Tuesday, April 13, 2021

දිලුම් අමුණුගමට එරෙහි මෙම ප්‍රකාශ ඔබ දුටුවාද? ලියනගේ අමරකීර්ති

 



    දෛනිකව කරන ගෙවතු වගා කටයුතු අවසන්ව පැමිණි පසු අද අප්‍රේල් පළමුවෙනිදා යැයි මම සිතින් මවා ගතිමි. එවිට පහත සඳහන් ඡේද දර්ශනය විය.


මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී දිලුම් අමුණුගම, තම හාම්පුතා වන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හිට්ලර් කෙනෙකුට අවශ්‍ය සියලු ගුණාංගවලින් යුතු කෙනෙකු යැයි කීම නිසා දිවයින පුරා බොහෝ දෙනෙක් කෝපයට පත් වී සිටිති. තම ජනාධිපතිවරයාගේ ඉතිරි ධුරකාලය තුළ ඔහුගේ  හිට්ලර් ලක්ෂණ වැඩි වැඩියෙන් ප්‍රකාශ වනු දකින්නට තමන් කැමති යැයි අමුණුගම කළ ප්‍රකාශය බියගෙනදෙන, අශිෂ්ට ප්‍රකාශයක් සේම මුග්ධ ප්‍රකාශයක් සේ බොහෝ  දෙනෙකු දැක තිබේ. මේ වන විට ඔහුගේ ප්‍රකාශයට එරෙහිව පහත සඳහන් පුද්ගලයන් සහ ආයතන විසින් පහත සඳහන් ප්‍රකාශ නිකුත් කරනු ලැබ තිබේ:

  * 

දිවයිනෙහි පිහිටි කීර්තිමත් යටත් විජිත අධ්‍යාපන ආයතනයක් වන ත්‍රිත්ත්ව විද්‍යාලය තම ආදිසිසු දිලුම් අමුණුගමගේ හිට්ලර් වන්දනය නිසා ගැඹුරු ලෙස ශෝකයටද ලජ්ජාවටද පත්ව  ඇති බව නිවේදනය කළේය.

එම විද්‍යාලයෙහි නිවේදනය තව දුරටත් මෙසේ කීවේය: “අධ්‍යාපනයෙහි අරමුණ වියයුත්තේ හිට්ලර් වැනි කිසිම කෙනෙකු යළි කවදාවත් බලයට පැමිණීම වැළැක්වීමය.” 

ඒ මන්ත්‍රීවරයාගේ දේශපාලන චින්තනය සකස් වීමට ත්‍රිත්ත්ව විද්‍යාලයෙහි විෂය මාලාව කිසි ලෙසකින් හෝ බලපෑවේ යැයි නොසිතන ලෙස එම විද්‍යාලය මහජනයාගෙන් ඉල්ලා සිටියේය. එංගලන්ත ක්‍රිස්තියානි පල්ලියේ සහ ක්‍රිස්තියානි ආගමික ආයතන පද්ධතියේ ඉතිහාසය තුළ යුදෙව්-විරෝධී ලක්ෂණ අපමණ සොයාගත හැකි වුවත් දිලුම් අමුණුගම නාසිවාදියෙකු කිරීමෙහිලා මහනුවර ත්‍රිත්ත්ව විද්‍යාලය කිසිම කාර්යභාරයක් ඉටු නොකළ බව ඒ විද්‍යාලයෙහි ප්‍රකාශයෙන් තව දුරටත් කියවිණි.

                                                               *

 

මහනුවර පිහිටි ප්‍රධාන බෞද්ධ පන්සල් දෙක වන මල්වත්ත සහ අස්ගිරිය විහාර අමුණුගමගේ ප්‍රකාශය වහාම හෙළා දැක්කේය. ඒ බෞද්ධ ප්‍රකාශවලට මෙසේ කියවිණ: වසර ගණනාවක දේශපාලන හිංසනය අත්දුටු ලංකාවට හිට්ලර් වැනි නායකයෙකුගේ කිසිම අවශ්‍යතාවක් නැත. තම ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ සමාව ගන්නා මෙන් ඒ විහාරවල නායක හිමිවරු දිලුම් අමුණුගමගෙන් ඒකාබද්ධ ඉල්ලීමක් කළහ. බෙහෙවින් අර්ථවත් ආකර්ෂණීය පාලි ගාථා උපුටා දක්වා තිබුණු ඒ ප්‍රකාශවලින් කියවුණේ බුදුන් වහන්සේ කිසි කලෙක හිට්ලර් වැනි නායයකන්ට අනුග්‍රහය නොදැක්වූ බවය. බුදුන් දවස එවැනි අශිෂ්ට නායකයෙකු සිටියේ නම් බුදුන් කළේ වහාම ඒ නායකයා දමනය කොට දැහැමි කිරීමය. 


*

           වඩාම අලංකාරවත් බසින් ලියුවුණු ප්‍රකාශය නිකුත් කෙරුණේ දිලුම් අමුණුගමගේ ආසනයෙහිම පිහිටි පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙහි උපකුලපතිවරයා විසිනි. හිට්ලර්ගේ ගතිගුණ අගය කරන මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය ඇසී පාවාදෙනු ලැබූවාක් වැනි අසරණ හැඟීමක් උසස් අධ්‍යාපන ආයතනයක පාලකයා වන තමාට දැනුණු බව උපකුලපතිවරයා කියා සිටියේය. එතුමා මෙසේද කීවේය:

“විශ්වීය මානවීයත්වය සොයාගන්නට සහ ඒ මනුෂ්‍යයත්වයට ගරු කරන්නට උගන්වන අපගේ විශ්විවද්‍යාලය අහළපහළින්ම ෆැසිස්ට්වාදී දේශපාලකයෙකු මතුව තිබීම ගැන මම ගැඹුරු ලෙස ශෝකයට පත්ව සිටිමි.”

  ප්‍රාඥ ලක්ෂණයෙන් සපිරි උපකුලපතිවරයාගේ ප්‍රකාශනය විසි එක් වෙනි සියවසට උචිත සැබෑ අධ්‍යාපන පරමාදර්ශ පැහැදිලි කළ අතර ඒ පරමාදර්ශවලින් සැදුණු සාමකාමී අනාගතයෙහි හිට්ලර් කෙනෙකුට කිසිම ඉඩක් නොමැති බවද කියා සිටියේය. 

                                    *                      

   මැනවින් උගත් සර්වභෞමික වූද අන්තර්ජාතික වූද රුචිය සම්බන්ධයෙන් නිරන්තර ප්‍රසිද්ධියක් උසුලන දෙරණ රූපවාහිනී නාලිකාව යනු මන්ත්‍රිවරයාගේ ප්‍රකාශය පිළිබඳ අප්‍රසාදය පළ කිරීමට මුලින්ම ඉදිරියට ආ මාධ්‍ය ආයතනයයි. ඒ නාලිකාව අයිති ව්‍යාපාරික ප්‍රකෝටිපතිනිය අර මන්ත්‍රිවරයාගේ ඥාති සහෝදරියක වීම හේතුවෙන් මන්ත්‍රීවරයාගේ අදහස්වලින් තමන් ඈත් වී සිටින බව පෙන්වීමට එම නාලිකාව විශේෂ උත්සාහයක් ගත්තේය. එම නාලිකාව මෙසේ කියා සිටියේය:

"දෙරණ නාලිකාවෙහි අපි සෑම විටෙකම බහුසංස්කෘතික ලංකාවක් සහ ලෝකයක් වෙනුවෙන් පෙනී සිටියෙමු. හිට්ලර් සහ ඔහුගේ දෘෂ්ටිවාද මනුෂ්‍යවර්ගයා අභිමුව ඇති දරුණුම තර්ජනවලින් එකක් යැයි අප නාලිකාව සෑම විටෙකම සලකා ඇත. ලංකාවේ හෝ ලෝකයේ කිසිම තැනක සිටින අංශු මාත්‍රයක් හෝ හිට්ලර් ලක්ෂණ ඇති නායකයෙකුට දෙරණ කිසි කලෙක සහාය නොදක්වනු ඇත. එසේ කරන්නේ නම් එය මනුෂ්‍යයත්වයටද නිග්‍රහයකි. "

      *

වඩාම හෘදයංගම වූද අනුවේදනීය වූද ප්‍රකාශය නිකුත් වූයේ තවත් අමුණුගම කෙනෙකු වෙතිනි. ඒ වූකලි අන් කිසිවෙකු නොව සෝබෝන් විශ්වවිද්‍යාලයෙහි උගත්, විශ්‍රාමික දේශපාලනඥ ආචාර්ය සරත් අමුණුගමය. තරුණ නාසි-අමුණුගම දේශපාලනය වෙත රැගෙන එන ලද්දේ ආචාර්ය අමුණුගම විසිනි. ගැඹුරු ශෝකයෙන් යුතු ආචාර්ය අමුණුගම තම දියණියට අයත් දෙරණ ජාතික නාලිකාවේ පෙනී සිට, තම දේශපාලන පුත්‍රයාගේ මුග්ධකම දැඩි සේ පිළිකුලට භාජනය කළේය. සාමාන්‍යයෙන් බෙහෙවින් ව්‍යක්ත කථිකයෙකු වන ආචාර්ය අමුණුගම දිලුම්ගේ දේශපාලන දෘෂ්ටිය සම්බන්ධයෙන් තම ශෝකය ප්‍රකාශ කිරීමෙහිලා වචන සොයා ගැනීමේ දුෂ්කරතාවකින් පෙළෙන බව පෙනී ගියේය. එහෙත් , හිට්ලර් හෝ එවැනි කිසිම කෙනෙකු ලංකාවට අවශ්‍ය නැති බව ඔහු ඉතා පැහැදිලිව කියා සිටියේය. ඔහු තවදුරටත් මෙසේද ඇඟවීය: තමාගේ චිරප්‍රසිද්ධ අධ්‍යාපනය- මහනුවර ත්‍රිත්ත්ව විද්‍යාලය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය, සෝබෝන් විශ්වවිද්‍යාලය ආදියෙන් ලද අධ්‍යාපනය,- එක්සත් ජාතින්ගේ සංවිධනයෙහි සේවය කිරීමෙන් ලද අත්දැකීම්, නිරන්තර කියවීමෙන් ලද පාණ්ඩිත්‍යය, නිරන්තර ලිවීම නිසා ගොඩ නැගුණු කීර්තිය පමණක් නොව මහනුවර ප්‍රභූවරයෙකු සේ තමාම ලෝකය හමුවේ ගොඩනැගූ අංලකාර ස්වයං- චරිතාලේඛ්‍යය යනාදී සියල්ල තම දේශපාලන අනුපාප්තිකයාගේ විනාඩියක මුග්ධත්වය නිසා ලිහි ඉහිරී ගොස් කඩා වැටුණේය. ඒ ගැනම පමණක් වුව ආචාර්ය අමුණුගම දැඩි සේ ශෝකවන බව පෙනිණි. 

                                                   

                                                                *

මෙවන් ප්‍රකාශන නොයෙක් දෙනා විසින් දිගින් දිගටම නිකුත් වෙමින් තිබේ. ඒ සියල්ලෙන්ම දිලුම් අමුණුගමගේ හිට්ලර් ප්‍රේමය අශිෂ්ටත්වයක්, මුග්ධත්වයක් සේ ගර්හාවට ලක් කෙරේ.


 

                                          ****

මගේ පාඨකයිනි සමාවුව මැනව. ඉහත කී ආකාරයේ ප්‍රකාශ නිකුත් වීමක් සිදු වී නැත. ඉහත ඡේද සියල්ල අද අප්‍රේල් පළමුවෙනිදා යැයි පරිකල්පනය කිරීම නිසා මට පෙනුණ විකාර දර්ශනයක ඵලයක් වේ.  



 


5 comments:

  1. 'අනේ අපි කවදාක හිනැහෙමුද ඒ රටේ...'

    Beautifully said.

    ReplyDelete
  2. භරිම වටිනා අදහස් රැසක එකතුවක්.ස්තූතියි දැනුවත්කලාට

    ReplyDelete
  3. ඕන එකෙක් ඕනැ එකක් කියපුදෙන් කියලා සැපසේ නිදාගන්න හරීම තැන්පත් ජාතියක් නෙ අපි .කාට හෙන ගැහුවත් මට වැදුණේ නැත්නම් මට මොකෝ.ඔය කොයි උන්නාන්සේලා ත් එකයි .

    ReplyDelete
    Replies
    1. මේ කතාව නම් හරියටම හරි. තමන්ට පාඩුවක් වෙනකම්ම අනිත් අයගෙ පොදු යහපත වෙනුවෙන් කතා කරන්නෙ නැහැ. දැන් පේනවනෙ අර විවාහක රූ රැජින තරගකාරියන් ටික. තරඟය යන අතරෙ තේරුනාලු මොකක්ද වෙන්නෙ කියලා හැබැයි කට ඇරියෙ නැහැ. මුලු ලෝකයම ලංකාවෙ කාන්තාවන් තවත් කාන්තාවකට (ඇය වැරදිද නිවැරදිද කියන එක වෙනම කතාවක්) සලකන විදිය දැනගත්තට පස්සෙ දැන් මාධ්‍ය සාකච්ඡා.

      Delete