූහ.

   "ලංකාව" යැයි නම් කර තිබෙන මේ තරමක් විශාල පෘතිවි කැබැල්ලේ, පිහිටි "පේරාදෙණිය" නමින් නම් කර ඇති කුඩා පෘතිවි කැබැල්ලේ පිපෙන හෝ නොපිපෙන මල්වලට සමස්ත පෘතිවියෙහි ඉරණම ගැන පණිවිඩයක් අප වෙත ගෙන ඒමට හැකියාව තිබේ. ඒ පණිවිඩය අසන්නට අප සූදානම්ද? හයිකු කවි සිය දහස් ගණනක් දෙබසකින් කියවීමෙන්ද, පැලෑටි සිය දහස් ගණනක් සමග ගෙවතු වවන්නෙකු ලෙස ගත කිරීමෙන්ද, හරිතවන් හාත්පසක් සහිත කඳු ගැටයක වාසය කිරීමෙන්ද එවන් පුංචි පණිවිඩවලට සවන්දීමේ හැකියාවක් මා තුළද වර්ධනය වී තිබේ. මට වඩා මුදුමොලොක් හදක් ඇති අයට ඒ පණිවිට මට වඩා හොඳට දැනෙන බව මම දනිමි.

No comments:

Post a Comment