Saturday, June 19, 2021

අනුස්මරණීය හරයක් නැති අධ්‍යාපනයක්- මාර්ගගත යුගයේ ආවර්ජනා - ලියනගේ අමරකීර්ති

 

   


  

දැන් ප්‍රවීණ නාට්‍යකරුවෙකු වන මා මිතුරු උදයසිරි වික්‍රමරත්න 1991 දී සිය ප්‍රථම වසරේදී නාට්‍යයක් කළේය. ඒ නවකයන් පිළිගැනීමේ ප්‍රසංගයට විය යුතුය. එය කොළඹ විශ්වවිද්‍යාලයේ නව කලාගාරයේදී රඟදැක්විණි. උදයසිරි, රාජිත දිසානායක, පියල් කාරියවසම්, චමිල ප්‍රියංක වැනි ජාතික මට්ටමේ නාට්‍යකරුවන් රැසක් බිහි කළ වේදිකාවකි, ඒ. 

මට කියන්නට අවශ්‍ය එය නොවේ. උදයසිරිගේ එම නාට්‍යයෙහි මෙවැනි දෙබසක් ආවේය:

“මම නං කැම්පස් ඇවිල්ල තමයි බාත් රූම් එකක ඇඳුම් නැතුව නෑවෙ.” 

  ඒ වැකිය කී චරිතය කැම්පස්  ශිෂ්‍යාවක් බව   මට යන්තම් මතකය. ඒ තනි වැකි මුළු නව කලාගාරයම සිනා ගැන්වීය. ආචාර්යවරු සහ වරියෝද සිනා සුණහ. ඔවුන් සිනා සුණේ නාට්‍යයෙහි චරිතයට පමණක් නොවේ. ඒ වූකලි ඔවුන්ගේම අතීතයට එල්ල වූ සිනාවකි.

ඒ ඇයි? ඒ බොහෝ දෙනා සම්බන්ධයෙන්ද එය ඇත්තක් බැවිනි. මමද සිනාසුණෙමි. එහෙත් මා නාන කාමරයක නෑවේ කැම්පස් එකේදී නොවේ. ඊට හේතුව අපේ මහ ගෙදර බාත්රූම් තිබීම නොවේ. අදටත් නැත.  1987-89 භීෂණ සමයෙහි මා ජීවිතය බේරාගන්නට නැවතී සිටි ඇතැම්   තැන්වල    බාත්රූම් තිබිණි.

   අර නාට්‍යයෙහි ශිෂ්‍යා චරිතය කියූ දෙය තුළ අපේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ගැන ගැඹුරු සත්‍යයක් අඩංගු වේ. අපට විශ්වවිද්‍යාලය යනු හුදෙක් අධ්‍යාපන සහතිකයක් ලැබෙන තැනක් පමණක් නොවේ. උපතේදී අපට උරුම වන ජීවන අවස්ථාවලට වැඩි ජීවන අවස්ථා අත්විඳීමට, විකල්ප ජීවන අඩවි ගැන පරිකල්පනයට අවස්ථාවකි.

නාන කාමරයක ඇඳුම් නැතිව ස්නානය කිරීම, තමාගේම නිරුවත් ශරීරය සම්බන්ධයෙන් එවන් අත්දැකීමක් ලැබීම යන දේද විශ්වවිද්‍යාලය නමැති විශේෂ ඉගෙනුම් පරිසරයේදී ලැබෙන එක්තරා අධ්‍යාපනයකි. අද වන විට මධ්‍යම පාන්තික පහසුකම් සමාජය තුළ බොහෝ සෙයින් පැතිර තිබුණද නාන කාමරයකින් නෑම නැමති අත්දැකීම පළමු වරට විශ්වවිද්‍යාලයේදී අත්දකින අය තවත් සිටින්නට පුළුවන.

1950 පනස් ගණන්වල ලංකා විශ්වවිද්‍යාලයට ආ අයට විශ්වවිද්‍යාලයෙහි ජීවිතය යනු විශාල සංස්කෘතික පිම්මක් විය. ඒ සරසවි යුගය ගැන චිත්‍රණයක් මෑතකදී පළ වූ ලාල් විජේනායක: ජීවිතය සහ දේශපාලනය නම් චරිතාපදානය කියවන කෙනෙකුට දැකිය හැකිය. 

 පනස් හයේ දරුවෝ සහ ඒ අයගේ දරුවන්ගේ දරුවෝ විශ්වවිද්‍යාලවල තිබූ ඒ පහසුකම් බෙහෙවින් විනාශ කළහ. එනැමල් බාත් ටබ් එක කුණු රෙදි ගොඩ ගහන සහ පෝස්ටර් ගොඩ ගහන බක්කිය බවට පත් විය.

 මා ඉන් අදහස් කරන්නේ ශිෂ්‍යයන් පමණක් නොවේ. ආණ්ඩුව විශ්වවිද්‍යාල නේවාසිකාගාරවලට දරා ගන්නට බැරි තරම් සිසුන් ඇතුළත් කිරීමෙන්ද, පහසුකම් වැඩි නොකිරීමෙන්ද, නේවාසිකාගාර නිසි පරිදි නඩත්තු නොකිරීමෙන්ද ඒ විනාශයට දායක වූහ.  ලාල් විජේනායක සමග ඔහු හැටේ දශකයෙහි මුල නේවාසිකව සිට පේරාදෙණි නේවාසිකාගාරය නැරඹීය යනු සංවේගදායක අත්දැකීමක් විය.

  එහෙයින්දැන් බාත්රූම් එකක ඇඳුම් නැතිව නෑමේ අත්දැකීම පවා හරියට විඳගන්නට බැරි නේවාසිකාගාර විශ්වවිද්‍යාලවල තිබේ. 

කොරෝනා වසංගතය අප රට ග්‍රාමීය ශිෂ්‍යශිෂ්‍යාවන්ට විශ්වවිද්‍යාලය නමැති ආයතනයේදී ලැබෙන එවන් අත්දැකීම් සියල්ලම පාහේ අහිමි කර තිබේ. 

                                                     Cultivating Humanity

ලංකාවේ පමණක් නොව ඇමරිකා එක්සත් ජනපදයෙහි පවා විවිධ පසුබිම්වලින් විශ්වවිද්‍යාලයට එන තරුණ අයට විශ්වවිද්‍යාලයේදී ලැබෙන එවන් අත්දැකීම් ඔවුන්ගේ අධ්‍යාපනයෙහි කොටසක් වන සැටි මහාචාර්ය මාර්තා නස්බෝම් ලියා තිබේ.

බොහෝ ඇමරිකානු විශ්වවිද්‍යාල මහාචාර්යවරු සමාසිකයෙහි අවසන් සතියෙහිදී තමන්ගේ ශිෂ්‍යශිෂ්‍යාවන් වෙනුවෙන්   තම නිවසෙහි භෝජන සංග්‍රහයක් පවත්වති. සාමාන්‍යයෙන් පන්තියක සිටින ශිෂ්‍ය පිරිස කුඩා නිසා මෙය දුෂ්කර නැත. විස්කොන්සින් විශ්වවිද්‍යාලයෙහි මගේ ගුරවරුන් සියලු දෙනාගේම පාහේ නිවෙස්වලට මා එසේ ඩිනර්වලට ගොස් තිබේ. මහාචාර්ය නස්බෝම් ඇගේ කල්ටිවේටින් හියුමැනිටි පොතේ මෙම ඩිනර් අත්දැකීම අනුස්මරණීය අත්දැකීමක් සේ විස්තර කරන සරසවි සිසුන් ගැන ලියා ඇත. තමන්ටත් පොතපත ලියන මහාචාර්යවරියක වන්නට සිතුණේ එවන් රාත්‍රී භෝජනයකදී යැයි එක් ශිෂ්‍යාවක් කියයි.


  පේරාදෙණියෙහි උගන්නා ග්‍රාමීය ශිෂ්‍යශිෂ්‍යාවෝ මහාචාර්ය සරච්චන්ද්‍ර එළිමහන් රංගපීඨයෙහි නාට්‍ය බලති. ඔවුන්ගෙන් ඇතැම් කෙනෙකු නැවත කවදාවත් නාට්‍ය බලන්නේ නැත. අපේ විශ්වවිද්‍යාල පද්ධතිය දැනට බිහිකර ඇති උපාධිධරයන් සියලු දෙනා තම තම ගම් නගරවල සිට ලංකාවේ බිහි වන හොඳ  නාට්‍ය කිහිපයක් වත්  ටිකක් පතක් ගෙන නැරඹීමේ පුරුද්ද ඇති කරගත්තේ නම් ලංකාවේ නාට්‍ය කලාවට අද ඇති අර්බුද ඇති නොවන්නට තිබිණි. මේ වූකලි සරසවි ඇදුරන් අතිබහුතරයද කරන දෙයක් නොවේ. අපට සහතික තිබුණද ප්‍රබුද්ධ ජීවිත නැත.  ඒ කෙසේ වෙතත් විශ්වවිද්‍යාලයෙහි උගන්නා කාලයෙහි නාට්‍යයක් දෙකක් නරඹා තිබීම පවා ඔවුන්ගේ අධ්‍යාපනයෙහි කොටසකි. 



මේ සියල්ලටම වත් වඩා බරපතලම අධ්‍යාපනික අවස්ථා අහිමි වීම නම් "ආදර අත්දැකීමය." විශ්වවිද්‍යාලයක වැඩියෙන්ම රොමෑන්තික අධ්‍යයන වර්ෂය දෙවන වසරයි. පළමු වසර ශිෂ්‍ය කණ්ඩායම පැමිණි විට ආදර කුමාරයන් සේ ණයට ඉල්ලා ගත් ඇඳුම් හෝ ඇඳගෙන ආදරවන්තියන් සොයා සරසවි උයනෙහි සැරි සැරීම දෙවන වසරේ අධ්‍යාපනයෙහි කොටසකි. තරුණියන්ගේ සිත් දිනා ගැනීමට උපක්‍රම සිතමින් කරන පරිකල්පනයද එක්තරා අධ්‍යාපනයකි. පස්සෙන් එන හැම අය්යාටම “ංහා” නොකීමට ඉගෙනීම නංගිලාගේ අධ්‍යාපනයෙහි කොටසකි. 

  සීරියස් ආදරයකට ආරාධනා කරන සත්‍ය ප්‍රේම භෘංගයා කෙටි කාලීන රොන් ගැනීමකට කැරකෙන හදිස්සිකාර භෘංගයාගෙන් වෙන් කර ගැනීමත්, තමන් කැමති නම් ඒ දෙදෙනාගෙන් ඕනෑම කෙනෙකු තෝරාගැනීමත් සිසුවියකගේ අධ්‍යාපනයෙහි කොටසකි. 

  අධිරාජ්‍යවාදයෙන් අති උතුම් මාතෘභූමිය ගලවා ගැනීම ගැන දේශනය දෙන දේශපාලන අය්යාග් වේගවත් කතාව අසා සිටීමත් අධ්‍යාපනයකි.

   ආදර සම්බන්ධතා සහ දේශපාලන සම්බන්ධතාවලට අමතරව අලුත් මිත්‍ර සම්බන්ධතා ඇති කර ගැනීමද සරසවි අධ්‍යාපනයෙහි, විශේෂයෙන්ම ප්‍රථම සහ දෙවන වසරවල අත්දැකීමෙහි කොටසකි. මා අද මේ රචනය පේරාදෙණියෙහි සිට ලිව්වද මගේ ගැඹුරුම මිත්‍රසම්බන්ධතා යනු මා උගත් කොළඹ විශ්වවිද්‍යාලයෙහිදී ඇති වූ මිත්‍රසම්බන්ධතාය. උදයසිරිගේ අර අපූරු නාට්‍ය දෙබස මට තවම මතක තිබෙන්නේද ඒ නිසාය.

  මේ කොරෝනා සමයෙහි කෙරෙහි මාර්ගගත අධ්‍යාපනය විසින් අප රට සරසවි සිසුන් වෙතින්ද පාසල් සිසුන් වෙතින්ද පැහැර ගැනෙන්නේ අධ්‍යාපන ජීවිතයෙහි වඩාම උණුසම් වූද, පරිවර්තනීය වූද අත්දැකීම් සමූහය නොවේද? 

“අධ්‍යාපනය යනු පාසලේදී අප උගත් සියල්ල අමතක වූ පසු ඉතිරි වන දේය” යනුවෙන් ඇල්බට් අයින්ස්ටයින් වරක් කීවේය.


  "පාසැල" යනුවෙන් ඔහු අදහස කළේ ආයතනික ව්‍යූහයයි. පාසල හෝ විශ්වවිද්‍යාලයේදී උගන්නා විෂය කරුණු ශිෂ්‍ය විඥානයෙහි පරිවර්තනයට දායක වන ආරම්භක කරුණු පමණි. ඒවා අමතක වී යයි. එහෙත් ඒවා වටා අප විඳි අත්දැකීම වඩා අනුස්මරණීයද, පරිවර්තනීයද වේ. සැබැවින්ම අප මාර්ගගත ක්‍රමයට අද ලබා දෙන්නේ අමතක කර දැමිය යුතු යැයි අයින්ස්ටයින් ඉඟි කරන කොටස මිස, ඉතිරි වන අනුස්මරණීය කොටස නොවේ. 


No comments:

Post a Comment