Friday, June 18, 2021

මහා ප්‍රශ්න හැදෑරීම හෙවත් නිදහස් කලා අධ්‍යාපනය අදට අදාළ නැද්ද? ආසියාවෙන් පිළිතුරක්- ලියනගේ අමරකීර්ති

 

      

               

   

 රැකියාවක් සඳහා අධ්‍යාපනය යන අදහස දැන් නිතර කතා වෙන දෙයකි. පෝට් සිටියේ ඇතිවීමට නියමිත රැකියාවෙනුවෙන් විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය පවා වෙනස් කරන බව ඇමතිවරු කියති. අධ්‍යාපනය සහ මානවශාස්ත්‍ර අතර සම්බන්ධය ගැන මා ලිපි මාලාවක් ලිව්වේ ඒ පසුබිමෙහිය. මගේ කලින් ලිපි මෙම බ්ලොග් අඩවියෙන්ම කියවිය හැකිය. අපගේ ශාස්ත්‍ර පීඨවල අධ්‍යයනය කෙරෙන විෂයයන් ගුණාත්මකව ආරක්ෂා කිරීම ඒ ලිපිවල අරමුණ විය.

            

   ලිබරල් ආට්ස් හෙවත් නිදහස් කලා අධ්‍යාපනයෙහි වැදගත්කම ගැන ඒ ලිපිවල සාකච්ඡා විය. එවන් නිදහස් කලා විෂයයන් ඉගැන්වෙන්නේ බටහිර විශ්වවිද්‍යාලවල පමණකිය යන අදහස ඇතැම්හු දරති. එය ඇත්ත නොවේ. ආසියානු විශ්වවිද්‍යාලවලත් නිදහස් කලා සහ මානවශාස්ත්‍ර අධ්‍යාපනය වෙත අවධානය යොමු වී තිබේ. 

   නිදහස් කලා අධ්‍යාපනය ගැන විශේෂ අවධානයක් යොමු කරන ආසියානු රටවල විශ්වවිද්‍යාල කොලීජී කිහිපයක පාඨමාලා පරීක්ෂා කර බලමු. 

                                      ජපානයේ මානව ශාස්ත්‍ර


   ජපානයේ අන්තර්ජාතික ක්‍රිස්තියානි විශ්වවිද්‍යාලය යනු ආසියාවේ ඇති පරණම නිදහස් කලා විශ්වවිද්‍යාලයකි. එම විශ්වවිද්‍යාලයෙහි පාඨමාලාව සාදා ඇත්තේ නොයෙක් විෂය ධාරාවලින් විවිධ පාඨමාලා ඇතුළත් කරමිනි. ඒ පාඨමාලාවල අරමුණ පුරවැසි භාවය පිළිබඳ හැඟීමක් ලබා දීම, ගැටලු විසඳීමේ කුසලතා අත්පත් කරදීම, මාතෘකාවක් වෙත නොයෙක් ප්‍රවේශවලින් එළඹී විචාරාත්මක චින්තනයෙහි යෙදීම පුහුණු කිරීම අරමුණු කරගෙනය. මේ අරමුණ සාක්ෂාත් කර ගැනීම පිණිස මානව ශාස්ත්‍ර, සමාජයීය විද්‍යා සහ ස්වභාවික විද්‍යා යන ධාරා තුනෙන්ම පාඨමාලා මේ සිසුන්ගේ උපාධි පාඨමාලාවට ඇතුළත් කර තිබේ. ශිෂ්‍යයන්ට තමන් කැමති විෂයධාරාවක් ප්‍රධාන විෂය ධාරාව ලෙස හදාරන්නට අවස්ථාව තිබේ. එහෙත් ඔහු හෝ ඇය අනෙක් විෂය ධාරාවලට අයත් තීරණාත්මක පාඨමාලාද උගත යුතුය. උපාධිය අවසන් කරන අවස්ථාව වන විට මානව ශෘස්ත්‍ර, සමාජයීය විද්‍යා සහ ස්වභාවික විද්‍යා යන ප්‍රධාන විෂය ක්ෂේත්‍ර අතර සියුම් අන්තර් සම්බන්ධය ශිෂ්‍යයාට අවබෝධ වේ. ඉලක්කය එයයි. මේ වූකලි සාමාන්‍ය පෙළ පන්තියෙන් පසු විෂය ධාරවලට වෙන් කොට හුදෙකලා කෙරෙන ලංකාවේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් වටහාගත නොහැකි තත්ත්වයකි. එවැනිම පසුබිමකින් බිහිවන සරසවි අදුරෝ සහ පරිපාලකයෝද ඒ තත්ත්වය වටහා නොගනිති.

                                          විලියම්ස් කොලීජීයේ ආදර්ශය

   අපි මෙම ජපන් විශ්වවිද්‍යාලයේ පාඨමාලාව ඇමරිකාවේ පිහිටි ඉතා කීර්තිමත් නිදහස් කලා විශ්වවිද්‍යාලයක් සමග මොහොතකට සසඳමු. එය 1793 තරම් ඈතකදී පිහිට වූ විලියම්ස් කොලීජියයි. එහි ඇතුළු වන ශිෂ්‍යයෙකු තම උපාධිය පිණිස පහත සඳහන් පාඨමාලා හදාළ යුතුය. 

1. භාෂා සහ කලා අංශයෙන් පාඨමාලා 3යි

2. සමාජයීය අධ්‍යයන ධාරාවෙන් පාඨමාලා 3යි. (ආර්ථික විද්‍යාව, සමාජ විද්‍යාව, දේශපාලන විද්‍යාව වැනි විෂයයන්)

3. ස්වභාවික විද්‍යා සහ ගණිත ධාරාවෙන් පාඨමාලා 3යි.

4. එම විශ්වවිද්‍යාලයෙහි ඇති “මනුෂ්‍ය විවිධත්වය ගවේෂණය කිරීම” නමැති විශේෂ පාඨමාලා එකතුවෙන් පාඨමාලා 1 යි. 

   සාමාන්‍යයෙන් මේ ධාරාවට අයිති වන්නේ “තුලනාත්මක සංස්කෘතික සහ සමාජ අධ්‍යයනය,” “සහකම්පනීය අවබෝධය”, “බලය සහ වරප්‍රසාද”, “විචාරාත්මක න්‍යායකරණය” යනාදී විෂයයන්ය. මේ පාඨමාලාවල නම් මොහොතකට නිරීක්ෂණය කරන්න. බලය සහ වරප්‍රසාද කෙනෙකුට හෝ ප්‍රජාවකට ලැබෙන්නේ කෙසේද යන්න අපගේ පුරවැසි අධ්‍යාපනයෙහි කොටසක් විය යුතුයි නේද?

5. ප්‍රමාණාත්මක තර්කන දැනුම පිළිබඳ අවශ්‍යතා.(සංඛ්‍යානය වැනි විෂයයන්ගෙන් අඩු තරමින් එක් පාඨමාලාවක්)

6. ලේඛන කුසලතා (අඩු තරමින් පාඨමාලා දෙකක්)





                                      (Williams College- campus park)


                                සිංගප්පූරුවෙන් සහ කොංකොං දේශයෙන් සාක්ෂි 

  විලියම්ස් කොලීජීය නිදහස් කලා අධ්‍යාපනය සම්බන්ධයෙන් ඉතා කීර්තිමත් ඉතිහාසයක් ඇත්තකි. 2011 වසරේද ආරම්භ වූ සිංගප්පූරුවේ Yale-NUS College කොලීජීයේ තත්ත්වයත්( එය ඇමරිකාවේ යේල් සහ සිංගප්පූරු ජාතික විශ්වවිද්‍යාලය එකතුව ඇති කළ කොලීජීයකි.)  හොංකොංහි Lingnan University විශ්වවිද්‍යාලයේත් තත්ත්වය බලමු.  ඒවාගේ උපාධි පාඨමාලාව විෂයාන්තර පෝෂණයෙන් යුතු අධ්‍යාපනයක් ඉලක්ක කර ගනියි. 

    එම විශ්වවිද්‍යාල දෙකම ආසියානු සහ බටහිර සංස්කෘති දෙකෙහිම සම්මිශ්‍රණයකින් යුතු අධ්‍යාපනයක් සංවිධානය කර තිබේ. ශිෂ්‍යයන්ට එකිනෙකට වෙනස් විවිධ විෂය ධාරා සමග අන්තර් ක්‍රියා කරන්නට එහිදී ඉඩ සැලසේ.

  ලිංග්නන් විශ්වවිද්‍යාලයෙහි පාඨමාලා සියල්ලටම පොදු වූ හර විෂය එකතුවකිනුත්, තව විෂය සමූහ පහකිනුත් සෑදී තිබේ. 

   පොදු හර විෂයයන් ප්‍රථම සහ දෙවන වසරවලදී හැදෑරීම අනිවාර්ය වේ. ඒ විෂයයන් මෙසේය:

තර්ක ශාස්ත්‍රය සහ විචාරාත්මක චින්තනය, හොංකොං දේශය නිර්මාණය කිරීම, සදාචාරය පිළිබඳ අවබෝධය, ලෝක ඉතිහාසය සහ ශිෂ්ටාචාර. 

අනික් විෂය සමූහ පහට දී ඇති පොදු නම් මේවාය.

-නිර්මාණශීලිත්වය සහ නවීකරණය

-මානව ශාස්ත්‍ර සහ කලා

-කළමනාකරණය සහ සමාජය

-විද්‍යාව, තාක්ෂණය සහ සමාජය

-වටිනාකම්, සංස්කෘති සහ සමාජ

මේ විෂය සමූහවලින් ක්‍රෙඩිඩ් 21ක් හෙවත් අඩු තරමින් පාඨමාලා හතක්වත් ශිෂ්‍යයන් හදාළ යුතුය. එය උපාධිය ලැබීම පිණිස සම්පූර්ණ කළ යුතු අවශ්‍යතාවකි.

   මෙම විෂය සමූහ පහ තුළ විසිර ඇති එක් එක් විෂයයන් ඉතා සිත්ගන්නාසුලුය. ඒවා ගැන සවිස්තර සාකච්ඡාවකට මෙහි ඉඩ නැත. 

  සිංගප්පූරුවේ Yale-NUS කොලීජියෙහි උපාධි පාඨමාලාවේ ප්‍රධාන අරමුණ ගෝලීය පුරවැසිභාවය පිණිස ආසියානු සහ බටහිර ප්‍රවේශවලින් එළඹෙන අධ්‍යාපනයක් වර්ධනය කිරීමය. තමන්ගේ සංස්කෘතියෙන් පිටට පියවරක් තබා ලෝකය සහ මනුෂ්‍ය ජීවිතය ගැන සිතන්නට ශිෂ්‍යයන් පොලඹවන්නට එහිදී ප්‍රයත්න දැරේ. පාඨමාලා සකස්වී ඇත්තේ විචාරාත්මක, නිර්මාණශීලී සහ සක්‍රීය චින්තනය දිරිගන්වනු පිණිසය. අන්තර් විෂයීක උපාධි පාඨමාලාවේ ප්‍රධාන විෂය ක්ෂේත්‍ර මේවාය:

-තුලනාත්මක සමාජ විමර්ශනය

-විද්‍යාවේ පදනම්

-ඉතිහාසය සමග ගැඹුරු නිමග්නය

-සාහිත්‍යය සහ මානව ශාස්ත්‍ර

- නූතන සමාජ චින්තනය

-දාර්ශනික සහ දේශපාලන චින්තනය

- ප්‍රමාණාත්මක තර්කනය සහ විද්‍යාත්මක ගවේෂණය




                                            (Yale- NUS students)


  එම විශ්වවිද්‍යාල කොලීජීයේ උපාධි පාඨමාලා සකස් වී ඇත්තේ එක් ප්‍රධාන තේමාවක් මුල් කරගෙනය. ඒ මෙයයි: මෙම සියවසේදී වගකීම් සහගත ජීවිතයක් ගෙවීමට තරුණ මනුෂ්‍යයෙකුට අවශ්‍ය වන්නේ මොනවාද?

  මේ වූකලි ලංකාවේ අප ජාතික මට්ටමෙන් වත් සිතා නැති ප්‍රශ්නයකි. වගකීම් සහගත පුරවැසියෙකු ලෙස විසි එක්වෙනි සියවසේදී ලංකාවේ ජීවත් වීමට අවශ්‍ය අධ්‍යාපනය කුමක්ද? ලෝකයෙහි ජීවත්වීමට ලැබිය යුතු අධ්‍යාපනය කුමක්ද? අප අතරින් කිහිප දෙනෙකු මේ ප්‍රශ්න ආමන්ත්‍රණය කරන්නට තනි තනි ප්‍රයත්න දරන්නේ විය හැකිය. මාද මේවා ගැන බොහෝ දේ මට හැකි පමණ ලියා පළ කොට තිබේ. ආයතනික වශයෙන් අප ඒවා ගැන සිතන්නට පටන්ගෙන නැත. වර්තමාන ආණ්ඩුවේ අධ්‍යාපන ප්‍රතිපත්ති එවැනි දේවල් ගැන ගැඹුරු අවබෝධයකින් සකස් වන බවක් නොපෙනේ. 

                       නෙදර්ලන්තයේ අපූරු අධ්‍යාපන අත්දැකීම

 

  අපි මොහොතකට ආසියාවෙන්ද ඇමරිකාවෙන්ද එපිටට ගොස් යුරෝපය දෙස බලමු. නෙදර්ලන්තයේ රාජ්‍ය විශ්වවිද්‍යාල කොලීජියක් වන   Amsterdam University College  හි උපාධි පාඨමාලාවේ සංයුතිය ඉතා සිත්ගන්නාසුලුය.

  එහි උපාධි පාඨමාලාවට අංශ තුනකි. ශාස්ත්‍රීය හරය, ප්‍රධාන විෂය සහ වරණීය විෂය සමූහය යනුවෙනි.

ශාස්ත්‍රීය හර විෂය සෑදී ඇත්තේ මේ ක්ෂේත්‍රවලිනි:

- ගෝලීය අනන්‍යතා අත්දැකීම (මෙම පාඨමාලාවේදී ජාතිය, ස්ත්‍රී-පුරුෂභාවය, මනුෂ්‍යන්ට නොයෙක් හේතු නිසා වෙනස්කොට සැලකීම, අන්තර් සංස්කෘතික සන්නිවේදනය ආදිය ජාත්‍යන්තර ගුරුවරුන් පිරිසක් විසින් උගන්වනු ලැබේ.)

- මහා ප්‍රශ්න හය    (six big questions)  ආශ්‍රිත අධ්‍යාපනය. 

බෙහෙවින් නිර්මාණාත්මක මේ විෂය ක්ෂේත්‍ර හය ගැන සවිස්තර සාකච්ඡා යෙදෙන්නට ඉඩ නැතිවීම ගැන කණගාටු වෙමි. ඒ මහා ප්‍රශ්න ආශ්‍රිත පාඨමාලා මේවාය:

               1. මහා දත්ත   (දැනට අපට වැදගත් වන ප්‍රධාන දත්තමය කරුණු)

               2. මහා ග්‍රන්ථ, (යුරෝපීය ශිෂ්ටාචාරයෙහි වැදගත්ම පොත්)

               3. ලෝක සාහිත්‍යයෙහි මහා ග්‍රන්ථ (මෙහිදී ඇතැම් ආසියානු සම්භාව්‍ය කෘතිද හදාරනු ලැබේ)

               4. අනාගත සමාජයෙහි මහා ප්‍රශ්න

               5. විද්‍යාවෙහි මහා ප්‍රශ්න

               6. මහා ඉතිහාසය (සමස්තයක් ලෙස විශ්වයෙහි සහ ලෝකයෙහි ඉතිහාසය)

 මෙම මහා ප්‍රශ්න හා සම්බන්ධ පාඨමාලාවලට අමතරව ශාස්ත්‍රීය හර විෂයවලට අයත් තවත් දේ තිබේ.

 ඒ මේවාය:

  -තර්ක ශාස්ත්‍රය, තොරතුරු ගලනය සහ තාර්කික චින්තනය

 -ශාස්ත්‍රීය ලේඛන කුසලතා සහ උසස් පර්යේෂණ ලේඛනය

- විදේශීය භාෂා

-ගණිතය

           මේ විෂය ලැයිස්තුව නාමිකව නිරීක්ෂණය කළද මෙම අධ්‍යාපනයහෙි ඉලක්කය පැහැදිලි වනු ඇත. මගේ සිත වඩාත් ඇදගත්තේ මහා ප්‍රශ්න ආශ්‍රිත පාඨමාලා සමූහයයි. ඒ පාඨමාලාවලදී අපේ යුගයට, ජීවිතයට සහ අනාගතයට අදාළ ප්‍රධාන ගැටලු ගැන විවිධ ප්‍රවේශවලින් සලකා බලන්නට ශිෂ්‍යයෝ මෙහෙය වනු ලබති. බොහෝ විට සම්මත රාමුවලින් පිටට පැන සිතන්නට ඒ ශිෂ්‍යයන්ට සිදු වේ. 


       මෙවැනි පරිවර්තනීය අධ්‍යාපනයක් සඳහා විෂය මාලාවට වඩා වැඩි බොහෝ දේ අවශ්‍ය වේ. අධ්‍යාපනය යනු කුමක්ද යන්න පිළිබඳ මහා ප්‍රශ්නය ගැන ගැඹුරින් කල්පනා කිරීමේ හැකියාව සහ එහිලා අවශ්‍ය පුහුණුව ඇති ගුරුවරුන් යනු ඉතා මූලික අවශ්‍යතාවකි. අනෙක ගුරු-ශිෂ්‍ය අනුපාතය පිළිබඳ කාරණයයි.

 අප ඉහත සඳහන් කළ විලියම්ස් කොලීජියෙහි ඒ අනුපාතය 1:7කි. සිංප්පූරුවෙහි යේල්-එන්යූඑස් කොලීජියෙහි 1:5කි. හොංකොංහි ලිංග්නන් කොලීජීයෙහි 1:24කි. අපට ඒ වාසනාව නැත. ඒ ගුරුවරුන් සියලු දෙනාටම ජාත්‍යන්තර මට්ටමේ පුහුණුවක් සහ අධ්‍යාපනයක් ලබාදීමේ අවස්ථාවද ඒ රටවල ඇත. ලෝකයේ විශිෂ්ටතම විශ්වවිද්‍යාල වෙත ආචාර්යවරුන් යවා පුහුණු කරවීමට ඒ රටවල්ද, අදාළ විශ්වවිද්‍යාලද ආයෝජනය කරයි.

   මෙම කෙටි ලිපියෙන් පෙනෙන වැදගත් දෙයක් තිබේ. ලෝකයේ විශ්වවිද්‍යාල හදිසි වෘත්තීය අධ්‍යාපනයක් පසුපස දුවන්නේ යැයි කීම ඇත්ත නොවේ. අපේ ජනාධිපතිවරයා අසන “දේශපාලන පාලන විද්‍යාව කරල මොකටද” හෙවත් මානව ශාස්ත්‍ර අධ්‍යාපනයෙහි ඵලය කුමක්ද යන්න අමනෝඥ ප්‍රශ්නයකි. 

  එසේම අපගේ මානව ශාස්ත්‍ර පීඨවල ඉගැන්වෙන විෂයයන් දැනට ඉගැන්වෙන ලෙසටම ඉගැන්වීමෙන් ඉහත කී අන්දමේ විඥාන පරිවර්තනීය අධ්‍යාපනයක් සෑම විටෙකම ලැබෙතියි කීම අසීරුය. ඇතැම් පාඨමාලාව සහ ඇතැම් ගුරුවරුන් නිසා යම් සැලකිය යුතු පරිවර්තනයක් ශිෂ්‍යශිෂ්‍යාවන් තුළ වන්නේ විය හැකිය. මානව ශාස්ත්‍ර සහ සමාජයීය විද්‍යා ඉගැන්වීය යුත්තේ මන්ද, ඉගැන්විය යුත්තේ කෙසේද, කවර ඉලක්ක පිණිසද යන්න ගැන නව කතිකාවක් තිබිය යුතු බවට විවාදයක් නැත. 


               


වැඩිදුර කියවීම්

Mikiko Nishimura/Toshiaki Sasao(2019). Doing Liberal Arts Education: The Global Case Studies

W. B. Jennings (2014). Liberal arts in a new era. On the Horizon, 22(1)

I. S. Jung, M. Nishimura,. & T. Sasao,. (Eds.). (2016). Liberal arts education and colleges in East Asia: Possibilities and challenges in the global age.


1 comment:

  1. හරවත් ලිපියක්. අපේ රටේ සමාජ-දේශපාලනික සහ ආර්ථික පරිසරයත් එක්ක ගලපද්දි " මෙම සියවසේදී වගකීම් සහගත ජීවිතයක් ගෙවීමට තරුණ මනුෂ්‍යයෙකුට අවශ්‍ය වන්නේ මොනවාද?" යන්න ජාතික මට්ටමෙන් විශ්ව විද්‍යාල අධ්‍යාපන ධාරාවට දැන්ම ඇතුලත් කරගත නොහැකි වෙන්න පුළුවන් .නමුත් අවම වශයෙන් මේ ඔබ කරන ක්‍රමයට සමාජ මාධ්‍ය හරහාවත් ඒ කතිකාවට රටේ තරුණ පරපුරේ අවධානය යොමු වෙනවා නම් හොඳයි.දැනට කරන්න පුළුවන් සහ කරන්න තියෙන්නේ මෙවැනි කියවීම් වලට හැකිතාක් අවදානය ලබා ගන්න සාර්ථක ක්‍රම සොයා ගැනීමයි කියලයි මට නම් හිතෙන්නේ.

    ReplyDelete