Tuesday, June 15, 2021

වසංගත කාලෙක ශාස්ත්‍රීය ලේඛනය ඉගැන්වීම සහ මා ලද දුලබ වාසනාවක්- ලියනගේ අමරකීර්ති



                     ශාස්ත්‍රීය ලේඛනය යනු කුඩා ශිෂ්‍ය කණ්ඩායමකට සමීප අවධානය දෙමින් පළපුරුදු ගුරුවරුන් විසින් වැඩමුළු ස්වරූපයෙන් ඉගැන්විය යුතු විෂයකි. මේ ඒ විෂය අප උගන්වන ආකාරය ගැන රචනයකි. 

      

     අපේ විශ්වවිද්‍යාලයේ ප්‍රථව වසර සිසුන් සඳහා ශාස්ත්‍රීය සන්නිවේදනය පාඨමාලාවක කොටසක් මම උගන්වමි. මෙවර ඒ පාඨමාලාවට ශිෂ්‍යශිෂ්‍යාවෝ හත්සිය පනස් (750) දෙනෙක් පමණ ලියා පදිංචි වී සිටිති. මේ කිසිවෙකුගේ මුහුණ විනාඩියකට වත් මා දැක නැත. එතරම් විශාල පිරිසක් සජීවී සූම් දේශන සඳහා සහභාගි කරවා ගත නොහැකි නිසා අප කරන්නේ පටිගත කළ සූම් වීඩියෝ මගින් ඉගැන්වීමයි. ඒ වීඩියෝවෙන් පවර්පොයින්ට් ඉදිරිපත් කිරීම නැරඹීමටද මගේ හඬ ඇසීමටද ශිෂ්‍යශීෂ්‍යාවන්ට හැකියාව ඇත. අප තිදෙනෙකු විසින් ඉගැන්වෙන එහිදී මා උගන්වන්නේ එක් කොටසක් පමණි.

    මගේ දේශනවලදී ආවරණය කෙරෙන්නේ මෙවෙනි දේය: මානව ශාස්ත්‍ර සහ සමජයීය විද්‍යාවල ක්ෂේත්‍රවල දැනුම යනු කුමක්ද? එහි ස්වභාවය සහ කාර්ය කවරක්ද? ඒ විෂයවලට අදාළ ශාස්ත්‍රීය ලේඛනය සහ වාචික සන්නිවේදන කටයුතුවල මූලික ලක්ෂණ මොනවාද? තමන් අධ්‍යයනය කරන විෂය හෝ මාතෘකාව වෙතින් ප්‍රශ්න අසමින් දැනුම ගවේෂණය කිරීමේ විධික්‍රම මොනවාද? ප්‍රවාදයක් යනු කුමක්ද? ශාස්ත්‍රීය රචනයක හෝ වාචික ඉදිරිපත් කිරීමක කොඳු නාරටිය සේ ප්‍රවාදයක් හෙවත් ස්වාධීන සහ ස්වීය තර්කයක් තිබිය යුත්තේ ඇයි? හොඳ රචනාවක මූලික ව්‍යූහමය ලක්ෂණ මොනවාද?

      මට වඩා හොඳින් භාෂාව සහ ව්‍යාකරණය දන්නා වූද ඉහළම සුදුසුකම් ඇත්තා වූද ගුරුවරු නිරවද්‍ය භාෂා ශෛලි ආදී අංශ ගැන උගන්වති. මේ ශිෂ්‍යශිෂ්‍යාවන් 750 දෙනා ලංකාවේ විවිධ තැන්වල සිට විටින් විට මේ සූම් වීඩියෝ නරඹන බව මම දනිමි.

  අපට ලැබෙන වැටුප ගැන හෘදයසාක්ෂියේ ඇති බරත්, අපේ ශිෂ්‍යශිෂ්‍යාවන් ගැන ඇති වගකීමත් නිසා අනෙක් අය මෙන්ම මමද මේ ඉගැන්වීම කරමි. එහෙත් ඒ අතර මා ලද දුලබ වාසනාවක් සිහි කර කර තැවෙමි.

                                          

 (W- විස්කොන්සින් විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨ ප්‍රදේශයෙන් කොටසක්       )


                                                  විස්කොන්සින් ලේඛන පුහුණුව


1998 වසරේ මා ඇමරිකාවේ විස්කොන්සින් විශ්වවිද්‍යාලයට ගියේ ශාස්ත්‍ර පති උපාධිය හැදෑරීම පිණිසය. ග්‍රාමීය පසුබිමකින් ආ මා ඒ වන විට කවදාවත් ඉංග්‍රීසි මාධ්‍යයෙන් උගෙන තිබුණේ නැත. ඒ බසින් ශාස්ත්‍රීය වූ කිසිවක් ලියා නොතිබිණි. කැඩිච්ච ඉංග්‍රීසියෙන් යමක් කමක් කියා ගැනීමට හැකියාව තිබිණි. ඒ වසරේ ෆුල්බ්‍රයිට් ශිෂ්‍යත්ව ලැබූ තිදෙනා අතරින් ඉංග්‍රීසි පසුබිමක් නැති තැනැත්තා වූයේ මාය. ඒ නිසා ශ්‍රී ලංකා ෆුල්බ්‍රයිට් කොමිෂන්හි අධ්‍යක්ෂකවරයා වූ තිස්ස ජයතිලක මට මහත් වාසනාවක් උදා කළේය. ඒ නම් විස්කොන්සින් විශ්වවිද්‍යාලයෙහි පාඨමාලා ඒ වසරේ සරත් සමාසිකයෙහි නිල අධ්‍යාපන කටයුතු ආරම්භ වීමට මසකට පමණ පෙර ඉංග්‍රීසි ලේඛනය සහ කථනය උගන්වන පාඨමාලාවකට මා ඇතුළත් කිරීමය. එය පැවැත්වුණේ කැලිෆෝනියා ප්‍රාන්තයෙහි  සිත්තමක් තරම් ලස්සන  මොන්ටරේ නම් නගරයකය. 

       මොන්ටරේ ඉන්ස්ටියුට් නම් කීර්තිමත් ආයතනයෙහි සහ මොන්ටරේ බේහි කැලිෆෝනියි විශ්වවිද්‍යාලයෙහි දිනපතා උදේ සිට ඒ පාඨමාලාව පැවැත්විණි. ඊට ලෝකයේ විවිධ රටවලින් මා වැනිම අය පැමිණ සිටියහ. ඒ පාඨමාලාව භාර ආචාර්යවරයා වූ ආචාර්ය පීටර් ෂෝ භාෂා ඉගැන්වීමේ විස්මකර්මයෙකි. මා පළමු වරට ශාස්ත්‍රීය ස්වරූපයේ රචනයක් ඉංග්‍රීසියෙන් ලියන්නට ඉගෙනගත්තේ ඒ පාඨමාලාවේදීය. එවිට මගේ වයස අවුරුදු තිහහකට ආසන්නය. 


   ඒ ඉංග්‍රීසි පාඨමාලාවේදී ප්‍රධාන අවධානයක් යොමු කෙරුණේ විශ්වවිද්‍යාලයකදී ඉංග්‍රීසි බසින් ශාස්ත්‍රීය ලේඛනයෙහි යෙදෙන ආකාරය ගැනය. අපි දිනපතා පිටු ගණන් කියවමින්, පන්තිවලට සහභාගි වෙමින් දෛනිකව ලියන්නට තිබුණු රචනා ලියුවෙමු. මෙක්සිකෝව, සෙනගාලය, බුර්කින ෆාසෝ, ආර්ජන්ටිනාව, සිරියාව, තුර්කිය, නෙදර්ලන්තය, පේරු, බ්‍රසීලය යන රටවලින් ආ ෆුල්බ්‍රයිට් ශිෂ්‍යත්ව ලාභීහු එහි වූහ. එක පන්තියක ශිෂ්‍යශිෂ්‍යාවන් ගණන පහලොස් දෙනෙකි. ප්‍රධාන ආචාර්යවරුන්ට අමතරව සහාය ගුරුවරු දෙදෙනෙක් සෑම පන්තියකම වූහ. සෑම දිනෙකම හවසට සියලුම පන්ති එක් කොට සියලු ගුරුවරුන්ද සමග පැවැත්වෙන සම්මන්ත්‍රණමය පන්තියකි. එහිදී අපට ශාස්ත්‍රීය ඉදිරිපත් කරන්නට සිදුවේ. විවිධ විෂයයන් යටතේ ආරාධිත දේශනවලට සවන් දෙන්නට ලැබිණි. ඒ නිසා විවිධ උච්චාරණ විධිද අපේ කනට හුරු විය.

    ඒ සති හයක පමණ කාලය තුළදී ඒ භාෂාව ගැන මගේ ආත්ම විශ්වාසය වැඩිණි. එය අවසන මම කැලිෆෝනියාවේ සිට විස්කොන්සින් කරා සැතපුම් තුන් දහසකට කිට්ටු ගමන ගුවනින් ගියේ ඒ අගෝස්තුවේ අග අධ්‍යයන කටයුතු ඇරඹීමටය. 

         

   විස්කොන්සින් විශ්වවිද්‍යාලය යනු සුන්දර තැනකි. විශාල විල් තුනකින් වට වුණු මැඩිසන් නගරයේ විශාලම විල අද්දර සරසවිය පිහිටා ඇත. 

   එහි පැවති විදේශීය ශිෂ්‍යයන්ගේ ඉංග්‍රීසි පාඨමාලාවද විස්මකර්ම එකක්ම විය. සියලුම පීඨවල විදේශීය ශිෂ්‍යයන්ගේ ගණන සිය ගණනකි. එහෙත් උපරිම ශිෂ්‍ය සංඛ්‍යාව විස්සකි. 

    මට අමතර වාසනාවක් උදා විය. ඒ මගේ ගුරුවරයා ලෙස ස්ටීව් ටිම් මුණ ගැසීමය. ස්ටීව් ටිම් කවියෙකි. පොත්ද පළ කර තිබිණි. මාද ඒ වන විටත් පොත් ලියා ඇති බව ඕනෑම කෙනෙකුට කියන්නට බලා සිටි මම පළමු අවස්ථාවේම ටද ඒ ගැන කීවෙමි. ටිම් පහුවදාම ඔහු ලියූ කවි අහුරක් මට ගෙනැත් දුන්නේය. මට වැඩි හරියක් තේරුණේ නැත. අපි හැමදාම පන්ති අවසාන වී සාහිත්‍ය ගැන කය්යක්ද ගැසුවෙමු. 


      (ඉදිරි පෙළ මැද මහාචාර්ය ස්ටීව් ටිම්)


සතියට දවස් තුනක් ඉංග්‍රීසි පන්ති පැවැත්විණි. අප විසි දෙනාට ලියන්නට, ශාස්ත්‍රීය ඉදිරිපත් කිරීම් කරන්නට පුහුණු කරන ටිම් සාකච්ඡා පන්ති පශ්චාත් උපාධි ශිෂ්‍ය ශිෂ්‍යාවන් අතරින් තෝරාගත් කෙනෙකුට බාර දෙයි. මුලික වශයෙන් විසි දෙනාට ගුරුවරු දෙදෙනකි. ඒ ශිෂ්‍ය පිරිසට ප්‍රමාණවත් තරම් පන්ති කාමර විශ්වවිද්‍යාලයෙහි තිබිණි. 

   ඒ සමාසිකයෙන් පසු මට ඉංග්‍රීසි භාෂා පන්ති ඉගෙනීමට තවත් නිල අවශ්‍යතාවක් නොවිණි. එහෙත් මට අවශ්‍ය විය. මම ඊ ළඟ සමාසිකයෙත් ස්ටීව් ටිම්ගේ ලේඛන පන්තියේ දෙවන කොටසද හදාළෙමි. එහිදී ඔහු නිර්මාණශීලි ලේඛනයද ඉගැන්වීය. 

   මේ දුලබ වාසනාව මම උපරිම වාසියට යොදාගත්තෙමි. ශාස්ත්‍රපති උපාධියෙන් පසු ෆුල්බ්‍රයිට් ශිෂ්‍යත්ව කාලය අවසන් වුවද විස්කොන්සින් විශ්වවිද්‍යාලයෙන් ලැබුණු ශිෂ්‍යත්වයක් මත මම ආචාර්ය උපාධියද අවසන් කළෙමි.

 

  ඉහත කී ලෙස ශාස්ත්‍රීය ලේඛනයේ මූලික ලක්ෂණ උගත් මම අදටත් ඉංග්‍රීසි සහ සිංහලද තවත් භාෂාද උගනිමි. ඒ කිසිම භාෂාවක් පරතෙරට දන්නෙමි කියන්නට හැකියාවක් මට නැත.

   මා ලද ඒ වාසනාව මගේ ශිෂ්‍යශිෂ්‍යාවන්ට නොලැබීම ගැන වේදනාව කොරෝනා එන්නට කලිනුත් මා තුළ තිබිණි. 

   මුහුණවත් නොදුටු ශිෂ්‍යශිෂ්‍යාවන් 750 දෙනෙකුට මගේ පෞද්ගලික පුස්තකාලයේ සිට ශාස්ත්‍රීය ලේඛනය ඉගැන්විය හැකිද? කොරෝනා නොතිබුණත් එය කළ නොහැකිය. ඒ විෂය ඉගැන්විය යුතු හොඳම ආකාරය නම් ඒ 750 දෙනා අඩු තරමින් පන්ති 15කටවක් කඩා මට ලැබුණාක් වැනිම අධ්‍යාපනයක් සහ පුහුණුවක් ඇති ප්‍රධාන ගුරුවරුන් 15 දෙනෙකු සහ සහාය ගුරුවරුන් 15 දෙනෙකු සිටින ලේඛනය ඉගැන්වීමේ පද්ධතියකට ඒ ශිෂ්‍ය පිරිස ඇතුළු කිරීමය. එවිට ඒ ශිෂ්‍යශිෂ්‍යාවන්ට ලිවීම පිළිබඳ ප්‍රායෝගික පුහුණුවක් ලබා දිය හැකිය. ඔවුන් ලියන දේවල් පිළිබඳ සංස්කරණ උපදෙස් හොඳින් ලබා දිය හැකිය. කොරෝනා නොතිබුණත් මේ වූකලි සිහිනයකි. අපේ විශ්වවිද්‍යාලයෙහි එවැනි පහසුකම් නැත. අප රට එවැනි ධනයක් නැත. අප රට ප්‍රමුඛතාද වෙනස්ය.


    ආණ්ඩුව බඳවා ගන්නා ශිෂ්‍ය පිරිස එන්න එන්නම වැඩි කරනු මිස පහසුකම්වල තීරණාත්මක වැඩි කිරීමක් කරන්නේ නැත. ඒ නිසා අපට කළ හැක්කේ වසරකට දහසකට ආසන්න ශිෂ්‍ය පිරිසකට සහතිකපත් නිකුත් කිරීම වැන්නකි. 

   මේ සියලු අර්බුද මැද දීප්තිමත් ශිෂ්‍යශිෂ්‍යාවන් ටිකදෛනකු හෝ මතු වී ඒම හාස්කමක් වැනි දෙයකි.


   උසස් පෙළ ඉහළින්ම සමත්ව එන ශිෂ්‍ය පිරිසකට ශාස්ත්‍රීය සන්නිවේදනය අලුතින් ඉගැන්විය යුත්තේ මන්ද යන්න වැදගත් ප්‍රශ්නයකි. පිළිතුරු දෙකක් ඇත. විශ්වවිද්‍යාලයකදී ස්වීය තර්ක සහ ප්‍රවාද සහිතවද ශාස්ත්‍රීය ලේඛන ශෛලියට අනුගතවද ලියන වෙනම ශිල්පයක් ඇත. එය පුහුණු වීම අවශ්‍ය වේ. ඒ එක් පිළිතුරකි. අපේ රටේ උසස් පෙළ යනු ගුරුවරුන් විසින්ද ආකෘතිගත රාමුවකට ජාතික විභාගයකට ලියන්නට උගන්වන අධ්‍යාපනයකි. ස්වාධීන චින්තනය, විචාරාත්මක චින්තනය, නිර්මාණශීලී චින්තනයට එතැන ඉඩක් නැත. ඒ මූලික රාමුවට පිටින් යන ගුරුවරුද ශිෂ්‍යයෝද සිටිති. එනමුත් මූලික රටාව ඒකය. පුහුණුවකින් තොරව කෙනෙකුගේ මව් බසින් වුවත් ශාස්ත්‍රීය ලේඛනයෙහි යෙදීම අමාරය. එය වෙනම විෂයකි. 

    මේ විෂය පිණිස පමණක් නොව නියම මානව ශාස්ත්‍ර අධ්‍යාපනයක් සඳහා අනික් විෂයයන් සඳහාද මා ඉහත කී වැනි සම්පත් තිබිය යුතුය. එවැනි සම්පත් වෙනුවෙන් ශිෂ්‍ය සටන් පවා ඇති වන්නේ නැත. ලෝකයේ ඉහළම විශ්වවිද්‍යාලවල ඉගෙනීමට පහසුකම් ශිෂ්‍යයන් අත්දැකීමෙන් නොදන්නා බැවිනි. ආචාර්යවරු බොහෝ දෙනෙක්ද ඒවා නොදනිති.

   ඒ අතර වසංගතය පැමිණ තිබේ. මම අදිසි ශිෂ්‍යශිෂ්‍යාවන් හත්සිය පනස් දෙනෙකුට ශාස්ත්‍රීය ලේඛනය උගන්වමි. ගුරුවරයාගේ සමීප අවධානය යටතේ උගත යුතු ශිල්පයක් වැනි විෂයයක් එලෙස උගන්වන්නට අපට සිදුව තිබේ. 

    මේ වසංගතය පහව යනු ඇත. එය පහව යනු ඇත්තේ ඕනෑම ගණනක් ශිෂ්‍යයන්ට කොම්පියුටරයක් ළඟ වාඩි වී ඕනෑම විෂයයක් ඉගැන්විය හැකිය යන මිත්‍යාව ඉතිරි කර වන්නට පුළුවන. එය කොරෝනාවට වඩා භයානක වසංගතයකි. 

 හෙටත් සූම් දේශනයක් ඇති නිසා මම මේ ලිපිය කෙටි කරමි.


   ( කීර්තිමත් විදේශීය විශ්වවිද්‍යාලයකට ගොස් ඉගෙනීමට මුල සිටම මා දිරි ගැන්වූ ආචාර්ය රන්ජිනී ඔබේසේකර, මාලින්ද සෙනෙවිරත්න දෙදෙනා ගෞරවයෙන් සිහිපත් කරමි. පසුව ශිෂ්‍යත්ව සඳහා රෙකමදාරු ලිපි සපයමින් උපකාර කළ මහාචාර්ය කුසුමා කරුණාරත්න, මහාචාර්ය ගණනාථ ඔබේසේකර, ආචාර්ය රංජිනි ඔබේසේකර, ආචාර්ය (එවකට) අර්ජුන පරාක්‍රම යන අයද තිස්ස ජයතිලක මහතාද කෘතිවේදී සමරමි. මතුදා ලියන මතක පොතක  මේ සියලු දෙනා ගැන ලියවෙනු ඇත.)

                               මහාචාර්ය ස්ටීව් ටිම් මෙන්ඩෝටා විල අද්දර



7 comments:

  1. සෑම අතින්ම එකඟ වෙමි. අවශ්‍ය පහසුකම් හා සම්පත්ඝණ පුද්ගලයින් සිටීනම් මෙය අප රටේ ද කළ නොහැක්කැයි නොසිතමි.

    පළමු වසර විද්‍යාර්ථින් උදෙසා සිදුකරන දේශනය ඇසීමට කැමැත්තෙමි.

    ReplyDelete
    Replies
    1. ප්‍රතිචාරයට ස්තුතියි.

      aclamba@gmail.com

      Delete
  2. One of the problems I notice in our system is teachers not applying innovative approaches in teaching .

    ReplyDelete
    Replies
    1. yes and no. I have not been a conventional teacher all my academic life, especially after my doctoral training. Some students don't like it, though. They want a 'note'. That is the idea of education they are used to at school and at tuition classes.

      Delete
  3. "මේ වසංගතය පහව යනු ඇත. එය පහව යනු ඇත්තේ ඕනෑම ගණනක් ශිෂ්‍යයන්ට කොම්පියුටරයක් ළඟ වාඩි වී ඕනෑම විෂයයක් ඉගැන්විය හැකිය යන මිත්‍යාව ඉතිරි කර වන්නට පුළුවන."
    ඒ අදහස දැනටමත් ස්ථිර වී හමාරයි සර්. අවාසනාවකට අපේ සමහර මහාචාර්යවරු ම මේ ආකාරයට අදහස් දක්වනවා මට ඇහිලා තියෙනවා. මම උගැන්වීමට ආධුනිකයි. ගියවසරේ විශ්වවිද්‍යාලයේ මට පැවරුණු බොහෝ මොඩියුල උගැන්වීමට සිදුවුනේ zoom ඔස්සේ. ඒවා සියල්ල විද්‍යා විෂයන්. දේශන ශාලාවේදී ගුරුවරයා උගැන්වීමට යොදාගන්නා කලාව තාක්ෂණයෙන් විනාශ කරනවා කියලයි මගේ හැඟීම. එය ගුරුවරයා සහ ශිෂ්‍යයා කියන දෙදෙනාවම අනවශ්‍ය වෙහෙසකට පත්කරනවා. තාක්ෂණය යොදාගැනීමේ වාසිදායක පැති කිහිපයක් තිබුනත්, පරම්පරාවකට දැනුම සම්ප්රේෂණයේදී එය ඉතා සුක්ෂමව යොදාගත යුතුයි කියලයි මට හිතෙන්නේ. අද කාලයේ මේ වගේ අදහස් ප්‍රකාශ කරද්දී, ප්‍රතික්ෂේප වෙන්න තියෙන සම්භාවිතාවය ඉතා ඉහලයි. එහෙම අවස්ථාවක සර් ගේ මේ ලිපිය ඉතා වටිනවා.

    ReplyDelete
  4. ඉතා වටිනා අත්දැකීම් සමග කරන මේ අදහස් දැක්වීම සමාජ ගත වියයුතුමයි. එසේ නැතහොත් ඉතිරිව ඇති නිදහස් අධ්‍යාපන රොඩ්ඩ පවා සමාජයේ කොන්වී ඇති දුප්පත් දරුවන්ට අහිමි විය හැක. අළුතින් සමාජගතවිය හැකි වසංගතය කොරෝනා වලට වඩා බියමුසු විනාශකාරී දෙයකි

    ReplyDelete