Saturday, June 26, 2021

විද්‍යා, කලා, වානිජ කටුවැට ඉක්මවූ අධ්‍යාපනයක් ගැන ආසියානු අත්හදා බැලීමක්- ලියනගේ අමරකීර්ති



                  


        (හරවත් නිදහස් කලා අධ්‍යාපනයක් පිළිබඳ මා ලියමින් සිටින ලිපි මාලාවක තවත් කොටසකි මේ. මේ ලිපි මාලාව සැලකිය යුතු පිරිසකගේ අවධානය ලබා ඇති බව පෙනේ.  මෙහි එන කරුණු කලින් ලිපි සමගද සම්බන්ධ බව සැලකුව මනාය.)

           

පෝට් සිටියේ පවා විශ්වවිද්‍යාල ආරම්භ කරන බව කියවේ. අධ්‍යාපන කේන්ද්‍රස්ථානයක් බවට ලංකාව පත් කිරීම පිළිබඳ ආණ්ඩුවේ බලවත්ම කොටස වන රාජපක්ෂ පවුලේ අයම කිහිප වරක් කියනු ඇසිණි. ඒ ගෝඨාභය රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ යන දෙදෙනාය. අප කැමති වුවත් නැතත් විශ්වවිද්‍යාලවල ස්වරූපය ගත් උසස් අධ්‍යාපනික ආයතන බොහෝ ගණනක් දැනටමත් ඇති වී තිබේ. 




                                      (Yale-NUS College- a Public Lecture)

  මේ ලිපියෙන් විස්තර කෙරෙන්නේ සිංගප්පූරුවෙහි ආරම්භ වූ කුඩා පෞද්ගලික විශ්වවිද්‍යාලයක විෂයමාලාවේ ස්වරූපයයි. ලංකාවේ හතු පිපෙන්නාක් සේ ආරම්භ වන විශ්වවිද්‍යාල අතර එවැන්නක් තිබිය හැකිද? 

  මේ විශ්වවිද්‍යාලය කොලීජියේ නම යෙල්-එන්යූස් කොලේජ්ය. එය ඇමරිකාවේ කීර්තිමත් විශ්වවිද්‍යාලයක් වන යේල් විශ්වවිද්‍යාලය සහ සිංගප්පූරු ජාතික විශ්වවිද්‍යාලය එකමුතුවෙන් 2012 වර්ෂයේදී ආරම්භ විය.

  මා කලින් ලිපිවලදී ආවරණය කළ නිදහස් කලා විශ්වවිද්‍යාලයක් වන එහි අරමුණ කලා, සමාජයීය විද්‍යා, සහ ස්වභාවික විද්‍යා ක්ෂේත්‍ර තුළ සිට ආසියාවත්, සෙස් ලෝකයත් අධ්‍යයනය කිරීමය. සම්පූර්ණ නේවාසික විශ්වවිද්‍යාලයක් වන එහිදී කුඩා පන්ති ශිෂ්‍ය කණ්ඩායම් ලෙස ඒ ප්‍රධාන විෂය ක්ෂේත්‍රවලට අයත් පාඨමාලා හදාරන්නට අවස්ථාව ඇත. කුඩා කණ්ඩායම්වලට වෙන්ව කරන විචාරාත්මක සාකච්ඡාවලින් ශිෂ්‍යශිෂ්‍යාවන්ගේ දැනුම, තර්කන ශක්තිය සහ සන්නිවේදන කුසලතා දියුණු කෙරේ.

  එහි සමස්ත විෂයමාලාව සකස් වී ඇත්තේ එක් කේන්ද්‍රීය ප්‍රශ්නයක් වටාය. ඒ මෙයයි: 

   මෙම සියවස තුළ වගකීම් සහගත ජීවිතයක් ගෙවීම උදෙසා තරුණ මනුෂ්‍යයෙකු දැනගත යුතු දේ මොනවාද?

   ප්‍රධාන විෂයමාලාවට අමතරව විෂය සමගාමී වැඩසටහන් මාලාවක් මගින් ශිෂ්‍යශිෂ්‍යාවන් සහ ආචාර්ය මණ්ඩලය අතර සමීප අන්තර් ක්‍රියා ඇති කෙරේ. ඒ වැඩසටහන් සංවිධානය වී ඇත්තේද අර කේන්ද්‍රීය තේමාව වටාය.

                        බරසාර පොදු පාඨමාලාව

   එම විශ්වවිද්‍යාලයෙහි ඇති අද්විතීය අංගයක් වන්නේ පොදු පාඨමාලාව නමින් හැඳින් වෙන විෂය එකතුවයි. එහි පාඨමාලා දහයක් තිබේ. විශ්වවිද්‍යාලයට ඇතුළු වන සියලු දෙනා ඒ පාඨමාලා දහය හැදෑරිය යුතුය. ඒවා මානව ශාස්ත්‍ර, සමාජයීය විද්‍යා සහ ස්වභාවික විද්‍යා යන ප්‍රධාන ධාරා තුනටම අයත්ය. ඒ පාඨමාලා දහයෙහි වැදගත්කම ගැන විශ්වවිද්‍යාලයෙහි ආරම්භක පාඨමාලාවට ඇතුළත් කළ හැඳින්වීමෙහි මෙසේ කියවේ: “අපට ඇති වැදගත් කාර්යක් වන්නේ තරුණ මනස් විවිධ සංස්කෘතිවලට අයත් කතා, ඉතිහාස සහ චින්තන රටාවලින් සැරසීමය.” මෙම වැකිය නැවත පරීක්ෂා කරන්න. එක තනි සංස්කෘතියකට අයත් කතා, ඉතිහාසය හෝ චින්තන රටාවලින් තරුණ මනස් පිරවීම පහසුය. එහෙත් නොයෙක් සංස්කෘතිවලින් ගත් ඥානමය සම්පත් වෙත තරුණ මනස් විවෘත කිරීම සහ ඒවා පිළිබඳ විචාරාත්මක අවබෝධයක් ලබා දීම පහසු නැත. එහෙත් එය අපේ යුගයේ අත්‍යවශ්‍ය අධ්‍යාපනයකි. 

  විසි එක් වෙනි සිය වසේදී තමා වෙතත්, තමා වසන ප්‍රජාව සහ සමාජය වෙතත් වගකීම් සහගත වූ ජීවිතයක් ගෙවීමට තරුණ මනස් පුහුණු කිරීමේ ඒ අධ්‍යාපනයෙහි අරමුණයි.


                                     පොදු විෂය මාලාවේ ස්වරූපය

අපි අර පාඨමාලා දහයකින් යුතු පොදු විෂය මාලාව සැකෙවින් පරීක්ෂා කරමු. ඒවා අතර එන සාහිත්‍යය සහ මානව ශාස්ත්‍ර පාඨමාලා පිණිස විශ්වවිද්‍යාලයට ඇතුළු වන සියලු සිසුන් මෙම සම්භාව්‍ය කෘති සහ රචකයන් කියවා හදාළ යුතුය: රාමායනය, ඔඩිසි, හෙරෝඩටස්, ඩිකැමරන්. එසේම ඔවුන් ශෙක්ශ්පියර්ගේ  ටෙම්පස්ට්, බල්සාක්ගේ මහලු ගොරියෝ, ලූ ශුන්ගේ පිස්සෙකුගේ දිනපොත, වර්ජිනියා වුල්ෆ්ගේ මිසිස් ඩැලොවේ, අයිලින් චංගේ ලව් ඉන් අ ෆෝලන් සිටි(,චීන බසින් ලියවුණු මෙම කෙටි නවකතාවෙන් සිනමා කෘතියක්ද සෑදිණි) තයිබ් සලීගේ සීසන්ස් ඔෆ් මයිග්‍රේෂන් ටු ද නෝර්ත්(අරාබි බසින් ලියවුණු සුඩාන නවකතාවක්) යන කෘතිද සිංගප්පූරු චිත්‍රකතාමය නවකතාවක්ද මේ පාඨමාලාවලදී හදාළ යුතුය.

  දර්ශනය සහ දේශපාලන චින්තනය විෂය ධාරාව සඳහා පහත සඳහන් කෘති සහ දර්ශනය සම්ප්‍රදායයන් හදාළ යුතුය: චීන දර්ශනය, ප්ලේටෝ සංවාද කෘති පහක්, ඇරිස්ටෝටල්ගේ කෘති දෙකක්, භගවත් ගීතාව, ඔරෙලියස්ගේ මෙඩිටේෂන්ස්, ශාන්තිදේව, ඉබන් ටුෆායිල්(12 වෙනි සියවසේ මුස්ලිම් දාර්ශනිකයෙක්,) හය් ඉබන් යක්සාන්(12 වෙනි සියවසට අයත් දාර්ශනික උපමා කතාවක්), ඩෙකාට්, ගාන්ධි, අන්නම්භට්ට(හින්දු තර්කඥයෙක්), තොමස් හොබ්ස්, ජෝන් ස්ටුවර්ට් මිල්, හන්නා අරෙන්ඩ්, ලියං කිචාවෝ (චීන බුද්ධිමතෙක් සහ දේශපාලන ක්‍රියාධරයෙක්) යනාදී චින්තකයන් සහ කෘති හදාළ යුතුය.

  සමාජයීය විද්‍යා ධාරාවට අයත් තුලනාත්මක සමාජ විමර්ශනය නම් පාඨමාලාවේදී එම ශිෂ්‍යයන් මාක්ස්, ඩර්කයිම්, හෙගල්, වෙබර්, ෆූකෝ, ටොක්විල් යානදීන්ගේ කෘති සාකච්ඡා කළ යුතුය.

  විද්‍යා විෂයධාරාවට අයත් පාඨමාලාවලදී ඒ සිසුන් ජලය, විශ්වවේදය, පරිණාමය, සංඛ්‍යානය, පරිසර විද්‍යාව, කාලගුණ විපර්යාසය, සත්ත්ව විද්‍යාව ආශ්‍රිත ප්‍රධාන කෘති හදාළ යුතුය.

  මා මෙතෙක් විස්තර කළ විෂය ක්ෂේත්‍ර ආශ්‍රිත පොදු පාඨමාලාව විශ්වවිද්‍යාලයට ඇතුළත් වන සියලු සිසුන්ට අනිවාර්ය වේ.

 සිසුන්ට මෙම පාඨමාලා උගන්වන්නේ තමන්ගේ ජනවර්ගයට හෝ ජාතික රාජ්‍යයට පමණක් නොව සමස්ත මානවවර්ගයා කෙරෙහිම වගකීම් සහගත වූද මනුෂ්‍ය විවිධත්වයට ගරු කරන්නා වූද අනාගත පුරවැසි පිරිසක් බිහි කිරීමේ අරමුණ ඇතිවය.

  යේල්-එන්යූඑස් විශ්වවිද්‍යාලයෙහි අධ්‍යාපනය යනු ආචාර්ය මණ්ඩලය වෙතින් විශාල කැපවීමක් ඉල්ලා සිටින්නකි. බොහෝ පාඨමාලාවක් කණ්ඩායම් වශයෙන් ඉගැන්වෙන අතර ඒ ආචාර්ය කණ්ඩායම් සතියකට වරක් මුණ ගැසී එකිනෙකාගේ ඉගැන්වීම් සාකච්ඡා කළ යුතුය. දේශනවලට පසුව සෑම ගුරුවරයෙකුම ශිෂ්‍යයන් සමග සාකච්ඡා පන්ති පැවැත්විය යුතුය. මෙය ඉහළ මට්ටමකින් සිදුවේ. මේ නිසා නිරන්තර බුද්ධිමය සංවාදයක නියුතු, විවිධ විෂයධාරාවල ප්‍රවීණත්වය ඇති ආචාර්යවරුන් සහ ශිෂ්‍යයන්ගෙන් සැදි බුද්ධිමය ප්‍රජාවක් විශ්වවිද්‍යාලය තුළ ගොඩනගන්නට මෙම කුඩා ආයතනයට හැකියාව ලැබී තිබේ. 

   එම බුද්ධිමය ප්‍රජාවක් ගොඩනැගීම පිළිබඳ අභ්‍යාසය උපාධි පාඨමාලාවට තුළටම ඇතුළත් කර තිබේ. එය කර ඇත්තේ “සත්වෙනි සතිය” නම් වැඩසටහන මගිනි.


  

                                                       සත්වෙනි සතිය


  යේල්-එන්යූඑස් විශ්වවිද්‍යාලයෙහි පොදු පාඨමාලාවෙහි සිත්ගන්නාසුලු අංගයක් වනුයේ ප්‍රථම වර්ෂයෙහි සත් වෙනි සතියෙහි එන ක්ෂේත්‍ර අධ්‍යයන වැටසටහනයි. අර ඉහත කී ඕනෑම විෂයක් ආශ්‍රිත ක්ෂේත්‍ර අධ්‍යයන ව්‍යාපෘතියකට ඒ සතියෙහි ශිෂ්‍යයන් සහ ආචාර්යවරුන් සහභාගි විය යුතුය. සංගප්පූරුව ඉතා කුඩා රටක් නිසා ඒ ක්ෂේත්‍ර අධ්‍යයනය ඒ අවට ඇති නොයෙක් රටවල් කරා විහිදෙයි. එක් ශිෂ්‍ය කණ්ඩායමක් වර්ණභේදවාදය අධ්‍යයනය කිරීමට දකුණු අප්‍රිකාවට ගියේය. තව ශිෂ්‍ය කණ්ඩායමක් රාමායනය ආශ්‍රිත ජනකතා අධ්‍යයනය කිරීමට ඉන්දුනීසියාවට ගියේය. හෝමර්ගේ ඔඩිසි කෘතිය හා සම්බන්ධ එක් ව්‍යාපෘතියක් පිණිෂ එක් ශිෂ්‍ය කණ්ඩායමක් ග්‍රීසිය කරා ගියේය. මේ වූකලි අප රට මානව ශාස්ත්‍ර අධ්‍යයනය යනුවෙන් හැඳින්වෙන අධ්‍යාපනය පවතින අපේ ශාස්ත්‍ර පීඨවල සිතන්නටවත් බැරි අධ්‍යාපනයකි. අප රට පාලකයන් මානවශාස්ත්‍ර අධ්‍යාපනය සලකන්නේම ඕනෑම ශිෂ්‍ය ගණනක් දේශන ශාලාවකට ඔබා දේශන පවත්වා විභාගයක් ලියවා සහතිකයක් දෙන තැනක් ලෙසිනි. මානව ශාස්ත්‍ර අධ්‍යාපනය යනු අඩුම මුදලකින් වැඩිම උපාධි සහතික ගණනක් ලබා දෙන අධ්‍යාපනය යැයි විශ්වාස කරන ආචාර්යවරු පවා සිටිති. ඔවුන් තමන්ගේ බාහිර උපාධි ආයතනවල කරන්නේම එයයි. 

   යේල්-එන්යූඑස් විශ්වවිද්‍යාලයෙහි මෙම සත්වෙනි සතියෙහි අරමුණ හුදෙක් පන්ති කාමරයේ උගන්නා දේවලට ප්‍රයෝගික මානයක් එක් කිරීම පමණක් නොවේ. බාහිර ලෝකයෙහි ගත කරන ඒ සතියෙහිදී විවිධ සංස්කෘතික පසුබිම්වල ජීවත් වෙමින් ඔවුන් උගන්නා කුසලතා 21 වෙනි සියවසේ ජීවත්වීමට අවශ්‍ය ජීවන කුසලතා සේද සැලකේ. එසේම එවන් සැබෑ ජීවන අවස්ථාවලදී විවිධ මූලාශ්‍රවලින් ඔවුන් උගත් දැනුම ප්‍රායෝගික අවස්ථාවක් පිණිස සංශ්ලේෂණය කිරීමේ කුසලතාද ඉගෙනීමට සිසුන්ට අවස්ථාවක් ලැබේ. 

  මෙම සත්වෙනි සතිය නම් අධ්‍යාපන අවස්ථාව සිංගප්ප්පූරුව වැනි ධනවත් රටක පෞද්ගලික විශ්වවිද්‍යාලයකට පවා වියදම් අධික වැඩකි. යට කී විදේශ ගමන්වලදී ගුවන්ගමන් වියදම්වලින් කොටසක් ශිෂ්‍යයන් විසින් දැරිණි. එසේ වෙතත් ඒ වියදම අධිකය. ඒ නිසා දැන් ඒ සතියෙහි වැඩසටහන සිංගප්පූරුව සහ ඒ අවට රටවලට සීමා වී තිබේ. මේ අත්හදා බැලීම ඇසුරින් අප සිහි කරගත යුතු කරුණක් තිබේ. ඒ මෙයයි: අප රටවල ශාස්ත්‍ර පීඨවල ලබා දෙන අධ්‍යාපනය ඇසුරින් අපේක්ෂා කරන සැබෑ උගත් පුරවැසියන් හා චින්තකයන් බිහි කරගැනීම උදෙසා විශාල ආයෝජනයක් කළ යුතුය. නැතිනම් බොහෝ විට බිහිවන්නේ උපාධි සහතිකලාභීන් පමණි.


  සිංගප්පූරුවට වඩා බෙහෙවින් විශාල ලංකාවට මෙවන් වැඩසටහනක් රට ඇතුළේම කළ හැකිය. අපේ රාජ්‍ය විශ්වවිද්‍යාල වෙතත් මෙවැනි වැඩසටහන්හි වැදගත්කම දැන් දැන් එක් වෙමින් තිබේ. පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙහි ශාස්ත්‍ර පීඨයද අන්තර්වාසික පුහුණුව උපාධි පාඨමාලාවෙහි අත්‍යවශ්‍ය අංගයක් බවට පත් කර දෙවසරක් යන්නටත් පෙර කොරෝනා මැතිණිය පැමිණියාය. එහෙත් ඒ වැඩසටහන්වලට වඩා ශික්ෂණ ශාස්ත්‍රමය වශයෙන් තීරණාත්මක වූ හරයක් යේල්-එන්එස්යූ විශ්වවිද්‍යාලයෙහි සත්වෙනි සතිය නම් අත්හදා බැලීමෙහි තිබේ. අනික මේ වැඩසටහන එන්නේ සිසුන් විශ්වවිද්‍යාලයට ඇතුළු වී සතියක් ගෙවුණු පසුය. එහෙයින් එය අනුස්මරණීය අත්දැකීමක්ද වේ.

  

  


No comments:

Post a Comment