Thursday, June 24, 2021

සිරිලාල් ඔස්සේ එන ඒ දියවැල- ලියනගේ අමරකීර්ති

 




                                       (මැද වම් පැත්ත බලාගෙන සිටින්නේ සිරිලාල් කොඩිකාරය)


මේ මෙවර මා ලියන්නේ මා කිහිප සැරයක් ආසාවෙන් කියවූ කෘතියක් ගැනය. එය සිරිලාල් කොඩිකාරගේ දියවැලක් ඔස්සේ කෘතියයි. සිරිලාල් අයිති වන වාමාංශික බුද්ධිමතුන් පරම්පරාව අප යළි වටහා ගත යුතුය. ඒ පරම්පරාව නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රජාතාන්ත්‍රික හා සබුද්ධික මහජන ජීවිතයක් ගොඩ නැගීමට කළ මෙහෙය අපමණය. මා කලිනුත් ලියා ඇති මේ කරුණ නැවත ලියන්නේ එහෙයිනි.

   මේ කෘතිය මුලින්ම කිය වූ ගැටවර වයසේදී එහි මා නොදැක්ක දේ අද දකින්නට පුළුවන. සාමාන්‍ය ගමක ඉපිද පන්සල හා බුදු දහම ඇසුරින් ජීවිතයේ මුල් කාලයේ යම් සමාජ විඥානයක් වර්ධනය කරගෙන පසුව වමේ ව්‍යාපාරවල ක්‍රියාධරයින් බවට පත් වූ ජනපිරිසක් විසි වෙනි සියවසේ මුල සිටියේය. මේ පිරිස ක්‍රමයෙන් වාමාංශික චින්තනය හා වමේ දේශපාලනය වෙත ආ හැටි ගැන යම් වැදගත් අන්තර්දෘෂ්ටියක් සපයන්නට මේ කෘතියට පුළුවන. එය ඉතා අව්‍යාජ කෘතියක් වීම ඊට ප්‍රධාන හේතුවයි.


   කෑගල්ලේ ගමක ඉපිද එහිම ජීවිතයේ මුල් වසර කිහිපය ගෙවන සිරිලාල් හෙවත් ඒබ්‍රහම්ට සිංහල අසල්වැසියන් විසින් එල්ල වන කුල පීඩනයෙන් මිදෙන්නට උදව් වන කාරණ කිහිපයක් ඇත. එකක් කුල පීඩනයට එරෙහි බෞද්ධ කතාය. ඒවා කතා හැටියට පොතපතෙහි හා ජන මතකයෙහි තිබුණද අපේ පන්සල බෙහෝ විට ක්‍රියා කළේ ඒ කතාවලට විරුද්ධවය. සිරිලාල්ට නිදහස්කාමය ගෙන දුන් අනෙක් මූලාශ්‍රය නම් “ලන්දේසි පවුලක්” වූ ඔන්ඩච්චි බංගලාවය. එය ගමේ “බංගලා” දෙකින් එකකි. අනික විජේරත්න වලව්ව වූ අතර එය කුල ක්‍රමය රකින ආයතනයක් වැනිය. ඒ නිසා කුඩා සිරිලාල් ඇතුලු ආන්තික කරණයට ලක් වූ ගැමියන්ගේ සිත් ඇදගන්නේ ඔන්ඩච්චි බංගලාවය. ඒ බංගලාවේ අය වෙත වූ විකල්ප ජීවිතය නිසා ගමේ සාම්ප්‍රදායික කුල ධුරාවලියෙහි බලය මඳක් අඩුවේ. කුඩා සිරිලාල් ඒ බංගලාවේ සුරතල් මිතුරෙකු සේ එහි යයි එයි. ඒ නිවසින් කෑම බීම තෑගි බෝග ලබයි. ඒ සංස්කෘතියෙන් උගනියි. මේ සංස්කෘතික සම්මිශ්‍රණය කුඩා සිරිලාල්ගේ නිදහස් චින්තනය පුබුදුවයි. මේ ඔන්ඩච්චි බංගලාව යනු දැන් ලෝ ප්‍රකට ලේඛකයන් මයිකල් ඔන්ඩච්චි හා ක්‍රිස්ටෝෆර් ඔන්ඩච්චි යන අයගේ මහගෙදර වන්නට පුළුවන.

   විසි වැනි සියවසේ මුල් දශකවල ලංකාවේ භික්ෂු සංස්ථාව හුදෙක් කුලධුරාවලිය රැකි ගතානුගතික ආයතනයක් වී යැයි කීමද නිවැරිදි නැත. වමාංශික සමාජ ප්‍රතිසංස්කරණවල අභාසය ලැබූ ප්‍රගතිශීලී භික්ෂූහුද සිටියහ. ඒ අයගේ ඇසුරින් සිරිලාල් වැනි ගිහි ප්‍රගතිශීලීහු යම් පෝෂණක් ලදහ. ඇතැම් විට ඒ භික්ෂූන් ප්‍රගතිශීලී නොවුණත් ඔවුන්ගෙන් සිරිලාල් ලද භාෂා ශාස්ත්‍ර අධ්‍යාපනය පසු කලෙක වාමාංශික ලේඛකයෙකු සේ වර්ධනය වන්නට ඉවහල් විය. සරල සුගම ශෛලියකින් ලියන්නටත්, විවිධ විරිතින් කවි බඳින්නටත් අවශ්‍ය දැනුම ඔහුට ලැබෙන්නේ පන්සල් ඇසුරිනි. හතර වැනි ශ්‍රේණියෙන් පසු නිල අධ්‍යාපනය ලබන්නට වරම් නොලබන කෙනෙකුට මෙය මහඟු වාසනාවකි. එවන් භාෂා ශාස්ත්‍ර ඥානයක් වත් අවවරප්‍රසාදිත දරුවන්ට ලබා දෙන්නට සමත් පන්සල් අපේ ගම්වල දැන් තිබේද?

    අපේ රටේ මුල් කාලීන වාමාංශිකයාගේ වර්ධනයට බලපෑ ඥානමය හා භාවමය මූලාශ්‍රවලට අමතරව විසි වැනි සියවසේ පුවත්පත් කලාවේ ස්වභාවය, මුල් කාලීන පුවත්පත් කලාවේදීන් බිහිකළ සංස්කෘතික පසුබිමද ගැන වැදගත් ඉඟි දියවැලක් ඔස්සේ කෘතියෙන් අපට ලැබේ. එසේම සිරිලාල් වැනි අයගේ ප්‍රති-සංස්කෘතික චින්තනය සකස්කරන්නට දායක වූ අය ගැන එහි විස්තර ඒ යුගය හදාරණ කාටත් වැදගත් වේ:

“සිංහල පාඨකයන් අතර මාක්ස්වාදය හඳුන්වා දීමේ ගෞරවයෙන් විශාල කොටසක් ඊ ඇස් රත්නවීරට හිමි විය යුතු යැයි හඟිමි. මාක්ස්වාදය සිංහලයෙන් ඉදිරිපත් කළ හා කරන අය අතර ඔහු වැන්නෝ දුර්ලභයහ. ඔහු ඇතුළු ඒ සුළු දෙනාත් සෙසු වැඩි දෙනාත් අතර වෙනස මම මෙසේ දකිමි. එළදෙන තණකොළ කයි. ඒවා ජීර්ණය කර ගනියි. එයින් ඇය අපට කිරි දෙයි. තණ කොටා මිරිකා යුෂදීම ඊට පහසුය. ඊ ඇස් රත්නවීර වැනි සුළු දෙනා දෙන දෙය කිරි වැනිය. සෙස්සන් දෙන දෙය තණ කොළ යුෂ වැනිය.”

  (2016 මැයි මාසයේ පළ වූ ලිපියකි)

No comments:

Post a Comment